එහිතට ඇමතුවෙමි

සාමාන්‍යයෙන් ප්‍රේම කතා පුරාම බූතයෙක් වගේ දුක තියෙනව. හැම වෙලාවෙම එක්කො කෙල්ල දුකින්. නැත්තං කොල්ල පිරිමියෙක් විදියට දුකින්. සමහර ටෙලිනාට්‍ය චිත්‍රපටිවල කොල්ල නපුංසකයෙක් විදියට දුකින් (එහෙම වෙලාවට තමයි අර “වෙහෙරහේන විහාරයේ උඩ මලුවට එඤ්ඤං“ වගේ ලවු සින්දු යන්නෙ). ඒත් මේ වාණිජව හරි නැතිව හරි රොමාන්තිකකරණය වුන රොමාන්තිකයෙ රචකයන්ට මිස් වෙන එකම එක දෙයක් තියෙනව.

ඒ ප්‍රේමයේ ප්‍රැක්ටිකැලිටි, නැත්තං ප්‍රායෝගිකත්වය. අපි වටේ පිටේ අහන ප්‍රේම වෘත්තාන්ත වල කොල්ලා හදවතින්ම එක කෙල්ලෙක්ට ආදරේ කරනව. ඒ ආදරේ වෙනුවෙන් මිනීත් මරණව. නැත්තං කොල්ල කෙල්ල මාරු වෙලා ඒ ප්ලොට් එකම යනව. චිත්‍රපටියක්නං අම්මල තාත්තල මුලින් අකමැති වෙලා අනේ තමන්ගෙ කොල්ල කෙල්ල නේද කියල පපුව හෝස් ගාලා ගිහින් පස්සෙ කැමති වෙනව. අන්තිම සීන් එක කොල්ලයි කෙල්ලයි පන්සල් ගිහින් අම්මට තාත්තට හෙම වැඳල හිනා වෙලා එලියට බහින එක.

ඒත් මේ රචනා අස්සෙ නැති වෙන්නෙ කොල්ලයි කෙල්ලයි බීච් එකට ගිහින් තදින් වැලඳගෙන තොල් පටලවගන්න එක. නැත්තං ෆිල්ම් එකක් බලන්න ගිහින් බොක්ස් එකට රිංගල කොණ්ඩ, ටීෂර්ට් අවුල් කර ගන්න එක. ඒ මුල් කාලෙ. පස්සෙ පස්සෙ ගඟෙන් අනිත් පැත්තෙ තියෙන තණකොල සරුසාරෙට පේන්න පටන් ගන්න එක. කන්කරච්චල නීති රීති මැදට පනින එක.

අපි ලව් කරන්න පටන් ගන්න පරමාදර්ශ ගන්නෙ වටින් පිටින්. ඒ කාලෙ නං සෙන්ට්‍රල් එකේ ලොකු එවුන් අක්කලට මදිවට අපේ පන්ති වල කෙල්ලොන්ටත් සූ සූ ගාපු ඒවා. පස්සෙ වෙද්දි අපේ ලෝකෙ වෙන්නෙ ටීවී රේඩියෝ පොත් පත්.

හැබැයි මේ මාධ්‍ය අස්සෙ ඉන්න ප්‍රේමාන්විත චරිත හෙන ෆ්ලැට්. උන් ලව් කලොත් ලව් කලා. බූට් කෑවොත් බූට් කෑවා. එච්චරයි. හරියට ස්විච් එකක් දැම්ම වගේ. උන් ඇඳුම් කඩ වල ඉස්සරහ ඉන්න පඹයො. එක ඉරියව්වකට ඇඹෙව්වාම ආයෙ වෙන එකෙක්ම ඇවිත් වෙනස් කරනකං එහෙමමයි. සැබෑ ලෝකෙ මේ ෆ්ලැට් ගතියට හුරු වෙලා ප්‍රේම කරන්න යන එවුන් ලොකු කට්ටක් කනව. ලව් එක පටන් ගත්තට වැඩේ ඉවර වෙන්නැති නිසා.

මාධ්‍ය ඇතුලෙ දම්පාට රෝස පාට ඇඳල නටන උන්ගෙ ප්‍රේම කතා වර්ණවත් සේයා පට වල, නැත්තං වර්ණවත් සංගීත එක්ක අච්චාරු කරල එවන්නෙ ඒවගෙ තියෙන “ප්‍රේමය“ කියන කතාව විතරක් ගත්තම පට්ට බෝරිං නිසා. වැඩි දෙයක් නෑ. දැක්කා. ලව් කරන්න පටං ගත්ත. එච්චරයි (සමහර විට සැබෑම හැකියාව එච්චර බෝරිං කතාවක් මෙගා ටෙලියකට දිග ඇරල දාන එක වෙන්නත් පුලුවන්). හරියටම කඩවල් වල තියෙන පාට පාට කඩදාසි වගේ. නිල් කඩදාසියක් නිකං ආසාවට පාට බලන්න ගන්නව වෙන්න පුලුවන්. ඇති වැඩක් නෑ. අඩුම ගානෙ ලව් ලෙටර් එකක් ලියන්නවත් හරිහමං පාටක් නෙමෙයි.

අපේ පරම්පරාවට වගේම අනාගත පරම්පරා වලටත් ප්‍රේම වෘත්තාන්ත වල පරමාදර්ශ වෙන මේ ප්‍රේම “පැකේජ්“ ඇතුලෙ  දෙයියනේ කියල නිදහසේ ආදරේ කිරිල්ලක් කවදාවත් වෙන්නෙ නැහැ. ඒවා සදාචාරවාදීව ෆ්ලැට් එකේ එකම අත්තක් දිගේ සිද්දවෙන ප්‍රේම කතා.

මේ කතා වලින් ප්‍රේමය සම්පූර්ණ කර ගන්න බැරි වුනාම ඒ හිස් තැනට බොහෝ වෙලාවට එන්නෙ ඇල්කොහොල්. ආණ්ඩුව කොච්චර ගාණ වැඩි කලත් බියර් වෙලඳාම ගැන බය වෙන්න දෙයක් නැත්තෙත් මේ නිසාද මන්ද.

අම්මප “එහිතට“ අමතනව කියල ගත්තත් කාට කොහොම අමතගෙන ගියාද කියල මටවත් දැන් තේරෙන්නෙ නැහැ. පොඩි ප්‍රශ්නයක් වුනත් සමහර වෙලාවට ලොකු පැතිරුණ ප්‍රශ්නයක අතුරු ඵලයක් වෙන්නත් පුලුවන්නෙ. සමහර විට මේ ඇමතුවෙ ඒ පැතිරුණ පිලිලයට වෙන්න පුලුවන්.

5 thoughts on “එහිතට ඇමතුවෙමි

  1. කතා දෙකක් නෑ… එකම කතාව ‍අවුරුදු ගණන් අදින එකම තමා ටැලන්ට් එක! ඕකෙදි ඔය කියපු ෆ්ලැට් කතාව සහතික ඇත්ත. මම හිතන්නෙ පරණ සිංහල චිත්‍රපටිවල ඔයිට වඩා ආදරේ කියන එකට ඩෙප්ත් එකක් තිබුණා. දැන් ඒක ෆේඩ් වෙලා… විකල්ප නෑ… ඒ හිස්තැන්වලට ඇල්කොහොල් ආදේශ වෙන්නෙත් නෑ… දැන් ඒ තැන් වලට එන්නෙ කිණිස්සක්, කඹයක් වගේ ඒව!

  2. තාම තේරෙන්නේ නෑ කොතනද මේ මෙගාවලට වැරදුනේ කියලා. කොහෙමත් ඕක යන විදිහක් තියෙනවා. හැමෝම ඒ ෆ්රේම් එක ඇතුලෙන් ගොඩ යන්න ඕනි. මිනිස්සුන්ට කැමති විදිහනේ බං. ඔය පෙට්ටිය ඇතුලේ ඉන්න ප්‍රේමවන්තයාට බහුතරයක් කාන්තාවෝ කැමතියි. ඒක කොහෙත් එහෙමයි..

Return Fire!