9/11 සහ කුමන්ත්‍රණ තියරි

ලියන්න වෙනම මාතෘකාවක් හිතේ තිබුනත් අද දවස ඇතුලත මිතුරෙකු දමා තිබුන Facebook post එකක් නිසා ඒ අදහස වෙනස් වුනා. මෙහි පල කරන්න තරම් දිග වැඩි වුනත් කෙටියෙන් එම පෝස්ට් එකේ අදහස වුනේ 9/11 ත්‍රස්තවාදී ප්‍රහාරය ඇමෙරිකානු මහා ව්‍යාපාර සංස්ථා සහ එවකට තිබූ රජය එක්ව කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බවයි. වෙනත් දේශපාලනික මාතෘකා වලදී බුද්ධිමත් අදහස් දක්වන ඔහු වැන්නෙකුත් මෙවැනි කුමන්ත්‍රණ තියරි විශ්වාස කිරීම එක් අතකින් අන්තර්ජාල ජයග්‍රහණයක්. ඕනෑම කරුණු ටිකක් එකතු කර ලස්සන වීඩියෝවක් සෑදූ පමණින්ම ලොව වටා එය විශ්වාස කරන්නන් ඇති කර ගැනීමට හැකියි යන්නට සාක්ෂියක්. ඔහුගේ අදහස් මුල් කර ගෙන තිබුනේ සයිට්ගයිස්ට් ව්‍යාපාරයේ වීඩියෝවක් ඇසුරින්.

සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදු වන විට අපි හිටියෙ පොඩි පංති වල. මොකද්ද වුනේ කියල වැඩි තේරුමක් නැති වුනත් ජම්බෝ ගුවන් යානා ගොඩනැගිලි තුලට කඩා වදින හැටි ඒ සිදුවන විටම වගේ අපි බලාගෙන හිටියා. ගිනි දලු වලින් බේරෙන්න මිනිස්සු තට්ටු සිය ගනනක් උඩින් බිමට පනින හැටි අපි දැක්කා. විනාඩි කිහිපයක් ඇතුලත ජීවිත බේරගන්න ගොඩනැගිලි තුලට ගිය හැමෝම යට කරගෙන ලෝක වෙලඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි කඩා වැටෙන හැටිත් අපි දැක්කා. මහ බැංකුවට නැත්තං දලදා මාලිගාවට කොටි ගහපු හැටිවත් හරියට නොදැක්කා වුනාට පස්සෙ පස්සෙ මේ සිද්ධිය හිතේ හරියට පැල වුනා.

2007දි වගේ සයිට්ගයිස්ට් ව්‍යාපාරය අන්තර්ජාලය හරහා පැතිරෙන කොට මම ඒ ගැන ඉතාමත් උනන්දු වුනා. ආගම්, රාජ්‍යය හා ධනවාදය ගැන සිත්ගන්නා සුලු අදහස් කිහිපයක් ඉදිරිපත් කරන සයිට්ගයිස්ට් ව්‍යාපාරයේ මූලික අරමුණ වුනේ/වන්නේ මූල්‍යය පාදක කර ගත් අර්ථ ක්‍රමයේ සිට සම්පත් පාදක කර ගත් අර්ථ ක්‍රමයකට ගමන් කිරීම. මෙය අවිගත් මෙහෙයුමක් නොවූවත් ඉතා පැහැදිලිව ඉහත සංස්ථා තුන පෙරලා දැමීමේ අවශ්‍යතාවය සයිට්ගයිස්ට් ව්‍යාපාරය මතු කර පෙන්වූවා. කෙටියෙන් පැවසුවොත් සයිට්ගයිස්ට් කියන්නේ එක්තරා ආකාරයක අරාජිකවාදී ව්‍යාපාරයක්. රජයන් වෙනුවට බලය හැකි තරම් බෙදා දමා ස්වයංපෝෂිත නගර බිහි කිරීම සම්පත් පාදක අර්ථ ක්‍රමයේ ක්‍රියාවට නැංවීම ලෙස එය ඉදිරිපත් කලා.

රාජ්‍යය පිලිබඳ විශ්වාසය බිඳ හෙලන්න සයිට්ගයිස්ට් ව්‍යාපාරය (අවාසනාවට) යොදා ගත්තේ ඒ වෙනකොට ඇමෙරිකාව ඇතුලත ගොඩ නැගෙමින් තිබුන කුමන්ත්‍රණ තියරිය. නැත්තං සැප්තැම්බර් 11 ප්‍රහාරයට ඉස්ලාම් අන්තවාදීන් සම්බන්ධ නොවන බවත් අල් ඛයිඩා යනුවෙන් ත්‍රස්ත සංවිධානයක් ඇත්තටම නොමැති බවත්. කුමන්ත්‍රණ තියරියට අනුව මෙම ප්‍රහාරය රජය ප්‍රමුඛ ව්‍යාපාර වලින් සැලසුම්කොට මැද පෙරදිග තෙල් සහ අනෙකුත් සම්පත් කොල්ල කා ගැනීමේ පරමාර්ථයෙන් දියත් කරන මෙහෙයුමක්.

මෙම අදහසේ කොටස් දෙකක් තියෙනව.

1) සැප්තැම්බර් 11 ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන්ගේ නොව රජයේ කුමන්ත්‍රණයක් බව

2) සැප්තැම්බර් 11 ප්‍රහාරය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරයින් විසින් මැද පෙරදිග ආක්‍රමණය කිරීමට යොදා ගත් තුරුම්පුව බව

මෙම කරුණු දෙකේ කිසිම සම්බන්ධතාවයක් තිබිය නොමැති වුවත් කුමන්ත්‍රණ තියරියෙන් කියන්නේ එසේ තිබෙන බවයි. එනම් මෙම කරුණු දෙක වෙන වෙනම පැවතිය නොහැකි බවයි.

සයිගයිස්ට් ව්‍යාපාරයේ අනුහුරු වීඩියෝව (Orientation Video) බලපු මමත් ඔය කරුණු ඒ විදියටම විශ්වාස කලා. නමුත් දැන් පැවසෙන්නාක් මෙන් අන්තර්ජාලයේ WTF ස්වාභාවය නිසාම සමහර කරුණු වල ‍අසත්‍යභාවය හොයා ගන්න ලෙහෙසියෙන් හොයාගන්න පුලුවන් වෙයි.

ඇත්ත තත්වය නම් ඉහත කරුණු දෙක එකිනෙකට ස්වායත්ත වීම. සැප්තැම්බර් 11 ප්‍රහාරය රජයේ කුමන්ත්‍රණයක් වෙන්නම අවශ්‍ය නැහැ ඒක මැද පෙරදිග ආක්‍රමණය කරන්න ප්‍රධාන තුරුම්පුව කර ගන්න. ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන්ගෙ ක්‍රියාවකුත් එවකට රජය සහ ව්‍යාපාර වල අවශ්‍යතාවයට ඒ ප්‍රහාරය මැනවින් ගැලපීමත් සිදු වුනා වෙන්න පුලුවන්. ඇත්තටම සිදුවන්නෙ ඒක.

ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ඔප්පු කරන්න කුමන්ත්‍රණ තියරිකරුවන් ඉදිරිපත් කරන සෑම සාක්ෂියක්ම වගේ මේ වන විට බිඳ දමල තියෙනව. වානේ උනු නොවීම, ගොඩනැගිලි කුලුණු වලට ඩයිනමයිට් සවි කිරීම, ගොඩනැගිලි ඇතුලට කඩාගෙන වැටීම වගේ අදහස් මේ වන විට විද්‍යාත්මකව බහුබූත වුන දේවල්. හරියට මිනිසා හඳට ගියේ නැහැ කියන කුමන්ත්‍රණ තියරිය පුස්සක් බවට පත් කලා වගේම. හැබැයි ඔබ තාම ඒක විශ්වාස කරන කෙනෙක්නම් 9/11 කුමන්ත්‍රණයෙ ජීවත් වෙන්න තව දුරටත් ඉඩ තියෙනව.

(මේ එම කුමන්ත්‍රණ තියරිය බිඳ දමන එක වීඩියෝවක්. වෙබ් ප්‍රොක්සියක් භාවිත කරන්න සිදු වේවි. ලෝක ප්‍රකට Pen & Teller Bullshit වැඩසටහනත් මේ ගැන වෙනම කථාංගයක් කලා. මිනිස්සු සාමාන්‍යයෙන් කුමන්ත්‍රණ තියරි පසුපස යන්නෙ ඇයි කියල ඔවුන් විශේෂයෙන් අවධානය යොමු කරන කොටසක් එහි අන්තර්ගත වෙනව.)

සැප්තැම්බර් 11 ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන්ගේ වැඩක් නොවන බවට අදහස් මතු කිරීමේ භයානක කම ලෝකයට පිලිලයක් වෙලා තියෙන මුස්ලිම් අන්තවාදය ගැන හරි වැටහීමක් ලබා නොගැනීමයි. ‍සමහර Facebook පණ්ඩිතයො ඉරානයට සහය දැක්වුවත් ඉරානය සුපිරි බලවතා වුන දවසට ඒ පණ්ඩිතයන්ට එක්කෝ ඉස්ලාමය නැතිනම් මරණය වැලඳ ගැනීමට සිදුවන බවයි සැබෑ තත්වය. මෙය කලු සුදු ආකාරයට දැකිය නොහැකි අප වැනි දුර්වලයින්ට පැත්තකට වෙලා බලාගෙන ඉන්න වෙන ගැටුමක්. ඒ ගැටුම අස්සෙ නොවැදගත් කුමන්ත්‍රණ තියරි එලියට දැමීම තේරුම් ගන්න බැහැ.

අනෙක් අතට සැප්තැම්බර් 11 සිද්ධියෙ වාසිය තමන්ගෙ පැත්තට යොදා ගන්න රජය දක්ෂ වුන හැටි දකින්නෙ නැතිනම් ඇමෙරිකාව උඩදාගෙන මාකට් කරන පුද්ගල නිදහසේ පුස් බව ඔවුන්ට වැටහෙන්නෙත් නැහැ. SOPA, PIPA වගේ මර්ධනකාරී නීති රැගෙන එන්න සූදානම් වීම ඇත්ත ඇති සැටියෙන් අර්ථ දක්වා ගත්ත නිසයි සාර්ථකව යටපත් කර ගන්න පුලුවන් වුනේ. ඒකත් හදිසි කුමන්ත්‍රණ ලෙස දුටුවනං මේ වෙනකොට අන්තර්ජාල නිදහස අපිටත් සීමා වෙලා.

ඇමෙරිකාවට අදාල මේ කුමන්ත්‍රණ තියරි විශ්වාස කිරීම හෝ නොකිරීම ඇමෙරිකානු පුරවැසියන්ගේ (සහ අපේ මුල්පුටු හොබවන සමහර ඇමෙරිකානු පුරවැසියන්ගේත්) වැඩක් කියල කාටහරි කියන්න පුලුවන්. නමුත් මේ සිද්ධි මාලාවෙන් ගන්න පුලුවන් සාරය වෙන්නෙ මිනිස්සු කුමන්ත්‍රණ තියරි වලට ලෙහෙසියෙන්ම රැවටෙනව කියන එක. රජය භාවිතා කරන සමහර වැසිකිලි කටවල් දිනපතා වමාරන්නෙ මේ කුමන්ත්‍රණ තියරි. ඒ තියා කෞතුකාගාරෙ කඩු උස්සපු සිද්ධිය විනාශ කරපු කොටිත් සම්බන්ධ කරගත්ත කුමන්ත්‍රණයක් වුනා. දවසින් දවස අගාධයට යන අධ්‍යාපනය ගොඩ ගන්නේ නැතුව ඒකට හේතු දක්වන්නෙත් කුමන්ත්‍රණ තියරි. දේශප්‍රේමියො දේශද්‍රෝහියො වැටෙන්නෙත් කුමන්ත්‍රණ අස්සට. ලංකාවේ වම වල පල්ලට යන්නෙත් තමන්ට විරුද්ධව මතයක් දරන ඕනෙම කෙනෙක් සීඅයිඒ ඔත්තුකාරයො විදියට දකින්න ගිහින්. ගොසිප් සයිට් ඕන එකක ඕනෙම ඕපදූපයකට කුමන්ත්‍රණ තියරියක් හැදෙනව. නිලියක් ඇමතිකෙනෙක් එක්ක නිදිවැදිලා අහු වුනත් ඒකටත් තව කුමන්ත්‍රණයක්.

රට දවසින් දවස වල පල්ලට යද්දි මිනිස්සු මේ කුමන්ත්‍රණ තියරි අස්සෙ පැටලිලා දඟලනව. දවල්ට කන කොට ඒ ගැන කතා කරනව. සිගරට් එක ගහන ගමන් කුමන්ත්‍රණ අලුතින් හදනව. අන්තිමට සරල සත්‍යය මග ඇරිලා. ඒ වෙනුවට සංකීර්ණ කුමන්ත්‍රණ රස කර කර කියන්න පුලුවන් නිසා එලියට ඇවිත්.

 සැප්තැම්බර් 11 ප්‍රහාරය අවාසනාවට ආගම් අන්තවාදයේ ප්‍රතිපලයක්. ඒ සරල සත්‍යය කිසිම කුමන්ත්‍රණ තියරියකින් වසා දමන්න බැහැ. ඒ සත්‍යය වෙනුවට කුමන්ත්‍රණ තියරියකින් මූණ වහ ගන්න එක සියුම් මානසික රෝගයක් නැත්තං අන්ත මුග්ධකම වෙන්න පුලුවන්.

One thought on “9/11 සහ කුමන්ත්‍රණ තියරි

  1. // සැප්තැම්බර් 11 ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන්ගේ වැඩක් නොවන බවට අදහස් මතු කිරීමේ භයානක කම ලෝකයට පිලිලයක් වෙලා තියෙන මුස්ලිම් අන්තවාදය ගැන හරි වැටහීමක් ලබා නොගැනීමයි. ‍සමහර Facebook පණ්ඩිතයො ඉරානයට සහය දැක්වුවත් ඉරානය සුපිරි බලවතා වුන දවසට ඒ පණ්ඩිතයන්ට එක්කෝ ඉස්ලාමය නැතිනම් මරණය වැලඳ ගැනීමට සිදුවන බවයි සැබෑ තත්වය. //

    100% Agree!