දේශීයකරණය යනු සියබස ආගන්තුක-කරණයද?

(දින එක හමාරක් වැනි කාලයක් තුලදි අත්දැකීම රාශියක් එකතු කර ගැනීමට හැකිවීම අප ලද භාග්‍යයකි. පැය 10ක් තුළදී එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කතිකා වල නියැලී සිටිමට හැකි වීමද එක්තරා අන්දමකින් ආශ්වාදජනකය.)

සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය නමින් කණිෂ්ක යෙදු සටහනට සම්පූර්ණයෙන් වෙනස් විය හැකි සටහනක් මෙසේ ආරම්භ කෙරේ. පළමුවෙන්ම යෙදිය යුතු ඩිස්ක්ලේමරය වන්නේ මෙහි සදහන් අදහස් අපගේ පෞද්ගලික අදහස් බවයි. දෙවැන්න වන්නේ අප අකමැති කිසි දෙයක් පිළිබඳ විවේචනයක් අප නොකරන බවයි.

මොරටුව සරසවි භූමියේ අද දින ඇතුලත පැවති මෙම සම්මන්ත්‍රණය සැබවින්ම දේශීයකරණයේ ඉදිරිගමන පිළිබඳව තැබූ වැදගත් පා සටහනක් බව කිව යුතුය. තැන තැන විසිරී තනි තනිව හැදී වැඩුන භාෂාමය සයිබර් අනන්‍යතාවයක් පිළිබඳ අදහස්, බලාපොරොත්තු එක් තැනකට රොක් කර ගැනීමට දරා තිබූ උත්සහය මින් පෙර මෙවැනි මට්ටමකින් සිදු වූ බවක් අපගේ මතකයේ නැත. එම නිසා එවැනි අවස්ථාවක් සඳහා සහභාගී විමට හැකි වීම පිළිබඳ යම් පමණක ගර්වයක් ද නැතුවා නොවේ. එසේම මින් පෙර අතථ්‍ය ලෝකයකදී හමු වී වාද විවාද කර ගත් මිතුරන් කිහිප දෙනෙකු මුහුණට මුහුණ හමු වීමේ සතුටක් ද ඇත.

නමුත් මෙම අවස්ථාව තුළදී අප දුටු දුර්වලකම් බොහෝ විය. වේලාව මද වීම, සංවාදමය වටපිටාවක් නොමැති වීම ආදී වූ දේ බොහෝ විට පළමු වර පැවැත්වූ සම්මන්ත්‍රණයේදී නොසලකා හැරිය හැක. නමුත් දේශීයකරණය පිළිබඳ වූ ගැඹුරින් සිතිය යුතු යැයි අප විශ්වාස කරන ගැටළුවක් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට එය බෙහෙවින් නොසලකා හැරීම දේශීයකරණයේ අනාගතය පිළිබඳ බියක් අප තුළ ඇති කරයි.

මෘදුකාංගය සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ එහි යොදා ගෙන ඇති algorithm වලටත් වඩා පරිශීලකයින් එය භාර ගන්නා ආකාරය අනුවයි. එයට එහි භාවිතා කර ඇති භාෂාව ඉතා වැදගත් වේ. මෙපමණ කලක් තිබූ දැවෙන ප්‍රශ්නය වූයේ මෘදුකාංග භාවිත කිරීමට අනිවාර්ය අංගයක් වූ ඉංග්‍රීසි දැනුමයි. වෙනමම කැපවූ සටහන් කිහිපයක් ආධාරයෙන් කතාබස් කල යුතු ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය හා ක්‍රමයෙන් නැගී එමින් තිබූ දේශීයකරණ සංකල්පය, සිංහල ASCII ෆොන්ට, යුනිකෝඩ සම්මිතිය හරහා මෘදුකාංග දේශීයකරණයට කෙමෙන් කෙමෙන් මඟ පෑදුවේය. අප කතා කිරීමට බලාපොරොත්තු වන ගැටළුව ඇත්තේ මෙතනයි.

අපි සිංහල (හෝ දෙමළ) භාෂාවෙන් මෘදුකාංග අතුරු මුහුණත් බලාපොරොත්තු වන්නේ භාවිතයට ඇති පහසුව නිසාය. මෙහිදී මෘදුකාංග දේශීයකරණ ව්‍යාපෘතිය ඉලක්ක කර ගත යුතු පරිශීලක කණ්ඩායම් දෙකක් ඇත.

  1. දැනටමත් ඉංග්‍රීසි භාෂාවෙන් මෘදුකාංග භාවිතා කරන පරිශීලකයින්
  2. කිසිදු භාෂාවකින් මෘදුකාංග භාවිතා කර නොමැති පිරිස්/දේශීයකරණය කල භාෂාවෙන් මෘදුකාංග භාවිතයට අත්පොත් තබන පිරිස්

අප සිංහලට හැරවූ මෘදුකාංග කිහිපයක් භාවිතා කිරීමට ආරම්භ කර ඇත. නමුත් මාස කිහිපයක් ඉක්මයාමට පෙර අප තේරුම් ගත් කරුණක් වූයේ සිංහලෙන් ඇති සමහර විධාන තෝරා බේරා ගැනීමට නැවත ඉංග්‍රීසි සංස්කරණයට යොමු විය යුතු බවයි. දේශීයකරණයේදී භාවිතා කර තිබූ සමහර වදන් අප දැක තිබුනේද එම මෘදුකාංගය භාවිත කිරීමට ආරම්භ කිරීමෙන් පසුවය.එනම් එම භාෂාව අපට අළුතින්ම අධ්‍යයනය කල යුතුව තිබූ භාෂාවක් බවයි. යම් අයෙකුට මෙහිදී අප සිංහල නොදැන සිටීම පැහැදිලි කිරීමක් ලෙස ගෙනහැර දැක්විය හැක.  නමුත් දේශීයකරණය කරන ලද මෘදුකාංග භාවිතයට සිංහල වෙනමම අධ්‍යයනය කල යුතු නම් දේශීයකරණය සාර්ථක වී ඇත් ද යන්න සැකයට භාජනය වේ.

මෙම කරුණ දක්වා දේශීයකරණයේදී වඩාත් පැහැදිලි හා වෙනත් භාෂාවලට ලෙහෙසියෙන් හැරවිය හැකි වදන් ක්‍රමයක් ගැන විමසු වීට සිංහල-ඉංග්‍රීසි ශබ්ද මාලාව පිළිබඳ වගකිවයුතු අයෙක් පැවසූයේ ඉහත සඳහන් කර ඇති පළමු කාණ්ඩය ඔවුන්ගේ ඉලක්කගත කාණ්ඩයක් නොවන බවයි. අනෙක් බාසාවෙන් දේශීයකරණය අපට අකැප බවයි. අප මෙසේ හුරු වී ඇත්තේ අප මුල සිටම ඉංග්‍රීසි යෙදුම් වලට හුරු වීම හේතු කොට ගෙන යන්න සැම දෙනා විවාදයකින් තොරව පිළිගනී. Windows/Linux හුවමාරුවේදී ප්‍රධාන බාධකයද මෙයයි.

lang

දෙවැනි කාණ්ඩය සිංහලයෙන්ම මෘදුකාංග භාවිතයට හුරු වන නිසා මෙවැනි ගැටළුවක් පැන නගින්නේ නැති බව පැහැදිලිය. නමුත් ගැටළුව ඇති වන්නේ ඔවුන් කවදා හෝ ඉංග්‍රීසි බසින් වූ මෘදුකාංගයක් භාවිත කිරීමට ගිය විටයි. “අපිට ඉංග්‍රීසි ඕනේ නෑ” කියමින් මෙයට ප්‍රතිචාර ලැබේ නම් මින් එහාට කියවන්න එපා. මෙතෙක් කල් ඉංග්‍රීසි බසින් වූ මෘදුකාංග භාවිතා කොට සිංහලට මාරු වීමට ගිය අපට වැලේ වැල් නැතිව ආපසු මාරු වීමට සිදු වූ න්‍යායම ඔවුන්ට එලෙසම බලපානු ඇත. එවිට ඉංග්‍රීසි බැරි ද යන්න කවුරුන් හෝ ප්‍රශ්න කරයිද යන්න අපට විශ්වාස නැත.

මෙම කෙටි සංවාදයේදී මතු වූ තවත් කරුණක් වූයේ අප කිසිදු හෝ වදනක් එහි අර්ථයෙන් ගෙන අදහසට පරිවර්ථනය නොකරන බවයි. අප එහි අර්ථය ගන්නේ අදාල වදන අයිකනය්‍ක් ලෙසට/සංකේතයක් ලෙසට ගෙනයි. උදාහරණයකට ගතහොත් Tools මෙනුවේ ඇත්තේ මෙවලම් යන්න අප කවදා හෝ කල්පනා කර ඇත් ද? එය Preferences/Options විධානය ඇති මෙනුව ලෙස අප තේරුම් ගන්නෙමු. අපගේ තර්කය ගොඩ නගන්නේ ද මෙතැන සිටයි.

සංකේත ගොඩ නැංවිය යුත්තේ භාෂාව කුමක් වුවත් තේරුම් ගත යුතු ආකාරයකටයි. භාෂාව වෙනස් වන විට සංකේත වල අර්ථයද වෙනස් වේ නම් සංකේතයක් ලෙස එය සාර්ථක වී නොමැත. මෙම සංකේත සංකල්පය වදන් වලට හැරවීම පිළිබඳ අප දරන්නේ මෙවැනි මතයකි. ඉංග්‍රීසි භාෂාවේ දැනට අන්තර්ගත වී ඇති වදන් සිංහලට හැරවීමේදී එකට එකක් (one-to-one) ලෙස පරිවර්ථනය අප අත හැර දැමිය යුතුය. ජනප්‍රිය නිදසුනක් වන Cache වෙනුවට සිංහලෙන් ඇති වදන වන “හැඹිලි ගත කිරීම” යන්නෙන් එහි අර්ථය අන්තයටම විනාශ කරන බව පෙනේ. අප යෝජනා කරන්නේ මෙය “කෑෂ්” ලෙසම භාවිත කරන ලෙසයි. මෙවැනි වදන් සදහා පමණක් නොව පරිගණක ආශ්‍රිත යෙදුම් වලින් බහුතරය පරිවර්නය කිරීමේදී මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බව අපගේ විශ්වාසයයි. සංකේතයක් ලෙස එහි අර්ථය ආරක්ෂා කර ගැනීමට මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බව අප නැවත නැවත ඉදිරිපත් කල තර්කයයි.

නමුත් රැස්ව සිටි පිරිස ඉහත දෙවැනි ඡේදයේ පමණ නැවතී තර්ක කල අතර අප ඉදිරිපත් කල තර්කය පිළිබඳ දැනුවත් වූයේ කිහිප දෙනෙක් පමණක් බව අපි දුටුවෙමු. කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කල යුත්තේ ශබ්ද මාලාව පිළිබඳ වගකිව යුත්තන්ය. දේශීයකරණයේ නියැළි සිටින අය බොහෝ වෙලාවට යොමු වන්නේ අදාල ශබ්ද මාලාවට බැවිනි. නමුත් වගකිව යුත්තන් බලාසිටින්නේ දෙවැනි කණ්ඩායමක් බිහි වන තෙක් නම් මෙය තවත් බොහෝ දුර බව කිව යුතුය. කොතෙක් කියූවත් නිළධාරීවාදයෙන් මිරිකී ඇති යැයි අප සැක කරන පාලන ක්‍රමයක් තුල මෙවැනි වෙනසක් බලාපොරොත්තු වීම එක අතකින් මෝඩ කමකි.

එසේනම් දෙවැනි කණ්ඩායම ඉලක්ක ගත කර ගනිමින් මේ සිදු කරන්නේ අප විහින් තනි වීමටද? දේශීයකරණයෙන් බලාපොරොත්තු වන්නේ අප වෙනමම ඉගෙන ගත යුතු භාෂාවක් පරිගණකයේ භාවිතා වන සිංහල යැයි හඳුන්වා දීමටද? පරිගණක සිංහල-සිංහල ශබ්ද කෝෂද අප එවිට බලාපොරොත්තු විය යුතුය.

අප බිහි කල යුත්තේ එක් භාෂාවකින් පමණක් පරිගණකය හැසිරවිය හැකි පුද්ගලයින් නොව නොයෙකුත් අවස්ථා වලට අනුගත විය හැකි පුද්ගලයින්ය.

(මෙදින ඇතුලත අප අත්දුටු දේ මෙවැනි එක සටහනකින් කියා නිම කල නොහැක. එම නිසා ප්‍රධාන ගැටළුව පමණක් සාකච්ඡා කර මෙතනින් අවසන් කර දැමේ)

13 thoughts on “දේශීයකරණය යනු සියබස ආගන්තුක-කරණයද?

  1. ඔතන අපි ඊයේ පැය ගාණක් කෑගහලා අන්තිමට අපි කියපු එකත් හරි කියලා එයාලට තෙරුණත් ඕක ප්‍රායෝගිකව වෙයිද බං… අන්තිමට අපි අර කතාකරගත්ත දේවත් කරලා බලමු…

    • ප්‍රායෝගිකව වෙයිද කියන සැකය නම් බරපතලව තියෙනවා. සැකය ප්‍රසිද්ධියේ කියා ගන්න බැරි අවුලකුත් තියෙනවා. නිවාඩු වෙලාවක අත ගහලා බලමු වැඩේට.

  2. මොන මොන සෙල්ලම් දාලා දේශීයකරණය කලත් අන්තිමට භාවිතා කරන කෙනාට පාවිච්චි කරපං කියන්න බලකරන්න බැහැනේ. ඒ පරිශීලකයාට අල්ලලා ගියොත් දිගටම පාවිච්චි කරයි. නැත්තං මෘදුකාංග සිංහලට හැරවීම ෆැෂන් එකක් විතරක් වෙයි. ඔවුන් ඉලක්කගත කරන්නේ ඔය කියන දෙවැනි කණ්ඩායම නම් ඉස්සෙල්ලා ඔවුන් යුනිකේත පිළිබඳව දැනුවත් කල යුතුයි. මොකද ඔය කියල කණ්ඩායමෙන් අති බහුතරය යුනිකේත ගැන අහලවත් නෑ. ජ’පුර කැම්පස් එකෙන් ආව Budditha Hettige විස්තර කල සමීක්ෂණයේදිත් පැහැදිලි වෙලා තිබුණා ලංකාවෙ පරිගනක භාවිතා කරන 2/3කටම යුනිකේත පිළිබඳව අහලවත් නැති බව. යුනිකේත අහලවත් නැති අයට‍ සිංහල කරපු මෘදුකාංග ගැන කියල දීම විහිළුවක්. වින්ඩෝස් විස්ටා සහ 7, ubuntu, fedora සිංහල එක්ක පැමිණීම තරමක් දුරට සමනය කරවන්නක්. මට හිතෙන විදියට කලයුත්තෙ මෘදුකාංගය‍ දේශීය භාෂාවකට හැරවීමට වඩා වැදගත් ඒ මෘදුකාංගය පිළිබඳ ඒ භාෂාවෙන් user manual එකක් හෝ ඒ පිළිබඳව හොඳින් දැනුවත් වෙන්න අවස්තාවක් සලසා දීම. ඔය කියන 1වෙනි කණ්ඩායමත් මුලින් 2වෙනි කණ්ඩායමේ ඉන්නවා.නැතුව උඩින් පාත්වෙන්නෙ නෑනේ. ඔය වැඩෙන් වෙන්නෙ 2වෙනි කණ්ඩායමත් 1වෙනි කණ්ඩායමත් අතර පරතරය වැඩි වීම. පළවෙනි කණ්ඩායම කියනවා 2වෙනි කණඩායමේ අයට ඔයගොල්ලො සිංහල ඒව පාවිච්චි කරන්න අපි ඉංග්‍රීසි ඒව පාවිච්චි කරන්නං කියල.(මයුරන් කිව්වා ව‍‍‍ගේ අපි බෙන්ස් එකෙන් යන්නං ඔයා මරුටියෙන් එන්න) මගේ අදහස අපි ඉලක්ක කරන්න ඕන මේ කණ්ඩායම් දෙකම. සංවාදමය ඉඩකඩක් නැතිවීම නම් ලොකු අඩුපාඩුවක් ලෙස දැනුනා. කතා ටිකක් අඩු කරලා සංවාදයට වැඩියෙන් ඉඩකඩ ලැබුණා නම් හොඳයි.

    • බලමු. පලවෙනි එක නිසා සංවාදයට වැඩිය ඉඩ ලැබුනේ නෑ. මාර්තු වලත් එකක් තියෙනවා කිව්වනේ.

      දේශීය භාෂා වලින් අන්තර්ගතය (content) වැඩි කිරීම පටන් ගන්න user friendly දේශීයකරණ රටාවක් පටන් ගන්න ඕනේ නිසා මේ ගැන වැඩි අවධානයක් දුන්නේ. ඇත්තෙන්ම අන්තර්ගතය වැඩි කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්.

  3. මෙම සම්මන්ත්‍රණය සඳහා ලබපු ඇරයුම්පතෙත් සඳහන්වුනේ පරිගණක පද්ධති සහ යෙදුම් දේශීයකරණයේ යෙදී සිටින්නන් එකිනෙකා හමුවී තම තමන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට ඉඩ සැලසෙන සම්මන්ත්‍රණයක් කියලා. නමුත් එතනදි ගැටළු සාකච්ඡා කිරීමට ලැබුණු ඉඩ නම් බොහොම අඩුයි. සාකච්ඡාවක් කරනවනම් ඒකෙන් සිදුවෙන්න ඕන දේ තමයි මතුවෙලා තියෙන ගැටළුවක් හැමෝත් එක්කම කතාබහ කරලා අවසාන එකඟතාවයකට එන එක. නමුත් එහිදි එකඟතාවයකට ඒමක් සිදුවුනේ නෑ. අපි හිතමු මෙහි මීළඟ සැසිවාරයේදිවත් සංවාදයට වැඩි ඉඩක් ලැබේවි කියලා. කොහොමනමුත් දේශියකරණය සම්බන්ධයෙන් මෙවැනි සම්මන්ත්‍රණ මාලාවකට මුල්ගල තියපු එක නම් අගය කළ යුතුයි. මෙතෙක් කල් නොදැක හඳුනපු අයව දැක හඳුනගන්න ලැබීමත් සතුටට කරුණක්.

    පරිවර්තනය ගැන නම් මගේ අදහස හැකි සැම විටම උත්සහයක් දරන්න ඕනෙ ඉංග්‍රීසි වචනයේ අර්ථය සරළම සිංහලෙන් පැහැදිලි කෙරෙන පද යොදාගන්න. Cache යන්න ‘කෑෂ්’ ලෙස යෙදීම උක්ත 1 කාණ්ඩයට තේරුම් ගත හැකි වුවත් 2 කාණ්ඩයට එය කොහෙත්ම තේරුම් ගත නොහැකියි නේද? තවත් ප්‍රශ්නයක් තමයි සරලම සිංහ‍ල භාවිතා කරන්න ගියාම එතනදි සමහරවිට ඉංග්‍රීසි තනි වචනයක් තේරුම් කරන්න සරල සිංහල වචන කීපයක් ඕනැ වෙන එක. එයත් ගැටළුවක්. ඊළඟට ඔබ කිව් ලෙස නොතේරෙන ගැඹුරු සිංහල භාවිතයත් උක්ත කාණ්ඩ දෙකටම ගැටළුවක්. මෙතනදි අපිට ඔය කාරණා සියල්ලම 100%ක් විසඳන්න බැරිවෙයි. නමුත් හරවත් සංවාදයකට එළඹුනොත් සමහරවිට පුළුවන්වෙයි හැකිතාක් දුරකට සාර්ථක විසඳුමක් සොයන්න. එදා සාර්ථකව ආරම්භ කළ එම සංවාදය දිගටම ගෙනයන්න ඉඩ තිබුණා නම් එදාම යම්තාක් දුරකට සාර්ථක විසඳුමකට එන්න තිබුණා. නමුත් දැන් ඉතිං එවැනි සංවාදයකට එළඹෙන්න ඊළඟ සැසිවාරය තෙක් බලාඉන්න සිදුවෙනවා.

    • මම මෙතනදි ඉදිරිපත් කරලා තියෙන තර්කය නැවත වරක් බලන්න. අපි වචනයක් තේරුම් ගන්න උත්සහ කරනවා අඩුයි.

      “මෙම කෙටි සංවාදයේදී මතු වූ තවත් කරුණක් වූයේ අප කිසිදු හෝ වදනක් එහි අර්ථයෙන් ගෙන අදහසට පරිවර්ථනය නොකරන බවයි. අප එහි අර්ථය ගන්නේ අදාල වදන අයිකනය්‍ක් ලෙසට/සංකේතයක් ලෙසට ගෙනයි. උදාහරණයකට ගතහොත් Tools මෙනුවේ ඇත්තේ මෙවලම් යන්න අප කවදා හෝ කල්පනා කර ඇත් ද? එය Preferences/Options විධානය ඇති මෙනුව ලෙස අප තේරුම් ගන්නෙමු.”

      ඉතින් cache කෑෂ් කිව්වත් හැඹිලිය කිව්වත් පටන් ගන්න අයෙකුට වැඩි වෙනසක් නෑ. වෙනස ඇති වෙන්නේ එයා ඉංග්‍රීසි අතුරු මුහුණතක cache කියන වදන දැක්කාම.

  4. ඇත්තටම සම්මන්ත්‍රණය පැවැත්වීම පිලිබඳව එහි සංවිධායක මඩුල්ලට මුලින්ම මාගේ ස්තුතිය පල කරනව.. හැමෝම කිව්ව වගේම මේකෙදි අපි‍ට සංවාදයක් සිදු කිරීමට අවස්ථාවක් නොලැබුන තරම්.. මෙතනදි අපෙත් පොඩි අඩුපාඩු තිබුන, අපිට මීට වඩා පෙර සූදානමකින් යන්න තිබුන, එහෙම උනා නම් අපේ මහා‍චාර්ය වරුන්ට අදහස් මගින් යම්තාක් හෝ බලපෑමක් ඇතිකරන්න පුලුවන් වෙන්න තිබුන..
    මොනව උනත් ඊලග සම්මන්ත්‍රණයේ මීට වඩා යමක් කරන්න හැමෝම උත්සාහ කරමු..
    තව දෙයක්, මෙතන අපේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය පිලිබඳ සුඵවෙන් වත් කතාබහට ලක් උනේ නෑ.. ඒකත් ඊලග සැසිවාරයේ නිවැරදි වෙයි කියල හිතනව..
    මොනව උනත් යාලුවො ටික හම්බුන එක ගැන නම් ගොඩාක් සතුටුයි..

    • සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය මුල් වෙලා මොනවා හරි මේ ගැන කරනවානම් හොඳයි. මොකද ආචාර්ය ගිහාන් ඩයස් පැවසු ආකාරයටම සිංහල යුනිකේත වර්ධනය වීමටත් භාවිතය ප්‍රචලිත වීමටත් සිංහල බ්ලොග්කරණය දායක වෙලා තියෙනවා.

  5. මමත් මොනව හරි ලියන්න හිතුව, ඒත් ලියන්න දෙයක් නෑ වගේ, හැමෝම තමුන්ගෙ සිතිවිලි කියලනෙ තියෙන්නෙ, ඒ දේවල් ඇතුළෙ මම හිතන දේවලුත් ඔක්කොම ඇතුළත් වෙලා තියෙනව.
    එක දෙයක් කියන්න පුළුවන්. ම්ම කනියගෙ බ්ලොග් එකේදිත් මේක කිව්ව, අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි දියුණු කිරීම කියන එක මේ වගේම ප්‍රභල මාතෘකාවක් කියල මම හිතනව. ඒකනෙ නේද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැක්මත්? ඒ ගැන අපි මොනව හරි කරමුද?

    • ඔව්. අන්තර්ගතය වැඩි කිරීම පිළිබඳව ඊළඟට සිතිය යුතුයි. හැබැයි මම හිතන්නේ අපිළිවෙලකට සෑදුණු දේශීයකරණ රටාවකට වැඩිය එය මුලින් පිළිවෙළ කරගෙන සිටියොත් හොඳයි කියලා.

  6. දේශීයකරණය ගැන කියද්දී මට හිතුණ දෙයක් මේක.
    සිංහලට පරිවර්තනය කිරීමේදී හැමෝම බලන්නෙ අර ඉංග්‍රීසි වචනය සඳහා තනි සිංහල වචනයක් හදන්න. මේ ලඟදි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙත ශාකුන්තල ඉදිරිපත් කල ත්‍රෙඩ් එකකට ලැබුනු ප්‍රතිචාර දුටුවාම මට හිතුනේ කවුරුත් උත්සාහ කරන්නෙ කාටත් තේරෙන විදියට සිංහලට පරිවර්තනය කරන්න නෙමෙයි, බරපතල උනත් කමක් නෑ කොහොමහරි තනි සිංහල වචනයක් හදන්න කියලා. භාෂාවේ රීති වලට අනුව ඒක හරි ඇති. ඒත් ඉතින් මේ විදියට ඒක තේරුම් ගන්න අපහසු නම්, තනි වචනයකින් ඇති පලේ මොකක්ද? වඩාත් තේරෙන විදියට ඒක වචන දෙකකින් කියන්න පුලුවන් නම් එහෙම කියන එකේ වැරැද්ද මොකක්ද?

    —-
    ඔය සම්මන්ත්‍රණයට මමත් එන්නයි හිටියෙ. ඔච්චර වැදගත් වෙන එකක් කියල මට කලින් හිතුනෙ නැති නිසා මම ටිකක් ඈලිමෑලි කරලා නෑවිත් හිටියා. ෂැහ්.. අපරාදෙ. ආයෙ තිබ්බොත් එන්නංකො.

    • තනි වචන, වචන දෙක කතාව ගැන මම හිතන්නේ මෙහෙමයි. ඕකෙ වැදගත් කම සිංහලෙන් අන්තර්ගතය නිපදවනකොට එච්චර නෑ. මොකද අපිට ලියන්න තියෙන වචන ප්‍රමාණය පිළිබඳ සීමා නැති නිසා.

      නමුත් මෘදුකාංග දේශීයකරණයේදී මේක ප්‍රශ්නයක් වෙනවා. දර්ශනය වෙන්න ඉඩ තියෙන්නේ තනි වචනයකට විතරයි නම් වචන කිහිපයක් යෙදුවාම කොටසක් විතරක් දර්ශනය වෙයි. එතකොට හැම දෙයක්ම අවුල් වෙනවා.


      නැවත සැරයක් ලබන මාර්තු වල තියයි. එතකොට අනිවා වරෙන්.