කාළකන්නි ලිංගිකත්වය

දවසින් දවස අසන්නට ලැබෙන්නේ හිත කළඹන පුවත්. දවසින් දවස කරන්නේ කලින් කරාටත් වැඩිය පිස්සු වැඩ. අපි යනවා කියන ගමන යන්නේ පෙරටද නැත්තන් පැත්තකට ගහලද කියලා හිතෙන්නේ ඒ වෙලාවට. මොකද යන දිශාව දැක්කාම හිතෙන්නේ ටයර් එකක් හරි ඔක්කොම හරි හුලං නැතිව අදිනවා කියලා.

උදේම තමන්ගේ දුවට කිරි වීදුරුව ගෙනියන අම්මා දකින්නේ තමන්ගේ දුව ඇඳ රෙද්ද බාල්කයේ දාලා එල්ලිලා මැරෙන්න යන හැටි. ඉක්මනින් ඇයව බිමට බස්සගෙන ප්‍රශ්නය විමසලා බලද්දී එලි වෙන්නේ අපි නොදැනම අපේ ක්‍රමයේ තිබුන යක්ෂයෙක් ගැන. ඇය තමන්ගේ යෙහෙළියක් සමඟ පන්තියේදී තමන්ට පිරිමි ළමයෙක් දුන්න ලියුමක් කියව කියව ඉන්න කොට ගුරුවරිය දැකලා. ගුරුවරිය කරලා තියෙන්නේ පන්තිය ඉස්සරහාම ලියුම කියවලා ළමයාගේ ආත්මාභිමානය බින්දුවටම බස්සලා අන්තිමට විදුහල්පතිනිය ගාවට ගෙනිහින්. විදුහල්පතිනිය කරලා තියෙන්නේ අරයාටත් වැඩිය හපන්කමක්. “ඔයා වගේ කාළකන්නි ළමයි අපේ ඉස්කොලෙට ඕනේ නෑ. දැන්ම අස්වෙලා යන්න”. ඒ නිසා ඇයට තවත් ජීවත් වීම වැඩක් නෑ. ඇගේ දෙමාපියෝ දැනගත්තොත් මෙයටත් වැඩිය ලැජ්ජාවක්. එයට තියෙන එකම විසඳුම තමයි සියදිවි නසා ගැනීම.

විරුද්ධ ලිංගිකයන්ට ආකර්ශණය වීමේ වැරැද්දට දඬුවම, මරණය!

මෙයට සමාන තවත් සිදුවීම් කිහිපයක් රූපවාහිනියේ දැක්කා. ඒ හැම සිදුවීමකින්ම පෙනුනේ එකිනෙකා කෙරෙහි ආකර්ශනය, මරණයෙන් වන්දි ගෙවිය යුතු දඬුවමක් ලෙස. එතකොට මිනිසුන් ලෙස, එහෙත් බැරිනම් ජීව විද්‍යාත්මක සත්වයෙක් විදියට අප කළ යුත්තේ කුමක්ද? ගැහැණියක් දුටු පමණින් ඉවත බලා ගැනීමද? පිරිමියෙක් ළඟින්වත් නොයෑමද? Sex යන වචනය අපගේ විශය මාලාවෙන් ඉවත් කිරීමද? එසේනම් මම කුඩා කල ආශාවෙන් බැලූ මායාබන්ධන නාටකයේ මෙන් රොබෝ දරුවන් සෑදීමට දැන් සිටම තාක්ශණය සඳහා පර්යේෂන පටන් ගත යුතුයි.

මෙම සිදුවීම් වලින් එළි වන්නේ අප මෙතෙක් ජීවත් වූ අපම සාදාගත් ඇසට නොපෙනෙන කූඩුව තුල ඇති විකාර වල ප්‍රථිපලයි. අප වෙත වැඩිවිය පැමිණීම පටන්ම දමා ඇති නොයෙකුත් තහංචි වල දෙදරා යෑමයි. නොනැවැත්විය හැකි ජලකඳක් නැවැත්වීමට බැඳ දැමූ වේල්ලක් පුපුරා යෑමයි.

අප ජීවත් වන පරිසරය තුල ලිංගික ක්‍රියාකාරකම් යනු පව්කාර වැඩකි. පාසැල් යන කොල්ලෙක් කෙල්ලෙක් දෙස බැලුවොත් එය මහා වරදකි. පිරිමි ළමයෙකු හා ගැහැණු ළමයෙකු කතා කිරීම, ගැහැණු ළමයාට ගෙදරින් එළියට බැසීම තහනම් වන වරදකි. වෙනකක් තබා පෙම්වතුන් දෙදෙනෙකු අත් අල්ලා යෑමද සමහරුන්ගේ රැවීමට ලක් විය හැකි වරදකි. ළඟදි මිතුරෙක් පැවසු පරිදි විවාහයට පෙර ලිංගික එක් වීම තුන්වැනි සිල්පදය කැඩීමකි.

මෙම තහංචි දෙස සියුම් ලෙස බැලුවොත් අපිට පේනවා මේවා අප මහත් සේ අගය කොට සලකන “පැරණි සමාජ ක්‍රමය” තුළ නොතිබුනු බව. වරක් පැවසුනු පරිදි බිළිඳු අවධියේ තවමත් ගත කරන අපගේ සමාජය මිනිසා යන සත්වයා තේරුම් ‍නොගැනීමත් නොහැකියාව හා සංස්කෘතිය පටලවා ගැනීමත් මෙම තහංචි වලට හේතු වෙලා තිබෙනවා.

පළමුවෙන්ම අප ජීව විද්‍යාත්මකව සෑදී ඇත්තේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශනය විමටයි(මෙයාකාරයෙන් සමලිංගිකත්වය පැහැදිලි කිරීමට තරම් මට ජීව විද්‍යාව පිළිබඳ දැනුමක් නැත). එය තම වර්ගයා බෝ කර ගැනීමට පරිණාමයෙන් අපට ලබා දී ඇති යාන්ත්‍රණයයි. ප්‍රවේශමෙන් විමසා බැලුවොත් අප එදිනෙදා කරන ක්‍රියාකාරකම් වලට මූලය ලෙස මෙම ජීව විද්‍යාත්මක හේතුන් සොයාගත හැකියි. එසේනම් ඇත්තටම නීති උල්ලංඝනය වන්නේ එම අන්තර්ක්‍රියාකාරීත්වයට බාධා කිරීමෙන් නොවේද?

අප ලිංගික හැඟීම් දෙස බැලීමට පුරුදු වී ඇත්තේ පව්කාර සිතුවිලි ලෙසය. එම මතය කෙසේ ලාංකීය සමාජය තුළ ඇති වූවාද යන්න මම දන්නේ නැහැ. තැනක දුටු පරිදි ආගම් පසුබිමින් ගතහොත් එවැනි මතයක් බුදු දහම තුළ නොමැත. එහෙත් ක්‍රිස්තියානි ආගම් තුල එවැනි මතයක් ඇති බව අසා ඇත. එසේනම් අප මහ ඉහලින් බෞද්ධ ලෙස පිළිගන්නා සිරිත් බෞද්ධ නොවන බව පෙනී යයි(මෙය ක්‍රිස්තියානි ආගම් වලට ගැරහුමක් නොව අප මෙවැනි තහංචි පනවන්නේ බෞද්ධ යන ලේබලය යටතේ නිසා පැවසු දෙයකි). තුන්වැනි සිල්පදය ගැන වෙනම සංවාදයක් පැවැත්විය යුතුයි. එහෙත් කෙටියෙන් පවසනවානම් එය දෙදෙනෙකු ලිංගිකව එකතු වීම පවක් ලෙස වර්ගීකරණ කිරීමට තරම් පටු තහනමක් නොවන බව කිව යුතුය.

පාසැල් ලමුන් අතරට දැමූ තහනම සමාජයෙම ඇස් බැඳ දමා කඩා ඇති බව අප දැන් දන්නවා(යොමුව 1). නව යෞවනයේ පසුවන පාසැල් ලමුන්ට යොමු කරවිය යුත්තේ තහංචි වලට ද නැත්නම් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ලිංගික අධ්‍යාපනයකට ද? ලිංගික ආකර්ශණය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවට ගැහැණු ළමයි අහලකටවත් නොයෑමට බලපෑම් ඇතිකෙරේ. මෙය වඩාත් දරුණු වන්නේ ගැහැණු ළමයින්ටයි. පිරිමි ළමයෙකු සමඟ කතා කළ පමණින්ම ඇය ගණිකාවකට සම කිරීමට ගුරු “මෑණිවරුන්” සමත් වෙලා තියෙනවා. ලිංගික අධ්‍යාපනය විශය මාලාවේ තියෙනවා තමයි. ඒත් බොහෝ වෙලාවට වෙන්නේ එම පාඩම මඟහැර යාම හෝ සකස් කල සටහනක් ලබා දී උගන්වීම මඟ හැරීම. ඒ තියා උසස් පෙළ ජීව විද්‍යාවේ ක්‍රියාකාරී සත්වයා පාඩමේ ප්‍රජනන පද්ධතිය පිළිබඳ කතා කිරීමට “ලැජ්ජ” ගුරු භවතුන් දැනටත් සිටිනවා. මෙලෙස ටාබූ එකක් වී ඇති ලිංගික අධ්‍යාපනය අද බිහිකරන්නේ ලිංගිකව අමුතු හැසිරීම් පෙන්වන පිරිසක්. පාරේ ගමන් ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක් දෙස බලා ලිංගික සතුටක් ලැබීමට සමත් පිරිස් බිහිවෙන්නේ ඒ නිසා. යන්තම් සුහදව කතා කලත් ඉන්පසුව එම කාන්තාව පසුපස යෑමට තරම් සමාජ අන්තර්ක්‍රියා තේරුම් ගැනීමට නොහැකි පිරිස් බිහිවෙන්නේ ඒ නිසා.
ලිංගික ආශාවන් නිකන්ම නිකන් හැඟීම් ලෙස තෝරා නොගෙන එය sex drive එකක් එකක් ලෙස තේරම් ගැනීමට උත්සහ කිරීම වටින්නේ ඉහත සඳහන් කල කාරණා නිසා. එම drive එක හරස් කොට නැවැත්වීමට වඩා එය වඩාත් හිතකර ලෙස හැරවීමට පුරුදු වීම වැදගත්. නිසි ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ එතකොට. හරස් කොට නැවැත්වීමේදී එය වෙනත් තැනකින් කඩා ගෙන යෑම ස්වාභාවිකයි. එනමුත් මෙවැනි ප්‍රවේශයක් ලබා ගැනීමට හරස් වන පිරිස් නොයෙකුත් හේතු ඉදිරිපත් කරනවා. සංස්කෘතිය, සදාචාරය වැනි හේතු සංවාදයකට ඇද ගැනීමට පෙර පහත කරුණුත් සැලකිල්ලට ගත යුතුයි.

ඉහත ආකාරයට සංස්කෘතියේ හා සදාචාරයේ නාමයෙන් කොතෙකුත් තහංචි දැමුවත් මිනිසුන් විසින් ඒවා බිඳ දමා ගොස් ඇති බව අපට පැහැදිලියි. පාසැල් සිසුන්ගේ ලිංගික ක්‍රියා පිළිබඳ සමීක්ෂණයේදී එය හෙළි වුනා(ඉහත් යොමුව1 ට පිවිසෙන්න).

ඒ වගේම කොතෙකුත් සංවර යැයි කියන සමාජයේ ගැහැණියකට කාන්තා වැසිකිලියකටවත් බියෙන් තොරව යන්න පුලුවන් ද?

මෙතරම් බණ දෙසන රටේ හාමුදුරුවන් කී දෙනෙකුට ගැහැණුන් සිටී ද? තරුණ හාමුදුරුවන් කී දෙනෙක් සිවුරු අතහරිනවද? ආගමික ස්ථාන තුල අපචාර කීයක් වාර්තා වෙලා තියෙනවද?

ගණිකා මඩම් කීයක් තිබෙනවාද? ගණිකාවන් ඇසුරු කරන පාසැල් සිසුන්ගේ ප්‍රතිශතය කොපමණද?

ළමා අපචාර කීයක් සිදුවෙනවාද? එලෙස සිදුවෙන අපචාර වලින් කොපමණ ප්‍රතිශතයක් වාර්තා වෙනවද?

රෙස්ට් රූම් කීයක් තිබෙනවද? ඒවායෙන් ලැබෙන ආදායම කොපමණද?

එසේනම් අප මෙතක් කල් ජීවත් වී ඇත්තේ ඉරටු වලින් සැදූ කූඩුවක නොවේද?

දැන්වත් කල යුත්තේ කුමක්ද? ඉරටු කූඩුව තවත් ඉරටු වලින් ශක්තිමත් කිරීමට උත්සහ කිරීමද? නැත්නම් දැන්වත් සමාජය තුළ රහසේ ජීවත් වන යක්ෂයා ඉවත් කර දමා සැබෑ තත්වය තේරුම් ගෙන ඒ සඳහා පිළියම් යෙදීමද?

5 thoughts on “කාළකන්නි ලිංගිකත්වය

  1. මෙම සටහනට කලින් ප්‍රතිචාර දැමූ අයට,
    එම ප්‍රතිචාර මෙහි දර්ශනය නොවේ. ඒ මම කලින් භාවිතා කල කමෙන්ට් පද්ධතිය නිසයි. ළඟදිම ඒ ටික ආයේ මෙතන දාන්නම් ඔබගේ නම් වලින්ම අකමැත්තක් නැත්තන්.

  2. මොනවද බං මේ ලියන බහුබූත. ලිංගිකත්වය කියන එක අරගෙන අමුතු දෙයක් කතාකරන්න ගිහින් ඇණ ගත්ත වුන් මේ ලංකාවේ ඔන තරම් ඉන්නවා. උඔටත් ඕනවෙලා ඇත්තේ ඒ වගේ ඇර ගන්න වෙන්න ඇති. උඹගේ බහුබූත ලිංගිත්වය ලියන්න අපට බාධා කරන්න අයිතියක් නැහැ. නමුත් උඹ මොනවද බුද්ධර්මය ගැන දන්නේ!! උඹට අවශ්‍ය විදිහට බුද්ධධර්මයට නිර්වච දෙන්න බැහැ!! ඒනිසා උඹගේ කාලකන්නි ලිංගිකත්වයට හා කාලකන්නි මානසිකත්වයට බුද්ධ ධර්මය ඇද ගන්නේ නැතුව ඕන මගුලක් කතා කර ගනින් මෝඩ කාලකන්නි උරුලැවෝ…..

  3. වීරසේකර
    බුද්ධාගමට ගාඩ්ලා ඉන්නවා කියලා අදයි දන්නේ. එක දෙයයි අහන්න තියෙන්නේ.
    “උඹ මොනවද බුද්ධර්මය ගැන දන්නේ!! “??

    මේකයි මචන්, කියවන්න අජූතයි වගේ නම්, පන්සලේ ඉන්න හාමුදුරුවො කියනවා වගේ සංසාරෙන් එතෙර වෙන බණ වගේ නැත්තන් කියවන්නේ නැතුව හිටියටත් කමක් නැහැ. බුද්ධ ධර්මයට ඇද ගන්න ඕනේ මොනවද නැත්තේ මොනවද කියන එක මම හොඳට දන්නවා. ඒකට ආගම් සිකියුරිටිලාගෙන් උපදෙස් ඕනේ නැහැ.

    ඔච්චර දන්න එකේ කියන්නකො අපිටත් එක්ක බුද්ධාගමේ මොනවද කියලා තියෙන්නේ කියලා.

  4. machan wadenam supiri math okamai kiyanne macho ape rate nakintai okkatama kalin oya ma ligithwaya contral karala denda ape kellektawath bus ekaka yanda bah mun karana sakkili wada wala hatiyata machan uba kiyana kathawa sampoorna aththa kristhiyani agameth eka waradak neme eka samanya minisage griyakarakamak oka samanyen terum ganna pirisa ada lankawe attatama nathi lesa salakiya haki pamanin adui

Leave a Reply

Your email address will not be published. Required fields are marked *