රැප් ගැන කතා කරන්න කවුරුත් නැත | No one talks about Rap

9thJan. × ’12

රැප් සංගීත ශෛලිය සාමාන්‍යයෙන් අනෙකුත් ශෛලීන් විඳින සැප පහසුකම් විඳින්නේ නැත. ක්ලැසිකල් සංගීතයට ඒ සඳහාම වෙන්වූ රසික ස්ථරයක් ඇති අතර එම ස්ථරය සාමාන්‍යයෙන් ඉහල පංති‍යේ හා/හෝ උගත් විනීත රැල ලෙස සමාජ සම්මත වී තිබේ. වඩා නූතන ශෛලීන් සඳහාද එලෙසම වෙනස් රසික කණ්ඩායම් ඇති අතර නොයෙකුත් හේතුන් උඩ සමාජයේ ගෞරවයට පාත්‍ර වීමට එම ශෛලීන් වලට හැකියාව ලැබී ඇත. විකල්ප කණ්ඩායම් අතරද රැප් ගැන කතා බහක් දකින්න ලැබෙන්නේ නැත. රෙගේ හෝ රොක් ශෛලීන් හැර අනෙක්වා විප්ලවවාදී නොවනා ‍සේය. මෙසේ වීමට යම්තාක් දුරට සාධාරණ හේතුන්ද නැතිව නොවේ.

රැප් සංගීතය ලංකාවේ ප්‍රධාන ධාරාවට එක්වන්නේ මෑත කාලයේදී ජනප්‍රිය මට්ටමට පැමිණි ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස් වැනි කණ්ඩායම් හරහාය. මොවුන් හා ඉන්පසුව පැමිණි අනෙකුත් අයගේ ප්‍රධාන උපාය මාර්ගය පමණටත් වඩා වෙළඳපල පදනම් කරගත් වූ අතර රැප් සංගීතයට වඩා ජනප්‍රිය පොප් සංගිතයට බොහෝ‍ සෙයින් සමාන උරුවක් මොවුන්ගේ ශෛලිය තුල දක්නට ඇත. කාලයෙන් කාලයට ආප්ප බාන්නා සේ රෙකෝඩ් එලියට දැමෙන අතර ඒවා මාස දෙක තුනක කට පාඩම් කිරීමකින් අනතුරුව නැත්තටම නැතිවී යයි. පද රචනා දිහා අප්පිරියාවකින් තොරව බැලීමට නොහැක. ක්ලබ් බැසීම, බඩු ගැසීම, තිතට බීම හැර එහි ගන්න දෙයක් නැත. බටර් මැදට යොදා පාන් ගිලපු සූකිරි කොල්ලෝ ගැන්ස්ට රැප් යනුවෙන් මොකද්දෝ බයිලයක් කියවති. ඒ හැර ලංකාවේ රැප් සංගීතයක් නැත.

මේ රැල්ලට විරුද්ධව ඉබේම නැගෙන විරෝධතාවය රැල්ලේ විකෘතිතාවයන් සූක්ෂමව පෙරා ‍නොගෙන පොදුවේ රැප් කලාවම මේක යැයි සිතාගනිමින් තම තමන්ගේ මති මතාන්තර හැඩ ගස්සා ගනී. රෙගේ විප්ලවීය වන තැන රැප් පොෂ් වන්නේ එලෙසය. රොක් යථාර්තවාදී වන තැන රැප් පම්පෝරි ගැසීමක් පමණක් වන්නේ එලෙසය. ක්ලැසික්ස් ප්‍රබුද්ධ වන තැන කොහොමත් රැප් පීචං වේ.

ලේඛකයා රැප් කලාව මුලින්ම රස විඳින්නේ 2002 අවුරුද්ද කාලයේදීය. ඒ දැනට ජීවත්ව සිටින රැප් සංගීත ශිල්පීන්ගෙන් සාර්ථකම අයෙක් වන Eminem හෙවත් මාෂල් මැතර්ස් ගේ The Eminem Show ඇල්බමය තුලින්ය. මතකයේ හැටියට 2001 දි නිකුත් වන මේ ඇල්බමයේ අඩංගු වූ ගීත තවමත් ජනප්‍රියභාවයෙන් පහලට වැටී නැත. පාසැල් අධ්‍යාපනය කඩා කප්පල් කරගත් අයෙකුගේ කුණුහරප අඩංගු පද රචනා වල ඇති බලපෑම Sing For the Moment ගීතය කියවා ඇති අයෙකු දන්නවා ඇති. ලාබාල බ්‍රිට්නි ස්පියර්ස් ප්ලාස්ටික් සංගීතයෙන් ලොව වැනසී යද්දී එය බේරා ගන්නට එන ගැලවුම්කරුවා Eminem ය. ඔහුගේ සේනාව තියුණු පිහි පහරවලින් යුක්ත වදන් පේලිය.

ඒ හැර සඳහන් කිරීමට තරම් වටිනා රැප් ශිල්පීන් ලෙස ලේඛකයා දකින්නේ 2Pac හා Dr. Dre ය. Dr. Dre රැප් සංගීතයේ වර්ධනයට වටිනා දායකත්වයක් කල අයෙකු ලෙසත් අමරණිය රෙකෝඩ් කිහිපයක රැප් ශිල්පියා ලෙසත් ඉතිහාස‍යට එක් වේ. Eminemගේ හැකියාවන් එලියට පැමිණෙන්නේ Dr. Dre ගේ සහය මැදින් Aftermath Entertainment හරහාය. ඔහුගේ රැප් රෙකෝඩ් තුල ඇත්තේ අන් අය ලියූ පද වූවත් ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව තුලින්ම ඔහු ලියන්නන් පසුකර ඉදිරියට පැමිණේ. Nothin but a G Thang මතකයේ නොමැතිව රැප් රෙකෝඩයක් මතකයට නොඑන්නේ ඔහුගේ මේ හැකියාව නිසාවෙනි.

රැප් කලාව තුල අමරණීය නමක් ඉතිරි කර ගිය ද්විත්වයෙන් අයෙකු වන Tupac Shakur නොදන්නා අයෙකු නොමැති තරම්ය. 1996දි ඝාතනයට ලක්වන 2Pac ගේ ‍ගීත ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නගින්නේ ඉන්පසුවය. රැප් පද රචනා ‍තුල බොහෝ සෙයින් පම්පෝරි අන්තර්ගත වුවත් 2Pac ගේ පද රචනා තුල ඔහු අත්විඳි සමාජ අසාධාරණයන්, සමාජ ගැටළු හා අනෙකුත් යථාර්තයන් දක්නට ඇත. රැප් ශිල්පියෙකු යනු අද්විතීය කවියෙකු බව ලෝකයට ඔප්පු කරවන්නේ 2Pacය. බොහෝ පොෂ් කොල්ලන් මෙන් නොව විදියේ හැදි වැඩී නරා වලේ සිට ලෝකය දිහා බලන ඔහු තමාගේ වටපිටාව පිලිබඳ පණිවිඩය ලෝකයා හමුවේ තැබීමට උත්සහ ගනී. ප්‍රචණ්ඩකාරී Gangsta Rap තුලින් සමාජ සංවේදී යථාර්තයන් ලොවට හඬ ගා කීම දක්ෂතාවයක් නොවන්නේ නම් අන් කවරක් විය හැකිද?

Remember me, as an outcast outlaw
Another album out that’s what I’m about, more
Gettin raw till the day I see my casket
Buried as a g while the whole world remembers me
Until the end of time

2Pac ඝාතනයට ලක්වන්නේද ඔහු ජීවත් වූ ස්ථරයේ සංකීර්ණතා හේතුවෙනි. 2Pac හැදී වැඩෙන කාලය වන විට කලු ඇමෙරිකානුවන් වහල්  භාවයෙන් නිදහස් කොට ශත වර්ෂයක් ගත වී තිබුනත් ආර්ථිකමය හා සමාජමය අතින් වර්ගවාදීව ‍ඔවුන්ව කොන් කිරීමේ අවසානයක් දක්නට තිබු‍නේ නැත. බොහෝ කලු ජාතික ප්‍රජාවන් පරිහාණි‍යේ අන්තයටම පැමිණ තිබුනු අතර සාමාන්‍ය ප්‍රචණ්ඩත්වය දරුණු පාතාලයක් බවට පත් වීමට මෙවැනි පරිසරයක් තුල වැඩි කලක් ගත වන්නේ නැත. Crips යනුවෙන් පලමු තරුණ පාතාලය නිර්මාණය වන අතර ඔවුනොවුන් අතර ගැටීම තුවක්කු යොදා ගනිමින් සිදු වෙන වීදි සටන් දක්වා දිවගොස් Bloods කල්ලිය නිර්මාණය වේ. Crips හා bloods කල්ලි අතර ආරවුල දුටු තැන ගුටි හුවමාරු වල සිට වෙඩි තබා ගැනීම් දක්වා වර්ධනය වේ. මොවුන්ගේ පාතාලය පසු කලෙක ඉතාමත් සංවිධානාත්මක වන අතර ඉතාලි මාෆියාවේ දක්නට හැකි ආකාරයේ තනතුරු වලින්ද සමන්විත වන්නට ගනී. පාසැල් සිසුන් මූලිකව ඉලක්ක කර ගනිමින් නව සාමාජිකයින් බඳවා ගැනේ. පසු කලෙක රැප් ශිල්පියෙකු ලෙස කරලියට පැමිණෙන Snoop Dogg මුල් කාලයේ Crip සාමාජිකයෙකු වන්නේ පාසැල් යන අවධියේදීය. ඒ වන විට ජනප්‍රිය වන්නට පටන් ගනිමින් තිබූ රැප් කලාව තුලටද මෙම ඝට්ඨනය පසාරු වෙමින් පැවතිනි. Suge Knight විසින් ආරම්භ කෙරෙන Death Row Records තුලින් තම කල්ලියේ නියෝජනය පෙන්වන bloods කල්ලිය හා තරඟ කිරීමට Sean Combs (P. Diddy) ආරම්භ කරන Bad Boy Records හරහා Crips කරලියට පැමිණේ. කුප්‍රකට East coast-West coast වෛරය ආරම්භ වන්නේ මෙලෙසිනි.

2Pac හා Notorious B.I.G ඝාතනයන් ගැන තොරතුරු ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයාගත හැක. ඒ ගැන කතා කිරීම මෙහිදී අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඔවුන්‍ ඉතිරි කර ගිය අදහස් ප්‍රකාශනයන් පිලිබඳව කතා කිරීමය. බොහෝ සෙයින් පම්පෝරිකාරයින්ගෙන් ඉතිරි ගොස් ඇති රැප් කලාව තුල මොවුන් වැන්නන් බිහි වන්නේ කලාතුරකිනි. 50 Cent වැනි වෙඩි වැදුණා යැයි කෑ ගසන බයිලා කාරයින් මෙන් නොව මොවුන් ඉතාමත් ගැඹුරු කතිකාවතක් සමාජය තුල ඉතිරි කර ගොස් ඇත. පොහොසත් කොලු කෙලියන්ට හෙරොයින් ටිකක් උරා ඔලුව කැඩෙනතුර නැටීමට රැප් කරනා ගොබ්බයින් රැප් කලාව නියෝජනය නොකරන නමුත් ප්‍රසිද්ධ වන්නේමද ඔවුන්ය. රැප් තවත් ධනවාදී කුණු ගොඩක් ලෙස දකින්නන්ගේ විවේචනයට ලක්වන්නේද ඔවුන්මය.

තමන්ගේ මුල්‍යමය හැකියාවන් හා ලිංගික හැකියාවන් රැප් කර කියවන්නන් වෙතින් රැප් නියෝජනය වන්නේ නැත. රැප් නියෝජනය වන්නේ කියවද්දි ඇසට කඳුලු උනන මට්ටමට කවිකාරත්වයෙන් පිරි ගිය පද රචනයෙනි. 2Pacගේ Thugz Mansion ගීතය අවසාන වන්නේ මෙලෙසිනි.

Just think of all the people that you knew in the past
that passed on, they in heaven, found peace at last
Picture a place that they exist, together
There has to be a place better than this, in heaven
So right before I sleep, dear God, what I’m askin
Remember this face, save me a place, in thug’s mansion

විකල්ප මත පිරී ගිය, විප්ලව වාදී, රැඩිකල් වූ බ්ලොග් අවකාශය තුලවත් ඉඩක් නොලැබී ගිය රැප් කලාව සඳහා වෙන් වෙන සටහනක් මෙලෙස අවසන් වේ.

No related posts.

This entry was posted in Rants and tagged , , , , , , , , . Bookmark the permalink. Post a comment or leave a trackback: Trackback URL.

18 Comments

  1. Posted January 9, 2012 at 6:29 am | Permalink

    //රැප් සංගීතය ලංකාවේ ප්‍රධාන ධාරාවට එක්වන්නේ මෑත කාලයේදී ජනප්‍රිය මට්ටමට පැමිණි ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්ස් වැනි කණ්ඩායම් හරහාය//

    නෑ ..ඔයිට කාලෙකට කලින් ලංකාවට රැප් ගෙනාවේ(සහ ජනප්‍රිය කලේ) භාතිය -සන්තුෂ් , ඒගොල්ලන්ගේ රැපර් වුනේ රනිඳු ලංකාගේ .

    මම කැමතිම රැපර් වෙන්නේ පිට්බුල් . හේතුව මම තේරුමට වඩා හොයන්නේ කණට ඇහෙන ලස්සන නිසා

    • chamila
      Posted January 9, 2012 at 9:55 am | Permalink

      භාතිය සන්තුෂ්ලාගේ ගීත තුල රැප් අඩංගු වන්නේ රැප් මූලික කරගෙන නොවේ. එය ගීතයක් තුලට රැප් කොටසක් ඔබා ගැනීමේ වෑයමේ එක් කොටසක්. ඒත් Urbansounds වැනි කණ්ඩායම් රැප් මූලික කර ගත් සංගීතයක් කර‍ගෙන ගියා. ඉරාජ් දැන් වැඩ කාරයා වුනාට රුකීගේ සහ ග්‍රේෂාගේ හැකියාවන් නොමැතිව urbansounds මට්ටමට නැවත පැමිණීමට ඉරාජ්ට බැහැ.

  2. Posted January 9, 2012 at 8:04 am | Permalink

    කවුරුන් මොනවා කීවද ලංකාව තුල රැප් යනු පම්පෝරියකි.., කොහෙන් හෝ ඇටවූ බොඩිකිට් වාහන ටිකක් වටකර කෙල්ලෙකුගේ “නක පුටවීමකි”. මාර්ෂල් මැතර්ස්ලා, නොටෝරියස්ලා, ටූපක්ලා විඳි සාමාජීය විෂමතා සේවනය කර ක්ෂේත්‍රයට ආ පිරිස් මෙහි නැත. එතරම් පුලුල් ලෙස සමාජය දකින්නට වරම් නැති මිත් උන් ඒ දෙස බලන්නට තරම් මොළයක් ඇත්තෝද නොවෙති.., ගැටලුව ඇත්තේ එහිය.., කලයුතු දේ හරියට කරන්න නොදන්නාවුන් බහුල මේ බිමේ රැප් වලට හිමිව ඇත්තේ ද කලකට පෙර ජෝතිපාලලාගේ ගීත් සාහිත්‍ය පීචං කල ප්‍රබුද්ධ කැස්වටුවන් පිරිවරාගත් සිහිල සලන සඳට වඩා රැස් ගිණිලන හිත් පිත් නැති හිරුට ආවඩන්නන්ගෙන් පිරි ගී පුළින තලාවකි.
    අරුත් බර දෑ නැත්තේද නොවේ.., වටින්නේ ඒවා මතු කර ගැනීමය. මිණිකැට සෙවිය යුත්තේ වැරවෑයමෙනි.
    ඉදින් මම සොරුන් පසට වැටි ගිරවුන් නියෝජනය කරමි..!

    • chamila
      Posted January 9, 2012 at 10:00 am | Permalink

      සටහන තුලම මේ අදහස දැම්මෙ නැත්තෙත් මේ නිසාමයි. ප්‍රතිචාර තුලින් මතුවෙයි කියල බලාපොරොත්තුවෙන්. ආත්ම ප්‍රකාශනයකින් තොරව කවියක් ලියවෙන්නෙ නෑ වගේම රැප් වලට ආවේණික හැඟීම් දැනීම් අත්දැකීම් වලින් තොරව තග් වෙන්නත් බැහැ. ඒ වගේම ගංජ ගහන නාන්නෙ නැති හිපාටු අමනයෙක් වුන ගමන් රැප් කරන්නත් බැහැ. අවාසනාවට ලංකාවෙ ඉන්නෙත් උන් විතරයි.

  3. Posted January 9, 2012 at 11:21 am | Permalink

    හොඳ ලිපියක් චමිල. රැප් ප්‍රිය කරන්නෙක් විදිහට මටත් ලංකාවේ නිර්මාණය වූ හොඳයි කිව හැකි රැප් නිර්මාණ තියෙන්නේ අතලොස්සයි..අර ලිෂ් අයියා කිව්වා වගේ බොරු පොරත්වයක් ආරෝපණය කරගෙන පම්පෝරි ගැහිල්ලක් විතරයි තියෙන්නේ. ඔය දේ වෙනවා ඇත්තේ රැප් ගැන අධ්‍යනයකින් තොරව පොරක් වෙන්නට හිතාගන රැප් කරන්න එන පොෂ් පැලැන්තියේ බුවාලා නිසා බවයි මගේ හැඟීම. ලොකු වාහන කීපයක් අටවාගෙන මොකක් හරි බහුබූතයක් කියපුවාම ඒක රැප් සින්දුවක් වෙන බවට ජනමතයක් ගොඩනැඟිලා තියෙන්නේ ඒ නිසයි.

    8 Mile චිත්‍රපටිය බැලුවද ? ඒකෙ තීම් එක තමයි මම එමිනෙම්ගේ ගීත වලින් වැඩිපුරම ප්‍රිය කරන ගීතය.

    [said]
    Snoop Dogg මුල් කාලයේ Crip සාමාජිකයෙකු වන්නේ පාසැල් යන අවධියේදීය. ඒ වන විට ජනප්‍රිය වන්නට පටන් ගනිමින් තිබූ රැප් කලාව තුලටද මෙම ඝට්ඨනය පසාරු වෙමින් පැවතිනි. Suge Knight විසින් ආරම්භ කෙරෙන Death Row Records තුලින් තම කල්ලියේ නියෝජනය පෙන්වන bloods කල්ලිය හා තරඟ කිරීමට Sean Combs (P. Diddy) ආරම්භ කරන Bad Boy Records හරහා Crips කරලියට පැමිණේ. කුප්‍රකට East coast-West coast වෛරය ආරම්භ වන්නේ මෙලෙසිනි.
    [/said]
    දැකපු පොඩි දෙයක් කියන්නද? Snoop Dogg නියෝජනය කරන්නේ Death Raw Records සහ West Coast නේද? දන්නා තරමින් නම් Dr Dre සහ Snoop Dogg සමකාලීනයින්. Snoop Dogg Crip සාමාජිකයෙක් වෙලා, Blood gang එක නියෝජනය කරන Death Raw වලට ආවේ කොහොමද කියන එක මට පොඩි ගැටලුවක් මතුවුනා.

    • chamila
      Posted January 9, 2012 at 12:14 pm | Permalink

      මචං මාත් හොයල බැලුව කේස් එක. Snoop Dogg පාසැල් යන වයසෙදි Crip සාමාජිකයෙක් වුනාට හිරේ ගිහින් නිදහස් වුනාට පස්සෙ Dr. Dre එක්ක එකතු වෙලා Death Row Records වලින් තමයි මුල් රෙකෝඩ් කිහිපය කරන්නෙ. පස්සෙ Dr. Dre වෙනම Aftermath දාගන්නකොට ඌත් එතනට ප්ලග් වෙනව.

  4. Posted January 9, 2012 at 11:31 am | Permalink

    මුඩුක්කු පැල්පත් නිවාස පැත්ත දැකලාවත් නැති උන් මුඩුක්කු උළුප්පා දක්වමින් එහි වැඩර් මම කියා ගනිමින් අතාත්වික විෂුවල් එකක් හරහා ජනප‍්‍රිය කරවගෙන මම රුපර් කියා ගැනීමයි පේන්න තියෙන්නෙ.. 6/8 බීට් එකෙනුත් රුප් නොගැලපෙන තැන් වලටත් බස්සලා කලාවම එපා කරවලා තියෙන්නෙ….

    • chamila
      Posted January 9, 2012 at 12:15 pm | Permalink

      කියල වැඩක් නෑ. ගඳය කියල ඒ කාලෙ කියපු එකෙක් හිටිය කඩ්ඩත් බෑ සිංහලත් බෑ සින්දු කියන්නත් බෑ. හැබැයි රැපර්!

  5. Posted January 9, 2012 at 5:38 pm | Permalink

    ගෑනු රෙද්ද උස්සගෙන බැනගන්න හැටි ඉන්පස්සෙ කෙහෙවලු පටලවං කුනුහබ්බ කියාගන්න හැටි..තොපෙ අම්මගෙ මේක බලාපන් කියල හෙලුව පෙන්නන හැටි කෝමද ඕයි වීඩියො එකකට ගන්නෙ…තොගෙ නම් අදහස මාව තලන්නයි..මාව තලාලා අම්ම තලන්ටයි..අම්ම තලාලා තවත් පනින්නයි..ඔය වගේ එකක් කියන්න අපිට මීඩියා දාන්න බෑනෙ බන්…
    කොටින්ම මේ බ්ලොග් වල පවා අම්මගෙන් කිරිබොන තනේට තනේ නොකිය පියයුරුව කියන උන් කීයක් ඉන්වද??
    වැඩුනු වටකුරු අලංකාර කාන්තාවගේ පශ්චාත් භාගය කියල කොයි තරම් බටර් ගෑවත්…”ලෙස පුක ඈ” කියනව වගේ ඇඟට වදින්නෙ නෑ…
    ඇරගන්න බැරි ඇරියස් අපි ඇරගන්නෙ කුනුහබ්බ වලින් ගොඩක්වෙලාවට…මහින්දට රනිල්ට බැන්නම ගොඩක් අපි ඇත්ත ජිවිතේදි අවසාන කරන්නෙ උගෙ ……………………කියල කුනුහබ්බයකින්… අපේ යාලුවො ඉස්සරහ..නමුත් ඒව යුටියුබ් අස්සෙ හරි මීඩියාවල හරි තමුන්ම කියන කුනුහබ්බ දැක්කත් අපේ අයට මොකද්ද සාදාචාර විරෝධී කිතියක් එනව….

  6. manj
    Posted January 9, 2012 at 8:26 pm | Permalink

    Ado pattai pola meekanam… I have an exam tomorrow. But still man article ekama kieuwa.. And I wont regret it… supiriii!!!!!!

  7. Posted January 10, 2012 at 12:38 am | Permalink

    ලිපිය කියවාගෙන එද්දි හිතට ආපු ගොඩක් කොමෙන්ට් මට කලින් කට්ටිය කියල. මං සාමාන්‍යෙයන් රැප් සංගීතය අහන කෙනෙක් නෙමෙයි. ඒත් 2pac ලගෙ රැප් වලින් හෝ අනෙකුත් සංගීත ශෛලීන් තුලින් හෝ (බොහෝ විට ඔබ කියන පරිදි රෙගේ හෝ රොක්) සමාජ නුදුටු ගොරහැඩි පැතිකඩ නිරූපණය කරනවානම් ඒ කොටස් ඇසීමට පසුබට වන්නෙත් නෑ.

    සමස්තයක් වශයෙන් ලෝකයේම සංගීතය (ජනප්‍රිය සංගීතය කිව්වොත් වඩා හොඳයි) අද කිසිම තේරුමක් නැති චොර වලක් වෙලා. එන හැම හුළඟටම ගහගෙන යන අපේ කොල්ලො ඒවයින් බාරගන්නෙ දුමයි, ඇඳුමයි, වෝක් එකයි විතරයි. ඒත් මේ හුළං රැළි ගහගෙන යන්ඩ ගියාට මුදුන් මුල් හොඳට තියන ගස් කාලයක් තියෙයි.

  8. Posted January 14, 2012 at 8:28 pm | Permalink

    මට රැප් සෙට් වෙන්නෙත් උඹේ කාලෙම තමයි. ඒ දවස්වල යන්තං ඇහිඳගෙන දේවල් තේරුම්ගනිමින් හිටපු, සංගීතෙ කියන මෙලෝ දානයක් දැනෙන්නෙ නැතිව හිටපු කාලෙ සෙට් වුණ යාළුවෙක් තමයි මට ටුපක්ව අහපං කිව්වෙ. නමුත් මට ටුපක්ව හරියට සෙට් වෙන්නෙ තනියෙන් සින්දු අහන්න පුළුවන් වාතාවරණයත් එක්ක විකක් පරක්කු වෙලා. පස්සෙ එමිනෙම්, නොටෝරියස් වගේ උන්ව අහන්න ගත්තත් තාමත් මට හොඳටම දැණෙන්නෙ ටුපක්.

    රැප් කියපු ගමන් හිතට එන්නෙ රළු සංගීතයක්. නමුත් රැප් කියන්නෙ මතවාදයක්. ඔරිජින් කොහෙ තිබුණත් රැප් අළුත් වෙන්නෙ පැවතුන එකක් කඩාගෙන. ඒ වගේම ඒක එක සම්පූර්ණ සංස්කෘතියක්! ඒකෙ මියුසිකල් නිරූපනය සංගීතයේ සීමාවල නැවතිලා නෑ. ටුපක්, එමිනෙම් අහදිදි දැණෙන්නෙ ඒක. එතනින් මො උන් මට දැණෙන්නෙ නැති තරම්.

  9. Posted January 14, 2012 at 8:54 pm | Permalink

    රැප් කියද්දි මට හැමදාම තදින් දැණුන සින්දුවක් මේක

  10. නවීන්
    Posted January 15, 2012 at 9:55 pm | Permalink

    මගේ නම් හිත් බැදගත් රැපර්ස්ල දෙන්නයි ඉන්නේ..
    1. Tupac
    2. Eminem

  11. නවීන්
    Posted January 15, 2012 at 9:59 pm | Permalink

    මගේ නම් හිත් බැදගත් රැපර්ස්ල දෙන්නයි ඉන්නේ..
    1. Tupac [ The best died young  :(
    2. Eminem

    [youtube http://www.youtube.com/watch?v=7myktbSTWKY&w=420&h=315

  12. Posted January 24, 2012 at 12:10 pm | Permalink

    Fill T සහ ඒ වගේ රැපර්ල සෙට් එකක් ඉන්නව නේද?
    ඉරාජ්ලට භාතියලට කලින් රැප් කරපු අය හිටිය…. ඒත් වැඩිය ප්‍රසිද්ධ උනේ නෑ මම හිතන්නෙ….
    මට රැප් මුලින්ම ඇහුනෙ රනිල් මල්ලවාරච්චිගෙන්… ඊට පස්සෙ භාතියලගෙ සිරි සංගබෝධි, සංගීත්ගෙ රඟහල වගේ ඒව…

  13. Posted February 16, 2012 at 1:45 pm | Permalink

    මට නමි එමිනෙමිට වඩා පොරක් නැත මිනිහාට ගැසිය හැකි පෙරක්ද නැත ජි- යුනිටි ඊට පසුවය
    මෙටල් නමි බිලැක්මෙටල්ය බිලැක් මෙටල් නමි Dimmu borgir ලාය Heavy metal නිම Slipknot ය

  14. Posted February 16, 2012 at 1:47 pm | Permalink

Post a Comment

Your email is never published nor shared. Required fields are marked *

*
*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>