ඒකෝන්, සිරස, බුද්ධාගම හා ජනතා අධිකරණයේ පුන්නක්කු අනුභවය | How Akon, Sirasa, Buddhism and Stupid Public Relates

Image Source - The Sunday Times (http://www.sundaytimes.lk)

ලංකාවේ මිනිසුන් මේ දිනවල ඉතාමත් බුද්ධිමත්ය. ඒ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් ජය ගැනීමට පොරකන දේශපාලකයින් රොත්ත නැවත නැවතත් කෑ ගසමින් පවසන දෙයයි. මැතිවරණයෙන් පසුව රටෙන් බාගයක් බත් කන හරක් හෝ දේශද්‍රෝහීන් වීම වෙනම සංවාදයට ගත යුතු කරුණකි.

මෙම ලිපියේ අරමුණ ලංකා ජනතාවගේ බුද්ධිමත් භාවයට වඩා ඔවුන් කෙතරම් මෝඩ, උද්ධච්ච සහ පහසුවෙන් රැවටෙන සුළු ද යන්න ඔප්පු කර පෙන්වා දීමයි. ‍අමුතුවෙන් ඔප්පු කර දිය යුතු නැතත් පසුගිය දිනක ඒකෝන් නැමැති ඇමෙරිකානු රැප් ගායකයෙකුගේ ආගමනය වටා සිදුවුනු සිද්ධි මාලාව මේ සඳහා කදිම සෙනාරියකි. අප මෙහිදී සැලකිල්ලට ගන්නේ එම සිද්ධීන් වලට වඩා ඒවා කෙතෙක් දුරට සමාජය මගින් අනුමත වූයේද යන කාරණාවයි.

අපට මුලින්ම ලංකාව හා ඒකෝන් එකට ඇසෙන්නේ ඔහුගේ සංදර්ශනයක් පැවැත්වීමට යන බව පැතිර ගිය දූෂමාන ආරංචියකිනි. ඒකෝන්ගේ ගීත කිහිපයක් අසා ඇති අපට අංක හතරක මුදලක් ගෙවා සංදර්ශනයකට යාමට තරම් ඇම්මක් නැති වූවත් එය සැබවින්ම අලුත් ආරංචියක් වන්නේ බටහිර රැප් සංගීත ලොව තුල ඔහු දැනට සිටින තරම් තත්වයක ගායකයෙකු හෝ වෙනත් කලාකරුවෙකු සංදර්ශනයක් සඳහා අප රටට පැමිණ නොමැති බැවිනි. එලෙස පැමිණ ඇති බොහෝ අය එක්කෝ රේටින්ග් තුල පහලට ගොස් තව දුරටත් ක්‍රියාකාරීව කර්මාන්තයේ නොයෙදෙන්නන්ය. නැතිනම් එලෙස හඳුනාගැනීමකට ලක්ව නොමැති වූවන් ය.

මාස දෙක තුනකට පසු Facebook තුල ඒකෝන් බුදු දහමට නිගරු කලේ යැයි මතයක් ප්‍රචාරණය වේ. වීඩියෝ වේ හැටියට එසේ නොවී යැයි කිව නොහැක. නමුත් ලංකාව තුල බුදු දහමට ඇති තත්වය පිළිබඳ දන්නා අපට ඒකෝන්ගේ මෙම වීඩියෝව කජ්ජක්දැයි සිතුණි. බුද්ධ පුත්‍රයින් යැයි කියාගන්නා බොහෝ අය සම්බන්ධ වී ඇති අපරාධ ඒකෝන් මෙම වීඩියෝවෙන් කරන අපහාසයට වඩා දස ගුණයකින් බලවත්ය. ඒවායින් බුද්ධාගමට ඇති වෙන බලපෑම මෙම වීඩියෝවෙන් ඇති වෙන බලපෑමට වඩා ‍බොහෝ බව අමුතුවෙන් කිව යුතු නැත.

තත්වය වඩාත් දරුණු අතට හැරෙන්නේ සිරස මාධ්‍ය ජාලයේ ආයතනයකට මැරයින් පිරිසක් (පත්තර වල දෙපිරිසක් අතර ගැටුමක් යැයි පුන පුනා පැවසුවත් පැමිණියේ මැරයින් ද නැද්ද යන්න දන්නෝ දනිති) පැමිණ ගල් ගසා ‍සේවකයින්ටද තුවාල කිරීමෙන්ය. ඔවුන්ට අනුව ඒකෝන් ලංකාවට ගෙන්වන්නේ සිරසය. වෙනදා කල පරිදිම ඔවුන් කරන්නේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට කුමන්ත්‍රණය කිරීමය.

මෙලෙස මාධ්‍ය ආයතනයකට පහර දීමට සම්බන්ධ වන්නේ රටේ පොදු ජනතාව යැයි කිව නොහැක. කැළණි ඩිපෝවේ බස් රථයක් පැමිණ සිරසට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට වඩා ඔවුන්ට බඩ වියත රැක ගැනීමට වෙහෙස වීමට සිදුව ඇත. සිරසට පහර දීම යන සිද්ධිය එතරම් නොවැදගත් වන්නේ අවිනීත දේශපාලකයෙකු හා සිරස අතර තිබෙන විරසකය ඉතා ප්‍රසිද්ධ නිසාය. නමුත් මෙම සිද්ධිය ඇත්ත දැන දැනත් එය බොහෝ දෙනා අනුමත කරමින් ආතල් ගැනීම අවධානය යොමු කල යුතු කරුණකි.

අප කතා බහ කල කිහිප දෙනෙකුට අනුව සිරසට පහර දීම අනිවාර්යයෙන් කල යුතු කාරණයකි. එය රටේ ප්‍රධාන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. තවත් අයෙකුට අනුව සිරසට “ගහන්න නොව උල තැබිය” යුතුය. එය ලංකාව දොලොස්වැනි සියවසට නැවත ගමන් කිරීමේ තවත් අදියරක් විය හැක. තවත් පණ්ඩිතයෙක් ප්‍රකාශ කරන්නේ සිරසට මාස තුනකට වරක් අනිවාර්යයෙන් ගැසිය යුතු බවයි. තවත් අයෙකුට අනුව බොහෝ ප්‍රශ්න වලට මුල සිරසය. කවුරු කලත් සිරසට ගැසීම ඉතාමත් යහපත් කාරණයක්ය. ඒකෝන්ට හා සිරස මාධ්‍ය ජාලයට පලු යන්න බනිමින් සිංහල භාෂාවෙන් හතර වටේ ඊමේල් යැවෙමින් පවතී. ගූගල් සමූහ තුල හිසරදයක් වන තරමටම මෙය පැතිර ගිය අතර ස්පෑම් කිරීමේ අවිනීත කලාවේ යෙදීමෙන් මෙයට සහභාගී වුයේ චීවරධාරීන්, සිසුන් ආදී වූ සමාජයේ ගමනට වැදගත් විය යුතු පිරිස්ය. මොවුන්ට අනුව අප එක්කෝ බෞද්ධයින් විය යුතුය. නැතිනම් ඒකෝන්ගේ ගීත ඇසිය යුතුය. සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව ඊමේල් ෆෝවඩ් කරන පිරිස් අතර මෙම මතය පහසුවෙන් පැතිරිය හැක.

මෙම පොදු මතය ඉදිරියේ සිනාසිය හැකි සියළු තැන් වලින් සිනාසීම හැර අපට කල හැකි වෙනත් දෙයක් නොවීය. මෙම මතය පලකල බොහෝ අය විශ්ව විද්‍යාල සිසුන් වීම මෙහි හාස්‍ය හා බැරෑරුම් බව තව තවත් වැඩි කරයි. සරසවි සිසුන් කලෙක ඉතාමත් ප්‍රගතිශීලී අදහස් දරන්නන් වුවත් නැවත වරක් ගලේ උලා තියුණු කරගත යුතු තරමටම ඔවුන්ගේ චින්තන ශක්තිය මොට වී ගොසිනි. නැතිනම් රටේ ප්‍රශ්න වලට විසඳුම් ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ගල්මුල් වලින් පහර දීම වැනි පහත් ක්‍රියා අනුමත නොකරනු ඇත. මාධ්‍ය ආයතන වලින් රටේ ප්‍රශ්න ඇති කරන බව නිවැරදිය. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම ජාතිවාදය ජනතාව අතර වැපිරීමට රජයේ මාධ්‍ය ආයතන කටයුතු කල හැටි අපට අමතක නැත. පෞද්ගලික ජනමාධ්‍ය තුලද විශාල ඝට්ඨනයක් පැවති අතර මාධ්‍ය මගින් ඉටු විය යුතු දේ වෙනුවට සමාජ‍යේ අයහපත වෙනුවෙන් ඍජුව හෝ වක්‍රව ඔවුන් දායක වූ බව නිවැරදිය. නමුත් මෙගා නාට්‍ය, සුපිරි තරු රැල්ල, හා ටකරං සංගීතය සමාජය පුරා පැතිරවීම ආදී වූ ඍණාත්මක ක්‍රියා තනිකරම සිරසට හෝ මහරාජාට බැර කල නොහැක. අද වන විට මෙගා නාට්‍ය විකාශය නොකරන නාලිකාවක් නැති තරම්ය. සුපිරි තරු බිහි කිරීමට දඟලන්නේ නැති නාලිකාවක් නැත. නංගිලාට මල්ලිලාට බණ්ඩාරවෙල සුගත් අයියාගේ සිට උඩපුස්සැල්ලාවේ ජානකී අක්කා දක්වා ඩෙඩිකේට් කිරීමට ගීත දර්ශක ලබා නොදෙන නාලිකාවක් නැත. ඇතැම් නාලිකා ජනතාව ප්‍රකෝප කරන දර්ශන විකාශය කරන විට අනිත් නාලිකා දිගින් දිගටම ජාතිවාදය වැපිරීය.එසේ නම් මාධ්‍ය මගින් සමාජ ගැටළු ඇති කරන මුත් එම ගැටළු සඳහා ඇඟිලි දිගු කල යුත්තේ සමස්ථ ලාංකික මාධ්‍ය කර්මාන්තයටම බව පැහැදිලිය.

අද වන විට අපක්ෂපාතී මාධ්‍යයක් නොමැත. ඇත්තේ කුමන හෝ වාසියක් තකා පක්ෂග්‍රාහීව තොරතුරු ලබා දෙන වෙළඳ ආයතනය. මෙය හුදෙක් ලාභ ලබන ආයතන ලෙස පක්ෂග්‍රාහී වීමට වඩා එපිට ගොස් ඇති තත්වයකි. නමුත් මෙම තත්වයට පිළිතුරු සෙවීම ගල් ගසා ගොඩනැගිලි විනාශ කිරීමෙන් සොයා ගත නොහැක. පක්ෂග්‍රාහීත්වය ලාභදායී වන තාක් මාධ්‍ය භාවිතය නිසි මාර්ගයට යොමු නොවනු ඇත. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය යන පැරණි කියමන වැදගත් වන්නේ මෙවැනි තත්වයක් තුලයි. අපගේ අවබෝධය (perception) කෙරෙහි විශාල බලපෑමක් කල හැකි මාධ්‍ය තුලින් ලබා දෙන තොරතුරු අප කොතෙක් දුරට විශ්වාස කරනවාද යන්න නැවත වරක සලකා බැලිය යුතුය. අන්තර්ජාලය වැනි විකල්ප තොරතුරු මූලාශ්‍ර ඉතාමත් අඩු මුදලට ලබා ගත හැකි කාලයක රූපවාහිනී, පත්තර වැනි සාම්ප්‍රදායික ඒකාකාරී මාධ්‍ය වල තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය විමසා බැලීම ඉතාමත් පහසුවෙන් කල හැකි දෙයකි. ජනතාව බුද්ධිමත් නම් ඉල්ලීම් අනුව සැපයීම ලබාදීමට එවිට මාධ්‍ය කටයුතු කරනු ඇත.

සමාජ ගැටළු ගල් ගසා විසඳීමට යන්නේ ගෝත්‍රික සමාජ තුලය. තලෙයිබාන් පාලන කාලය තුල ඇෆ්ගනිස්ථානය පසුබිම් කරගත් කතාවක් වන The Kite Runner චිත්‍රපටිය තුල පහත දසුන් පෙල දක්නට ලැබේ. හොර සැමියෙක් ඇසුරු කිරීමේ වරදට එම හොර සැමියා හා ගැහැණිය සෙනඟ පිරී ඇති පිට්ටණියක් මැදට තලෙයිබාන් රැකවලුන් විසින් ඇදගෙන පැමිණේ. ප්‍රාදේශීය නායකයෙකු පැමිණ වරද කියවා මෙය අල්ලාහ් ගේ කැමැත්ත බව ජනතාවට පුන පුනා පවසා යයි. තලෙයිබාන් රැකවලුන් අතිනතට ගල් කැබලි ලැබෙන අතර අයෙකු පැමිණ පලමු ගල් කැටය ගැහැණි‍යගේ හිස පිටුපසට දමා ගසයි. අනෙකුත් රැකවලුන්ගේ ගල් පහරවල් මැද මිය යන ගැහැණිය පසුව කැබ් රථයක් පිටුපසට දමා ගැනෙන අතර රැස්ව එය උදාසීනව බලා සිටින ජනතාව “අල්ලාහු අක්බර්”(දෙවියන් ශ්‍රේෂ්ඨය) යනුවෙන් මතුරා විසිර යයි. මෙම පලමු ගල් කැටය එල්ල කරන පුද්ගලයා බාලක අපයෝජකයෙකු වන අතර එය ප්‍රසිද්ධ කරුණක් ද වන්නේය.

සිරසට පහර දීම අප දකින්නේ ඉහත දසුන් පෙලට සමාකාරයකිනි. මාධ්‍ය ආයතනයක් ලෙස සිරස විසින් මෙරට සමාජයට අයහපතක් සිදු කර ඇති මුත් ඒ සඳහා පිළීතුරු ලැබෙන්නේ ලැබිය යුතු ආකාරයට නොව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකිනි. ඉතාමත් දූෂිත මිනිසුන් රැලක් පැමිණ ආයතනයට ගල් ප්‍රහාර එල්ල කරන අතර රැස්ව සිටින ජනතාව එය අනුමත කර නිහඬව සිටී. ඔවුන්ගේ සිතීමට අනුව සිරසට ගල්මුල් එල්ල කිරීමෙන් එයින් ඇති කෙරෙන ගැටළු විස‍ඳෙන්නේය.

ඒකෝන්ගේ ලංකා ගමනය සැලසුම් කරන සංචාරක අමාත්‍යාංශයට බොරළු කැබැල්ලක්වත් විසිවූ බවට ආරංචියක් නොමැත. සංදර්ශනය සඳහා අනුග්‍රයහ දක්වන අනෙකුත් සමාගම් (ඩයලොග් ටෙලිකොම් ආදී) වලට මෙවැනි විරෝධයක් එල්ල වූයේ නැත. සිදු වූයේ සිරස මෙම සියළු සිදුවිමේ බිල්ල (scape goat) බවට පත් වීමයි. සිරසට ප්‍රහාර එල්ල කිරීම දේශපාලකයාගේ අපේක්ෂාව විය. එය මෙම කාලය තුල සිදු කලාට පසු ජනතාවට පැවසෙන ඕනෑම දෙයක් විශ්වාස කරන බව ඔහු දනී. එනපොට නරකට හැරී තිබෙන බව දකින රජයේ පාර්ශවය ඔවුන්ගේ අත සෝදා ගන්නේ තමන් ඒකෝන් මෙරටට ගෙන්වීමට සුදුසු දැයි පරීක්ෂණ පවත්වමින් සිටි බව පවසමින්ය. තමන්ගේ අවනඩුව කීමට සිරසට නඩුකාරයෙක් නොමැත. සිටින නඩුකාරයාට පුන්නක්කු පොවා ඇත.

සත්‍ය තත්වය මෙම පවතින ඒකෝන් විරෝධය තුලවත්, සිරසට ගල් ගැසීම තුලවත් දක්නට නොමැත. බුදුදහමට හෝ වෙනත් ආගමකට නිගා ‍වන පරිදි වීඩියෝ නිර්මාණය වන්නේ ඒකෝන්ගේ නමේ “ඒ” යන්නවත් ලංකාවට පැමිණීමට පෙරය.  Power of Banghara යන ගීතය සඳහා වීඩියෝව නිර්මාණය වන්නේ ලංකාව තුල වන අතර දාගැබක් ඉදිරිපිට හඳුන් කූරුද පත්තු කරගෙන එයට පිටුපා සීක් ජාතිකයෙකු ලෙසින් පෙනෙන පුද්ගලයෙකු ගීත ගායනා කිරීම එහි හොඳින් පෙනෙන්නට තිබේ (Snap – Power of Banghara).

සංචාරක අමාත්‍යාංශයෙන්ම නිකුත් කෙරෙන පහත පින්තූරයේ විදේශික කාන්තාවකගේ නිරුවත් පිට මත පච්චයක් ලෙසින් නිරූපිත බුදු රුව දකින්නට හැකිය. තලෙයිබාන් වරු ඇෆ්ගනිස්ථානයේ ඉපැරණී බාමියන් බුදු පිළිම විනාශ කරන විට ලංකා රජයට සිදුකල හැකි වූ ඉටි ගෙඩියක් නැත.

බුදුදහමට ලංකාව තුලදිම නිග්‍රහ වන ආකාරය පිළිබඳ කිසිවෙකුටත් කුමන ආකාරයේ හෝ විරෝධයක් එල්ල කල නොහැක. චීවරධාරීන් දිනෙන් දින බුදු දහම යැයි පවසමින් මිත්‍යා මත පතුරවමින් සිටී. මතට තිත තැබූවත් රජ ගෙදර තුලදී එය වලංගු නැති බව පවසන්නේ බුද්ධ පුත්‍රයෙකු යැයි කියා ගන්නා චක්‍රවර්තී කෙනෙකි. කලක් දොළුකන්දේ රජ කල චීවරධාරියෙකු පිරිත් පැන් බිඳක් මගින් වැවක් ශුද්ධ කල හැකි බව ප්‍රචාරය කලේය. තවත් කාලයක් බුදු දහමට අනුවම එලොවින් ආ ජීවකලා ලෙඩ සුව කිරීමට වෙර දැරූහ. පන්සල් තුල සිදුවන අපචාර ක්‍රියා ප්‍රසිද්ධ රහස් බවට පත්ව ඇත. කවිබණ, ආරණ්‍ය සේනාසන අඩුවක් නැති රටේ රාත්‍රී සමාජ ශාලා වලින් ද අඩුවක් නැත. පසුගිය කාලයකදී චීවරධාරීන්ම පිරිසක් බුදු පිළිමයකට පිටුපා පින්තූර ගැනීම පිළිබඳ කතා බහක් ඇති විණි.

දැන් රටේ ප්‍රධානතම මාතෘකාව බවට ඒකෝන්ගේ මෙම නිග්‍රහය පත්වී ඇතත් අපගේ විරෝධය මගින් බුදු දහම බේරා ගත නොහැකි බවත්, මාධ්‍ය ආයතනවලට ගල් ගසා එහි සේවකයින්ට තුවාල කිරීම වැනි ප්‍රාථමික ගෝත්‍රික ක්‍රියා මගින් රට ගොඩ ගැනීමට නොහැකි බවත් ජනතා අධිකරණය අවබෝධ කර ගත යුතුය. පසුගිය කාලය තුල සිදු වූ සිදුවීම් වලින් වැඩිපුරම වාසි ලබා ගත් පිරිස ලෙස ඒකෝන්, සිරසට විරුද්ධ බලවේග හා මර්ධනකාරී ප්‍රතිපත්ති දැක්විය හැක. ඒකෝන් පිළිබඳ මින් පෙර අසාවත් නැති අය පත්තර තුලින් ඔහු ගැන කියවති. ඔහුට සල්ලි නොගෙවා ලබා ගත හැකි වූ මේ ප්‍රචාරය ගැන අවබෝධ වූවොත් මීළඟ වීඩියෝවේ ජේසු හෝ මොහම්මද් නබි තුමා සිටීමේ සම්භාවිතාවක් ඇත. සිරසට තවත් වරක් ප්‍රහාර එල්ල කිරීමේ නොතිත් ආසාවෙන් පෙළුණු අය දැන් ඒ ආසාව ඉෂ්ඨ කර ගෙන ඇත. එපමණක් නොව ඔවුන් දැන් ජාතියේ වීරයින් ද වී ඇත. මාධ්‍ය පීඩාකාරී ලෙස මර්ධනය කිරීම තව දුරටත් ජනතාව විසින් අනුමත කරන බව මර්ධනකාරී බලවේග තහවුරු කර ගෙන ඇත.

ජාතියට හෝ ආගමට අනතුරක් ඇති බව පවසනතාක් කල් පුන්නක්කු බුදින ජනතා අධිකරණය විසින් කිසිදු සොයා බැලීමකින් තොරව ඕනෑම ජඩ වැඩක් අනුමත කරන බව පාලකයෝ දනිති. මින් පෙරද ක්‍රියාවට නැංවූයේ එම තියරියයි. මින් පසුව ද ක්‍රියාවට නංවනු ඇත්තේ එයමය. නමුත් එවිට ඔබ ගල් ගසන පාර්ශවයේ සිටියහොත් ජාමේ බේරාගත හැක. ගල් මුල් වලට ලක් වන්නේ ඔබ නම් ඔබට ඒකෝන්ගේම පිහිටය.

26 thoughts on “ඒකෝන්, සිරස, බුද්ධාගම හා ජනතා අධිකරණයේ පුන්නක්කු අනුභවය | How Akon, Sirasa, Buddhism and Stupid Public Relates

  1. ඒකෝන් ගෙ publicity campaign එකක්නං එළටම උනා දැං ඕනම මනුස්සයෙක් ඒකෝනෙ කිව්වම දන්නව. මොනා උනත් බුදු දහමට නිගා උන එකම සිද්දිය ඕක නෙමෙයි ඌ කළේ වැරැද්ද තමයි ඒත් නියම බෞද්ධයො ඔහොම හැසිරෙන්නෙ නෑ. දැං කොහොමත් ලංකාවෙ ඉන්නෙ ලේබල් ගහගත්තු බෞද්ධයො නෙ. කතාව විතරයි ඒත් කීයෙන් කී දෙනාද ඔතනින් බුදුන් දේශනා කරපු විදියට ජීවත් වෙන්නෙ. අන්තිමට කියන්න තියෙන්නෙ කවුරු කොහොම බුදු දහමට නිගා කරන්න හැදුවත් ඒක එහෙම වෙන්නෙ නෑ මොකද බුදු හාමුදුරුවො ජීවමානව ඉද්දුත් ඕව උන එකේ දැං කාලෙ ගැන අහන්නත් දෙයක්ද, ඒත් බෞද්ධයොයි කියාගන්න මිනිස්සු මෙහෙම හැසිරුනොත් නං ඒකෙන් බුදුදහමට නිගාවක් වෙන්න පුළුවං.

  2. අද මම කතාකර ආබාතිත සොල්දාදුවෙකුගේ කොලුවෙක් එක්ක. ඉස්කෝලෙ යන පොඩි එකා පෙති බීලා මැරෙන්න හදලා කීප වතාවක්. කොලුවාගේ අම්මා ඌට හොදටම තලනවාලු. අම්මා අනවසරයෙන් අපි කවුරුත් දන්න උසස් නිලදාරියෙක්ගේ නෝනව හම්මු වෙන්න ගිහිල්ලා උපකාරයක් ඉල්ලන්න. ඒ වරදට අබ්බගාත අප්පාව අරගෙන ගිහිල්ල, ඉතිරිවෙලා තියෙන තනි කකුලෙන් නිරිවතින් එල්ලලා, ගහලා. සතියක්. පවුලෙ එකෙක්ගෙ වරදට අනිකාට දඩුවම්දීම, රජකාලෙ සිරිතක්නේ. ශිෂ්ටාචාරය ආපස්සට හැරවීම තමයී තලෙයීබාන්, අල්කයීඩා කට්ටියගෙම උවමනාව. දැන් අපිත් එහෙම තමයී.

  3. ගල ගහන්න ඕනි පලවෙනි ශුද්ධවන්තයා. මෙතන වෙන්නෙ පොල් පරාලෙ තියාගෙන පොල්කීරක් හොයන්න යන එක..

  4. “බුදු දහමට අපහාස කිරීම” කළ හැක්කක්ද යන ප්‍රශ්නය මතු වේ. මන්ද අපහාස – ප්‍රශංසා ආදිය බෞද්ධයන්ට අදාළ නැතිබව බුද්ධ දේශනය තුළද කියවෙන බැවිනි.

    කෙසේ නමුත් එලෙස අපහාස කිරීමේ හැකියාව ඇත්නම් – වෙනත් සිද්ධීන් පසෙක තැබූවද – මෙම සිද්ධියේදීද බුදු දහමට අපහාස කර ඇත්තේ ඒකෝන්, සිරස, සංචාරක අමාත්‍යංශය හෝ වෙනත් සම්බන්‍ධිත ආයතන විසින් නොව, මෙවන් බෞද්ධ විරෝදී ක්‍රියා අනුමත කරන තමන් බෞද්ධයන්යයි සිතා සිටින පිරිස විසින් බව කිසිදු පැකිළීමකින් තොරව කිව හැක.

  5. ගහන්න ගහන්න තැලෙන මිනිහත් මෝඩයා තැලෙන්න තැලෙන්න ගහන මිනිහත් මෝඩයා..

    උක්ත මියුසික් වීඩියෝ 02 න් ම ‍ආගමට හානියක් වී නොමැති බව පැවසිය නොහැක… නමුදු ඒ දෙකම නරඹා බෞද්ධාගම හැරගිය අ‍යකු පිළිබඳවත් අසන්නට නොමැත…

    ඒකෝන් විරෝධතාව නිසා සිරස ට ගල් ගැසූ පිරිස් අල්ලද්දී අත්තඩංගුවට පත්වන්නේ ඒකෝන් කියන්නේ කවුද කොහොම කෙනෙක්ද කියාගන්නටවත් දන්නැති අහිංසක දරුපවුල් කාරයෙකි… ලංකාවේ මීට සමාන සිදුවීම් සිදුව ඇති බව ඔබ දන්නවා ඇත…

  6. මාගන්ධියා, චිංචි මානවිකාව, සුන්දරී පරිබ්‍රජිකාව, කුණුහරපෙන් බැනපු අක්කෝස භාරද්වාජ මේ කාලෙ ලංකාවෙ හිටියනම් ?

  7. [said:තරිඳු]
    මාගන්ධියා, චිංචි මානවිකාව, සුන්දරී පරිබ්‍රජිකාව, කුණුහරපෙන් බැනපු අක්කෝස භාරද්වාජ මේ කාලෙ ලංකාවෙ හිටියනම් ?
    [/said]

    මාර පොයින්ට් එක

    බුදු හාමුදුරුවො ජීවත්වෙලා හිටිය කාලෙ එවුන්ටත් නොතිබුනු කැක්කුමක්නෙ දැං එවුන්ට බුදු හාමුදුරුවො ගැන තියෙන්නෙ, බලං යනකොට. අනේ සාදු!

  8. “අප කතා බහ කල කිහිප දෙනෙකුට අනුව සිරසට පහර දීම අනිවාර්යයෙන් කල යුතු කාරණයකි”
    මුලින්ම කියන්න ඕන චමිල අයියා කතා බහ කරපු ඔය කිහිප දෙනා අතර මම එක්කෙනෙක්. හැබැයි මම කිව්වෙ සිරසට ගහන්න ඕන කියල නෙමෙයි. සිරසට ගහපු එක ගැන මම විරෝධය පල කරනනෙ නෑ කියල විතරයි. මොකද මෙතක ගැහුවේ කව්ද කියන එක හැමෝම දන්නවා.

    සිරස ගැන මගේ පෞද්ගලිකව ලොකු වෛරයක් තියනවා. ඒක මම පිළිගන්නවා.

    ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් මාධ්‍ය නිදහස උපරිමයෙන් තියනවා. ඒක අද වෙනකම් සිරස රටට කරලා තියන දේවල් වලන් තේරුම් ගන්න පුළුවන්.

    “නමුත් මෙගා නාට්‍ය, සුපිරි තරු රැල්ල, හා ටකරං සංගීතය සමාජය පුරා පැතිරවීම ආදී වූ ඍණාත්මක ක්‍රියා තනිකරම සිරසට හෝ මහරාජාට බැර කල නොහැක”

    මේක ට මම එකඟ නෑ. මෙගා නාට්‍ය ලංකාවට ගෙනාවෙ සිරස. මම කීප තැනකම කිව්ව වගේ මිනිසුන්ගේ සරලත්වය ඉතාම පහසුවෙන් දූෂණය කරන්න පුළුවන්. මාධ්‍යම පාන්තික මිනිස්සුන්ගේ හිත්වලට මේ විකාර ලෝකය බොහොම ලේසියෙන් ඇතුළු උනා. ඇයි සිරස මෙගා ටෙලිනාට්‍ය ගෙනාවෙ කියල දන්නවද? ඇයි අනෙක් නාලිකා ඒව ගෙනාවෙ නැත්තෙ. මේවට මිනිස්සු වහ වැටෙනව කියල දැන දැනත් ඇයි අදටත් රූපවාහිනියෙ මෙගා ටෙලිනාට්‍ය විකාශය වෙන්නෙ නැත්තෙ. සිරසට ඕන සල්ලි. බල්ලො මරල හරි සල්ලි. මෙගා ටෙලි නාට්‍ය බොහොම අඩු මිලකට මිලදී ගන්නෙ. කොටස් අති විශාල ගණනක් තියනවා. මිනිස්සු මේටහ පුරුදු කරව ගත්තහම කාලාන්තරයක් මේව පෙන්න ගන්න පුළුවන්. මේ ටෙලි නාට්‍ය වල අපේ අධ්‍යාත්මීය දියුණුවට ගන්න දෙයක් තියනවද? පොඩි දෙයක් වත් ? නෑ ඒ වෙනුවට අපේ තියන මානසික තත්වයත් විකෘති කරල දානවා.

    ඇයි එතකොට අනෙක් චැනල් අද ලංකාවෙ හදපු මෙගා ටෙලි නාට්‍ය පෙන්නන්නේ.

    ඔවුන්ට වැල යන අතට මැස්ස ගහන්න සිද්ධ උනා. අද තියන මුදල් පස්සේ දුවන සමාජයේ කව්ද මේකට එරෙහිව යන්න ඉන්නේ. ඒත් ජයන්ත චන්ද්‍රසිරි , ජයලත් මනෝරත්න වගේ කලාකරුවන් මේ රැල්ලෙන් මිනිස්සු බේරගන්න උඩුගං බලා යන්න උත්සාහ කලා. ඒව මාකට් වෙන්නෙ නෑ හැබැයි. අකාල සන්ධ්‍යා විකාශ්‍ය වෙනකොට ගෙවල් වලට ගහිල්ල මිනිස්සුන්ට බලෙන් තෑගි දෙන්නෙ නෑ.

    එතාකොට සුපර් ස්ටාර්. මේක අද හරිම හිසරදයක් වෙලා. මේවගෙන් සිරස සහ දුරකථන සමාගම් ඇති වෙන්න හම්බ කරගත්තා. තවමත් හම්බ කරනවා. මේ තරඟ වලින් බිහි වෙච්ච එක ගායකයෙක් ඉන්නවද අද? එක්කෙනෙක්. සුනිල් එදිරිසිංහ, දයාන් විතාරණ වගේ එතැනට ලං වෙච්ච කෙනෙක්?නෑ. එතකොට මිනිස්සුන්ගෙ මින්ස් පැය ලක්ෂ ගණනක් රූපවාහින්ය ඉස්සරහ නාස්ති කරල සාක්කුවෙ තියන තුට්ටු දෙක sms වලට නාසිති කරල මොකද්ද ලැබිච්ච ප්‍රතිපලේ.

    තව ගොඩක් දේවල් තිබුනත් කියන්න වෙලාව නෑ. සිරස කරන්නෙ තනිකර මාකටින්. උන්ට මේ රටේ සංස්කෘතියවත් සදාචාරෙවත් තඹ සතේකට වැඩක් නෑ. මේ රට අනාගතේ මේ තියන තැනෙන් උඩට ගන්න ඕන කියල අදහසක් උන්ගෙ තුන් හිතක වත් නෑ. උන් මේ රටේ ජන විඥානෙ හපල හපල රොඩ්ඩක් වෙන තුරු සල්ලි හොයා ගනීවි. එතකන් අපි අර වතුර නටන තුරු දිය කෙළින කකුළුවො වගේ ආතල් එකේ ඉමු.

  9. Pingback: Tweets that mention ඒකෝන්, සිරස, බුද්ධාගම හà·

  10. සමහර කරුනු නිසා පුද්ගලිකව මමත් සිරස නාලිකාව සමඟ එකඟ වෙනෙන නෑ. ඒත් ඕනෑම නාලිකාවක හොඳ නැති දෙයක් අහිතකර දෙයක් විකාශනය වෙනවනම් ඒක නොබලා රූපවාහිනිය නිවා දමන්න ස්විච් තියෙන බව අපේ ගොඩක් අයට අමතකයි.

    ගොඩක් වෙලාවට මේ වගේ වැඩක්(සිරසට ගල් ගැසීම) වෙන්නේ, හැමෝම කැමතියි නරක දේවල් බලන්න ඒ අය ඒවා හොරෙන් බලනවා. ඒත් සංඛ්‍යාලේකන මඟින් නරක ඒවා බලන ගොඩට තමනුත් වැටෙන බව යටි හිත දන්න නිසා එලිපිට කෑ ගහනවා සිරටස ගහන්න ඕන උන් නැති කරන්න ඕන කියලා. ඒක හරියටම කියන්න පුලුවන් වෙන්නේ “හක්කේ බුදු රස් බොක්කෙ දඩමස් කියන න්‍යායෙන් විතරයි.

    සිරස නාලිකාවට අකමැති මමත් සිරස බලනවා. එලිපිට බැන්නත් සුපර්ස්ටාර් ඩාන්සින් ස්ටාර් බලන්න මගේ යටි හිත බල කරනවා. මම ඒකට නතු වෙනවා. ඒත් ඒවා චාටර් කියලා කට්ටිය කියනකොට මම හොඳ රසවින්දනයක් තියෙන බව ලෝකෙට පෙන්න ඕන නිසා මමත් බනිනවා . . ඔව් උන් නැති කරන්න ඕන උන්ට ගහන්න ඕන කියලා .. . මේ ක ඇත්ත නෙමයිද කියලා ඔය සිරසට ගහන්න ඕන කියපු හැමොගෙම හදවත් වලින් ඇහුවොත් මොනවගේ පිලිතුරක් ලැබෙයි ද . .

    අපි ජීවත්වෙන්නේ 12 වෙනි ශතවර්ශේ නෙමෙයි. තාක්ශණයේ දියුනුව එක්ක ලැබුනු දේවලින් හොඳ නරක වටහා ගන්න අපිට බුද්ධියක් නැති බව පෙන්නුම් කරන මේ වගේ වැඩ දිහා මින් පස්සේ වත් ඔපන් මයින්ඩ් බලනවනම් බලල අතිං අරං XX ඇර ගන්න වැඩ නොකර ඉන්නවනම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

  11. @රවින්ද says:!
    මල්ලී සිරසට වෛර කරන අපි, ඉස්සර ආසාවෙන් බලපු නිශාන්තය, යාත්‍රා, හදරැඳි ගී, වැනි ගීත වැඩසටහන් ඉඳිකඩ අස්න ටෙලිය, ඉමදිය මංකඩ ටෙලිය, නිසල විල ටෙලිය වගේ උසස් රසවිඳයක් පිරිනමපු රූපවාහිනිය- ITN එක ඒවා නවත්තලා . .. ආන්ඩුවේ හොරනෑව වෙලා උදේ ඉඳන් රෑ වෙනකම් කුනු රෙදි හෝදන නිසා ඒ දෙකට වෛර නොකරන්නේ ඇයි. . ?

    අර අපි දාගෙන ඉන්න ඔය හොරනෑ දෙනෙක් අපේ Brain Wash කරලා ඊට පස්සේ අපිට පලඳපු පාට කන්නාඩිය නිසා නෙමයිද අපි සිරස එක්ක විතරක් වෛර පිරිමහන්න හදන්නේ . . ?

    නිකම් හිතලා බලන්න . .

  12. සුපිරි ලිපියක්…. සියයට සියයක් එකඟයි…. ඇත්තටම ආණ්ඩුවට ඕන කුජීත වැඩක් කරගන්න ආගම, ජාතිය අයුධයක් වෙලා… හරිම කණගාටුදායක තත්ත්වයක්… මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්…. ඔබ කිව්වා වගේම අද අපේ තරුණ පිරිස හුඟ දෙනෙක් ජාතිය සහ ආගම පෙරටු කරගෙන කරන මේ මුලාකිරීම්වල ගොදුරු බවට පත්වෙලා… නිදහස්ව හිතන උදවිය හරිම අඩුයි… රටේ අවාසනාව තමා ඉතින්… :(

  13. ළමයිනේ ඔය ශ්‍රද්ධාවන්ත බෞද්ධ ශ්‍රාවකයින් විසේකාර ගැටිස්සියො බුදු පිළිම ඉස්සරහ නටනවට බය හේතුව දන්නෙ නැහ්නං බලාගනින්කො පහත පින්තූරෙන්.

    http://img.metro.co.uk/i/pix/2007/10/buddhaPA_450x518.jpg

    මුන්ට බුදුන් හරියටම බුදු වෙලාද කියලවත් සහතික නෑ. උන් හිතාගෙන ඉන්නෙ උන්ට පහළවෙන කෙලෙස් සිතිවිලි බුදුන්ටත් පහළවෙනවාය කියලා.

  14. >හොර සැමියෙක් ඇසුරු කිරීමේ වරදට එම හොර සැමියා හා ගැහැණිය සෙනඟ පිරී ඇති පිට්ටණියක් මැදට තලෙයිබාන් රැකවලුන් විසින් ඇදගෙන පැමිණේ. ප්‍රාදේශීය නායකයෙකු පැමිණ වරද කියවා මෙය අල්ලාහ් ගේ කැමැත්ත බව ජනතාවට පුන පුනා පවසා යයි. තලෙයිබාන් රැකවලුන් අතිනතට ගල් කැබලි ලැබෙන අතර අයෙකු පැමිණ පලමු ගල් කැටය ගැහැණි‍යගේ හිස පිටුපසට දමා ගසයි. අනෙකුත් රැකවලුන්ගේ ගල් පහරවල් මැද මිය යන ගැහැණිය පසුව කැබ් රථයක් පිටුපසට දමා ගැනෙන අතර රැස්ව එය උදාසීනව බලා සිටින ජනතාව “අල්ලාහු අක්බර්”(දෙවියන් ශ්‍රේෂ්ඨය) යනුවෙන් මතුරා විසිර යයි. මෙම පලමු ගල් කැටය එල්ල කරන පුද්ගලයා බාලක අපයෝජකයෙකු වන අතර එය ප්‍රසිද්ධ කරුණක් ද වන්නේය.<

    මම හිතන්නෙ ලංකාවෙ මේ සිද්ද වෙන දේවල් එක්ක, ගලපන්න පුලුවන් අපූරු කතාවක් තමයි ‍මේක.

    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කදිම ලිපියක්.

  15. “මට ඒ වෙලාවෙ මතක් උනේ බුදු හාමුදුරුවො බුදු වෙන එක වලක්වන්න මාරයා එවපු යම දූතිකාවො. (තණ්හා, රති, රගා) …
    මාරයගෙ දූල තුන් දෙනා එසේ මෙසේ ගෑනු ටිකක් නම් යවන එකක් නෑ නෙ. මේ ගීතයේ මාතෘකාවට අදාළ චරිතයත් ඒ වගේ පෙනුම ඇති කෙනෙක් කියල පෙන්නන්නද දන්නෙ නෑ ඒ කට්ටිය Visual එක හදල ඇත්තෙ. ඇත්තටම එහෙම බැලුවොත් මේක එච්චරටම අවුලක් නෑ වගේ නේද?”

    http://akiladj.blogspot.com/2010/04/david-ft-akon.html

  16. Power of Banghara ගීතය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කාලයේ, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශණය සහ බෙදාහැරීම රාජපක්ෂ මහතා තහනම් කල බව ඔබ නොදැන් සිටීම කනගාටුවට කරුණකි…. ඔබ එය නොදන්නේ නම් දන්නා කෙනෙක්ගෙන් අසා දැනගන්න.. ඒ කාලයේ ඒ සිදුවීම මටනම් තාමත් හොදින් මතකය..

    • මේ….. එතකොට අර සංචාරක අමාත්‍යංශෙන් එළියට දාලා තියෙන්නේ මොකද්ද?

      මම නිකමට කියන්නෙ.. සංචාරක අමාත්‍යාංශෙත් ඩොලර් වලට විකිණිල වෙන්න බැරි ද? වෙන ඉතින් අපේ මොළවලට හරියන හේතුවක් ඒකට නැහැ නේ නේද????????

  17. බුද්ධ ධර්මය ගැන කිය කිය හඬන අයට කියන්නේ.ඒකෝන් හොඳයි උඹලට වඩා.ඌ බුද්ධ ධර්මය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතිවනේ එහෙම කරේ.උඹල දැනගෙනත්…අනේ මන්ද.උඹල වගේ එවුන් බ්ලොග් ලියන්නෙපා.

Return Fire!