චැනල් මාරු කරන්න ඇබෑර්තු තියෙනවද?

මේ දිනවල පවතින යුද්ධය නිසා බොහෝ කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් ක්‍රියා කරන රණවිරුවන්ට උපහාර කරන්න රටේ තැන් තැන් වල පෝස්ටර්, බැනර් ඔසවලා තියෙනවා. ඉතින් අපිත් අපේ ප්‍රණාමය පුද කරන්න කියලා UCSC එකෙන් බැනර් එකක් දැම්මා කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට. මොන පණ්ඩිතයෙක් හරි කොච්චර තර්ක දැම්මත් අපි බ්ලොග් එකක් ලියන්න හරි නිදහසෙන් ඉන්නේ ඒ අය කරන කැපකිරීම නිසා. ඒ කැප කිරීමට ගරු කරන එක අපේ වගකීම. මම හිතන විදියට ඒ ගරු කිරීමට අනිත් හැම දේකටම වඩා ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. මොකද රණවිරුවෝ ජීවිතයට පවා අඩු ප්‍රමුඛත්වයක් දීලා රට ගැන හිතන නිසා.

ඒත් කියන්න ලැජ්ජයි ඒ බැනර් එක අද වෙද්දී කවුද මුග්ධයෙක් ගලවලා දාලා. උදේම එනකොට පාර පැනපු ගමන් දකින්න තියෙන බැනර් එක කොහේද කියලා නෑ. හැබැයි දවල් වෙද්දී ඒ බැනර් එක තිබුන තැනම වෙන බැනර් එකක් ගහලා. මේ දවස් වල තියෙන ලොකු ප්‍රදර්ශනයක් වැනි දෙයක් පිළිබඳ. ඒ සමගම දැන ගන්න ලැබුනා ඊ‍යේ රෑ විශ්ව විද්‍යාලයේ කට්ටියක් නැවතිලා හිටියා කියලත්. මේ දේවල් සහ බැනර් එක නැතිවීම පිළිබඳ සම්බන්ධයක් මම හුවා දක්වන්නේ නෑ. හැබැයි මගේ හිතේ තියෙන කළකිරීම උඩයි මම පහළ දේවල් ලියන්නේ. රණවිරුවන්ට ප්‍රණාමය දැක්වීම වෙන අරමුණක් නිසා යට යන්න තරම් මෝඩ උද්දච්ච පිරිසක් විශ්ව විද්‍යාලයක් තුල සිටීම තරමක් දුරට කතා තල යුතු දෙයක්.

මේ දේවල් වලට ප්‍රධාන හේතුව වෙන්නේ පීඨ අතර තිබෙන මත ගැටුම්. සමහර ශිෂ්‍යන්ගේ හිතේ නිතර පැසවන දෙයක් තමයි වෙනත් පීඨයක පැවැත්වෙන පාඨමාලාවක් නිසා තමාට ලැබෙන්න තිබෙන රැකියා අවස්ථා නැතිවෙයි කියන එක. මේක කොච්චර ගොන් තකතීරු සිතුවිල්ලක්ද?

අප බොහෝ දෙනෙක් “ලොකු කට්ටක්” කාලා A/L කරනවා. සංඛ්‍යාලේඛන වලට අනුව උසස් පෙළ කරන අයගෙන් 10%ක් පමණ පිරිසක් විතරයි විශ්ව විද්‍යාලයකට යන්න වරම් ලබන්නේ. විශ්ව විද්‍යාලය කියන්නේ ඇත්තටම මොකද්ද?

විශ්ව විද්‍යාලයට යන හුඟක් අය (75%ක්) විතර හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලය කියන්නේ නොමිලේ රස්සාවල් දෙන තැනක් කියලා. තමන් කරන පාඨමාලාව මොකක් වුනත් විශ්ව විද්‍යාලය අවසන් වෙච්ච ගමන් තමන් අතට රස්සාවක් රන් තැටියක දාලා එවයි කියලා තමයි හුඟක් අය කට ඇරගෙන බලාගෙන ඉන්නේ.

ඉතිං එහෙම එන රස්සාව වෙනත් පීඨයක එක්කෙනෙක්ට ගියොත්?????????

විශ්ව විද්‍යාලයක් කියන්නේ නොමිලේ රස්සාවල් දෙන තැනක් නෙවෙයි. රස්සාවක් කරන්න මොනවද ඕනේ? ලැබෙන රස්සාවේ ඉහළට යන්න මොනවද ඕනේ?

දක්ෂතාව, නිපුණත්වය… මේ හැම වචනෙකින්ම කියවෙන්නේ හැකියාව ගැන (competencies, skills). ‍එතකොට විශ්ව විද්‍යාලයකට ගිය පලියට රස්සාවල් ලැබෙනවනම් මේ දක්ෂතා විශ්ව විද්‍යාල භූමියේ අඩිය තියෙන වාරයක් පාසා ඇඟට වදින්න ඕනේ විදුලිය වගේ. නැත්නම් භවනේ පාන් සහ පරිප්පු එක්ක කැවෙන්න ඕනේ. නැත්නම් බොන ක්ලෝරීන් වතුර එක්ක පෙවෙන්න ඕනේ. විශ්ව විද්‍යාලයකට නොගිය අයට දවල්ට කන්න වෙන්නේ අපේ භවනෙන්. නැත්නම් හැකියාවක් වර්ධනය වෙන්නේ නෑනේ.

අපි උපාධිය ඉවර කරලා අතට ගන්න උපාධි සහතිකයෙන් මොනවද කියන්නේ. මේ නම දරන සිසුවා මෙන්න මේ උපාධිය සාර්ථකව නිම කරලා තියෙනවා කියලානේ. එතකොට විශය නිර්දේශයක් තියෙන්නේ මොකටද? උපාධිය නිම කරද්දී අඩුම තරමේ මේ කියන ඒවාවත් පුලුවන් කියලා කියන්නනේ. එතකොට අපි විශ්ව විද්‍යාලයකට යන්නේ උපාධියක් ගන්නද නැත්නම් හොඳ රස්සාවක් කරන්න අවශ්‍ය දක්ෂතා වර්ධනය කර ගන්නද? ඇත්තටම වෙන්න ඕනේ දෙවෙනි එක. දක්ෂතා වර්ධනය කරගන්න තමයි විශ්ව විද්‍යාල පරිසරය ඔච්චර නිදහස් වෙන්නේ. ඕනවට වැඩිය දේශන නොදමා තියෙන්නේත් දේශන වලට අමතරව ළමයට යමක් ලබාගන්න ඉඩ දෙන්න. මේක තේරුම් ගත්ත අය තමන්ට අවශ්‍ය දේ හොයාගෙන ගිහින් ඉගෙන ගන්නවා. මේක දන්නේ නැති මනුස්සයා හැම එකක්ම දේශන වලින් බලාපොරොත්තු වෙනවා.

එතකොට තේරෙනවා නේද උපාධිය මොකක් වුනත් දක්ෂතා තියෙන මනුස්සයාට රස්සාව ලැබෙනවා කියලා. තොරතුරු තාක්ෂණය සම්බන්ධ උපාධියක් කරාට ඔහුට/ඇයට අනිවාර්යයෙන්ම රස්සාව ලැබෙන්නේ නෑ, ඒ රස්සාවට ඔහුට/ඇයට වඩා දක්ෂ පුද්ගලයෙක් ඉන්නවනම්. ඒ වගේම පරිගණක විද්‍යාව විශේෂ කරලා විද්‍යා උපාධියක් කරපු පලියට පරිගණක තාක්ෂණය සම්බන්ධ රස්සාවක් ලැබෙන්නේ නෑ මොනවත් දන්නේ නැත්නම්. කිසිම සමාගමකට ඕනේ නෑ උපාධිය බිත්තියේ ගහගෙන ඉන්න වැඩ බැරි ගොයියෙක්. ඔවුන්ට ඕනේ වැඩ කරන්න පුලුවන් වැඩ දන්න කෙනෙක්.

වැරැද්ද වෙලා තියෙන්නේ අපේ රාළලා ටික රස්සාව බන්දේසියක දාලා ගේනකම් බලාගෙන ඉන්න එක. එතකොට බයයි වෙන පීඨයක හරි වෙන පාඨමාලාවක හරි තමන් කරන විෂයයන් වලට සමාන විෂයයන් තියෙනවනම්. ඇයි දන්න එකම දේ සැටලයිට් ටීවි එකේ චැනල් මාරු කරන එකනේ. එතකොට තමයි ඔන්න ටිකින් ටික ඉරිසියාවක් කියන දේ එන්නේ. මෙච්චර ගොන් රැළක් විශ්ව විද්‍යාලයකට පාස් කරේ ඇයි දන්නේ නෑ.

10 thoughts on “චැනල් මාරු කරන්න ඇබෑර්තු තියෙනවද?

  1. “වැදගත් : Anonymous යනුවෙන් comment දැමීම දැන් දැන් වැඩි වෙමින් පවතිනවා. මෙච්චර බ්ලොග් කියවනවානම් අඩුම තරමේ ඊමේල් එකක්වත් නැද්ද? අදහස් ප්‍රකාශ කරන්නේ තිරයක් පිටිපස ඉඳගෙන නම් ඒ අදහස් වල විශ්වසනීයත්වය කෙතරම් ද? තමාගේ අදහස පිළිබඳ වගකීම තමා පිට මිස නන්නාඳුනන අයෙකුට නොපැවරිය යුතුයි.”

    මේ මම වෙනත් බ්ලොග් එකක Anonymous comment කිරීම ගැන දක්වපු අදහස්.
    අදහස් දක්වන්න ඕනේ නම් තමන්ගේ නමින් අදහස් දක්වන්න ඕනේ. නැත්නම් අදහස් දක්වන්නේ නැතුව ඉන්න ඕනේ. Anonymous ලෙස comment දමලා නැති ගිනි අවුලුවන්න පුලුවන් නිසා මින් පසු මේ සටහනේ Anonymous ලෙස දමන comment ඉවත් කර දමනවා. සමාවෙන්න අපහසුතාවයක් වුනානම්.

  2. කලකට පෙර (වසර 8 පෙර) මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුනුත් තවත් රාජ්‍ය පරිගණක ආයතනයක් එම විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරනවාට විරුද්දව පෙල ගැසුනා.

    එත් දැන් එය ස්වාදීන ආයතනයක්. කොටින්ම අර කැගහපු අයම එකේ රැකියා සොයාගෙන ද ආවා. :D

    දන්නෝ දනිති!

  3. Anonymous ලෙස කමෙන්ට් දමන එකට නම් මාත් කැමති නෑ. ඒක පිට කොන්දක් නැති අයගෙ වැඩක්……

  4. Anonymous යනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ තමන්ට කියා මතයක් නැති නමුත් අනුන්‍ ගේ මතයකට කඩේ යන පිරිසකි.හාස්‍යට කාරණය තමන් කඩේ යන බව ලෝකයාට අගවන්නට මේ දීනයන්ගේ ඇති අකමැත්තයි.

  5. ඕවත් දේවල්ද මල්ලි අපි uni ඉන්න කාලෙ වෙච්ච කියල වැඩක් නෑ. කොළඹ තව හොඳයි. ඕවට වලි දාගන්න එහෙම එපා.

    @ඩනිෂ්ක,
    ඔය කියන්නෙ SLIIT ගැන වෙන්නෝන මයෙ හිතේ.

  6. මම නම් දනගෙන හිටියේ ඕක ඇතුලට යන්නේ හොදටම මොලේ තියන අය විතරයි කියලයි… දැන් බලාගෙන යනකොට එහෙමමත් නෑ වගේනේ….

  7. මොලේ තියෙන අය තමා යන්නේ … එත් මලී මුං ඇතුලෙදි වැඩ කරන්නේ අත උස්සලා විශ්වවිද්‍යාලෙට ආපු එවුන් විදිහට….

  8. සම්පූර්නයෙන්ම එකග වෙන්න පුලුවන්.ජොබ් එකක් අතට දෙනකන් බලගෙන ඉන්න නිස තම අපිට වරඩුනෙ. අනික ඉතින් කැම්පස් එන හමොටම මොලෙ තියනව කියල හිටන්නට් අමාරුයි. අපේ මැනේජ්මන්ට් ලෙක්ච්චරර් ගෙ කටෙ තියෙන්නෙම ඔය කතව. වෙලාවකට තරහත් යනව. එත් එක තමා ඇත්ත.අපි කැම්පස් එකෙන් එලියට එනකොට කරපු නැති අයත් හොද රැකිය හොයාගෙන. එයලා කොහෙන් හරි හැකියාවන් දියුනු කරගෙන.එත් ලන්කාවෙ කැම්පස් වල තම ගොඩක් දෙන්නෙ තියරි දනුම විතරයි. එකෙන් මොනව කරන්නද?අපිට දෙය්යන් බුදුන්ගේම සරනයි

  9. මමනම් හිතන්නේ ලබා දිය යුත්තේ තියරි විතරයි කියලා… මොකද ඒවා ප්‍රායෝගිකව යොදාගන්න දැනගන්න ඔනේ අපි.. ප්‍රායොගික දැනුම ඒවා අත්හදා බලන අයට ලැබෙනවා…. නැති අයට ලැබෙන්නේ නෑ… ඒහෙමයි මම හිතන්නේ… ඒක හරියට ලෙක්චරර් පෙන්නන මඟේ අපි යනවා වගේ… ලෙක්චරර්ට බෑනේ ඒ මඟේ ගිහින් පෙන්නන්න…. මේ මගේ මතය