සත්‍ය වශයෙන් සැමරුමටනම්….

යුද ජයග්‍රහණ වලින් ඔද වැඩී ජය සමරන්නන්ට මෙය ඒවා හෑල්ලු කිරීමක් විය හැක. නමුත් තත්වයේ බැරෑරුම්කම අවබෝධ කරගත හැකි මිනිසුනට පමණක් ලියා තබමි.matara-war-hero-main1

දෙමළ ජනයාගේ නියෝජිතයා යනුවෙන් පවසමින් (අනෙක් නියෝජිතයින් ඉවත් කර දැමූ පසු එකම නියෝජිතයා වූ) ප්‍රභාකරන් සමඟ ඔහුගේ කාඩරයන් උණ්ඩ කාවද්දා ගනිමින් මහාපොළොව බදාගෙන අවසන්ය. ඉතිරිව ඇති අනෙකුත් කැරළිකරුවන්ගේ ඉරණමද විසඳීමට වැඩි කලක් ගත නොවෙනු ඇත. LTTE ය නිළ වශයෙන් පරාජය කොට ඒ බව නිවේදනය කර ඇත.

ජය පැන් බීමට දැන්වත් හැකිද? රබන් ගසමින් රතිඤ්ඤා පුපුරවමින් කොඩි වනමින් පාරේ දිවීමට හැකිද?

යුද්ධයේ ඍජු බලපෑමට හසුවූවන් දැනටත් වව්නියාවේ අනාථ කඳවුරු වල වෙසෙති. යුද්ධයට පෙර දරුමල්ලන්, වාසස්ථාන, මුදල් තිබූ අයට දැන් ඉතුරුව ඇත්තේ ඇඳිවත පමණි. දරුමල්ලන් මිය ගොස් ඇත. අතපය අහිමි වී ඇත. සොච්චමක් වත් අතේ නැත. මෙසේ අනාථ වී ඇති එකදු පුද්ගලයෙක් සිංහල හෝ මුස්ලිම් විය නොහැක(දන්නා තරමින්).

ඔවුන්ට සහනාධාර යැවීමේ වැඩපිළිවෙලවල් කිහිපයක් ක්‍රියාත්මක වුනද සැමදා නිකන් දෙන දේ ගන්න බලා සිටිනා සිඟන්නන් තත්වයට ඔවුන් පත් වී ඇත. රස්සාවක් නොමැති, වාසස්ථාන නොමැති ඔවුන් එසේ සිටිද්දී දකුණේ කිරිබත් දන්සැල් ද පැවැත්වීම පුදුමයකි. කොටින්ම විනාශකාරී ප්‍රථිපල අත්කරගෙන ඇති ඔවුන්ට නැවත යථා තත්වයට පත්වීමට කොතෙක් කල් ගත වේ දැයි කවුරුන් හෝ දන්නවාදැයි කිව නොහැක.

දෙමළ හා අනෙකුත් සුළු ජාතීන්ට ප්‍රශ්නයක් නොමැති බව ඔප්පු කිරීමට ඉදිරිපත්වන පුද්ගලයින් රටේ ඇත. ඉන්නවනම් අපි කියන විදියට හිටපල්ලා නැත්නම් පලයල්ලා උඹලගේ රටට යනුවෙන් ප්‍රකාශද නිකුත් කිරීමට පිරිස් ඇත. යුද්ධයටත් වඩා වයසැති ගැටළුවකට පිළිතුරු සෙවීමට මුලින් ප්‍රජාතාන්ත්‍රවාදයත් ඉන්පසුව යුද්ධයත් ඔවුන් තෝරාගත්හ. දැන් යුද්ධය පරාජ කොට හමාරය. නමුත් අපි දැන් යුද්ධයට පෙර දිනයට පැමිණ සිටිමු. ඒ ගැටළුව එලෙසම පවතින හෙයිනි.

මේ සියලු කරුණු එකතු වූ විට යුධ අනාථයින්ගේ සිතේ මැවෙන චිත්‍රය පැහැදිලි යැයි සිතමි. දැන් සිදු විය යුත්තේ “යුද්ධය නැවතුනා ඉන්පසු සෞභාග්‍ය උදාවෙයි” කියමින් ජයපැන් පානය නොව නැවත ප්‍රභාකරන් කෙනෙකු ඇතිවීමට ඇති ඉඩ ඇහිරීමයි. දැනට ඇති තත්වය එසේම පවත්වාගෙන ගියහොත් එය සිදූවීම වැලැක්විය නොහැක. රටේ සෑම අඟලක්ම තාමත් නිදහස් නැත. ඔවුන් තාම කඳවුරු තුළය.

නැවත LTTEයක් ඇති නොවීමට මහින්ද රාජපක්ෂ ඇතුළු රජයට ගත හැකි ක්‍රියා මාර්ග දෙකකි. එකක් දැන් ලෙසටම දෙමළ ජනතාව මිලිටරි බලයෙන් මැඩ ගෙන සිටීමයි. නමුත් එසේ සිදු කලහොත් ටිකකට හෝ අත බුරුල් වූ විට ඔවුන් පුපුරා යාම අනිවාර්යෙන් සිදු වේවි.

අනෙක ඔවුන්ට ඇති ප්‍රශ්නය සත්‍ය වශයෙන්ම හඳුනාගෙන එයට ස්ථිරසාර විසඳුම් සෙවීමයි. නැවතත් කැරළි ගැසීමට හේතුවක් ඇති නොකිරීමයි.

යුධ විනාශය සුව කර යුධ අනාථයින් සියල්ල කඳවුරු වලින් ඉවත් කර ස්ථිර වාසස්ථාන, රැකියා අවස්ථා හා යුධ වන්දි ලබා දී ඔවුන්ගේ ආර්ථිකය ද රටේ සෙසු පළාත් වල තත්වයට සම කල දිනට ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම නිදහස් වේවි. එවිට පමණක් අපට වීදි බැස ජාතික කොඩිය වනමින් කෑ ගැසිය හැක. කිරි උතුරුවමින් සිනා සිය හැක. අවශ්‍යනම් මීට වඩා ශබ්දය ඇති රතිඤ්ඤා පත්තු කල හැක. එයයි සැබෑ සැමරුම.

“අප දිනුවේ යුද්ධය පමණි. සැබෑ විප්ලවය පටන් ගන්නේ දැන්.”

(Image Source : පෙරඹර-http://perambara.org/featured/2009/05/peace-south)

13 thoughts on “සත්‍ය වශයෙන් සැමරුමටනම්….

  1. මා ලියන්න හිටි මාතෘකාවක් මේක. පසුගිය කාලයක් පුරාම ඒ වැසියන් ජිවත් වුණේ දකුණේ වටපිටාවට හා නිතී වලට ආත්පසින් වෙනස් වු ලෝකයක. මීට පෙර උතුරු නැගෙනහිරට පිවස ඇති කෙනෙකුට පෙනෙන දෙයක්. සුනාමි කාලය තුල අවතැන් වු අයට නිසිලෙස වැඩ පිලිවෙලක් කඩිනමින් කිරිමට හැකි නොවුවා සේම (එකල සමස්ත ලංකාවම හා ලෝකයම ආධාර කලා) විවෘතව සිදු කරත් රාජ්‍ය අංශයන්ට වඩා එය ඉටු කරනු ලැබුවේ පෞද්ගලික අංශයන් විසිනි. ඔවුන්ට පිහිට වීමේදි මේ වෙනස් වීම් වලට මුහුණ දෙන්නටත් ස්වයෝත්සහායෙන්ම නැගී සිටින්නට ඔවුන් මඟ පෙන්විය යුතුය, තවම අපේ රට එසේ වාතාවරණයක් නැති කොට තවත් අපහසු විය හැකිය. පසුකාල වල සිදුවු දේම දිරියට කරම්න් ඒ ඒ වැඩවල අඩුපාඩු හෝ විවේචනය කරන්නන් මැඩිමේ ක්‍රියා පිලිවෙත අනුගමන කළහොත් තත්වය සමනය වෙන්නට කල් යනු ඇති.

  2. යුධ ප්‍රීතියෙන් මිනිස්සු එක එක නම් කිය කියා ජයවේවා කියන අතරේ කිරිබත්ගොඩදි මිනිස්සු කිව්වේ “මර්වින් සිල්වා මැතිතුමාට” “ජයවේවා” කියලයි

  3. Thopita pissuda? apee aathal eka kadana epaaa bun!

    Apitath Tamil yaaluwoo innawaa, api unta wihilu kareee naha! thopita amu kawila!

  4. “අප දිනුවේ යුද්ධය පමණි. සැබෑ විප්ලවය පටන් ගන්නේ දැන්.”

    සහතික ඇත්ත!

  5. මේක සමරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ලක්ෂ 3ක් විතර අවතැන් උන මිනිස්සු ගොඩක් , නැතිඋන ජීවිත දහස් ගානක්, අතපය අහිමි උන ගාන කියන්නත් බැහැ එහෙම දෙවල් දිනලා ඒකටද කිරිබත් කන්නේ.

  6. @පාලිත
    @ම
    කොහෙද, මේ වෙලාවේ සමරන්න සිංහලයොන්ට අයිතියක් තියෙනවලුනේ. බස් නවත්ත නවත්ත කිරිබත් බෙදන්නේ. හැබැයි තාමත් ඔය සිංහලයොන්ට තියෙන තර්ජනයවත් ගිහින් නෑ කියන එකවත් තේරුම් ගන්න පුලුවන් ද දන්නේ නෑ.

    @මලී
    එය සිදුවිය යුතු දෙය වුවත් මෙයත් සිහි තබා ගත යුතුයි. ඇෆ්ගනිස්ථානය රුසියානු ආක්‍රමණයෙන් මුදාගත් පසුව ඊට ආධාර කිරීම සඳහා ඇමෙරිකාව පසුබට වූ විට චාලි විල්සන් පවසන්නේ මෙයයි.
    “These things happened. They were glorious and they changed the world… and then we fucked up the endgame. ”
    මෙම ක්‍රියාවලිය පසුව ඇෆ්ගනිස්ථානය ඇමෙරිකානු විරෝධී කිරීමටත් ඔසාමා බින් ලාඩන්ගේ බලයට පත්වීමටත් කරුණු ඇති කරවීය.

  7. [උපුටනය]ජය පැන් බීමට දැන්වත් හැකිද? රබන් ගසමින් රතිඤ්ඤා පුපුරවමින් කොඩි වනමින් පාරේ දිවීමට හැකිද?[නූපුටනය]ඇත්තෙන්ම එය අවශ්‍ය නැත. රතිඤ්ඤා හා කිරිබත් උයන්නට ගිය මුදල උතුරේ අනාථ වූ වැසියන්ට හෝ අපි වෙනුවෙන් අපි අරමුදලට දෙන්නට හැකියා ව තිබුණි නම් වඩාත් අගේය. නමුත් මිනිස් ස්වභාවය එයයි. බෝම්බයක් පිපිරී සිංහල වැසියන් සියගණනක් මිය ගිය විට මත්පැන් බෝතල ගෙන සාද දමන් දෙමළ සරසවි සිසුන් දැක ඇත්තෙමි. ඔවුන්ට විරුද්ධව අකුරක් හෝ මෙබදු අඩවි තුල නොලියවෙන්නේ කවර කරුම දෝෂයක් නිසාදැයි නොදනිමි. පාලිත වැනි උග්‍ර යුද විරෝධින් මේ අවස්ථාවල පසුවන්නේ කසාය බිවූ ගොළුවන් ලෙසය.

    [උපුටනය]යුද්ධයේ ඍජු බලපෑමට හසුවූවන් දැනටත් වව්නියාවේ අනාථ කඳවුරු වල වෙසෙති. යුද්ධයට පෙර දරුමල්ලන්, වාසස්ථාන, මුදල් තිබූ අයට දැන් ඉතුරුව ඇත්තේ ඇඳිවත පමණි. දරුමල්ලන් මිය ගොස් ඇත. අතපය අහිමි වී ඇත. සොච්චමක් වත් අතේ නැත. මෙසේ අනාථ වී ඇති එකදු පුද්ගලයෙක් සිංහල හෝ මුස්ලිම් විය නොහැක(දන්නා තරමින්)[නූපුටනය]සහතික ඇත්ත කතාවකි. මන්ද වාර්ගික සුද්ධ කිරීම (ethnic cleansing) තුළින් කොටින් විසින් සිංහල හා මුස්ලිම් ජනයා මරා / පන්නා දැමූයේ මීට දශකයකටත් පෙර නිසා බැවිනි.

    [උපුටනය]ඔවුන්ට සහනාධාර යැවීමේ වැඩපිළිවෙලවල් කිහිපයක් ක්‍රියාත්මක වුනද සැමදා නිකන් දෙන දේ ගන්න බලා සිටිනා සිඟන්නන් තත්වයට ඔවුන් පත් වී ඇත. රස්සාවක් නොමැති, වාසස්ථාන නොමැති ඔවුන් එසේ සිටිද්දී දකුණේ කිරිබත් දන්සැල් ද පැවැත්වීම පුදුමයකි. කොටින්ම විනාශකාරී ප්‍රථිපල අත්කරගෙන ඇති ඔවුන්ට නැවත යථා තත්වයට පත්වීමට කොතෙක් කල් ගත වේ දැයි කවුරුන් හෝ දන්නවාදැයි කිව නොහැක[නූපුටනය]මෙය බොහොම බැරෑරැම් තත්ත්වයකි. විශේෂයෙන්ම NATO ලා (No Action Talk Only) දිගට හරහට කෑගැසීම තුළින් තවත් ප්‍රශ්නය බඑපතළ වේ. මේ ජනයා නැවත පදිංචි කළ හැක්කේ බිම් බෝම්බ ඉවත් කිරීහමන් පසුව පමණකි. එය මේ බ්ලොග් කරුවි සූර ලෙස මගහරින සත්‍යයි. බිම් බෝම්බ ඉවත් කිරීමත් සමගම ක්‍රමානුකූලව ඔවුන් පදිංචි කළ යුතුය. ප්‍රශ්න ඇතැයි දිගින් දිගට බ්ලොග් දෙවනත් වෙන්නට කෑගසනවා වෙනුවට ඒ වනතුරු ඇති වන ප්‍රශ්න වලට විසදුම් ඇත්නම් ඉදිරිපත් කිරීම වටී.

    [උපුටනය]දෙමළ හා අනෙකුත් සුළු ජාතීන්ට ප්‍රශ්නයක් නොමැති බව ඔප්පු කිරීමට ඉදිරිපත්වන පුද්ගලයින් රටේ ඇත[නූපුටනය]
    සුළු ජාතීන්ට, සුළු ජාතීන් වීම නිසාම, අනෙක් රටවල සුළු ජාතීන්ට මුහුණපෑමට සිදුවී නැති අති විශේෂ ප්‍රශ්න(ය) කුමකුදැයි කිසිවකු පැහැදිලිව පෙන්වා දී නැත. සේ කිසිවු විසින් පෙන්වා දෙන්නේ නම් ඒ පිලිබදව සිංහල ජනයා වඩාත් උනන්දුවෙන් බලන බව කිව හැකිය. එබැවින් ඉහත කරුණ ඔප්පු කිරීම අනවශ්‍ය කරුණකි.

    [උපුටනය]අනෙක ඔවුන්ට ඇති ප්‍රශ්නය සත්‍ය වශයෙන්ම හඳුනාගෙන එයට ස්ථිරසාර විසඳුම් සෙවීමයි. නැවතත් කැරළි ගැසීමට හේතුවක් ඇති නොකිරීමයි.[නූපුටනය]
    එය කළ යුත්තකි. නමුත් නැති ප්‍රශ්න, සිතින් මවා ගත් ප්‍රශ්න හෝ සුළුතර වෙල්ලාර් කුලිකයන් ගේ ප්‍රශ්න වලට විසදුම් ඉදිරිපත් කිරීම යනු දෙමළ ජනතාවට ඉදිරිපත් කරන විසදුමක් නොවේ. අනෙක් අතට ඉදිරිපත් කරන විසදුම බහුතරයකට පිලිගත හැකි විය යුතුය.

    [උපුටනය]අප දිනුවේ යුද්ධය පමණි. සැබෑ විප්ලවය පටන් ගන්නේ දැන්[නූපුටනය]
    නැවතත් පැහැදිලි සත්යයකි. අප පරාජය කළේ දෙමළ බෙදුම්වාදයේ යුදවාදී / හිංසා වාදී පැතිකඩයි. එහි වූ අවිහිංසා වාදී පැත්තත්, මතවාදී පැත්තත් පැරදවූ දිනට පමණක් අපට වීදි බැස ජාතික කොඩිය වනමින් කෑ ගැසිය හැක. කිරි උතුරුවමින් සිනා සිය හැක. අවශ්‍යනම් මීට වඩා ශබ්දය ඇති රතිඤ්ඤා පත්තු කල හැක. එය සැබෑම සැමරුමක් වනු නියතය.

  8. @admin,
    මේකේ follow up කමෙන්ට්ස් ඊ මේල් එකෙන් ගෙන්න ගන්න විදිහක් නැද්ද? මොකද මෙහි මම සහටන තැබුවාට පසු ඊට පිළිතුරු කිහිපයක් දීලා තියෙනවා. ඒත් ඒවාගැන මට ඇලර්ට් එකක් ආවේ නැ.

    @මිගාර,
    සැබැවින්ම ඔබ ලබාදී තිබෙන පිළිතුරු වල ඇති පාර්ශවික භාවය හා defensive ස්වභාවය ගැන ප්‍රශ්න කිරීම සැබැවින්ම අර්ථාන්විත නොවේ. මන්ද ඔබගේ පිළිතුරු තුලම ඒ තුල වන සංවාදයට ඇති ඉඩකඩ අහුරා තිබේ.එම නිසා ඔබේ අදහස විවෘතව තබමු.
    නමුත ඔබ විසින් මාව යුධ විරෝධියෙකු යැයි නම් කර තිබීම මා තරයේ ප්‍රති‍ක්ෂෙප කරමි. මම කිසිම විටෙක යුධ විරෝධියෙකු නොවෙමි. අවිහිංසාවාදියෙකුද නොවෙමි. නමුත් ලාංකික යුද්ධය තරයේ ප්‍රති‍ක්ෂේප කරමි.එල්ටිටීය මිලිටරි පරාජයක් අත්කර සිටින මේ මොහොතේ වුවද මා දරණ මතය නම් දෙමළ ජනයාට අවි අතට ගැනීමට තරම් සාධාරණ හේතු පැවති බවත්, එහිදී ලංකා ආණ්ඩුව කළ යුත්තේ අවියට අවියෙන් පිළිතුරු දීම නොව එකී ආයුධ අතට ගැනීමට හේතුවූ කාරණා සදහා පිළිතුරු සෙවීම බවයි.මෙහිදී මා එල්ටීටීය හා එකග නොවන කාරණය වනුයේ ඔවුන්ගේ ජාතිවාදී ප්‍රවේශයයි.ඒ අනුව ඔබට මා යුධවිරෝධියෙකු නොවන බව පැහැදිලි වන්නට ඇතැයි විශ්වාස කරමි.

  9. @මිගාර
    “නමුත් මිනිස් ස්වභාවය එයයි. බෝම්බයක් පිපිරී සිංහල වැසියන් සියගණනක් මිය ගිය විට මත්පැන් බෝතල ගෙන සාද දමන් දෙමළ සරසවි සිසුන් දැක ඇත්තෙමි”
    එසේනම් අපිද නොකඩවා සම්ප්‍රදාය රකිමු.

    වාර්ගික සුද්ධ කිරීම එක්වරම අහේතුවකින් පැන නැගුනක් නොව ඊළමක් පිළිබඳ සිතීම නිසා ඇති වූ ක්‍රියාවකි. සන්නද්ධ අරගලයකින් ඊළමක් දිනා ගන්නට අරමුදල් සැපයීමට බලා සිටින diasporaවක් බිහි වුනේ ඉන්පෙර දැමූ අලි පාට් නිසා බව මගේ විශ්වාසයයි. වාර්ගික සුද්ධ කිරීම් සාධාරණීකරනයක් නොව වාර්ගික බෙදීමකට ප්‍රභා වෙත දෙමළ ජනතා සහය ලැබීමට හේතුවූ කරුණු ගැන සැලකිලිමත් වීමයි.

    “මේ ජනයා නැවත පදිංචි කළ හැක්කේ බිම් බෝම්බ ඉවත් කිරීහමන් පසුව පමණකි. එය මේ බ්ලොග් කරුවි සූර ලෙස මගහරින සත්‍යයි. බිම් බෝම්බ ඉවත් කිරීමත් සමගම ක්‍රමානුකූලව ඔවුන් පදිංචි කළ යුතුය. ප්‍රශ්න ඇතැයි දිගින් දිගට බ්ලොග් දෙවනත් වෙන්නට කෑගසනවා වෙනුවට ඒ වනතුරු ඇති වන ප්‍රශ්න වලට විසදුම් ඇත්නම් ඉදිරිපත් කිරීම වටී.”

    මා හට කිසිම කරුණක් “සූර ලෙස” මග හරින්නට උවමනා නැත. එය ඔබ ඈඳාගන්නා කරුණකි. මිනිස් ස්වාභාවය යැයි කියමින් පාටි දැමීම සාධාරණීකරනය කරන ඔබම නැවත මෙම ජනයා හට නැවත යථා තත්වයට පත්වීමට සැලකිය යුතු කාලයක් ගතවන බව පිළි ගෙන ඇත. එසේ නම් මෙතන ඇත්තේ “සිංහලයා සතුටු වෙද්දී තමයි තොපිට අමාරුව” තර්කයද?
    ප්‍රශ්න වලට විසඳුම් දීමට, ටැබූ ගේ වදන් වලින් “සත්වැනි මහින්ද මහා රාජෝත්තමයානන් වහන්සේ” පත් කර ඇත. ගැටළුවක් පෙන්වූ පළියට එයට විසඳුම් ඉදිරිපත් කිරීමද මා කල යුතු නැත.

    “සුළු ජාතීන්ට, සුළු ජාතීන් වීම නිසාම, අනෙක් රටවල සුළු ජාතීන්ට මුහුණපෑමට සිදුවී නැති අති විශේෂ ප්‍රශ්න(ය) කුමකුදැයි කිසිවකු පැහැදිලිව පෙන්වා දී නැත. සේ කිසිවු විසින් පෙන්වා දෙන්නේ නම් ඒ පිලිබදව සිංහල ජනයා වඩාත් උනන්දුවෙන් බලන බව කිව හැකිය. එබැවින් ඉහත කරුණ ඔප්පු කිරීම අනවශ්‍ය කරුණකි.”
    කිසිදිනක ඔබට කොන්දොස්තරයෙකු යැයි නොපැවසූ මගේ සිතේද ඇති වන්නේ එවැනි හැඟීමකි. සියළු ජාතීන් සහයෝගයෙන් යුධ ජයග්‍රහණ සමරන්නේ යැයි සිතමින් යුතෝපියාවක ජීවත් වන ඔබට සුළු ජාතීන්හට මෙරටේ ගැටළුවක් නැති බව නොපෙනීමට එක් අතකින් පුදුමයක් ද නැත.

    කොඩි වනමින් ත්‍රීවීල් වල නැගී කුණුහරප ඇද බා චන්ඩිකම් පෙන්වමින් ගම පුරා දුවන දේශප්‍රේමීන් හෝරා කිහිපයකට කලින් ද දුටුවෙමි. ප්‍රශ්න සිතින් මවාගත් යැයි සිතීමට හේතු ඉහත ඡේදයේ දක්වා ඇත.

    දෙමළ බෙදුම්වාදයක් ඇතිවීමට හේතුව ඔවුනට ඇති ගැටළුව ප්‍රජාතාන්ත්‍රවාදී ක්‍රමවේද වලින් ආමන්ත්‍රණය නොවීමයි. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරිමය වශයෙන් පරාජය කිරීම බෙදුම්වාදය පරාජයක් නොවේ. එනයින් මෙය ශ්‍රී ලංකාවේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබීමද නොවේ. එනයින් ශ්‍රී ලංකාවේ භෞමික අඛන්ඩතාවයට ප්‍රභාකරන් ජීවත්ව සිටි සමයේ පැවති තර්ජනය මදකින් හෝ අඩු වී නැත. පාටි දැමීම ගොන් පාට් වන්නේ එසේය.

  10. @පාලිත

    දැන් එම පහසුකම ලබා දී තිබෙනවා. ප්‍රතිචාර දැමීමේදී textbox එකට පහළ බලන්න.