අතීතාවර්ජන : ඩොස් ක්‍රීඩා | Flash Back : DOS Games

මේ පෝස්ට් එක කියවන හැම කෙනෙක්ටම තමන්ගෙම පරිගණක ආදර කතාවක් තියෙනවා. ඒක මගේ පරිගණක ආදර කතාවටම සමාන නොවුනට සාමාන්‍යයෙන් පටන් ගන්නේ එකම විදියට. මුලින්ම අඩු මිලට පරිගණකයක් ගන්නවා. ඊට පස්සේ ගේම් ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙ තියෙන අනිත් මෘදුකාංග පාවිච්චි කරන්න පටන් ගන්නවා. පස්සේ තමයි ටිකක් බැරෑරුම් වැඩ ටිකක් පරිගණකයෙන් කර ගන්න යන්නේ. අන්තිමට අන්තර්ජාල පහසුකම ගෙදරට ගෙන්න ගත්තට පස්සේ බ්ලොග් ලියන්න කියවන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඊට කලින් ටිකක් වැඩි මිල පරිගණකයක් මිලට ගන්නවා.

අපි අද භාවිතා කරන මෙහෙයුම් පද්ධති, මෘදුකාංග මීට අවුරුදු දහයකට කලින් ඒ කියන්නේ විසි එක් වෙනි සියවස ලබන්න ඔන්න මෙන්න තිබුන කාලයට වඩා බොහෝම ලොකු දියුණුවක් ලබල තියෙනවා. බොහෝ දෙනා දන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බොහෝම ලොකු බලාපොරොත්තු තියාගෙන තමන්ගේ වින්ඩෝස් 2000 අනුවාදය එලියට දාන්නේ ඒ අවුරුද්දේ. ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය එලියට එන්නේ 2001දි. ජනප්‍රියම ලිනක්ස් ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය වෙන උබුන්ටු නිකුත් වෙන්නේ 2004 අවුරුද්දෙදි. අද වෙනකොට උබුන්ටු බොහෝ මෙහෙයුම් පද්ධති වලට වැඩිය සාමාන්‍ය පරිශීලකයෙකුට සහාය වෙන්න පුලුවන් මට්ටමකට දියුණු වෙලා. ෆයර්ෆොක්ස් ආදර්ශයට ගත්ත තරඟකාරයෙක් දැන් සීඝ්‍රයෙන් ෆයර්ෆොක්ස් වෙලඳපොල අල්ලගෙන යනවා. වින්ඩෝස් 7 මගින් බොහෝමයක් විවේචන අඩු කර ගන්න මයික්‍රෝසොෆ්ට් සමාගම උත්සහ ගන්නවා.

මම මුලින්ම පාවිච්චි කලේ, හා පුරා කියල අත තිබ්බේ ඩොස් මෙහෙයුම් පද්ධතියට. ඒ කාලේ ඩොස් 6.22 නිකුත් වෙලා තිබුනා. මේ 1998දි. වින්ඩෝස් 3.11 කියල රූපමය අතුරු මුහුණතක් තිබුනා. ඒත් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වුනේ ඩොස්. හැමෝම දන්න විදියට මුලින්ම පරිගණකයට අපි ඇදිල යන්නේ පරිගණක ක්‍රීඩා නිසා. මම මුලින්ම කලෙත් මේ තිබුන ඩොස් ගේම් ගහන්න පටන් ගත්ත එක. මුලින්ම  ගැහුවේ Paper Boy 2 කියල ගේම් එකක්. පරිගණකය ගෙදරට ගෙනාපු දවසේ තාත්තා මුලින්ම කියල දුන්න ඩොස් විධාන ටික වුනෙත් Paper Boy run කර ගන්න හැටි. නමේ හැටියටම පත්තර බෙදන එක තමයි මේ ගේම් එකේ අරමුණ. හරියට තැපැල් පෙට්ටියට දාගන්න පුලුවන් වුනොත් සල්ලි ලැබෙනවා. නැත්තන් සමහර විට බල්ලොත් පස්සෙන් පන්නනවා. මේ තියෙන්නේ Paper Boy 2 ගහන වීඩියෝ එකක්.

ඊට පස්සේ තව ඩොස් ගේම් කිහපයක් හොයා ගත්තා. එකක් F117A. මේකේ අරමුණ වුනේ F117A stealth bomber එක යොදාගෙන අපට ලබා දෙන ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම. ඒ කාලේ හැටියට මම ආසම ක්‍රීඩාව වුනේ මේක.

ඊට පස්සේ තවත් ඩොස් ගේම්ස් කිහිපයක් හොයා ගත්තා. Crazy Cars 2, CD Man, Shadow Knights (මේකෙ නම අමතක වෙලා තිබුනේ. හරියටම පැයකට වැඩිය ගූගල් කරල තමයි නම හොයා ගත්තෙ) වගේ ගේම්ස් කිහිපයක්ම මගේ පරණ පරිගණකයේ තිබුනා.

Shadow Knights

අද අපි ගහන Call of Duty Modern Warfare 2 වගේ ගේම් වල Depth of Field වගේ effects අත් විඳින්න පුලුවන් වුනාට මේ සඳහන් වෙන ගේම්ස් එලියට එන කාලේ වින්ඩෝස් වලට හරියට Jpeg ගොනුවක්වත් දර්ශනය කර ගන්න බැහැ. යන්තම් ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ත්‍රිමාණ රූප නිපදවන්න පුලුවන් මෘදුකාංගයක් තිබුනා 3D Home Architect කියල. ඒ හැර ඩොස් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට කර ගන්න පුලුවන් වුනේ බොහෝම පොඩි දේවල් ටිකක් විතරයි.

මේ ඩොස් ගේම්ස් තාමත් ටිකක් අමාරුවෙන් හරි අන්තර්ජාලයේ හොයා ගන්න පුලුවන්. dosgames.com වගේ අඩවි මේ සඳහාම වෙන් වෙලා තියෙනවා. නමුත් දැන් තියෙන පරිගණක architecture මේ කාලෙට වඩා ගොඩක් දියුණ නිසා සහ ඒ කාලෙට ගැලපෙන විදියට backward compatible විදියට නිර්මාණය කිරීම එච්චර තේරුමක් නැති නිසා natively මේ ක්‍රීඩා ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට යම් ආකාරයක emulate කිරීමක් අවශ්‍යයි. DosBox මේ සඳහා කදිම මෘදුකාංගයක්. ඕනෑම host platform එකක් යටතේ එයට පැරණි ඩොස් පරිසරය emulate කිරීමට පුලුවන්. පැරණි ක්‍රීඩාවක් බාගත කරගත්තට පස්සේ DosBox වලින් ඒක ක්‍රියාත්මක කරන ආකාරය අඩංගු විකි එකක් ද පවත්වාගෙන යනවා.

කොහොම වුනත් මුලින්ම පරිගණකය අත පත ගාපු ගේම් කිහිපයක් නැවත ගහන්න ආසාවක් එන එක කාලයක් යද්දී එන දෙයක්. ඒ කාලේ සහ මේ කාලේ එක විදියකට සංසන්දනය කරන්න පුලුවන් වීම ඒකට එක හේතුවක්. අනික තමයි අපි හැමෝම ආපහු පුංචි කාලෙට යන්න තියෙන ආසාව.

13 thoughts on “අතීතාවර්ජන : ඩොස් ක්‍රීඩා | Flash Back : DOS Games

  1. Pingback: Tweets that mention අතීතාවර්ජන : ඩොස් ක්‍රීඩා | Flash Back : DOS Games | Tech Buzz -- Topsy.com

  2. 1998 කාලෙදි TV games (Cartridge!) ගොඩක් ජනප්‍රිය වෙලා නේද තිබ්බෙ?
    2000 විතර වෙද්දි PC CD ROM එන්න පටන් ගත්ත වගේ මතකයි.

    ඇත්තටම කියනව නම් 1998 දි මම පරිගණකයක් දැකලවත් තිබ්බෙ නෑ :)
    හැබැයි ඒ වෙනකොට මම උඹව නම් දැකල තිබ්බ!
    මට මතක විදිහට 1995/96 දි විතර තමයි චමිල සුජීව අල්විස් කියන බ්‍රයිටව මුලින්ම දැක්කෙ
    :D

    • ඔව්.. මටත් මතකයි කාට්‍රිජ් සීන් එක. හැබැයි මම ඒවා play කරල නැහැ. මම හිතන්නේ PS, XBox වලට කලින් ආපු ඒවා වෙන්න ඕනෙ.

      කියපන් පද්ම ටීචගෙ ක්ලාස් එකේදි කියල :D ඒකෙදි තමයි මම හිතන්නේ හෙනම යාලුවො සෙට් එකක් සෙට් වුනෙ. අවශ්‍යම කෙනත් එතනින් තමයි :P

    • අඩේ මම මේක දැක්කේ නැහැනෙ. මම ඩේව් ගහල තියෙනවා. මාරියෝ ගැහුවා හැබැයි කාලෙකට පස්සෙ. අනිත් ඒවනම් දැකලත් නැහැ.

      මේවා දකිද්දි ආස හිතෙන එක තමයි පුදුම කේස් එක. මෙච්චර graphics එක්ක ගේම් තියෙද්දිත්.

  3. කෝ යාළුවා, doom , heretic , wofenstine , එහෙම සදහන් කරලවත් නැහැනේ. Dos games , windows vista 64bit වල ගහන්ඩ විදියක් තියනවද?

    • අනේ මචං ඔය ටික මම ගහල නෑ. Doom වල ගහපු මුල්ම එක Doom 3. Wolfenstein නම් එක පාරක් ඒ කාලේ යාලුවෙක් ගේ ගෙදරකදි දැක්කා. තව F-22 Raptor ගේම් එකකුත් දැක්කා. ඒත් 386 එකක ඒවා ගහන්න පුලුවන් වෙයි කියල හිතුනෙ නෑ. අනිත් එක ඒ කාලේ CD-ROM එකක් තිබුනෙත් නැහැ.

      http://www.dosbox.com/wiki/DOSBox_and_Windows_Vista_and_Windows_7

      ඔය උඩ ලින්ක් එකේ හැටියට නම් DosBox වලින් පුලුවන් වෙන්න ඕනෙ. හැබැයි binary තියෙන්නේ 32bit විතරයි. වැඩ කරන්නේ 32bit mode එකේ වෙන්න ඕනෙ. backward compatible නිසා අවුලක් නැහැ. පහල ලින්ක් එකෙන් DosBox download කර ගන්න.

      http://dosbox.com/download.php?main=1

  4. වටින ලිපියක් අයියා !
    මමත් මුලින් හා හා පුරා කියලා ප්ලේ කරේ සුපර් මාරියො ගේම් එක ඒකත් ටීවී එකට ගහලා.
    තව mortal kombat 4ත් ගහුවා වගේ මතකයි ! බට් තවමත් ඒක ගහනවා !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *