නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding

විභාගයෙන් තුනෙන් එකක් ඉවර වුන දවස ඉවර කරන්න යන්නෙ පොඩි බ්ලොග් පෝස්ට් එකකින්. මාස තුනකටත් පස්සෙ ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක නිදිමතෙන් බර වුන හිත ඇතුලෙ ඇති වුන පොඩි මතයක් එලියට දාන්න පාවිච්චි කරන්නම්.

නවීන විද්‍යාව/බටහිර විද්‍යාව වගේ දේවල් වලින් හඳුන්වන විද්‍යාවට බනින එක මේ කාලයේ ලංකාව ඇතුලෙ ෆැෂන් එකක්. තම තමන්ගෙ විකාර මතිමතාන්තර විද්‍යාවෙන් සහමුලින්ම විනාශකරල දාන එක වලක්වන්න හුඟක් අය කරන්නෙ “බටහිර” විද්‍යාව බොරුය, ඒකට කරන්න පුලුවන් දෙයක් නැතය, වගේ වාද බයිලා ටයිප් කරන එක. 1976 දි ගත්ත අපැහැදිලි ඡායාරූප වලින් රාවණ රජ්ජුරුවො අඟහරුත් පාලනය කරා කියල ඔප්පු කරන්න, නාථ දෙයියො හදිස්සියෙම ආසනික් දැක්කා කියල ඔප්පු කරන්න “බටහිර” විද්‍යාව කියන මුව හමට තඩි බාන්න මේ අය කැමතියි. හැබැයි මේ තඩිබෑම කිසිම විද්‍යා සංගමයක්, විද්‍යාඥයෙක් හෝ ඒ මට්ටමේ දැනුමක් තියෙන කෙනෙක් ඉස්සරහ කවුරුවත් කරන්නෙ නැහැ. ඇයි කියල කියන්න ඕනෙ නැහැනෙ.

“බටහිර” විද්‍යාවට තඩිබාන අය ඉදිරිපත් කරන විකල්ප “විද්‍යා” වල පොඩි ගැටළුවක් හැම තිස්සෙම තියෙනව. ඒව හිතළු විතරයි. ඒවා ඔප්පු කරන්න නිපැයුමක්, නිර්මාණයක්, කලින් උපකල්පනය කරන නිරීක්ෂණයක් සත්‍ය වීමක් නැහැ. මම මේ පෝස්ට් එකේදි කරන්නෙ මේ කියන “බටහිර” විද්‍යාව මේ අයගෙ විකල්ප “විද්‍යා” එක්ක පොඩි සැසඳීමක්. කවුද නියම වැඩකරු කියන එක හොයාගන්න.

වැඩකරු කියන්නෙ කවුරු වගේ කෙනෙක්ද?

අපි උසස් පෙළ කරන කාලෙ පාසැලේදි එක විශයයකට ගුරුවරු දෙන්නෙක් හිටියා. සෙල්වා සර් රසායන විද්‍යාව කරපු එක ගුරුවරයෙක්. දොළහ වසරෙ ට්‍රිප් එක යන දවසෙ තමයි අපි මෑන්ගෙ දරු පරපුර දැක්කෙ. එක වසරේ ඉඳන් නමය වසරට යනකන් කොල්ලො කෙල්ලො පඩිපෙළක්. අපි එදා ඉඳන් සෙල්වා සර්ව සීරියස් ගත්තා. අන්න වැඩකරුවො!

ජේ ආර් පී “නයි” සූරියප්පෙරුම මහත්තයත් මේ කතාවට හොඳට එකඟ වෙනව. ලංකාවේ රජකම බාරදෙන්න ඕනෙ හොඳ වැඩකරුවෙකුට කියලයි එතුමත් කියන්නෙ. කොතලාවලලත් ඉතිං ආරංචි හැටියට හොඳ වැඩකරුවො තමයි. හැබැයි ලංකාව තාම Failed State එකක්.

කොහොමෙන් කොහොම හරි සූරියප්පෙරුම මහත්තයගෙ දේශප්‍රේමී ආශිර්වාදයත් එක්ක අපි දැන් පිලිගන්නව වැඩකරුවෙක් වුනේ නැත්තං වැඩක් නෑ කියන එක.

දැන් අපි සංඛ්‍යාලේඛන පැත්තට හැරෙමු. අහල ඇතිනෙ මානව ජනගහන ඉතිහාසයෙ J-curve එක ගැන.

මානව ජනගහන ඉතිහාසයේ J-curve එක (Source: http://www.globalchange.umich.edu/globalchange2/current/lectures/human_pop/human_pop.html)

විද්‍යාවෙ ප්‍රධාන සොයාගැනීම් කිහිපයක් සිදුවෙනව ඔය J පාදය ලඟ. මනුස්සයගේ ස්වාභාවික සතුරන් කිහිප දෙනෙකුට විරුද්ධව වෛද්‍ය විද්‍යාව සටනට බහිනව. පෙනිසිලීන් විශබීජ නාශකයක් විදියට රස්සාව බාර ගන්නව. දරු උපත්, ළදරු සෞඛ්‍යය වගේ සාධක වල ගුණාත්මක භාවය ඉතාමත් ඉක්මනින් ඉහල ගියා. විටමින් වගේ පෝෂක වල බලපෑම ගැන පර්යේෂණ පටන් ගන්නව. මධ්‍යතන යුගයේ මිත්‍යා මත වලට තිබුණ පිලිගැනීම නැත්තටම නැති වෙන තත්වයට ලංවුණා. තව දුරටත් ආරූඪ වීම් තිබුනෙ නැහැ. අපස්මාරයට ප්‍රතිකාර හොයන්න පටන් ගත්තා. ගුවන් ගමන් පටන් ගත්තා. මේ වෙනස කොච්චරද කියනවනම් ලෝක යුද්ධ වලින් මියැදුන සංඛ්‍යා වලින් වත් මේ නැග්ම පසු බහින්නෙ නෑ.

මේ තමයි විද්‍යාවෙ වැඩ.

කෝ මේ විකල්ප “විද්‍යා” වල වැඩ? අර පැතලි රේඛාවද? සූරියප්පෙරුම මහත්තය දැක්කොත් මේ නපුංසක “විද්‍යා” වලට රටේ පැත්ත පලාතක ඉන්න දෙන්නෙ නැහැ.

කෝ නාථ ඒ කාලෙ? කෝ “සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු”? කෝ උපුල්වන්? කෝ සර්වබලධාරී දෙවියො? කෝ ඔය කියන රසදිය ගුවන් යානා?

විද්‍යාව වැඩ පෙන්නල තියෙනව. විකල්ප තමයි තාමත් පුස්!

විද්‍යාව නග්ගල පෙන්නල තියෙනව. විකල්ප තාමත් ෆ්ලැට්!

වැඩි දුර කියවීමට වටිනා ලිපියක් – නලින් ද සිල්වා හඳුනාගැනීම

15 thoughts on “නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding

  1. //“බටහිර” විද්‍යාවට තඩිබාන අය ඉදිරිපත් කරන විකල්ප “විද්‍යා” වල පොඩි ගැටළුවක් හැම තිස්සෙම තියෙනව. ඒව හිතළු විතරයි. ඒවා ඔප්පු කරන්න නිපැයුමක්, නිර්මාණයක්, කලින් උපකල්පනය කරන නිරීක්ෂණයක් සත්‍ය වීමක් නැහැ.//

    විකල්ප “විද්‍යා” ඔප්පු කරන්න වෙන්නෙත් ඔයා ඔය ආවඩන බටහිර විද්‍යාවෙන්ම නම් ඒක හරිම අසාධාරණ විනිශ්චයක් නේද ? විද්‍යාව කියන්නේ සොභාධර්මය මනින්න, නිර්වචනය කරන්න මිනිසා විසින් තනා ගත් මිම්මක් විතරයි. ඒක කාර්මික යුගයේ ඉඳලා නොනවත්වාම නවීකරණය වෙනවා. ඒ වගේ සාපේක්ෂ මිම්මකින් හැම දේම ඔප්පු කරන්න පුළුවන් කියලා ඔය සහෝදරයා හිතනවාද ?

    • //විකල්ප “විද්‍යා” ඔප්පු කරන්න වෙන්නෙත් ඔයා ඔය ආවඩන බටහිර විද්‍යාවෙන්ම නම් ඒක හරිම අසාධාරණ විනිශ්චයක් නේද ?//

      ඒ කියන්නෙ මේ නැවත ඒ ප්‍රථිඵල උත්පාදනය කරල තමන්ගෙ මනෝවිකාර වලට විතරක් මේක සීමා නොවෙනව කියල ඔප්පු කරන්න ඕනෙ නෑ කියන එකද?

      ඔබට වැරදිලා. විද්‍යාව පටන්ගන්නෙ කාර්මික යුගයෙ ඉඳන් නෙමෙයි. ඒක ඊට කලින් ඉඳන් එකතු කරගෙන එන දෙයක්. කාර්මික යුගයෙදි තමයි මිනිසාගේ යහපතට ඒක වැඩිපුරම යොදාගැනෙන්නෙ.

      අනිත් එක ඔය “සංස්කෘතික සාපේක්ෂතාවාදය” වගේ දේවල්නම් මෙතනට එපා. අපි සාපේක්ෂ වශයෙන් පාවිච්චි කරන්නෙ සුද්දගෙ පරිගණකය මිසක් වෙන සෙබ්බඩ විජ්ජාවක් නෙමෙයි.

      මම ආවඩන “බටහිර” විද්‍යාවෙ පිහිට තමයි ඔය විකල්ප විජ්ජා කට්ටිය අසනීප වුනාම, පුතාට මුණුබුරාලට උගන්නගන්න එහෙම හොයන්නෙ. බලි තොවිල්, නාථ දෙයියොන්ගෙ නෙමෙයි.

      • එක මතයම ඔළුව ඇතුලේ තියාගෙන ඒක ඇතුලේ හිරවෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් ඔය රාමුවෙන් එළියට ඇවිල්ලා බලන්න. විද්‍යාව බටහිර එකක් විතරක් නෙවෙයි. පෙරදිග විද්‍යාවකුත් තියෙනවා. ලෝකේ දියුණුවට පත් කරපු හැම දෙයක්ම බටහිරින් හොයා ගත්ත ඒවා නෙවෙයි. විද්‍යාව පුළුල් විශයයක්. ඒක බටහිර පෙරදිග කියලා ලේබල් කරන්න ඕනේ නෑ. විද්‍යාව කාගේ වුනත් ඒකේ කාර්යය වෙන්න ඕනේ මිනිස් පරපුරේ දියුණුව… විද්‍යාව වැරදියි කියලා මම කියලා නෑ.

        සාපේක්ෂ කියන වචනේ මගේ එකක් නෙවේ. ඒකත් ඔයා අදහන බටහිර බුද්ධිමතුන්ගේ මතයක් නේ. හැබැයි ඒක ඊට කලින් බුදු හාමුදුරුවෝ දේශනා කලා. මේ ලෝකේ හැම දෙයක්ම සාපේක්ෂයි සහෝ… රාමුවෙන් එළියට ඇවිත් කල්පනා කරලා බලන්න. සත්‍යය පෙනේවි…ජය !

        • රාමුව කොහෙද තියෙන්නෙ කියල මම මුල සටහනේම කියල ඇති. අපි හැමෝම අනුන්ගේ රාමු දකින්න කලින් තම තමන්ගේ රාමු දිහා බැලුවොත් කොච්චර හොඳද :)

          මට පේන්නේ ඔබතුමා හරියට සටහන කියවල නැහැ. පොඩ්ඩක් ආයෙ කියවල බලන්න හදිස්සි නොවී. විද්‍යාව “බටහිර” කියල ලේබල් කරන්න බැහැ කියලයි මාත් කියන්නෙ. විද්‍යාව කියන්නෙ විද්‍යාව. 1+1=2 වෙන්නෙ ඔක්ස්ෆර්ඩ් වලදි විතරක් නෙමෙයිනෙ. මේ පේන හැටියට ඔබතුමා මගේ වචන උඩ පරිණාමය වෙනවද කොහෙද.

          බුදුහාමුදුරුවො දේශනා කරපු කරුණු ගොඩක් දේවල් ඒ ගැන නොදැනම ඩේවිඩ් හියුම් ප්‍රකාශ කලා. දර්ශනයයි විද්‍යාවයි පටලවගන්න එපා. දාර්ශනිකව වචන හරඹ වලින් නාථ, තෝර් වගේම සර්වබලධාරී දෙවිකෙනෙකුවත් ඔප්පු කරන්නත් නිශ්ප්‍රභා කරන්නත් පුලුවන්.

        • තව පොඩි දෙයක්. ඔබගේ පිලිතුර ආපහු කියවද්දියි මට මේක මතක් වුනේ.

          //එක මතයම ඔළුව ඇතුලේ තියාගෙන ඒක ඇතුලේ හිරවෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් ඔය රාමුවෙන් එළියට ඇවිල්ලා බලන්න.//

          මේක තමයි විද්‍යාවේ මූලිකම සංකල්පය. දැනුම අලුත් වෙන එක. අවුරුදු ගාණක් පැරණි පොතක තිබ්බ පලියටවත්, ගලක කොටල තිබ්බ පලියටවත් නැත්තං කටින් කට ආපු පලියටවත් පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමය අනුමත කරන්නේ නැහැ. එක මතයම ඔලුවෙ තියාගෙන ඉන්නේ ඔය විකල්ප විජ්ජා කට්ටියම විතරයි. ලෝකෙ අනිත් අය ඉස්සරහට යනව.

        • ‘විකල්ප විද්‍යාවන්’ (එවැනි දේ තිබේනම්) බටහිර විද්‍යාවෙන් ඔප්පු කළ යුතු නොවේ. විකල්ප විද්‍යාවන් ඒවාට ආවේණික ක්‍රම වලට ඔප්පු කළ හැකිය. වැදගත් ක්‍රමය නොව ඔප්පු කිරීමයි.

          උදාහරණයක් හැටියට රජරට ළිං ජලයේ ආසනික් තිබුණු බව නාථ දෙවියන් කියන බව මහාචාර්ය නලින් ද සිල්වා කියයි. සම්පූර්ණ විවෘත මනසින් සිතමු. මෙය ඇත්තක්ද බොරුවක්ද දන්නේ කොහොමද? ඊට බටහිර විද්‍යාවේ එන පරීක්ෂණ කළ යුතු නැත.

          මහචාර්ය නලින් ද සිල්වා කළ යුත්තේ අපේ රටේ කවර හෝ නාථ දේවාලයකදී (එවැනි තැන් ගණනාවක් තිබේ.) අදාළ පිරිස රැස් කරවා නාථ දෙවියන්ගෙන්ම මෙය දැන ගත්තාය ඔප්පු කිරීමයි. දෙවියන් හා නරයින් අතර සන්නිවේදනය මා දන්නා තරමින් සිදු වන්නේ දෙවියන් හා සන්නිවේදනය කළ හැකි නරයකු හරහාය. මහාචාර්යතුමාට එවැන්නකු සිටී. ඒ ඔහු දෙවියන් හා කතා කරනවාය කියන කාන්තාවය.

          මේ කාන්තාව කියන දේවල් දෙවියන් කියන දේවල්ද, ඇය කියන දේවල්ද දැන ගන්නේ කොහොමද?

          හරිම ලේසිය. මේ කාන්තාව පිළිතුර නොදන්නා ප්‍රශ්නයක් ඇගෙන් ඇසීමය. (උදාහරණයක් හැටියට සීල් කරන ලද ලියුම් කවරයක ඇති හැඳුනුම් පතක අංකය) එහෙමත් නැතිනම් බුද්ධ ධර්මය හා සම්බන්ධ අප්‍රකට සූත්‍රයක පාඨ කිහිපයක්. (නාථ යනු සම්‍යක් දෘෂ්ඨික දෙවියකු නිසා සියළු සූත්‍ර ධර්මයන් දන්නේය උපකල්පනය කළ හැකිය.) මේ කාන්තාව මේ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ නම් මහාචාර්ය තුමාගේ කණ්ඩායම සමඟ නාථ දෙවියන් සන්නිවේදනය කළ බව අපට පිළි ගැනීමට සිදුවේ. මේ ක්‍රමයේ කිසිම බටහිර විද්‍යාවක් නැත.

          ප්‍රශ්නය මහාචාර්ය නලින් ද සිල්වා මෙවැන්නක් සංවිධානය නොකිරීමයි. ඒ ඇයි?

          • /ආසනික් වතුරට එනකං නාථ දෙවියෝ මොකද කලේ?/

            ඒකට නං අපට නිදහසට කාරණාවක් දුන්නෑකි. මොකද නාථ දෙවියො “සර්වබලධාරී” කියල කවුරුත් කියල නෑනෙ. ඔන්න අල්ලාහ් වගේ කෙනක් අතින් ඒ වගේ වරදක් වුණා නම් ඒ ප්‍රශ්නෙ අහන්න තිබුණ. නමුත් එච්චර බලයක් නැති නාථ දෙවියන්ගෙන් එහෙම අහන එක හරි නෑ. කා අතින්ද වැරදි නොවෙන්නෙ? මනුස්ස ලෝකෙ අවුරුදු සීයක් දිවිය ලෝකෙ තප්පරයයිද කොහෙදලුනෙ. ඉතින් ඔය දෙවියන්ට තත්පරයක් මිස් වුණා වෙන්න පුළුවන්.

            හැබැයි වතුරෙ කෘමිනාශක තියෙන බව දැන දැන් ඒ ගැන ක්‍රියා මාර්ගයක් නොගෙන මේ සම්‍යක් දෘෂ්ටික නරයින්ට ඒ වතුරම බොන්න ඉඩ දීල බකං නිලාගෙන ඉන්න එක නම් සම්‍යක් දෘෂ්ටික නාථ දෙවියන්ට සුදුසු නෑ.

  2. මේ පෝස්ට් එකේ පරමාර්ථය නාථ / නලින් / ආසනික් කියලා දන්නව නම් මම මේ මඩ වලේ බහින්නෙත් නෑ. නලින්ද සිල්වා මහාචාර්ය තුමා විහින් නාගත්ත එක හැමෝම දන්න එකේ තවත් ඒක ගැන වාද ඕනෙ නෑනෙ. ඒ සිද්ධිය අරගෙන බටහිර විද්‍යාවන් එක්ක අනෙකුත් විද්‍යාවන් (විකල්ප විද්‍යා කියන වචනෙට මම විරුද්ධයි. මොකද අනෙක් ඒවා විකල්ප නම් බටහිර විද්‍යාව සම්මතය ද ?) සංසන්දනය කරන එක බොළඳ වැඩක්. නාථ / නලින් / ආසනික් ගැන මඩක් ගහන්න නම් ඔයාට මේ පෝස්ට් එකේ ඒක කෙලින්ම කරන්න තිබුනා විජ්ජාවන් ගාව ගන්නැතුව. කොහොම වුනත් samare කිව්ව විදියට ඒක ඔප්පු කලොත් මමත් නලින් මහත්තයගේ මතය පිලිගන්න කැමතියි. ඒක කරන්නත් බැරි ඔබ පසුව කිව්වා වගේ රටේ මෙච්චර දේවල් වෙනකල් නාථ දෙවියෝ කට පියාන හිටියේ ඇයි කියලා ප්‍රශ්ණයක් මතුවෙන නිසා…!

    නාථ / නලින් / ආසනික් ප්‍රස්තූතය ඉවත් කරලා සංවාදය කලොත් පිළිතුරක් දෙන්නම්.. ජය !

    • නෑ සහෝදරයා. ඒක නෙමෙයි මේ පෝස්ට් එකේ පරමාර්ථය. ඒක මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක් නිසා ඇදිලා ආවා. මේකෙ පරමාර්ථය විද්‍යාව කියන දේට අවිද්‍යාව වෙනුවෙන් නිග්‍රහ කරන එක හෙලා දකින එකයි.

  3. නලින් පහුගිය කාලේ උඩ පැන පැන කියපු
    Paul Feyerabend ගේ Against the method මෙතඩ් බාගන්න පුලුවන්. පොඩ්ඩක් Demonoid එකේ හරි Pirate Bay හරි search කරල බලන්න. දර්ශනය නැතුව විද්‍යාවක් ගැන කතා කරන්නත් බැහැ

  4. බස් එකේ තරම් නැගලා යන්නෙ නෑ වැඩේ.

    මදි මදි .. බ්ලොග් වලට වඩා බ්ස්ස්ස්ස් එක ඉදිරියෙන් Buzz
    හිහ් හිහ්