බස් ගමන් !!!


බස් හෝල්ට් එකට වෙලා අපි බස් එකක් එනකම් බලාගෙන ඉඳලා හොඳයි කියලා හිතෙන බස් එකක නගිනවා. එක බස් එකයි නම් තියෙන්නේ ඒකට කොහොම හරි කරලා නගිනවා.


නැග්ග ගමන් බලන්නේ වාඩිවෙන්න තැනක් තියෙනවා ද කියලා. පිටිපස්සේ සීට් එකේ කොහොම හරි කට්ටිය එහාට මෙහාට කරලා ඉඳ ගන්න බලනවා.

ඒත් බැරිනම් සෙනග අස්සේ හිරවෙවී කොහොම හරි කොහෙන් හරි අයිනක් හොයා ගන්නවා අල්ල ගන්න. ඒකත් කරන්නේ අනිත් අයගේ කකුල් පාගලා තල්ලු කරලා රවලා බලලා පුලුවන් සෙල්ලම් දාලා.

එතනට වෙන කවුරු හරි ආවොත් හරි එන්න හැදුවොත් හරි අර සෙල්ලම් පෝලිමම දාලා අයින් කරලා දානවා. දැන් ඒ තැන මගෙම තැනක්. මගේමයි.

රියදුරු මහත්මයා ගේ අතේ තමයි අපේ ගමනේ සුවපහසුව රැඳිලා තියෙන්නේ. බ්රේක් එකක් එහෙම ගැහුවොත් හයියෙන්, පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ගැස්සිලා තමයි නවතින්නේ.

ඔන්න දැන් කවුරු හරි වාඩිවෙලා ඉන්න කෙනෙක් බහිනවා. කඩාගෙන බිඳගෙන ගිහින් එතන වාඩි වෙනවා. ඒ තැනත් මටමයි අයිති. මටමයි.

වීදුරුව වහලා නම් තියෙන්නේ මුලින්ම බලන්නේ ඉස්සරහා එක්කෙනා වැඩියෙන් ඇරගෙනද කියලා. එයාට නැත්තන් මටත් නැතුවට කමක් නෑ. හැබැයි එයාට වැඩියෙන් හුළඟ එනවනම් මටත් ඔනේ. දැන් වීදුරුව ඉස්සරහට තල්ලු කරනවා. අරයා හැරිලා බැලුවොත් “ඇයි මොකද?”

සීට් එකේ වාඩිවෙලා ඉන්න අනිත් කෙනා වැඩියෙන් ඉඩ අරගෙන වගේ. තව ටිකක් කකුල් දෙක ඈත් කරලා ඉඩ ගන්න ඔනේ. මේ මගේ තැන. මගෙමයි.

බස් එකට නගිනවා ලස්සන ගෑනු ලමයෙක්. ලස්සන වැඩිකමට ඇස් දෙක වෙන පැත්තකට ගන්නම බෑ. එයත් මගේ දිහා බලනවා වගේ. අන්න හිනා වුනා. ඔන්න දැන් මගේ ලඟ වාඩි වුනා. පොඩ්ඩක් කතාවක් දාලා බලන්න ඔනේ.

එයත් කැමතියි. අපි දෙන්නම යනවා දැන් එකට බස් එකේ.

පාර දිගට ලස්සන දර්ශන. ලස්සන බෝඩ් කෑලි. ලස්සන මිනිස්සු. මෙතන ඉඳන් බැලුවාම හැමෝම හදිස්සියේ කොහේ හරි යනවා වගේ. ජීවිතය කොච්චර ලස්සනද? බස් එකෙන් බහින්නේ නැතුව දිගටම යන්න තියෙනවනම්?

ඔන්න බහින තැනත් ලං වුනා. දන්නේ ම නැතුව අවසානයටත් ආවා. අයියෝ. දැන් එයාවත් දාලා යන්න වෙනව‍නේ. ඇයි බොහොම අමාරුවෙන් අල්ල ගත්ත මේ සීට් එක? හොඳට හුළඟ එන්න ඇර ගත්ත වීදුරුව? ඉඩ ගත්ත සීට් එක? අනේ තව ටිකක් යන්න තියෙනවනම් මෙහෙම ඉඳගෙන‍?

බෑ. බහින්නම කියනවා කොන්දොස්තර. තව යන්න ටිකට් අරන් නෑ.

මදැයි. දැන් ඉන්න එපැයැ තවත් බස් එකක් එනකම්


Soon our work is done,
All of us one by one.
Still we live our lives,
As if all this stuff survives.


Lyrics from song “Big City Life” by Mattafix



12 thoughts on “බස් ගමන් !!!

  1. මචං චමිල මතකද දවසක් වාඩිවෙලාම යන්න බස් එකක් එනකම් ඉඳලා ඉඳලා ආපු බස්‍ එක ඊළඟ හෝල්ට් එකට යන්න කලින් කැඩුනා. මදෑ අපි හොඳට හරි බරි ගැහිලා වාඩිවෙන්න ලැබුනා විතරයි. අපිට වෙන බස් එකක යන්න උනා.
    :)

    “එයත් කැමතියි. අපි දෙන්නම යනවා දැන් එකට බස් එකේ.”
    උඹේ වයිෆ් මේව දැක්කොත් හොඳ නෑ නේද?
    :D

  2. ස්තුතියි පහන්..
    අද නවලෝක හොල්ට් එකේ ඉඳන් කොට්ටාවට එනකම් දැක්ක දේවලුයි හිතුන දේවලුයි තමයි මේ..
    වයිෆ් නම් හෙට දකී. මොනවා කියයි ද දන්නේ නෑ. කන පිරෙන්න ෆෝන් බිලෙන් දෙයි ද දන්නේ නෑ. හික්
    ඊළඟ හොල්ට් එකටත් යන්න කලින් කැඩෙන බස් කීයක් තියෙනවද?

  3. අම්මෝ බස් එනකන් බලන් හිටියොත් උඹත් එක්ක යන්න මහා විනාසයක් වෙන්නේ,මීට පස්සේ උඹ ගෙයක් හදන කාලෙක හැමවෙලෙම බස් තියන පාරක් අයිනේ හදා ගනින්.:D

  4. එක දෙයයි කරන්න තියෙන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක :-)

  5. බස් එකේ සීට් එක, ජනේලේ හරියට බේදා හදා ගන්නේ නැති අපි වෙන දේවල් වත් හරියට බේදා හදා ගන්නීද? ඒකටත් කොයි වෙලේද මරා ගන්නේ කියලා ඉන්නේ

  6. අපි‍ කොයි කාගෙත් ජිවිත ඔය වගේ තමයි නේද? දවසක බැහැලා යන්නම වෙනවා..!

  7. මම නම් බස් එකේ ඉදිරියෙම ඉන්න තමයි කැමති. ඉදිරි අසුන ගාව හිටගෙන. මොකද එතනට බොහොම තැන් පේනවා. ඒ වගේම තදබදේ අඩුයි.

  8. මම නම් අර පෙම් මුල්ල කියන තැන.. එතන ලස්සනට නිදාගන්න පුලුවන්… කතාව හරි… අපිට කවදා හරි බැහැලා යන්නම වෙනවා.. එතකන් බෙදා හදාගෙන බස් එකේ ගියොත් තමා හොඳ…

  9. @අමල්
    බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නනේ අපි හැමෝම මැරෙන්නේ. අපිම ගමන පාලනය කර ගන්න

    @H
    ඔව්. එකත් හොඳයි. ඩ්‍රයිවර්ව දන්නවනම් තවත් වාසියි නේ.

    @ආගන්තුකයා
    පෙම් මුල්ල ඕනේ නිදා ගන්න විතරද මචන්? බලාගෙන. වැඩිය නිදා ගෙන චිකන් ගුන්යා බෝ වෙයි .. හික්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *