ඒයි උඹ කොළඹ නේද?


මම පරිගණක ගැන ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. මේ යන්ත්‍රයක් ගැන ඉගෙන ගන්න නිසා අපි වගේ අය සාමාන්‍යයෙන් හැම දෙයක් දිහාම බලන්නේ යාන්ත්‍රික විදියට. සාමාන්‍යයෙන්!
සංගීතය, කලාව, සාහිත්‍ය, දේශපාලනය වගේ පැතිකඩ අපේ ජීවිතයෙන් ඈත තියෙන්නේ. සාමාන්‍යයෙන්!
හැම දෙයක්ම නවීන ලෝකයේ මිනුම් දඬු වලින් සාධාරණීකරනය කරලා තමයි ඒ දේ හොඳද නරකද කියලා බලන්නේ. පරිගණක වලට අනුව. ඒ අපේ හැටි. අපි කරන රස්සාව, අපි අන්තර්ක්‍රියා කරන පරිසරය, අපි රස්සාවෙදි ආශ්‍රය කරන මිනිස්සු…….. ඒ අනුව බලන කොට අපි හැඩගැහිලා තියෙන්නේ පරිසරය‍ට ඔනේ විදියට. අපි හිතාගත්තු විදියකට නෙවෙයි. අපිට ඕන විදියකට නෙවෙයි. සාමාන්‍යයෙන්!
මේ කරුණ නිසා අනිත් අයගෙන් හැමතිස්සෙම එක එක විදියට නොයෙකුත් මත එල්ල වෙලා තියෙනවා. අනිත් අය කිව්වේ පරිගණක හැර වෙනත් අංශ වල ඉන්න අය. ඒක ඒ අයගේ තේරුම් ගැනීමේ හැකියාව හරි තේරුම් ගන්න උත්සහා කරපු ප්‍රමාණය හරි. මහ ලොකුවට දේශපාලනය හරි සමාජය ගැන හරි කතා කරන මිනිස්සුන්ට අපේම සමාජයේ අපි අතරම ජීවත් වෙන අය ගැන තේරුම් ගන්න බෑ කියන්නත් බෑ. මම දන්නේ නෑ මොකද්ද වැරැද්ද කියලා.

ඔන්න ඒ පලවෙනි එක. අපිට බනින්න එක දෙයක් තියෙනවා.
අයි ටී ඉගෙන ගන්න එවුන්ට වෙන දෙයක් බෑ. දන්න මඟුලක් නෑ.


ඊළඟ එක…..
මම මුලින්ම කිව්වේ මම පරිගණක හදාරන ශිෂ්‍යයෙක් මිසක් මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියලා නෙවෙයි. මොකද එහෙම කිව්වා මේ වෙනකන් මේ සටහන කියවන සමහරු කියවන්නේ නැතුව යන්න තිබ්බා. මොකද?
මම ඇතුලු මගේ බ්ලොග් අවකාශයේ ඉන්න මගේ බොහෝ යාලුවෝ කොළඹ විශ්ව විද්‍යාලයේ. ඔන්න තවත් දෙයක් අහුවුනා. ඔය තියෙන්නේ. බැනපන්.
ආහ්.. මේ කැම්පස් පන්ඩිතයෙක්ගේ තවත් කතාවක්. මුන් හිතාගෙන ඉන්නේ අනිත් ඔක්කොටම වැඩිය මුන් බුවාලා කියලා. අනේ බොස් අපිනම් ඉගෙන ගෙන නෑ. අපිට බෑ උඹලට තරම්.


ඔන්න තවත් එකක්…
මගෙන් සමහර යාලුවෝ ඇහුවාම කොහෙද මචන් ඉස්කෝලේ කියලා උත්තර දෙන්න වෙලා තියෙන්නේ බොහොම පරිස්සමෙන්. මම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඔන්න ඉතින් රෝයල් කියපු ගමන් අධිරාජ්‍ය විරෝධී හැඟීම් ඉස්මතු වෙනවා.
රනිල් වගේ එවුන් තමයි තොපිලත්. කලු සුද්දෝ. මේ සල්ලි කා‍රයෝ හැමදාම සැප විඳලා එන්නේ කැම්පස්. අපි වගේ දුප්පත් එවුන් පාගලා ඉන්නේ උඹලා. අලි ඔලු කාරයො. හෙන ඔලුව රෝයල් කියලා. මුන් හිතාගෙන ඉන්නේ හැමෝම මුන්ට යටත් වෙලා ඉන්න ඕනෙ කියලා. (සමහරු මූනට කිව්වත් හුඟක් අය මේවා මුනට කියන දේවල් නෙවෙයි. හිතින් හිතන දේවල්)

තවත් මේ වගේ ලිස්ට් තියෙනවා. “තාත්තා රට” කිව්වාම වෙන දේවල්. මම බැච්ටොප් නම් බැච්ටොප් කියල වචනේවත් කොහෙවත් පාවිච්චි කරන්න බෑ. ආ … උඹ බැච්ටොපා හරි ඔලුව.. උඹ පොර කියලා පෙන්නන්න යනවා නේද? ඉංග්‍රිසි වචනයක් බැරි වෙලාවත් පාවිච්චි කලොත් අහගන්න වෙන්නේ දැන් කාලේ හැටියට දේශද්‍රෝහියා කියලා.

මේ හැමතැනම වෙන්නේ අපි ක්‍රියා කරපු හරි දැන් ක්‍රියා කරන හරි භූමිකාවක් නිසා අපි ගැන අසාධාරණ පූර්ව විනිශ්චයකට (prejudice) එන එක. මම පරිගණක ශිෂ්‍යයෙක් වෙච්ච පලියට වෙන දෙයක් දන්නේ නැති වෙන්න ඔනේ. මම කැම්පස් නිසා හෙන පන්ඩිතයෙක් වෙන්න ඔනේ.
ඒ පූර්ව විනිශ්චයකට ආවට පස්සේ අපි කරන හැම දෙයක්ම බලන්නේ ඒ ඇහින්. උදාහරනයක් විදියට…

අරූ බැච්ටොප් ය.
සියලුම බැච්ටොපාලා හරි ඔලුව ඇති පොර ටෝක් දෙන පන්ඩිතයන්ය. (මෙය කලින් වුන සිද්ධියක් නිසා හෝ කටකතා හෝ එවැනි මාධ්‍යක් විසින් පතුරවන ලද මතයක් නිසා හෝ හට ගන්නා සිතුවිල්ලක් වේ. i.e. prejudice)
එම නිසා අරූත් හෙන පන්ඩිත පොර ටෝක් කාරයෙක් වේ.
(දැන් අරූ දේශනය අතරතුර ප්‍රශ්නයක් අසයි)
ඔන්න අරූ වැඩ පෙන්නනවා (මේ කලින් අරූ ගැන ඇති කරගත් සිතුවිල්ල නිසා ප්‍රශ්නය ඇසීම දෙස ඒ කෝණයෙන්ම බැලීම නිසා හට ගත් දෙයකි)

මේ අපි සැම දෙනෙක් ම එදිනෙදා නොදැනුවත්වම කරන දෙයක්. බ්ලොග් අවකාශයෙදි වුනත් මේ “සංසිද්ධියට” ඕන තරම් උදාහරණ හොයාගන්න පුලුවන්. ඒවා උපුටා දක්වන්න ඕන වෙන්නේ නෑ.

මම පෞද්ගලිකව මුහුණ පාලා තියෙන අත්දැකීම් හුඟක් තියෙනවා. ඒවා හැම එකක්ම කියන්නේ නැතුව එකක් කියන්නම්. මොකද ඊළඟට කාට හරි කියන්න පුලුවන් මුගේ දුක් ගැනවිලි කියවනවා මිසක් දේශපාලනයක් කතා කරන්නේ නෑ කියලා. බ්ලොග් කරණයේ පොලිසියකුත් දැන් ඉන්නවනේ ප්‍රමිති හඳුන්වා දෙන්න. ප්‍රමිති වලට ලිව්වේ නැත්නම් බැනුම් තමයි.
මම ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ පිහිටලා තියෙන නගරයක. කොටින්ම කිව්වොත් කොළඹ කන්ඩායමට අයිති වෙන්නේ. ඉතින් ඕන කෙනෙක් ඇහුවොත් කොහෙද කියලා මුලින් ගම කියනවා. ඒක දන්නේ නැත්නම් ඊළඟට කියනවා මම කොළඹ කියලා. ඒ විදියටයි කොළඹ කන්ඩායමට අහු වෙන්නේ.
ඔන්න දැන් පටන් ගන්නවා හිතේ වැඩ කරන්න. “කොළඹ එවුන් කියන්නේ ස්වාභාවයෙන්ම දුෂ්ඨ එවුන්. කරන දහ ජරා වැඩ ඔක්කොම කරන්නේ කොළඹ එවුන්. මුන් ඔක්කොම සැප විඳලා එන්නේ අපි වගේ ඈත ඉඳන් එන එවුන්ට වැඩිය වාසියක් තියාගෙන. සල්ලි පිරිලා. ඇයි කොළඹ කෙල්ලො? උන් තමයි සංස්කෘතිය විනාස කරන්නේ. කිසි හැදියාවක් නෑ. ”
ඉතින් ඊට පස්සේ අපි තමයි දුෂ්ඨයෝ. අපි තමයි රට කන්නේ. අපෙන් රට බේර ගන්න තමයි ගමෙන් ආපු වීරයෝ ඉන්නේ. ඒයි අන්න බලපන්.. කොළඹ ගැට්ට… උන්ට පාඩමක් උගන්නන්න ඔනේ… මේ උඹලත් අහගනිල්ලා… උඹලා තමයි මෙතන ඉන්න මොලේ තියෙන අය. උඹලට කෙලවන්න ඉන්න එකම සෙට් එක කොළඹ එවුන් ටික… ඔන්න පොඩි එවුන්ගෙත් මනස හැඩ ගැස්සුවා. ඉතින් මේක යනවා එක දිගටම. සමහර කැම්පස් වල ආවේ කොළඹ ඉඳන් කියලා කිව්වොත් ලැබෙන වාග් මාලාවයි (වාසනාවන්තනම් එච්චරයි) ගුටි පෝලිමයි ඇති කොළඹ එකාගේ දුෂ්ඨකම යන්න. කොළඹයි ගමයි හරිම එකමුතුයි.
මේ එකමුතු කම ආරම්භ වුනේ කොහොමද කියලා හොඳට ලියලා තිබ්බා BeyondFrame. (දැන් මටත් කියන්න එපා දේශද්‍රෝහියා කියලා. හරි, මට කිව්වත් නැතත් කමක් නෑ. කියලා තියෙන දේ හරිද වැරදිද කියලා බලන්න). එක එක ගොබ්බයන්ට ප්‍රසිද්ධ වෙන්න, ඡන්දේ ගන්න, ඇයි! බලයේ රැ‍‍‍ඳෙන්න තියෙන ප්‍රධාන තර්කය තමයි නගරයේ දුෂ්ඨකම් අතරින් නැගිටලා ගම හදනවා කියන එක.
මම කියන්න යන්නේ නෑ ගමද හොඳ නගරයද හොඳ කියලා. එහෙම වෙන් කරන්න යන එකත් එක විදියක මෝඩ කමක්. ඉතිහාසේ කවද්ද හොඳ මිනිස්සු ගමටයි නරක එවුන් නගරයටයි ගාල් කලේ?

වඩා වැදගත් වෙන්නේ මනුස්සයා ගමේ වුනත් නගරේ වුනත්, රෝයල් වුනත් මධ්‍ය මහා විද්‍යාලේ වුනත්, කැම්පස් වුනත් නැති වුනත් ලේබල් අලවන්නේ නැතුව හොඳ නරක ක්‍රියාවෙන් මනින එක.
ඇස් දෙකම වහගෙන එක ඇඟිල්ලක් ඇරලා බලන්නේ නැතුව ඇස් හොඳට ඇරලා බලන්න. සමහර විට අරූ රෝයල් ගිහින් කැම්පස් ආවේ ගමේ එකා කැම්පස් ආවට වැඩිය අමාරුවෙන් වෙන්න පුලුවන්. සමහර විට කැම්පස් ගිය එකාට වැඩිය නොගිය එකාගේ දැනුම වැඩි වෙන්න පුලුවන්. සමහර විට රෝයල් එකට වැඩිය “දේශප්‍රේමී” පාසැල් වල වෙන දේවල් ‍වැඩියම දේශප්‍රේමී නොවෙන්න පුලුවන්.

සමහර විට පරිගණක ශිෂ්‍යයොත් දේශපාලනය දන්නවා වෙන්න පුලුවන්.

10 thoughts on “ඒයි උඹ කොළඹ නේද?

  1. මේ කතාව ඇත්ත. මම කරන්නේ අයිටී නොවුණත් මමත් නොයෙක් තැන්වලදි ඔය කියන බෙදීම්වලට අහුවුණා. ඒ නිසා මට කොතනවත් ලොකු කණ්ඩායම් හිටියේ නෑ.. ඒත් සෑහෙන්න යාලුවොත් හිටියා..ශිෂ්‍යත්වෙ පාස්වෙලා ගමෙන් ආ ගමන් ගමට අමුත්තෙක් වුණා..මෙහේ ස්කෝලෙදි ඒකට පිටස්තර වුණා. යුනි ගියාම කොළඹ කියලා තේරුණ ගොඩකට වැටුණා. කො‍ලේජ් ගියාම යුනි ඉඳලා ආව නිසා ජෙප්පෙක් කිවුවා..ඉගෙනගන්න කලින් රස්සාවකට ගිය නිසා වෙනමම වෙන් වුණා..යුනි කවුරුත් ව‍ගේ රස්සාවටක් තියෙනවා එයාට නම් මොකද වගේ හැඟීමකින් කිසිම ‍අතපසු වුණ දෙයක් කිවුවේ නැහැ.වෙන කොයි තැනට ගියත් ඔය මොකක් හරි ඉලිප්පිලා එනවා. වැ‍ඩ කරන තැනදි මොකක් හරි කිවුවාම ආ මෙයා ඉතින් කැම්පස් නෙ කියනවා..වැඩක් නෑ කතා කරලා.. දැන් මං ඕවා ගණන් ගන්නේ නෑ..නමුත් මං ඒ හැම කෙනෙකුටම හැකි පමණින් උදව් කළා කිසිම ප්‍රත්‍යුපකාරයකට ඉඩ නොතබා.. එහෙමයි ඒ අයට පිළිතුරු දෙන්න ඕනා.. මිනිසුන් හිතන්නේ හරිම හීනමානයකින්.. අපි කරන දේ තමා හරි..ඒක තිබුණට උන්ට මේක බැහැනේ..අපිට තමා මේක අයිති..අපි තමා කලාව ගැන දන්නේ..වගේ කතා..ඇත්තටම බැලුවොත් හදාරන ලද නිසි දැනුමක් ඔහොම කියන වැඩි දෙනෙකුටත් නැහැ..නිකං මොහොකින් හරි මේ නගරයේ කොන්වීම මකාගන්න යමක් මත යැපෙනවා විතරයි.. මේ සමාජයට නොගැළපීම වහගන්න ආදේශකයක් හොයා ගන්නවා විතරයි.. ‍කාලෙකට දේශපාලනය..කාලෙකට කලාව..කාලෙකට ආගම..ඔන්න ඔය වගේ..ඉතින් මේ සටහන ගැන මට සටහන් ගණනාවකට කතන්දර තියෙනවා.. නමුත් කියලාවැඩක් නැහැනෙ..මේවායේ දේශපාලනය තේරුම් ගත් මගේ එක යාලුවෙක් යුනි අන්තිම කාලෙදි අපේ පන්තියේ අයට කිවුවා ” මට උඹලා වගේ උන් එක්ක එකට වාඩිවෙන්නවත් ඕන නැහැ ” කියලා පන්තිය පිටිපස්සෙන් වෙනම පුටුවක් තියලා වාඩි වුණා.. ( ඉඳහිට යුනි යන දාට මටත් ඒ ළඟින් ම පුටුවක් ඇදලා දුන්නා :D ) ඒ යාලුවා අද ‍ගොඩක් දුර ගිහින්..අනික් අය නම් සහතිකේ අල්මාරියට දාලා ඇතැම් අය රජයේ රැකියා..ඇතැම් අය ළමයි හදන් මොකක් හරි කරන් ඔහේ ඉන්නවා..තව ලිවුවොත් දිග වෙන නිසා නවතිනවා..
    මේ සටහනේ කියන්නේ ඇත්තටම සිද්ධ වෙන සහ තව දුරටත් එක එක ආකාරයෙන් වෙමින් පවතින දෙයක්..
    මේ බ්ලොග් අවකාශයෙන්ම වුණත් තේරුම් ගන්න පුලුවන් වෙන උදාහරණ නැතිවුණාට
    ස්තූතියි චමිල.

  2. ප්‍රතිචාර දක්වපු සැමට ස්තුතියි.
    @su
    වැඩට ගියාම මුහුන පාන අත්දැකීම් තාම නැතත් ඔබ කියන අනිත් ඒවානම් මමත් අත් විඳලා තියෙනවා. ඉස්සර ගමේ ක්‍රිකට් ගහපු කට්ටිය දැන් දැක්කාම හිනාවක් විතරක් දාලා යනවා. ශිෂ්‍යත්වෙන්නගරේ පාසැලට ගිය නිසා කලින් පාසැලේ යාලුවෝ දන්නේම නැති තරම් දුරස් වෙලා. ඇත්තටම අපේ මිනිස්සුන්ට තියෙන්නේ හීනමානයක්. මේ ගතිගුණ වෙනස් කරන්න ලේසියෙන් බෑ. සමහරුන්ට ඒහෙම හීනමානයක් නැති වුනත් කන්ඩායමට එකතු වෙන්න ඔනේ නිසා හීනමානය හදා ගන්නවා.
    ඔයාගේ යාලුවා කරලා තියෙන්නේ හොඳම වැඩේ. අන්තිමට තමන්ට තමන් හැර වෙන කවුරුත් නෑ.

  3. ඕක නම් මම අත් විඳල නැතත් කොළඹදි කොළඹ මිතුරන් ඇසුරේ දැකල තියෙනවා. එක එක අය කියන කතා අහන එක මම නම් සෑහෙන කල් නතර කරලා. ඒ වුණාට තාමත් කට්ටිය කතා නම් කියනවා. ගණන් ගන්න එපා ඕවා ;)

  4. Stereotyping අපේ සමාජයේ තියෙන විශාල ප්‍රශ්නයක්. දිගින් දිගට ලියන්න ඕනේ නැතත් මා මේ නිසා දැඩි ලෙස බැට කෑමට ලක්වුනු පුද්ගලයෙක්. කනගාටුයි කියන්න අපේ බ්ලොගවකාශයෙත් තියෙනවා. අපි එකිනෙකාට දැන්වත් LTTE කාරයා, දේශද්‍රෝහියා, NGO කාරයා, කැම්පස් කොල්ලා ආදී වශයෙන් ලේබල් නොගහා ඔවුන් කියන අදහස් දිහා විතරක් බලමු.

  5. බල්ලෝ බිරුවට කදු පාත් නෙවෙති.. එම නිසා ඔය වගේ කථා වලට නොසැලෙන තරමට හොදය.. මක් නිසාද යත් කපන්න බැරි වු පසු බොහෝ දෙනා ඊලග පියවර ලෙස කරන්නේ අත ඉබින එක බැවිනි.!

  6. මේ සටහන යම් යම් අයගේ අතෝරක් නැති ඒකම ආකාරයේ විවේචනයකට හසුවී ඇති බැව් පෙනේ.
    එක දෙයක් පැහැදිලි කිරීමට කැමැත්තෙමි. මෙය එම බ්ලොග් අයිතිකරු පවසන පරිදි පැහැදිලි කර ගැනීමට නොහැකි මැජික් පෙන්වීමක් හෝ තේරුම් ගැනීමට නොහැකි සිද්ධියක් ඉදිරිපත් කිරීමක් නොව සඳහන් සංසිද්ධිය පැහැදිලි කිරීමක් පමණි. මෙම සටහන නිසාම කියවූ පොත් පත් නිසා ඔහුට එක දෙයක් මතක නැති වී ඇත. ඒ Biology වලට වඩා ලෝකයක් ඇති බවයි. ඔහුට මේ ඇතිවෙන සෑම සිද්ධියක්ම biology වූවත් මේ සටහනේ ඇත්තේ එම සිද්ධීන් සමාජ විද්‍යාත්මකව පැහැදිලි කර ගැනීමට ගත් උත්සහයකි. එය ඔහුගේ “දෙන්නම් බැටේ” මොල පොජ්ජට තේරුම් ගැනීමට නොහැකි වීම එතරම් පුදුමයක්ද නොවේ.

  7. මමනම් ඔය වගේ මිනිසුන් විනිශ්චය (Judging, Steriotyping) කරන අය ආශ්රයෙන් ඉවත් කරනවා. ඒ වගේ අයගෙන් මට කිසිම වැඩක් නැහැ. මොකද මම අනෙක් බොහෝ දෙනාට තේරුන් ගන්න අපහසු චරිතයක්. මාව ඔය විදිහට විනිශ්චය කරන්න ගොයොත් ඒකාට පිස්සු හැදේවි.

  8. මේකයි වැඩේ. මිනිස්සු අපිව තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ. මුලින්ම දකින විදිය හරි දැක්කාම හිතෙන විදිය හරි තියාගෙන ඒ විදියටම ඊට පස්සෙත් බලනවා. ඒක ලේසිම වැඩේනෙ. First Impression කියාගෙන ඔය ධනාත්මක චින්තනකාරයෝ කෑ ගහන්නේ ඕකනේ.