මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted

අස්සලාම් අලෛයිකුම්!

මේ රිෆ්කාන් මට කතාකරපු පලමු වචන කිහිපයයි. නුවර බලා දිවෙන නගරාන්තර දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතකට, සාමාන්‍ය ගාස්තු බස් රථයකට ද වඩා වියදම් කොට හිඳ ගැනීමට තැනක් නොමැතිව පාපුවරුවේ යාමට සිදුවීම ගැන මටම දොස් කියා ගනිමින් සිටි මට ඔහුගේ ආමන්ත්‍රණය ‍මුලින් ඇසුනේ නැත.

“වලෛයිකුම් සලාම්” කියන්න

ඉස්ලාම් ආගමේ මුල් පාඩම ඔහු මට කියා දුන්නේ ඒ අයුරින්ය. එතැනින් පටන් ගත් ගමන නුවර දුම්රිය ස්ථානයෙන් අවසන් වන තෙක්ම කැඩිච්ච ඉංග්‍රීසියෙන් ඉස්ලාම් ආගම, මුස්ලිම් ජීවිතය, ආගම හා අනාගමික බව, විද්‍යාත්මක ක්‍රමය,නිදහස් ජීවිතය අතර සුහද විවාදයක්  ආරම්භ වූයෙ එලෙසය. ආරම්භයේදී ආගමික අන්තවාදය පිලිබඳ යම් අයුරිකින් දැනුමක් තිබූ මා හට සැකයක් ඉපදී තිබුනත් ඔහු කරුණු ඉදිරිපත් කල ආකාරයෙන් රිෆ්කාන් අන්තවාදී නොවූ සැබෑ ලෙසම ඉස්ලාම් ක්‍රමය අනුගමනය කරන්නෙකු බව පැහැදිලි වී ‍ගියේය.

ඔහු හා පැය දෙකකට වඩා සිදු කෙරුණු සංවාදයේදී කරුණු කිහිපයක් මා හට පසක් විය.

  1. මා මුස්ලිම් භක්තිකයෙක් බවට පත් කිරීම ඔහුගේ පරමාර්ථයයි.
  2. බොහෝ අය (මුසල්මානුවන්ද ඇතුලුව) ඉස්ලාමය වැරදි ආකාරයට වටහා ගෙන ඇත.
  3. ඒකදේවවාදී ආගම්, විශේෂයෙන්ම ඉස්ලාමය එක් සුපිරි බලයක් උපකල්පනය කර එය මත සියලු තර්කණයන් ගොඩනගයි.

මෙයින් පලමුවැනි කරුණ, එනම් මා මුස්ලිම් භක්තිකයෙකු කිරීම අවසන් වතාවට මා සමඟ කතා කිරීමේදී පවා ඔහු උත්සහ කල දෙයකි. අනෙකුත් අවස්ථා වලට වඩා මෙහිදී මා දුටු වෙනස්කම වන්නේ මා ඉස්ලාමයට හැරවීම මගින් ඔහුගේ පවු සහ මගේ පව් සියල්ල සෝදා හැරීමට හැකි නිසා එසේ කිරීමත් එය ඒ ලෙසටම ඔහු අවංකවම විශ්වාස කරන බවත් පෙනී යාමය. බහුභාර්යා ක්‍රමය, ඉස්ලාම් විනය, සුන්නත් කිරීම, මුස්ලිම් සුවඳ විලවුන් ආදී නොයෙකුත් පෙලඹවීම් මධ‍්‍යයේ වුවද, අනාගමිකයෙකු වූ පසුව ඔහු/ඇය කිසිම ආගමකට හුරු කල නොහැකි බව ඔහු මේ වන විට සෙමින් ඉගෙන ගනිමින් සිටිනවා වෙන්න ඇත.

දෙවැනි කරුණ ඔහු පැහැදිලිව කුරාණය උපුටා දක්වමින් හා ඔහුගේම විශේෂ වූ ආකාරයකට තර්කානුකූල වෙමින් ඉදිරිපත් කල අදහසකි. ඔසාමා බින් ලාඩන් ඇතුලු තලිබානුවන් ඔහු මුලුමනින්ම ප්‍රති-ඉස්ලාම්වාදීන් ලෙස ප්‍රතික්ෂේප කලේය. බොහෝ කරුණු මෙහිදී ඔහු ඉදිරිපත් කලත් එක් විශේෂ කරුණක් පමණක් සටහන් කර තැබීම වටිනා බව හැ‍ඟේ.

ජිහාඩ් යනු අල්-කයිඩා, තලිබානුවන්, කුරුස යුද්ධ කරුවන් හා යුධ ව්‍යාපාරිකයින් විසින් බෙහෙවින් විකෘති කරන ලද සංකල්පයක් බව රිෆ්කාන්ගේ අදහසයි. මිත්‍යා දෘෂ්ඨිකයින් දුටු තැන මරා දමා පාරාදීසයට යන ගමන ලෙස ජිහාඩය අර්ථ දක්වන්නේ ඉස්ලාමය පිලිබඳ අබමල් රේණුවක්වත් අවබෝධයක් නැති පුද්ගලයින් බව ඔහු පවසයි. ඒ වෙනුවට ඔහු ඉදිරිපත් කලේ අපූරු අදහසකි. තමන්ගේ දුෂ්චරිත වලක්වා ගෙන ධර්මිෂ්ඨයෙකු බවට පත් වීම සඳහා තමා සමඟ කරන සටන නියම ජිහාඩයයි. වෙනත් මුස්ලිමුන් හෝ මිනිසුන් මැරීම ඉස්ලාම් ක්‍රමය නොවේ. එසේ කරන අය කිසිම ආකාරයකින් පාරාදීසයට වද්ද ගනු ලබන්නේ නැත.

මෙම දුෂ්චරිතය හා ධර්මිෂ්ඨභාවය මත මගේ තර්කයක් ගොඩ නගා ගැනීමට මම උත්සහ ගත්තෙමි. මගේ අදහස වූයේ කිසිම ආකාරයකින් දුෂ්චරිතයක් හෝ ධර්මිෂ්ඨභාවයක් නොපවතින බවයි. සුදු හෝ කලු නොව බොහෝ විට අතරමැද අවස්ථා වල සියල්ල නවතින බව මම ඔප්පු කිරීමට උත්සහ ගත්තෙමි. නමුත් ඒ සියලු අවස්ථා වල ඉහත සඳහන් තෙවැනි කරුණ ඒ හරහට පැමිණියේය. අල්ලාහ් හෝ සර්වබලධාරී දෙවියන් මත සියලු විශ්වාසයන් තබා ඇති ඔහුට ඉන් පැහැදිලි නොවෙන දෙයක් ඇත්තේ නැත. උදාහරණයක් ලෙස විවාහයෙන් පසුව වුවත් සමලිංගික ප්‍රවණතා පෙන්වන ගැහැණුන් හා මිනිසුන් ඇති බව පිලිගැනීම ඔහු ප්‍රතික්ෂේප කරයි. විද්‍යාත්මක ක්‍රමය පිලිබඳ මගේ දැනුම දුර්වල වුවත්, ඒ දැනුමේ දිග පළලින් මා ගොඩ නැගීමට දැරූ සියලු තර්කයන් ඔහු ප්‍රතික්ෂේප කලේ “අල්ලාහ්ගේ වචනය” හෝ “නබිතුමාගේ වචනය” සඳහන් කරමිනි. ඒවායේ සඳහන් ‍‍නොවන දෙයක් නැත්තේය.

මෙය බොහෝ ආගම් තුල ඒවා පවත්වාගෙන යාම සඳහා ඇති ප්‍රධාන ක්‍රමයයි. සියලුම ආගම් වල පාහේ කිසියම් කරුණු කිහිපයක් මත අන්ධ විශ්වාසය (leap of faith) තබන ලෙස නියම කෙරේ. මෙමගින් එම ආගමේ මූලික හරය ප්‍රශ්න කිරීමකට ලක් වීම වලක්වාගනු ලැබේ. නමුත් මෙමගින් මිනිසා තුල පවතින නොනවතින කුතුහලය යටපත් කෙරෙන අතර නිර්මාණශීලිත්වය මරා දමයි. මිනිස් ඉතිහාසය පුරාම සිදුව ඇති දියුණු වීම් සියල්ලක්ම කුතුහලය හා නිර්මාණශීලිත්වය මත පදනම් වන අතර ප්‍රශ්න කිරීමේ හැකියාව එහිදී විශේෂයෙන්ම අවශ්‍ය ලක්ෂණයකි. නමුත් මෙවැනි ආගම් වලින් යටපත් කරන්නේද එම ප්‍රශ්න කිරීමේ හැකියාවයි.

කෙසේ වුවද නුවර දුම්රිය ස්ථානයෙන් බැස ගත් පසු තමා සමඟ පල්ලියට යාමට පැමිණෙන ලෙස ඔහු මට ආරාධනය කලේ පල්ලියට යාම මගින් ඉස්ලාමය කෙරෙහි භක්තිමත් භාවයක් මට ලබා දිය හැකිය යන බලාපොරොත්තුව නිසා බව පෙනී ගියත් සමහර විට නැවත කවදාවත් නොලැබෙන අවස්ථාවක් මග හැරීමට මට සිත් නොදුණි. බෝගම්බර බන්ධනාගාරයට මෙපිටින් පිහිටි මහනුවර Grand Mosque වෙත ඔහුත් සමඟ මා පිය නැගුවේ ඒ නිසාය.

සපත්තු ගලවා මේස් සාක්කුවේ දමා ගත් පසු අතපය සෝදාගෙන පිරිසිදු වීමේ අදියර පැමිණේ. එවිට මුලින් අත් දෙක, ඉන්පසු මුඛය, මුහුණ හා කන් සෝදා ඉන්පසුව ‍හොඳින් කකුල් සෝදා ගනු ලැබේ. පල්ලිය ඇතුලත පිරිසිදුය. සුවඳ විලවුන් යොදා නිතරම සුවඳ ගන්වනු ලබන අතර ඉතා නිෂ්ශබ්ද භාවයක් උසුලයි. යාඥා භූමියේ එක් කොනකට මා සමඟ යන රිෆ්කාන් ඔහුට කුරාණයක් ද මගේ අතට “මහ පොත” නමින් හැඳින් වෙන පොතක් ද ලබාදී කුරාණය කියවීමට පලස් එලා ඇති ප්‍රදේශය වෙතට යයි.

කුරාණය කියවන්නේ අග සිට මුලටය. නමුත් නොයෙක් පරිවර්තන මුල සිට අගටද නිමවා ඇති අතර මුස්ලිමුන් පිලිගන්නේ අග සිට මුලට හෙවත් අරාබි RTL ක්‍රමයයි. සුරාත් නැමැති කොටස් කුරාණය පුරා ඇති අතර කුරාණයේ මූලික ඒකකය අල් ෆායිත් නම් වේ. මේ මා පල්ලිය තුල සිටි පැය භාගය තුල ඉගෙන ගත් කොටසයි. එම පැය භාගය අතරතුර එක් සුරාත් කොටසක් කියවීමට මා උත්සහ ගත්තෙමි. නිරපේක්ෂ කිසිවක් විශ්වාස නොකරන මට එය අපහසු කරුණකි.

නබිතුමා සෑම විටම පල්ලියට මුස්ලිම් නොවන අයෙක් එක්කරගෙන එන ලෙස දක්වා තිබෙන බවත් බොහෝ නූගත් මුස්ලිමුන් එය නොදන්නා බවත් රිෆ්කාන් මට පැවසූයේ පල්ලි‍යේ සේවකයින් ඇතුලු කිහිප දෙනෙකු ඔහු ‍හා මා දෙස බැලූ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. මා එහි රැඳී සිටීම රිෆ්කාන් වැනි මුස්ලිමුන්ට කෙසේ වුවත් අනෙක් මුස්ලිමුන්ට එතරම් ප්‍රසන්නජනක නොවූ බව පෙනී ගිය නිසා පැය බාගයක කාලයක් පමණක් මා රැඳී සිටීමට තිරණය කලෙමි. එහි රැඳී සිටිය කාලය තුල ඉස්ලාමික යාඥා හා අනෙකුත් ආගමික අංග නිරීක්ෂණය කල මට දැනුනේ රිචඩ් ඩෝකින්ස් Root of All Evil වාර්තාමය වැඩසටහන අතරතුර අත්විඳි අත්දැකීමට සමාන අත්දැකීමකි. වෙනත් වචන වලින් කිවහොත් අනාගමිකයෙකුගේ ඇසින් ආගමික භක්තිය දැකීමයි.

 

 

 

නබිතුමා කියලා තියෙන්නෙ වැඩි වෙලා කුරාණය කියවන්න, පාඩම් කරන්න, අවබෝධ කරගන්න, ඊට පස්සෙ අඩු වෙලාවක් යාඥා කරන්න කියලා. මේ අය කුරාණය ගැන අවබෝධයක් නැතුව පුලුවන් තරම් වෙලා යාඥා කරනවා.

මේ රිෆ්කාන් ආපසු යන අතරතුර කැඩිච්ච ඉංග්‍රීසියෙන් සමාව ඉල්ලා සිටි අයුරුයි. කෙසේ වුවත් මහකන්ද බස් රථයේ වාඩි වූ මොහොතේ සිට විජේවර්ධන ශාලාව අසල නැවතුම්පලේ බසයෙන් ගොඩ බසින තෙක් මා මුස්ලිම් ලබ්ධියට නම්මා ගැනීමේ ඔහුගේ අහිංසක මෙහෙයුම ක්‍රියාත්මක වූ බව කිව යුතුය. ඉංජිනේරු පීඨයේ පලමු වසර සිසුවෙකු වන ඔහුගේ ජීවන පරමාර්ථය ඉස්ලාමය විද්‍යාත්මකව තහවුරු කිරීම බව ඔහු පවසා සිටියේ ඉතාමත් ආඩම්බරයෙනි. ආචාර්ය සකීර් නායික්ගේ අඩිපාරේ යන්නෙකු බවද ආඩම්බරයෙන් පවසන ඔහු තුලට ප්‍රශ්න කිරීමේ හා සැක කිරී‍මේ අංගය ප්‍රගුණ කිරීමට මා උත්සහ දැරුවත් ආගමක් තුල දැඩිව අධිශික්ෂණය කල අයෙකු හට එවැන්නක් සන්නිවේදනය කිරීම ඉතා අපහසු බව පසුව තේරුම් ගත්තෙමි.

තම වැඩිමහල් අක්කාගේ නිවසට දහවල් කෑමට මට ආරාධනා කලත් ඉතාමත් කාරුණිකව මා එය ප්‍රතික්ෂේප කලෙමි. එසේනම් කොළඹ පිහිටි තමාගේ පියාගේ ගෙදරට හැකි දවසක පැමිණෙන ලෙස විවෘත ආරාධනාවක් ඔහු කල අතර භාර ගැනීමේ අරුත සලකා එය පිලිගත්තෙමි. ව්‍යංගයෙන් මුස්ලිම් ගැහැණු ලමයින් ගැන ඔහු පැවසුවත් මා එවැන්නකට උනන්දුවක් නැති බව දැන ගැනීමෙන් අනතුරුව එය සඳහන් කිරීමෙන් වැලකී සිටියේය. මේ අයුරින් ගෙවී ගිය පැය කිහිපය විජේවර්ධන ශාලාවේ කැන්ටිමේදී ඔහු අවසන් කලේ මේ අයුරිනි.

ඔයා මුස්ලිම් වුනොත් ඔයාගේ පරණ පව් ඔක්කොම නැති වෙනවා. මගේ පරණ පව් ඔක්කොමත් නැති වෙනවා. මම කවදා හරි දවසක විද්‍යාත්මකව අල්ලාහ්ගේ පැවැත්ම ඔයාට ඔප්පු කරන්නම්.

අවංකවම ඔහුගේ එම කාර්යයට මම සුබ පැතුවෙමි. අල්ලාහ් සොයා යන ගමනේදී ඔහු, ඔහු තුල ඇති දෙවියන් සොයා ගනු ඇත.

සබැඳි

ආගමික අන්තවාදයෙන් අන්තයටම බැට කෑ ඇෆ්ගනිස්ථානය අද වන විට

 

53 thoughts on “මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted

  1. දෙවියන් වහන්සේ අදහන අය සමග වාදයට යෑම මෝඩ වැඩක්.. මොකද එයාල හිතන්නේ හැමදේම කරන්නේ දෙවියන් කියල.. ප්‍රාණ ගාත අකුසලයක් කරල ආගම මාරු කරා නම් පව් ඔක්කොම හේදිල යනව.. තර්ක කිරීම මහ මෝඩ වැඩක් ඔය වගේ අය එක්ක..

    • ඔව් හුඟක් මිනිස්සු එක්ක ඒක අමාරු වැඩක්. නමුත් මේ වෙලාවෙදි මොහු ඒ පිලිබඳ සුහද ආකල්පයක් දැරුවා. එහෙම අය මට හිතෙන හැටියට හොයාගන්න අමාරු කොටසක්.

  2. ඉස්ලාමය වගේ ආගමික විශ්වාසයන් නිරපේක්ෂ, ඒක රේඛීය වීමත් එම රේඛාව දෙවියන් වහන්සේ හෝ වෙනත් සර්වබලධාරී පැවැත්මකින් අවසන් වීමත් නිසා ඔබටත් මටත් එම ආගමික විශ්වාසයන් පිළිගත නොහැකි දෙයක් වෙන එක වළක්වන්නට බැහැ. ඒත් මම හිතන්නේ අද ලංකාවේ බොහෝ බෞද්ධයන් “ඊනියා නූගත් අන්ධ භක්තික” මුසල්මානුවන්ගෙන් වෙනස් වන්නේ නෑ. ඒ ගැන තවදුරටත් විශ්ලේශණය අවශ්‍ය වන්නේ නෑ.

    මම බෞද්ධ දර්ශනය අවබෝධ කරගැනීමට උත්සාහ දරන්නෙක් වුවත් එය මට අනෙක් ලෝකයේ පවතින මහා ආගම් කිහිපය සහ සුළු ඇදහීම් හා ආගමික විශ්වාසයන් අටෝරාසිය පිළිල්බඳ උනන්දුව නැතිකිරීමට හෝ ඒවා පිළිබඳ හැදෑරීම නැවැත්වීමට හේතුවක් නෙවෙයි. නැවතත් මාතෘකාවෙන් පිට.

    ඉස්ලාම් දහම මුසල්මානුවන් පවා බොහෝ විට ව්‍යාකූල ලෙසට අර්ථ දක්වනවා යන්න සහ වැරදි ලෙස නිර්වචනය කරනවා කීම බොරුවක් නොවේ. (බෞද්ධයන්ද එම කරුණින් වෙනස් නොවෙන අතරම) කොහොම වුනත් ඉස්ලාමය සමඟ මම එකඟ නොවෙන කරුණු ඉතාම වැඩි වුවත් මම ඉස්ලාමය තුළ සුන්දරත්වයක් දකිනවා. සරල උදාහරණයක් කියනවා නම් “මක්තුබ්” වැනි වචනයක් තුළ ආගමික අර්ථයකට වඩා ජීවිතය පිළිබඳ අරුතක් මම දකිනවා. (සරලව, ඇල්කෙමිස්ට් කියැවීම හා ඉන් එහාට යනවා නම් කුරාණයේ සිංහල පරිවර්තනය කියැවීම නිර්දේශ කරමී.) තවත් උදාහරණයක් සුෆි දහම. ඒ ගැන ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා…

    උඹේ මේ සටහන මීට එහා සංවාදයක් ගොඩනඟයි කියලා මම විශ්වාස කරනවා චමිල. ජය…

    • කිසිම වෙලාවක ලංකාවේ දැන් තිබෙන බුද්ධාගම මේ අනිත් ආගම් වලින් මූලික ආකාරයට වෙනස් වෙන්නෙ නැහැ. පූජක පක්ෂයේ ක්‍රියාකාරකම්, බුද්ධාගම පිලිබඳ ඇති මිත්‍යාවන්, පුද්ගල වන්දනාවන් සියල්ල එක අයුරින් සමානයි. වෙනකක් තියා බුදුන් යනු දෙවියන් වෙනුවට ඇති නිරපේක්ෂ සත්‍යය ලෙසට පිලිගන්න තත්වයකට ඇවිත්.

      කුරාණය හා ඉස්ලාමය පිලිබඳ ඔහු කියු බොහෝ දේවල් සුන්දරයි. මුස්ලිම් රටවල දියුණු ශතවර්ශ තුලදී ඉපදුණු විද්‍යාවන් දැනුත් භාවිතයට ගැනෙනවා. නමුත් මම ඉස්ලාමය අනුගමනය කරන බොහෝ අය දුටුවේ එහි ඇති සියල්ල විධාන කර තැබීමේ ක්‍රමය අනෙක් දේවලට වඩා වැදගත් කොට සැලකීමයි. ටැබූ වරක් මේ ගැන සඳහන් කලා. ඉස්ලාමය දැන් නවීකරණය කල යුතු කාලයයි.

  3. so it was you. I caught a glimpse of a person who looked like you at Wijewardena yesterday, around 12.30pm.

  4. “ඔයා මුස්ලිම් වුනොත් ඔයාගේ පරණ පව් ඔක්කොම නැති වෙනවා. මගේ පරණ පව් ඔක්කොමත් නැති වෙනවා”

    මච්න් මන් දකින විදිහට මේක තමා පොයින්ට් එක.. ඕක තියෙන්නෙ ඔතන විතරක් නෙමෙයි… අපේ කතෝලික පිරිස් අතරත් තියෙන සුලබ දෙයක්. ඒත් ඔය හැම තැනම හොඳ මිනිස්සු ඉන්නව. පවු හෝදගන්න ආගමට යන වුනුත් ඉන්නව. මන් දකින්නෙ ඔය හැම දේකින්ම කරන්නෙ මනුස්සය කියන සතාගෙ මනස නිරවුල්ව නිදහසේ තියන්න බුදු සප් එකක් දෙන එක. එක අතකින් හරි… කොයි මිනිහද බන් දුකින් ඉන්න කැමති.

    ආගමක් උනත් විශ්වාසයක් උනත් පවතින්නෙ ඒවගෙ තියෙන ය්ම් සත්‍යතා මත. අන්තවාදි දර්ශනයක් කියල අපි දකින දේවල් මත අන්තවාදී නොවන දේවල් බොහොමයක් තියෙන්න පුලුවන්. මිනිස්සු ගස් ගල් ඇදහුවෙ තමන්ට සහනයක් ලබා ගන්න, ඔය හැම ආගමකම අපේ අය බලාපොරොත්තු වෙන්නෙ සැනසුම. මටනම් හිතෙන්නෙ සතුටින් ඉන්න පුලුවන්නම් ඔය කොයි ආගමත් එකයි..

    • උඹ කියන එක සහතික ඇත්ත. සැනසුම සොයාගෙන යන මනුස්සයට ඒක සොයාගන්න තැන වටිනවා. මේ සියල්ල ඇත්ත. නමුත් ඒක ගැටලුවක් වෙන්නෙ අර මම එදා කියපු කාරණය නිසා. හැරමිටිය නහයෙ වදිනකොට. ආගමික නිදහස හා අනෙකුත් ආගම් කෙරෙහි උපේක්ෂාව ඉතාමත් වටින කාරණයක්. ඒ සමඟම මිනිසුන්ගේ ප්‍රශ්න කරන ස්වාභාවයත්. මම හිතන විදියට මුලින් සැනසුම විඳින පුද්ගලයා සැබෑ සැනසුම ‍හොයාගන්නෙ ප්‍රශ්න කිරීම මගින්. නමුත් ඒක තවත් කතා බහක්. :)

  5. කිසියම් ආගමක් විද්‍යාත්මකව සත්‍ය බැව් ඔප්පු කිරීමට යාම මෙකල ඉතා ජනප්‍රිය කාරණයකි. ඉස්ලාමිකයින් ඔවුන්ගේ ආගම විද්‍යාත්මක යැයි ඔප්පු කිරීමට තැත්කරද්දී, බෞද්ධයින් බුදුදහම විද්‍යානුකූල යැයි කියා සිටිති. සෙසු ආගමිකයින්ද තම තමන්ගේ ආගම් නිවැරදි යැයි ඔප්පු කිරීමට වෙරදරති. මෙහිදී අඩු හෝ වැඩි වශයෙන් අදාල ආගම් වල පූජක පක්ෂයේ සහයද ලැබේ. මන්දයත් එය ආගම් වල ඉදිරි ගමන සුරක්ෂිත කරගැනීමට ඇති එකම මාර්ගය බැවිණි. එසේ ආගම් විද්‍යාත්මක පදනමක සිට සංසන්දනය කිරීම යුක්ති සහගත නොවන්නේ ඒවා ආගමක් යනු හුදෙක් විශ්වාසය මත රැඳීපවතින දෙයක් වන නිසාවෙනි.

    එසේම, එලෙස ආගම් වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙකු අවම වශයෙන් තමන්ගේ ආගම පිලිබඳව නිවැරදි වැටහීමක් හෝ දැක්මක් (සාම්ප්‍රදායිකව කියනු ලබන කාරණා හැරෙන්නට ) ලබා ඇත්දැයි සැක සහිතය. බොහෝ දෙනෙකු තම තමන්ගේ ආගම් විද්‍යානුකූල යැයි කීමට උත්සාහ ගන්නේ අන්ධ විශ්වාසයන් අත් නොහැරම වීම කණගාටුවට කරුණකි. එවන් පදනමක සිට අනුන්ගේ ආගම් විවේචනය කිරීමට යාම තකතීරු වැඩකි. තමන්ගේ ආගම පරම නිවැරදි යැයි පැවසීම හෝ අනුන්ගේ ආගම් සාවද්‍ය (සහ එබැවින්ම නොපැවතිය යුතුය ) යැයි පැවසීම ආගමික අන්තවාදය හැර අන් කිසිවක් නොවේ. එනයින් ගත් කල අන්තවාදී වන්නේ ඉස්ලාමය පමණක් නොවේ.

    විද්‍යාත්මක පසුබිම කෙසේ වුවද, ආගමක් යනු තවත් පුද්ගලයෙකුගේ විශ්වාසයක් බැවින් එයට ගරු කිරීම සදාචාරත්මක වශයෙන් අත්‍යවශ්‍ය කාරණයකි.

    • ඇත්ත. මේ බොහෝ පුද්ගලයින් තමන්ගේ ආගමේ හරය පිලිබඳ අබමල් රේණුවක්වත් නොදැන එහි උන්නතිය හෝ තමාගේ උන්නතිය සඳහා විද්‍යාත්මක කරවීමේ උත්සහයන් ගන්නවා.

      නමුත් රිෆ්කාන් පවා අමාරුවේ වැටුනේ මෙතනදි. Big Bang theory කුරාණය තුල සඳහන්ව ඇතැයි ඔහු පවසා සිටියා. මගේ මතකයේ හැටියට ආරම්භයේදී ලෝකය පිපිරීමකින් ඇති වුන බවක්. නමුත් මම පෙන්වා දුන්නා Big bang යනු පිපිරීමක් නොවන බවත් ආරම්භක අවස්ථාව හැඳින්වීමට එය යොදා ගන්නා බවත්. අනෙක නවතම අදහස් වලට අනුව Big bang එකට කලින් තිබිය හැකි අවස්ථා පිලිබඳ සඳහන් වෙනවා. Multiverse එවැනි දෙයක්.

      කෙසේ වුවත් විද්‍යාව එක කරුණක රැඳී සිටින්නේ නැහැ. ලැබෙන සාක්ෂි අනුව එහි දැනුම අලුත් වෙනවා. ආගම් පවතින විද්‍යාවෙන් ඔප්පු කිරීමට යාමේ භයානක කම ඒකයි. දශක කිහිපයකට පසු එමගින්ම ආගම බොරු‍ වෙනවා.

  6. උඹේ අත් දැකීම අන්‍ය එබ්‍රහමික ආගම එක්ක මා දරන මතයට වෙනස් වන්නේ නැහැ. පුංචි වෙනසක් ඇත්නම් එය තමයි මුස්ලිමුන් වෙන අය තම ආගමට හැරෙව්වොත් හරි ආගමින් දුරස් මුස්ලිම් කෙනෙක් පල්ලි එක්ක ආවොත් හරි ස්වර්ගයට යන්න පහසු වන බව සිතා සිටීම. අපි ඉස්සර ඔකට කිව්වේ ස්වර්ගයට ෆ්ලයි බයි පොයින්ට් එකතු කිරීම කියලා.

    දෙවියන්ව විද්‍යාවෙන් ඔප්පු කරන්න මේ අසරණයා දරන තැත විහිළුවක් හැටියට නම් ගන්න එපා. කලකට පෙර ලෝකේ ලොක්ක [කියා හිතා උන්] බුෂා ම කියාපි විද්‍යාවේ අරමුණ දෙවියන් පෙන්නා දීම කියලා. [පොර කොහොමත් මාසෙකට පාරක් දේව ටෝකක් දැම්මනේ] ඔය නිදහස් මතවාදයේ තෝතැන්න මෙහෙයවන කට්ටිය ඉන්න තැන. රිෆ්කාන් අඩු ගනනේ දන්නවා මේක අමාරු වැඩක් බව වත්.

    දෙවියන් වහන්සේට ප්රූෆ් අවශ්‍යද? මං හිතන්නේ නැහැ. ඔවුන් ගෙ [පොදුවේ එබ්‍රහමිකයන් ගැන මේ කියන්නේ] ඉගැන්වීමේ තියෙන්නේ එකම එක විශ්වාසයක් පමණයි. ඉතිරි සියල්ල එය තුල පැහැදිලි වනවා. එම එකම විශ්වාසය සර්ව බලධාරී දෙවියෙකු ඉන්න බව පමණයි. එක අතකින් බැලුවම විද්‍යා මත ගොඩ නගන්නෙත් මෙහෙම නෙ. පොස්ටියුලේට් එකක් නැතිව යන විද්‍යා මත තියේද?

    හැබැයි එබ්‍රහමිකයන් අපහසුවට පත් වන්නේ පොත් නිසා. හොඳට හෝ නරකට ආගමික නායකයින් ඔය පොත්වල ලිවුව ජාගන් නිසා. දෙවියන් වහන්සේ ලෝකේ මැව්ව හැටි ලෝක ඉතිහාසය එහි දිග පළල වගේ කතා [ක්‍රිස්තියානිය ගැන තියෙන දැනුමින් මේ ටික ලිව්වේ]. මෙව්වා ඔප්පු කරන්න ගොහින් පොරවල් ඇන ගන්නවා. මැවීම කර වසර 10000 කටත් අඩුයි කියා පොතේ තිබියදී අවුරුදු මිලියන ගණන පරණ පොසිල හමු වෙනවනේ. එතකොට තමයි කට්ටිය තමන් රවටා ගන්න පටන් ගන්නේ. විද්‍යාවෙන් ආගම ඔප්පු කිරම පටන් ගන්නේ මෙතනින්.

    මා දන්නා කතොලිකයන් පිරිසක් ලඟදි කෙස් පලා ගෙන තර්ක කරනවා ඇයි දෙවියන් මදුරුවන් මැව්වේ කියලා. පොලොව මැව්වේ අපට නම් ඇයි අපට වද දෙන මේ සතාව මැව්වේ. අවසාන නිගමනය වුනේ ආහාර දාමයන් පවත්වා ගන්න කියලයි. පරිනාමය පිළිගන්න කතෝලිකයන් මා දන්නවා. ඔවුන් කියන්නේ පරිනාමය ක්‍රියාකරවන රූට්‌ කෝස් එක වන අහම්බුතාවය නැහැ එය ඇත්තටම දෙවියන්ගේ වැඩක් කියලයි [හා පුළුවන් නම් බොරුයි කියා පෙන්නා දීපන්].

    මේ බලපන් emergence තුලින් දෙවියන් දකින ව්ද්යාඥයින් . ඔකේ කොමෙන්ටු ටිකක් වත් බැලුවනම් පෙනෙයි මිනිස්සු [උගත්] කොහොමද විද්‍යාවේ එලිය නොවැටුණු පුන්චි හුදකලා අඳුරු සෙවනැලි අස්සේ දෙවියන් හංගාගෙන ඉන්න හැටි.

    කිසිම දෙයක් සහේතුක ව මිස සිදු නොවේ කියන මානව මිත්‍යාව නිසා තමයි ඔය කොයි ආගමත් පවතින්නේ. ආගම වල පැවැත්මට හේතුව තමයි randomness, convergence, emergence, permutations and combinations වගේ මුලධර්ම “හරියට” නොතේරීම. ඩබල් කෝට් දැම්මේ ඕක විවාදාත්මක කතාවක් නිසා.

    රිෆ්කාන් තනි නැහැ. අපි ද කොහෙද තනි.

    • කරුණු කිහිපයක් ඇරෙන්න අනෙක් ඒවාට මමත් එකඟ වෙනවා. විද්‍යාවේදී උපකල්පනයක් කරනවා, නමුත් පසුව ඒ උපකල්පනය උඩ නිරීක්ෂණ බලාපොරොත්තු වෙනවා නේද? එහෙම වුනේ නැතිනං අර උපකල්පනය නැවත ප්‍රශ්න කිරීමට ලක් කෙරෙනවා.

      අනික පරිණාමවාදය. අහඹුතාවයට වඩා දැන් ඉදිරිපත් වන තර්කය ඩෝකින්ස්ගේ selfish gene හෝ මම මෑතකදි දුටුව chaos නේද? මේ ගැන මගේ දැනීම දුර්වලයි.

      කොහොම වුනත් ඔබේ ප්‍රතිචාරයේ අන්තිම ඡේදය තමයි ultimate තර්කය. මේ ගැන කිසිම ගැටලුවක් නැහැ. සියලු ඒකදේවවාදී, බහුදේවවාදී ආගම් වල මූලික හරය ඕකයි. මිනිසුන් විශ්වයේ අති විශේෂ දෙයක් බව. නමුත් මේ සියල්ල අනන්ත වූ space-time තුල ඉතාමත් කුඩා පරිමාවක සිදුවන රසායනික ක්‍රියාවලියක් වෙන්න පුලුවන් බව ඔවුන් අමතක කරනවා.

  7. එබ්‍රහමිකයන් ගැන විතරක් ලිව්වේ මෙතන ටොපික් එක නිසා. නැතුව ඉතිරි ආගම සෙට් එක සත්‍ය නිසා හෝ මේ වගේ වැඩ කරන්නේ නැති නිසා හෝ නොවේ. මේ ටික ඒ අඩුව මකන්නට.

    ලඟදි ඉඳං බෞද්ධයින් ගහන ප්‍රධාන පද දෙකක් තිබේ.

    1. අපේ ශ්‍රේෂ්ට බුදු දහම ඔය බටහිර විද්‍යාවට වඩා නිවැරදිය. ඔය විද්‍යාවේ [සාධාරණ ව ඔප්පු කර ඇති] කරුණු බොරුය [දෙකේ පන්තියේ හේතු දෙමින්]

    2. ලොව විද්‍යාත්මක ම ආගම බුදු දහමයි. අද විද්‍යාව සොයා ගන්න කරුණු සියල්ල බුදුන් විසින් කියා ඇත්තේ ඒ කාලයේමයි.

    මෙව්වා වටේ දුවන මිත කුට්ටි පිටින් තියෙනවා. මේ අය සමහර ප්‍රසිද්ධ පුද්ගලයින් කල ප්‍රකාශ [ඕපන්හයිමර් ක්ලාක් වගේ අය] ගෙඩිය පිටින් බා ගන්නවා තම මතය ප්‍රකාශ කරන්න. කොටින්ම ලංකාවේ බහුතරයක් හිතන ඉන්නේ මේ දෙන්නම පස්සේ බෞද්ධ වුනා කියලා.

    මගේ දැනුමේ හැටියට හින්දුන් තමයි දෙවියන් හා විද්‍යාව ඉතාමත් සාධාරණව හැන්ඩ්ල් කරන්නේ. අද වෙනකම් එක හින්දුවෙක් හමු වෙලා නැහැ දෙවියන් [සමුහයක්, මොවුන් එබ්‍රහමිකයන්ගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට මයිල් ගහකින් වත් සමාන නැත] විද්‍යාවෙන් ඔප්පු කරන්න යත්න දරන. ඒත් අවැසි නම් මේක කරන්න පුළුවන් වැඩිම කස්ටමයිසබල් ආගම හින්දු. ඒත් ඔවුන් ඔය වැඩේ නොකරන්නේ ඔවුන්ගේ නොතේරුම් කමටද අනුන්ට නැති විසල් තේරුමක් ඔවුන්ට ඇති නිසාද? නැත්නම් අවංකවම තම ඉගැන්වීම් අදහන එකම මිනිසුන් ඔවුන් පමණක් නිසාද? [අදහන්නාට ප්රූෆ් ඕනේ නැහැනේ]

    මට වඩා හින්දුන් සමග ආශ්‍රය කරන කෙනෙක් මේ හින්දුන් දෙවියන් හා විද්‍යාව ගැන දරන මත ගැන “සාධාරණ” [මේ දවස්වල හින්දුන්ට කරන සිම්පති දීමනාවෙන් තොරව] විවේචනයක් මෙතන දානවද?

    • ඔය විද්‍යාඥයින් තමන්ගේ ආගමට හැරෙනවා කියන එක මගේ කතාවේ සඳහන් රිෆ්කානුත් කල දෙයක්. නමුත් මම සඳහන් කලාම 99%ක් විද්‍යාඥයෝ අනාගමිකයි කියල ඒක ඔහුගේ පථයට අදාල වුනේ නැහැ. හැමතැනම එකයි වගේ බලාගෙන ගියාම.

      විද්‍යාවෙන් ආගම ඔප්පු කරන්න ගියාම ව‍ලේ වැටෙන්නෙ ඔය ආගම් කට්ටියමයි. උදාහරණය රිෆ්කාන්ගේ Big bang theory. නැත්තං විශ්වයේ ජීවිතය පිලිබඳ උපකල්පනය. කාලයක් විද්‍යාව විශ්වය හැකිලීමටත් ප්‍රසාරණයටත් ලක් වීමේ චක්‍රයක යන බව උපකල්පනය කලා. සමහර බෞද්ධයෝ ‍මේකට උඩ පැන්නෙ නැති ටික විතරයි. නමුත් දැන් පිලිගන්නේ විශ්වය රේඛීය ජිවිතයක් ගෙවිය හැකි බවයි. එවිට අර කලින් උඩ පැන්න බෞද්ධයන්ට සිදුවන්නෙ කුමක්ද?

      නෝත්‍රදාම සරසවියේ පවත්වනු ලැබූ The God Debate හිදී Hitchens ආගම හඳුන්වන්නේ මෙලෙසින්.

      “මනුස්සයෙක් අඳුරු නොදන්න කැලයක් ලඟට ඇවිත් දකිනවා කැලය අද්දර අන්ධ මිනිසෙක්ව. අන්ධ මිනිසා පමණයි දන්නෙ කැලය මැදින් යන හැටි. ඉතිං කැලයෙන් එලියට යන තෙක් අර අන්ධ මනුස්සයා පසුපස යෑම සිතාගත හැකියි. නමුත් කැලයෙන් එලියට ගිය පසුත් අන්ධ මනුස්සයා පසුපස යෑමට අරමුණක් තිබේද?”

      ප්‍රාථමික මිනිසා යම් මට්ටමක දියුණුවක් ලබාගත්තා බොහෝ ආගම් නිසා. නමුත් බටහිර විද්‍යාව මගින් ලබා දුන් ප්‍රථිපල උඩ දුවන සමාජයක සංවිධානාත්මක ආගම බොහෝ වෙලාවට කරන්නෙ කකුලෙන් ඇදීමක්. ආගම පුද්ගලික වෙනතාක් මේ කකුලින් ඇදීම නවතින්නේ නැහැ.

  8. වෙනස් ආකාරයක කියවීමක්.

    හිචන්ස්ගේ සෞඛ්‍ය තත්වය එතරම් හොඳ නැහැ.

    • Four Horsemen යනුවෙන් හඳුන්වනු ලබන්නන්ගෙන් එක්කෙනෙක්. මොහු The God Debate පලමුවැනි කොටසේ මිනිස් සදාචාරයට සර්වබලධාරී දෙවි කෙනෙකුන් අනවශ්‍ය බව පවසන්නේ විරුද්ධ පාර්ශවයේ සියලු තර්ක සුනුවිසුනු කරමින්.

      ස්තුතියි ලින්ක් එකට සහ ප්‍රතිචාරයට!

      • මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දේව වාදය වෙනුවට හිචන්ස් වාදයක් හෝ ඩොකින්වාදයක් ඇති වේවිද කියලා :)

        ඔය අනාගමික මොරාල් ගැන ලොකු විශ්වාසයක් නම නැහැ.

        • :D

          කෙනෙකුට එහෙම හිතෙන්නත් පුලුවන්. සමහර වෙලාවට එහෙම වෙන්නත් පුලුවන්. හැබැයි හිචන්ස්වාදයක් හෝ ඩෝකින්ස්වාදයක් ඇති නොවීමට හේතු වෙන්නෙ ඔවුන්ගේ මූලික තර්කය වෙන තමන්වම ප්‍රශ්න කර ගැනීම. අනික ඔවුන් පෙන්වන දේ. ආගමික ‍සදාචාරය මිනිස් ජීවිතයට හානිකර බව සහ හේතු සහගත භාවය මත සදාචාරය තීරණය කිරීම. සමහර විට අනාගමික කඳවුර මගින් ඉදිරිපත් කරන තර්ක බොරු වෙන්න පුලුවන් ඉදිරියෙදි. හැබැයි එහෙම වීම නිසා පුච්චා මරා දැමීම, ගල් ගසා මැරීම, ජනවාර්ගික සංහාර ඇති නොවන බව නම් සහතිකයි.

          ආගම බදා ගත්ත නිසා අපි මධ්‍යතන යුගයට ගියා. අනාගමික කඳවුරේ බදා ගැනීමක් නැහැ. නමුත් හිතමු අපි හේතු සහගත භාවය මත යැපෙනව කියල. තවත් මධ්‍යතන යුගයක් වෙනුවට ඉදිරි අවුරුදු 60 අපි ජීවත් වුනොත් සැලකිය යුතු දියුණුවක් මානව සංහතිය ලබන බව පැහැදිලියි.

          //ඔය අනාගමික මොරාල් ගැන ලොකු විශ්වාසයක් නම නැහැ.//
          ඒ කියන්නෙ සුජීව සදාචාරය supernatural කියල විශ්වාස කරනවද? හැබැයි මේක opinion වෙනසක් පමණයි.

          • [[අනාගමික පල්ලිය]]

            හරියට ෆොලෝ කරනවා නම මේක වෙන්නේ නැහැ. අන්ධ භක්තීය එපා කිව්වා එකා ගැනත් අන්ධ භක්තියක් ඇති කරගන්න සමාජයකනේ අපි ඉන්නේ.

            [[සදාචාරය]]

            සදඅචාරය ගැන නොවෙයි ප්‍රශ්නය. එහෙත් හරි වරදද කියන ඒක අනාගමික විදිහට අර්ථ දක්වන්න බැරිකම. අනාගමිකයා මේක අර්ථ දක්වන්නේ පිළිගත් සමාජ සම්මුති මත. ඒ සම්මුති වල රූට්‌ ඒක ආයිමත් ආගම.

            බාහිර නිරීක්ෂණයක්. ඇතුලේ මට නොපෙනෙන පැති ඇති.

          • “හරියට ෆොලෝ කරනවා නම මේක වෙන්නේ නැහැ. අන්ධ භක්තීය එපා කිව්වා එකා ගැනත් අන්ධ භක්තියක් ඇති කරගන්න සමාජයකනේ අපි ඉන්නේ.”

            ඒකනං ඇත්ත. හිචන්ස්ටත් කලින් ඕක කෙනෙක් කිව්වා. කවුරුවත් නෙමෙයි බුදුන්මයි. හැබැයි දැන් අන්ධ භක්තිය ලංකාව පුරා දුවන්නෙත් ඒක උඩින්මයි.

            “සදඅචාරය ගැන නොවෙයි ප්‍රශ්නය. එහෙත් හරි වරදද කියන ඒක අනාගමික විදිහට අර්ථ දක්වන්න බැරිකම. අනාගමිකයා මේක අර්ථ දක්වන්නේ පිළිගත් සමාජ සම්මුති මත. ඒ සම්මුති වල රූට්‌ ඒක ආයිමත් ආගම.”

            හරිමමත් නැහැ. සමලිංගික විවාහ ගැන සමාජ සම්මුතිය ආගම මත තිබුනත් මානූෂීය මට්ටමකින් තමයි අනාගමිකයො ඒ දිහා බලන්නෙ. මානුෂීය සදාචාරය ආගමික සදාචාරයෙන් වෙනස් නේද?

            කවුද කිව්වෙ කියල මතක නැහැ, ඒත් මානව ඉතිහාසයෙ ලොකුම වැරැද්ද ආගම විසින් මනුෂ්‍යාගෙන් සදාචාරය පැහැරගැනීම කියල කතාවක් තියෙනව.

  9. මෙතන සතුටු වෙන්න කාරණා දෙකක් තියෙනවා..,
    01. උඹට අලුත් විදියකට ජීවිතේ දකින පුද්ගලයෙක් ව හඳුණා ගන්න ලැබීම.
    02. කඩතුරාවකින් වැහුනු ආගමිල චින්තනයක් හරය අඳුණ ගන්න උඹටම අවස්ථාවක් ලැබීම.

    මම මේ සිදුවුණ දේට හරි ආසයි.., මිනිහෙක් තවත් ආගමක හරය ඉගෙන ගන්නවා කියන්නේ ඔහු වෙනත් ආගම් වලට ගරු කරන්න ඉගෙන ගන්නවා කියන එක.., ඉතින් මෙච්චර කල් අපි දැක්ක ඊනියා වර්චුවල් ආගමික දබර කරගැනීම් වලට ඉතා සාධාරණ උත්තරයක් උඹ මේ වනකොට එළි දක්වලා තියෙනවා.., ඒ නිසා අන් ආගම් වලට හරවාගැනීම වගේ ඌණ කාරණා පැත්තක තියා මේ සංසිද්ධිය ගැන විවෘත්ත මනසකින් බලන්න පුලුවනි නම්.., අන්න එතනින් ම උඹ දිනුම්..!
    හරි ලස්සන අත්දැකීමක්..! like it..! :))
    .
    [ප.ලි► සිංහල කුරාණයක් හොයාගෙන කියවන්නට සිතේ.]

    • ස්තුතියි මචං! මේ වර්චුවල් වලි දාගන්නෙ ‍ඔය කියන දේවල් මොනවද කියන එක ‍අබමල් රේණුවක්වත් නොදන්න අය. අහේතුක චින්තනය නැති කරන්න ඕනෙ තමයි. ඒත් ඒක අහේතුකව කරන්න බැහැ.

  10. “මගේ පරණ පව් ඔක්කොමත් නැති වෙනවා” හහ් ඒ කියන්නේ මුස්ලිමෙක් වෙලත් මිනිහගෙ පව් තියනව කියන එකනෙ එතකොට අනිකා මුස්ලිම් වුනාට වැඩක් වෙයිද?

  11. අනාගමිකයෙකු විදිහට මමත් විවිධ අවස්ථාවල ආගමික ඉගැන්වීම්වල දැඩිව එල්බ සිටින කිහිප දෙනෙක් සමගම මට තේරෙන විදිහට යම් යම් සංවාද ඇති කරගෙන තියෙනවා. නමුත් ඔවුන්ට විද්‍යාව පසක් කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව තේරුම් ගත්ත නිසා වැඩේ අතෑරලා දැම්මා. කෙනෙක් දැඩි භක්තියකින් යුතුව ආගමික ඉගැන්වීමක් අනුගමනය කරන තාක් ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධව කිසිම ප්‍රශ්න කිරීමක් පවතින්නේ නැහැ. එවැනි අය සමග එම පිළිගැනීම් ප්‍රශ්න කිරීමෙන් අන්තිමේදී අත්වෙන්නෙ නොසිතූ විරූ ප්‍රතිඵල. යම් නිශ්චිත අවස්ථාවකදි ඔහු හෝ ඇයටම ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමක් ඇතිවන තාක් ඔවුන් උත්සාහ කරන්නේ කුමන හෝ ක්‍රමයකින් තමන්ගේ පිළිගැනීම තමයි ලෝකයේ සත්‍යම දහම කියලා ඔප්පු කරන්න. මේ උත්සාහය බොහෝ විට මෙවැනි සුහද ආකාරයකින් සිද්ධ වෙන්නේ නැති බවට අන්තර්ජාලයේම උදාහරණ ඕනෑ තරම්. ඒ අනුව බැලුවහම රිෆ්කාන් වෙනස් පුද්ගලයෙක්. මේ අත්දැකීම මාර වටිනවා චමිල අයියේ.

    • “යම් නිශ්චිත අවස්ථාවකදි ඔහු හෝ ඇයටම ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමක් ඇතිවන තාක් ඔවුන් උත්සාහ කරන්නේ කුමන හෝ ක්‍රමයකින් තමන්ගේ පිළිගැනීම තමයි ලෝකයේ සත්‍යම දහම කියලා ඔප්පු කරන්න.”

      මේක සහතික ඇත්ත. තමන්ගේ අත්දැකීම් අනුව දකින දේ තේරුම් ගන්න නිසා අත්දැකීම් රහිත එක ශික්ෂණයක් පමණක් යටතේ ඉන්න අයෙක් තමන්ගේ ශික්ෂණය ලොව හොඳම සහ නිවැරදිම ශික්ෂණය ලෙසට පිලිගන්නවා. දැකීම වෙනස් වෙන්න අත්දැකීම් ලබන්න ඕනෙ. ඒක තමන්ම කරගන්න ඕන දෙයක්.

      රිෆ්කාන් විවෘත පුද්ගලයෙක් නොවුනට අනෙකුත් ආගම් පිලිබඳ ඔහුගේ මතය නිසා ඉතාමත් සුහදශීලියි. ඔහු කියන්නෙ අනෙක් සියලුම ආගමික නායකයින් නබිතුමන්ලා (prophets) වන බව. නමුත් මුහම්මද් පමණයි සම්පූර්ණ දේව පණිවිඩය ලබා දෙන්නේ. මේ නිසා අනෙකුත් ආගම් වුනත් කිසියම් දවසක ඉස්ලාමය බවට පත් වෙනවා. මේ ඔහුගේ දැක්ම.

      “ඔයා කුරාණය කියෙව්වේ නැතත් කරන දේවල් වලින් ඔයා මුස්ලිම් වෙනවා.” මේ මට ඔහු කියපු දෙයක්.

      ස්තුතියි ප්‍රතිචාරයට මල්ලී! :)

      • [[රිෆ්කාන් විවෘත පුද්ගලයෙක් නොවුනට අනෙකුත් ආගම් පිලිබඳ ඔහුගේ මතය නිසා ඉතාමත් සුහදශීලියි. ඔහු කියන්නෙ අනෙක් සියලුම ආගමික නායකයින් නබිතුමන්ලා (prophets) වන බව. නමුත් මුහම්මද් පමණයි සම්පූර්ණ දේව පණිවිඩය ලබා දෙන්නේ. මේ නිසා අනෙකුත් ආගම් වුනත් කිසියම් දවසක ඉස්ලාමය බවට පත් වෙනවා. මේ ඔහුගේ දැක්ම]]

        මේක ඔතෙන්ටික් නැහැ බං. හැම ආගමිකයම කියන කතාවක්. මට අහල ඇති වෙලා තියෙන්නේ.

        • හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනව නේද? මොකද ඉස්ලාමයෙදි කොණ්ඩෙ වැවීම කියන කුඩාම තැන දක්වා නීති පනවලා තියෙන නිසා කෙනෙකු ජීවත් වෙන විදියත් ඉස්ලාම් කියන්න පුලුවන්.

          මොනව වුනත් තමන්ගේ ආගම ශ්‍රේෂ්ඨයි කියන දේ ඔප්පු කරන්න මේ කතාව පාවිච්චි කරන බව ඇත්ත. කාලයක් අපේ අයත් කිය කිය හිටියා නේද බුද්ධාගම විශ්වයේ ඉතුරු වෙන එකම ආගම වෙනව කියලා?

  12. බුදු හාමුදුරුවො, බ්‍රහ්ම,විෂ්ණු,ශිව වගේ දෙවිවරුත් prophet ල කියල කිවුවද?!

    යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් තුන ඉතින් එකට යන එව. ඒවගෙ prophetල නම් ඔක්කොම එකයි. එක වගේ, එකම අරාබිකරේ ආගම් නෙ!
    හරියට ඉන්දියානු ආගම් වගේ තමයි. බුදු හාමුදුරුවන්ට හින්දුන් විෂ්ණු දෙවියන්ගෙ අන්තිමටම ආපු අවතාරෙ කියල ගරු කරනව. ගොඩක් බෞද්ධයොත් කොහොම කොහොම හරි හින්දු දෙවි වරුන්ට වඳිනව නෙ.
    http://en.wikipedia.org/wiki/Avatar

    අල්ලාහ් හැම ‘රටකටම’ prophet (nabi) කෙනෙක් එවල තියන බව කියවෙනව.
    මෙන්න list එකක්. ඒ ඒ නබි තුමන්ලව එවුවෙ කවුරුන් සඳහාද කියල තියනව.
    මේතනට අනුව Prophet (Nabi) ලගෙන් Messiah කෙනෙක් වෙන්නෙ Jesus පමණයි.

    http://en.wikipedia.org/wiki/Prophets_of_Islam#Prophets_and_messengers_in_Islam

    හැබැයි මේ ලෝකෙට අන්තිමටම එවපු prophet කියපු දේ තමයි අනුගමනය කරන්න ඕනෙ කියලත් කියවෙනවලු. ඒක නිසා තමයි මුස්ලිම් අය මුහම්මද්ව අනුගමනය කරන්නෙ.
    ඒ වගේම තවත් පොඩි පොඩි නිකායල් හැදිල තියනවලු පස්සෙ, ඒවගෙ ඊටත් පස්සෙ ආපු නබිල ඉන්නව, එතකොට ඒ අය අනුගමනය කරන්නෙ මුහම්මද්ව නෙමෙයි, ඊට පස්සෙ එවපු වෙනත් prophet ල. ඒත් ඒව එච්චර ප්‍රසිද්ධ නෑ ලු.

    Alevi වගේ ඒව ‘නවීකරණය’ වෙච්ච ඉස්ලාම් ආගම් කියල කියන්න පුලුවන්.
    http://en.wikipedia.org/wiki/Alevi

    .
    අහල තියන දේවල් නිකමට බෙදා හදා ගත්ත විතරයි.
    මම නම් ඕව ගැන ‘හරියටම’ නිවැරදි විස්තර දන්නෙ නෑ….
    පොඩ්ඩක් හොයල බලන්න! :)

    • //බුදු හාමුදුරුවො, බ්‍රහ්ම,විෂ්ණු,ශිව වගේ දෙවිවරුත් prophet ල කියල කිවුවද?!//
      හරියටම ඔය කතාව කිව්වා.

      යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් තුනම එකම සිද්ධියක් උඩ දුවන ආගම්. මේවා පිලිවෙලින් දෙවියන්ගෙන් එන patch update එකක් විදියටයි මේ අය සලකන්නෙ. මම දන්න විදියට පිලිවෙලින් පරණ තෙස්තමේන්තුව, නව තෙස්තමේන්තුව හා කුරාණය තමයි update වෙන පිලිවෙල අනුව user manual. ආදම් ඊව, ඒ දෙන්නගෙ දරුවො, සර්පයා වේශයෙන් එන සාතන්, ගිනිගන්න පඳුර ඔය හැම එකක්ම තුනේම තියෙනව.

      prophet සහ අන්තිම නබි තුමාගෙ කතාවත් හරි. මේ ගැන තෙලක් මට නුවර ඉඳන් පේරා යනකන් ලැබුනා :D. Alevi ගැන දැනගෙන හිටියෙ නැහැ. අහල තියෙන විදියට සුෆි කියන්නෙත් එක්තරා ඉස්ලාම් practice එකක්.

      ස්තුතියි මචං ලින්ක් වලට!

  13. හැම ආගමක්ම වගේ ඔතනත් ආගම කියන එක ස්වකීය අර්ථික දේහය තර කිරීම උදෙසා පාවිච්චි කරපු බවක් තමයි පේන්න තියෙන්නේ. ලෝකෙ තියන බොහෝ ආගම් වල තම සාමජිකත්වය ඉහළ නංවා ගැනීමේ උත්සාහය ඓන්ද්‍රීය ප්‍රවණතාවක් විදිහට පැවතුණා. මොකද, මිනිස්සු ශිෂ්ඨචාර ගත වෙද්දි සමූහ වලට එකතු වෙන්න පටන් ගත්තා. ඒ සමූහ ගෝත්‍ර විදිහට සංවර්ධනය උණා. ගෝත්‍රයේ නිශ්පාදාන හැකියාවේ පරිමාව තීරණය උණේ ගෝත්‍ර සාමජික සංඛ්‍යාවට අනුපාතිකව. ඉතින් මේ ගෝත්‍ර බෙදීම මුල් කාලීන්ව සිදු වුණේ භූවිශමතා තත්වයන් අනුව. පස්සෙ කාලෙදි එක ගෝත්‍රයක් , එක ආගමක් අදහන තත්වයට පත් වුණ.
    (මේ ආගම් මුල් කාලීනව නොදියුණු තත්වයේ පැවතුණු ඇදහීම් වෙන්න පුළුවන්.) මේ හේතුව නිසා හැකි තරම් තමන්ගේ ආගම් අදහන පිරිස වැඩි කර ගැනීමේ උත්සාහයක නියැලුණා. පසු කාලීනව එන ආගම් වලත් මේ ලක්ෂණය පැව්තණා වඩ දෙශපාලනික විදිහට.

    මුස්ලිමුන්ගේ, කතෝලිකයන්ගේ හෝ බෞද්ධයන්ගේ තාමත් පව්තින ආගම් පැතිරවීමේ උමතුව ඔය තතවයේම විකාශනයක් කියලයි මම නම් හිතන්නෙ. දැන් ඔය ආර්ථික කතන්දරේ අමු අමුවෙම විකුණ ගන්න බැරි වෙච්ච නිසා, තව කෙනෙක් ආගමට ගත්තොත් පවු හේදෙනව වගේ අයිසින් පාරවල් ගාල තියන එක සාධාරණයි.

    • මටත් අහස ‍පොලොව ගැටලන ප්‍රශ්නයක් තමයි ආගමේ මේ ආක්‍රමණශීලි ස්වාභාවය. ඒත් මචං මේක ආර්ථිකමය හේතු මතම කියන්න බැහැ. පාලනය කිරීම කියන කරුණ මත තමයි ආගමක මුලු පැවැත්මම රඳා පවතින්නෙ. කොටසක් පාලනය වෙන්නෙ නැහැ කියන්නෙ පාලනයක් නැහැ කියන එක. ඒකයි මේ ආගම් 100% ලෝකයම තමන්ගෙ පැත්තට ගන්නකන් නවතින්නෙ නැත්තෙ. මේක මේ ආගම් වල තියෙන 100% සුපිරිසිදු පරිපූර්ණභාවය එක්කත් ගැලපෙනවා.

  14. Nice post.Well written.What I most liked is the narration,if you try You would defa will turn in to a pretty good story teller.I got the opportunity of visiting the particular Mosque you mention,once when I was quite young.No matter whether We believe in god or not,experiencing cultural diversity is always a nice thing to do.

    • Hehe thanks machan, but for a post like this I spend about 5 hours just to get the words right. If this is interesting it will be mainly because of the effort not talent :)

      You’re right on one fact though. Experiencing a truly different culture is a wonderful experience.

  15. ගොඩාක් අපි බොහෝ දෙනා එදිනෙදා ප්‍රායෝගිකව මුහුන දෙන දෙයක් ගැන කියවන්න ලැබීම සතුටක්. මම පෞද්ගලිකව දකින්නෙ කවුරුන් හෝ ආගමක් තුලින් හෝ ආගම මාරු කර ජීවිතය ගොඩනගාගන්න පුළුවන් නම් ඒදේට අපි විරුද්ද විය යුතු නොවේ. ඒ වගේම මේ විවිද ආගම් තුල ඇති නොයෙකුත් කරුණු කාරණා හරියට වටහාගන්න අපට පුළුවන් නම් මම සිතනව අපිට ගොඩාක් දුර ඔළුව භාවිතා කරල යන්න පුළුවන් වේවි කියල.

  16. මෙ ඔක්කම කියවලා ඉවර වෙලා මටත් හිතුනා පොඩි අදහසක් දැමිමොත් හොදයි කියලා.. මෙකද මම දැනට සේවය කරන්නේ අල්ලා දෙවියන්ගේ නිජබිමෙ (සවුදි අරාබි).. ගොඩක් පිටරටවල් වල අය මෙහෙ ඇවිල්ලා මුස්ලිමි වෙලා තියෙනවා. මොකද එයාලත් පවි සෝද ගන්නලු එහෙම කරන්නේ..එ වගේම එහෙම බැදෙන අයට මෙහෙ ඉන්න සවිදි කාරයෝ මුලික ගෙවිමක් කරනවා.. මෙකට මුදල් බලාපොරොත්තුවෙන් ගොඩක් අය බැදෙනවා.. විශේෂයෙන් පිලිපින් සහ ඉන්දියන් අය.. වැඩි දිමනා එහෙමත් ගන්න පුලුවන් පරිවර්තනය වුනාට පස්සේ. රැකියාවෙ උසස් විමි එහෙමත් ලැබෙනවා.. ලංකාවෙ අය (සිංහල) අය නමි එහෙම කර ගන්න ගොඩක් අමාරැයි. මොකද ඔවුන් දන්නවා ලංකාවෙ (සිංහල) අය නමිම ගන්න අමාරැයි කියලා..හැබැයි එක දෙයක් කියන්න ඔනා.. ගොඩක් පිලිපින් අය මෙහෙට අවිල්ලා මුස්ලිමි වුනාම, ඔවුනට මෙහෙන් විවාහ වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක කෙටි කාලයකට පමණයි. Contract එක ඉවර වෙලා තමන්ගේ රටට යන විට, මුස්ලිමි නැවත කිස්තියානි වෙනවා. ඒවගේම විවාහය සවිදියට පමණක් සිමාවෙනවා.

    මගේ කාර්යාලයේත් ඒඅයට Pray කරන්න වෙනම තැනක් තියෙනවා.. පැය 8 අපි වැඩ කෙරැවොත් එකෙන් පැය 1.30 ක්ම Pray කරන්න තමා වෙන් කරලා තියෙන්න්.. සමහර අයට වෙනත් ආගමි ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙම දැනගන්නත් එක තහනමි. මමත් බුද්ධ දර්ශණයට අනුව ජිවත් විමට මහන්සිගන්න කෙනෙක් විදියට … බුද්ධ ධර්මය ගැන මම ටිකක් තේරැමි කරලා දුන්නා පුදුම වෙලා බලාගෙන ඉන්නවා. නැවත ඉපදිම ගැන මෙහෙ සිටින අය විශ්වාස නොකරන නිසා. මොකද මෙහමෙවිනා වෙබි (http://www.mahamevnawa.lk) අඩවිය මට විශාල අස්වැසිල්ලක් වුනා බව නමි කියන්න ඔනා.. එවැනි දේවල් දැනගන්නත් ගොඩක් අය කැමැත්තෙන් හිටියත් ඒක තහනමි දෙයක් බවට පත්වෙලා තියෙන්නේ.. මම මුලින් වැඩ කරපු තැන ගොඩක් අය මට කිවිවා, ඔයාටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙලා පවි සමාකර ගන්න, එන්න අපේ ආගමට (එතකොට සවිදියට මුලින්ම පය තිබුන දවස්වල). ඒවගේම පොත් පත් කැසටි සිඩි ගොඩක් දේවල් ගෙනත් දුන්නා. සමහර සිංහල භාෂාවෙන් ලියලා තියෙනවා. නිකමට වගේ එකින් එකට ඒ සියල්ල කියවන්න ගත්තා. නමුත් සත්‍ය ඊට වඩා වෙනස් බව මට හොදින්ම පෙනි ගියේ ඔවුන්ගේ ජිවිතයට පනවලා තියෙන නිති මාලාව දැක්කාට පස්සේ..අනෙක සල්ලි කොචිචර තිබුණත් ජිවිතයේ කිසිම අර්ථයක් සහ හරවත් බවක් ඔවුනට නැහැ..

    එක දෙයක් කියන්න ඔනා.. බහරේන් කියන්නේ සවිදියට ලැබිලා තියෙන පාරාදිසයක්.. මොකද මෙහෙ ඉන්න ගොඩක් අය නිවාඩුවලට යන්නේ බහරේන්. මගේ මිතුරන් කිහිපදෙනක් ඉන්නවා (සවිදි) එයාලා වුනත් බහරේන් ගිහින් කරන්න තියෙන ඔක්කම ජරා වැඩ කරලා මෙහෙ ඇවිත් මුකුත් නැහැ වගේ ඉන්නවා. ඒ මොකුත් ඔනේ නැහැ.. සවිදියේ නැති දෙයක් නැහැ.. ගන්ජා කුඩු ගණිකාවෝ හැමදේම තියෙනවා.. වැඩිපුරම යන්නෙත් සවිදිකාරයෝ තමා. හැබැයි මාටිටු වුන දවසට කෙලින්ම බෙල්ල තමා කපන්නේ.. ඒත් ඒවගෙන් නමි අඩුවක් නැහැ. මෙවාගේ තත්වයක් සවිදියේ තියෙද්දි.. දවසට පස්වතාවක් සලා කරද්දිත්.. කොචිචර කාලයක් යයිද දන්නේ නැහැ ඔය පවි ටික නැති කරගන්න.

    මම දැනට අවුරැදු 04 ක් වෙනවා මෙහෙට ඇවිල්ලා. මට කියන්න තියෙන්නේ.. මනස මුල්කරගෙන පන්සිල් පද පහ රකින් පුලුවන් නමි (මුස්ලිමි නෙමෙ මොන ආගමෙ කෙනෙකුට වුනත්) අන්න එදාට සත්‍ය යනු කුමක්ද කියලා සරලව තේරැමි ගන්න පුලුවන් වෙවි.

  17. Salam පිටස්තරයා

    Nice One, very good one.. keep going brother.. Thanks for the article.

  18. Pingback: චමිල ද අල්විස් හෙවත් පිටස්තරයාගේ දැනුම වෙනුවෙ

  19. Pingback: චමිල ද අල්විස් හෙවත් පිටස්තරයාගේ දැනුම වෙනුවෙ

  20. ඔබතුමාගේ ලිපිය කෙටි කරන්නට යාම නිසාදෝ එය තරමක් පැහැදිළි මදි. ඇත්තම කියනවනම්. පැහැදිළි මදිකමටත් වඩා, තමන් කැමති විදිහට එක එක්කෙනාට ඒක අර්ථදක්වාගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව නැවතත් කොටස් වශයෙන් හෝ පැහැදිළිව ලියන එක හොඳයි.
    තලේබාන්ලා ඉස්ලාම්ද නැද්ද?
    ඉස්ලාම් ආගම යනු ආගමක්ද නැත්නම් දේශපාලන ව්යොවස්ථාවක්ද?
    මුසල්මානුවන් සියළු දෙනා ආගම් භක්තිකයන්ද?
    මුසල්මානු දෙමව්පියන්ට දාව ඉපදුනු දරුවෙක් ගරහනු ලැබිය යුතුද?
    මුසල්මානුවන් වෙනත් ආගමකට හරවාගැනීමට කළ යුත්තේ කුමක්ද?

    • මචං උඹ කියන හේතුව නිසාම ඕවට උත්තර දෙන්න යන්න මම කැමති නෑ. එකක් හෙන වෙලාවක් ලියන්න තියෙනව. අනිත් එක ඔය කුණු ගොඩට බහින්න දැන් මම කැමතිත් නෑ. අර වෙන බ්ලොග් එකක මටයි මගෙ අම්මටයි බනිද්දිත් කට වහගෙන හිටියෙ ඒකයි.

      අර රෙණපුමේ රාලද මොකාද එකා වගේ හදිස්සියට මේක කියවන්නෙ නැතුව මේක ඉවසීමෙන් කියෙව්වට ස්තුතියි, උඹට මේක කියෙව්වාම අදහසක් එනව ඇතිනෙ මචං. ඕවට උත්තරත් ඒවයින්ම එයි.

      උඹ කියන එක ඇත්ත. එක එකා මේක එක එක විදියට හරවන්න යනව. එච්චර දෙයක් නෑ ‍මම ලියපු එකේ. ටිකක් ඉවසීමෙන් prejudice නැතුව කියෙව්වනං ගොඩ.