කොලරා කාලේ ආලේ – ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්

මේ ගැහැණු අතරින් ඔහු වැඩියෙන්ම ආලය කළ, එහෙත් අඩුවෙන්ම ඇසුරු කළ ගැහැණිය වූයේ ඇන්ජලීස් අල්ෆාරෝ ය. තත් භාණ්ඩ වාදනය උගැන්වීමට සංගීත පාසලට මාස හයකට ආ ඈ, සඳ ඇති රෑ කාල වල ඇගේ නිවසේ වහළට නැගී උපන් දා නිරුවතින් ඔහු හා රැය පහන් කලාය.  එවිට සිය රවිකිඤ්ඤය ගෙන ඇය වැයූ සුමධුර වාද්‍ය වෘන්දය, ඇගේ රන්වන් දෙකළවා අතරින් නික්මෙන මිනිස් රාවයකට පෙරැළිණ. දෙදෙනා හමු වූ මුල් දා රෑ සඳ එළියේ ඔවුන් පෑ ඒ ආධුනික ආලයේ විස්මිත බිහිසුණුකම තුල දෙදෙනාගේ හදවත් තැලී පොඩි වී ගියේය. එහෙත් ඈ ආ පරිදිම, ඊට මාස හයකට පසු ආපසු ගියාය. ඒ සමඟ ඇගේ ළඳ බොළඳ කාමයත්, පව්කාරයාගේ රවිකිඤ්ඤයත් ඈ රැගෙන ගියාය. ඇය ගිය නැවේ ලෙළ දුන්නේ විස්මෘතියේ ධජයයි. සඳ කැන් වැතිරුණු මහල් පියසි මත ඉන් පසු ඉතිරි වුණේ, ක්‍ෂිතිජයේ වසා ඇති දුක්බර හුදෙකලා කොබෙයියෙකුගේ ස් ලෙළදෙන, සුදු ලේන්සුවක් පමණි. ඇය හරියට, කවි සංගායනාවක එක ශ්ලෝකයක් බඳු විය. ඊට පෙර බොහෝ අවස්ථාවල අත්විඳ තිබුනද එතෙක් තේරුම් ගෙන නොසිටි යමක්, අවසානයේදී ෆ්ලොරෙන්තිනෝ අරීසා වටහා ගත්තේ ඇයගෙනි: කෙනෙකුට කිහිප දෙනෙකු සමඟ එකවර ආලයෙන් වෙළිය හැක. ඒ එකිනෙකාගේ දුක, වේදනාව තමන් සතු කර ගත හැක. එහිදී ඉන් එකෙකු හෝ පාවාදීමක් අවශ්‍ය නොකෙරේ. එදා ඈ සමුගන්නා මොහොතේ නැව් අංගනයේ සෙනඟ මැද තනි වී ඔහු කෝපයෙන් තමාටම බැණ ගත්තේය.

“මගේ හදවතේ තියෙන කාමර ගණන වේස ගෙදරකවත් නැහැ”

ඇගේ විප්‍රයෝගයෙන් ඔහු එදා කඳුලු සැලුවේය. එහෙත් ක්‍ෂිතිජයේ එපිටට නැව නොපෙනී යනවාත් සමඟම, ඔහුගේ සමස්ත අවකාශය හරහා නැවත අරක් ගත්තේ ෆර්මිනා දාසාගේ මතකයයි.

(407, කොලරා කාලේ ආලේ – ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *