අවුරෝරා

13221702_1294913250537596_7468491900326107220_n

පැතිරිලා තිබුණ කලුවරත් නිතරම තිබුණ දුමාරයත් නිසා උමං කොරිඩෝව පෙනුණ නොපෙනුණ තරම්. රෙදි මල්ල කරේ තියාගෙන හෙමින් සැරේ ඉදිරියට ඇදුන අපේ කතා නායකයාට පෙනුණෙ බිත්ති වලට හේත්තු වෙලා හති අරින මනුස්ස හැඩයට දියවුණ හෙවණැලි විතරයි. අතරින් පතර ඔහුගෙ රෙදි මල්ල දිහාට ඇදුන අතක් ගසල දාලා පොඩි ගෙරවිල්ලක් කිරීම හැර හෙවණැලි එක්ක කතා බහක් කරන්න ඔහුට ඕන වුණේ නෑ.

අඩි විස්සෙන් විස්සට වගේ තිබුණ ලාම්පුව ආලෝකය සපයනවට වැඩිය මග සලකුණු විදියටයි වැඩ කළේ. එක්දහස් පන්සිය හැට එක් වෙනි ලාම්පුවත් පහු වුණා. තියන අඩියත් ඊළගට තියන්න යන අඩියත් අදාළ බිම් ප්‍රමාණයට වැඩිය වෙන දෙයක් ගැන හිතන්න ඔහු තවදුරටත් උනන්දු වුණේ නෑ.

බිත්ති වලට හේත්තු වුණ, සමහර තැන් වල වැටිලා නිදියන, තවත් සමහර තැන් වල නිදිද මැරිලද කියල නොදන්න අනන්ත හෙවණැලි ගොඩක් අතරෙ අඩි පහක හයක හිස් ඉඩක් දැක්ක කතා නායකයගෙ තොල් දෙක සැනසිල්ලක් පෙන්නුම් කළා. නිදහසේ හති අරින්න ඉඩක්!

රෙදි මල්ල බිමින් තියල පැත්තකින් කකුල් දෙක දිග ඇදල වාඩි වුණ ඔහුගෙ හිත මුලින්ම ගියෙ සිගරට්ටුවකට. ලයිටරේ දැල්ලට අහුවුණ දුංකොලේ පිච්චෙන චිරි චිරි සද්දෙට හිත එකලස් කරගෙන ඔහු පෙණහැල්ල පිරෙන්න දුම් අහුරක් ඇද ගත්තා. “සිගරට් බොන්න එපා, මැරෙයි!” ඔහු ඉදිරියෙන්ම වගේ තිබුණ ලාම්පුව ඔහුට ඔරවන්න ගත්තා.

හම්මේ හිස් ඉඩක්කියල කෑ ගහගෙන ළගට වැටුණ ගන්ධස්සාර ජීවියෙක් නිසා ඔහුගෙ භාවනාව බිදිලා ගියා. මේ මිනිහ රෙදිමල්ල උඩම වාඩි වෙලා. කරදරකාරයො. කතා නායකයා රෙදි මල්ල ඇදල අරගෙන අනිත් පැත්තෙන් තියාගත්තා.

අන්තිමට දුමක් ඇද්දෙ කාලෙකට කලින්. එදා තමයි දවස.” මේකා දිගටම කියවනවා.

මේ වගේ තැනකම වාඩි වෙලා තමයි තව නොදන්න එකෙක් එක්ක ඒක ගැහුවෙ. මහත්තයට කියන්න අන්තිම කුකුල් මස් කෑල්ලවත් එච්චර පරිස්සමෙන් පාවිච්චි කරන්නැතුව ඇති.”

තමන් මොනව හරි කියනකං ගන්ධස්සාරයා තමන් දිහා බලන් ඉන්න බව කතා නායකයාට තේරුණා. ඔහු මොනවත් නොකිය සිගරට් එකට හිත යොමු කළා.

මනුස්සයත් එක්ක වැඩිය කතාවක් කරන්න වුණේ නැහැ. හැබැයි සිගරට් දුම අස්සෙන් දෙන්නෙක්ට හිතනවට වැඩිය කතා බහක් කරන්න පුළුවන්. මට සමහර වෙලාවට හිතෙනව එදා කතා කළාට වැඩිය මට කතා කරන්න තිබුණ කියල. මනුස්සයව ආයෙ මම දැක්කෙ නෑ.”

මේ මනුස්යසය කියවන එක නවත්නතන්නෑ. “යනවනං තනියෙන් යන්න ඕනෙකියල කතා නායකයා සිගරට් එක ඔහුට පාස් කළේ තුන් පාරක්ම ඉල්ලුවාම නොදි බැරි නිසා.

බොහොම පින් මහත්තයකියල කෑදරකමින් උගුරක් ඇද්ද ගන්ධස්සාරයා ඇස් දෙක පියාගෙන තෙත බිත්තියට ඔළුව හේත්තුකෙරගෙන දුම් ටික ඉහළට විද්දෙ අවසාන සුරතාන්තය විඳිනව වගේ. තප්පර කීපයක් දිහා බලාගෙන ඉදල තවත් උගුරක් ඇදල ඔහු නැවත සිගරට්ටුව පාස් කළා. “මහත්තය කොතනටද යන්නෙ?”

අවුරෝරා බලන්නඇස් දෙක පුච්චන දුම අස්සෙන් කතා නායකයා කල්පනා බරව කිව්වා.

අවුරෝරා!……… නියමයිලු මහත්යතයා රෑට. හැමෝම ජීෙවිතේ එක දවසක් හරි දකින්න ඕන දර්සනයක්. දිව්‍ය ලෝකෙට යන හයිවේ එක ඇරිය වගේ.”

හ්ම්ම්…”

මේ කළුවර ගුහාව අස්සෙන් කවදා හරි හැමෝම එළියට යනව. යද්දි ඕක දකින්න තියෙනවනං මට වෙන සැපක් නෑ මහත්තය…”කතා නායකයා පාස් කරපු සිගරට් එක අතින් ගන්න ගමන් ඔහු කිව්වා. දුංකොළ පිච්චෙන චිරි චිරි සද්දෙ එක්ක වැටුණ දැල්ලෙ එළියෙන් වයසට ගිය රැළි වැටිච්ච ගන්ධස්සාරයාගේ මුහුණ කතා නායකයා මුල් වතාවට දැක්කා. කළුවර අස්සෙන් මෙච්චර වෙලා ඇහිච්ච උද්ගයෝගීමත් කටහඩට කොහොමවත් ගැළපෙන්නෙ නැති හති වැටුණ මුහුණක්.

දැල්ල නිවුනා. කළුවර අස්සෙන් ආයෙත් කතා නායකයාට සිගරට් එක දික් කළා.

දැන් කොච්රචර කාලයක් මේක දිගේ යනවද?” කතා නායකයාට පොඩි කුතුහලයක් ආවා.

ගන්ධස්සාරයාට යාන්තමට හිනාවක් ගියා. “මතක ඇති කාලෙක ඉදන් මහත්තයා.”

ෆිල්ටරේට ලං වෙච්ච ටිකත් පුච්චගෙන අන්තිම උගුර ඇද්ද කතා නායකයා ඊළග ප්‍රශ්නෙ විද්දා.

කියෙන්නෙ නැවති නැවතිද යන්නෙ? දැන් මමත් උමගට ඇතුල් වෙලා වැඩි කල් නැහැනෙඑතකොට මේ මනුස්යසයා මෙතනට ආවේ මොන පැත්තෙ ඉදලද?

අර හිනාව තාම ඔහුගෙ මුහුණෙ. හරියට කාන්තාරෙ මැද ක්ෂේම බුමීයක් වගේ, රැළි අස්සෙන් දත් ටික. බලෙන් වගේ කලින් කතා කරාට දැන් ටිකක් මනුස්සයගේ කතාව අඩු වුණ විත්තිය කතා නායකයාට තේරුණා.

මම මෙහෙමම ටිකක් ඇලවෙනව මහත්තය. මහන්සියි.”

කතා නායකයා නැගිටලා ඇදුම ගසා දාලා රෙදි පොට්ටනිය කරට ගත්තා.

එන්නං!” කියල කතා නායකයා අඩිය තිබ්බෙ තව ගොඩක් දුර යන්න තියෙනව කියල උමං කටේදි පාර කියපු මනුස්යසය කියපු නිසා.

අඩි දෙක තුනක් යන්න කලින් කතා නායකයට ගන්ධස්සාරයගෙ කටහඩ දකුණු කණ ලගින් එක පාරටම මිමිනුවා.

මහත්යතයා ඊළග පාර මෙතනට එද්දි උත්තරේ ලැබිල තියෙයිකතා නායකයා ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවෙ ඉබේම වගේ.

ගන්ධස්සාරයා ඇලවෙච්ච තැන එහෙමමයි. “මැරිලවත්ද?” නහය ගාවට අත තියල ටිකක් වෙලා බලා හිටියට හුස්මක් පිට කරනව කතා නායකයාට තේරුණේ නැහැ. “මැරිලා“. මනුස්සයගේ අන්මතිම හුස්ම වුණේ සිගරට් එක.

මොකද්ද මේ ඊළග පාර කතාව?” ගමන පටන් ගන්න රෙදි පොට්ටනිය කරට ගන්න හොයන ගමන් කතා නායකයා හිතුවා.

ටික කාලයක් විදියට ගමනට ගත වෙද්දි ගන්ධස්සාරයා ගැන එච්චර සිතුවිල්ලක් කතා නායකයාගේ හිතේ ඉතුරු වෙලා තිබුණෙනෑ. ඉදල හිටල මතක් වුණේ ගන්ධස්සාරයා ලගින් ආපු ගදම තමන්ගෙනුත් ටික ටික එන්න පටන් ගන්නව කියල දැනුණ වෙලාවල්වලදි. සති මාස අවුරුදු ගණන් කිරිල්ලක් උමග ඇතුළෙ නැහැ.

කොච්චර කාලයක් ගියත් උත්තරාලෝකය බලන්න පුළුවන් තැනකට යන්න උමග ඉවර වෙන පාටක් කතා නායකයාට පෙනුණෙ නැහැ. ටිකෙන් ටික ගැන බලාෙපොරොත්තුව හිදිලා යද්දි කතා නායකයාට ඉස්සරහින් සහ පිටිපස්සෙන් ඇදෙන මිනිස් සෙවනැලිපෝලිමට ඔහුත් එහෙමම බද්ධ වුණා. රෙදි පොට්ටනිය කොහේදෝ තැනකදි ඉරිලා ටිකෙන් ටික නාස්ති වෙලා ගියා. තිබුන සිගරට් කිහිපයත් ඒ එක්කම හැලිලා ගිහින්. හම රැළි වැටිලා වේලෙන්න පටන් ගත්තා. කොන්ද ටිකක් කුදු වුණා. කතා නායකයා කතාවෙන් ගැලවුනා.

………

එක දවසක් තමන්ගෙ රෙදි පොට්ටනිය අලුත් විදියටම බිම තියෙනව දකින හිටපු කතා නායකයාට පොඩි නොස්ටැල්ජික් සතුටක් ආවා. “මේක කොහොමද මෙතනට ආවෙ?”

රෙදි පොට්ටනිය එහා පැත්තෙ බිම වාඩි වෙලා සිගරට් එකක් පත්තු කරන තරුණයව ඔහු දැක්කෙ එතකොට. වෙද්දි කතා නායකයා ආයෙ කතාවට බද්ධ වෙනව. දිග කාලයක් තිස්සෙ ඇවිද්ද ඔහුට වාඩි වෙන්න ඉඩ තියෙන තැනක් දැක්කාම ආවේ උද්ගයෝගිමත් සතුටක්.

සිරිසේනගේ බ්‍රාහාඩය – Sirisena’s Brahad

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ජීවිතයේ ඉතා වැදගත් ගැටලුකාරී සංධිස්ථානයකට පැමිණ ඇති බව පෙනී යනවා. සාමාන්‍ය පුරවැසියෙකුටනං මෙය Midlife crisis ලෙස හදුන්වාගත හැකි වුවත් ජනාධිපතිවරයා එම ගැටළුව ගැන යොමු කරන අවධානයත් එම ගැටළුව කෙරෙහි කරන ප්‍රතිචාරයන් දෙසත් බලන විට එය විශේෂ වූ midlife crisis එක හදුනා ගන්න පුලුවන්. එම ගැටළුව නං තමන් ජනාධිපතිවරයෙකු ලෙස කුමන භූමිකාවකට පණ පොවන්නේද යන්නයි.

සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් වෙනස් වන්නේ මෙම වැදගත් ලක්ෂණයෙන්. ඔහු තමන් පණ පෙවිය යුතු භූමිකාව සැලකිය යුතු ලෙස ඉක්මනින් හදුනාගත්තා. ඒ අනුව කාලයකට මතක තබා ගත හැකි ලෙස දූෂිත, ජාතිවාදී සහ බල ලෝභී ජනාධිපතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ සාර්ථක වුනා. නමුත් ඔහුව පරාජය කර සිරිසේන ජනාධිපතිවරයා පැමිණෙන්නේ මහින්ද විරෝධී රැල්ලක් මතින් නිසා ඔහු තවමත් තමාගේ ජනාධිපති අනන්‍යතාවය සොයාගත නොහැකිව ලත වෙන බවක් පෙනී යනවා.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිලිබද සංවාදයේදීත්, පසුගිය අයවැය යෝජනාවලියේදීත් සිරිසේන ජනාධිපතිවරයාගේ රැල්ලට ඇති ඇල්ම බොහෝ සෙයින් කැපී පෙනුනා. මහින්ද රාජපක්ෂ ජනප්‍රියවාදී චරිතයක් වුවත් ඔහුට ජනප්‍රියවාදය පිලිබද නිසි ඇජෙන්ඩාවක් තිබුනා. නමුත් වත්මන් ජනාධිපතිවරයා ඇජෙන්ඩාව පසෙකලා රැලි මත පමණක් තම විශ්වාසය තැබීමට තීරණය කර ඇති බවක් පෙනී යනවා.

ඒ ආකාරයේ තවත් සිදුවීමක් වන්නේ කාන්තාවක් තමාගේ තනපටය එන්රිකේට විසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ෆේස්බුක් ප්‍රතිචාරයන්, ජනාධිපතිවරයෙකු ලෙස තමන් ප්‍රතිචාර දැක්විය යුතු දෙයක් ලෙසට ඔහු විසින් වරදවා වටහා ගැනීමයි. ඒ අනුව යමින් එසේ තනපට විසි කිරීම ලාංකීය සංස්කෘතියට ඉතා දරුණු බලපෑමක් කරන බවත්, එම සංදර්ශනය සංවිධානය කල අය මඩු වල්ගෙන් තලා දැමිය යුතු බවත් ඔහු යම් තැනකදී ප්‍රකාශ කරනවා.

ඔහුගේ අවාසනාවට දැන් එම කතාව ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා. රටේ නායකයා කල කතාවෙන් ලංකාව, ඇෆ්ගනිස්ථානයටත් වඩා පසුගාමී රටක් ලෙස ලෝකයා වටහාගෙන තිබෙනවා. දැන් මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාවද?

සත්‍ය වශයෙන්ම ඇෆ්ගනිස්ථානය තරම් නොවුනත් ලංකාවේ සැලකිය යුතු බහුතරයක් ඉතා පසුගාමී චින්තකයින්. සමාජවාදී යැයි පවසාගන්නා පක්ෂ වලින් සමරිසි-භීතික (homophobic) නිල ප්‍රකාශ නිකුත් වන රටක බහුතරයක් පසුගාමී වීම පුදුමයක් නොවේ. නමුත් නායකයෙකුගේ වගකීම වන්නේ රැල්ල පැදීම නොව නිවැරදි තීරණ ගැනීමයි. බහුතරයක් ෆේස්බුක් පරිශීලකියන් අති සාම්ප්‍රදායික හණමිටි අදහස් දැරූවන් වුනත්, තනපට විසි කල කාන්තාව ගල් ගසා මරා දැමිය යුතුයි යැයි ජිහාඩයක යෙදෙන පසුගාමී බහුතරය තරයේ හඩ නැගුවත් නිවැරදි නායකයෙකු එහිදී බහුතරයට එරෙහි විය යුතුයි. නමුත් වත්මන් ජනාධිපතිවරයා එලෙස තීරණයක් ගැනීමට යම් බියක් දක්වන බව පෙනී යනවා. ඒ වෙනුවට ඔහු තනපටයට එරෙහි ජිහාඩයට ඉතසිතින් කැප වෙන බව ජනතාවට පෙන්නුම් කරනවා.

අනෙක් අතට ඔහුගේම රජයේ අමාත්‍යවරුන් විසින් සිදු කරන අනවසර කැලෑ එලි කිරීම්, පුද්ගල පැහැරගැනීම් ආදිය පිලිබද නිහඩ පිලිවෙතක් අනුගමනය කරන ජනාධිපතිවරයා, දේශපාලනික හෝ පරිපාලනමය වශයෙන් කිසිදු හෝ වැදගත්කමක් නොමැති “රෙද්දක්” ගැන අදහස් දැක්වීම විහිලුවක්. වර්ථමාන රජයේ එක්තරා ඇමතිවරයෙකු විසින් සිදු කරගෙන යන විල්පත්තු වන සංහාරය පිලිබද දැවැන්ත සංවාදයක් මේ වන විට රට තුල ඇති වී තිබුනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පොරොන්දු වූ යහපාලනය ඒ සදහා ක්‍රියාත්මක වීම තබා විල්පත්තු වන සංහාරය පිලිබද කෙල බිදක් හෝ ඔහු පිට කලේ නැහැ. එලෙසම මෑතකදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මහ දවාලේ තරුණයෙකු පැහැරගෙන යාම පිලිබද වීඩියෝ සාක්ෂි තිබියදීත් ජනාධිපතිවරයා ඒ පිලිබද කිසිදු අදහසක් දැක්වූයේ නැහැ. එසේ තිබියදී තනපටයක් පිලිබද එක්වරම කරුණු දැක්වීම රටක ජනාධිපතිවරයෙකු ලෙස කල යුතුදැයි සිතීමට ජනාධිපතිවරයාට නොහැකි වුවත් ඔහුගේ උපදේශකයෙකු හෝ කල යුතු වනවා.

එසේ නොමැතිව මෙලෙස රැල්ල පැදීම දිගටම කරගෙන ගියහොත් “සරල මානව හිතවාදී” චරිතය රගපෑමට මීලග වතාවේදී නිදහස් චතුරස්‍රයට හෝ Food Court එකට පැමිණෙන විටදී ජනාධිපතිවරයා දෙසට හම්පඩ වෙන්නම පාවිච්චි කල තනපට විසි වීම වැලැක්විය නොහැකි වනු ඇති. එවිට ජනාධිපතිවරයාගේ ෆේස්බුක් උපදේශකයින්ට සිදුවෙන්නේ Feeling Sad with M3 and 6.2mn others වෙන්නටය.

1610044_10207933757412677_3170861378396324158_n

හැඩකාර කොලුකාර | Misconceptions, Status Quo and Sri Lankan Attitude Towards Homosexuality

පහුගිය දවසක එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතිහාසගත නියෝගයක් නිකුත් කලා. සමලිංගික යුවලකට කසාද බදින්නත් අයිතියක් ඇති බවත් ඒ කසාදයට විරුද්ධ වෙන්න රජයට අයිතියක් නැති බවත් ඒ නියෝගයෙන් කියවුනා. සමලිංගිකයන්ට විරුද්ධව තිබුන යල්පැන ගිය නෛතික බාධාවන් ඉවත් කිරීම මීට පෙර ලෝකය පුරාත් (පලමුවරට නෙදර්ලන්තය) එක්සත් ජනපදයෙ විවිධ ප්‍රාන්ත පුරාත් (පලමුවරට මැසචුසෙට්ස් ප්‍රාන්තය) සිදු වෙලා තිබුනත් ලෝකයේ බලවත්ම රාජ්‍යයක ශ්‍රේෂඨාධිකරණයකින් එවැනි නියෝගයක් නිකුත් වීම LGBT ප්‍රජාවට ලැබුන විශාල ජයග්‍රහණයක්.

මිත්‍යා එලිදරව්ව

මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික සීමාව තුල තවත් මනුස්සයෙකුගෙ අයිතීන් උල්ලංඝනය නොකර කරන ඕනෙම ක්‍රියාවකට විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට අයිතියක්  නැති වෙන්න ඕනෙ, රජයට වුනත්. ඒක සමකාලින අදහස් වලට හරියටම ගැලපෙන අදහසක්. ඒ අනුව ගත්තාම තම කැමැත්තෙන් එකතු වෙන මිනිස්සු දෙන්නෙක්ට ඒ කරුණ නිසා වෙනස් විදියට සැලකීම අසාමාන්‍යයි. එහෙම වෙලා තියෙද්දි ඒ අයිතිය ගැන කතා කරන්න අමුතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නිකුත් කරන්න වෙලා තියෙන්නෙත්, ලෝකය පුරා සමලිංගිකයින්ට විරුද්ධව නෛතික හා සමාජයීය විරෝධය තදින්ම එල්ලවෙන්නෙත්, සමහර රටවල සමලිංගිකත්වය මරණ දඩුවම ලැබෙන වරදක් වෙන්නෙත් ඇයි කියන එක ගැඹුරට හදාරන්න ඕන ප්‍රශ්නයක්. ඒත් මුලින්ම සමලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජගත වෙලා තියෙන මිත්‍යාවන් කිහිපයක පැටළුම් දිග හරින්න වෙනවා.

සමලිංගිකත්වය “අස්වාභාවිකයි” / පරිණාමවාදයට විරුද්ධයි / මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අහිතකරයි

බොහොමයක් වෙලාවට මෙහෙම කියන්නෙ පරිණාමවාදය සහ ස්වාභාවික වරණය ගැනවත් වර්තමාන සමාජයීය, විද්‍යාත්මක, හා තාක්ෂණික සන්දර්භය තුල ස්වාභාවික වරණයෙ භූමිකාව ගැනවත් හරි හමන් අවබෝධයක් නැති පුද්ගලයො. මෙතනදි තේරුම් ගන්න අවශ්‍ය කරුණු කිහිපයක් තියෙනව.

සමලිංගික හැසිරීම් තියෙන්නෙ හෝමෝ සේපියන්ස් සත්ව විශේෂයෙ විතරක් නෙමෙයි කියන කරුණ හොයාගෙන දැන් සැලකිය යුතු කාලයක් ගත වෙලා තියෙනව. පසුගිය දශකය වෙද්දි සමලිංගික හැසිරීම් පෙන්නුම් කරන සත්ව විශේෂ 500කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තියෙනවා. මේ අතරිනුත් සමහර දියුණු සත්ව වර්ග සංකීර්ණ සමාජ හැසිරීම් සහ සමහර වෙලාවට එකම සහකරු/සහකාරයා සමග ජීවිත කාලයම ගත කරනව. මේ සත්ව වර්ග සියල්ලන්ගේම සමලිංගික හැසිරීම් එකම ආකාරයේ පරිණාමීය සන්දර්භ වලින් පැහැදිලි කරන්න බැරි වුනත් බොහෝ සත්ව වර්ගයන්ගේ ප්‍රජනන සම්භාවිතාවය වැඩි කරන්න සමලිංගික හැසිරීම් ප්‍රයෝජනවත් වෙන බව සොයාගෙන තිබෙනව.

හොමෝ සේපියන්ස් සන්දර්භයේදී සමලිංගික හැසිරීම් වල පරිණාමීය ප්‍රයෝජනවත් භාවය ගැන පැහැදිලි සොයාගැනීමක් දැනට කරල නැහැ. නමුත් ජනප්‍රිය මතයක් වන්නේ සමරිසිතාවයට සම්බන්ධ ජාන අඩංගු ඇලීලයේ පරිණාමීය වශයෙන් වැදගත් අනෙකුත් ජාන අඩංගු වීම නිසා දීර්ඝ කාලයක් තුල සිදුවන ස්වාභාවික වරණය හරහා සමලිංගික හැසිරීම් නොනැසී පැවතුන බවයි. මෙම රටාව වෙනත් බොහෝ ජාන සම්බන්ධයෙන් ඔප්පු කර ඇති නිසා බැලූබැල්මට පරිණාමීය විරුද්ධාභාසයක් ලෙස පෙනෙන සමලිංගිකත්වය අතිශයින්ම පරිණාමීය වෙන්න පුලුවන් හැකියාව වැඩියි (Phenotype එකක් අනවශ්‍ය හෝ පරිණාමීය වශයෙන් විරුද්ධාභාසයක් විදියට පෙනුන පලියට එයට අදාල Genotype එකත් පරිණාමීය වශයෙන් විරුද්ධාභාසයි කියන්න බැහැ. මෙතනදි ස්වාභාවික වරණයට ලක්වෙන්නෙ ජානයක් මිසක් සත්වයෙක් නෙමෙයි කියන රිචඩ් ඩෝකින්ස්ගේ මතය වැදගත් වෙනවා). අනෙක් අතට සමලිංගික හැසිරීම් කණ්ඩායම් තුල බැදීම් වැඩි කිරීමට ආධාර වූ බවට මතයක් තිබෙනවා.

මේ විදියට බාහිරව පරිණාමීය වැදගත්කමක් නැති නිසා හෝ වර්ගයා බෝ කිරීමක් සිදු නොවන නිසා සමලිංගිකත්වය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අහිතකරයි කියන තර්කය ඉතාමත් මුග්ධ තර්කයක්. මත්පැන්, දුම්වැටි පානය, අනාරක්ෂිත ලිංගික හැසිරීම්, ගැබ්ගැනීම් වැලැක්වීමේ ක්‍රම වගේ අව බලැති හැසිරීම් පමණක් නොව, යුද්ධ, මිනීමැරීම්, පරිසර විනාශයන් වැනි අධිබලැති හැසිරීම් සියල්ලම සමලිංගිකත්වයට වඩා සිය දහස් ගුණයකින් මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අහිතකර බව ඉතා පැහැදිලියි. අනෙක් අතට තාක්ෂණික දියුණුව හා සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩි දියුණු කිරීම මගින් පරිණාමීය සිමාවන් ඉක්මවා ගිහින් තිබෙන මනුෂ්‍ය සංහතිය තව දුරටත් වර්ගයා බෝකිරීම වැනි හැසිරීම් මත රදා පවතින්නේ නෑ. හෝමෝ සේපියන්ස් වර්ගයා තව දුරටත් විලෝපිකයින්ගෙන් පාලනය වන්නේ නෑ. උත්ප්‍රාසාත්මක ලෙස මනුෂ්‍ය වර්ගයාගේ පරිණාමීය සීමාව වර්ගයා බෝ කිරීම වැඩි වීම නිසා සිදු වෙන්න පුලුවන්. ඒ කෙසේ වෙතත් මෙම තර්කය පදනමක් නැති විහිඵවක් බව පැහැදිලියි.

සමලිංගිකයන් යනු ලමා අපචාරකයින්ය

වරින් වර පල කරන ලද පර්යේෂණ වාර්තා විසින් මෙය මිත්‍යාවක් බවත් සමලිංගික නැඹුරුව සහ ලමා අපචාරක හැසිරිම්/කුමාර කාමක හැසිරීම් (කුමාර කාමය ලෙසින් හැදින්වෙන නැඹුරුම්තාවයත්/pedophilia ලමා අපචාරයට යොමු වීමත්/child abuse අතර පරතරයක් තිබෙන බව පැහැදිලි කල යුතුයි) අතර ඍජු සම්බන්ධතාවයක් නොමැති බවත් පෙන්නා ඇති නමුත් බොහෝ කාලයක් තිස්සේ මෙම මතය සමාජගත වෙලා තිබෙන නිසා නැවත නැවත මතුවෙනවා දකින්න පුලුවන්. කුමාර කාමක හැසිරීම් සහ ලමා අපචාරක හැසිරීම්, ජාන, පවුල් පසුබිම් සහ වෙනත් බොහෝ සමාජ සාධක ගණනාවක බලපෑම් වල එකතුවක් බව බොහෝ පර්යේෂණ තුලින් ඔප්පු වී තිබෙනවා.

මෙම මතය බොහෝ විට ආගමික අන්තවාදීන් විසින් පතුරවන ලද්දක් වුවත් (වෛරවාදී කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධ වෙස්බොරෝ බැප්ටිස්ට් පල්ලිය ඇමෙරිකාව තුල මෙම මතය පතුරවන්නන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නවා. God Hates Fags යන සටන් පාඨයට ඔවුන් ජනප්‍රියයි), ආගමික මධ්‍යස්ථාන හා පූජක ප්‍රජාවන් අතර ලමා අපචාර බොහෝ සෙයින් සිදු වෙන බව අනාවරණය වෙන්න පටන්ගත්තේ මෑතක සිට. නමුත් මේ බොහෝ ආගමික සංස්ථානයන් සමලිංගිකයින්ට මරණ දඩුවම ලබා දීමට පවා ඉදිරිපත් වෙනවා. මේ අපචාරකයින් අතරින් අඩක් සැගවුනු සමලිංගිකයන් ලෙස (විශාල පරතරයක් තබා වුවත්) උපකල්පනය කලත් ඉන් ඉතුරු අඩ අයිති වන්නේ කුමන කණ්ඩායමටද යන්න වැදගත් ප්‍රශ්නයක්. මේ අනුව සමලිංගිකයන් හා ලමා අපචාරකයන් යනු එකම කණ්ඩායමක් යැයි පැවසීම අපරාධකරුවන් හා අනවසර සරණාගතයින් යනු එකම කණ්ඩායමක් යැයි පැවසීමට සමාන බව පෙනී යනවා. ඍජු සම්බන්ධතාවයක් ඇතැයි මුලින් සිතුනත් තර්කානුකූල ලෙස සොයා බැලුවොත් මොනයම් හෝ පදනමක් නොමැති මතයක්.

සමලිංගිකත්වය යනු ජීවන රටාවකි/තෝරා ගැනීමකි

සමලිංගිකත්වය යනු උපතින් තීරණය වන්නක් බව නොයෙකුත් විද්‍යාත්මක සාධක ඉදිරිපත් වී ඇතත් මෙයත් සාම්ප්‍රදායික සමාජයන් විසින් අත අරින්න ප්‍රතික්ෂේප කරන මතයක්. මෙම මතයෙන් ප්‍රධාන වශයෙන් කියවෙන්නේ සමලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය යනු යමෙකුට තෝරා ගත හැකි ජීවන රටාවක් බවයි. බොහෝ ඒක දේව වාදී ආගම් වල සමලිංගිකත්වය මරණ දඩුවම ලැබිය හැකි හැසිරීමක් ලෙස දක්වා තිබෙන නිසා සමලිංගිකයන් දෙවියන්ට එරෙහි ජීවන රටාවක් තෝරා ගත අය හැටියට හෙළා දැකීමක් මෙම සමාජ තුල දක්නට තිබෙනවා.

සමලිංගිකත්වය ලමුන්ට බලෙන් ආරෝපණය කිරීමට හැකි බවත්, පවතින මාධ්‍ය, සමාජ ජාල තුලින් සමලිංගික කණ්ඩායම් එවැනි දේ සිදු කරන බවත් ඉහත මතයට සමානව ලගින් යන, ඒ මත පදනම් වෙන හිතලුවක්. තෝරා ගත නොහැකි හැසිරීමක් ආරෝපණය කරන්නේ කෙසේද යන්න බොහෝ අය සැලකිල්ලට ගන්නේ නැහැ. ඒ වෙනුවට කුමණ්ත්‍රණ, රහස් සංවිධාන ආදී විකාර සම්බන්ධ කොට ගත් මිත්‍යාවන් පිලිගැනීමට සාම්ප්‍රදායික සමාජ සූදානම්.

HIV/AIDS සමලිංගික රෝගයකි

කලින් සදහන් කල ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායමක් වන වෙස්ට්බොරෝ බැප්ටිස්ට් පල්ලිය AIDS යනු සමලිංගිකත්වය වෙනුවෙන් දෙවියන් දුන් දඩුවම යන මතය ප්‍රසිද්ධ කිරීමට මූලික වී කටයුතු කලා. නමුත් මෙම මතයේ සාවද්‍යතාවය තේරුම් ගැනීමට HIV/AIDS වෛරසයේ ඉතිහාසය ගැන සොයා බැලිය යුතුයි.

HIV/AIDS වෛරසයේ ආරම්භය එම වර්ගයේම චිම්පන්සීන් අතර දක්නට ලැබෙන අවුරුදු 32000කට වඩා පැරණි Simian Immunodeficiency Virus ලෙස මේ වන විට සොයාගෙන තිබෙනවා. ඒ අනුව බොහෝ විට මෙය මනුෂ්‍ය ශරීරයට ඇතුලු වී පරිණාමය වී ඇත්තේ චිම්පන්සින් දඩයම් කොට මස් ආහාරයට ගැනීමෙන් විය හැකි බව පිලිගත් මතයයි.

වෛරසය ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුලු වී ඇත්තේ 70 දශකය තුල විය හැකි යැයි විශ්වාස කල හැකි නමුත් 80 දශකය මුල වන තෙක් කිසියම් ආකාරයක වසංගතයක් ඇතැයි වෛද්‍යවරයන්ගේ සැලකිල්ලට ලක්වන්නේ නැහැ. තරුණ සමලිංගිකයින් කිහිප දෙනෙකු විනාශ වූ ප්‍රතිශක්තීකරණ පද්ධති නිසා සාමාන්‍යයෙන් මහලු පුද්ගලයන්ට වැලදෙන රෝග වැලදී මිය යන අයුරු අධ්‍යයනය කරන විට මෙවැනි වෛරසයක් මිනිසුන් අතර පැතිර යන බවට ඔවුන් සොයා ගන්නවා. නමුත් මුල් අවධියේදී මෙය දරුණු ලෙස පැතිරෙන්නේ පිරිමි සමලිංගික කණ්ඩායම් අතර. මෙයට හේතු කිහිපයක් මුල් වෙනවා.

ඇමෙරිකාව තුල 60 සහ 70 දශකයේ සිදුවන ලිංගික විප්ලවය නමින් හැදින්වෙන සමාජ විපර්යාසය නිසා සමලිංගිකත්වය සහ පොදුවේ අනෙකුත් ලිංගික චර්යා පිලිබද සාපේක්ෂව ලිහිල් මතයක් සමාජ ගත වුනත් ආගමික සහ වෙනත් සාම්ප්‍රදායක කණ්ඩායම් වලින් දිගින් දිගටම සමලිංගිකයන් හට දැඩි විරෝධයක් එල්ල වෙනවා. මේ නිසා හැකි සෑම අයුරකින්ම ලිංගික චර්යාවේ යෙදීම එම සමාජ විරෝධයන්ට එරෙහි සිදු කල හැකි සාර්ථකම කැරැලි ගැසීම බව සමලිංගිකයන් අතර එවකට ජනප්‍රිය වන මතයක්. මේ නිසා බොහෝ විට නාදුනන පුද්ගලයන් සමග ලිංගික චර්යාවන්හි යෙදීම බහුලව සිදු වුනා.

පිරිමි සමලිංගිකත්වය හා සම්බන්ධ චර්යාවන්ගේ ස්වාභාවය නිසා HIV වෛරසයේ ආකාර කිහිපයක ආසාදන සම්භාවිතාව වැඩි විය හැකියි. ගැබ් ගැනීමේ හැකියාවක් නොමැති නිසා කොන්ඩම් ආදී ආරක්ෂක උපක්‍රම භාවිතා නොකිරීම මෙවැනි තත්වයකට එකතු කල විට ආසාදකයින් ගණන දෙගුණ තෙගුණ වීමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.

මුල් කාලයේ වෛද්‍යවරුන්ගේ මතය වුනේ HIV/AIDS බෝ වන්නේ පිරිමි සමලිංගිකයින් අතර පමණක් කියලයි. ගැහැණුන්ට මෙය බෝ වන්නේ නැති බව ඔවුන් තදින්ම විශ්වාස කලා. නමුත් ක්‍රමක්‍රමයෙන් ලිංග භේදයකින් හෝ ලිංගික නැඹුරුවේ භේදයකින් තොරව වෛරස ආසාදන තත්ව වැඩි වන විට ඔවුන්ට ආසාදනයේ නම GRID (Gay-related immune deficiency) සිට AIDS දක්වා වෙනස් කරන්න සිදු වුනා. අද වන විට AIDS ආසාදනය පැතිරීම සහ සමලිංගිකයින් අතර කිසිම ආකාරයේ සම්බන්ධතාවයක් නැති බවට ඔප්පු වී අවසානයි.

ආගමික බලපෑම

දියුණු යැයි සැලකිය හැකි රටවල ක්‍රම ක්‍රමයෙන් මෙවැනි මිත්‍යාවන් පසු බැස යන නමුත් ලෝකය පුරා පොදුවේ සමලිංගිකත්වයට එරෙහි මතවාදයන් තවමත් ශක්තිමත්ව පවතිනවා. මෙම විරෝධයේ ප්‍රධාන මූලය පිහිටලා තියෙන්නෙ ලෝකය පුරා බලවත් ලෙස පැතිරිලා තිබෙන ඒබ්‍රහමික ආගම් මූලධර්ම නිසා.

දෙවියන් වහන්සේ විසින් ඒබ්‍රහම් වෙත පොරොන්දු වූ දායාදයන් පිලිබද වෘතාන්තය මත පදනම් වෙන ආගම් ඒබ්‍රහමික ආගම් ලෙස හැදින්වෙනවා. ප්‍රධාන වශයෙන් මෙම කාණ්ඩයට යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අයත් වෙනව. මේ ආගම් තුන සරලව දෙවියන් වහන්සේගේ පණිවිඩයේ පිලිවෙලින් නවතම අනුවාද ලෙස සලකන්න පුලුවන්. ඒ අනුව ක්‍රිස්තියානුවන් මෝසෙස්වත්, මුස්ලිම් භක්තිකයන් ජේසුන්වත් පිලිගත් දේව වාක්‍ය පණිවිඩකරුවෙකු ලෙස පිලිගන්නා නමුත් එම පණිවිඩයේ නවතම ලියැවිල්ල තිබෙන්නේ තමන් අත යැයි සියල්ලෝම (ශතවර්ශ ගණනාවක් තිස්සේ මිනීමරා ගන්නා තත්වයක් වන තෙක්) ආරවුල් කරමින් තර්ක කරනවා.

මේ සමාන ලක්ෂණ නිසා සමාජ සාර්ධර්මයන් පිලිබද බොහෝ සංකල්ප මේ ආගම් තුනේම නොවෙනස්ව පවතිනවා. සමලිංගිකත්වය පිලිබද සන්දර්භයේදී දේව වාක්‍ය හැසිරෙන්නේ යක්ෂ වාක්‍යයක් ලෙසින්. යුදෙව්වන් සහ ක්‍රිස්තියානි භක්තිකයන් මෙවැනි අවස්ථාවල බොහෝ ලෙස හුවා දක්වන බයිබල පරිච්ඡේද තුල “මිනිසෙක් තවත් මිනිසෙක් සමග ගැහැණියක් හා හැසිරෙන්නා සේ හැසිරෙන්නේද එය පිලිකුල් සහගත ක්‍රියාවක් බවත් ඒ සදහා දඩුවම මරණය බවත්” ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. කුරාණයේ සමලිංගිකත්වයට එරෙහිව පැහැදිලිව සදහන් කර ඇති පරිච්ඡෙද අදටත් ෂරියා නීතිය ක්‍රියාත්මක වන රටවල සමලිංගිකයන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට හේතු වී තිබෙනවා. උගන්ඩාවේ මෑත කාලීනව ක්‍රියාත්මක වුන සමලිංගික විරෝධී නීති මාර්ග වලට ආසන්නතම හේතුව ලෙස සොයාගෙන ඇත්තේ ඇමෙරිකානු ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරකයින්ගේ බලපෑම්.

මේ අනුව මේ සමාජ විරෝධී ආකල්ප වල මූලික පදනම ප්‍රධාන වශයෙන් ගැබ් වෙලා තියෙන්නේ ඒක දේවවාදී ආගම් කිහිපයක බව පැහැදිලියි. මෙලෙස ලිංගික ක්‍රියාවලියක් සීමා කිරීමේ මූලික හේතුව ඒබ්‍රහමික ආගම් වලට කලින් පැවතුන පේගන් ආගම් යටපත් කිරීමේ උත්සහයක් බව මතයක් පවතිනවා. බොහෝ පේගන් ඇදැහිලි මිනිස් ලිංගික චර්යාවන් උත්කර්ශයට ලක් කලා. ඔවුන්ගේ පූජකයින් සහ පූජකවරියන් සමග ලිංගිකව හැසිරීම එක්තරා ආකාරයක දේව වන්දනාවක් වී තිබුනා. එවැනි ක්‍රියා යටපත් කොට නව නීති පද්ධතියක් ගෙන ඒමට උත්සහ කිරීම තුලින් සමලිංගිකත්වයට එරෙහි මතවාදයන් කරලියට පැමිණි බව කලින් සදහන් කල මතයෙන් පැවසෙනවා.

ඒබ්‍රහමික ආගම් තුල සමලිංගිකත්වයට එරෙහිව මෙවැනි ඍජු උපදෙස් අඩංගු වීම සම්බන්ධව පවතින තවත් මතයක් වන්නේ “ඵලදායී වී තම වර්ගයා බෝ කරන්න” යන දේව විධානයට සමලිංගිකත්වය විරුද්ධ වන නිසා බවයි. උපත් පාලන ක්‍රම වලට හා ගබ්සාවට කතෝලික පල්ලිය විරුද්ධ වීමේ ප්‍රධාන හේතුවත් මෙම විධානයට සම්බන්ධ සංකල්පයයි. ගෝත්‍රයක් වශයෙන් තමන්ගේ ඔලුගෙඩි ගණන වර්ධනය නොවන ක්‍රියාවන් අඩපණ කිරීම මෙහි මූලාරම්භය වෙන්න පුලුවන්.

අද වන විට බොහෝ යුදෙව් නිකායන් විසින් සමලිංගිකත්වය පිලි අරගෙන තිබුනත් තවමත් සමලිංගිකත්වයට තදින් විරෝධය පාන ක්‍රිස්තියානි නිකායන් බහුතරයක් තිබෙනවා. බොහොම සුලු නිකායන් ප්‍රමාණයක් සමලිංගිකත්වය පිලිගන්න නමුත් එවැනි නිකායන් බයිබලයේ ඍජු පරිවර්තනයෙන් එහාට ගිය නිකායන්. ඉස්ලාමය තවමත් වෙනස් වීමට අකමැති නිසා ගෝත්‍රික සාරධර්ම වෙනස් වී නැහැ. ඒ නිසා සියලු ප්‍රධාන ඉස්ලාම් නිකායන් තවමත් සමලිංගිකයන්ට මරණ දඩුවම පැනවීමට අනුබල දෙනවා.

මේ අනුව යුදෙව්, ක්‍රිස්තියානි, හෝ ඉස්ලාමය පැතිර ඇති රටවල මෙවැනි සමාජ විරෝධී ආකල්ප මුල් බැසගෙන තිබීම පැහැදිලි කරගන්න පුලුවන්. නමුත් වඩාත් සාමකාමී සහ ආධ්‍යාත්මිකත්වයට නැඹුරු බුද්ධාගම වැනි පෙරදිග ආගම් පැතිර ඇති රටවලත් පොදුවේ සමලිංගිකයන්ට එරෙහිව මතවාද මුල් බැසගෙන තිබීම මෙලෙස ඍජු ලෙස පැහැදිලි කරගන්න බැහැ.

අපරදිග ඒබ්‍රහමික ආගම් ඉහත සදහන් කල හේතු නිසා සමලිංගිකත්වයට එරෙහි වුනත් පෙරදිග ආගම් වල බොහෝ විට එවැනි පැහැදිලි විරෝධතාවයන් හොයාගන්න බැහැ. බුද්ධාගම, තාඔවාදය, හින්දු දහම, හෝ කොන්ෆියුසිස්වාදය වැනි දර්ශනවාදයන් පදනම් කරගත් ආගම් වල බොහෝ විට මනුෂ්‍යාගේ ලිංගික නැඹුරුව වැනි සුලු කරුණු ගැන අවධානය යොමු කරනවා අඩුයි. ඒ වෙනුවට ඒවා පොදුවේ හැගීම් පාලනය ගැන කතා කරන්න යොමු වෙනවා.

ථෙරවාද බුද්ධාගමේ මහණුන්ට කිසිම ආකාරයේ ලිංගික හැසිරීමක යෙදීම තහනම් කර තිබෙනවා. එවැනි නීතියක් කඩ කලහොත් දඩුවම ශාසනයෙන් නෙරැපීම. මෙය විශේෂයෙන් සමලිංගිකත්වයට අවධානයක් යොමු කිරීමක් නොවේ. ගැහැණුන් හා පිරිමින් වෙන වෙනම ගොඩනැගිලි වලට ගාල් කොට ලිංගික හැසිරීම් අවම කොට තිබෙන වටපිටාවක පාලනයකින් තොරව ලිංගික හැසිරීම් වැඩි වෙන්න පුලුවන් කියන දේ සමහර විට බුදුන්ට හෝ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල පූජකයින්ට සිතෙන්නට ඇති. දඩුවම ශාසනයෙන් නෙරැපීම යන්න අපරදිග ආගම් වල ඊට කිසිසේත්ම සමාන නොවන මරණ දඩුවමට සන්සන්දනය කරන්නවත් බැහැ. නමුත් නැවත නැවතත් කිව යුතු දෙයක් වෙන්නේ සමලිංගික හෝ විෂමලිංගික වශයෙන් ලිංගික නැඹුරුතාවය මත පාපයේ මට්ටම වෙනස් නොවන බව බුද්ධ වචනය හැදෑරීමෙන් සිතා ගන්න පුලුවන් යන්නයි. “කාමයේ නොවරදවා හැසිරෙන්නේනම්” හා අනෙකුත් ආකාරයෙන් පස් පව් නොකඩන්නේ නම් ඔබ ගිහියෙකු ලෙස කා සමග හෝ කෙසේ ජීවිතය ගත කලත් වෙනසක් නැහැ.

හින්දු ආගම ඇත්තෙන්ම ආගම් කිහිපයක එකතුවක්. ඒ නිසා එහි නොයෙකුත් දේ ගැන විවිධාකාරයේ මතවාද පුලුල් පරාසයක පැතිරිලා තිබෙනවා දකින්න පුලුවන්. සමලිංගිකත්වය ගැන බුද්ධාගමේ වගේ උදාසීන මතයක ඉදන් යම් තරමකට ඒ සදහා විරෝධාකල්පයක් දක්වන මට්ටමක් දක්වන තරමට පරාසයක් හින්දු ආගමේ තිබෙනවා. අතීත ඉන්දියාවේ ලිංගිකත්වය පිලිබද විවෘත ආකල්පයක් තිබන බව අපිට දකින්න පුලුවන්. කාම සූත්‍ර වැනි ලිංගික චර්යාවේ ඉතා ප්‍රසිද්ධ සාහිත්‍ය පවා බිහි වෙන්නෙ එවැනි පසුබිමක. ඒ නිසා බොහෝ වෙලාවට විවිධාකාර ලිංගික ආශාවන් ඇති මිනිසුන් සිටිය හැකි බවත් ඒ ආශාවන් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට අදාල දේවල් බවත් බොහෝ හින්දු කණ්ඩායම් වලින් පිලිගන්නවා.

ලංකාවේ තත්වය

මේ අනුව බලද්දි පෙරදිග රටවල සමලිංගිකත්වය පිලිබද සාපේක්ෂව ලිහිල් ආකල්පයක් පවතින්න ඕනෙ. නමුත්  යථාර්තය මීට වැඩිය වෙනස්. විශේෂයෙන් ලංකාවේ තාමත් සමලිංගිකත්වය පිලිබද තියෙන්නෙ මැද පෙරදිග අදහස්. සමලිංගිකයෙකුට “පොන්නයා” යනුවෙන් ඇමතීම වීරකමක් විදියටත් දේශපාලනිකව වලංගු තර්කයක් ලෙසත් තාම සමාජය පිලිගන්න බවක් පේනවා. බොහෝ කාලයක් විපක්ෂ නායකයෙකුව සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙම දේශපාලනික බහුබූතයේ ප්‍රධාන වින්දිතයෙක්. රනිල් වික්‍රමසිංහ අගමැති වීමම ලංකාවේ එවැනි තත්වයක් නැති බවට සාක්ෂියක් නොවේදැයි තර්ක කල හැකි නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ වීම නිසාම නොවන බවත් අදටත් ඔහු ප්‍රසිද්ධියේ තමන් සමලිංගිකයෙකුයැයි පැවසුවහොත් (ඔහු ඇත්තටම සමලිංගිකයෙකුනම්) තත්වය කෙසේ වෙයිදැයි සිතා ගත නොහැකි වීමත් නිසා එම තර්කය අහෝසි වෙනවා.

සංගක්කාරගේ හාදුවෙන් විනාශ වුනු හෙල සංස්කෘතිය

ෆේස්බුක් ලංකාවේ බුද්ධිය පිලිබද හොදම උදාහරණය නොවුනත් මෙවැනි අදහස් දරණ මිනිසුත් සිටිනවා කියන එක මතක් කරගන්න හොදම තැනක්. ආඩම්බරෙන් බෞද්ධයෙක් කියන්නේ ක්‍රිස්තියානි සාරධර්ම පිලිපදින ගමන්. ඒ නිසාමද මන්ද ලංකාවට කවුරුවත් වදින්න කලින් ලංකාවෙ තාමත් මිනිස්සුන්ට නීතිය ඉදිරියෙ සමානාත්මතාවයක් නැහැ කියල මුලු ලෝකෙම ඉදිරියෙ හෙලුවැල්ලෙන් පේනවා කියන එක දන්නෙ නැහැ.

පෙරදිග බොහෝ රටවල නීති සම්පාදනයට සහ නූතන සමාජ සාර්ධර්ම ගොඩ නැගීමට එවැනි ආවේණික ආගම් සහ සංස්කෘතික ලක්ෂණ වලට වඩා යටත් විජිත වාදී ආක්‍රමණික බටහිර සංස්කෘතික ලක්ෂණ සහ ආගම් යොදා ගෙන තිබෙනවා. මේ නිසා පුද්ගලයාගේ ලිංගිකත්වය වැනි සුලු හැසිරීම් වලට එරෙහිව නීති සම්පාදනය වී තිබීම සහ එම නීති වෙනස් කිරීම අපහසු වී තිබීම නිසා අදටත් සමලිංගිකයන් හට නිදහසේ ජීවත් වීමට වෙනම අරගල කිරීමට සිදු වෙලා තිබෙනවා. ලංකාවේ තත්වය පැහැදිලි කරගන්න පුලුවන් මෙන්න මේ විදියටයි.

ලංකාවේ LGBT අයිතිවාසිකම් පිලිබදව ප්‍රධාන වශයෙන් පැති දෙකක් සලකා බලන්න වෙනවා. සමාජය තුල LGBT අයිතිවාසිකම් පිලිබදව මුල් බැසගෙන තියෙන මතවාදය ගැන ඉහත පැහැදිලි කලා. නමුත් ප්‍රශ්නය ඒක විතරක් නම් ක්‍රමානුකූල දැනුවත් කිරීමක් විතරක් අවශ්‍ය වෙන්න තිබුනා.

ලංකාවේ නීති පද්ධතියෙනුත් මනුෂ්‍යයෙකුගේ ලිංගික නැඹුරුතාවය මත දඩුවම් පනවානම් වඩා ක්‍රියාකාරී පියවරක් ගන්න වෙන බව පැහැදිලියි. ව්‍යවස්ථාවට අනුව (12 වගන්තිය) සෑම මනුෂ්‍යයෙකුම සමාන බව පහත ආකාරයට සදහන් වෙනවා.

No citizen shall be discriminated against on the grounds of race, religion, language, caste, sex, political opinion, place of birth or any one of such grounds

නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති අනුව “ස්වාභාවික” නොවන ලිංගික ක්‍රියාවක යෙදෙන අයෙකුට දඩුවම් ලෙස අවුරුදු දහයක උපරිම සිර කාලයක් හා දඩයක් පැනවිය හැකියි.

365. Whoever voluntarily has carnal intercourse against the order of nature with any man, woman, or animal, shall be punished with imprisonment of either description for a term which may extend to ten years, and shall also be liable to fine.

365A. Any male person who, in public or private, commits, or is a party to the commission of, or procures or attempts to procure the commission by any male person of, any act of gross indecency with another male person, shall be guilty of an offence, and shall be punished with imprisonment of either description for a term which may extend to two years or with fine, or with both, and shall also be liable to be punished with whipping.

සාමාන්‍යයෙන් මෙවැනි වගන්ති මහජන විනය රැකීම වැනි දියාරු තර්ක වලින් ආරක්ෂා කරන්න හැදුවත් සාමාන්‍ය සමාජ සාරධර්ම සමග සන්සන්දනය කල විට මෙය බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පැහැදිලියි. වැඩිහිටි මිනිසුන් වෙනත් අයගේ අයිතිවාසිකම් කඩ නොවන පරිද්දෙන් හෝ සමාජයට හානියක් නොවන පරිද්දෙන් තමන්ගේ කැමැත්තෙන් කරන්නේ කුමක්ද යැයි සොයා බලා ඒ ක්‍රියාවලට දඩුවම් පැනවීමට රජයකට අයිතියක් තිබිය යුතු නැහැ. එකිනෙකාට ආදරය කරන (හෝ නොකරන) දෙදෙනෙකුගේ ලිංගික එක් වීමකින් රාජ්‍ය ආරක්ෂාවට හානි වෙනවානම් දඩුවම් කල යුත්තේ එලෙස දුර්වල ආරක්ෂාවක් සලසන රජයකටයි.

එක් අතකින් මෙවැනි වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට පැමිණෙන්නේ සහ ඒවා රැදී පවතින්නේ ලංකාවේ යම් තරමකට අදෘශ්‍යමානව පවතින බලපෑමක් වන කතෝලික පල්ලිය නිසා යම් වගකීමකින් පවසන්න පුලුවන්. දශකයකට පමණ පෙර DaVinci Code චිත්‍රපටියේ ලංකාවේ දර්ශනය කරනවාට විරුද්ධව පැවතුන එක් දුර්වල විරෝධතාවයක් නිසා එම චිත්‍රපටිය ලංකාවේ තහනම් වුනා. මේ සාමාන්‍යයෙන් ලංකාවේ විරෝධතාවයක් පැවැත්වූ විට ලැබෙන ප්‍රථිපලය නොවන බව අන්තරේ ශිෂ්‍යයන් ඔබට පවසාවි. කතෝලික පල්ලියේ බලපෑම අදෘෂ්‍යමාන වන්නේ ඒ නිසා. අදටත් කොන්ඩම් ආදී උපත් පාලන ක්‍රම භාවිතයට කතෝලික පල්ලියේ විරුද්ධ වීම් රජයන් දෙදුරුම් කන තත්වයට බලපානවා. යටත් විජිත නීති පද්ධතියේ නටඹුන් වෙන ඉහත වගන්ති නවීන සමාජයට ගැලපෙන විදියට වෙනස් නොවෙන්නෙ ඒ බලපෑමට විරුද්ධ වෙන්න කවුරුවත් කැමති නැති නිසා වෙන්න පුලුවන්.

රටක් වශයෙන් මෙවැනි ගල් යුගයේ මතවාද වලින් අප එලියට පැමිණිය යුතු කාලය පසු වෙලාත් ගිහින්. ඉහත සදහන් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව ඔප්පු කොට ඒවා වෙනස් කිරීමට තවමත් කිසිම දේශපාලකයෙක් උත්සහයක් අරගෙන නැහැ. එවැනි කාර්යයක් මූලිකත්වය ගන්නා අයෙකුට ඉහත සදහන් කල සමාජ මතවාදය වෙනස් කිරීමේත්, කතෝලික පල්ලිය, මුස්ලිම් ප්‍රජාව හා බුද්ධාගම නොදන්නා බෞද්ධයින් ආදී බලපෑම් යටපත් කිරීමේත් බැරෑරුම් කාර්යභාරය පැවරෙනවා. ලංකාවේ දේශපාලකයෙකු ලෙස එවැනි ජනහිතකාමී වැඩකට අවදානමක් ගැනීමට කවුරුවත් කැමති වෙන්නේ නැහැ (කැලෑ කැපීමක්, කොමිස් ගැහිල්ලක් හැර). නමුත් සමාජයක් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය වන්නේත් එවැනි දේශපාලකයින්.

පුද්ගල නිදහස ඉහලින් තබා සලකන, පුද්ගල නිදහසට ව්‍යවස්ථාව හා නීති පද්ධතිය තුලින් ආරක්ෂාව සලසන රටවල් අනෙක් රටවලට සාපේක්ෂව සියලු පැති වලින් දියුණුව ලබන බව ලොව පුරා නොයෙකුත් නිදසුන් වලින් දකින්න පුලුවන්. ඒ තමන් කුමන අවස්ථාවේ පහර කෑමකට, ඇනුම් පදයකට හෝ අත්අඩංගුවට පත් වී සිරගත වේ දැයි අනවශ්‍ය බියකින් තොරව පුද්ගල දියුණුව වෙනුවෙන් වැඩ කිරීමට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම නිසයි. පුද්ගලයෙකුට ආත්ම ගරුත්වයකින් යුතුව තම කටයුතු කර ගෙන යෑමේ ඉඩ සැලසීම තුලින් ඵලදායි පුද්ගලෙයක් ආර්ථික වර්ධනයට එකතු වීමත්, එකිනෙකාට ගරු කිරීම තුලින් සමාජ සාරධර්ම වර්ධනයත්, ආරක්ෂිත වටපිටාවක් සැලසීමෙන් පුද්ගලයා කරදරයකට පත් නොවී සිටීමට උත්සහ ගන්නා තත්වයක සිට තමාගේ උපරිම සඵලතාවය ලගා කර ගැනීමට උත්සහා ගන්නා තත්වයකට ලගා වීමත් මේ දියුණුවට හේතු වෙනවා.

යම් අයෙකු ආගමානුකූලව සමලිංගිකත්වය පාපයක් ලෙස සිතනවානම් ඔහු හෝ ඇය ඒ අනුව ජීවත් වීමේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් ආගමක් පදනම් කරගෙන මිනිසුන්ගේ පෞද්ගලිකත්වය පාලනය කිරීමට නීතිමය රාමු ක්‍රියාත්මක කිරීම අනුමත කරන්න බැහැ.

ලංකාවේ සමලිංගික ප්‍රජාවක් ක්‍රියාකාරීව මෙම අරමුණු ඉටු කර ගැනීමට උත්සහා ගන්නා අයුරු පේන්න නැහැ. ඉහල පන්ති වල ප්‍රජාවන් තුල ප්‍රගතිශිලී යැයි සැලකිය හැකි ආකල්ප පෙනෙන්න තිබුනත් ඒවා සමාජ කතිකාවතක් දක්වා වර්ධනය කිරීමට ඔවුන් උත්සහා ගන්නා බවක් පෙනෙන්නට නැහැ. Colombo Pride වැන්නක් සංවිධානය කිරීමට පෙර නීතිමය බාධාවන් ඉවත් කර ගැනීමට උත්සහයක් ගත යුතුයි. දේශපාලනිකව කතිකාවතක් ගොඩ නැගියි යුතුයි. ප්‍රජාවකින් 1%-3%ක් අතර පූර්ණ සමලිංගිකයින් වන තත්වයක (සමලිංගිකත්වය හා විෂම ලිංගිකත්වය On/Off අාකාරයේ තත්වයන් නොව ලිංගික නැඹුරුව පුලුල් ආකාරයේ පරාසයක් බව මතයක් ඉදිරිපත් කලේ 50 දශකයේදී ඇල්ෆ්‍රඩ් කින්සිගේ කින්සි වාර්ථා තුලින්) සමලිංගිකයින් සිටින්නේ ප්‍රභූ පාන්තික ප්‍රජාවන් තුල විතරක් වීම විය නොහැකියි.

අවශ්‍ය ප්‍රමාණයට වඩා දීර්ඝ වුනු මෙම ලිපියේ අරමුණ වුනේ සමලිංගිකත්වය පිලිබද පසුබිම හා එහි ලංකාවේ සන්දර්භය ගැන වැදගත් යැයි සැලකෙන කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම. එයත් විෂම ලිංගිකයෙකුටම කරන්නට සිදුවීම එක්තරා ආකාරයකට මෙම ලියුමේ අවශ්‍යතාවය ඔප්පු කරනවා.

ප.ලි: Accept ෆේස්බුක් පිටුව

බුදු චූටි මල්ලියෙ

ඡන්දෙ කාලෙට යන නාට්ටි විවිධාකාරයි. සමහර ඒවා අලුතෙන් පැකිං කඩපුවා. ඒත් අද මාතෘකාව කාලයක් තිස්සෙ පාවිච්චි කරල හම ගහපු එකක්.

(ආදරණීය) චූටි/පොඩි/බුදු/තරුණ (අලුතෙන් ඡන්දෙ දාන) මල්ලියෙ/නංගියෙ,

අවුරුදු තිහ තිස්පහ පනිද්දි සෙට් එකකට එනව ආසාවක් පොඩි චරිතයකට පණ පොවන්න. “දේශපාලනිකව පරිණත මහදැනමුත්තා” චරිතය. මේ අය අදුන ගන්න පුලුවන් ලේසිම ක්‍රමය තමයි මැජික් වචනෙ, “මල්ලි!”.

“මල්ලි උඹල දන්නෑ…..”

“මල්ලි මෙන්න මෙහෙමයි…….”

“මල්ලි මතක තියා ගනින්…….”

“මල්ලි… වෙලාව කීයද?”

“මල්ලි හරි මල්ලි *පිටට තට්ටුව*

මල වදේ!

පල්ලෙහා තියෙන්නෙ අලුත් වර්ෂන් එක.

අනේ බුදු මල්ලියෙ

අනේ බුදු මල්ලියෙ

මේවගේ පින්තූර ටිකක් කලින් සැරෙත් එහාට මෙහාට මාරු වුනා. 89දි හැටදාහක් මැරුවය කියන එක යූඑන්පීයටයි ජවිපෙටයි බැස්ටිය දෙන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ඒ බැස්ටිය මාරු වෙන්නෙ “අනේ මරාට ඡන්දෙ දෙන්න” කියන වත්තට. මේ මාර ලොජික් එකේ තියෙන අවුල බැලූ බැල්මට පැහැදිලි වෙන්න ඕන වුනත් මේ දේශපාලනිකව පරිණත වෙච්ච එවුන්ට තේරෙන්න ටිකක් වචන වැඩි කරල ලියන්න වෙනව.

ලංකාවෙ තරුණ තරුණියො සමූල ඝාතනය කරපු ප්‍රධාන කාල වකවානු තුනක් තියෙනව (මාරයි ආඩම්බරයි!). 71, 89, සහ අවසාන ඊලාම් සටන. 71 කියන්නෙ ලෝකෙ පලවෙනි කාන්තා අගමැතිනිගෙ නිදහස් පක්ෂෙ ප්‍රමුඛ සභාග ආණ්ඩුවෙ බැතිබර දායකත්වයෙන් බර ගාණකට වග කියපු කාලෙ. 88-89 තුනෙන් දෙකේ බලයකින් දශකයකට කලින් පාර්ලිමේන්තුවට යවපු පක්ෂයකින් දායකත්වය දුන්න දාන (මාර) පිංකම. 2009 සිවිල් යුද්දෙ 40000ක සිවිල් වැසියො මරන්නැතුව ඉවර කරන්න පුලුවන්කම තිබුනද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.

දැන් මේ කාල වකවානු තුනටම පොදු පක්ෂෙ මොකද්ද? බැරිද?

පොදු දෘෂ්ඨිවාදයක්? පොදු මරු සිටින දිශාවක්? ඒ තාලෙ අල්ලන්න අමාරුයි.

මොකද ප්‍රශ්නෙ තියෙන්නෙ 71ටත් එහා ඉදන් තියෙන දේශපාලනික චින්තනයෙ. රුසියානු/කියුබානු මාක්ස්වාදය, ඊලාම්වාදය (නැත්තං පිරිසිදු වතුර?) වගේ දේශපාලනික අදහස් වලට අදේශපාලනික ප්‍රචණ්ඩත්වයෙන් සාර්ථකව උත්තර දෙන්න පුලුවන්ය, ප්‍රචණ්ඩත්වය තියෙන එකම උත්තරේය, පාලකයො විසින් මේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවාය කියන චින්තනේ. මේ චින්තනයට පක්ෂ භේදයකින් තොරව ලංකාවෙ බලයෙ හිටිය ප්‍රධාන පක්ෂ දෙක ඉත සිතින් පක්ෂපාතීයි. කාලයක් හැදිලා තිබුන මාක්ස්-ලෙනින්වාදයෙන් සනීප වෙලා ඉන්න බවක් පෙනුනත් අවසන් ඊලාම් යුද්දෙදි ජවිෙප පෙන්නපු ස්ථාවරය අපැහැදිලි නිසා මේ චින්තනයට ජවිපෙ දායකත්වය කොච්චරද කියල කියන්න අමාරුයි. හැබැයි සන්ධානෙයි එජාපයයි මේ චින්තනෙන් කොච්චර පෝෂණය වෙලා ඉන්නවද කියන එක බලන්න බලය ටිකක් වැඩි පුර (තුනෙන් දෙකක් විතර) දීලා පොඩ්ඩක් උද්ඝෝෂණය කරල බලන්න. රෝහල්/අවමංගල්‍ය ගාස්තු ඉල්ලං එන්න එපා හැබැයි.

මේ හේතුව නිසා මහින්ද ආවාම ඔක්කොම හරි මානසිකත්වය කිසිම පදනමක් නැති දෙයක්. කලින් කියපු චින්තනයට ප්‍රධාන වශයෙන් පහුගිය කාලෙ දායකත්වය දුන්නා කියන දේ අමතක කලත් උඩු රැවුල තියෙන මනුස්සයෙක් රටේ පාලනයට දැම්ම ගමන් ආයෙ පාරක් 88-89 එන්නෙ නෑ කියන කිසිම විදියකින් සහතික වෙන්න බෑ. ඒක සහතික වෙන්න නං ප්‍රජාතන්ත්‍රවාදයට මීට වඩා කැමති වෙන්න වෙනව. මැරයෙක් ලව්ව පාලනය වෙන්න තියෙන ෆෙටිෂ් එක නැති කරගන්න වෙනව.

මේ මොනව කිව්වත් මහදැනමුත්තල එක්ක මේක පැහැදිලිව කතා කරගන්න කොහොමත් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට පොඩි කින්ඩියක් හැංගිච්ච සියල්ල දත් මන්තර විතරක් කියවද්දි සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න අමාරුයි. ඒ නිසා ඒ තැන්වලදි පාවිච්චි කරන්න පුලුවන් තනි උත්තරයක් පහල විදියට හදන්න මම උත්සහ කලා. කොපිරයිට් නැහැ, public domain.

“අනේ නිකන් පල පකයො* යන්න. දශක ගාණක් ඡන්දෙ දාපු එක දේශපාලනික පරිණතභාවය කියල හිතන් ඉන්න උඹල තමයි රට මේ තත්වයට දැම්මෙ. 71දි කොල්ලො මරද්දි, 89දි ටයර් දාද්දි, තිස් අවුරුද්දක් මරා ගන්න වැඩ සලසද්දි ඡන්දෙ දැම්මෙ අපි නෙමෙයි, උඹලා! ඒ දේවල් කලේ උඹලගෙ ඡන්දෙන් ආපු මිනිස්සු. මිනිහ මැරුණ කියල ගෑණිට අනුකම්පා ඡන්ද එක පාරක් නෙමෙයි දෙපාරක් දැම්මෙ උඹල. කොටින්ම අපිට දැන් රනිල්ට එහා යන්න පුලුවන් ඔප්ෂන් එකක් නැති කලෙත් උඹල.

රට ඒ තත්වෙට දාපු උඹලට කොහොමද බං පඩි ටෝක් දෙන්න කොන්ද පණ ආවෙ? මේවා ෆේස්බුක් දාන උඹල වෙන රටවලට පැනල ඉන්නෙ මූණ දෙන්න බැරි නිසාද බං? උඹ violence මනින්නෙ මැරුණ ගාන බලලද? රතුපස්වල, හලාවත, කටුනායක හැටදාහක් මැරුණෙ නැති නිසා මහින්ද ප්‍රේමදාසට වැඩිය හොදාද? ගෝඨා රන්ජන්ට වැඩිය හොදාද? අනේ බං උඹයි මායි දන්න දේශපාලනේ!

උඹ රට ඉන්න නිසා දන්නැතුව ඇති. අර සාගර අයියව ගොරක ගහට බැදලා වෙඩි තියල මදිවට ටයර් දාපු පිලියන්දල ඇමතියා දැන් අප්පච්චි ගාවින් හෙල්ලෙන්නෑ. පොලිස් ජීප් සපයපු සුපිරින්ටෙන්ඩන්ට් ඊයෙ පෙරේදා ලොකු පෝස්ට් එකක් අරගෙන පැන්ෂන් ගියා. චණ්ඩි මල්ලි සාක්කි දෙන්ඩ ගිහින් වැඩේ පත්තු කරගත්තා. පුංචි නිලමේ නං අප්පච්චිට සෙට් වෙලා ඩිලාන් එක්ක හිනාව දාගෙන ඉන්නව. මර්වින් මහත්තයව නං නිවුස් වල දකින්නැතිනෙ? ඉස්සරනං මේව කියන්න බයයි, සුදු පාට වෑන් ජාතියක් නිසා. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ, අගමැතිට පකයා කියලත් පාරෙ බැහැල යන්න පුලුවන්.

*ආ පකයා කිව්වට තරහ ගන්න එපා. ඒක හොද වචනයක්ලු. එහෙම කිව්වෙ අප්පච්චිගෙ දගකාර pseudo-වමයා, වාසු. එයා ඒක කිව්වෙ අත්දෙක පිටිපස්සට හෙම අරගෙන, හරියට අර එක්සත් ජාතීන්ගෙ සමුළුවට ගිය පිදෙල් වගේ. බලන්ඩෝනෙ ගාම්භීරකම. “

අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව

Political Correctness යන්නට සුදුසු සිංහල යෙදුමක් සෙවීමට බොහෝ සේ උත්සහ කල නමුත් සොයා ගැනීමට නොහැකි වූ නිසා ඉංග්‍රීසි යෙදුම භාවිතා කරනු ලැබේ.

සාමාජීය සත්වයෙකු ලෙස තම අදහස් ප්‍රකාශ කිරීම, එසේ ප්‍රකාශ කල අදහස් පිලිගැනීමටත් වඩා අත්‍යවශ්‍ය අංගයක් ලෙස මිනිසා සලකයි. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට විසි එක් වැනි සියවසේ අප සිටින ස්ථානයට ලඟා වීමට අදාල සංවර්ධනයට මූලික වන්නේ එකිනෙකාගේ අදහස් නොපැකිල ප්‍රකාශ කිරීමත් ඒ ඒ අදහස් විචාරයට විවේචනයට ලක්කොට වඩාත් නිවැරදි අදහස ක්‍රියාවට නැංවීමත් යන සාධකයි.

පුද්ගලයෙකුගේ සිත තුල අදහසක් මතු වන අවස්ථාවක් නිශ්චිත වශයෙන් හැඳින්වීමට නොහැක. බොහෝ විට අදහසකට පාදක වන්නේ ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය නිමිත්තකි. එසේත් නැති නම් නින්දට යෑමට මොහොතකට පෙර සිත තුල උත්පාදනය වන විකාර සිතුවිල්ලකි. මේ කුමක් පාදක කර ගත්තත් අදහසකට යම් කිසි ආකාරයක යුක්තියක් ඉටු වන්නේ එය වෙනත් අයෙකු හා සාකච්ඡා කල පසුවය.

යම් කිසි කාල වකවානුවක පවතින ප්‍රසිද්ධ අදහස් සියල්ල ඒ කාල වකවානුවට සාපේක්ෂව නිවැරදි, වලංගු හා හානිදායක නොවන බව කිසිසේත්ම කිව නොහැක. එම අදහස් ගොන්නේ සැලකිය යුතු ප්‍රතිශතයක් එම කාල වකවානුවට සාපේක්ෂව විවේචනයට ලක් කොට වෙනස් කල යුතු වේ. මානව ශිෂ්ඨාචාරයේ සංවර්ධනය ඇති වන්නේ එම ක්‍රියාවලියෙනි. තාක්ෂණය, විද්‍යාව, සදාචාරය ආදී සමාජයක පවතින ප්‍රගමනය වන ලක්ෂණ සියල්ලකගේම ගමන සටහන් වන්නේ එක් එක් තැන් වලදී එතෙක් පැවතුන අදහසකට පටහැනි, එම අදහස විවේචනය වන නව අදහසක පිලිගැනීමත් සමඟිනි.

නොවැදගත් යැයි සිතිය හැකි අදහසක් පවා ප්‍රකාශ කර කතිකාවතකට ලක් කල යුත්තේ ඒ නිසාය.

අන්තර්ජාලය, ලෝකය පුරා වෙන් වෙන්ව විසූ සමාජ රැසක් එක සමාජ තලයකට රැගෙන ඒමට සක්‍රීයව දායක වන සංකල්පයකි. වෙන් වෙන්ව වලංගු වන සදාචාර සංග්‍රහයන්, තාක්ෂණික මට්ටම් ඉතා සීඝ්‍රයෙන් එක්සත් වීමකට ලක් වෙමින් පවතී. දෙමාපියන්ගේ කීමට යටත් නොවූ තරුණ ගැබිණි කාන්තාවක් ගල් ගසා මරා දැමීම තව දුරටත් “සාපේක්ෂ සදාචාරයට“ අනුව සාධාරණීකරණය කල නොහැක. ලෝකයේ එක් කොණක පැල වී පෝෂණය වන අදහසක් ඇසිපිය හෙලන ඉක්මනින් අනෙක් කොණට ලඟාවී කතිකාවකට ලක්වීම අන්තර්ජාලයේ බල මහිමයට පින් සිදු වන්නට ලඟා වී ඇති තත්වයකි. ඉන් පෙර සියවස් ගණනාවක් තුල සිදු වූවාට වඩා සදාචාර දියුණුවක් (moral zeitgeist) හා දැනුම් සම්භාරයේ දියුණුවක් පසුගිය සියවස හා මේ සියවස මුල් දශකයේ සිදු වීම ඒ සඳහා කදිම නිදසුනකි. ලෝකය දැන් එක්ව ගමනක් යාමට ආරම්භ කර ඇත.

මේ අනුව තම තමාගේ අදහස් වඩාත් විවෘත හා නානාප්‍රකාර වූ සභාවකට යොමු කිරීමට අන්තර්ජාල පරිශීලකයින්ට අවස්ථාව ලැබී ඇත. Facebook status එකක්, ට්විටර් පණිවිඩයක්, Reddit post එකක් තුලින් තමාගේ සිතැඟි ප්‍රකාශ කොට ඒ සඳහා ප්‍රතිපෝෂණයක් ලබා ගැනීම එතරම් අමාරු කර්තව්‍යයක් නොවේ. සැබෑ සමාජයේ ප්‍රකාශ කිරීමට යම් යම් බාධා ඇති අදහස් ප්‍රකාශ කිරීමද අන්තර්ජාල සමාජ ජාල තුල වැඩි කරදරයක් නොමැතිව කල හැක්කේ අන්තර්ජාලය සම්බන්ධව ඇති නිදහස හා විවෘත භාවය හේතුවෙනි.

අවාසනාවට මේ ලිබරල් වටපිටාව තුලින්ම පැන නගින තවත් සංකල්පයක් නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වරින් වර පාගා දැමීමකට ලක් වෙමින් පවතී. ප්‍රකාශ කිරීමට යෙදෙන අදහසක් politically correct නැතිනම් එහි වලංගු භාවය විමසීමකින් තොරව ඉවතට විසි කෙරෙන අතර ප්‍රකාශ කරන්නාද විවිධ ගැරහීම් වලට ලක්වන අයුරු දැක ගත හැක. විශේෂයෙන්ම අන්තර්ජාලය තුලදී මෙම තත්වය දක්නට හැක්කේ අදහස් විවේචනයට වඩා අදහසකට ගරු කිරීම වැදගත් යන්න විශ්වාස කරන ජනප්‍රිය නව ලිබරල් කාණ්ඩය තුලිනි.

Political correctness යන්න වාමාංශික පරිසරයකින් පැන නැගී, නව ලිබරල් හා කොන්සර්වේටිව් අන්ත දෙක අතර වෙනසක් නොමැතිව ප්‍රකාශනයේ නිදහස පාගා දැමීම සඳහා භාවිතා වන අායුදයකි. කොන්සර්වේටිව් අන්තයේදී නව අදහස් සමාජය තුල කතිකාවතකට ලක් වී පැල වීම වැලැක්වීමට එය භාවිතා කෙරෙද්දී, ලිබරල් අන්තයෙන් “මොන මගුලකට“ ක්‍රියාත්මක වන්නේ ද සිතා ගැනීමට නොහැක මට්ටමකින් political correctness භාවිතා කෙරේ. බොහෝ විට ජනප්‍රිය ලිබරල් මතවාදය පුද්ගල නිදහසට වඩා අදහස් කාණ්ඩ වල නිදහස සලකන මට්ටමකට පරිණාමය වී තිබීම මෙයට හේතු වී තිබිය හැක.

මේ අනුව සාපේක්ෂ සංස්කෘතීන්, සාපේක්ෂ සදාචාරයන් වැනි යෙදුම් නිතර භාවිතයට ලක් වෙන බවක් පෙනීමට ඇත. ඉහත සඳහන් වූ ගැබිණි මාතාවක් ගල් ගසා මරා දැමීම එම සංස්කෘතියට “සාපේක්ෂව“ අපරාධයක් නොවන බවත් එවැනි ක්‍රියා වල සදාචාරය මැනිය යුත්තේ අදාල සදාචාර සංග්‍රහයට අනුව බවත් මෙවැනි ලිබරල් මතයන් තුලින් නිතර කියැවේ. එසේ නොවන බවට විවාද කෙරෙන ඕනෑම අදහසක් politically correct නොවන්නේ එම ක්‍රියාව සිදුවුන සමාජ කොට්ඨාශයට එම විවේචනය මගින් “අවමානයක්“ සිදු විය හැකි බැවිනි. මේ ඡේදය දෙතුන් වතාවක් කියවූවත් එම අදහසේ ඇති ඛේදනීය විසුලු ස්වාභාවය ඉවත ලෑමට නොහැක.

බොහෝ සමාජ කොට්ඨාශයන්ගේ සදාචාර සංග්‍රහයන්ට පාදක වන්නේ එම සමාජයේ බහුතරයක් දරන අදහස් වට්ටෝරුවයි. ඒ අනුව එම සදාචාර මාලාවන් විවේචනය කිරීමෙන් අවමානය සිදුවනවා නම් සිදු විය යුත්තේද එම අදහස් වලටය. අදහස් වලට අවමානයක් සිදු විය හැකිද? අදහසක් විවේචනය නොකල යුතුය යනුවෙන් අයිතියක් සඳහන් වන්නේද?

අදහස් වලට අයිතීන් අර්ථ දැක්වීම සිදු කල නොහැක්කේ එසේ අයිතීන් අර්ථ දැක්වීම තුලින් අදහසකට එකතු විය හැකි යැයි සැලකෙන දෙයක් නොමැති හෙයිනි. අදහසකට යමක් එකතු වන්නේ ඒ අදහස විචාරයට හා විවේචනයට ලක්කොට නිපදවන තවත් අදහසකිනි. මිනිසෙකුට අයිතිවාසිකමක් ඇත්තේ එම අයිතිවාසිකම තුලින් මිනිසාට ලැබෙන දෙයක් ඇති බැවිනි. අදහසක් යනු භෞතික නොවන සංකල්පයකි. අදහසක් තුලින් මිනිස් ජීවිතයේ වෙනස්කමක් විය හැකි නමුත් අයිතීන් අර්ථ දැක්වෙන්නේ භෞතික ජීවත් වන ජීවි මට්ටමකින් නිසා අදහසකට විවේචනය නොවී සිටිය යුතු යැයි අයිතියක් අර්ථ දැක්වීමේ තේරුමක් නොමැත.

මෙය අලුතින් සමාජයට හඳුන්වාදෙන සදාචාර සංකල්පයක් නොවේ. පොතක් කවියක් ලියන අයෙකු එම පොතට හෝ කවියට නිර්දය ලෙස විවේචනය කරන විචාරකයෙකුගෙන් වන්දි ඉල්ලා නඩු නොදමන්නේ අදහස් වලට අයිතින් නැති බවත් ඒවා විචාරයට ලක් විය යුතු බවත් සමාජය පොදුවේ පිලි ගන්නා හෙයිනි.

ආගම් සම්බන්ධයෙන් ද තර්කය වන්නේ මෙයයි. ආගමකට ගරු කල යුතුයැයි පැවසීම තේරුමක් නැති කතාවක් වන්නේ ආගමක් යනු අදහස් ගොන්නක එකමුතුවක් වන නිසාවෙනි. යම් ආගමක් විවේචනය කිරීමෙන් එම ආගමේ ආගමිකයෙකුට නින්දාවක් සිදුවන්නේ නම් එය ඔහුගේ/ඇයගේ අයිතීන් කඩ වීමක් නොවේ. ඒ, නින්දාවට ලක්වන අදහස් දැරීම තුලින් නින්දාවට ලක්වීමේ මාවත තෝරාගෙන ඇත්තේ ඔහු/ඇයි විසින් නිසාවෙනි. උදාහරණයක් ලෙස සියලු සමරිසි පුද්ගලයින් ගල් ගසා මැරිය යුතු යැයි පවසන ආගමක එම කරුණ විවේචනය කිරීම මගින් යම් අයෙකු ඔහුගේ/ඇයගේ ආගමට නිගරු කලේ යැයි පවසන විට එම කරුණ විවේචනය කිරීම මගින් සිදුවන නින්දාවත්, ඔහුගේ අදහස නිසා ජීවිත අනතුරට ලක්වීමත් සන්සන්දනය කර බැලිය හැක. එම නිසා එක්කො ඔහු/ඇය විසින් එම අදහස හේතු සහිතව විචාරයට ලක් කොට ගත් අදහසකට වෙනස් කර ගත යුතුය. නැතිනම් එම අදහස ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.

People have rights, ideas don't. නැවතත් පැහැදිලි කිරීමකට ලක් කිරීමට islamophobia යන වදන කදිම නිදසුනකි. Islamophobia යන්න ඉස්ලාමයේ ඇති සමාජ විරෝධී ආකල්ප විවේචනය කරන ඕනෑම අයෙකු නිහඬ කිරීමට යොදා ගන්නා වචනයකි. නමුත් සත්‍ය වශයෙන් islamophobic වන්නේ දකින දකින ඕනෑම ඉස්ලාම් භක්තිකයෙකු දුෂ්ඨ පහතට හෙලිය යුතු අයෙකු වශයෙන් සැලකීමයි. දකින ඕනෑම ඉස්ලාම් භක්තිකයෙකුට “අඩෝ තම්බියා“ වශයෙන් ඇමතීමත්, ඉස්ලාමය ආගමක් ලෙස විවේචනයට ලක් කිරීමත් අතර ඇත්තේ අහසට පොළොව වැනි පරතරයකි.

අදහසක් විවේචනය කිරීම යනු අදහසක ඇති වලංගු හෝ අවලංගු භාවය හේතු සහිතව තාර්කික පදනමකින් සිදුවන්නකි. විවේචනය භාවාත්මකව කල හැකි නමුත් එසේ කිරීමෙන් මූලික අදහසට එකතු වන යමක් නැති හෙයින් අදහසක් භාවාත්මකව, හැඟීම්බරව විචාරයට විවේචනයට ලක් කිරීම හරයක් නැති ක්‍රියාවකි. එලෙසම politically correct වීමට ඉල්ලා සිටීමද භාවාත්මක ක්‍රියාවකි. ඉතිහාසය තුල දැනුම දියුණු වීම සම්බන්ධයෙන් පාඩමකට ගත හැකි වන්නේ තාර්කික බුද්ධියෙන් මිස භාවාත්මක හඬා වැලපීම් වලින් නව දැනුමක් සොයා නොගත් බවයි. නමුත් අද වන විට මහා පරිමාණයෙන් සිදු වන්නේද භාවාත්මක වැලපීම් වලින් තාර්කික බුද්ධිය වැසී යාමයි.

සමාජ කොට්ඨාශයක් තුල අදහස් ප්‍රකාශ කිරීම පාලනය කරන්නේ political correctness විසින් නම් බොහෝ විට අදහස් ප්‍රගමනය අඩාල වීමට එය බලපානු ලැබේ. බහුතරය එකඟ නොවන, බහුතරයේ මතයට politically correct නොවන මතයක් ඉදිරිපත් කිරීම තුලින් සමාජයේ කොන් වීමට ලක් වීමත් ගැරහීමට ලක් වීමත් සිදුවන්නේ නම් විරුද්ධ මත ඉදිරිපත් විම සීඝ්‍රයෙන් අඩු වන බව නිරීක්ෂණය කර ඇති සංසිද්ධියකි. බොහෝ මර්ධනකාරී ආගම් ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යන්නේද මෙම සංසිද්ධිය හේතුවෙනි. විරුද්ධ මතයන් ඉදිරිපත් වීම අඩු වන විට බහුතර මතය දරන්නන්ද වැඩි වන අතර බොහෝ ආගමික රටවල් ගල් යුගයේ අදහස් වල සිර වී සිටීමත් ඒ අදහස් වලින් ගැලවීම අපහසු වීමත් spiral of silence න්‍යායයෙන් පැහැදිලි කරයි.

වර්තමානය වන විට අන්තර්ජාලය තුල විරෝධාකල්ප ප්‍රකාශ කිරීම රැකියාව හෝ කලාතුරකින් ජීවිතයද නැතිවීමේ තත්වයක් බවට පත්ව ඇත්තේ රට තුල පවතින දේශපාලනික පරිහාණිය හේතුවෙනි. ඒ කල්දේරමට political correctness එකතු වූ විට ලැබෙන ප්‍රතිඵලය වන්නේ කිසිම අාකාරයකින් වෙනස් මතයක් ඉදිරිපත් කිරීම අනුමත නොකරන සමාජ කොට්ඨාශයකි. මේ වන විටත් ජනප්‍රිය ලිබරල් රැල්ල විසින් ආගම් හෝ සංස්කෘති සම්බන්ධයෙන් විවේචනාත්මක මත පල කිරීම ආශ්‍රයෙන් ස්වයං වාරණයක් පනවා ගෙන ඇති අතර එසේ මත පල කරන්නන් පසු බට කරවීමේ ක්‍රියාවලියක් ද ගෙන යමින් පවතී. අන්තවාදීන්ගේ හිත් පෑරෙන ලෙස අදහස් පල නොකරන ලෙස අවවාද කරන මොවුහු හැට ගණන් වල හිපියන් සේ අන්තවාදීන් සමඟ ගිනි මැලයක් වටේ ගීතයක් දෙකක් ගායනා කොට ඩොල්ෆින්ලාගේ පිට උඩ ලෝකය නැරඹීමට යාමට සිහින දකිති.

“හැම ආගමක්ම කියන්නෙ සහයෝගයෙන් සාමයෙන් ඉන්න කියල“ වැනි පදනමක් නොමැති බහුබූත දොඩවන මොවුන් තේරුම් නොගන්නේ සෑම අදහසක්ම සමාජ හිතවාදී නොවන බවයි. සෑම අදහසක්ම තාර්කික බුද්ධියේ සියුම් විවේචනයට ලක් කල යුත්තේ ඒ නිසාය.

Political correctness තුලින් සමාජයක් ලබා ගත් දෙයක් නැත. යම් කිසි ගැටළුවකට එය පදනමක් නොමැති, තාවකාලික විසඳුමක් විය හැකි නමුත් ස්ථිරසාර විසඳුමක් ලබා දිය හැක්කේ තර්කානුකූලව එලඹෙන පියවරකින් පමණි.

අවසාන වශයෙන් නැවත කිව යුත්තේ අයිතීන් ඇත්තේ පුද්ගලයින්ට බවත්, අදහස් වලට නොවන බවත්ය. සෑම අදහසක්ම බුද්ධියේ විවේචනයට ලක් විය යුතු අතර එසේ විවේචනය කිරීම සාධනීය ලක්ෂණයක් ලෙස සමාජගත කල යුතුය. අවිද්‍යාවේ ගැලී සිටින පසුගාමී සමාජයක සිට දියුණු බුද්ධිමත් සමාජයක් කරා එළැඹිය හැක්කේ එවිටය.

නිරෝගී ශරීරයක් සඳහා – නව අවුරුදු ඉලක්ක

ආහාර පාලනය පිලිබඳ ලිපියක් මීලඟට ලිවීමට බලාපොරොත්තු වුවත් නොයෙකුත් හේතූන් නිසා එය ප්‍රමාද වීමත් නව අවුරුද්දක උදා වීම නිසා මෙම මාතෘකාව වඩාත් අදාල වන නිසාත් ශාරීරික නිරෝගීතාවයට අදාල නව අවුරුදු ඉලක්ක (new year resolutions) පිලිබඳ කෙටි ලිපියක් ලිවීමට අදහස් කලෙමි.

 බොහෝ පුද්ගලයින් නව අවුරුදු ඉලක්කයක් ලෙස ශාරීරික නිරෝගීතාවය ඇතුලත් කරගන්නා නමුත් අවුරුද්ද අවසානයේදී ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ආරම්භ කිරීමට හෝ නොහැකි වී ඇති බව පසුව පසක් කර ගනී.

  1. බොහෝ විට “වඩා නිරෝගීමත් ශරීරයක්“ ලෙස අර්ථ දක්වාගන්නා ඉලක්කයක් සම්පූර්ණ කර ගත්තාද යන්න පිලිබඳ මැන බැලීමේ ක්‍රමයක් නැත. “වඩා නිරෝගීමත් ශරීරයක්“ යන්නෙහි ප්‍රමාණාත්මක කොටසක් නොමැත. මේ වෙනුවට “නිරෝගීමත් ලෙස බර කිලෝ ග්‍රෑම් 10ක් අඩු කර ගැනීම“ වඩා යහපත් ඉලක්කයක් වේ. කි.ග්‍රෑ.10ක් මැන බැලීමට හැකි වන අතර ඒ සඳහා යොදා ගන්නා ක්‍රමය “නිරෝගීමත්“ ලෙස අර්ථ දක්වාගෙන ඇත.
  2. ඒ අතරතුරම ඉලක්කයන් වඩාත් සූක්ෂම ලෙස අර්ථ දක්වා ගැනීමට යාමේ කලු කුහරයට නොවැටී සිටීමට වග බලා ගත යුතුය. ඉලක්කය සපුරා ගැනීමට හැකි වන ලෙස ප්‍රමාණාත්මක අංගයක් ඇතුලත් කර ගත යුතු අතරම එය සපුරා ගැනීමේ ක්‍රමය පිලිබඳ නිසි සොයා බැලීමක් නොකර අර්ථ දක්වා ගැනීමට යාමෙන් විරුද්ධ ප්‍රථිපල ලැබීමට බොහෝ ඉඩකඩ ඇත. උදාහරණයක් ලෙස තමාගේ ශරීර ස්වාභාවය, ඒ සඳහා අනුගමනය කල යුතු ව්‍යයාම රෙජීමය, ආහාර පාලනය පිලිබඳ නිසි අවබෝධයක් නොගෙන “කායවර්ධන වැඩසටහනක් මගින් නිරෝගී ශරීරයක් ලබා ගැනීම“ යන ඉලක්කය, කැඩුම් බිඳුම් සහිත ශරීරයක් ලබා දීමට මං සාදා දීමට බොහෝ විට ඉඩ ඇත. පලමු පියවර විය යුත්තේ ඉලක්කය දෙස අවධානය යොමු කිරීමයි.
  3. ශාරීරික නිරෝගීතා ඉලක්කයක ඇති බිඳෙන සුලු ස්වාභාවය නිසාම ජනවාරියේදී ශාරීරික සුවතා මධ්‍යස්ථානය ඇඟිල්ලක් ගැසීමට ඉඩ නැති වීමත් පෙබරවාරි මැද වන විට පරණ තත්වයටම පත් වීමත් යන චක්‍රය පැහැදිලි ලෙස නිරීක්ෂණය කල හැකි වී ඇත. බොහෝ පුද්ගලයින් ජනවාරියේදී “සික්ස් පැක්“ එක ඉලක්ක කොට ගෙන crunches 100, 200 දක්වාත් Bicep curls පැය දෙක තුනකුත් ව්‍යායාම කොට විනෝද චාරිකා දෙක තුනකට පසුව “ඕන බම්බුවක්“ තත්වයට පත් වීම නොවැලැක්විය හැකි දෙයකි. ලේඛකයාද බොහෝ අවස්ථා වල හසුව ඇති (crunches පමණක්, curl monkey යන වදන් වල තේරුම කියා දීමට තරම් කාරුණික පුද්ගලයින් gym එකකදී හමුවීම ලේඛකයාගේ භාග්‍යයකි) මේ තත්වය පිලිබඳව ගත හැකි එකම ක්‍රියාමාර්ගය නං එය සාමාන්‍ය දෙයක් බවට පිලිගෙන නැවතත් ව්‍යායාම රෙජීමය කෙසේ හෝ ආරම්භ කිරීමට තැත් කිරීමයි. ප්‍රථිපල සතියකින් දෙකකින් නොලැබෙන අතර හැකිතාක් ක්‍රමවත්ව හා අවබෝධාත්මකව ක්‍රියාත්මක කරන ව්‍යායාම හා ආහාර පාලන රෙජීමයකින් පමණක් තමන්ගේ ඉලක්කය සපුරා ගත හැකි බව ඔබ අවබෝධ කර ගත යුතුය.
  4. ඇල්කොහොල් හා සිගරට් – බේබද්දෙකුනම් හෝ/හා සිගරට් ලෝලියෙකුනම් ඔබ පලමුව ඒ පුරුදු අත් හැර ගැනීමේ ඉලක්කයක් අදාල කර ගත යුතුය. ශාරිරික නිරෝගීතාවය හා ඇබ්බැහි වීම් එකිනෙකට විරුද්ධ පද දෙකක් වන තරමට පරස්පරය. සාමාන්‍ය වශයෙන් ඇල්කොහොල් භාවිතා කරන්නෙකුනම් හෝ/හා සිගරට් මද වශයෙන් පානය කරන්නෙකුනම් ක්‍රමවත්ව අඩු කිරීමකට යොමු වීම වඩාත් යහපත් වේ. ඇල්කොහොල් මද වශයෙන් පරිභෝජනය කිරීම වැඩි බලපෑමක් නැති හා සමහර අවස්ථා වලදී ධනාත්මක විය හැකි වුවත් සිගරට් සම්පූර්ණයෙන් පාලනය කිරීමකින් තොරව ව්‍යායාම හා ආහාර පාලනයෙන් නිසි ප්‍රථිපල අත් කර ගත නොහැක. මේ ගැන වැඩි දුර පසුව සාකච්ඡා කරමු.
  5. ප්‍රගතිය වාර්ථා ගත කිරීම අනිවාර්යයෙන් කල යුතුය. සෑම ව්‍යායාම සැසියක් ආරම්භයේදීම බර මැන වාර්ථා ගත කිරීමත්, කාය වර්ධන ව්‍යායාම වලදී අදාල උපරිම බර දිනයන්ට අදාලව වාර්ථා ගත කිරීමත් හැකි නම් ආහාර පරිභෝජනය (අනිවාර්යය නොවේ) වාර්ථා ගත කිරීමත් ඉලක්කය සපුරා ගැනීමට ක්‍රම දෙකකින් උපකාර වේ. පලමුව එය තමාගේ ඉලක්කය කරා යන ගමනේ ප්‍රගතිය තුලින් පෙලඹවීම වැඩි කර ගැනීමත් (motivation) ප්‍රථිපල හා ඒ සඳහා යොදා ගත් ක්‍රමවේදය සංසන්දනය කිරීමෙන් නිසි ක්‍රමවේදයක් සොයා ගැනීමත් වාර්ථා ගත කිරීම තුලින් අත් කර ගත. පොදුවේ පිලිගත් හා ප්‍රථිපල සහිත උපක්‍රමයක් වන්නේ වසර ආරම්භයේදී තමාගේ සිරුරේ ඡායාරූපයක් හා වසර අවසානයේදී ඡායාරූපයක් ගැනීමෙන් ප්‍රථිපල සංසන්දනය කර ගත හැකි වීමයි. මෙය ඕනෑම විරාමයක් (සති හතර බොහෝ විට වෙනසක් කායිකව දැකිය හැකි විරාමයක් විය හැක) යොදා ගනිමින් ක්‍රියාවට නැංවිය හැකි උපක්‍රමයකි.
  6. ක්ෂුද්‍ර ඉලක්ක – ක්‍රමවේදය පිලිබඳ නිසි අවබෝධයක් ලැබුන පසු ක්ෂුද්‍ර ඉලක්ක තබා ගැනීම වඩාත් උපකාරී විය හැක. උදාහරණයක් ලෙස සති හතරක් තුල කිලෝ ග්‍රෑමයක මේද බර අඩු කර ගැනීමක් සඳහන් කල හැක. ව්‍යායාම වලදී නම් උදාහරණයකට  මැයි අවසානයේදී 150kg Deadlift 1 rep max (ව්‍යායාම පිලිබඳ කොටසේදී සාකච්ඡා කරමු) ලඟා කර ගැනීම විය හැක. මෙමගින් කෙටි කලකදී ලබා ගත හැකි සහ ස්වයං-ප්‍රශංසාවකට ලක් කර ගත හැකි ඉලක්කයකට යොමු විය හැක.
  7. අන් අයට නොපැවසීම – තමාගේ මානසික ඉලක්ක අන් අයට පැවසීම මගින් යම් ව්‍යාජ මානසික ජයග්‍රහණයක් ලැබීමත් ඒ තුලින් ඉලක්කයට ඇති කැපවීම අවම වීමත් සිදුවන බව පොදු පිලිගත් මතයකි. ලේඛකයාද ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති මෙම කරුණ බොහෝ විට අප තේරුම් ගත්තාට වඩා වැදගත් විය හැක. එම නිසා තමාගේ ඉලක්ක Facebook status එකක් මගින් ප්‍රසිද්ධ කරනවාට වඩා තමාගේ කාමරයේ බිත්තියේ එල්ලා ගැනීම වඩාත් උපකාරී විය හැක. මානසික ඉලක්ක කායිකව සපුරා ගැනීමට කැපවිය යුතු අතර ප්‍රථිපල විසින් ප්‍රශංසාව කරනු ඇත.

ඉලක්කයක් ලබා ගැනීමේ ප්‍රධාන උපකාරකයක් ලෙස තමාගේ ජයග්‍රහණ වැදගත් ස්ථානයක් ගනී. අප්‍රේල් වන විට අඩු කර ගැනීමට බලාපොරොත්තු වූ බර ප්‍රමාණය අඩු කර ගැනීම ඒ ක්‍රමවේදයේම තව දුරටත් කැප වී යෙදීමට පෙළඹවීමක් ඇති කරන අතර ප්‍රධාන ඉලක්කය පිලිබඳ තමාගේ උනන්දුවද වැඩි කරයි.

අනෙක් අතට ඕනෑම අවස්ථාවක ඉලක්කයක් සපුරා ගැනීමේ වැදගත්ම පියවර වන්නේ පලමු පියවරයි. ඉන්පසුව එක් පියවරක් එක් වරකට තබමු.

දෙදහස් දහ හතරට සුබ පැතුම්!

නිරෝගී ශරීරයක් සඳහා – 02 – තරබාරු බව අඩු කිරීම පිලිබඳ මූලික සංකල්ප

පසුගිය ලිපියෙන් පෝෂණය පිලිබඳ මූලික සංකල්ප කිහිපයකුත් නූතන ආහාර රටා වල අඩුපාඩු කිහිපයකුත් ලුහුඬින් සාකච්ඡා කරන ලද අතර මෙම ලිපියෙන් තරබාරු බව අඩු කර ගැනීම පිලිබඳව මූලික හැඳින්වීමක් ලබා දීමට බලාපොරොත්තු වේ.

ඉලක්කය පිහිටුවා ගැනීම

තරබාරු බව ලෙස මෙම ලිපි මාලාවේ හඳුන්වන්නේ පුද්ගලයාගේ උස සහ බර අඩංගු දර්ශකය හෙවත් Body Mass Index (BMI) දර්ශකයේ අර්ථ දැක්වෙන තරබාරු බවයි. උදාහරණයක් ලෙස බොහෝ විට (සියලු දෙනාගේ ශරීර වෙනස් වන අතර විශේෂ අවස්ථා, ලෙඩ රෝග ආදී තත්ව මෙම ගණනය කිරීම් වලට බාධා කල හැක) වැඩිමහල් පුද්ගලයින්ගේ බර ඔහුගේ/ඇයගේ උසට සරිලන බරට වඩා කිලෝග්‍රෑම් පහක් පමණ වැඩි වූ විට තරබාරු ගොඩට වර්ගීකරණය කරනු ලබයි.

මීට වඩා විස්තර පැහැදිලි කිරීමට ප්‍රථම BMI දර්ශකය පිලිබඳ කරුණු කිහිපයක් පැහැදිලි කර ගත යුතුය. BMI යනු 19වෙනි සියවසේදී ඉදිරිපත් කරන ලද මිණුම් ක්‍රමයක් වන අතර නවීන විද්‍යාවේ බොහෝ විවේචන වලට භාජනය වන දර්ශකයක් වේ. ලෙඩ රෝග (හෘදයාබාධ, කොලෙස්ටරෝල් ආදී) විනිශ්චයට කොහෙත්ම සුදුසු නොවන බවට තහවුරු වී ඇති නමුත් නීරෝගී පැවැත්ම සඳහා දළ අවබෝධයක් ලබා ගැනීමට BMI දර්ශකය සුදුසු වේ. නමුත් මේ සඳහා යොදා ගන්නේ උස සහ බර පමණක් නිසාත්, ශරීර ආකාර (පසුව සාකච්ඡා කෙරෙනු ලැබේ), වයස, මාංශ පේශී හා මේද පටක සංයුතිය යනාදී අනෙකුත් කරුණු සැලකිල්ලට නොගන්නා නිසාත් BMI දර්ශකයේ දැක්වෙන “සාමාන්‍ය බර“ ලබා ගැනීම ද්වීතියික හෝ කොහෙත්ම නොසැලකිය යුතු ඉලක්කයක් විය යුතුය.

වඩා නිවැරදි හා නිරෝගී දර්ශකයක් ලෙසට Body Fat Percentage දර්ශකය යොදා ගත හැක. මෙහිදී පුද්ගලයාගේ ශරිරයේ මේද පටක බර මුලු බරින් ප්‍රතිශතයක් ලෙස ගෙන දැක්වේ. බොහෝ පුරුශයින්ට නිරෝගී මට්ටම ලෙස 14-20% අතර මෙය දැක්විය හැකි අතර කාන්තාවන්ට පුරුශයින්ට වඩා මදක් ඉහල ප්‍රතිශතයක් නිරෝගී ලෙස දැක්වේ.

Source (& more charts) :  http://www.nowloss.com/online-body-fat-percentage-calculator.htm

Source (& more charts) : http://www.nowloss.com/online-body-fat-percentage-calculator.htm

ඒ අනුව තරබාරු බව අඩු කර ගැනීමේ පලමු පියවර ලෙස එලෙස අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් සැබැවින්ම ඇති දැයි හොඳින් තේරුම් ගත යුතුය. ඒ සඳහා දළ අදහසක් ලබා ගැනීමට BMI අගය ගණනය කර ගෙන ඉන්පසුව ආරම්භයක් ලෙස තමාගේ BF ප්‍රතිශතය සොයා ගැනීම වැදගත් විය හැක (බොහෝ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වල BF ප්‍රතිශතය දළ වශයෙන් කියවා ගැනීමට හැකි උපකරණ තිබේ. එසේ යාමට ප්‍රථම තමාගේ BF ප්‍රතිශතය පිලිබඳ අදහසක් ඉහත පින්තූර වලින් ලබා ගැනීමට හැකිය).

අනෙක් අතට පැත්තට හැරී සාමාන්‍ය ලෙස හුස්ම ගනිමින් කණ්ණාඩියකින් බැලු විට ඉණට ඉහලින් ටයර් ගොඩ ගසා ඇති ආකාරයක් පෙනෙයි නම් ඔබ තරබාරු බවින් පෙලීමට වැඩි ඉඩකඩක් ඇත.

ඉලක්කය තරබාරු බව අඩු කර ගැනීම ලෙසට ආරම්භ කර මේ වන විට BF ප්‍රතිශතය යම් මට්ටමකට (20%ට වඩා අඩු අගයක් ගැනීමට) අඩු කර ගන්නා ලෙසට වඩා නියත ආකාරයට අප අර්ථ දක්වාගෙන ඇත.

නොයෙකුත් ශරීර ආකාර

එක් එක් පුද්ගලයාගේ ශරීර එකිනෙකාට වෙනස් වන අතර පොදුවේ ලක්ෂණ කිහිපයක් එකතු කොට මූලික කොටස් තුනකට මෙම ශරීර ආකාර වෙන් කල හැක. ජානමය ගුණාංග මගින් එකිනෙකාගේ ශරීරාකාර තීරණය කරනු ලබන අතර ඒ ඒ පුද්ගලයාගේ Metabolic rate අගයද එක් එක් ශරීරාකාර වල වෙනස් වේ.

  • Endomorph

බොහෝ තරබාරු පුද්ගලයින් Endomorph ශරීරාකාරයට අයත් වන අතර මේද සෛල ඉක්මනින් ඇති වීම මොවුන්ගේ ප්‍රධානම ගැටළුවයි. Metabolic rate එක අඩු නිසා එකම කැලරි ප්‍රමාණයකුත් එකම පෝෂණ සංයුතියත් ඇති ආහාර වේලකින් වඩා වැඩි මේදය වැඩි වීමක් වෙනත් ශරීරාකාර වලට වඩා Endomorph පුද්ගලයින්ගේ දැකිය හැක.

පොදුවේ ශරීරය රවුම් ආකාරයක් ගන්නා අතර ඉණ වටා මේදය එක් රැස් වී “ටයර්“ ඇති වීම බොහෝ විට දැකිය හැක. මේද තට්ටුව තරමක මහත නිසා ශරීරය මෘදු ගතියක් පෙන්වයි. ශරීරය උසට සාපේක්ෂව පළල වැඩි නිසාදෝ බොහෝ විට සාමාන්‍ය උසට වඩා මිටි විය හැක.

මීට අමතරව අනෙකුත් ශරීරාකාර වලට වඩා මාංශ පේශී සංයුතිය සාමාන්‍යයෙන් වැඩි අතර ශරීරයේ පහල කොටස වැඩි ශක්තිමත් භාවයක් උරුම කරගනී. කායවර්ධන ව්‍යායාම තුලින් වැඩි මාංශපේශී ප්‍රමාණයක්, වැඩි ශක්තියක් ලබා ගැනීමටද මේ පුද්ගලයින් හට හැකියාව ඇත.

  • Mesomorph

ස්වාභාවයෙන්ම වැඩි තරබාරු ගතියක් නොපෙන්වන (ජීවන රටාව, ලෙඩ රෝග ආදිය නිසා මෙම ලක්ෂණ වෙනස් විය හැක), යෝග්‍ය (fit) ශරීරයකට උරුම කියන මේ කණ්ඩායමේ Metabolic rate අගය සාමාන්‍ය මට්ටමක පවතී. එම නිසා මේද තට්ටුව සිහින්ව තබා ගැනීමට හා මාංශ පේශී පැහැදිලිව (muscle definition) තබා ගැනීමටද මොවුන්ට ස්වාභාවිකව හැකිය.

සාමාන්‍යයෙන් වැඩි ක්‍රීඩා කෞශල්‍යයක් පෙන්වීමට මොවුන්ට හැකි වන අතර ඒ නිසා ශරීර ශක්තියද අනෙකුත් කාණ්ඩ වලට වඩා වැඩි මට්ටමක තබා ගත හැකි වේ. කායවර්ධන ව්‍යායාම වලින් වඩාත් ඉක්මනින් සාර්ථකම ප්‍රථිපල අත් කර ගත හැක්කේ මෙම ශරිරාකාර හිමිකරුවන්ටය. නමුත් Ectomorph අයට වඩා මේදය ඉක්මනින් ඇතිවිය හැකි බැවින් ආහාර පාලනය අරපරිස්සමෙන් කල යුතුය.

  • Ectomorph

ශරීරාකාර තුනෙන් වඩාත් සිහින් හා මේද ස්ථරය අවම වන කොටස Ectomorph කොටසට අයත් වන අතර Metabolic rate අගය ඉතා ඉහල අගයක් ගන්නා නිසා ශරීර බර වැඩි කර ගැනීමට වැඩි වෙහෙසක් ගැනීමට සිදු වේ. තරබාරු බව පිලිබඳ වඩා වෙහෙස නොවිය යුතු අතර ව්‍යායාම තුලින් මාංශ පේශී වැඩි කර ගැනීමට අනෙක් අයට වඩා වැඩි වෙහෙසක් දැරිය යුතු වේ.

Body types

ශරීරාකාර – කාන්තාවන්ගේ ශරීරාකාර පිලිබඳව මෙතනින් දැන ගත හැක

මෙම ලිපිය කියවන ඔබ අවුරුදු 18කට වඩා අඩු නම් මෙම කාණ්ඩ කිරීම ඔබට බොහෝ විට අදාල නොවිය හැක. නව යෞවන අවධිය ශරීරයේ බොහෝ වෙනස් කම් සිදු වන අවධියක් නිසා ස්වාභාවිකවම  metabolic rate අගය ඉතා ඉහල මට්ටමක පවතින අතර මේ කාලයේදී කායවර්ධන ව්‍යායාම තුලින් අනෙක් වයස් කාණ්ඩ වලට වඩා වැඩි ප්‍රථිපල අත් කර ගත හැකි බව පොදු පිලිගැනීමක් ඇත.

අවුරුදු 18 පමණ වන විට ශරීරය යම් සංතුලන අවස්ථාවකට පත් වන නිසා යමෙකුගේ ශරීරාකාරය ඉන්පසුව තීරණය කර ගත හැක. උදාහරණයක් ලෙස ලේඛකයා උසස් පෙල අවසන් වන කාලය පමණ වන තෙක් ඉතාමත් කෙට්ටුව සිටි අතර උසස් පෙලින් පසුව ඉතා කෙටි කාලයක් තුල ඉහත සඳහන් Endomorph කාණ්ඩයට අයත් බව පැහැදිලිව පෙනෙන අයුරින් තරබාරු විය.

මීලඟ කොටසට පෙර ශරීරාකාර පිලිබඳ ප්‍රායෝගිකව දැකිය හැකි කරුණක් සඳහන් කල යුතුය. බොහෝ පුද්ගලයින් මේ මේ ශරීරාකාරයට අයත් යැයි පැහැදිලිව වර්ග කල නොහැක. බොහෝ විට ශරීරාකාර වර්ග දෙකක ගති ලක්ෂණ පෙන්නුම් කල හැකි අතර වඩා වැඩියෙන් ලක්ෂණ පෙන්වන ශරීරාකාරය ඉලක්ක කර ගැනීම ප්‍රමාණවත් වේ.

ශරීරාකාර පිලිබඳව දැනුම තව දුරටත් මෙම වීඩියෝවෙන් ලබා ගත හැකි නමුත් මෙහි සඳහන් වන සමහර කරුණු පිලිබඳ ශාරීරික යෝග්‍යතා ප්‍රජාව අතර එකඟත්වයක් නොමැති බවත් කාන්තාවන් සඳහා මෙම ව්‍යායාම උපදෙස් නුසුදුසු විය හැකි බවත් සිහි තබා ගත යුතුය.

තරබාරු බව අඩු කර ගැනීමේ මූලික සිද්ධාන්තය

තරබාරු කම අඩු කර ගැනීමේ ඉලක්කය ලෙස මේද ප්‍රතිශතය (Body Fat Percentage) 20%කට වඩා අඩු කර ගැනීම මීට පෙර සාකච්ඡා කලෙමු. ශරීරයේ අමතර මේදය ඇති වන්නේ දහනය වන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් බව පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. මේ අනුව තරබාරු බව අඩු කර ගැනීමට සරලව කල යුත්තේ ශරීරයේ දහනය වන කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ආහාරයට ගැනීම බව පැහැදිලිය.

මෙය තරබාරු බව අඩු කර ගැනීමේ “රහසයි“. මෙම කරුණ වටා ගොඩ නැගී ඇති පෝෂණ දැනුම, ව්‍යායාම දැනුම ආදී සංකීර්ණතා කොතෙක් තිබුනත් තරබාරු බව අඩු කර ගැනීමට මේ ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් ස්වාභාවිකව නැත.

මේ අනුව අනුගමනය කල යුතු ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් ඇත.

පලමුව ආහාර පාලනය ක්‍රමවත් කර ගත යුතු අතර තරබාරු බව අඩු කර ගැනීමට 70%ක් පමණ ආහාර සාධකය බලපාන බව සිහි තබා ගත යුතුය. මෙයින් ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කිරීම බලාපොරොත්තු වේ. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ආහාර පාලනය යනු ආහාර නොගෙන සිටීම නොවන බවයි.

දෙවන ක්‍රියාමාර්ගය වන්නේ ශරීරයෙන් වැය වන කැලරි ප්‍රමාණය වැඩි කිරීමයි. මේ සඳහා ව්‍යායාම ප්‍රධාන වශයෙන් යොදාගත හැකි අතර හැකි නම් ජීවන රටාව වෙනස් කිරීමද සිදු කල හැක.

මෙම ක්‍රියාමාර්ග දෙක දීර්ඝ කාලීනව (අවම වශයෙන් අවුරුදු දෙකක් පමණ) පුහුණු කිරීම මගින් තරබාරු බව නීරෝගීව අඩු කර ගත හැකි අතර ශරීර ශක්තිය වැඩි කර ගැනීම, මාංශ පේශී සංයුතිය වැඩි කර ගැනීම ආදී අනෙකුත් ශාරීරික යෝග්‍යතා ඉලක්කද සපුරා ගත හැකිය.

ආහාර පාලනය හෙවත් diet පිලිබඳ මීලඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

නිරෝගී ශරීරයක් සඳහා – 01

තරබාරු බව හා බර ව්‍යායාම එයට පිලියමක් ලෙස යෝජනා කිරීම මෙම ලිපි පෙලෙහි අරමුණයි. එක ලිපියකින් ආවරණය කිරීමට නොහැකි තරම් විශාල විෂයයක් නිසා පලමුව පෝෂණය හා සම්බන්ධ මූලික දැනුම ස්ථාපනය කොට ඉන්පසුව ක්‍රමයෙන් ව්‍යායාම පිලිබඳවත් සාකාච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

තොරතුරු විප්ලවයත් සමග ඇති වූ හැසිරීමේ වෙනස්කම් නිසා මිනිසා මානව ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට එක්තැන් වී සිටින ජීවන රටාවකට හුරු වී සිටි. මේ නිසා පරිණාමයේ කාල මිනුම් දඬු වලට සාපේක්ෂව ඉතාමත් කෙටි කාලයකින් මිනිසාගේ ශරීරය ශක්තිය හැකිතරම් එක්රැස් කර ගන්නා යන්ත්‍රයකින්, ශක්තිය ඉතාමත් ඉක්මනය දහනය කල යුතු යන්ත්‍රයක් බවට පත් වීමට සිදු වී තිබේ. මෙය පරිණාමය වශයෙන් සිදුවිය නොහැකි අතර එම නිසා අප සමාජය මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට තරබාරු බව සහ ඊට අදාල සෞඛ්‍යමය සංකූලතා පත් වී ඇත. මේ ඇයි යන්න තේරුම් ගැනීමට අපට ආදී මානවයා වෙත යාමට සිදුවේ.

මානව පරිණාමය හා ශක්ති පාලනය

ගල් යුගයේ සිට කාර්මික විප්ලවයේ මුල් අවධිය වන තෙක් මිනිසා ගත කල ජීවන රටාව ශාරීරිකව ඉතාමත් ක්‍රියාකාරී ජීවන රටවකි. බොහෝමයක් රැකියා ශාරිරික ශක්තිය වැයකොට සිදු කල යුතු විය අතර පෝෂණීය ආහාර සුලබ නොවිය. ගල් යුගයේ හෝ ඊටත් පෙර සමාජ, භාෂා දියුණු නොවූ මානවයන් ආහාර සොයා බොහෝ දුක් විඳිය යුතු වූ අතර ඒ නිසා හැකි තරම් ශක්තිය ගබඩා කර ගත හැකි ලක්ෂණය පරිණාමයේ පරීක්ෂණයෙන් සමත් වූ මානවයන් අතර දක්නට ලැබෙන වාසි සහගත ලක්ෂණයකි.

ආදී මානවයා ජීවත් වූ පරිසරයේ කැලරි (කැලරි යනු ශක්තිය මැනීමේ ඒකකයක් වන අතර මෙම සන්දර්භයේදී ආහාර වලින් ශරීරයට ලබා දෙන ශක්තිය මනින ඒකකයක් ලෙස භාවිතා කරනු ලැබේ) බහුල ආහාර සොයා ගැනීමට අපහසු විය. එම පරිසරයේ බොහෝ විට ශාකමය ආහාර වලින් යැපීමට සිදු වන අතර ප්‍රෝටීන බහුල සත්ව ආහාර සොයා ගැනීමට ආයුධ දියුණු නොකරගත් අපගේ මානව ආදිතම සඟයාට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවේ. බොහෝ කාලයන් ආහාර නොමැතිව ගත කිරීමට සිදුවන අතර ඒ නිසා ආහාර ලැබුන විගස ඒවායින් ලැබෙන කැලරි ප්‍රමාණය හැකි තරම් ගබඩා කර ගත යුතු වේ. පාරිසරික තර්ජන නිරන්තර වූ අතර මානව ආදිතමයා තමන්ගේ ආහාර වේලට ඇතුලත් කර ගැනීමට ආශා වූ විලෝපිකයින් බොහෝ විය. මේ නිසා හදිසි අවස්ථාවකදී ඇති වන ඇඩ්‍රිනලීන් ක්‍රියාවලියට ඇති තරම් ශක්තිය ලබා දීමට ශරීරය හැකි තරම් හැඩ ගැසී තිබිය යුතුය. නැති නම් උල් දත් සහිත දිවියෙකු පස්සෙන් පන්නන විට ශක්තිය නොමැතිව ඇද වැටෙන අවසාන මානව ආදිතමයා Homo Sapiens ලෙස පරිණාමය වීමට ඉතුරු වන්නේ නැත.

මේ ආකාරයට මිනිසාගේ ශරීරය ජානමය ලෙස හැඩ ගැසී ඇත්තේ ශක්තිය ගබඩා කිරීමට බව තේරුම් ගත හැක. පරිණාමය වශයෙන් මෙය වාසි සහගත වුවත් පරිණාමීය කාල මිනුම් වලට සාපේක්ෂව මිනිසා ලබා ඇති දියුණු තත්වයන් නිසා තව දුරටත් එම පාරිසරික සාධකයන් අදාල නොවන කාලයකදි එම ලක්ෂණ මිනිසාගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමට ආරම්භ වී තිබේ. මෙම සංසිද්ධිය තේරුම් ගැනීමට මිනිසාගේ පෝෂණය පිලිබඳ අධ්‍යයනය කිරීමට සිදුවේ.

පෝෂණයේ කායික ක්‍රියාවලිය

මිනිසාගේ නිසි පෝෂණයට අවශ්‍ය වන පෝෂණ සාධක වර්ග දෙකකට වෙන් කල හැක. සාපේක්ෂව වැඩි ප්‍රමාණයකින් ශරීරයට අවශ්‍ය වන, ශාරිරිකව සිදුවන ශක්ති ක්‍රියාවලියේ ඍජු භූමිකාවක් දරන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය මහා පෝෂ්‍යක (Macro Nutrients) වලට කාණ්ඩ වන අතර ශක්ති ක්‍රියාවලියට ඍජුව දායක නොවී පාලක භූමිකාවක් දරන අනෙකුත් සුලු ක්‍රියාවලින්ට සහභාගී වන නමුත් අත්‍යවශ්‍ය විටමින්, ඛණිජ ලවන ආදීය ක්ෂුද්‍ර පෝෂ්‍යක (Micro Nutrients) වලට කාණ්ඩ වේ.

ශරීරයේ ශක්තිය දහනය වන ප්‍රධාන ක්‍රියාවලිය Metabolism ලෙස හැඳින්වේ. ලේ පොම්ප කිරීමේ සිට අනෙකුත් සියලුම කාර්යයන් සඳහා අවශ්‍ය වන ශක්තිය වැය වීම මෙම ක්‍රියාවලියට අයත් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය ශරීරය පවත්වා ගැනීම සඳහා වැය කරන ශක්තිය ලෙස හඳුන්වා ගත හැක. මෙලෙස ශක්තිය වැය වන ශීඝ්‍රතාවය Metabolic rate ලෙස හැඳින්වේ. එමෙන්ම පුද්ගලයෙකු නිසලව මධ්‍යස්ථ උෂ්ණත්වයක සිටින විට ඇති Metabolic rate අගය Basal Metabolic Rate (BMR) ලෙස හැඳින්වේ.

මෙම BMR අගය එක් එක් පුද්ගලයාගේ ජානමය සාධක, ජීවන රටාව, ශරිරයේ ප්‍රමාණය හා සංයුතිය (මාංශපේශී හා මේදය අනුපාත) අනුවද වෙනස් විය හැක. සමහර අයගේ Metabolic rate අගය ඉතාමත් ඉහල අගයක් ගන්නා අතර ආහාර කෙතරම් පරිභෝජනය කලත් සිරුර කෙට්ටු ස්වාභාවයක් උසුලයි. තවත් අයට එහි අනෙක් පසය. තමාගේ බර, උස, ලිංගිකත්වය හා වයස අනුව BMR අගය ගණනය කල හැක. මෙම අගය සාමාන්‍ය අගයක් වන අතර නියම අගයක් ගණනය කර ගැනීමට පෝෂණ උපදේශකයෙකුගේ උදව්වෙන් කර ගත හැකි විය යුතුය. ඉතාමත් විශේෂිත අවස්ථා හැර BMR සඳහා සාමාන්‍ය අගයක් ලබා ගැනීම ප්‍රමාණවත් වේ.

Source : zuniv.net

Source : zuniv.net

පුද්ගලයෙකුගේ Metabolic rate අගය උදය කාලයේදී උපරිම මට්ටමේ පවතින අතර දිනය ගෙවී ගොස් නින්දට යන වෙලාව වන විට අවම මට්ටමට පැමිණේ. මීට අමතරව ආහාර වේලකට පසුව Metabolic rate අගය එකවර වැඩි වීමක් දක්නට ලැබේ (SDA – Specific Dynamic Action). එසේ වන්නේ ආහාර දිරවීම ශක්තිය අවශෝෂණය කර ගන්නා ක්‍රියාවලියක් නිසාවෙනි. දවසේ වේලාව අනුව මෙම වැඩි වීමද ක්‍රම ක්‍රමයෙන් අවම තත්වයට පත්වේ.

ආහාර වේලකට පසුව Metabolic rate අගය වැඩි වීම ගන්නා ලද ආහාර වේලේ සංයුතිය අනුවද වෙනස් වේ. මේ අනුව ප්‍රෝටීන් බහුල ආහාරයකදි, එනම් මස්, මාලු, බිත්තර අඩංගු ආහාරයකදි, මෙම වැඩි වීම උපරිම වන අතර වැඩි වීම පවත්නා කාලයද වැඩි වේ. කාබෝහයිඩ්‍රේට් තවත් කොටස් දෙකකට මේ අනුව වෙන් කල හැක. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් (Complex carbohydrates) අඩංගු ආහාර, එනම් එලවලු, පලතුරු, රතු බත් හා ඇට වර්ග, ආහාරයට ගත් විට ප්‍රෝටීන වලට වඩා අඩු නමුත් අනෙකුත් වර්ගවලට වඩා වැඩි SDA එකක් දක්නට ලැබිය හැකි අතර සරල කාබෝහයිඩ්‍රේට් (Simple/Starchy Carbohydrates) අඩංගු ආහාර, එනම් පිටි වර්ග, සීනි, සුදු බත් හා කිරි ආහාර ආදිය ඊට වඩා අඩු SDA එකක් නිපදවයි. මේ අනුව සරල කාබෝහයිඩ්‍රේට් ආහාර ඉක්මනින් අවශෝෂණය වන අතර අවශෝෂණය සඳහා ශක්තිය අතින් වැඩි වියදමක් දැරිමට සිදු නොවේ. අවම වැඩි වීම මේදය සහිත ආහාර මගින් නිපදවයි.

Source : http://www.pharmpedia.com/images/4/44/20-6.jpg at pharmpedia.com

Source : http://www.pharmpedia.com/images/4/44/20-6.jpg at pharmpedia.com

ආහාර වේලකට පසුව ආහාරයෙන් ලබා ගත් කැලරි ප්‍රමාණය ශරීරයේ ක්‍රියාවලියට දායක කර ගත යුතුය.  මහා පෝෂ්‍යක (Macro Nutrients) වලට අදාල වන කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් (glucose) ලෙසත්, ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල (Amino Acids) ලෙසත් මේදය Fatty Acids ලෙසත් සරල ආකාර වලට කඩා කුඩා බඩවැලෙන් රුධිර ගමනාගමනයට එකතු කරනු ලැබේ. ග්ලූකෝස් ශරීරයේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට දායක කර ගන්නා අතර ප්‍රෝටීන් (ඇමයිනෝ අම්ල) මාංශපේශීන් නිපදවීමට, එන්සයිම හා හෝමෝන ආදී ක්‍රියාවලීන්ට සහභාගි වේ. Fatty acids හෙවත් මේදය මේද සෛල විසින් ගබඩා කර ගන්නා අතර ශක්තිය නිපදවීමට රුධිරයේ ග්ලූකෝස් නොමැති අවස්ථාවකදී මේදය යොදා ගැනේ.

(ශරීරයේ ශක්ති ඒකකයක් ලෙසට ATP අණුව හැඳින්විය හැක. සරලව පැවසූ විට හුස්ම ගන්නා විට ලබා ගන්නා ඔක්සිජන්, ආහාර වලින් ලබා ගන්නා ග්ලූකෝස් එක්කොට “දහනය“ කර ATP අණු නිපදවාගන්නා අතර අනෙකුත් ක්‍රියාවලින් සඳහා යොදා ගන්නා ඉන්ධනය මෙම ATP අණුව වේ.)

ශරීරයට අවශ්‍ය කරන (BMR අගය විසින් තීරණය කරනු ලබන) දෛනික කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ලබා ගත් විට අමතර ග්ලූකෝස් මේදය බවට පත් කර ගෙන මේද සෛල වල ගබඩා කර ගනී. අමතර ප්‍රෝටීන් මේදය ලෙසට ගබඩා කර ගත හැකි ආකාරයකට පත් කර ගන්නා අතර අනෙකුත් ඇමයිනෝ අම්ල අණු කඩා දමා නයිට්‍රජන් යූරියා ලෙස ශරීරයෙන් පිටකරනු ලැබේ. නමුත් ප්‍රෝටීන් වල ලක්ෂණ සහ පිරිසිදු ප්‍රෝටීන් පමණක් ලබා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බොහෝ විට අමතර ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගත නොහැකි වේ (ප්‍රෝටීන් උපරිමයෙන් අඩංගු කුකුල් මසේ breast කොටසේ ප්‍රෝටීන් ප්‍රතිශතය 30%ක් පමණ වේ. 80%කට ආසන්න ප්‍රෝටීන් ප්‍රතිශතයක් ඇති Whey ප්‍රෝටීන් පිටි එතරම් ප්‍රමාණයක් බලෙන් හෝ බීමට නොහැක). බොහෝ විට කැලරි අතිරික්තයක් ඇති වන්නේ කාබෝහයිඩ්‍රේට් හා මේදය වැඩිපුර ආහාරයට ගැනීමෙනි.

නූතන සමාජයේ ආහාර රටාවන්

මේදය වැඩි ආහාර සඳහා මිනිසුන් වැඩි ආශාවක් දක්වන බව විද්‍යාත්මකව ඉදිරිපත් කරන ලද සාධකයකි. මානව ආදිතමයින්ගේ ආහාර රටාවන්, එනම් ආහාර ලැබුන විට හැකි තරම් පරිභෝජනය කිරීමත් ඉන්පසු සැලකිය යුතු කාලයක් යනතුරු ආහාර ලැබීමේ සම්භාවිතාව අඩුවීමත් සාධක කොට ගෙන මෙවැනි පරිණාමීය ලක්ෂණයක් මානවයින් උරුම කරගෙන ඇති බව පිලිගත් මතයයි. ඒ අනුව මේදය වැඩි ආහාර වැඩි රසයක් ගෙන දෙන අතර මේදය ගබඩා කර ගත් පසුව බොහෝ කාලයක් එම ගබඩා කර ගත් මේදයෙන් ශරීරය පවත්වා ගෙන යා හැක.

නමුත් වර්තමානයේදී අතීතයේ මෙන් ආහාර හිඟයක් දක්නට නොලැබෙන තත්වයක (මේ කතා කරන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා අනෙකුත් රටවල දියුණු පෙදෙස් පිලිබඳවය. මාතෘකාව දේශපාලනික නොවන නිසා හැකි තරම් විෂය මූලික ආකාරයට කරුණු දැක්වේ) මෙම ලක්ෂණය වෙනස් ප්‍රතිඵලයක් ගෙන දේ.

අද අප ගන්නා ආහාර කාබෝහයිඩ්‍රේට් හා මේදය අධික වන අතර එලවලු හා පලතුරු ආහාර ලබාගන්නේ අවම ප්‍රමාණයෙනි. ලාංකික ආහාර වේලක සංයුතිය ගතහොත් බොහෝ විට සුදු බත් වැඩි ප්‍රමාණයක්, මස් (කුකුල් මස් නම් කුකුල් කකුලක්), බැදුමක් (බටු මෝජුවක්), පරිප්පු වලින් සමන්විත වන අතර වෙලඳ සැලකින් ලබා ගත් බත් වේලක් නම් තෙල් අධික බව පෙනී යනු ඇත. Fast Food මීටත් වඩා අන්ත තත්වයක පවතී. සීනි, ලුණු, මේදය අධික වන අතර නැවත නැවත බැද ගන්නා ආහාර වල අධික මේද ප්‍රමාණයක් ගබඩා වී තිබේ.

ශාරීරිකව ඉතාමත් ක්‍රියාකාරී රැකියාවක නියුතු අයෙකුට මෙවැනි ආහාර වේලක බලපෑම එතරම් දැනෙන්නේ නැත. තරබාරු මේසන් බාස්ලා, යකඩ කම්කරුවන්, ආදී අය දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. නමුත් එක තැන දවසේ බොහෝ වේලාවක් වාඩි වී අවම ශරීර ක්‍රියාකාරීත්වයකින් කටයුතු කරන අයට මෙම බලපෑම තදින් දැනේ. බාහිර උපද්‍රව වලින් සෑදෙන ලෙඩ රෝග බොහෝමයක් තුරන් කර ඇතත් තරබාරු බව, හෘදයාබාධ, දියවැඩියාව ආදිය ඉතා අඩු වයසෙන් දක්නට ලැබෙන්නේ එම නිසාය.

මීට අමතරව බොහෝ අය උදේ ආහාර වේල අඩුවෙන් ගැනීමටත් රාත්‍රී ආහාර වේල වැඩියෙන් ගැනීමටත් පුරුදු වී ඇත. ඒ අනුව උදේට මාලුපාන් ගෙඩියක් හෝ රොටියක් කා දවස පටන් ගෙන දවාලට පෙට්ටි කඩේකින් තෙල් බත් පැකට් එකක් ගිල දමා රෑට කොත්තුවකින් දවස අවසාන කිරීම සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව ඇත.

Metabolic rate අගය උදෑසනදී උපරිම අගයක් ගැනීමට පරිපූර්ණ ආහාර වේලක් ලබා ගත යුතුය. එලෙසම Metabolic rate අගය අවම රාත්‍රියේදී පිටි අධික ආහාර ගිල දැමීමෙන් සිදු වන්නේ ඒවා අමතර මේදය ලෙස චර්මයට යටින් තැන්පත් වීමයි. මෙය තරබාරු බවට රතු පාවඩ අතුරා ආරාධනා කිරීමකි.

ලේඛකයා යෙදෙන මෘදුකාංග ඉංජිනේරු අංශයේ බඩක් නොමැති අයෙකු සොයා ගැනීම ඉතා අපහසුය. එලෙසම අධික තරබාරු පුද්ගලයින් ආයතනයකට අවම වශයෙන් දෙදෙනෙක‍්වත් සිටී. මෙය බැංකු, රියදුරු, මූල්‍ය ක්ෂේත්‍ර ආදී සියලු පුටු රත් කරන ක්ෂේත්‍රයන්ට පොදු ය. නූතන සමාජ රටාවකට සෙමින් එකතු වෙන ලංකාව ආශ්‍රිතව මෙය සමාජ ගැටළුවක් බවට පත්වීමට වැඩි කල් ගත නොවෙන බව ඉතා පැහැදිලිය. එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් දැනටමත් අධික තරබාරු කම සමාජ ගැටළුවක් ලෙස අර්ථ දක්වා ඒ සඳහා පිලියම් සොයන අදියරට පැමිණ ඇත.

මීලඟ ලිපියෙන් තරබාරු බව අඩු කිරීම ආශ්‍රිත මූලික දැනුම සාකච්ඡා කෙරේ.

උදුල් ෆුඩ් සිටි ගියා වාගේ

ඊයෙ පෙරේදා පංති විඥාණය කියන දේ ගැන ප්‍රශ්න කරල ලියද්දි පොඩි නිරීක්ෂණයක් ලිව්ව අන්තරේ අවුරුදු දෙකකට කලින් කැඳවුම් කරු වෙච්ච උදුල් ගැන. මගෙ පොයින්ට් එක වුනේ පංති විඥාණය කියන දේ සාර්ථකව මිනිස්සුන්ට දෙන්න බැහැ, ඒක හිතළුවක් කියන එක. ඒත් ඒකට කමෙන්ට් කරපු මචං කෙනෙක් පංති විඥාණය තියෙනවද නැද්ද කියන එක පැත්තකට දාල උදුල්ට කින්ඩිය දාපු එකට යුද්ද ප්‍රකාශ කලා. ඇත්තටම මම දැන් පිලිගන්නව මම උදුල්ට එහෙම කියපු එක වැරදියි කියල. උදුල් ගැන මම දැනගෙන හිටියෙ නෑ. ෂිහ්, මම හෙන පවක් කර ගත්තා. මම හිතනව මම ඒ කර ගත්ත පවෙන් ගොඩ එන්න මේ කමෙන්ට් එක ඉවහල් වෙයි කියල.

මචං උදුල් සමාවෙයන්!

// පංති විඥාණය කියල එකක් නැත්නම් උඹ අහවල් අලෙකටද මචං මේ පොළොවේ පස් කාගෙන උදුලට නෙලන්නේ//

මම උදුල්ට එහෙම කියපු එක වැරදියි.

උදුල් කියන්නෙ මාර බුවෙක්.
දෙයියෙක්.
ලංකාවේ නිදහස් අද්දියාපනේ ඉස්ට දේවතාවා.
උදුල් නැත්තං කැම්පස් නෑ, අද්දියාපනේ නෑ. නවක නම්නීකරණය (රැග් එක කියල කියන්නෙ අපි වගේ අලයෝ)ත් නෑ.
මේ උදුල් ගැන කතා කිහිපයක්.

  • දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
  • උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
  • උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
  • උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
  • උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
  • උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
  • උදුල් ඉහලින් පාස් වෙලා ඩෙන්ටල් එකට ගියාලු. යද්දි පාස් වුන හැමෝම කැම්පස් ගන්නෑලු. උදුල් ගත්තලු කැම්පස් යද්දි ඉල්ලන්න තියෙන පොත අතට. ගියාලු කෙලින්ම උසස් අද්දියාපනයා ගාවට. “සර් හෙට වෙද්දි පාස් වුන හැමෝම කැම්පස් වල ඉන්න ඕනෙ“ කිව්වලු. කියල අර පොතෙන් “සර්ගෙ පිස්සුව හොඳ වෙන්නත් එක්ක“ කියල ගැහුවලු ඔලුවට එකක්. එදායින් පස්සෙ උසස් අද්දියාපනයා පිස්සු කතා කියවන එක නැවැත්තුවලු. ඒලෙවල් පාස් වුන හැම එකාම මිනිහ බලෙන්ම වගේ කැම්පස් එක්කං ආවලු.
  • උදුල් සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලොක්කා බල කරල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් දාන්න බවුන්ඩේසම දාන්න පටන් ගත්තලු මාලඹේ හරියෙ. උදුල්ට මේක ආරංචි වුනාම යකා නැග්ගලු. යාලුවො අල්ල ගන්න හැදුවට “අත ඇරපියව් මාව“ කියල උදුල ගත්තලු සයිකලේ, පෑගුව පෑගිල්ලට විනාඩි පහෙන් මාලඹේලු. බවුන්ඩේසම ගහන්න ආපු බාස්ලා ටිකක් උදුලට ගහන්න ආවට උදුල එක කික් එකයි දුන්නෙ. ඔක්කොම විසි වුනාලු. කැඩිච්ච බවුන්ඩේසම උඩ එක කකුලක් තියා ගත්ත උදුල් කියුබන් සුරුට්ටුවක් කටේ ගහගෙන මෙහෙම කිව්වලු. “ආයෙ මෙතන ප්‍රයිවට් මොනවත් බෑ!!“. මෙඩිකල් කොලේජ් එක ගහන්න ආපු එවුන් එක පැයෙන් රටෙන් පිට වුනාලු. ලොක්කා උදුල්ට එදා රෑ කතා කරල සමාව ඉල්ලුවලු.
  • මාසෙකට දෙකකට පස්සෙ උසස් අද්දියාපනය එපා කියද්දිම තව සෙට් එකක් පටන් ගත්තලු අලුතෙන් කැම්පස් එන එවුන්ට ආමි ට්‍රේනිං දෙන්න. ආමි ට්‍රේනින් පලවෙනි දවසෙම උදුල් එතනට ආවලු ආම්කට් බැනියමක් එක්ක ඇඟට හිර ඩෙනිමක් ගහල. බාගෙට ඉවර වෙච්ච කියුබන් සුරුට්ටුව කටේ කොනකට අරං උදුල මෙහෙම කිව්වලු. “කැම්පස් එකට අලුතෙන් එන්න ඉන්න එවුන් දැන් මෙතනින් පලයල්ලා. උඹලට ආමි ට්‍රේනින් නෑ“ අලුත් කොල්ලො කෙල්ලො ටික හෙමින් සැරේ ගෙදර ගියාලු. ඊට පස්සෙ එතනට ඇවිත් තිබුන ආමි ලොක්කා ගාවට උදුල හෙමින් සැරේ ගියාලු. ගිහින් ලොක්කගෙ ඇද වුන තොප්පිය හෙම හදල ඇඳුමෙ දූවිලි එහෙම පිහ දාල කිව්වලු “ආයෙ කැම්පස් යන එවුන්ට ආමි ට්‍රේනින් බෑ. හරිද?“ කියල. ආමි ලොක්කට චූ ගියෙ නැති එක විතරලු. අර ලමයි ට්‍රේනිං එකට ගෙවල තිබුන සල්ලි දෙගුණයක් වෙලා ගෙවල් වලටත් යවල තිබ්බලු. ඒ එක්කම නෝට් එකකුත් යවල තිබ්බලු “වඳින්නං නංගියෙ/මල්ලියෙ ආයෙ ට්‍රේනිං එන්න එපා, උදුල මාව කයි කියල“. එදායින් පස්සෙ හැම හුචක්කුවටම ආමි ට්‍රේනිං දෙන එක නැවතුනාලු.

මේක උදුල් ගැන තියෙන කතා වලින් කිහිපයක් විතරයි.

udul-vs-enemiew-of-free-education

මේ තියෙන්නෙ උදුල්ගෙ වීර ක්‍රියාවලින් හැදිච්ච ප්‍රස්ථාව පිරුළු ටිකක්.

  • උදුලුයි එස්බීයි පොර ටෝක් දුන්නා වාගේ – වලි දාගන්නෙ දෙන්නෙක්, ගුටි කන්නෙ තර්ඩ් පාටි එකක් වගේ වෙන වෙලාවකට සුදුසුයි
  • උදුල් නිදහස් අද්දියාපනය බේර ගත්තා වාගෙ – මේක ඉතින් හැමෝම දන්නව.
  • උදුල් නැති වෙලාවට සංජීවයි නජිතුයි ටෝක් දෙනවා වාගේ – A නැති තැන B, A ගැන පොර ටෝක් දී Aට ඒ නිසා ගුටි කන්න වෙන වෙලාවකදි සුදුසුයි
  • උදුලුත් නෑ, නැති වෙච්ච ආමි ට්‍රේනිනුත් නෑ වාගේ – මේකත් හෙන ප්‍රසිද්ධ කියමනක්.
  • එස්බීට උදුල් වාගේ – මේකත් ප්‍රසිද්ධයි.
  • කැම්පස් කොල්ලොන්ටත් උදුල්ම සෙට් වුනා වාගේ – කරුමයක් ගෙවන්නම සිද්ද වුනාම මේ කතාව කියනව.
  • රැග් එක ගැන උදුල් කතා කලා වාගේ – සිද්ද වුනේ නැති දේවල් ගැන කියද්දි මේ කතාව කියනව.
  • රැග් එක ගැන කියද්දි උදුල් කරනවා වාගේ – චාටර් වෙන ටොපික් එකක් ආවම කතා නැතුව ලිස්සල යන අයට මේක කියනව (පර්සනල් ගන්න එපා මචං)
  • රැග් එකෙන් කැම්පස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • අන්තරෙන් කැම්පස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • අන්තරෙන් නිදහස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • උදුල් නිසා අන්තරේ දියුණු වුනා වාගේ – sarcasm සිංහලෙන්
  • ජවිපෙට අන්තරේ සම්බන්ධ නෑ කිව්වා වාගේ – හැමෝම දන්න දේවල් නෑ කියද්දි මෙහෙම කියනව.

හෙන ප්‍රසිද්ද එකක් අන්තිමට

  • උදුල් ෆුඩ් සිටි ගියා වාගේණයට කහිනව කියන එකට අලුත් කියමනක්. (පව් කියල හිතුන නිසා කපල දැම්ම.) හාස්කම් ගැන කියවන ගුරුන්නාන්සේලා ඇපලෝ එකට ගිහින් බෙහෙත් ගන්නවට කියන කියමනක්.

පංති විඥාණය යනු බම්බුවකි

පංති විඥාණය!

ආච්චිගෙ රෙද්දෙ විඥාණය. විප්ලවය හෙට අනිද්දා දෙන්ඩ යන  අය ඉඳන් දවල්ට කෑම කාලා දිරවන්න දේශපාලනය කතා කරන අය වෙනකං කියවන පංති විඥාණය මාර සීන් එකක්. කොච්චර අමුතුද කියනවනං සමාජවාදී (ලංකාවේනං ජේවීපීවාදී. ජේවිපියට මෙව්වා එක දාලා කලාවක් තියෙන්ඩ බෑ) සාහිත්‍යයෙන් පිට මට ඔය කියන බම්බුව ලංකාවෙදිනං හම්බ වෙලා නෑ. පිටරට තියෙනවද දන්නෙත් නෑ. රුසියාවෙ සමහර විට ඇති.

කොන්දා – බස් එකට නැග්ග වෙලේ ඉඳන් “මුගෙ අම්මට“ කියල දහ දොලොස් වතාවක් හිතෙන් අහගන්නෙ අපේ තියෙන ප්‍රතිගාමී චින්තනයට නෙමෙයි. ඌ රුපියල අතේ තියාගෙනත් නොදී ඉන්නකොට පංති විඥාණය බඩදාලා යන්ඩ දෙන්න හිතෙන්නෙත් ඒ නිසා නෙමෙයි. ඌත් පාට් එක දාන්නෙ උගෙ පන්තියටමයි. අඩුවට ඇඳපැලඳගෙන එච්චර පොෂ් පෙනුමක් නැති එවුන්ට කොන්දගෙ රැවුම් ගෙරවුම් වැඩියි. “මූත් මගෙ පන්තියෙම එකෙක්. මූට රුපියල දෙන්ඩ ඕනෙ“ කියල හිතපු කොන්දෙක් ඉන්නවනං ඒ සම්මා සම්බුදු බෝධියෙන් නිවන ලඟාකරගන්න වෙරදරන එකෙක්ම වෙන්ඩෝනෙ (ඒ කියන්නෙ එහෙම එවුන් නෑ කියන එක).

වේටරයා – හෝටලයකට ගිහින් (සයිවර් කඩේකටත් වැඩිය මේවා බලාගන්න පුලුවන් පොෂ් තැනකට ගියොත් – බාස් කැපේ, හැංමැටුන් ෆිස් මාර්කැට්, ඉස්පොන්ජි, පිස්සු හට්න් වගේ) මල්ලි පීසා එකක් දාන්ඩ, මල්ලි 120/= බත් එකක් දෙන්ඩ, මේ මෙන්න මේ අයිටම් එක (මෙනු එකේ තියෙන දේ කියව ගන්න බැරි නිසා) දෙන්න කිව්වොත් කෑම එකට අමතරව වේටර්කාරයගෙ රැවුම් ගෙරවුමුත් බලාගන්න පුලුවන් යස අගේට. හොඳට වටපිට බැලුවොත් ඒ අයිටම් ටිකම කඩ්ඩෙන් ඉල්ලපු බුවාලට ඒ වේටරයම “සෑර්“ කියාගෙන අටවකේට නැවෙන හැටි බලන්නත් පුලුවන්. දැන් මේ අපිට රැවුම් ගෙරවුම් දාන්නෙ ධනපති පංතියෙ රදළ නියෝජිතයෙක්ද? අඩුම ගානෙ ධනපතින්ගෙ කටු ලෙවකනව කියන පොලිස්කාරයෙක්ද? වේටරුත් ඇඳුම ගලවල එලියට බහින්නෙ පීඩිත පංතියෙ බස් එකක එල්ලිල පීඩිත බඩුවක් ගහල ගෙදර ගිහින් අහස් ගව්ව බලල නිදා ගන්න. ඌ කොටින්ම ජේවීපි රැලි වලටත් යනව ඇති. හැබැයි බෙන්ස් එකකින් බැහැල ඇවිත් කඩ්ඩෙන් ඕඩර් කරේ නැත්තං ඌත් කඩා පනින්නෙ මහත්තුරු කන කෑම හිඟාකාගෙන ආපු එකෙක් ගානට. මගෙ යාලුවෙක් කිව්ව ඒ වැඩිපුර ටිප් ලැබෙන්නෙ පොෂ් බුවාලගෙන් නිසා කියල. ඒත් මේ හුඟක් පොෂ් තැන් වල ටිප් සිස්ටම් එක අයින් කරල සර්විස් චාජ් එකක් එකතු කරල තියෙන නිසා ඒ කතාවත් එච්චරම වලංගු නෑ.

බැංකු – වැඩිය කියන්න දෙයක් නෑ. කවුන්ටරේ ඉන්න අක්කා/අයියා/නංගි/මල්ලි සලකන්නෙ ටයි එකට. මට හිතෙන හැටියට ටී ෂර්ට් එකට උඩින් හරි ටයි එකක් දාගෙන ආවොත් පොලිම් අනවශ්‍යයි. ජාතියේ පාන් ටැඹ කියාගෙන ඉන්න බැංකුව ඇඳුමෙන් මිනිස්සු උඩදානව කියල මම (ටී ෂර්ට් එක උඩින් දාලා කබල් ඩෙනිම ගහල නොයන දවසක් නැති තරං. ජෙන්ට ගහලනං ඉන්ටර්වීව් හරි වෙඩිං හරි තමයි.) දැනගත්තෙ කවුන්ටරේ ලඟ එල්ලිගෙන ඉඳිද්දි මාව දැක්කෙ නැති ගානට මට පිටිපස්සෙ හිටිය ටයි කලිසන් බුවාලට සර්විස් එක දෙනව දැකල. මගෙ පංති විඥාණය අසූහාරදාහට නැග්ග. දැන් කියපල්ල බැංකුකාරයො කොහොමත් ප්‍රතිගාමියො කියල. දැන් මේ උන්දැලැ ගෙදර ගියාමත් ප්‍රතිගාමියොද? ධනවාදය රැක ගන්න රෑ දවල් නොබල වැඩ කරනවද?

තව ලැයිස්තු ගහන්න පුලුවන්. ඒත් ඒ හැම සේවා ස්ථානයකින්ම පංති විඥාණය හොයාගන්නවට වැඩිය ලේසියි පගා ගහපු නැති ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් හොයාගන්න එක.

මගෙ පොයින්ට් එක මේකයි.

ඔය කියන පංති විඥාණය ඇත්තටම තියෙන එකක්ද?

Protests (By Hagleikur Dagsson - http://hugleikurdagsson.tumblr.com/)

Protests (By Hagleikur Dagsson – http://hugleikurdagsson.tumblr.com/)