අවලංකම විග්‍රහ කර ගැනීමට උත්සහයක්

අහෝ පේරා!

නිෂ්මිලා බිහි කල නුඹට කුමක් වීද?

කලාව නැවත අර්ථ දැක්වූ සරච්චන්ද්‍රලා පිටව ගොහින් ද?

සියළු විශ්ව ශිල්පයන් දියව ගොසින් ද?

නැතිනම් මේ නුඹගේ අවසාන කාලයද?

ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ අපි ධනාත්මකව කතා කර ඇත්තෙමු. යම් තරමක හෝ (පවතින අර්ථ දැක්වීම වලට පටහැනි) නවක වදයක් පිළිබඳ විශ්වාසය තබා ඇත්තෙමු. ශිෂ්‍ය දේශපාලනය තුල අ.වි.වි.ශි.බ හා මහා ශිෂ්‍ය සංගමය වැනි සංවිධාන වල කාර්යය මතක් කර දීමට උත්සහ කෙරුවෙමු.

නමුත් අපගේ දැක්මන් සියල්ල සුනු විසුනු කරමින් අන්තරය නියෝජනය කරන තවත් කලු පැල්ලමක් අපගේ මතක සටහන් තුලට ඉතිරි කර ඇත. පේරාදෙණිය සරසවියට පිටින් පැමිණි ආගන්තුක සිසුන් පිරිසකට හා පිරිස භාර දේශකයින්ට පහර දීමට අන්තරේ නියෝජිතයින් හා හෙංචයියන් ඉදිරිපත් වී ඇත. මහ රෑ මාකස් පිරිමි නේවාසිකාගාරය තුලට ගැහැණු ළමයින්ද ඇතුළුව ආගන්තුක පිරිස බලෙන් කැඳවාගෙන ගොස් දේශකයින් දණ ගැස්සවීමට ද සිසුන්ට  පහර දීමටද මොවුන් නිර්භීත වී ඇත.

අන්තරය ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරය තුල සැලකිය යුතු ගෞරවයක් ලබා ගත් සංවිධානයකි. ශිෂ්‍ය ව්‍යාපාරයන් දැඩි ලෙස මර්ධනය වන සමයේදී නොබියව ඊට මුහුණ දුන් අන්තරයේ නායකයින් එමට ඇත. ඒ වෙනුවෙන් අනේක වධ විඳ මැරුම් කා ඇත. නමුත් වර්තමානය වන විට අන්තරයම ශිෂ්‍ය ව්‍යාපාරය හෑල්ලුවට ලක් කරමින් සිටී. තව දුරටත් සාධනීය ශිෂ්‍ය දේශපාලනයක් දක්නට නොමැත. ඇත්තේ ඇනුවල් විරෝධතා ව්‍යාපාර සහ කැට ව්‍යාපාර පමණකි. තව දුරටත් දේශපාලනික වූ සිසුන් නොමැත. ඇත්තේ අදේශපාලනික හීනමානකාරයින්ය. සරසවි තුල නිදහස් වාතාවරණයක් නොමැත. ඇත්තේ ඒවාටම ආවේණික අන්දමින් අන්තවාදී වූ දර්ශනයකි.

පේරාදෙණිය සරසවියේ පිහිටීමද එක් අතකින් සුවිශේෂ බව සමහරුන්ගේ මතයයි. හන්තාන කඳුවැටිය පාමුල නිම්නයක සාමාන්‍ය සමාජයෙන් වෙන්ව හුදකලාව පවතින එය ලංකාවේ එකම නේවාසික විශ්ව විද්‍යාලය වේ. ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රතිපාදන වලින් 25%ක්ම වෙන්වන්නේ පේරාදෙණිය සරසවිය වෙනුවෙනි. සරසවියට පැයක පමණ දුර ඇති මාතලේ සිසුන් ද නේවාසිකාගාර සඳහා සුදුසුකම් ලබන අතර උසස් ලෙස පවත්වාගන්නා බවට සාධකයක් වන්නේ වර්ශයකට සැරයක් මුලු සරසවිය පුරාම නැවත තීන්ත ආලේපනයයි (කොළඹ විශ්ව විද්‍යාලයට ආ දවසේ සිට NAT එකේ තීන්ත ගෑ වගක් අපට මතක නැත). ශිෂ්‍ය ජනගහනයෙන් වැඩි කොටස ගම පාදක කොටගෙන සරසවියට පැමිණෙන්නන්ය. පොලීසියට හෝ එවැනි වෙනත් ආයතනයකට ලෙහෙසියෙන් ඇතුළු වීමට වරම් නැති එක් ස්ථානයක් වන්නේද පේරාදෙණිය සරසවියයි.

මහාචාර්ය ශාන්ත කේ හෙන්නායකට අනුව අමානුෂික නවක වදය තවමත් ඉතිරි වී ඇති ලංකාවේ ප්‍රධානතම සරසවියක් වන්නේ පේරාදෙණිය සරසවියයි. ජවිපෙ කැරැල්ලේදී ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල ඉදිරියෙන්ම සිටියේ කොළඹ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයි. කලක් දකුණු ආසියාවේ ඉතාමත් ගුණාත්මකම සරසවියක් වුවත් අද එහි උපාධි පාඨමාලා වල තත්වය අනෙකුත් සරසවි හා සාපේක්ෂව පහල මට්ටමක ඇත. මෙසේ නිගමනයකට පැමිණෙන්නේ උසස් පෙළින් පසු විවධ සරසවි වලින් පිරිනැමෙන උපාධි පාඨමාලා සඳහා ඇති ඉල්ලුම සලකා බලමින්ය.

මෙම සන්දර්භය තුල පේරාදෙණිය අන්තරයේ නියෝජිතයින් යැයි කියන අදේශපාලනික හීනමානකාරී අවලං සත්වයින්ගේ හැසිරීම අපට විග්‍රහ කර ගත හැක. අමානුෂික නවක වදය මගින් සිසුන්ගේ මානසික මට්ටම පහත හෙලමින් ඔවුන් සෙමින් අමනයින් බවට පත් කරයි. අන්තරේ ක්‍රියාකාරීත්වය දැන් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ගමෙන් පැමිණෙන සිසුවා හා හීනමානය යන මූලද්‍රව්‍ය දෙක එකතු කිරීමේ සාර්ථකත්වය මතයි. තවදුරටත් සිසුන් දේශපාලනීකරණය වන්නේ නැත. සිදුවන්නේ ඔවුන් තුල වෛරයේ බීජ පැලකිරීම පමණි. මෙම වෛරය එල්ල වන්නේ ප්‍රධාන වශයෙන් පරිපාලනයට හා අලයින්ටයි. අලයන් වන්නේ මොවුන්ගේ ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම නවක වදයට, සහභාගී නොවන අයයි. තවද නගරයෙන් පැමිණෙනා අය අලයින් වශයෙන් අර්ථ දැක්වීමද බහුලව සිදුවේ. මේ ආකාරයෙන් සරසවිය තුල සීමා මායිම් සලකුණු කෙරෙන අතර ඒවා ආරක්ෂා කිරීමට යොදා ගන්නා මුර බල්ලන් වන්නේ මෙම තෙල බැඳී අමනයින්ය.

මොවුන්ට අනුව සරසවි භුමිය අයත් වන්නේ ඔවුන්ටයි. ඒ තුලට කිසිදු පිටස්තරයෙක් නෑවිත් සිටිය යුතුය. එනවානම් ඔවුන් කියනා ආකාරයට සිටිය යුතුය. රටේම ජනතාවගේ මුදල් වලින් පවත්වාගෙන යන සරසවිය ඔවුනගේ බූදලයක් වන්නේ මේ අර්ථයෙනි. මොවුන් කියනා දෙයට විරුද්ධ වුවහොත් ඒ විරුද්ධ වන්නාට අත්වන්නේ භයානක ඉරණමකි. ඉහත ආගන්තුක සිසු පිරිසද අත් වින්දේ එලෙස විරුද්ධ වීමේ ප්‍රතිවිපාකයි.

සත්‍ය වන්නේ සරසවියෙන් පිටතදී මොවුන් අප අළුයම ලූ කෙළ පිඬක්වත් තරම් වටිනාකමකින් තොර වූවන් පිරිසක් යන්නයි. කල්ලි ගැසී සිටිනා විට මොවුන් ට වඩා කෙනෙකු නොවූවත් තනියෙන් හමු වූ විට කතා කරන්නේ කණට ඇසෙන නෑසෙන ගණනටය. පුද්ගල සන්නිවේදනයෙන් ඉතාමත් අන්ත තත්වයක සිටිනා මොවුන් හට උපන් ගති ගුණ යවා ගැනීමට සරසවිය මදි වී ඇත. සරසවියකින් පිටවිය යුත්තේ විද්‍යාර්ථයින් වුවත් මොවුන් පිටවන්නේ යන්තම් සරිකර ගන්නා උපාධි සහතිකයක් පමණක් තබා ගෙනයි. සරසවි ජීවිතය තුල පොතක් පතක් පරිහරණය කර නොමැති බව මොවුන්ගේ පුස්තකාල පොත් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. මොවුන්ගේ ෆැන්ටසිය තුල ශිෂ්‍ය දේශපාලනය යනු මොවුන්ය. නන්දා මාලනීගේ මාකටින් ගීතයක් වන “හන්තාන අඩවියේ” පපුව උස්සාගෙන උත්සව වලදී ගැයීමම මෙය විද්‍යාමාන කරයි.

මෙවැනි පිරිසක් දේශපාලනය මෙහෙයවනවා යන්නම විහිළුවකි. රට තුල දේශපාලනික තත්වය අස්ථාවර විගෙන යන මොහොතක මේ පුඟුලන් සිතා සිටිනුයේ “වලට” දමා තෙල බෙදමින් පැය දෙකෙන් සිසුන් දේශපාලනීකරණය කල හැකියි බවයි. ආරංචියේ හැටියට ඔවුන්ට කොළඹ සරසවිය අල සරසවියකි. ඔවුන්ට මතක් කර දිය යුතු එකක් ඇත. පශ්චාත් 88-89 කාලය තුල ශිෂ්‍ය දේශපාලනය සාධනීය වශයෙන් දියුණු කිරීමට කොලඹ විශ්ව විද්‍යාලය තුලින් ඉටු වී ඇති මෙහෙවර මිල කල නොහැකි බවයි. අක්‍රීයව පවතින පේරාදෙණියට වඩා පුළුල් ලෙස විවර වූ, හුදකලා වූ පේරාදෙණියට වඩා සමාජය සමඟ ගැටෙන ආකාරයේ දේශපාලනීකරණය වූ සිසුන් පිරිසක් කොළඹ සිටිනා බව කිව යුතුය.

නමුත් අන්තරයට විකුණාගත හැකි තර්කය වන ගම නගරය ගැටුම තුලින් බලනාකල ඔවුන්ට කොළඹ දිස්වන්නේ නගරය නියෝජනය කරනා ඒජන්තයෙක් ලෙසයි. “කොළඹ අල යකෝ” යන වදන් පෙල පෙලගැසෙන්නේ ඒ ආකාරයෙනි.

පිටගම්කාරයෙකු ගමට පැමිණිය විගස ගමේ බල්ලන් රෑන බුරාගෙන පනින්නේ හපා කන්නට මෙනි. සමහර විට ආගන්තුකයා බිය වී හැරී යාමටද පුලුවන. නමුත් ගමේ මිනිසුන් කරන්නේ ආගන්තුක සත්කාරය ඉටු කිරීමයි. මෙය මිනිසා හා සත්වයින්ගේ ප්‍රධාන වෙනසක් බව සමාජ විද්‍යාඥයෝ පවසති. බල්ලන් ක්‍රමලේඛනය කර ඇත්තේ අඩවිය ආක්‍රමණය කරනා ඕනෑම අයෙකුට බුරා පැනීමටයි. නමුත් මිනිසුන්ට ඊට වඩා සීතිමේ හැකියාවක් ඇත.

පේරාදෙණියේ මෙම සුළු පිරිසේ ක්‍රියාවන් අපට සිහිපත් කරන්නේද ඉහත බලු රෑනයි. අවලං බලු රෑන් බිහි කිරීම දේශපාලනිකය යැයි සිතා සිටින දේශකවරුද සිටින බව අප අසා ඇත. විශ්ව විද්‍යාලයක සාමාන්‍යයෙන් සිටිනා මාෂල් වරුද නේවාසික ආචාර්ය වරුද මෙම සිසුන් පිරිස වදයට ලක් කෙරෙන තෙක් කා සමග බුදිය ගත්තා දැයි අප නොදනී. නමුත් එයින් ගම්‍ය වන එක් දෙයක් ඇත. ඒ සරසවියේ පාලනය බල්ලන්ට ගොස් ඇති බවයි.

ඒ කෙසේ වෙතත් අප හට ඇත්තේ එක් දුකක් පමණි. ඒ පරමාදර්ශී විය යුතු සරසවියක් මෙවැනි තත්වයකට පත්වීම පිළිබඳවයි.

පේරා, අපි ඔබ නැවත නැගිටින තෙක් උපේක්ෂාවෙන් බලා සිටිමු.

13 thoughts on “අවලංකම විග්‍රහ කර ගැනීමට උත්සහයක්

  1. කොළඹ කොළඹ ම ද?

    මා දන්න අයුරින් ශ්‍රි ලන්කාවේ මූලිකම බහු ආගමික, බහු සන්ස්කෘතික විශ්ව විද්යාලය කොළඹ සරසවියයි. බොහො දෙනා සිතන්නේ අපි සරසවියේ සිටින්නේ කුරුදුවත්තේ සිටින, ලෙයක් කදුලක් නොදනෙන සල්ලිකාර අප්පොච්චලගේ දරුවන් බවයි.
    එලෙස සිතන ගන්ධබ්බයින් ගැන අනුකම්පා වීම හැර කුමක් කරමුද??

  2. තමන් සිටින තැන තමන්ගේ කියා සිතෙන එක සාධාරණය. එහෙත් ඒ අයිතිය ඒ තැනේ සුභ සිද්ධිය සඳහා පමණයක් යෙදවිය යුතුය. අපිද අපි ඉගන ගන්නා කන බොන විනෝද වන කොටින්ම අපිට ගෙදර වැනි UCSC එකට ආදරය කරමු. එය අපේ තැනකි. එහෙත් අනන්ත පිට අය එතනට පැමිණෙති. යති. ඔවුන් පාඩුවේ පැමිණ ඔවුන්ගේ වැඩක් කරගෙන ගියාට අපට කම් නැත. එහෙත් අප ආදරයෙක් ආරක්ෂා කරන අප ගොඩනැගිල්ලකට පයක් තැබුවහොත්, අපි වාඩි වී කන බොන පුටුවක් පෙරලා කැඩුවහොත් එයට විරුද්ධව අපි අනිවාර්යෙන් නැගී සිටිමු. ඒ කියා තමන්ගේ ප්‍රදේශයට පැමිණෙන ආගන්තුකටයින්ට තමන්ට වෙන අයට පෙන්විය නොහැකි පොරත්වයක් මවා පේනවා වීරයන් වීමට උත්සාහ කිරීම මානසික රෝගී බවක් පෙන්නුම් කිරීමක් පමණමය. සරසවි ශිෂ්‍ය සංගම් සරසවි වල යහපත සඳහාම විය යුතුයි. නැතිනම් සරසවිය ඔවුන් සමග නැති වී යන තැනට වැඩ සැලසෙනු ඇත.

  3. You should have gone to Police? Do you have photos, audio video evidence. Then you should publish them to see the nature of these JVP agents. These JVPers are destroying our universities and our country.

    And do a complain to UoC through the lecturers who were with them. Don’t let them escape only by publishing blog articles.

  4. අයිය මමත් පේරාදෙණියෙ.. හැබැයි කැම්පස් නං නෙවෙයි.. මම පේරාදෙණියෙ කැම්පස් එවුන්ගෙ වැඩ හොඳට දන්නවා.. මොකද මම පොඩි කාලෙ ඉදන්ම ජීවත් වෙන්නෙ මෙහෙ නිසා.. ඕකුන් ඔහොම දෙයක් නොකලොත් තමයි පුදුම.. මොකද ගිය පාර ආපු අයට දීල තිබ්බ රැග් එකේ හැටියට මේව උන්ට සිම්පල්. අයිය ගේ කතාවට මම එකඟයි. මුන් කැම්පස් මායිමෙන් දශමයක් එලියට ගියාම කැම්පස් පාට් නෑ.. වීරකම් නෑ.. පූස් පැටවු වගේ.. දුකේ බෑ …

  5. kanagatudaayaka siduweemak.peradeniye ha wenath godak campus wala me eliyata enne lankawe nodiyunu (gothrika?)sanskruthika lakshana.eka sanvidhanekata laghu karawata wada tikak pulul widihata balanna mama kemathiy.anith vishwa vidyalawalata wada sapekshawa nidahas parisarayak thibunath colombo vishwa vidyaleth me wage nodiyunu bhavithaavan shishyan athara oni tharam dakinna puluwan.
    mewa nawaththanan peramuna ganna inna shishya nayakayo kiyana aya gena obe vivechanaya hari.NIshmilage ho a parapure anith ayage deshapalanika hesireema me thula kohethma nehe

  6. ඔබේ බලු රෑනෙ කතාව තමා මෙතැන නියමම උපමාව.තරහට වඩා ඇතිවෙන්නෙ පුදුම දුකක්.

  7. පේරා පෙනෙන ලස්සන අතුලෙ නෑ කියන අමුතුවෙන් කියන්න දෙයක් නෙවේ මේ සිද්දිය එකේ එක් අවස්තවක් විතරයි සමහර රෑග් වීරයෝ ඉන්නවා අලයන්ට අතුලේ නෙලලා අම්මලා කෑම්පස් එක්කගෙන ඈවිල්ලා හවස ගෙදර යන අය, වෙන එකක් තියා ගලහ හන්දියෙන් අඩියක් එලියට තියන්න බය නරි තමයි වඩිපුර ඉන්නේ උන්ට ලොකු විශ්වාසයක් තියෙනවා මචන් කවදාවත් පේරා ඈතුලට අවිල්ලා ගහලා යන් නෑ කියලා ඒකයි මෙ ගොන් පාට් දාන්නේ හබෑයි මචන් මේවා කරන්නේ ඔක්කොම වගේ පිටින් ඈතුලට ඈවිත් තෙල් කාපු එවුන් ඒකයි සබෑ තත්වය.

  8. “උපන් ගති ගුණ යවා ගැනීමට සරසවිය මදි වී ඇත”
    සහෝදරයා…මේ කීම ගැන නම් ටිකක් හිතන්න ඕනෙ..මොකද පේරාදෙණියේ දැන් තියෙන අමන රැග් සම්ප්‍රදායට අනුව එහෙට යන ගොඩක් අහින්සක දෙමපියන්ගේ දරුවන්ගේ “අහින්සක” ගති නැත්තටම නැති වෙලා ගිහින් එළියට එන්නෙ “පේරා” නාමයෙන් ඔලුව උදුම්මවා ගත්තු පුහු මාන්නයෙන් ඉදිමෙච්චි මෙලෝ රහලට නැති උන්ටත් නැති රටටත් නැති පිරිසක්..සුලු පිරිසක් මේ නින්දිත රැගෙන් අයින් වෙලා “තමන්ගෙ පාඩුවේ” හිටියත් බහුතරය තමන් අත්විදපු රැගෙන් ලබපු මානසික පීඩනය පිට කරවා ගන්නෙ තවත් අහින්සකයන් පිරිසක් මතින්..ඕක දිගින් දිගට යන චක්‍රයක් වගේ..ඒත් පුදුමේ කියන්නෙ මේ රැගත් කිසිම තෙරුමකට නැති …චම්පුස්… එකේ විතරක් ඉන්නකල් කරන දේශපාලනයටත් යට වෙච්ච උන් කියන්නෙ “මේකෙන් තමයි ලෝකෙට බය නැතිව මුහුණ දෙන හැනෑ මිනිහෙක් හැදෙන්නෙ…කාටවත් ඔලුව නොනමා පේරා අභිමානය රැක ගෙන ඉන්න පුරුදු වෙන්නෙ” කියලයි..තමන්ගෙ ආගන්තුකයන්ට මේ විදියට සලකන අයගේ “අභිමානය” ගැන තවත් වරක් හිතන්න වෙනවා නේද..? අපිට නම් හරී…. හිනා…

  9. අයිවර් ජෙනින්ග්ස් ගෙයි අයිවෝ ඩෙනිස් ගෙයි වෙනස නොදන්න හැත්ත… වෙන මොකක් දනියිද? ඕකෙ තියෙන පුස්තකාලේ තට්ටු හයක තියෙන පොත් වල දූවිලි. ඉන්න කාලකණ්නියන්ට ඉංගිරිසි කියවන්න බැරි නිසා. කියවන්න උනන්දු කලාම හිතන්නෙ උන්ගෙ මතවාදෙට කෙලින්න එනවා කියලා.

  10. Pingback: මරණ දෙකක් ඇති සිසුවා | The University Student Trapped In Between – Out In The Open

  11. ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල – [සුපුන් පෙරේරා]

    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *