පෝද්දල ජයන්ත, ගත්තා නම් විඳවපිය. නැද්ද මං අහන්නේ?

කොටි බන්කර් වලින් හොයාගන්නවා කියන ලිස්ට් වල තියෙන නම් එකින් එක ඕඩර් බාර දීලා කපලා දාන එක හරිද?

පැමිණිල්ල දාපු පුද්ගලයා කැඳවලා ඔහුගෙන දවස් ගානක් ප්‍රශ්න කරන එක හරිද?

චෝදනාවක් තිබුන පළියට මිනිහෙකුට අඬු කුඩු වෙන්න ගහන එක හරිද?

ඒ ගහන එක සාධාරණීකරණය කරන්න දේශප්‍රේමය ගාවගන්න එක හරිද?

පෝද්දල ජයන්ත කියන පුද්ගලයා ගැන ළඟක් වෙනකම් මම දැන ගෙන හිටියේ නැහැ. ඔහු රජයට විරුද්ධව පිකටින් කලාලු. දැන් ඔහුගේ නම කොටින්ගෙන් මුදල් ගත්ත අයගේ නම් ලැයිස්තුවේ තියෙනවලු. ඉතින් දවස් දෙක තුනකට කලින් උස්සලා කකුල් අතපය කුඩු කරලා දාලා පාරේ බල්ලෙක් වගේ දාලා ගිහින් තිබුනා. දැන් මිනිස්සු කියනවා ගහපු එක හරිලු. ඕකලු වෙන්න තිබුනේ.

රජයට විරුද්ධ වීම වැරැද්දක් කියලා මම කවදාවත් අහලා නැහැ. ඔය හැමෝම බනින සුද්දන්ගේ රටේ නම් රජය වැරදියට අඩිය තිබ්බොත් මිනිස්සු මහ පාරට බහින්න පසුබට වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ජනාධිපති කියන්නේ බලතල දීපු තවත් එක මිනිහෙක් විතරයි. ඉතින් ඒ අය ඡන්දය දීලා මුල් පුටුවට යවපු මිනිහා මොනවද කරන්නේ කියන එක ගැන පර සුද්දෝ හැම තිස්සෙම ඇහැ ගහගෙන ඉන්නේ. හැබැයි ඒ රටවල මිනිස්සු‍න්‍ගේ අඬු නම් රජයට විරුද්ධ වෙන හේතුවට කඩනවා අඩුයි.

අපේ රාජධානියේ නම් තත්වය වෙනස්. රාජද්‍රෝහීන්ට දඬුවම මරණය!!!

මම හිතන්නේ මේ ප්‍රකාශයේ “රාජද්‍රෝහී” කියන කොටස “දේශද්‍රෝහී” විදියට වෙනස් වෙන්න ඕනේ. අපිට රජෙක් ඕනේ නැහැ. කවුරු හරි මිනිහෙක් අනිත් අයට වඩා උතුම් කියලා හිතාගෙන ඒ මිනිහාට දෙන්න තියෙන උපරිම සැප දීපු කාලේ අපි පහු කලා. සාමාන්‍ය ජනයා නොවිඳිනා දුක් විඳනකොට රජා පුටුවේ ඉඳන් රාජ්‍ය විචාරන කාලයක් දියුණු වෙන රටකට අවශ්‍ය නැහැ.

යුද්ධයක් දිනුවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, මහින්ද රාජපක්ෂ රජතුමා වුනා හුඟක් අයට. මට හිතා ගන්න බැරි එකම දේ මේකයි. හුඟක් අය නිකන්ම නිකන් ගොන්නු ද? යල් පැනපු දියසේන කුමාරයා කියන හණමිටි අදහස් තාම කරගහගෙන ඉන්න? ඒ විදියට ගියොත් දෙවන ලෝක යුද්ධය දිනපු ජෙනරාල් අයිසන්හවර්, ජෙනරාල් පැට්න් දෙවියෝ කරන්න එපැයැ, දේවාල හදලා. මොකද ඒ අය දිනුවේ නැත්තන් හිට්ලර් අපිටත් red card දීලා හුඟක් කල්.

දැන් රජතුමාගේ බූදලේ තමයි ලංකාව. කවුද මිනිහෙක් කියලා තිබුනා මහින්ද චින්තනය කැමති නැත්තන් රටින් පිටවෙන්න ඕනේ කියලා. ඒක කියපු මනුස්සයාට අමතක වුන පළවෙනි දේ තමයි මහින්ද රාජපක්ෂ 100%ක මනාපයක් ගත්තේ නැහැ කියන එක. ඔහුට විරුද්ධව ඡන්දේ දීපූ අයත් හුඟක් හිටියා රටේ.

මෙන්න මේ තත්වය යටතේ රජතුමාගේ ආධිපත්‍යට යන්තම් හරි අභියෝග කරන අය තමයි “දේශද්‍රෝහියො”. රජතුමාගේ ක්‍රියාවන් ප්‍රශ්න කරන අය සුද්දන්ගේ ඩොලර් කාලා එහෙම කරන්නේ. එතකොට රාජධානියකට අලුතින් පොලීසි නීති ඕනේ නැහැනේ. රජාගේ කැමැත්ත තමයි නීතිය. ඉතින් දේශද්‍රෝහියට ඇති වෙන්න ගුටි ඇනලා බල්ලෙක් වගේ පාරේ දාලා යන එක සාධාරණයි. පෝද්දල ජයන්ත සරු කෑමක් කන්නේ රාජධානියක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස practice කරන්න ගිහින්.

ශිෂ්ඨ සම්පන්න රටක චූදිත මිනිහෙක්ට මැරයෝ ගිහින් ගහන්නේ නැහැ. චෝදනාව විභාග කරලා බලනවා මිසක්. ඒත් එකට හරි පොලිස් සේවාවක් තියෙන්න ඕනෙ. ඒ වගේම කැලෑ නීතිය සාධාරණීකරනය කරන්න කැලෑවක ඉන්න වඳුරෙක් මිසක් ශිෂ්ඨ මිනිහෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. පෝද්දල ජයන්ත ඇට කැඩෙන්න ගුටි කෑවාම සතුටු වෙන අය මතක තියා ගන්න ඕනේ එකක් තියෙනවා. රජා ඇවිත් තමන්ගේ ගෑණි එක්ක බුදිය ගත්තත් කටක් හොල්ලන්න හොඳ නැති බව. මොකද එතකොට විරුද්ධ වුනොත් තමනුත් ගුටි පූජාවකට අහු වෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ වැතිරිලා ඉන්නකොට තමන්ගේ නිදහස වෙනුවෙන් කෑ ගහපු මිනිස්සු නිහඬ කල එක ගැන සතුටු වෙච්ච එකට ආපහු දුක් වෙයි.

ඉරාකයේ ෆලූජා නගරවාසීන් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ කර වී ගිය සිරුරු මතින් විනෝද වෙති
ඉරාකයේ ෆලූජා නගරවාසීන් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ කර වී ගිය සිරුරු මතින් විනෝද වෙති

තාමත් ලංකාවේ මිනිස්සුන්ට වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැහැ. ඒ වහල් මානසිකත්වයට විරුද්ධ වෙන මිනිස්සුව තලා පෙළා දානකොට සතුටු වෙන්න තරම් වනචාරී මිනිස් කොට්ඨාශයකට අපි පත් වෙලා. මොළය අධෝ මුඛය ළඟ තියලා අධෝ මුඛය ඔළුවට අරගෙන. හැබැයි කාලයක් යනකොට බහුතරයට තේරෙන්න පටන් ගනී වැරැද්දේ තරම. ඒත් කියන්න බැහැ තේරෙයිද කියලා.

නැවතත් මතු වෙන්නේ පරණ න්‍යායම තමයි. දුක් විඳින පද්ධතියක් වෙනස් කරන්න හදනකොට ඒ වෙනස් වීමට එරෙහි වෙන්නේ ඒ පද්ධතියේ දුක්විඳින මිනිස්සුම තමයි.

18 thoughts on “පෝද්දල ජයන්ත, ගත්තා නම් විඳවපිය. නැද්ද මං අහන්නේ?

  1. ඔව්, මිනිහා කොටියෙක් හරි නැතා හරි වෙච්චදේ කිසිසෙත් පිලිගන්න බැහැ.

    හරි අපි කියමු ජයන්ත කොටියා කියලා, ඉතින් දෙයියෙනේ මෙච්චර කල් ආණ්ඩුව මොකුත් නොකර බලන් හිටියෙ ඇයි. බලන් ඉදල ඔහොමද දඩුවම් කරන්නේ.

    නැත්නම් ජයන්තම ගහ ගත්තද පිටරට political asylum එකක් ගන්න

    දෙයියො තමා දන්නේ

    • “නැත්නම් ජයන්තම ගහ ගත්තද පිටරට political asylum එකක් ගන්න”

      ආචාර්ය මර්වින් සිල්වාට අනුව, ඔව්. මාර මොලේ නේ!

      • හිහ් හිහ් මන් දැනන් හිටියේ නැහැනෙ එක මර්වින්ගෙ කතවක් කියලා. මට ඔක කිවුවෙ යාලුවෙක්. අයෙත් අහලා ඉතින් වෙන කවුද ඉතින් ඔය වගෙ කතවක් කියන්නේ. හිහ් හිහ් හිහ්

  2. කතාව මොකක් උනත්,
    නඩුත් හාමුදුරුවන්ගෙ-බඩුත් හාමුදුරුවන්ගෙ රටේ ඔව්ව ප්‍රසිද්ධියෙ කතා කරන එක නම් එච්චඑ ඇඟට ගුණ නෑ… :D

    රජතුමාට දැන් වන්දි භට්ටයොම කීදෙනෙක් කියල ඉන්නවද? ;)

    • ඒක ඇත්ත. ඒත් ඉතින් කට වහගෙන හිටියොත් අපිටත් පැකට් වෙන වෙලාවට කවුරුත් නැති වෙයි. අර පියතුමාගෙ කවිය සෙට් වෙන්නේ මෙතනට.

      වන්දි භට්ටයො ගැනනම් බය වෙන්න දෙයක් නැහැ. එකම දේ කොපි පේස්ට් කර කරනේ දාන්නේ.

      • අපිට නෙමෙයි, කාට පැකට් උනත් කරන්න දෙයක් නෑ.

        රාජධානියක- ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ ඔක්කොම බලය තියෙන්නෙ ‘රජතුමා’ අතේ ;)

        ලංකාව ‘reverse’ එකට යනවා කියන්නෙ නිකං යැ :)

  3. කවුද දන්නේ පොද්දල කොණ්ඩ කපවා ගන්න ගිහිං වැරදිලා මොලකට ගියා කියලා? Lanka-E-News ලොක්කා නිව්ස් එකක් හොයන්න පොලිසි ගියා වෙන්නටැ?

    ඉරාකයේ සීන් එකක් දාලා තියෙන්නේ ඇයි? ඇමෙරිකාව එහෙට ගැහුවා, ඒත් ඉරාකයේ තියෙන ගැටුම් හා ප්‍රජාන්තවාදයට බාධා කරන මුස්ලිම් මත හා හැඩ ගැසීම් වැඩිය සලකා බැලුවේ නෑ, ඒකයි තාම ඒහේ ප්‍රජාන්තවාදය හරියට පිහිටුවන්න බැරි වුණේ (අපිත් මෙහෙම හිටියොත් ඒකම තමා).

    මේ ගොන් වැඩ වලින් වත්මන් ආණ්ඩුවේ ප්‍රජාන්ත්‍රවාදය හා ක්‍රමවේද ගැන ගැටලු ඇති වෙනවා.පොද්දල ඇත්තටම එහෙම නම් කල් තියා හදුනා ගත්තේ නැත්තේ ඇයි? බංකර් වලින් ලිසට් හමුබ වුණා නම් ඇයි කලිං අල්ලා ගත්තාම කිව්වේ නැත්තේ? ඇයි බුද්ධි අංශ මඟින් එළදරිව් නො කරේ?

    කතා කිරිමේ තේරුමක් නෑ, එයින් ඔබ වගේම මාවත් ඇතුලු කස්ටියක්ව දෝහීන් වෙනවා මිස.

    • බංකර් ලිස්ට් ගැන වෙනම කතා කරන්න ඕනෙ.

      ඉරාකයේ තත්වය වෙනම දෙයක්. නමුත් මම මේ පින්තූරේ දැම්මේ අඟුරු වෙච්ච මිනී තියාගෙන නටන මිනිස්සු ටිකක් පෙන්නන්න. අපි සාමාන්‍යයෙන් මෙහෙම අය පිළිකුල් කරනවා. යුද්ධයකදි වුනත් මැරුණ අයට ගෞරව කරන ආචාරයක් තියෙනවනේ මොන පැත්තේ වුනත්. නමුත් කෙනෙකුට හිංසාවක් වුනාම සතුටු වෙන්න ධර්මද්වීපයේ අපිත් පුරුදු වෙලා.

      අර කිව්වත් වගේ මට ඕනේ නෑ මහින්ද රාජපක්ෂ ඇතුලු කට්ටියගේ දේශප්‍රේමයට සෙට් වෙන්න.

  4. පිටස්තරයෝ, අනං මනං ටෝක් දීලා ඊළඟ බංකර් ලිස්ට් එකට නම දාගන්නද හදන්නේ?. “ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය දේශප්‍රේමීන්ගේ පක්ෂයයි. අනිත් ඒවට ජන්දෙ දෙන හැමෝම දේශද්‍රෝහී.” “ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෝ මව්බිමේ සැබෑ උරුමක්කාරයෝ” මේ වගේ ප්‍රකාශයක් නිකුත් කරගෙන හිටහං බං. ගම්වරයකුත් ලැබෙයි. තව තව වාසිත් ලැබෙයි ;). මහින්ද රජ්ජුරුවෝ දේශප්‍රේමීන්ට සලකනවා බං. දේශද්‍රෝහීන්ටත් සලකනවා ඇඩ්රස් නැතිවෙන්නම.

  5. අද නීතිය ගැන නොතකා මෙවැනි පහර දීම් ගැන සතුටින් උද්දාමයට පත් වන්නන්, හෙට එම අවියම තමා දෙසට එල්ල වුනු කල නීතිය කොහේ දැයි අසනු ඇත.

    දේශප්‍රේමය, බලය හිමි උන්ට සිය කුණු වසා ගන්නට පිරුවටයක් වී ඇති කලක දේශද්‍රෝහීත්වය යනු සුලභ ලේබලයක් බවට පත්වෙයි. එහෙයියන් දේශප්‍රෙමීන් වන කල අභියෝග කරන්නන් දේශද්‍රෝහීන් බවට පත්වෙයි. මහින්ද අබේසුන්දර ගේත් පොද්දල ජයන්තගේත් වෙනස ඇත්තේ එතැනය.

    • දේශප්‍රේමීත්වයත් එක්කම එන ඊළඟ කරුණ තමයි ආගම. පිළිකුළ් සහගත දේ තමයි කරන ඕනෑම තුච්ච වැඩක් ආගමේ නාමයෙන් සාධාරණීකරනය කිරීම.

      පව් කරන්නේ නැතුව යුද්ධ කරන්න පුලුවන් කියලා තිබ්බනෙ කවුද.
      http://tinyurl.com/n6a2h2

  6. කොටි සංවිධානයෙන් මාධ්‍යවේදීන් මුදල් ලබාගත්තා කියන එක ගැන තමන් නම් දන්නෙ නැති බව ජනමාධ්‍ය ඇමතිවරයා පවසා තිබුනා නිල පුවත් පත් සාකච්ඡාවකදි.මෙතන යන්නෙ කැත සෙල්ලමක්.ඔය මුදල් ලබාගත් චෝදනා ඔප්පු කරන්න කිසිදු හැකියාවක් නැහැ.ලසන්තව මැරුවෙ කවුද,සිරසට ගැහුවෙ කවුද කියල තමන් හොදින් දන්න බව ආරක්ෂක ලේකම් ප්‍රසිද්ධියේ පැවසුවා.උන්නැහෝ “දන්නව”කියුව ඒ විත්තිකාරයෝ කෝ අද?කාටද දඩුවම් කලේ?කාවද හෙලිදරවු කලේ?
    කො‍හොම උනත් කොටින්ගෙන් සල්ලි ගත්ත අයගෙ ලිස්ට් අපි ගාව තියනවා කියල මාධ්‍යවේදීන් බය ගැන්වීමක් මේ කරන්නෙ.රජයට විරුද්ධ වීම=කොටි සංවිධානයට පක්ෂ වීම කියන විකාර සමීකරනය වෙත සමාජය ධ්‍රැවීකරනය කරන්න පහුගිය කාලය පුරාම දරපු උත්සාහයේ එක දිගුවක් මේ පිලිකුල් සහගත සිද්ධිය.
    හැබැයි එක දෙයක් තියනවා.යුද කාලය තුල ඒ සමීකරනයට වලංගුතාවයක් හදාගන්න ආන්ඩුවට පුලුවන් වුනාට තවදුරටත් වැඩේ ලේසි වෙන්නෙ නැහැ.යුදකාලයේ කරපු සෙල්ලම් පශ්චාත් යුද කාලීන සමාජයේ දාන්න යාමෙන් රජය ගන්නෙ අවදානමක්.ඒ අවදානම රජයේ අන්තෝමතිකත්වයට එරෙහිව පාරාවලල්ලක් කිරීම යුක්තිය ගැන විශ්වාසයක් තියන සියලුම දෙනාගේ යුතුකමක්.
    හොද ලිපියක්.වැරදි දේට වැරදියි කියාගන්න බැරිව “දේශප්‍රේමි”වැල්ලේ බෙල්ල සගවාගෙන ගොත ගහන සමහර කොන්දක් නැති බ්ලොග්කරුවන්ට මේක හොද අතුල් පහරක්.

    • ඉදිරියෙදි සාගතයක් එනවලු, මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට එරෙහි යුද්ධය, අන්තර්ජාතික ප්‍රජාවේ අතපෙවීම්, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේ හැම දෙයක්ම පෙළ ගස්වලා තියෙන්නේ යුද්ධයට පෙර තිබුන වාතාවරණයම යුද්ධයට පසුත් ඇති කරවන්න. සමාජය නිතරම බයෙන් තියාගෙන ඉන්නෙ. ඉතින් මිනිස්සු රජය කරන ඕනෑම දෙයක් අනුමත කිරීමට පෙළඹෙනවා. ඇයි බිල්ලෙක් මවලා තියෙනවනේ දෑස් ඉස්සරහා.

  7. හොඳ ලිපියක්.

    පශ්චාත් යුද වාතාවරණයක් තුල මාධ්‍යයට පුළුල් නිදහසක් ලබාදිය යුතුයි. චූදිතයෙක් සිටිනවා නම් ඔහු වැරදිකරුවෙක් කළ යුත්තේ නීතිය ඉදිරියේ. නීතිය අතට ගෙන මහමඟ පහරදී අතහැර යාම පහත් පෙළේ ක්‍රියාවක්. විශේෂයෙන්ම පොද්දල ජයන්ත වගේ බස් එකේ ගමන් ගිය, ජනතාව අතරෙම ගැවසුණු මාධ්‍යවේදියෙකුට මෙහෙම දෙයක් සිදුකිරීම නින්දිතයි.

    නමුත් ඔහු ලසන්ත වික්‍රමතුංගට සමාන කිරීම මම හිතන හැටියට පොද්දලට කරන අගෞරවයක්. ලසන්ත වික්‍රමතුංගගේ කුණුගඳගහපු මාධ්‍ය සදාචාරය ලෝකයට රහසක් නෙවෙයි. ඔහු කිහිප වරක්ම අධිකරණය හමුවේ වැරදිකරුවෙක් වෙච්ච, වැරදිකරුවෙක් වී සමාව ගත්ත, සමාව ගෙන නැවත නැවතත් එම වරදම කරපු පුද්ගලයෙක්. නමුත් පොද්දල එහෙම නොවෙයි.

    පුද්ගලයෙක් පෑන පාවිච්චි කළ යුත්තේ වගකීමෙන් යුතුව. එහෙම නැතුව මාධ්‍ය නිදහස කියන කඩතුරාවෙන් හැම දේම සාධාරණීකරණය කරමින් නෙවෙයි. මම දකින් හැටියට පොද්දලට තිබුණු චෝදනාව කොන්දේසි විරහිතව “මාධ්‍ය නිදහස” වෙනුවෙන් පෙනී සිටීම. ඔහුගෙ මාධ්‍ය භාවිතාව ලසන්ත වික්‍රමතුංගගේ මෙන් ද්වේෂසහගත, වෛරී එකක් වුණේ නැහැ. කිසිදු භේදයක් නැතිව සෑම දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ ඒකයි.

    • ලසන්ත වික්‍රමතුංගගේ වෙනම මාධ්‍ය කලාවක් තියෙන්න ඇති. නමුත් ඕනෑම මාධ්‍යයකට නිදහසක් තියෙනවා රටේ අදහස් ප්‍රකාශ කරන්න. අපි හිතමු ලසන්ත හෝ පෝද්දල අල්ලස් අගෙන සල්ලි වලට වැඩ කලා කියලා. එහෙම වුනාට මිනිහෙක්ට ගහන්න කිසිම ශිෂඨ රටක නීතියක් නැහැ. අධිකරණය තියෙන්නේ ඒවට. කිව්වත් වගේ ලසන්ත අධිකරණය හමුවේ වැරදි කරුවෙක් වී තිබෙනවනේ. අනෙක් කරුණ තමයි පාලකයින්ට එරෙහිව කරපු චෝදනා සත්‍ය වීම. එහෙම සත්‍ය නැත්නම් මෙහෙම මර්ධනය කරන්න අවශ්‍යතාවයක් නැහැනෙ. අසත්‍ය චෝදනා නිකන්ම පසුව නැති වෙලා යයි.

      මාධ්‍ය නිදහස තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමට. එයින් රටේ ජනතාවට අවස්ථාවක් ලැබෙනවා පාලනය ගැන ප්‍රශ්න කරන්න. පාලනයේ වැරදි තියෙනවනම් චෝදනා නගන්න. වැරදි නැත්නම් නගන චෝදනා වලට බය වෙන්න කාටවත් උවමනාවක් නැහැ.

      අනිත් එක චමිත මෙතනදි හුඟක් අය “ඌ ගුටි කන්නම ඕනේ” වැනි ප්‍රකාශ කරලා තිබුනා. ඒක මහා මෝඩ සමාජයක ලක්ෂණයක්. අන්න ඒ ලක්ෂණය තමයි මම විවේචනය කලේ. හැමෝම ඔහු වෙනුවෙන් පෙනී හිටියා කියන්න බැහැ. දැන් දැන් වැඩි වෙන රටාවක් තමයි පොලීසියෙන් පැනලා යන්න හදන අපරාධකරුවො පොලිස් වෙඩි පහරින් මියයාම. ඔය වැඩත් සමාජය දැන් සාධාරණ වැඩ විදියට බලන්න පුරුදු වෙලා. නීතිය බල්ලට දාලා. බල්ලගේ නීතිය අතට අරන්.

  8. ඔතන අදහස පැහැදිලි නැද්ද පිටින් කරන්නේ තනිකර මවා පෑම ඇතුලතින් යන්නේ මර්දනය මාත් උන්මන්තක කියපු කතාව පත්තරයේ දැක්කා. කියන්න තියෙන්නේ මෙච්චරයි බුලත් කොලේට කතිරේ ගැහුවෙ නැත්නම් දේශද්‍රෝහියෙක්. මාධ්‍යකරුවනුත් වලිනුත් කරන්න ඕනි එක්කො රජයට කඩේ පලයන් නැත්නම් දෙනවා ඇප කැන්සල් වෙන්න . මතට තිත. දේශද්‍රෝහීන්ට මරණය.

Return Fire!