හෙටට පෙර අටවක පුත්තු

අකුරු මං පෙත  පස් වන වැඩසටහනට එන්න හෙට (අගෝස්තු 19 බදාදා) හවස 5.45ට නුගේගොඩ සරසවි නව ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවට ඇවිත් ඉන්න. හෙට කතා කරන පොත “අටවක පුත්තු”. 2008 වසරේ හොඳම නවකතාව වුන මෙය ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද්දක්.

අටවක පුත්තු මම මේ වෙනකම් කියවන්න ගත්තෙ නැත්තේ හේතු කිහිපයක් නිසා. පොත් කියවීමේ පුරුද්දෙන් ටිකක් ඈත් වෙලා තිබුන නිසා, සල්ලි යෙදවීම පොත් වලට වඩා වෙන දේවල් වලට වීම නිසා, වෙලාව නෑ කියලා හිතුන නිසා…… වගේ හේතු ගොඩක්.  අකුරු මං පෙතට මම සහාභාගී වුනේ එක වතාවයි. නමුත් පොත් කියවීමේ කැසිල්ල ආයෙත් පන ගහලා එන්න ඒ වතාව ඇති වුනා. ඒ කැසිල්ලටම තමයි සුදාරකට කතා කරලා පොත ඉල්ල ගත්තෙ.

අටවක පුත්තු 2008 හොඳම නවකතාව වුනේ ඇයි කියලා පොතේ 21 පිටුවේ ඉඳන් තේරුනා. පළ වෙනි පිටුවේ ඉඳන් විසි වෙනි පිටුව වෙනකම් ටිකක් වෙලා යනවා කතාව අල්ල ගන්න. චරිත කතාව ඇතුලට එන්නේ කිසිම හඳුන්වාදීමකට කාලෙ නාස්ති කරන්නේ නැතිව. හැබැයි පොතේ එන හුඟක් චරිත තමන් කවුද කියලා හොයනවා අවසානය වෙනකම්. දමයන්ත, නන්දෙ, දිල්කි, හුඟක් ෂුවර් වගේ පෙනුනට රවීත්, වජිරා, මේ හැමෝම ගැන කියවද්දි ඇත්ත කතාවක්ද කියලා හිතුන වාර අනන්තයි. අනෝමා-නන්දෙ ආල කතාව, අඩහඳයාගේ අණ කිරීම් වලින් ගෙවිලා යන බාල කාලෙ මට හුඟක් සමීප වුනා වගේ දැනුනා. ඊළඟට රවීගේ තර්ක, දිල්කිගේ තොල් දෙක, නන්දෙගෙ ජීවිතය එක්ක ගෙවිලා ගිය සරසවි ජීවිතය හුඟක්ම ඈතින් වගේ දැනුනා. අටවක පුත්තු කතාවේ ගිලිලා යන්න තවත් හේතුවක් වෙන්න ඇත්තේ මා අධ්‍යාපනය ලබන සරසවිය හුඟක් අවස්ථා වලට පාදක කර ගෙන තිබුන නිසාත් වෙන්න ඇති.

සරසවි අධ්‍යාපනය ගැන, ආදරය ගැන, විශේෂයෙන් තමන් ගැන අඳුනගන්න පටන් ගන්න පොඩි ආලෝකයක් ලැබුනා කියලා හිතුනා පොත කියවලා ඉවර වුනාම. දවස් හතරක් විශේෂයෙන් ගත කරලා යන යන තැන බෑග් එකේ දාගෙන ගිහින් නොසිඳෙන කුතුහලයකිනුත් ආසාවකිනුත් බලපු පොත ඉවර වුනාම “තව නැද්ද” කියලා මගෙන්ම අහගෙන දුක් වුන එක මේක කියවපු හැමෝටම වෙන්න ඇති. මොකද අටවක පුත්තු තරම් සමාජයක සියලු මට්ටම් අල්ලලා ලියපු වෙන කතාවක් මම කියවලා නැහැ.

දමයන්ත පුංචි කාලේ ඉඳන් තමන් ඇතුලේ හොයන නොඉපදුන නිවුන්නත්, නන්දෙ හැමදාම නාට්‍ය ලියද්දි කතා කරන අසේලත්, රවී ගෙදර අතහැරලා නුගේගොඩ බෝඩිමට වෙලා පුලුවන් තරම් කලාව තනියෙන් අධ්‍යයනය කිරීමත්, දිල්කි ශබ්දකෝෂ පෙරලමින් සොයන සිංහල වචනත් සියල්ල නිරූපණය කරන්නේ අපි හැමදාම නිරන්තරයෙන් සොයන අපි කවුද කියන පැණය ද? දමයන්ත පළමුව අඩහඳයා තුලත්, කවි තුලත්, රවී තුලත්, දේශප්‍රේමී ව්‍යාපාරය තුලත් පසුව දිල්කි තුලත් සොයලා අන්තිමට තමන් තුල එම පැණය ගිල්වා දමලා, නැත්නම් එය අවබෝධ කරගෙන ලබා ගන්නේ පරිපූර්ණත්වයද? කතාව අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පිටුවකින් පහත කොටස උපුටා ගත්තා. මෙය සමහර විට මුළු පොතේම ප්‍රධාන සිතුවිලි මාලාව එකට කැටි කරනවා වෙන්න පුලුවන්.

ඔහුට දැනුන අභ්‍යන්තරික අසම්පුර්ණ බවත්, අර්ධභාවයත්, පුරවන සහෝදර මිනිස් පහසක් සොයා ඔහු කල ගවේශනය දැන් නිමාවකට පත්ව ඇත. යම් භාවමය බුද්ධිමය නිවුන්නෙකු හමු වනු ඇතැයි යන අවිඥානක අපේක්ශාවෙන් හෝ පසු වීම මිනිසා නැමැති සත්වයාට අවේනික වන තරම් වන ලක්ශනයෙකියි ඔහු දැන් සිතයි. ඒ හැඟීමම යම් සම්පූර්ණ බවක් ඔහුට ගෙන දෙයි.

(අටවක පුත්තු, පිටු 487)

ඔව්. මේ පොත තමයි නණලළ භේදය කුණු කූඩෙට දාලා තියෙන්නේ.

14 thoughts on “හෙටට පෙර අටවක පුත්තු

  1. අප්පා… මට ආපහු පොත කියවන්න හිතුනා නෙව… කොහො‍මත් ආයෙත් දෙතුන් වටයක් මේ නිවාඩු කාලේ පොත කියවන්න අමතක කරන්නේ නම් නෑ මයි! ඒක ෂුවර්. කොහොමත් මටත් කතාව මදි කියලා ලොකු අප්ෂට් එකක් ආවා අන්තිමට. ඒක ‍ඒ තරමටම කතාව පිළිබඳව ආසාව වැඩි කරන්නත් බලපාන්න ඇති. මොකද මෙගා ටෙලි ඩ්‍රාමා වගේ ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනේම නෑ…!

    ඒ වුනාට… කතාව නං තව ටිකක් දික් වුනා නං හොඳයි වගේ තමයි… පොතයි, දමයන්තයි, දිල්කියි, රවියි, අනෝමයි, නන්දෙයි, රෙජින නෝනයි නැතුව නිකන් පාලුයි පාලුයි වගේ…

    ඔන්න මමත් සෙට් වෙනවා අකුරු මංපෙතට… :)

    • කියල වැඩක් නෑ. පාළුව යන්නත් එක්ක මම වෙන පොතක් හොයා ගත්තා.

      අකුරට කම්මැලි වෙන්න එපා. හෙට සෙට් වෙමු.

  2. මේ ලින්ක් එක මට එවලා තිබ්බා අංජන විසින්. ගොඩක් සතුටු හිතුනා පොත් බරසාර විදියට කියවන්න උනන්දුවක් ඇති වෙලා තියෙන එක ගැන අපේ සහෘදයන් අතරේ. මේ විඳීම් සටහන් හෝ විචාර සම ලිපි එයට සාක්ෂි දෙන බැවිනි ඒ.

    මේ කියවන වැඩ ගැන ඔබ සියල්ලන්ගේ උනන්දුව අපි සැවොම උද්‍යොගයට පත් කරවන බව නම් නොකියාම බැරිය.

    :)

  3. චමිලගෙ කතාව නම් හරි තමා. මම ඕක ඉල්ලලා ඉලල්ලා එපා වුනා. කොහෙද ඉතින් බහිරවයා වගේ පොත තියගෙන හිටියනේ. බෑග් එකෙත් දාගෙන ආවා තමා. එදා උස්සන්න හැදුවට හරිගියෙත් නෑනෙ.පොත කියවන්න ගත්තේ ඊයෙ මලීගෙ ඔත්තුවට කලින් කියෙව්වත් අකුරු මං පෙත හින්දා ආයි කියවන්න ගත්තා.. අවාසනාව ඉවර කරන්න බැරිවුනා.. ස්තුතිය මට අද යන්න කතා කරපු චමිලයට හා මගේ හිත මිතුරු පාලිතට.. ඔන්න එහෙනම් ආගන්තුකයත් අද එනවා හොඳේ..

  4. දැන්මම තේරෙනවා කතාකරන්න දේවල් ගොඩාක් තියෙනවා කියලා…සෙට් වෙමු සෙට් වෙමු…

  5. මේ වගේ දේවල් නුවර පලාතේ නම් වෙනවා බොහොම අඩුයි. අපිට ඉතින් කැකිරිනේ….ගියපු අය අපිටත් එක්ක විස්තර කිවා නම්

  6. ඇත්තටම මේ පොත මම දැනට කියවල තියෙන ඒවගෙන් හොදම එකක්. කතාවට කොච්චර ආකර්ෂණය වුණාද කියනවනම් කියවල ඉවර වුණත්, පොතෙන්…ඒ වගේම ඒ චරිත වලින් වෙන්වෙන්න හිත දුන්නෙම නෑ. ‘අකුරු මංපෙත’ වැඩසටහනෙන් අටවක පුත්තු ගැන කතා කරනවයි කියල ආරංචිවුණාට පස්සෙ ඒකටත් සෙට් වුණා ඕං. ඒකනං කියල වැඩක් නෑ.. පැය ගෙවිල යනව තේරුණේවත් නෑනෙ. පැයක් වගේ කෙටි කාලයක් ඇතුලත ඒ වගේ පොතක් ගැන කතා කරල ඉවර කරන එකත් පොඩ්ඩක් අමාරු වැඩක්… කාලය මීට වඩා අරගෙන මේ ගැන තවත් සංවාදයක් සූදානම් කරනවානම් කොච්චර එකක්ද කියලයි මට හිතුනෙ. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *