මගේ නමක් නැති කතාව | My Untitled Story

තිත්ත කලුවර මැද හිසේ පන්දමක් රැගත් සර්පයෙකු සේ දුම්රිය ඉදිරියට ඇදෙමින් පැවතිණි. ඇදෙන දුම්රිය දෙස ඔහේ බලා සිටින යෝධයෙකු සේ මා හට වම් පසින් කලුවරේ කන්දක සෙවනැල්ලක් දිස් වේ. එහි මොනයම් හෝ ආලෝකයක් ‍නැත. එහෙත් මා එහි ඇති ගුප්ත භාවයට වශි වී ඇත. මුහුණට වදින සීතල සුලගින් ලේ බිඳක් හෝ ඉතුරු නොකොට මුහුණ හිරි වැටී ගියත් යෝධ කන්දේ ගුප්ත භාවයට බැඳුණු පෙමින් මේ සියලු දුෂ්කරතා මවෙතින් ඈත් කොට තබා ඇත.

මා ඈ පලමුවරට හොඳින් දුටුවේ ද මෙවැනිම පරිසරයක් තුලය. ගුප්ත බවට පෙම් බැඳීමට මා හට බල කරමින් ප්‍රේම කිරීමට නොහැකි තරමට දුරින් පිහිටීමට පරිස්සම් වූ ඇය හා මා අතර අවකාශය, කර්කශ කඳුකර සුලඟ විසින් ආදරයට නොසුදුසු තත්වයට පත් කර තිබිණි. දුරින් සිට පෙම් බැඳීමේ රොමෑන්තික භාවය මිස ප්‍රේමයේ උච්ඡතමයට අප කිසි දිනෙක ලඟා නොවෙන බව තේරුම් ගැනීමද මවිසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ද්විත්ව ඇන්ජිමේ බලය සම්පූර්ණයෙන්ම යොදමින් මා ගමන් ගන්නා දුම්රියද කන්දේ සෙවනැලේලෙන් ඈතට ඇදීමට උත්සහ ගනී. මා හට දුම්රියෙන් බැස යාමට නොහැක. ඇටමිදුලු දක්වා ගොස් ජීවයේ අවසානය ලකුණු කරන කඳුකර සුලඟ විසින්, ඔබේ සෙවනැල්ලට ලඟා වීමට පෙර මා මරා දමනු නිසැකය. එය ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.

මම දබරැඟිල්ල කන්දේ සෙවනැල්ල වටා යවා එහි ඡායාව සිතෙහි සටහන් කර ගැනීමට උත්සහ ගත්තෙමි. සුලු මොහොතකින් දුම්රිය ඉදිරියේ ඇති බිම්ගෙය තුලට පිවිසෙනු ඇත. කන්දේ ඡායාව මාගේ දර්ශනයෙන් ඉවතට යනු ඇත. එහි ඡායාවට බැඳි පෙම පමණක් සිතෙහි තබා ගනිමින් මා ජනේලය වසා දමා කඳුකර සුලඟින් ආරක්ෂා වනු ඇත. නැවත හැරී නොබැලීමට මා සිත දැඩි කරගෙන අවසානය.

පාන්දර යාමයේදී පලමු හිරු කිරණ පොලෝ තලය මත වැටෙන විට අප වඩාත් උණුසුම් වූ නගරයට ආසන්න කර තිබිණි. මා බලා සිටියේ ඉදිරිය පමණි.

පින්තූරය: http://insanevisitations.blogspot.com වෙතින්

16 thoughts on “මගේ නමක් නැති කතාව | My Untitled Story

  1. මෙහෙම එකක් උඹට ලියන්න පුලුවන් කියලා හිතුවා. ඒත් ලියයි කියලා හිතුවේ නෑ. උපරිම තත්වයක තියෙනවා!

    • ස්තුතියි සහෝ. නයිට් මේල් ගමන තමයි. එක දිගට වෙන වැඩ ගැන හිතේ බරක් නැතුව වාඩි වෙලා ඉන්න වෙන චාන්ස් එකක් එන්නෙ නැහැ නෙ.

  2. උඹ කතාවක් ලියන්න ඕනේ එකෙක්..! ඒනිසා පරක්කුවෙලා හරි මේක ලියන්න ගත්තු තීරණේ ගැන අපරිමාණ සංතෝසයි..!
    කතාව ගැන කියනවා නම් මචං කතාව, දුම්රිය ගමන එක්ක ඇය ගැන මතකය ගලපලා තියෙන විදිහ මරු.., මට හිතෙන්නේ ඇය ගැන සිතුවිල්ල, හිතේ තියෙන උදාසීන බව, කඳුකර සුළඟ, කර්කෂ බව මේ කතා ඔක්කොම එක තැන ලොප් කරලා උඹ කතා නායකයාගේ යටිහිතේ හිටි අරවින්දව උඩට අරන් තියෙන්නේ, කෝච්චිය බිම්ගේ තුලට ඇතුල් වෙන කොටසින්; කියලයි මටනම් හිතෙන්නේ..!

    සුපිරි ලිවිල්ල.., ලියපන් දිගට ම ජය!

    • කලුවරේ කඳු අස්සෙන් පැය දහයක් යන්න. හිතෙන දේවල් ‍වල සීමාවක් නැහැ. තියෙන එකම දුක note book එක ගෙනියන්න බැරි වුන එක.

      ස්තුතියි ලිෂා. Shimmering thoughts ලියන එකාගෙන් එහෙම අහන්න පුලුවන් වෙච්ච එක ලොකු හයියක්.

  3. මතකයන් සහ විඳවීම් එක්ක වන ගැටීමක්.
    අවසානයේ යථාර්තයට(?) ආසන්න වීමක් සමග වෙන යම්කිසි ආකාරයක මිදීමක්.

    නියමෙට ලියල තියනව.

  4. පහු ගිය ටිකේම (දැන් මාසයක් දෙකක් ඉඳන්) සාහිත්‍ය තරඟාවලියේ හොඳම පොත් කියලා නිර්දේශ වුනු පොත් කියවලා (කන්දක් සේම, කළු, කළු දෝංකාරය ආදිය) . .. .. .

    සිංහල නවකතාවේ වර්ථමානය හා හෙට දවස ගැන බොහෝම කනගටුවෙන් ඉඳපු වෙලවේ (කළු කියවලා ඉවර කලේ ඊයේ) . . ..

    අද මේ උඹ ලියන්න පටන් ගත්තු නවකතාවේ මුල් කොටස කියෙව්වට පස්සේ ඒ කනගාටුව නැතිවෙලා ගිය බව මළයෝ උඹට කියන්නේ හරිම සතුටෙන්.

    ඇත්තමයි මට උඹ ගැන ආඩම්බරයි.
    ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *