චූල පාපය සහ මහා පාපය | The Minor Sin and the Great Sin

සකල සිරින් පිරි සිරි ලංකාවේ අනාගතය අත රැගෙන පුරා

කලබල සිත් ඇති එ නමුදු වැඩ නැති “ජහ මනයා” නම් සතුන් වෙනා

පුන්නක්කුද ‍රජ බොජුන්ද වෙනසක් නොදැනම නොඅසා ගිල දමනා

පිට කල යුතු මල පහ ඇති හිස තුල සිතන්නෙ ඒ ගූ ගොඩින් තමා

 

බෞද්ධ හින්දුද ක්‍රිස්තියානියෙද මුසල්මානුවෙද වෙනස නැතා

එකම ජරාවෙම එකටම හිදගෙන වැඩි ඉඩකට කෑ කෝ ගසනා

අඩෝ තම්බියා බමුණා ගණයා මිෂනාරි හොරා ලෙස ඇසෙනා

සද්දෙන් තේරුං ගන්නට හැකි වේ ජාතික සමගියෙ අගය මනා

 

පාලකයෝ දැන ගෙන හොඳ හැටියට ජහ මන මනසේ දිග පලලේ

අඹරා අවුරුදු තුන හය ගානෙම අගල් පහේ කඹ ගිල්ලන්නේ

ගසා කාලා හැම පයිසයක්ම මැති ඇමති ගොල්ල තර වී යන්නේ

ජහ මන ඉඟ සුඟ ගත හැකි මිටියට ලස්සන නොව කෘෂ වී ඇත්තේ

 

ඒත් මේ රටේ ආගම දර්මය තිතටම නොදන්න එකෙක් නැතේ

ඇසුවොත් බණ පද කුරාණ බයිබල පාඨ ඡේද බර කියවන්නේ

“තෝ දන්නෙද බොල කර්ම නියාමය විතරද ලැයිස්තුවක් ඇත්තේ

දන්නැත්තං කට වහගෙන හිටු තොගෙ අඬු කඩලා දර්මය දෙන්නේ”

 

හරක් මස් එපා ගණිකා වැඩ බැහැ ගෑණු ගවුම් ‍කොට අඳිනට බැහැ

අර නිලිය දෙස බලන් ඒකි තරං වෙන වේසියක් ලක් දීපෙට නැහැ

ගබ්සා කරතොත් මරණව බලපිය තොපෙ විසේට සෛලය පලි නැහැ

චූල පාපයට වැට බඳින්න මේ විදියට ජනයා පැකිලෙන්නැහැ

 

දූෂණයෙන් වංචාවෙන් බලයේ කෝටි ගණන් වස්තුව වනසයි

ඇමතිවරුන් පාරේ මහ දවහල ගිනි අවි සරඹෙන් ලේ හොල්ලයි

පරිධිය නැත්තට නැති වෙන ගානට අවපාතය හෙන ගසනු ඇසෙයි

මේ සියල්ල සිදු වීගෙන යද්දිත් ජහ මනයා නිස්සද්දෙන් යයි

 

තුනෙන් දෙක නෙමෙයි තුනම ඉඳා ආයිබොවන්ඩ කල ගුණ සලකන්නා

බේබි හාමුලා කෝටි පහලවට සංද‍ර්සන කරනව දැක්කා

නෑ නෑ බොල අපි සරත් මහත්තය ඉහලින් දිනවා රට දෙනවා

කරත්ත රෝදෙන් තැලුනත් ඇයි බං චූල පාපයන් පිටු දැකලා

 

මහා පාපයෙන් පෙලෙනා රට ගැන කට හොල්ලන්නත් බැරි ජනයා

චූල පාපයෙන් දිවි ගෙවනා පීඩිතයා තලලා උස් වන්නා

ලැජ්ජාවක් ඇඟ ගෑවිවත් ඇති බවක් නොපෙනෙනා ලෙස ඇදලා

හුස්මක් හයියෙන් පවසයි “පූණ්‍ය භූමියක් බොල මේ රට දිනනා”

5 thoughts on “චූල පාපය සහ මහා පාපය | The Minor Sin and the Great Sin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *