නවක වදයට තවත් කතා

නවක වදය පිළිබඳ සටහනකදී එහි ඇති දේශපාලනයක් ගැන කියවුන නිසා මෙම සටහන ලියන්නට සිතුනා. එහිදී නවක වදයට හේතුව දේශපාලනික දර්ශන යන්නත් නවක වදය සෑම තැනම ඇති වන්නේ එකම ආකාරයකට බවත් සමාජය සිතා සිටින බවට පෙනී ගියා. ඒ පිළිබඳ මගේ මතයයි මේ.

වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත් මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි.

එනමුත් නවක වදය එතනින් නැවතීම සිදු වුනේ නෑ. පේරාදෙණිය, ජ’පුර ආදී සරසවි වල එය දිගටම පැවතුනා. නමුත් සිසුන් මිය යාමෙන් පසුව අලුත් ආකාරයක නවක වදයක් බිහි වුනා. එහිදි නවක සිසුන්ට ශාරිරික වශයෙන් කිසිදු හිංසාවක් සිදු වෙන්නේ නැහැ. අඩුම තරමේ කවුරුවත් ඉදිරියේ අතින්වත් අල්ලන්නේ නැහැ. කුණුහරපෙන් බැනීමත් අඩු වුනා. පිරිමි සිසුන්ට අප්‍රසිද්ධියේ කුණුහරප ලැබෙන නමුත් සිසුවියන්ට එලෙස වූයේ නැහැ.

දරුණු වදයක් ඇයි?

ragging-in-indiaඑම නවක වදයට පෙර තිබු‍ නවක වදයේ ප්‍රධාන අරමුණ වූයේ ශිෂ්‍ය සංගමයේ බලය අයත් පක්ෂයට පිරිස් එක් රැස් කර ගැනීම. නවක වදය අතරතුර පක්ෂයට වැඩ කිරීමේ වාසි පෙන්වා දීමෙන් මෙය සිදු කෙරුනා. මෙම දේශපාලන පක්ෂ වලින් ප්‍රධාන තැනක් ගන්නේ ජවිපෙ. ඔවුන්ව අනුගමනය කරන්නන් ජෙප්පන් වුනා. ජෙප්පන් සාමාන්‍යයෙන් සමාජවාදීන් ලෙසයි ප්‍රසිද්ධ. නමුත් නවක වදයේදී “බෙදන තෙල් වල” ඇත්තේ සමාජවාදයක් නොවෙයි. කුඩා ප්‍රමාණයේ මොළ සෝදා හැරීමකින් පසුව බෝතල් සාදයක් සහ දිගටම වැඩ කලොත් මෝටර් සයිකලයක් ලබා දීමේ පොරොන්දුවක් පමණයි. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර ඉදිරිපස ඇති මෝටර් සයිකල් තොගය දුටුවොත් මෙම කරුණ වටහා ගන්න පුලුවන්. නේවාසිකාගාරයේ සිට පයින් ගමන් කල හැකි දුරකින් පීඨ පිහිටා තියෙනවනම් බයිසිකල් කුමටද? ඒවා නිසැකවම ජෙප්පන් වීමේ පාරිතෝෂිකයි.

සිසුන් පක්ෂයට නම්මා ගැනීමේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. විරෝධතාවකදී පිරිස් බලය පෙන්වීම එකක්. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වසරක් පාසා සංවිධානය කරන විරෝධතාවය මීට නිදසුනක්. මෙහි ප්‍රධාන අරමුණ එම කාලයේදී ජවිපෙ විසින් රජයට විරුද්ධව නගන චෝදනා කොල්ලුපිටිය හන්දියට ගොස් කෑ ගසා කීමයි (රජයට විරුද්ධව චෝදනා නැගීම වරදක් නොවන අතර එය කරන්නේ සිසුන් නම් අව්‍යාජ ලෙස සිදු විය යුතුයි. මෙතනදී සිදු වන්නේ බලෙන් සිසුන් ලවා විරෝධය පෑමයි.). එයින් බොහෝවේලාවට සිදු වෙන්නේ බලාපොරොත්තු වූ ප්‍රථිපලයට හාත්පසින්ම විරුද්ධ ප්‍රථිපල ලැබීමයි. උදාහරණයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව තිබූ පාගමනින් සිදුවූයේ රටේ බහුතර මතය එයට පාක්ෂික වීම මිස ‍පාගමනින් බලාපොරොත්තු වූ දෙය නොවෙයි.

මෙවැනි පාගමන් වල ඉදිරියෙන්ම ගමන්ගන්නේ නවක සිසුන්. නේවාසිකාගාර වල සිට බලෙන්ම බස් වල පටවාගෙන කොළඹට ගෙනෙන ඔවුන්ව ඉදිරිපසම තබන්නේ “උඹලත් කටු කාලා පුරුදු වෙන්න ඕනේ” යන තර්කය උඩයි. එලෙස පොලිස් ප්‍රහාර වලට බොහෝ විට ගොදුරු වන්නේ පෙළපාලි සංවිධානයට අයත් නැති කොහේවත් යන අහිංසකයින් පිරිසක්. ඉන්පසු නොකා නොබී පාරේ වාඩි වන ඔවුන් හවසට බස් වලට දමාගෙන ගෙනියනවා.

ජවිපෙ ශිෂ්‍ය ව්‍යපාරයට කැට ආධාරයෙන් මුදල් එකතු කිරීමට පිරිස් සොයාගැනීම නවක වදයේ තවත් වාසියක්. එයත් බලෙන්ම නවක සිසුන් මත පටවන “වගකීමක්” වන අතර දවසකට එකතු කල යුතු ටාගට් එකක් දී රටේ ප්‍රදේශ කිහිපයකට ඔවුන් පිටත් කර හරිනවා.පෝස්ටර් ‍ඇලවීමට පිරිස් එකතු කිරීම තවත් වාසියක්.

ජවිපෙ අනුගමනය කරන සමාජවාදයක් හෝ වෙනත් බම්බුවක් නැති බව දැන් කවුරුත් දන්නවා. එලෙසම අන්තරේ හෝ මහ එක හෝ වෙනත් කිසිම ශිෂ්‍ය ව්‍යාපාරයක් අනුගමනය කරන සමාජවාදයක් නැහැ.  අනිත් එක නවක වදයට ලක් වෙන සිසුන් සියල්ල එයට ආසාවෙන් ලක් ‍වන අය නෙවෙයි. නේවාසිකාගාර පහසුකම් වැඩියෙන් ඇති සරසවි වල නේවාසිකාගාර වල සිටීමට අලයෙක්ට හැකි වන්නේ නැහැ. සිටියොත් ගුටි පූජාවක් සමග ඉස්පිරිතාල ඇඳක් හිමි වෙනවා.

පේරාදෙණිය වැනි සරසවි වල දැනුත් පවතින නවක වදයට ලක් වෙන සිසුන් නොයෙකුත් පසුබෑම් වලට ලක් වෙනවා. මේ ගැන අගනා විස්තරයක් මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා විසින් කර තිබෙනවා. නමුත් ඒ ප්‍රථිපල සමාජවාදයක් හෝ එවැනි දේශපාලන දර්ශනයක් නිසා ඇති වන දෙයක් නෙවෙයි. පටු බලලෝභී අරමුණු නිසා ඇති වෙන ප්‍රථිපල. දේශපාලනික දර්ශනයක් අනුගමනය කරන මිනිසුන් දැනුම ප්‍රතික්ෂේප කිරීම අස්වාභාවිකයි. නමුත් නවක වදයේදී මෙය බොහෝ අවස්ථා වලදී සිදුවෙනවා. දකුණු ආසියාවේ උසස්ම පුස්තකාල වලින් එකක් වන පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පුස්තකාලයේ සමහර පොත් කිසිම දිනක කියවා නැහැ. පේරාදණිය ශාස්ත්‍ර පීඨය නවක වදයේ දරුණු ආකාරය තවමත් ක්‍රියාත්මක වන තැනක්. මෙහි භයානකම පැතිකඩ වන්නේ නවක වදය සඳහා සමහර ආචාර්ය වරුන්ගෙනුත් සහාය ලැබීමයි.

නවක වදය වෙනත් ආකාරයකින්

සිසුන් මියයාමෙන් පසුව ඇතිවුනා කී නවක වදයෙන් බොහෝ විට දේශපාලනික අරමුණු ඉවත්ව ගිහින්. ඒ දේශපාලනික තෙලක් වැදීමට සිසුවාගේ මොළය සේදී තිබීම අවශ්‍ය නිසා. මේ සඳහා මනස යොදාගැනීමට නවක වදයට එන ජ්‍යෙෂ්ඨයන්ට බැහැ. ඒ නිසා එවැනි පක්ෂ දේශපාලනය පීඨ වලින් ඉවත් වීමට පටන් අරන්. මෙය තවත් දුරකට ගෙනයමින් කිසිම ආකාරයක දේශපාලනයක් කතා කිරීමට තහනම් කිරීමකුත් සමහර තැන් වලදී දක්නට ලැබෙනවා. ඉන්පසුව පිරිසක් ඉදිරිපිට රටේ ප්‍රශ්නයක් හෝ එවැනි දේශපාලනික කරුණක් කතා කිරීමෙන් ඔහු/ඇය ජෙප්පෙක් වී සිසුන්ගේ ප්‍රතිරෝධයට හසු වෙනවා. මගේ අදහසට අනුව දේශපාලනය කතා කිරීමට තහනම් කිරීම තරම් කුහක කමක් තවත් නැහැ. බාල මානසිකත්ව ඇතිකිරීමට එය හේතු වෙනවා. සිසුන් දේශපාලනය කල යුතුයි. නමුත් කිසිම දේශපාලනය බලෙන් පැටවිය යුතු නැහැ. එය තහනම් කල යුතු නැහැ.

පසුව ඇතිවූ නවක වදයේ බොහෝ විට සිදුවන ප්‍රචන්ඩතම ක්‍රියාව වන්නේ නවක සිසුන් පිරිසටම අහේතුකව බැනීමයි. කුණුහරප භාවිතා නොකර මෙය සිදු වෙනවා. මෙම නවක වදයේ ප්‍රධාන අරමුණු ලෙස සලකන්නේ නවක සිසුන් හා සුහදතාවය ඇතිකර ගැනීම, නවක සිසුන් පීඨයේ පරිසරයට හුරුකරවීම, සහ ජ්‍යෙෂ්ඨයින් වෙත අවනත කර ගැනීම යන කරුණුයි. මෙයින් පළමුවැන්න පුස්සක් වන්නේ නවක වදය අවසාන වී සතියකින් පසුව ඔවුන් පරණ පුරුදු තත්වයට පත්වීම නිසයි. ඔවුන් හා සුහද වීම නවක වදයෙන් සිදු වන්නේ නැහැ. පීඨ පරිසරයට හුරු වීමත් නවක වදයෙන් සිදුවන්නේ නැහැ. එය පීඨය සඳහා හැඟීමකින් කටයුතු කරන්නන් අතරේ ඉබේම වර්ධනය වෙනවා. නමුත් ජ්‍යෙෂ්ඨයින්ට අවනත වීම නම් සිදුවීම අනිවාර්යයි.

අවනත භාවය කිසියම් ප්‍රමාණයකට තිබිය යුතුයි. සමාජයක පැවැත්මටත් එය අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රශ්නය වන්නේ ජ්‍යෙෂ්ඨයා කවුද යන්න අර්ථකථනය කිරීමයි. නවකයින්ට පළමුව සරසවියට ආ පළියට ජ්‍යෙෂ්ඨයින් නොවන බව මම අත් දැක තිබෙනවා. සැබෑ ලෙසම ජ්‍යෙෂ්ඨයෙක් වන්නේ නවක සිසුන්ට වඩා නුවණැතිව වැඩ කිරීමට හැකි පුද්ගලයෙක්. පසුගිය කාලයේ සිදු වුන සිදුවීම් දුටු විට එවැනි පිරිස් සිටින්නේ ඉතා අඩුවෙන් බව පෙනී ගොස් තිබෙනවා. හැම නවකයෙක්ම තමන්ට වැඳගෙන තබාගැනීමට කැමති පුස් “ජ්‍යෙෂ්ඨයින්” ඕනෑම පීඨයකින් සොයාගත හැකියි.

මෙම නවක වදය අතරතුර සිදු වන්නේ නවක සිසුන් අපහසුවට පත්කිරීමම නොවේ. ඉතාම ධනාත්මක ආකාරයකදී එය සිසුන්ට ආධාර කිරීමේ ක්‍රමයක්ද වෙනවා. අදාල කාලය අතරතුර නවක සිසුන් සඳහා workshop පැවැත්වීම, නවක සිසුන් සඳහා වාස්සථාන සොයා දීම වැනි දේත් සිදු වෙනවා. නවක සිසුන් හා ජ්‍යෙෂ්ඨයින් අතර සුහදතාවයක් ඇති වන්නේ එවැනි ක්‍රියා අතරිනුයි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින නවක වදයේ මුහුණතයි මේ. තවමත් දරුණු ආකාරයේ නවක වදයන් පවතින අතරතුර වෙනත් ආකාරයන්හි නවක වදයනුත් පවතිනවා. නමුත් ඒ කිසිම ක්‍රියාවකට දේශපාලනික දර්ශනයක් අදාල වෙන්නේ නැහැ.

සරසවියට අලුතින් පැමිණෙන සිසුන් හා ජ්‍යෙෂ්ඨයින් එකතු වී කිසියම් හෝ ක්‍රියාකාරකමක් සිදු විය යුතුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අලයෙන් බිහිවීම එයින් වලක්වා ගන්න පුලුවන්. නමුත් එයට ප්‍රචණ්ඩත්වයක් එකතු විය යුතු නැහැ.

කියවන්න :

රැග ලිංගික වදයක් සේ | Ragging as a Sexual Harassment

නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව

The Fundamental Threat to Sri Lankan University Education

(පින්තූරයේ දැක්වෙන්නේ ඉන්දියාවේ නවක වදය පිළිබඳවයි.)

15 thoughts on “නවක වදයට තවත් කතා

  1. දැන් උබලගෙ ඔය UCSC එකේ ඔය මොනම ආකාරයක රැග් එකක්වත් නැද්ද?අඩු ගානෙ අලුතින් එන අයට බනින එකවත්?ඒක රැග් එක නෙවෙයිද?ඔබ ඔය බනින එකට සහභාගි වෙලා හරි නැද්ද?

  2. ඇඳගෙන පැමිණෙන කමිසයේ බොත්තම් ගැලවෙන තුරු පහර දෙන, උදේ හයේ සිට සවස හත වන තුරු එක ගොඩේ දමා කුණුහරප දෙසාබාන, කෙල්ලන් ලවා කුණුහරප කියවමින් ආතල් හිතින් ගන්න, රැගට එන්නැති එවුන්ගේ අඩු කඩන, තමා සමග ඊළඟ සාමාසිකය ගත කිරීමට අකමැති නම් අල වෙන ලෙස නියෝග කරන නවක වද වලට වඩා UCSC ඇති රැග් එක ගැන ඔබට කැක්කුමක් ඇති වී ඇත.

    ඔබ අසා ඇති ප්‍රශ්නයේ සහ මෙම සටහනේ අදාලත්වය ප්‍රකාශ කලොත් පමණක් ඔබට පිළිතුරු දෙමි. ඒ එසේ නැති වුනොත් ප්‍රශ්න මඟ හැරියා කියමින් බ්ලොග් ලිවිය හැකි නිසාය. එසේ නැතිව දෙවියන්ට අධෝවාත පිටවුන සැටියේ වෙවුලා ගහෙන් වැටෙන පුස් පොල් ගෙඩි ලෙස එහෙන් මෙහෙන් මතු වන ප්‍රසන්නලාගේ, උපුල්ලාගේ කන්නලව් වලට පිළිතුරු දීමට මා බැඳී නැත.

  3. ඔබ විසින් කිසියම් ආවේගශිලී ආකාරයෙන් මෙම ලිපිය ලිවීම මැදහත් විචාරයකට බාධාවක් වේ දෝ යැයි සැකයක් තිබේ. කෙසේ වුවත් පහත කරුණු ඔබේ අවධානයට ලක්කිරීමට කැමතියි
    1 නවක වදය ජවිපෙ බලයට ඒමට පෙර සිටම සිදුවූවක් බව,
    2 මෝටර් සයිකල් කතාව කුමක්ද? එහි පිටුපස ඇති සත්‍ය කුමක්ද? මන්ද කැට වලින් සල්ලි උපයන්නේ මෝටර් සයිකල් ගැනීමටද?
    3 රැග් එක මිලිටරි පුහුණුවක් බවට පත්වූයේ 71 හා 89 පැවති කැරළි වලින් අනතුරුවය. මන්ද ඒ කාලයේ වි වි ශිෂය්‍යා යනු කැරලිකරුවෙකුද වූ බැවිනි. නමුත් රැග් එකේ එම ලක්ෂන තවමත් ඉවත් වි නැත.
    4 රැග් එකකට මුහුණදුන් පිරිසක් හා මුහුණ නොදුන් පිරිස අතර වෙනසක් තිබේද?

  4. පාලිත,

    1)නවක වදය ජවිපෙ කරලියට එන්න කලින් ඇති වූවක් බව ඇත්ත. නවක වදය මුලින්ම පටන් ගන්නේ යුරෝපයේ සහ ඇමෙරිකාවේ. එවකට සාහිත්‍යයෙනුත් සාක්ෂි සොයාගන්න පුලුවන්. ඒ නවක වදය ප්‍රධාන වශයෙන් තිබුනේ වෛද්‍ය හා ඉන්ජිනේරු විශයයන් වලට අදාල ස්ථාන වල. යුධ සමයේ යුධ පෙරමුණට යන වෛද්‍ය වරුන්ට සහ ඉන්ජිනේරුවන්ට හමුදා පුහුණුවක් සාමාන්‍ය ලෙස ලබා දීම එම නවක වදයේ අරමුණක් වුනා.
    බටහිරයන්ගෙන් අපට උරුම වුන උසස් උධ්‍යාපන ක්‍රමයේදීත් නවක වදය තිබුනා. නමුත් එතනට අර මුල් අරමුණ වැදගත් වූයේ නැහැ. එම නිසා එහි එතරම් රළු භාවයක් තිබුනේ නැහැ. නිකන් කොපි කිරීමක් පමණයි.
    නමුත් ජවිපෙ පැමිණියාට පසු එම තත්වය වෙනස් වුනා. ජවිපෙ අනුගමනය කල ක්‍රියාමාර්ග වලට ශිෂ්‍ය ව්‍යාපාර වල සහය විශාල වශයෙන් අවශ්‍ය වුනා. 71 සහ 89 කාල තුලදී රටේ පැවතුන විප්ලවකාරී මානසිකත්වය තුලින් එම සහය විරුද්ධත්වයක් නොමැතිව ජවිපෙට ලැබුනා. එයින් නිසි ප්‍රයෝජන නොගැනීම ජවිපෙ වැරැද්ද.
    ජවිපෙට විරුද්ධ දේශපාලනයන් අනුගමනය කල ශිෂ්‍යයනුත් සරසවි වල සිටිය නිසා ඔවුන්ව මැඩ පැවැත්වීමත්, කැරලි මර්ධනයෙන් පසුව ජවිපෙට තිබුන සහය ක්‍රමක්‍රමයෙන් අඩුවූ නිසා බලෙන් හෝ එම සහය ලබා ගැනීම අත්‍යවශ්‍ය වූ නිසාත් දිගටම බලය රැක ගැනීමේ උපක්‍රමයක් අවශ්‍ය වුනා. මෙතනදී නවක වදය නැවතත් භුමිකාවට පැමිණෙනවා. දරුණු නවක වද තුලින් නවක සිසුන් ගේ මානසිකත්වය ප්‍රචන්ඩ මානසිකත්වයට හැරවීම, සෙසු සමාජය කෙරෙහි කල කිරීම ඇතිකරවීම,තෙල හරහා ආචාර්ය සහ සිසු ප්‍රජාව වෙන් කිරීම යනාදී කරුණු සූක්ෂමව ක්‍රියාත්මක කිරීමට ජවිපෙ පෙළඹුනා. මේ සඳහා වැඩි දුර විස්තර වලට The Fundamental Threat to Sri Lankan University Education යන යොමුව කියවීමට හැකි නම් වඩාත් හොඳයි. කෙසේ නමුත් මෙතනදි සිදුවන වැරැද්ද වන්නේ ප්‍රචන්ඩත්වය තුලින් දේශපාලනයක් සිසුවා තුලට බලෙන් කැවීමයි. සමාජය කෙරෙහි කලකිරීම සිසුවෙකුට බලෙන් ඇති කිරීම අනුමත කල නොහැකියි. එවැන්නන් සරසවියෙන් පසුව නැවත සමාජයට මිශ්‍රවීම වලක්වන්නත් බැහැ. තමන්ට කැමති දේශපාලනයක් හේතූ සහිතව තෝරා ගැනීමට සිසුවාට අයිතිය තිබිය යුතුයි. ඒ සරසවිය යනු නිදහසේ පුතිමූර්තය වැනි ස්ථානයක් විය යුතු නිසායි.

    2)ජවිපෙට ආධාරකරන ශිෂ්‍ය සංගම් නායකයින්ට මෝටර් සයිකල් ලැබන බව කවුරුත් දන්නා දෙයක්. එකම කොන්දේසිය වන්නේ ජවිපෙ වැඩ වලට ඔවුන්ගෙන් ලැබෙන ආධාරයයි.
    කැට වලින් උපයන මුදල් මෝටර් සයිකල් සඳහා වැය නොකරන බව සිතිය හැකියි. කැට මුදල් උපයන්නේ ශිෂ්‍යත්ව ලබාදීම, සාහිත්‍ය උළෙල සංවිධානය (පේරාදෙණිය සරසවියේ “මාගේ දේශය අවදි කරනු මැන” උත්සවය උදාහරණයකට) ආදී කරුණු ප්‍රසිද්ද කරමින්. නමුත් ඒවා ප්‍රධාන වශයෙන් පෝස්ටර් සහ අනෙකුත් වැඩ වලට යොදාගන්නා බව පැහැදිලියි. නිවාඩු කාලය තුල ශිෂ්‍යයින් රැස් කර ගැනීම සඳහා අප පෝස්ටරයක් ගැසීමට ගිය විට ඒ සඳහා වැය වුන මුදල් ප්‍රමාණය දුටුවා. සතියක් පාසා අලුතෙන් පෝස්ටර් ගැසීමට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි. මෙහිදී අවධානය යොමු කල යුතු අනෙක් කරුණ වන්නේ කැට මුදල් ශිෂ්‍ය සංගම් මූල්‍ය වාර්තාවලට ඇතුලත් නොකිරීමයි.

    3) ජවිපෙ ප්‍රජාතාන්ත්‍රවාදයට යොමු වූ පසු අවිගත් කැරැල්ලකට නැවත යොමු වීමක් දක්නට නොමැත. එවැනි වෙනස්කමකට සෙසු ජනතාවද සූදානම් නැත. ඉවක් බවක් නැතිව ශිෂ්‍යයන් සටනට යොමු කරවීම හා ඉන්පසුව එල්ල වූ මර්ධන වල ප්‍රථිපල ලෙස සරසවි වල දේශපාලනය දැන් taboo එකකි. සමහර පීඨ වල තවමත් ඇත්තේ පාසැල් වයසේ සිසුන්ය (සිතින් පමණක්). යුධ ප්‍රීතියෙන් පෙළපාළියාමද මේ “හොඳ පුතාලා” බිහි වීමේ ප්‍රථිපලයකි. කෙසේ වෙතත් තවමත් මිලිටරි පුහුණුවක් සිසුන්ට ලබාදීමේ තේරුමක් නැත. ඊට පෙර දේශපාලනය නිසි ආකාරයෙන් ලබා දිය යුතුය.

    4) ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ඇත. ප්‍රචණ්ඩ නවක වදයකට මුහුණ දුන් සිසුවෙකුට මානසික වශයෙන් බොහෝ අහිතකර බලපෑම් එල්ල වේ (මේ ගැන විස්තරයක් සඳහා The Fundamental Threat to Sri Lankan University Education ට යොමු වන්න).
    නැතහොත් දැන් පවතින නවක වද යටතේ එම කාලයෙන් පසුව ටිකින් ටික සිසුන් පරණ ස්වභාවයටම පත් වීම සිදු වේ. කොටින්ම නවක වදය තුලින් ඔහුට අමුතු හිතකර බලපෑමක් එල්ල වී නැත.
    මට සඳහන් කිරීමට නොහැකි වුන අනෙක් කාරණය මෙයයි. නවක වදයේ තවත් අරමුණක් වන්නේ නවක සිසුන් අතර සාමූහිකත්වය නැවත ඇතිකිරීමයි. සියළු දෙනා එකට කට්ට කෑම මගින් මෙය ලබා ගැනීමට බලාපොරොත්තු වේ. නමුත් එය පුස්සක් බව මා අත්දැකීමෙන් දනිමි. ප්‍රචන්ඩ හා ප්‍රචන්ඩ නොවන නවක වද සියල්ලෙන්ම මේ ප්‍රථිපලය ලබා ගත නොහැක. එයට එක්තරා හේතුවක් වන්නේ සරසවි වල දැන් ඇති තරඟකාරී ස්වභාවයයි. විභාග කාල වලදී බැජ් ෆිට් එකේ තරම හොඳින් දැක බලා ගත හැක.

    විචාරයට බාධාවක් කිසිම වේලාවක මගෙන් නැහැ. සංවාදයට විවෘත වන අතරම ඕනෑම ආකාරයක ප්‍රතිචාරයකට ද විවෘතයි. ලිපිය ආවේගශීලිව ලිවීම මගේ අරමුණ නොවුනත් නවක වදයට එරෙහි මතයක් දරමින් මැදහත් බවකින් කරුණු එළි කිරීම අපහසුයි. නමුත් එම සමතුලිත තාවය ඔබ හා අනෙකුත් කියවන්නන් හට ලබා දිය හැකියි. එම නිසා ප්‍රතිචාර ස්තුතිවන්තව භාර ගන්නවා.

  5. සැබැවින්ම ඔබේ බොහෝ අදහස් සමග මාගේ පරස්පරයක් නැහැ. සැබැවින්ම මට අනුව ජවිපෙ කැම්පස් වල කරන දේශපාලනය ප්‍රශ්න කළ යුතු තැන ගොඩාක් තියෙනවා. නමුත් පහත කරුනු ඔබේ අවධානයට යොමු කරමි.
    1 නවක වදය තුල දේශපාලනය සිදුවනවා නම් මාගේ පුද්ගලික විරෝධතාවක් නොමැති වුවද සැබැවින්ම එහිදී නවක වදය තුලදී දැඩි ලෙස යොදාගනු ලබන හිංසනය මෙන්ම එහි ආකාරය එය ලබාදෙන පුද්ගලාගේ ගති ස්වභාවය මත තීරනය වන නිසා එහි දරුණු අවධානමක් ඇත.
    2 මා දන්නා තරමින් වි විද්‍යාල තුල දේශපාලනික දැනුම සහිත සිසුන් පිරිසක් බිහිකිරීමට වඩා වැඩි බලපෑමක් සිදුකරනුයේ සමාජවාදී ශිෂ්‍ය සංගමයයි. මෙහිදී දේශපාලනය බලෙන් පෙවීම යන කාරණය ඔබ දක්වා ඇත. සැබැවින්ම අදේශපාලනික ඔළු බහුතරයක් දේශපාලනික තත්ත්වයට පත්කිරීමට සාපේක්ෂව මම පුද්ගලිකව ඊට විරෝධයක් පළ නොකරමි.
    3 කැට පිළිබද වාර්තා මුදල් වාර්තා වල පලකරන ආකාරය මාගේ වි විද්‍යාල ජීවිතය තුල දැක ඇත. ඔබ පවසා ඇති පරිදි මේවා දේශපාලනය සදහා යොමුවන බව සත්‍යයකි. මන්ද ඒ ශිෂ්‍ය දේශපාලන සංවිධානයක් වන නිසාය.(එහි වැරදි නිවරැදි බව වෙනමම කතා කළ යුත්තකි)
    4 නවක වධය තුල මාගේ විවේචනය එල්ල වන්නේ එහිවන ප්‍රචණ්ඩත්වය දෙසටය. එහෙත් මෙය විවේචනය කරන බොහෝ දෙනා එහි වන දේශපාලනය තුල එල්ලීමක් දැකගත හැක. සැබැවින්ම ලංකාවේ වි වි දේශපාලනය රැදී ඇත්තේ සමාජවාදී ශිෂය සංගමය මතය. ක්‍රමවිරෝදී දේශපාලනයක පදනම වි වි තුලට ගලායාමක් වේ නම් ඒ සශි සංගමය හරහා බව මගේ හැගීමයි. ඔබ පවසා ඇති ආකාර‍යට යුද්ධය වෙනුවෙන් කඩේ යන පිරිසක් ජෙප්පන් බිහිකිරීම කණගාටුවට කරුණක්. විශේෂයෙන් 89 කැරැල්ලේ මූලස්ථානය වුනු කැළනියේ මේ දවස්වල ආයුධ ප්‍රදර්ශනයක් තියෙනවා.ඒක හරිම කණගාටුදායකයි.
    ඒත් ජාතික ගැටළුව ඇරුණු කොට අනෙකුත් ‍රටේ ගැටළු සදහා වි වි සිසුන්ගේ මැදිහත් වීම සිදුවන්නේ මේ පෙළඹවීම මතයි කියන මතයේ මම ඉන්නවා. විශෙෂයෙන් අන්තරේ වගේ සංවිධානයක් තුලින් වි වි ශිෂ්‍යයින් පෙළගැස්සීමට මම නම් බොහෝදුරට පක්ෂපාතියි.ඒ මතවාදීව යම් ගැටුමක් තිබුණත් ඒ ක්‍රියාව අගය කරමින්.
    5 අවසාන වශයෙන් මම නවක වධයේ ප්‍රචණ්ඩත්වයට මාගේ විරෝධය පළවුවත් ඒ හරහා සිදුවන සාධනීය ගති ලක්ෂන වලට පක්ෂපාතී වෙමි.
    අප උත්සාහ කළ යුත්තේ සාධනීය අවස්තා තබාගෙන නිශේධනීය දෑ ඉවත දැමීමටය.

  6. පාලිත දක්වන අදහස සමග මම එකගයි.
    අන්තරය කරන දේශපාලනය සම්පූර්නයෙන්ම ජවිපෙ දේශපාලනයක් ලෙස හැදින්වීම කරුනක් ලෙස වැරදියි.මේ පාර්ශව දෙක අතර සම්බන්ධයක් තියනවා.හැබැයි ඒ දෙක එකක් නෙමෙයි.ඒ කියන්නෙ අන්තරයේ හැමෝම ජවිපෙ ක්‍රියාකාරින් නෙමෙයි.අන්තරය කියන්නෙ වෙනම ඒකකයක්.හැබැයි ඒක ඇතුලෙ විශාල බලයක් හදාගන්න ජවිපෙ සමාජවාදි ශිෂ්‍ය සංගමයට පුලුවන්කම ලැබිල තියනවා.මේක තමයි ඇත්ත.
    නවකවදයේ ශාරිරික වදහිංසා හා ප්‍රචන්ඩත්වයට කොන්දේසි විරහිතව මම විරුද්ධ වන අතරම අන්තරයේ දේශපාලනය හින්ද සාධනීය දේවල් සිදුවූ බවත් සදහන් කල යුතුයි.විශේෂයෙන්ම පුද්ගලික වි.විද්‍යාල හරහා අධ්‍යාපනය පුද්ගලීකරනය කරන්න 77 ඉදල තිබුන පාලකයන්ගේ උත්සාහයන්ට එරෙහි මතයක් හදන්න ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය බලසම්පන්න ලෙස හේතු වුනා.පුද්ගලිකකරනය ඉදිරියේ අනෙක් සියලු අංශ වල රාජ්‍ය ව්‍යවසායන් හැකිලෙද්දි තවම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුලෙ ඒ හරිය කරන්න බැරි වෙලා තියෙන්නෙ අන්තරයේ සම්මුති විරහිත වරෝධය නිසා.
    නවකවදය යනු සම්පූර්න ජවිපෙ project එකක් නොවුනත් එහි නිශේධනීය අංග බැහැර කරන්න ජවිපෙට යම් බලපෑම් කිරීමේ හැකියාවක් තිබියදිත් එසේ කිරීමට ප්‍රමානවත් මැදිහත්වීමක් නොකිරීම ගැන මට විවෙචනයක් තියනවා.හැබැයි ‍මෝටර් සයිකලයක් සදහා ජෙප්පන් වීම වැනි ප්‍රකාශ හුදු කරුනු නොදැන කරන ප්‍රකාශ බව කිව යුතුයි.ජවිපෙ ක්‍රියාධරයා/සාමාජිකයා කියන්නෙ ගුනාත්මකව වෙනස් ප්‍රපංචයක්.ඒක ඇතුලෙ තියෙන විශාල “කට්ට” කන්න යමෙක් ස්වෙච්ඡාවෙන් යොමුවෙන්නෙ යම් ‍දේශපාලනික මතවාදයක් ගැන විශ්වාසයකින් මිස සයිකලයක් ගන්නව වගේ දේකට නෙමෙයි.ජවිපෙ පූර්නකාලිනයෙක් නොවී එලියෙ සමාජයේ රස්සාවක් හොයා ගත්තානම් සයිකල් දෙක තුනක් වුනත් ගන්න පුලුවන්.යමෙක් ජවිපෙට එන්නෙ සයිකල් වගේ දේවල් විතරක් නෙමෙයි රැකියා වගේ දේ පවා අතහරිමින් යම් දේශපාලන විශ්වාසයක් මත.ජවිපෙ කේඩරය ගැන ලියුම්කරු මී‍ට වඩා කාරනා සොයාබැලිය යුතු බවයි මගේ අදහස.
    අනිත් එක අන්තරය ගැන කතාකරන බොහෝ අය නිතරම එල්ලෙන්නේ නවකවද කාරනයෙහි පමනක් වන අතර ඔවුන‍්ගේ පැත්තෙන් කෙරෙන සාධනීය දේවල්-විශේෂයෙන් වි.විද්‍යාල සාහිත්‍ය උලෙලවල් වැනි දේ-ගැන කතා නොකිරීම එක්තරා කුහකකමක්.පේරාදෙනියේ මාගේ දෙශය අවදි කරනු මැන වගේ උත්සවයක් 90 දශකයෙහි අග භාගයේ විශාල පිබිදීමක් වූ බව ඒ කාලයේ සගරා පරිශිලනය කරද්දි පැහැදිලි වන කරුනක්.නැවතත් කියන්න ඕනෙ නවකවදයේ ප්‍රචන්ඩත්වයට මා විරුද්ධ වන අතර එම කරුන හැර අන්තරයෙහි අනෙත් කටයුතු නිදහස් අධ්‍යාපනය අගයන,එය රැකිය යුතු යැයි අදහන කෙනෙක් ලෙස මගේ පක්ෂපාතිත්වයට ලක්වන බවයි.

  7. පාලිත,

    පළමු කරුණ පිළිබඳව ඔබත් මමත් එකඟ වන බව පෙනෙනවා.

    දේශපාලනය බලෙන් පෙවීම ගැන : අදේශපාලනික සිසුන්ව දේශපාලනික බවට හරවනවානම් එහිදී ඔවුන්ට තීරණයක් (choice) ලබා දිය යුතුයි. නමුත් ප්‍රචන්ඩ රැගක් තුලින් මෙවැනි තීරණයක් ලබා දෙයිද? රැග ක්‍රියාත්මක කරන ශිෂ්‍ය සංගමයේ දේශපාලනික මතය භාර ගැනීම හැර වෙනත් විකල්පයක් සිසුවාට තිබේද? මෙහිදී මතක තබා ගත යුතු අනෙක් කරුණ වන්නේ එසේ “දේශපාලනික” වන අයෙක් සැබෑ ලෙසම එවැනි තත්වයකට පත් වුනාද යන්නයි. උදාහරණයක් ලෙස නේවාසිකාගාරයේ නැවතීම සඳහා රැගට භාජනය වන සිසුන් අනුගමනය කරන දේශපාලනයක් නැති බව මම අත්දැකීමෙන්ම දන්නවා. එම නිසා රැගෙන් සිදු විය යුතු කරැණ සිදු වී නැහැ නේද? දේශපාලනීකරණයට රැග හැර වෙනත් විකල්පයක් තෝරා ගත යුතුයි..
    සමාජවාදී ශීෂ්‍ය සංගමය පිළිබඳ මා වැඩි විස්තර දන්නේ නැහැ. ඒ නිසා එය පිළිබඳ සොයාබැලීමකින් තොරව කරුණු දක්වන්නත් බැහැ.

    කැට පිළිබඳ කතාවට ඉහත කොටසත් සම්බන්ධයි. දේශපාලන ව්‍යාපාරයේ අරමුණ නොදන්නා හෝ එම අරමුණ කෙරෙහි විශ්වාසය නොතබන අයෙකු මුදල් එකතු කිරීමට යැවීම අනුමත කල නොහැකියි. ඔවුන් ලවා එකතු කරන මුදල් නැවත සිසුන්ටම ශිෂ්‍යත්ව ලබා දීමට ඇත්තටම කටයුතු කරනවානම් හොඳයි. දේශපාලනික අරමුණු වලට එවැනි ආක්‍රමණකාරී ප්‍රවේශයක් අත්‍යවශ්‍ය ද?

    මෙම ලිපියේ අරමුණ නවක වදය දේශපාලනික අරමුණකින් නොකෙරෙන්නක් බව පෙන්වීමයි. සිසුන් දේශපාලනික කිරීම එයින් සාර්ථක නොවේ. පිටින් එය දේශපාලනික බව පෙන්වූවත් ඇතුලාන්තයෙන් ඇත්තේ ජුන්නන්ට කට්ට දී සතුටු වීමත් ඔවුන් සැමදා සින්නන් යටතේ තබා ගැනීමත් යන සරල කරුණුයි.

    අන්තරේ වැනි සංවිධානයක් තුලින් ශිෂ්‍ය ප්‍රජාව එක්රැස් කිරීම වටිනා කාරණයක්. නමුත් අන්තරය විසින් එම බලය යොදා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රශ්න කල යුතුව තිබෙනවා. පෞ.වි.වි පිළිබඳ ප්‍රශ්නයේදී අන්තරය ක්‍රියා කල ආකාරය ඉන්පෙර විරෝධතා වලට සහය දැක්වූ ආචාර්ය වරුන්ගේ පවා දෝෂදර්ශනයට ලක් වුනා. ඕනැවට එපාවට සංවිධානය කරන ලද විරෝධතාවකින් සිදුවුනේ ශිෂ්‍ය ප්‍රජාවේ හඬ හෑල්ලුවට ලක් වීම පමණයි. සිසුන් අදේශපාලනික වීම සාධාරණිකරනය විමටත් එවැනි ක්‍රියා බලපානවා.

    දේශපාලනික හෝ වෙනත් ඕනෑම අරමුණක් සඳහා ප්‍රචන්ඩ නවක වදය යොදා ගැනීම යල් පැනගිය උපක්‍රමයක්. එයින් සිසුවා ප්‍රවාහයට එකතු වීමට වඩා ප්‍රවාහයෙන් ඈත් වීමයි සිදු වන්නේ.

  8. රාමචන්දු,

    ඔබගේ ප්‍රතිචාරය අන්තරයේ දේශපාලනය පිළිබඳව කර ඇති නිසා ඒ ගැන නිසි පිළිතුරක් මට ලබා දෙන්න බැහැ. ඒ අන්තරයේ දේශපාලනය ගැන මම දන්නේ පත්තරෙන්, රූපවාහිනියෙන් සහ දිනක කොල්ලුපිටියේ මා දුටු විරෝධතාවයක් මගින් පමණක් නිසා.

    නමුත් ජවිපෙ කේඩරයන් හා මෝටර් සයිකල් පිළිබඳ මාතෘකාව ගැන යමක් කිව යුතුයි.

    අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ ජවිපෙට ආධාර කරන සියලුම සිසුන් සැබෑ ජවිපෙ ක්‍රියාකාරීන් නොවන බවයි. ප්‍රධාන වශයෙන් ජවිපෙට හිතවත් සිසුන් කොට්ඨශ දෙකක් තිබෙනවා. ඉන් එකක් සැබෑ ලෙසම සමාජවාදී මත දරන එම නිසා ජවිපෙට සහය දක්වන පිරිස්. දෙවැනි කොට්ඨාශය වන්නේ සරසවිය තුල සිටින කාලය තුල ජවිපෙන් ඇති වාසි නිසා හේත්තු වන්නන්. මෝටර් සයිකල් ජෙප්පන් ලෙස හැඳින්වූයේ යට කී දෙවැනි සිසුන් කොට්ඨාශයයි. මා ඇසින් දුටුව ස්ථානයක් ලෙස පේරාදෙණිය සරසවිය නැවතත් මතක් කරන්නම්.

    දෙවැනි කොට්ඨාශයේ අනෙක් ගුණාංගය වන්නේ සරසවිය හැර ගිය පසු ජවිපෙ හෝ සමාජවාදය තුට්ටුවකට ගනන් නොගැනීමයි. උදාහරණයක් ලෙස පසුගිය කාලයක අන්තරේ කැඳවුම් කරු ලෙස සිටි පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ දුෂාන්ත (හෝ එවැනි නමක්. මට හරියටම මතක නැහැ) දැන් අන්තරේ පැත්ත පළාතකවත් නොඑන බව ආරංචියි.

    තමා විශ්වාස කරන දෙය සඳහා කැපවීමෙන් වැඩ කරන පළමු කොට්ඨාශයේ පිරිසට මගේ ගෞරවය හිමි වෙනවා. ඒත් එක්කම අනෙකුත් අය පිළිකුළට භාජනය වෙනවා.

  9. උඹේ වැඩේ ඇත්තටම හොදයි. රැග් එක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස්. මේකේ නරක පැති වගේම හොද පැතිත් තිබෙනවා . ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. මෙහි නරක පැති පමනක් තිබේ නම් මෙය මෙතරම් කලක් පවතින්නේ නැහැ. ඕන කෙනෙක් දන්නවනේ බොරුවට වැඩිය ආයුෂ නැ කියලා.

  10. මෑතකදී පොලීසිය හා ගැටුනු ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයකට ජපුර සරසවි සිසුන් බලෙන්ම සහභාගී කරවා තිබුනා. එලෙස සහභාගීවූ එක් සොහොයුරියක එලෙස විරෝධය දැක්වූයේ යන්නවත් දැන සිටියේ නැහැ. ඒ පිළිබඳව ඇගේ දෙමාපියන්ට දැන්වීමට වත් ඇයට අවස්ථාවක් ලබාදී නැහැ.(ඇයට දුරකතනය භාවිතා කිරීමටවත් ඉඩ ලබා දී නැහැ.)
    මා හොඳින් දන්නා තවත් සිද්ධියක් මතක් කරනු කැමැත්තෙමි. මාගේ ‍‍නෑදෑ සොහොයුරියක අකාලයේ මිය යාමට සිදූ‍වූයේ මේ සරසවි දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙසය. පිකටින් එකකට සහභාගී වීමට අකැමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඇයට ලැබුණු දඩුවම වූයේ “ද්‍රෝහියා” යයි හංවඩු ගසා ඇයව කොන් කිරීමය. ඇයට කැම්පස් එක එපා කරවීමය. ස්වභාවයෙන්ම සංවේදී තැනැත්තියක වූ ඈ අවසානයේ සිදුකලේ සියදිවි හානිකර ගැනීමයි. ඒ කාලකන්නින්ට එදත් අදත් හෙටත් ශාප කරමි.

  11. සැබැවින්ම නවක වදය ඉලක්ක කර ගෙන පවතින විවේචනයන් බොහෝ දුරට පවතින්නේ අන්තරය වටාය. එහි දේශපාලනය වටාය. එය අවුලුවා ඇත්තේ සැබැවින්ම‍ ඔවුන් විසින් සිදුකරන ක්‍රියාකරම් නිසා සමහරුන් හිතුමතේට සිදුකරන දෑ සිදුකළ නොහැකි නිසාය. රැග් එක සම්බන්ධයෙන් මට විවේචනයක් ඇතත් සැබැවින්ම එය සංවාදයට ගත නොහැක්කේ රැග් එක විවේචනය හරහා වෙනත් අරමුණු ඉටුකරගැනීමට පිරිසක් බලාසිටින බැවිනි. එමනිසා පිටස්තරයා හා මා අතර එතරම් පරස්පරතාවක් නැතැයි සිතමි‍.

    @ඇඩ්මින්
    ඔබ විසින් සදහන් කරන අන්තරේ කැදවුම්කරු කවුද? සැබැවින්ම උදුල ක්‍රියාකාරීව සිටින අතර, දුමින්ද ද දේශපාලනයේ නිරත‍ වේ. කෙසේ වුවද තමන්ගේ පුද්ගලික ‍දෑ කැපකර සිදුකරන දේශපාලනය අපට හිතාගන්නටත් බැරිතරම් අපහසු නිසා එය පිරිස් විසින් හැරයාම පුදුමයට කරුණක්ද නොවේ. නමුත් තම ජීවිතය කැපකරමින් සිදුකරන දේශපාලනය හෑල්ලුවට ලක්කරන්නේ නම් එය නොකළ යුත්තකි. ඔබ පවසා ඇති ආකාරයට තම හීනමානය පහ කර ගැනීම සදහාද කැම්පස් දේශපාලනයට පිවිසෙන පිරිසක් වුවද ඔවුන් කෙටිකලකින් ඉවතට විසිවී යාම සාමාන්‍යය‍.

    @උන්මත්තක
    සැබැවින්ම දේශපාලනය යනු සෙල්ලමක් නොවේ. එය කර්කශකය. කෙනෙකු දේශපාලනයෙන් කොන් වූ පමණින් (දෙශපාලනය නොකරන පිරිස් ඕනෑතරම් කැම්පස් එකේ ඇත) සියදිවි හානිකරගනී නම් එය සැබැවින්ම මානසික රෝගී තත්ත්වයකි.

    ඔබ සියළු දෙනාගේ අදහස් ඇතුලත් ලිපි මා කියවා ඇති බැවින් ඔබ පෙනී සිටින පාර්ශ‍වයේ පසුපස සිටින පිරිස් ගැන විමසිලි මත්වනවා නම් හොදය. මන්ද බළළුන් ලවා කොස් ඇට බෑවීමට ගොඩක් අය කැමති නිසාය.

  12. පාලිත, ඇයට දේශපාලනය ගැන උනන්දුවක් තිබුනේ නැත. පිකටින් එකට සහභාගී වීම ප්‍රතික්ෂේප කලේ ඒ නිසාය. ඇය කොන් වූයේ දේශපාලනයෙන් නොව මිතුරු මිතුරියන්ගෙනි. ඇයට මානසික රෝගයක් තිබුණාද නැද්ද යන්න කීමට මම නොදනිමි.

  13. “කුණුහරපෙන් බැනීමත් අඩු වුනා. පිරිමි සිසුන්ට අප්‍රසිද්ධියේ කුණුහරප ලැබෙන නමුත් සිසුවියන්ට එලෙස වූයේ නැහැ.”

    Me kathawa waradi.
    Physical eke ganulamai tikakata hondatama kunuharupen balana thibba…..

  14. Pingback: මරණ දෙකක් ඇති සිසුවා | The University Student Trapped In Between – Out In The Open

Leave a Reply

Your email address will not be published. Required fields are marked *