විදුජයට ජය!!!


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පනස් වසරක් පිරීම නිමිත්තෙන් ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන ලද විදුජය ප්‍රදර්ශනය බලන්න යන්න මට වෙලාව ලැබුනේ පහුගිය සෙනසුරාදා. මීට මාස කිහිපයකට කලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේම වෛද්‍ය පීඨය මගින් වෙදැස නමින් වෛද්‍ය ප්‍රදර්ශනයක් පැවැත්වුවා. මට ඒකනම් බලන්න යන්න බැරි වුනා. ආරංචි වුන විදියට ඉතාම ඉහල මට්ටමේ ප්‍රදර්ශනයක් වෙදැස. ඉතින් ළඟදිත් ප්‍රදර්ශනයක් තිබ්බ නිසා විදුජය ගැන එච්චරම බලාපොරොත්තු තියාගෙන ගියේ නෑ.

ඒත් විශ්ව විද්‍යාල භූමියට ගියාට පස්සේ තමයි දැක්කේ විදුජයේ තරම. ඇත්තටම මම දැකපු විදුජය මම බලාපොරොත්තු වෙච්ච විදුජයට වඩා බෙහෙවින් වෙනස් එකක්. ශාස්ත්‍ර පීඨය, විද්‍යා පීඨය, කලමණාකරන හා වාණිජ පීඨය, වෛද්‍ය පීඨය මේ හැම තැනම පිරිලා තිබුනේ ප්‍රදර්ශන කුටි. එක් තැනක් වත් හිස්ව තිබුනේ නෑ. හැමතැනම මොකක් හරි අලුත් දෙයක්. බලාගෙන යන්නේ නැතුව බලන්න නවතින්න හිතෙන තැන් දිගටම තිබුනේ. ඇතුලු වෙච්ච ගමන් අතට දුන්න කාඩ්පතේ තිබුනේ ඒ කාඩ්පත කලමණාකරන පිඨයේ ප්‍රදර්ශන කුටියකට ගිහින් දීලා සමරු තිළිණයක් ලබා ගන්න කියලා. අලෙවිකරණය පිලිබඳ සංකල්ප හොඳට භාවිතයට අරන් ඒ කියන්නේ :)

මට හුඟක්ම හිතට අල්ලලා ගිය තැන් වුනේ ශාස්ත්‍ර පීඨයේ තිබුන ප්‍රදර්ශනය. අපරාධ විද්‍යාව පිලිබඳ දකුණු ආසියාවේ එකම විශ්ව විද්‍යාල පාඨමාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ හා මානව විද්‍යා අංශයේ පවත්වාගෙන යනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය වැටලීම්, රේගු මත්ද්‍රව්‍ය පාලනය, මිනීමැරුම් පරීක්ෂණ, මූල්‍යමය වංචා පරීක්ෂණ ව‍ගේ නොයෙකුත් අංශ අලලා ප්‍රදර්ශන කුටි කිහිපයක් තිබුනා. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ එක් බිහිසුනුම අපරාධයක් වන හෝකන්දර මිනීමැරුම හා තවත් මිනීමැරුම් කිහිපයක් විසඳුනු හැටි ත් ඉදිරිපත් කර තිබුනා.(හෝකන්දර මිනීමැරුම මතක් කිරීමටත් නොහැකි තරමේ ඛේදජනක සිදුවීමක්. මේ බුදුන්ගේ දේශයයි කියලා කටක් ඇරලා කියන එකත් පවක් වෙනවා ඒ වගේ දේවල් ශ්‍රී ලංකාවේ සිදුවෙනකොට. ඒ සිද්ධිය නැවත් මතක් වීමම පමණක් ඇති දවසම භ්‍රාන්ත වෙලා ඉන්න.) ඇඟිලි සලකුණු පරීක්ෂණ ඉතිහාසයත් සිත් ඇද ගන්න තැනක්.

බෞද්ධ දර්ශනය අලුත්ම මුහුනුවරකින් පෙන්වීමට ගත් උත්සහයක් මනා ලෙස ඉදිරිපත් කරලා තිබුනා පාලි සහ බෞද්ධ අධ්‍යාපන අංශයෙන්. ලෝක ආරම්භය සහ අවසානය සහ නැවත ආරම්භය, සත්ව උපත වැනි දේවල් මීට පෙර මා දැකපු නැති ආකාරයට ඉදිරිපත් කිරීමට එම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සමත් වී තිබුනා. ඇත්තටම එය අලුත් අත්දැකීමක්.

ශාස්ත්‍ර පීඨයට එහා පැත්තේ තිබුනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිලිබඳ ඉදිරිපත් කරලා තිබුන ප්‍රදර්ශන කුටිය. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන තේමාවෙන් තමයි එම කුටිය නිමවලා තිබුනේ. වැඩියෙන්ම සිත් ඇදගත්ත තැන තමයි ලනු ඇදලා වටකරලා සිරකරුවන් කිහිප දෙනෙක් ( :) ලෙස රඟපෑ ශිෂ්‍යයින්) වාඩිකරලා තිබුන තැන. වටේ බලාගෙන යන අයට බැන බැන ඒ අය කිහිප සැරයක්ම කියපු දේ තමයි “මතක තියා ගන්න. අපිත් මිනිස්සු. අමුතු සත්තු නෙමෙයි”. සමාජයක දියුණුව මනින එක සාධකයක් තමයි එහි සිරකාරයන්ට සලකන විදිය. අතීතයෙදි මේ සිරකිරීම දඬුවමක් වුනත් දැන් දියුණු සමාජයේ එය පුනරුත්ථාපනයක් විදියටයි ක්‍රියා කරවන්නේ(පොතේ හැටියට). ප්‍රදර්ශන කුටියේ හිටිය සිරකාරයන්ට හිනාවෙන්න ගිය පොඩි මල්ලිලා ටිකක් සිරකාරයින්ගෙන් රැග් වුන හැටි දැක්කාම නම් ගිය හිනාව වහගත්තේ බොහොම අමාරුවෙන්. නැත්නම් මටත් අහගන්න වෙන්නේ.

විද්‍යා පීඨය ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරලා තිබුනේ උසස් පෙළ විශය මාලාව ඉලක්ක කරගෙන. මමනම් වැඩිය කුටි වලට ගියේ නෑ. ඒත් ගිය එක කුටියකින් ඇති වෙන්න භෞතික විද්‍යාව පෙව්වා… :) .. ඇත්තටම මට පලමුවෙනි වතාවට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන පූර්ණ දැනුමක් ලැබුනේ එතනින්. උසස් පෙළට ජීව විද්‍යාව කරපු, කටපාඩම් කරලා භෞතික විද්‍යාව පාස් කරපු මම ඒ වගේ න්‍යායක් තේරුම් ගත්තා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. නැවත නැවත ඇසූ මෝඩ ප්‍රශ්න ඉවසගෙන සියල්ල පහදලා දුන්න ඒ සහෝදරයින් දෙදෙනාට මගේ ස්තූතිය.

ප්‍රථම වතාවට මගේ රුධිර ගණය අඳුන ගැනීම, කාලගුණ විද්‍යාව, z-score, කතුරු ඔන්චිල්ලාවේ ගණිතය, cryptography, න්‍යෂ්ටික විද්‍යාව, අපරාධ පරීක්ෂණය, භාෂා, බෞද්ධ දර්ශනය, ආහාර විද්‍යාව, සංගීතය වැනි මෙකී නොකී හැම අංශයක්ම ආවරණය කරමින් පැවතුන විදුජය අධ්‍යාපනික ප්‍රදර්ශනය කරන්නම් වාලේ කරපු එකක් නම් නෙවෙයි. එය ලොකු පොඩි සෑම ශිෂ්‍යයෙක්ගෙම මහන්සියෙ ප්‍රථිපලයක්. ඇත්තටම අපගේ ප්‍රවීන් සහෝදරයා පහුගිය ටිකේ ලැබ් එකේ නිදි මරාගෙනත් මහන්සි වෙච්ච හැටි දැකලත් මම එච්චරම හිතුවේ නෑ විදුජය මෙච්චර සාර්ථක වෙයි කියලා. මොකද මම දැකලා තියෙන විදියට සාමාන්‍යයෙන් ඔය වගේ වැඩකට මහන්සි වෙන්නේ කීප දෙනයි. අන්තිමට ඒ වැඩෙත් අල වෙලා හැමෝම ඉස්සරහා කිච වෙන්න වෙනවා. හැබැයි ජපුරේ කොල්ලෝ කෙල්ලො ටික වැඩේ ඉස්තරම් විදියට කරලා තියෙනවා, හිස්තැනක් නොතියන්න. ඒ ගැන සම්පූර්ණ කීර්තිය හිමි වෙන්න ඔනේ තමන්ගේ ඉගෙන ගන්න තැන ගැන හැඟීමෙන් රෑ දවල් බලන්නේ නැතුව වැඩ කරපු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවට.

(Note: Image from ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි(http://indranama.blogspot.com/). A creation by ප්‍රවීන් ඉන්ද්‍රනාම)

3 thoughts on “විදුජයට ජය!!!

  1. මේ සටහන කියෙව්වම නම් බලන්න යන්නම හිතුනා..එත් ඉතිං යන්න වෙන්නේ නැහැ නේ….! :((
    අනික වි.වි ඇතුලේ ගහ මරාගන්නවාට වඩා හැමදේනාම එකතු වෙලා මේ වගේ වැඩ කරන එක නම් ඇත්තෙන්ම පැසසිය යුතුමයි!

  2. ගොඩක් දේවල් නාට්‍යයමය ස්වරූපයෙන් ඉදිරිපත් කරලා තිබුනා. විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරනය ගැන රජකාලයේ සිට නූතන මානව සම්පත් කළමනාකරනය දක්වාම නාට්‍යයමය ආකාරයෙන් ඉදිරිපත් කිරීම අලුත් අත්දැකීමක් උනා.(අර ඉස්සරහම හිටපු වදකයා නම් පට්ට :D ). “සිරකාරයෝද මනුෂ්‍යයයෝය” කියන පණිවිඩේ නම් අර ළණුවලට කොටුවෙලා හිටපු නළුවෝ ටික බලන්න ආපු අයට හොඳට කියල දුන්නා. හිරකාරයන්ට හිනා උන හැමෝටම උන්ටික හොඳට උත්තර දුන්නා. :D.
    දවස් දෙකක් ගිහිල්ලත් ප්‍රදර්ශනේ සම්පූර්ණයෙන් බලලා ඉවර කරන්න බැරි උනා. බළකොටු, පොකුණු, දිය ඇලි, නැව්, පිරමීඩ, එකී මෙකී නොකී සියල්ල නිර්මාණය කරන්න සෑහෙන්න පරිශ්‍රමයක් දරන්න ඇති. දිවාරෑනොබලා මහන්සිවෙන්න ඇති. ජ’පුර සොයුරු සොයුරියන්ට මගේ උපහාරය.
    @ මලී
    ඔව් ඔව් ගහමරාගන්නකොට බනිනවා වගේම හොඳවැඩක් කලාම අගයකරන්නත් ඕන. සතපහක්වත් අයකලෙත් නෑ. අන්තිමට පොඩි සමරු තිළිණයකුත් හම්බ උනා.

  3. චමිල,
    බොහෝම ස්තූතියි අපේ ප්‍රදර්ශනේ ගැන ප්‍රශංසා කරාට. ඒ වගේම මගේ artwork එක add කරාට.

    අපේම සහෝදර විශ්වවිද්‍යාල වල සොයුරන් වගේම පොදු මහජනතාවත් අපේ ප්‍රදර්ශනේට ඇවිත් යම්කිසි වැදගත් දෙයක් ලබාගත්තානං ඒක තමයි අපේ සතුට.

    ආපු, අදහස් පලකරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

Return Fire!