සින්දු කිව්වෙ නෑ වෙඩි තිබ්බා විතරයි

“නෝ මෝ මාක්ස්”

අජිත් කුමාරසිරි ගෙ සින්දු කිහිපයක් අහන්න ඕනෙ කියල හිතුන කට්ටියකට එහෙම චාන්ස් එකක් ඊයෙ ලැබුනෙ ඒ ‍විදියට. මාක්ස් තව දුරටත් නැහැ.

අජිත් ගෙ ඉදිරිපත් කිරීම් අනර්ඝයි. ඒත් හැම අයිටම් එකක්ම ඉවර කරපු නැති ලී බඩුවක් වගෙ. රලු කොන් දැනෙනව වචන ඇහෙද්දි. ඒක මේන්ස්ට්‍රීම් එකෙන් වෙන් වීම නියෝජනය කරන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. ෂෝ එකෙන් පස්සෙ බෝත‍ලේක අඩියෙ මාක්ස් හොයන ගමන් අපි කතා කලෙත් අජිත්ගෙ සින්දු තව මටසිලිටු කරන්න ඕනෙද කියන එක. ඒත් එහෙම වුනොත් අජිත්ව හොයන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. මොනව වුනත් ඒ සින්දු වල තියෙන වචන ලොකු කතාවක් බොහෝම පොඩි වෙලාවකින් කියන්න හදනව. බයිල රීමික්ස් කරන්න යන කාලෙක ඒ වගේ උත්සහයක් ගන්න එක මැරෙන්න යන මිනිස්සු බේරගන්නව වගේ වැඩක්.

රාජසිංහ නාමෙන් පොඩි දරුවා වංගෙඩියට දාලා කොටනකොට බලං හිටියෙ අපි ත්‍රිලටද මගෙ සඳ

රොක් කිව්වාම ලංකාවෙ තියෙන ගොඩක් ෂෝ rich kid ජාතියෙ සල්ලි වනන දේවල්. දේශපාලනය ගොඩක් අඩු වීම තමයි ඒවගෙ දේශපාලනය. Emo කතා දෙක තුනක් එක්ක රොක් කරන්න හදන අය තාමත් ලංකාවේ ඉංග්‍රීසි රේඩි‍යෝ චැනල් වලින් ඇහෙනව. ඒව එපා කියනව නෙමෙයි. හැබැයි රොක් වල දේශපාලනය හරියට ඉදිරිපත් කරනව දැක්කනං ඒ ඊයෙ. තාමත් හිතන්න පුලුවන් දර්ශනයක් ගන්න පුලුවන් වචන දැක්කනං ඒ ඊයෙ.

හමුදා භටයට මලක් පෑගුනා, බෝම්බෙකට පොඩි ලමයෙක් අහුවුනා

හෘද සාක්සිය වතුරෙ ගියා

ගාලු මුවදොර බේසමෙන්

අජිත්ගෙ බනින්න ගොඩක් දේවල් තියෙනව. ගොනු කරල කියනවනං අහන්නෙ කවුද කියන එක වැඩි කරගන්න ‍එක බල්ලට දාල තියෙන එක ලොකුම එකක්. හැබැයි ඕවා ඔලුවට වදින්නැති සීයට අසූවට බලෙන් කවන්න යනවට වැඩිය හොයල අහන සීයට විස්සකට සින්දු කියන එකත් සැපක් කියල හිතෙන්න පුලුවන්.

ෂෝ එක මැද්දෙ සින්දු දෙකක් කරපු බෑන්ඩ් එක ‍වචන තුනකින් කිව්වොත් මෙලෝ රහක් නෑ. පොහොසත් දෙවියන්ගෙ ඔලුව කපල දුප්පතුන් පාමුල තියන්න වගේ ගැලරියට ආතල් දෙන්න කෑගහල රොක් කරපු අයිටම් දෙකක් තිබුනෙ. මෙටැලිකා ටියුන් වල ආභාෂය තිබුනට මෙටැලිකා වචන වල තියෙන දේශපාලනික ගැඹුර ඒ අය ආභාෂයට අරගෙන තිබුනෙ නැහැ. තිබුනත් මට දැනුනෙ නැහැ.

ගැලරියට ආතල් දීම ගැන කතා කරද්දි එතනට ආපු සෙනඟ ගැන කතා නොකර බැහැ. මේ සෙන‍ඟෙ බොහොමයක් එක ටෙම්ප්ලේට් එකකට දාලා ගොනු කරන්න පුලුවන්. කොන්ඩෙ වවපු නූල් බැඳපු ලී මාල දෙක තුනක් දාපු ඩෙනිම් ෂර්ට් ගහපු ටෙම්‍ප්ලේට් එක. කරුමෙකට වගේ අජිතුත් ඒ ටෙම්ප්ලේට් එකේම තමයි. ඒ රටාව දැක්කාම හිතෙන්නෙ අජිත් පස්සෙත් කල්ලියක් හැදෙනවද කියන එක. රැඩිකල් ටෙම්ප්ලේට් එකක් හැදෙනව කියන එක, එක විදියකට පරස්පරයක්.

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම, ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා

සිංහල අවුරුදු දවසේ

පබාවතිය මගෙ යන්න ගියා, කුසට ගෑස්ට්‍රික් අම්ල තියා

සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා, වැඩිම මනාපය ඇයට ගියා

සිංහල අවුරුදු දවසේ

ඔබෙ දෙතොල් විකුණන්න, ඔය දෙතන් විකුණන්න

හසරැල්ල විකුණන්න

අජිත් කරපු තුන් වෙනි ලෝකයෙ රටක් ඇල්බම් එක මම දන්න විදියට හැමෝටම නිකන් අහන්න පුලුවන් විදියට බෙදල තියෙනව. අජිත් ගෙ කටහඬ රලුයි. මියුසික් අත්හදා බැලීම්. වචන සිංහල බවුද්ද ජාතිකවාදෙට වහකදුරු වගේ. ඒත් ඕන කෙනෙකුට හිතන්න පටන් ගන්න පුලුවන් ඒ වචන ඇහුවොත්.

ලංකාවෙ රොක් වල දේශපාලනිකය දැනට නියෝජනය කරන්නෙ අජිත් කුමාරසිරි. ‍දේශපාලනික කතිකාවතක් රොක් වලින් හදල රොක් අහන සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න නං තව ගොඩක් දුර යන්න තියෙනව. එතකං හැම රැඩිකල් ආට් වැඩකටම එන ඊයෙත් ආපු පොඩි සෙට් එකට විතරක් මේ පණිවිඩය දිදී ඉන්න පුලුවන් තව කාලයක් යනකං. ඒත් දැනට ලොකු පියවරක් තියල තියෙනව. අජිත් කුමාරසිරි දෙන දේශපාලනික පණිවිඩයට මම සම්පූර්ණයෙන් එකඟ වෙන්නෙ නැහැ. ඒත් එහෙම හරි දේශපාලනිකයක් තියෙන ගායකයෙක් ඉන්නව කියන කරුණට මම කැමතියි.

7 thoughts on “සින්දු කිව්වෙ නෑ වෙඩි තිබ්බා විතරයි

  1. ගොඩක් හොද උන් පේනනවත් නැති කාලෙක ටිකක් හොද වගේ එකක් හරි දකින්න ලැබුන එක ලොකු දෙයක්…

  2. අජිත් ගෙ ටිකක් හොඳ දැකපු එක ගැන තමයි දුක. මම නම් උගෙ දකින්නෙ පේන දේ, හරියටම.

  3. හොඳ අවස්ථාවක් මඟහැරීම ගැන ලොකු කණගාටුවක් තියෙන්නෙ. :(

  4. මෙයාගෙ අහල තියෙන්නෙ සින්දු ටිකයි.. හැබැයි මතකයි ඒව වෙනස් කියල නම්.විශේෂයක් නැහැ මිනිස්සු වෙනස්දේට කැමති නිසා මාත් කැමති සින්දු මෙයා ගාව තියනව

  5. අලුත් සින්දු මොකුත් දැම්මෙ නැද්ද එලියට….

    කට හඩ නම් ගොරෝසු උනාට කියන දේවලුත් ගොරෝසු නිසා අල්ලල යනවා… මමත් කාලයක් ඇහුවා ඔය සෙට් එක

    ” ඉර හඳ තණකොළ ” එක ගැන පෝස්ට් එහෙකුත් ලිව්වද කොහෙද කාලෙකට කලින්

  6. උඹ කියන කාරණා ගැන මට හිතෙන දේවල් ටිකක් ලියන්නම්…
    ඔය ආර්ට් මාකට් කරන එක දැන් හැමෝම කරන දෙයක් වුණාට අජිත්ගෙ ඒව එහෙම මාකට් කරන්න ජනප්‍රිය මීඩියා එකක්වත් නෑ. යූ ටියුබ් එකේ තියෙනව පරණ බොන්සුවා ප්‍රෝග්‍රෑම් එකක් ‍අජිත් ගැන කරපු. ඒ හැර වෙන සප් එකක් කෙරිලම නෑ. මම හිතන්නෙ අඩුගානෙ මේකටවත් එහෙම මාකටිං පාරක් තිබුණ නම් ඔයිට වැඩිය සෙනගක් එන්නත් තිබුණා. හැබැයි එතකොට අජිත් වෙනත් උන්ගෙන් වෙන් වෙන එක කැඩෙනවා. එහෙම බලාපොරොත්තු වෙන එක මහ නරුම ආසාවක් වෙන්න පුළුවන්. ඒ වුණාට අජිත්ට බැඳෙන මිනිස්සු එහෙම බැඳෙන්නෙ ඒ ගතියත් එක්ක. අර කවුද කිව්ව වගේ යම් දවසක අජිත් අනිත් හැමෝටම වඩා කුරිරු බිස්නස් කාරයෙක් බවට පත් වෙන්නත් පුළුවන්.
    අජිත් මාකට් වෙන්නෙ උණ තියෙන උන් හරහා. උඹ කියපු අර ටෙම්ප්ලේට් සීන් එක එන්නෙත් එතනදි. හැබැයි ඒ ටෙම්ප්ලේට්වල ළඟින්වත් නොයන අපි වගේ නෝට් ගහපු හාල්පාරුවොත් හිටියනේ. නමුත් මට හිතෙන්නෙ උන් සේරම මියුසික් එක විධියකට දැණෙන ටෙම්ප්ලේට් එකක හිටියා… අඩු තරමෙ ඒකට ට්‍රයි එකක් දෙන්න තරම්වත්!
    මේකෙදි උඹ කියන “අහන්නෙ කවුද කියන එක බල්ලට දැමීම” තමයි අජිත් අනිත් උන්ගෙන් වෙනස් වෙන හේතුව. ඇත්තටම හේතු කීපයකින් එකක්. ඒක අර කල්ට් බ්ලොග් එකේ තිබුණ පෝස්ට් එකෙනුත් කියවිලා තිබුණා. ඇත්තටම අජිත් ඉන්නෙ කාටද? ඌ කාටවත් වැඩක් නෑ. ලංකාවට ඌ පිස්සෙක්. මොලේ අමාරුකාරයෙක්. ජෝක් එකක්. ඒකයි ඔය විධියෙ ලිරික්ස් තියෙන සින්දු කරලත් පොර යහතින් ඉන්නේ. මොකද ඕව වදින උනුත් දන්නව ඔය වගේම පිස්සො ටිකක් ඇරුණම වෙන උන් අජිත්ව අහන්නෙ නෑ කියල. (මම අජිත් සම්බන්ධව පසුබ්ම් විස්තර දන්නෙ නෑ මචං. සමහර විට පොර ලොක්කව දන්නවද දන්නෙත් නෑ :P)
    අජිත් කරන්නෙ පොළොවෙ දේශපාලනේ නෙවෙයි. (පොළොවෙ තියෙන්නෙ මොකක්ද කියල කියන්න ඕන නෑනේ.) ඒක මතවාදී එකක්. ඇත්තම කිව්වොත් ඒ විධියෙ දේශපාලනයක් අවන්ත ආටිගලත් කරනව. දාස හපුවලානත් කරනව. ඔය ෆේස්බුක් එකේ ආණ්ඩුව නෝන්ඩි කරල පින්තූර දාන උනුත් කරනව. හැබැයි පාලකයන්ව ජෝක් කලා කියල අරගලයක්/වෙනසක් වෙන්නෙ නෑ. (ලංකාව වගේ රටවල තියෙන්නෙ ටොපි දේශපාලනයක්නේ. :P) ඒ නිසාම ඒක තවදුරටත් රැඩිකල් දේශපාලනයක් නෙවෙයි කියල මට හිතෙනව. ඒකෙදි අජිත් රැඩිකල් වෙන්නෙ ඔහුගෙ නිර්මාණ භාවිතාවෙන් විතරක් කියලයි මට හිතෙන්නෙ. ඔතන්ට ගාවන්න පුළුවන් උඹේ ගැලරියට ආතල් දීම කියන එක. මට හිතෙන්නෙ අර මැදදි සින්දු කියපු බෑන්ඩ් වලට වඩා අජිත් ගැලරියට ආතල් දුන්න.
    ඒ බෑන්ඩ් එක කරපු සින්දු දෙකේ අවුලක් මට තිබුණෙ නෑ මම වචන ලොකුවට අහපු නැති නිසා. නමුත් උඹ කියපු රොක් එලිමන්ට් පාවිච්චි කිරීමේ අවුල් ටිකක් මටත් ආවා. ලසිය කියපු විධියට උන් කරන්නෙ මොකක්ද කියන එක ගැන උන්ගෙ නොදැනීම එලියට ආවා. හැබැයි අපි හැම වෙලේම කරන දේ දැනගෙන කරන්නෙත් නෑ. මියුසිකලි මම ඒක හොඳටම වින්දා. ලා මත්වීමක් එක්ක පොඩ්ඩ්ක් දඟලන්න තිබුණනම් නියමයි කියල හිතුණා. ඒ වගේ මියුසික් පුටුවෙ ඉඳගෙන අහන්න පුළුවන් ඒව නෙවෙයිනෙ ;-)
    ඔය අජිත්ව අහන ප්‍රතිශතේ ඔය මට්ටමින් තියෙන්නෙත් ඔන්ලයින් මාකටින් වලින් සහ පුද්ගලික දැනහැඳුනුම්කම් වලින් විතරක් කියලයි මට හිතෙන්නේ. ඒකත් හොඳම උණ කාරයො අතර මිසක් ලාවට ඇඟ රත්වුණ උන්ට ‍විකල්පයක් නැති තරම්. එහෙම ඇඟ රත්වෙලා තිබුණ කාලයක් තිබුණ නිසා දන්නව ඒ කාලෙදි තියෙන පිපාසෙ.
    ආයෙ ෂෝ එකක් කළොත්… අපි බලමු!
    තව සීයක් වැඩිවෙයිද කියලා….
    ප.ලි.
    මේ දවස්වල පෝස්ට් ලියන එක හෙණ කම්මැලි නිසා මේක මම මගේ එකෙත් දානව හොඳේ…

  7. ආ… ඔය දෙරණ චැනල් එක් පටන්ගත්තු අළුත නාරදයි තව කෙල්ලෙකුයි කරපු ලයිව් ප්‍රෝග්‍රෑම් එකකටත් අජිත්ව ගෙන්නුවද කොහෙද? :-)