ගොන් සදාචාරය


ලංකාවේ මේ දවස් වල වැඩි පුරම මාකට් වෙන වචනේ තමයි “දේශප්‍රේමය”. ඒක ගැන වෙන කතාවක් කියන්න බෑ. සමහරු නම් කියයි අපේ මිනිස්සුන්ගේ ජාතිකාභිමානය පිබිදිලා කියලා. ඒත් මේ පවතින සමාජයෙ ඇතිවෙන්න පුලුවන් සැබෑ ජාතිකාභිමානයක් ගැන, විශේෂයෙන්ම මුලු ජන ප්‍රජාව පුරාම පැතිරිච්ච, හිතන්න අමාරුයි. කවදාවත් නැති තරම් සල්ලි(දැනුම නෙවෙයි) බල ප්‍රභවයක් වෙලා තියෙන කාලේ හැමෝම සල්ලි පස්සේ දුවද්දී ඉස්සර මිනිස්සු වගේ රට ගැන හිතන්න ටිකක් නතර වෙයිද?

මේ “දේශප්‍රේමය”ත් එක්කම වේදිකාවට එන තවත් වචනයක් තමයි “සදාචාරය”. ඇයි, “සංස්කෘතිය”? කාට හරි ප්‍රසිද්ධ වෙන්න ඔනේනම් මෙන්න තියෙනවා හොඳ වචන සෙට් එකක්. හොඳට හසුරුවන්න. ඡන්දේ දිනනවා අනිවාර්යයි.

මොකද්ද මේ සදාචාරය කියන්නේ? රජකාලේ තිබුන විදියේ හැසිරීම් ද? හරි හෝ වැරදි ලෙසට හි‍තට දැනෙන දේවල් ද? ආගමික පසුබිමෙන් කියන පිලිපැදීම් ද? නීතියෙන් හරි වැරදි කියන දේ ද? දැන් කාලේ හැටියට හුඟක් අය කියයි ආගමික පසුබිම හරි නීතිය හරි කියලා. ඒක වැරදි. එහෙම කියනවනම් පොඩ්ඩක් හොයලා බලන්න ඇයි වැරදි කියලා.

අපේ සමාජයේ දැන් දැන් එන්න එන්න වැඩි වෙන නාඩගමක් තියෙනවා. ඒ තමයි මේ සංස්කෘතිය හරි සදාචාරය හරි අලුතින් මතක් වෙන එක. එක කොට්ඨාශයක් හිතාගෙන ඉන්නවා සංස්කෘතිය කියන්නේ පැරණි බෞද්ධ සංස්කෘතිය කියලා. ඉතින් උන් හදන්නේ මුලු රටම ආයේ රජ කාලෙට ගෙනියන්න. දේශපාලකයන්ටත් මේක හොඳ කලයක් ලැබුනා. ඔන්න පටන් ගන්නවා ඉහගන්න. අපේ රටේ පැරණි සංස්කෘතිය ගැන කතා කරන්න මතක් වෙනවා. කාලයක් සීගිරියත් විකුණන්න හදපු උදවිය. ඊට පස්සේ පටන් ගන්නේ අපි උගත් කියලා හිතාගෙන ඉන්න රැල. ගමේ අගය, ගමේ සුවඳ, ඒ කාලේ සිරිත් විරිත්….. ඔය වගේ දහසක් රටේ ලෝකේ නැති ඒවා කියවන්න පටන් ගන්නවා. මෝඩ කමකට නෙමෙයි. කෑදරකමට. බලයට තන්හාව. මොකද ඒ අය කතා කරන රජ කාලේ වන්දිභට්ටයන්ගේ වැඩේ දැන් කරන්නේ ඒ අය. මේ ළඟදි දැක්කා හොඳ කතාවක්. අමුඩය ජාතික ඇඳුමේ අංගයක් ලෙස ප්‍රසිද්ධ කරන්නලු. විහිලුවට නෙවෙයි. නැෂනල් එක ඇන්දට මදිලු දේශප්‍රේමියෙක් වෙන්න. ඒකට යටින් පරදේසක්කාරයොන්ගේ ඇඳුම් ඇන්දොත් ඒකත් ද්‍රෝහීකමක්ලු. මේක කියන්නේ බෞද්ධ සංස්කෘතිය රටේ ප්‍රධාන සංස්කෘතිය කරන්න හදන මහාචාර්යවරයෙක්. ඔය මහාචාර්යවරයාම ගෑණු ලමයින්ගේ ඇඳුම් ගැන කියවන්න ගිහින් ජාතකයත් අහ ගත්තා කියලත් ආරංචියි.

කණගාටුවට කරුණ වෙන්නේ නිදහස් චින්තනයක් පවත්වාගනෙ යන්න ඕනේ තරුණ පරම්පරාවත් මේ වගේ මනස්ගාත වලට යට වෙන එක. කැළණිය සරසවියේ සහ අනෙකුත් සරසවි වල දැන් දැන් පොලීසි ආකාරයේ කණ්ඩායම් හැදීගෙන එනවා. මේ අයගේ වැඩේ අර උඩින් කියපු මහාචාර්ය ඇතුලු පිරිසගේ පෝස්ටර් ඇලවීම සහ ඒ කතා අහගෙන සිටීම. මෙම පොලීසි වලට අනුව අපි දැන් කාලේ විලාසිතාවක් ඇන්දොත් දීනයි. නිවටයි. ඒත් බැරිනම් දේශද්‍රෝහියි. අපි අඳින්න ඕනේ ඒ අය කියන දේවල්. විශේෂයෙන් කාන්තාවන්ට නීතී දාන්න උඩපැනගෙන එන පිරිසක් මේ. මේ මුලු පිරිසම එකම හරක් රැල. එකට එකතු වෙලා කෑ ගහන.

අද මට කියවන්න ලැබුනා බින්කු ගේ එක සටහනක්. නුවර ඉන්නවලු මේ විදියට හැදිච්ච එවුන් ටිකක්. සදාචාර පොලීසියක්. නුවර විතරක් නෙවෙයි. මේ වගේ හරක් රංචු රට වටේම ඉන්නවා. උන්ගේ තෙල නගිනවා හිටපු ගමන් කාලෙකට. ඔන්න දැන් මතක් වෙනවා රටේ සදාචාරයක්, සංස්කෘතියක් ගැන. ඉතින් නටන්න ගන්නවා පිස්සො රැලක් වගේ. හරියටම අපේ 83 දේශප්‍රේමියො වගේ.

මේ තත්වය අපි උදාසීනව බලාගෙන ඉන්න ඕන එකක් නෙවෙයි. මෙහෙම චින්තනයක් දිගටම වර්ධනය වුනොත් අපේ කාන්තාවන්ටත් වෙන්නේ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට වුන දේම තමයි. අන්තිමට නීතියකුත් දායි කෙල්ලෙකුයි කොල්ලෙකුයි අඩුම ගානේ අඩි පහක්වත් ඈතින් යන්න ඔනේ කියලා. මොකද්ද හේතුව? රටේ සංස්කෘතිය විනාස කරන්නේ උන්. ඊළඟට තව නීතියක්. කාන්තාවන් හැමෝම කකුල් වැහෙන්න අඳින්න ඕනේ. ඊළඟට තියෙන මිශ්‍ර පාසල් ඔක්කොම වහලා දායි.මුස්ලිම් පාසල් ශිෂ්‍යාවන්ගේ ඇඳුම් වෙනස් කරන්න ගිය මේ නැට්ටුක්කාරයෝ ටික ෂුවර් නෑ.

බින්කුගේ සටහනින් ලැබුන තවත් ලින්ක් එකක් ඔස්සේ ගිහිල්ලා මේක දැක්කේ. ඉන්දියාවේ මේ වගේ මනෝවිකාරෙන් ජීවත් වෙන එවුන් ටිකක් ආදරවන්තයින්ගේ දිනයෙදී මිනිස්සුන්ටත් ගහලා. හින්දු සංස්කෘතිය ආරක්ෂා කරගන්න. ආදරවන්තයින්ගේ දිනය ගැන මමත් එච්චර පැහැදීමකින් නෑ. ඒත් ඒහෙම කියලා මට කිසිම අයිතියක් නෑ මිනිස්සුන්ට ගහන්න, හැමෝටම බලකරන්න. කවදාහරි මේ යන ක්‍රමය වෙනස් වුනේ නැතිනම් අපිටත් වෙන්නේ මේ ටිකම තමයි.

එතකොට මේ කියන්නේ අපිට සිංහල හරි බෞද්ධ හරි වුන පලියට නිදහසක් නෑ කියන එකද? කවුද මෙහෙම අපිට බාධක පනවන්නේ? ආගමද? මොන පිස්සුද? මම දන්න තරමින් බුද්ධාගමේ මෙහෙම කියලා නෑ කොහේවත්. ඔය බාධක පනවන්නේ මිනිස්සු. මේවා පනවන්නේ මොන හේතුන් උඩද? සමහර ඒවා හරි නෑ කියලා හිතුන නිසා. සමහර ඒවා ගැන බලගතු පුද්ගලයො දන්නේ නැති නිසා. මධ්‍යතන යුග වලදී අලුතින් මොනවා හරි හොයාගන්න යන කාට හරි පල්ලියෙන් මරණය නියම කරනවා. දෙවියන්ට විරුද්ධ වෙනවා කියලා. වෙනසක් ඇති කරන්න කාටවත් දෙන්නේ නෑ. ඇයි ඒ? තියෙන මෝඩකමටද? නෑ. ඒ අයට තියෙන බලය නැතිවෙන නිසා.

අපේ ගොය්යොත් කරන්න යන්නේ ඒක. හැමදාම අලුත් වෙන ලෝකේ මේ හරක් රැල ආපහු යන්න හදනවා පරණ කාලෙට. අසාර්ථක වෙච්ච හෝ තව දුරටත් පවත්වාගෙන යන්න බැරි පාලන ක්‍රමයකට, සමාජ ක්‍රමයකට. ඇයි ඒ? ඒ අයට මේ සමාජයේ බලය තියා ගන්න බැරි නිසා. පරණ අදහස් වලින් ඔලු පිරුණාම කොහොමත් මේ සමාජයේ බලයක් නෑ නේ. නැතිවෙලා ගිය අතීතයකට හිතින් හරි ගිහින් සැනසෙන්න හදන්නේ.

ඒකද ඇත්තටම කරන්න ඔනේ? රටක් විදියට ලෝකයේ ඉස්සරහට යන එකද නැත්තන් අපේම මනෝ ලෝක වල තනි වෙන එකද? ඉස්සරහට යන්න නම් මේ දගලන්න හදන හරක් රංචුවට නාස් ලණුවක් දාලා කොටු කරලා දාන්න වෙයි.

*සංස්කෘතිය කිව්වාම මතක් වෙන්නේ ගල් කණු, දාගැබ් නම් පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද සංස්කෘතිය කියන්නේ කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *