gEdit – පෙළ සංස්කරුවෙකුගේ සිට කේත සංස්කරුවෙකු තෙක් | gEdit as a Code Editor

Gnome පරිසරයක වැඩ කරන ඕනෑම අයෙක් gEdit දන්නේ Gnome සඳහා තියෙන පෙළ සංස්කාරකයෙක්(text editor) විදියට. උඩින් පෙනෙන විදියට gEdit වලට කරන්න පුලුවන් වැඩ පොඩ්ඩයි. එහෙන් මෙහෙන් syntax highlight කිරීමක් හැර ඒකට වැඩි දෙයක් කරන්න බැහැ. නමුත් gEdit සමඟ සම්බන්ධ plugin වල උපකාරයෙන් gEdit ප්‍රබල කේත සංස්කාරකයෙක් (code editor) බවට පත් කරගන්න පුලුවන්. මේ ලිපිය යොමු වන්නේ ලිනක්ස් තුල ක්‍රමලේඛනයේ යෙදෙන ක්‍රමලේඛකයින්ට.

සාමාන්‍යයෙන් කේත සංස්කරණයට අපි යොදා ගන්නේ ලොකු නම් තියෙන IDE (Integrated Development Environment) මෘදුකාංග. මෙවැනි මෘදුකාංගයකින් ක්‍රමලේඛකයෙක් බලාපොරොත්තු වන කාර්යයන් කිහිපයක් තියෙනවා.

  • කේත වල වෙන වෙනස් පද ඉස්මතු කිරීම – Syntax Highlighting
  • කේත සකස් කිරීම (පහසුවෙන් කියවිය හැකි වන සේ) – Code Formatting
  • කේත සම්පූර්ණ කිරීම – Code Completion
  • කේත ක්‍රියාකරවීම සහ දෝෂ සැකසීම – Code execution and debugging
  • ගොනු කළමනාකරණය (බොහෝ අවස්ථා වල FTP හරහා දුරස්ථ ගොනු) – File management
  • සහ තවත් අමතර පහසුකම් කිහිපයක් – Commenting, Colors etc

ලිනක්ස් සඳහා ප්‍රසිද්ධ කේත සංස්කාරකයන් වන NetBeans, Eclipse ආදියේ මෙම සේවාවන් තිබුනත් හුඟක් වෙලාවට ඒ සඳහා ගෙවන්න වෙන මිල (වාණිජමය නොවේ) ටිකක් අධිකයි. මේ සංස්කාරකයන් දෙකම පරිගණකයේ සම්පත් බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නවා. Gnome පරිසරයේ එවැනි මෘදුකාංග ධාවනය කිරීම අනෙකුත් දේ කරමින් කිරීම ටිකක් අපහසුයි. මේ වගේ අවස්ථා වල gEdit වැන්නක තිබෙන සරල බව ඉතාමත් වටිනවා.

පෙරනිමියෙන් එන gEdit

Preferences

Edit->Preferences හරහා gEdit Preferences වෙතට යන්න. එහි View ටැබයේ ඇති පහත විකල්ප තෝරා ගන්න.

  • Display Line Numbers – පේලි වල අංක දකුණු පසින් දර්ශනය කර ගැනීමට
  • Highlight Current Line – දැනට සිටින පේලිය ඉස්මතු කර ගැනීමට
  • Display Right Margin (80) – දකුණු පස සීමාව සලකුණු කිරීම (කේත මුද්‍රණය කරනවා නම් වැදගත් විය හැත)
  • Highlight Matching Bracket – ක්‍රමලේඛනයේදී වැදගත් අංග 1!

gEdit Preferences

දැනටම gEdit සාමාන්‍ය සරල කේත සංස්කරුවෙකුගේ තත්වයට ඇවිත්. පේළි අංක දකුණු පසින් දර්ශනය වීම දෝෂ නිරාකරණයේදී (debugging) ඉතාමත් වැදගත්.

Preferences වල Editor ටැබයේ පහත විකල්ප තෝරා ගන්න.

  • Insert Spaces Instead of Tabs – මෙය වැදගත් වෙන්නේ සංස්කරණ මෘදුකාංග කිහිපයක ලියන ලද කේත සංස්කරණයේදී. Indentation වැදගත් වන Python වැනි භාෂා වලදී මෙය ඉතාමත් වැදගත්. මෙහි Tab Width යන්න තමාගේ කැමැත්තට අනුව වෙනස් කර ගන්න පුලුවන්.
  • Enable Automatic Indentation – ක්‍රමලේඛනයේදී වැදගත් අංග 2!
  • (අවශ්‍යනම්) Create backup copy of files before saving – ලිනක්ස් conf ගොනු වෙනස් කිරීමේදී මෙය වැදගත් විය හැකි නමුත් අනවශ්‍ය ලෙස ගොනු එකතු විය හැකි නිසා මම මෙම විකල්පය භාවිතා කරන්නේ නැහැ.
  • Auto save files every (10) minutes – ක්‍රමලේඛනයේදී වැදගත් අංග 3! (නොදැනුවත්ම කටින් කුණුහරප පිටවීම අඩුවෙයි :p )

Editor Preferences

Fonts and Colors ටැබයෙන් අවශ්‍ය නම් අකුරු වල ප්‍රමාණය තමන්ගේ ඇස් වලට පහසු ආකාරයට සකස් කර ගන්න පුලුවන්. Color Scheme තෝරා ගැනීමේදී තමන්ට අවශ්‍ය ලෙස Syntax Highlighting වන බව තහවුරු කර ගෙන තෝරා ගන්න.

Preferences වෙනස් කිරීමෙන් පසුව gEdit

Plugins

දැන් ටිකක් වැඩි පුර දේවල් ටිකක් එකතු කරමු. පහත විධානය ටර්මිනලයක ඇතුලත් කරන්න.

[sourcecode language=”bash”]
sudo apt-get install gedit-plugins
[/sourcecode]

දැන් Edit->Preferences->Plugin වෙත යන්න. අලුත් plugin කිහිපයක් ඔබට දකින්න හැකි වේවි.

Plugins

ඔබගේ කැමැත්තට අනුව ඕනෑම ප්ලගිනයක් ක්‍රියාකර ගත හැකියි. මම භාවිතා කරන්නේ පහත ප්ලගින ලැයිස්තුව.

  • Bracket Completion – වරහන් විවෘත කරන විට වැසෙන වරහන ඇතුලත් වීමට
  • Change Case
  • Code Comment – කේත පේලියක් හෝ කිහිපයක් පහසුවෙන් අක්‍රීය (comment) කර ගැනීමට
  • Color Picker – CSS, HTML සහ තවත් පාට සමඟ නිතර ගැටෙන ක්‍රමලේඛකයින්ට වැදගත්
  • File Browser Pane – ඉතාමත් වැදගත් අංගයක් වන ගොනු කළමනාකරණය සඳහා මෙය අවශ්‍යයි
  • Snippets – නිතර භාවිතා වන කේත කොටස් ස්වයංක්‍රීයව ඇතුලත් කර ගැනීමට
  • Tag List සහ Word Completion – නොයෙකුත් භාෂා වල ඇති වදන් පහසුවෙන් ඇතුලත් කර ගැනීමට

File Browser Pane භාවිතා කරනවා නම් View->Side Pane මගින් එය දර්ශනය කර ගත යුතු වෙනවා. තිරයේ ඉඩ වැඩියෙන් ප්‍රයෝජනයට ගන්න උඩින් තියෙන Toolbar එක වසා දමන්න පුලුවන් (View->Toolbar).

Customized gEdit

මේ ප්ලගින වලට අමතරව තවත් ප්‍රබල ප්ලගින කිහිපයක් gedit-plugins පැකේජය මගින් ලැබෙනවා. External Tools මගින් gEdit ප්ලගින මගින් නොලැබෙන නමුත් වෙනත් මෙවලම් මගින් ලබා ගත හැකි ක්‍රියාකාරීත්වයන් gEdit තුලට ලබා ගත හැකියි. Code Formatting ආදියේදී භාෂා මත වෙනස් වන සම්මත වෙනත් මෙවලම් මගින් ලබා දෙන විට මෙම ප්ලගිනය ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.

ඒ වගේම ලිනක්ස් ටර්මිනලයක් gEdit තුලම ක්‍රියා කරව ගත හැකියි. Python ක්‍රමලේඛනයේ යෙදෙන්නන්ට Python console එකක් gEdit තුලට ගත හැකියි. කණ්ඩායමක් එකතු වී කේත සංස්කරණයේ යෙදෙන විට session මගින් ගොනු හැසිරවීමත් gEdit වලට පුලුවන්.

NetBeans තුල ඇති ස්වයංක්‍රීය කේත සකස්කිරීමේ කාර්යය gEdit  තුලට බාහිර ප්ලගිනයක් මගින් යෙදිය හැකියි.

FTP සර්වරයක් තුල ඇති ගොනු විවෘත කිරීමට මෙවැනි බාහිර ප්ලගිනයක් ස්ථාපනය කල යුතුයි. ඒ සඳහා මෙම සබැඳමේ උපදෙස් අනුගමනය කරන්න.

gEdit සඳහා ඇති බාහිර ප්ලගින ස්ථාපනය කිරීමේදී පහත කරුණු අනුගමනය කරන්න.

  1. බොහෝ වෙලාවට මෙම ප්ලගින ලබා දෙන්නේ tarballs වශයෙන්. එය බාගත කරගෙන /usr/lib/gedit-2/plugins/ බහාලුම තුලට extract කර ගන්න.
  2. /usr/lib/gedit-2/plugins තුල plugin_name.gedit-plugin යනුවෙන් ගොනුවකුත් ප්ලගිනයේ .py ගොනු අඩංගු බහාලුමත් අඩංගු විය යුතුයි.
  3. ප්ලගිනය ස්ථාපනය කල පසු gEdit වසා නැවත ආරම්භ කරන්න.

පරිගණකයේ සම්පත් අවම ප්‍රමාණයක් භාවිතා කරමින් උපරිම වැඩ කොටසක් කර ගැනීමට gEdit වැදගත්. අනෙක් කරුණ වෙන්නේ gEdit කේත සංස්කරණයට යොදා ගන්නා විට ඒ සඳහාම අලුතෙන් හැඩ ගැසීමක් අවශ්‍ය නොවීමයි. NetBeans, Eclipse ආදියේ ඇති පහසුකම් ප්‍රමාණයේ විශාලත්වය නිසාම ඒවාට අමුතුවෙන් හැඩ ගැසිය යුතුයි. ටික කාලයකට පසුව ක්‍රමලේඛකයා ක්‍රමලේඛනයට වඩා ක්‍රමලේඛන මෘදුකාංගයකට ඇබ්බැහි වෙලා. gEdit ක්‍රමලේඛනයේ පහසුවත් ක්‍රමලේඛනය ක්‍රමලේඛකයාට පාලනය කර ගැනීමත් අතර මනා සමතුලිතතාවයක් රැකගෙන තිබෙනවා.

Bibliography :

10 thoughts on “gEdit – පෙළ සංස්කරුවෙකුගේ සිට කේත සංස්කරුවෙකු තෙක් | gEdit as a Code Editor

  1. සිරා පොස්ට් එකක් මචන්…..අමාරුවෙන් IDE’s දාගෙන වැඩ කරපු කාලේ ගියා……

  2. නියමයිනෙ….මේකෙන් මෙච්චර වැඩක් ගන්න පුලුවන් කියල අදයි දන්නෙ….බොහොම ස්තූතියි මේක කියා දුන්නට

  3. පට්ට පට්ට
    මාත් කෝඩ් කරන්න පාවිච්චි කරන්නෙ ඕක තමයි.
    plugin කතාව දන්නෙ අදනෙ. අනිත් එක අර bracket completion කියන plugin එක මගේ default නෑ. අතින් දාගන්න වෙයිද?

  4. මෙච්චර කල් පාවිච්චි කරේ Vi. මේකටත් ට්‍රයි එකක් දීල බලන්ඩොනැ :)

  5. මම නම් පාවිච්චි කරන්නෙ vim. සෙට් උනාම වැඩේ ලේසියි. ලොකු ලොකු editing නැති වෙලාවට nano කරනවා :)