තවමත් මතක බොබ් මාලි

අද හවස් වරුවේ ගෙදර ආපු ගමන් අම්මා කියපු දේ “අන්න පුතා පුංචි කාලේ අහපු කැසට් ටිකක් හොයාගත්තා” කියපු දේ. මම මුලින්ම සිංදු කියලා ඇහුවේ තාත්තාගේ කැසට් වල තිබුන බර බර සංගීතය වගේ මතක. අමරදේව, නන්දා මාලිනී, බන්ඩාර අතාවුද වගේ අය තමයි ඒ කාලේ වීරයො. හැබැයි පුංචිම කාලේ මොකද්ද හින්දි සින්දුවක් මුමුණ ඉඳලා තියෙනවා. දැන් මතක නෑ.

ඉංග්‍රීසි සින්දුවක් කියලා මම මුලින්ම ඇහුවේ බොබ් මාලි ගෙ සින්දු. ඒ කාලෙදි නම් මෙලෝ හසරක් නොතේරුනාට ඔහේ කියව කියව නටනවා. The Very Best of Bob Marley කියන කැසට් පටිය තමයි හැම තිස්සෙම අහන්නේ. කාලයක් යද්දී මේ සංගීත රටාවන් හිතට කාවැදෙනවා දන්නෙම නැතිව. පස්සේ කාලෙකදි කැසට් පටි අහන පුරුද්ද නැතිව ගියා. පොෂ් වෙන්න Linkin Park අහන්න පටන් ගත්තාම රොක් සංගීතයටම ටික ටික නැඹුරු වුනා. නමුත් බොබ් මාලි ගෙ සින්දු දැන් වුනත් අහද්දී ආපහු පරණ කාලෙකට යනවා. වැඩි බරක් හිතේ නැති ලාමක පුංචි ලෝකෙකට. පරණ මතක මොනවා වුනත් අමුතු පාළුවක් හිතට ගේනවා. බොබ් මාලිගෙ කැසට් පටිය ආපහු දැක්කාමත් හිතට ආවේ අමුතු පාළු ගතිය.

The Very Best of Bob Marleyබොබ් මාලි ගැන එක එක අය එක එක කතා කියනවා. ඔහු නියෝජනය කරපු රස්තෆාරි ආගම ගැන, ඔහුගේ ගංජා පුරුද්ද ගැන නොයෙකුත් කතා තියෙනවා. නමුත් Get Up Stand Up වැනි පද මාලා තුල ගැබ්ව තියෙන අධිකාරියට එරෙහි වෙන ගතියට ඕනෙම කෙනෙක් කැමති වෙනවා හිත යටින් වුනත්. ඔහුගේ දරුවන් දැන් ඔහුගේ නමින් ප්‍රසිද්ධ වීමට දැඟළුවත් (Damian Marley වැන්නන්) බොබ් මාලිගේ කටහඬෙ තිබුන ආත්මය ඔවුන් ළඟ නැහැ. Three Little Birds බොබ් මාලිගේ තවත් ප්‍රසිද්ධ ගීතයක්. සැහැල්ලු ජීවිතයක් ගැන හීනියට හැඟීමක් හිතට ඇතුළු වෙලා පිට වෙනවා.

Take me home country roads යන ගීතයත් පරණ කැසට් පටියක තිබුනා. එයත් පරණ මතක අළුත් කරවන්නක්. මෙහි ගායකයා ගැන නම් මම වැඩිය දන්නේ නෑ. ජෝන් ඩෙන්වර් නම් වන ඔහු 1997දී ගුවන් යානා අනතුරකින් මිය ගොස් තිබෙනවා. නමුත් මේ ගීතය නම් ඔබ අහලා ඇති.

Take Me Home Country Roads – John Denver

Road To Zion – Damian Marley Ft. NAS

8 thoughts on “තවමත් මතක බොබ් මාලි

  1. You filled up my seances කියන ජනප්‍රිය ගීතය ගායනා කරන්නේ John Denver කියන ගායකයා. Hutch වෙළඳ දැන්වීමේ භාවිතා කළේ මෙම ගීයේ තනුවයි.

  2. මමත් හුඟාක් කැමති ගායකයෙක්. බොබ් මාලිව විවේචනය කරන අය දන්නෙ නැතුව ඇති ඔහුගේ ගීතවලට වැඩිපුරම තේමා වුනේ මිනිස්කම,ආදරය සහ සාමය වගේ දේවල් කියල. රෙගේ සංගීතයේ පියා විදිහටත් සැලකෙන්නෙ බොබ් මාලි. Shark Tale චිත්‍රපටයේ Three Little Birds ගීතය ගායනා කරන්නේ ඔහුගෙ පුතා,Ziggy Marley.

    • මම ළඟදි සඟරාවක (ජාතික තරුණ සේවා සභාව විසින් නිකුත් කරන සුළඟ සඟරාව – නම තරම්ම නැහැ) දැක්කා ලිපියක්, බොබ් මාලි ගැන සාකච්ඡා කරනවා කියලා පටන් ගන්නේ. ඉවර කරන්නේ ගංජා ඉරීමේ ආදීනව ගැන කියවලා. සංගීතය, දර්ශනය ගැන කිසිම සඳහනක් නෑ. මතකද බොබ් මාලිගෙ One Love One Heart ගීතය ප්‍රසිද්ධ වුන තරම?

      Three Little Birds මුලින් ගායනා කලේ බොබ් මාලි නේද? Shark Tale වල මේ සින්දුව මට මතක නෑ. I am legend වල තිබුනා මතකද?