සකර්බර්ග් කරපු නිසා හරි ද? – ව්‍යවසායකත්වය පිලිබඳව

මේ ගැන කතා කරන්න ඉන්න හොඳම කෙනා මම නෙමෙයි. මොකද මේ ව්‍යවසායකත්වය ගැන වැඩි අත්දැකීම් මට නැති නිසා. හැබැයි පැන්නොත් වැටෙනවා කියල දැනගන්න අත්දැකීම් ඕන නැති නිසා මේ ගැන ටිකක් ලියන්න අවශ්‍යයයි කියල හිතුනා.

මාක් සකර්බර්ග් කිව්වාම නොදන්න කෙනෙක් දැන් නැති තරම්. Facebook සමාගමේ අයිතිකරු, නැත්තන් ලෝකයේ ලාබාලම මිලියනපතියා (ලක්ෂපතියා කිව්වොත් වැරදි) තමයි ඔහු.

බිල් ගේට්ස් තවත් ඒ වගේ කෙනෙක්. ලෝකයේ දැනට වැඩි පුරම භාවිතා වෙන ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය ඔහුගේ සමාගමේ නිර්මාණයක්. අවුරුදු කිහිපයක් එක දිගට ලෝ‍කයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වුනා.

ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ නිර්මාතෘ. තවත් ධනවත් පුද්ගලයෙක්.

‍මොවුන් තිදෙනා එකට ගත්තාම හුඟක් වෙලාවට කියවෙන දෙයක් තමයි මේ තුන්දෙනාම තමන්ගේ උපාධි අතහැරල ව්‍යාපාරයක් පටන් ගත්ත අය වීම. මේ කරුණටම තවත් ටිකක් එකතු කරලා යවන අනිත් දේ තමයි උපාධියකින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, නැත්තන් ව්‍යවසායකයෙක් වෙන්න කිසිම උදව්වක් ලැබෙන්නේ නැති බව. මේ කරුණ හුඟක් ප්‍රසිද්ධ දෙයක්. වෙන වචන වලින් කිව්වොත් දැන් ට්‍රෙන්ඩ් එක තමයි,

සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න නම් උපාධිය අත අරින්න! (?)

, කියන එක. හුඟක් අය මේකේ ඇත්ත නැත්ත හොයල බලන්නේ නැතුව පිලිගන්නේ එක විදියකට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට විරුද්ධ රැඩිකල් රසයක් ඒකෙ තියෙන නිසා. ඒත් මේකේ ඇත්ත නැත්ත ඇත්තටම මොකද්ද?

ව්‍යවසායකයෙක් විදියට සාර්ථක වෙන්න උපාධියක් අත්‍යවශ්‍යමද?

මම හිතන විදියට නම් නැහැ. ව්‍යාපාර හැකියාවන් තමන් තුලම තියෙන්න පුලුවන්. කලමණාකරණ ක්‍ෂේත්‍රයේ ඒ ගැන තියෙන ප්‍රධාන මතවාද දෙකක් තියෙනවා. එකක් ව්‍යපාර හැකියාවන් උපතින් ලබන්න පුලුවන් බව. අනෙක ඒ හැකියාවන් ඉගෙන ‍ගෙන ක්‍රියාවට නැංවීමෙන් පුරුදු විය හැකි බව. සාමාන්‍ය පිලි ගැනීම තමයි මේ දෙකම වෙන්න පුලුවන් බව. ඒ කියන්නේ අපි අතරින් සමහරු දක්ෂ ව්‍යාපාරිකයින් වීමට අවශ්‍ය වෙන්නේ වැඩිපුර වාසනාව විතරයි කියන එක. ඉතිං මේ වගේ උපතින් හැකියාව තියෙන කෙනෙකුට ව්‍යාපාර අධ්‍යයනය පිලිබඳ උපාධියක් අත්‍යවශ්‍ය නොවෙන්න පුලුවන්. නමුත් එවැනි උපාධියක් තිබීම ඔහුට තවත් වැදගත් වෙන්නත් පුලුවන්.

උපාධියක් සාර්ථකව නිම කිරීමෙන් සාර්ථක ව්‍යවසායකයෙකු වීමට හැකියාව ලැබෙයි ද?

ඔව්. අඩුම තරමේ ප්‍රථම උපාධියවත් සාර්ථක අන්දමින් නිම කලොත් උපාධියක් නොකල අයෙකුට වඩා වැඩි වාසියක් උපාධිධාරියෙකුට ලැබෙනවා. මොකද උපාධියක් නිම කරනකොට විෂය කරුණු වලට අමතරව විෂය පථයට අදාල වෙනත් කරුණු බොහොමයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන නිසා (හැබැයි නිකන් කරන්නන් වාලේ උපාධි කරන අයට මේක අදාල වෙන්නේ නැහැ). අනෙක් අතට තමන් පටන් ගත්ත දෙයක්, කොච්චර අමාරු වුනත් ඉවර වෙනකන් කරගෙන යන්න පුරුදු වීම ම ලොකු දෙයක්. නමුත් ව්‍යවසායකත්වය කියන එක උපාධියක් කරපු හැමෝටම හරි යන්නෙත් නැහැ.

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඉදිරියට ගෙනියන්න උපාධිය අත හැරීම උදව් වෙන්න ඇති කියන එක සකර්බර්ග්, ගේට්ස්, ජොබ්ස් ත්‍රිත්වයෙන් ඔප්පු වෙනවා නේද?

නැහැ. නව අදහස් සමග ව්‍යාපාරයන් පටන් ගන්න තමන්ගේ උපාධි අත ඇරල ගිය සිසුන් ගණනින් හරියටම තමන්ගේ ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කර ගත්ත සිසුන් ප්‍රමාණය බොහෝම පොඩි ප්‍රතිශතයක්. නවමු අදහසක් ව්‍යාපාරයකට හැරවීම, සාර්ථක ව්‍යාපාරයකට හැරවීම එක රැයින් හොලිවුඩ් සිනමා පට වල සිදු වෙන විදියට වෙන්නේ නැහැ. ආයෝජකයින්ගේ උනන්දුව ඇදගන්න තැනේ ඉඳන් වෙලඳපොල තරඟය, ‍පේටන්ට්, සේවකයින් හැසිරවීම, නව තාක්ෂණයන් යොදා ගැනීම, නීතිමය සහය ලබා ගැනීම, පුද්ගල සන්නිවේදනය සහ මූල්‍ය කලමණාකරණය වගේ නොයෙකුත් කරුණු වල සාර්ථක එකතුවක් තමයි සාර්ථක ව්‍යාපාරයකට මුල වෙන්නේ. ඒ ඇර තව එක දෙයක් බලපානවා. ඒ තමයි වාසනාව!

බිල් ගේට්ස් සමහර විට හොඳ තාක්ෂණික දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් ඔහු අනිවාර්යයෙන්ම හොඳ ව්‍යාපාරිකයෙක්. IBM සමාගමත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගැනීමේ ඉඳන් IE වින්ඩෝස් සමඟ නොමිලේ ලබා දීමේ තීරණය වෙනකම් ගන්න තීරණ ව්‍යාපාරික තීරණ මිසක් තාක්ෂණය සම්බන්ධ තීරණ නෙමෙයි. ඒ වගේමයි ස්ටීව් ජොබ්ස්. ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාවන් ගැන හැමෝම දන්නවා. මාක් සකර්බර්ග් ‍එහෙමවත් ව්‍යාපාරික ඥාණයක් තියෙන කෙනෙක් නොවන බවටයි ආරංචිය. ඔහුගේ සමාගමේ බංකොලොත් වීමට ඔන්න මෙන්න තිබියදී මූල්‍ය කලමණාකරණය පිලිබඳ දැනුම ඇති කිහිප දෙනෙක් නිසයි නැවත ක්‍රියාකාරී මට්ටමකට එන්නේ.

අපි උපාධිය මගක් දුරට කරල අත ඇරලා සාර්ථක වුන පුද්ගලයො ගැන හැම තැනම අහනවා. ඒත් එහෙම අසාර්ථක වෙච්ච බහුතරය ගැන කියවෙන්නේ නැහැ. මොකද කියවෙන්න විදියක් නැහැ. අසාර්ථක වුනු අය වෙන වැඩක් බලාගෙන යනවා.

උපාධියක් නිම කර ව්‍යවසායකත්වයට යොමු වීමේ වාසි මොනවද?

මෙතනදි තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ තමයි හැමෝටම ව්‍යවසායකයො වෙන්න බැරි බව. ඒකට හැකියාව වගේම වාසනාවත් අවශ්‍ය කරුණු. අනිත් එක හුඟක් අය ව්‍යවසායකයො වෙනවට වැඩිය සමාගමක් යටතේ වැඩ කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්. හිත රිදුණත් තේරුම් ගන්න ඕන ඇත්ත ඒකයි. ඒක අපි හැමෝටම බැහැ.

අනිත් දේ තමයි උපාධියක් කරන්න පටන් ගත්තනම් ඒක අවසානයක් දක්වා කරගෙන යෑම. උපාධියක් කියන්නේ වාර විභාගයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම අමාරු දෙයක්. නමුත් ඒක අවසන් කිරීමෙන් පසුව ලැබෙන හැකියාවන් පසුව බොහෝම වටිනාකමකින් යුක්ත වෙන්න පුලුවන්.

හදිස්සියේ ව්‍යාපාරය හිතුව විදියට සාර්ථක ‍නොවුනොත් වෙනත් රැකියාවක් කෙටි කාලෙකට හරි ලබා ගන්න උපාධියක් තිබීම වැදගත් වෙනවා. මොකද කිසිම සමාගමක් උපාධියක් නොමැති අයෙකුට ලොකු පඩියක් දීලා ගන්න කැමති නැහැ. කොටින්ම බැකප් ප්ලෑන් එකක් විදියට.

මේ හැම දෙයකම ප්‍රායෝගික සාක්ෂිය විදියට මම ගන්නේ මම දන්න යාලුවෙක්. දැනට සාර්ථක නැගී එන ව්‍යාපාරයක් ඔහු කරගෙන යනවා. නමුත් ඒ‍ වෙනුවෙන්ම ඔහු උපාධිය අත ඇරල නැහැ. හතරවෙනි අවුරුද්දත් කරගෙන යනවා. සමහර විට මේ පෝස්ට් එකට ප්‍රතිචාරෙකුත් දමයි. උපාධි අත ඇරල ව්‍යාපාර නොකරන්න මම පාඩම් ඉගෙන ගන්නෙ ඔහුගෙන්.

අද වෙනකොට මේ ව්‍යවසායකත්වය කියන වචනෙ අධිතක්සේරුවකට ලක් කරල. ජාවා ඉගෙන ගෙන තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගෙන මාසෙට ලක්ෂ විස්ස ගානෙ හොයන්න පුලුවන් කියලයි පාසැලෙන් ඉවත් වුන සිසුන්ට පැවසෙන්නේ. නමුත් ව්‍යාපාරයක් හැසිරවීමේ බැරෑරුම්කම ගැන මොහොතකටවත් ඒ අයට දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේ තත්වයක් උඩ මේ ව්‍යාපාරයකට උපාධි කැප කිරීමේ මායාව ගැන දෙපාරක් හිතල බලන එක වැදගත්. මම කියන්න හදන්නේ ව්‍යවසායකත්වය නරක දෙයක් කියල නෙමෙයි. නමුත් ඒක පූජාසනයක දාලා අනිත් හැමදේටම වැඩිය වැදගත් කියන තත්වෙට සුදුසු නැහැ කියන එකයි.

අවසාන වශයෙන් ලැරී පේජ්, සර්ජි බ්‍රින් (ගූගල්), ඩොනල්ඩ් ට්‍රම්ප්, වොරන් බෆ්ෆට්, ෂෝන් කොම්බ්ස් (P Diddy) වගේ අති සාර්ථක ව්‍යාපාරිකයො විශාල ප්‍රමාණයක් සාර්ථකව උපාධි නිම කරපු අය.

මේ ලිපිය කියවන්න වටින දෙයක්.

12 thoughts on “සකර්බර්ග් කරපු නිසා හරි ද? – ව්‍යවසායකත්වය පිලිබඳව

  1. Pingback: Tweets that mention සකර්බර්ග් කරපු නිසා හරි ද? – ව්‍යවසායකත්වය ප

  2. ඉතාමත් වටිනා ලිපියක් :) ඔබේ අදහස් එක්ක මුලුමනින්ම වාගේ එකඟ වෙනවා.

    සාර්ථක ව්‍යවසායකයෝ වෙන්නේ ඉතාම අල්ප පිරිසක්. එතෙන්දි උපාධිය අත හැරල ගියපු අය විතරක් නෙවෙයි සාර්ථකව උපාධිය, පශ්චාත් උපාධි නිම කරපු අයට වුනත් වෙනස් ඉරණමක් අත් වෙයි කියල මම හිතන්නෙ නෑ. සාමන්‍ය කෙනෙකුට වඩා අවස්ථාවක් ලැබෙයි කියන ඔබේ ප්‍රකාශය එක්ක එකඟවුනත් උපාධියක් තිබුනු පලියටම සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න කොයිතරම් අවස්ථාවක් ලැබෙයිද කියන එක සැකයක්.

    අනෙක් අතට, තොරතුරු තාක්ෂණ/පරිගණක ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න අපේ රටේ උපාධිධාරියෙකුට බටහිර රටක කෙනෙකුට තරම් අවස්ථවක් (වටපිටාවක්) නෑ කියලයි මට හිතෙන්නේ. මොකද ඇමරිකාව හෝ වෙනත් බටහිර රටවල් වලට සාපේක්ෂව ගත්තම අපේ රටේ තියෙන්නේ ඉතා සුලු වෙලඳපොලක්.

    • මේක ලියන්න හිතුනේ ඔබේ FB status එකෙන් පස්සේ :)

      කෙටියෙන් කිව්වොත් උපාධියක් නිම කිරීම මොනයම් හෝ ධනාත්මක බලපෑමක් ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න කෙනෙකුට වෙයි කියලයි මට කියන්න අවශ්‍ය වුනේ. ඒක උපාධියක් නැතිව ඒ වතුරට බහිනවට වැඩිය හොඳ දෙයක්.

      අපේ රටේ අවස්ථාව නැති එක ගැන මම හිතන්නේ මේ පහල කමෙන්ට් එකේ පැහැදිලිව තියෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ උපාධියක් හදාරමින් ඉන්න අයට ව්‍යවසායකත්වය ගැන නිසි පුහුණුවක් නොලැබීම. හැබැයි මම දැක්කා පහුගිය දවසක කොළඹ විශ්ව විද්‍යාලය තරුණ ව්‍යවසායකයින්ගේ සංගමයත් එක්ක එකතු වෙලා එහෙම දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගත්තා. නමුත් ඒකට ආරාධනා ඇවිත් තිබුනේ මම දන්න විදියට කලමණාකරණ පීඨයට විතරයි.

      • මචන් උපාධියක් තියෙන කෙනෙක්ට වැඩක් කරන්න ගියාම ගොඩක් දේවල් හිතෙනව ඒ වාගේ තියරි ගොඩක් පාවිච්චි කරනව පොත් වල තියෙන, සාමන්‍යයෙන් ව්‍යාපාර කරද්දි ගොඩක් risky decision ගන්න වෙනව.. ඒවා ඔය උපාධියෙන් ඉගෙන ගන්න දේවල් වලින් හරියට කරන්න බෑ.. ඔය ගොඩක් ව්‍යාපාරික තීරණ පොත් වල දේවල් වලින් කරන්න බෑ.. එත් අධ්‍යාපනය.. වැදගත්… ;)

  3. අද මුලින්ම කියවපු ලිපිය නිසා නෙමෙයි ප්‍රතිචාර දක්වන්න හිතුනෙ. මෙහි සදහන් කරුනු වල වැදගත්කම අගය කල යුතු නිසා. මම සිංහල බ්ලොග් සටහන් සාමන‍යෙන් කියවනව උනත් පසුගිය වසර කිහිපයක් තුල කිසිවෙකු මෙවන් ලිපියක් පල කොට තිබුනෙ නෑ.. සමහර විට subject එක නොදන්න කම වෙන්න ඇති.

    “සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න නම් උපාධිය අත අරින්න!” –

    කියන කතාව එක අතකට ඇත්ත වෙන්න තියන ඉඩකඩ වැඩි. මොකද අපෙ සමාජය බලන් ඉන්නෙ උපාධිය අරන් එන එකා ජොබක් කරනව දකින්න මිසක්, අනිත් උන්ට ජොබ් උපද්දනව බලන්න නෙමෙයි. අනෙක් කරුන තමයි, දෙමාපියන් මහන්සියෙන් සල්ලි හොයල දීල උගන්වල බලන්නෙ තමන්ගෙ දරුව තමන්ගෙ ඉදිරිය බලා ගනීවි කියල. හුගක් වෙලාවට අන්තිමට වෙන්නෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිත් අයට වැඩ කරල කීයක් හරි හොයාගන්න.

    මෙ කරුනු දෙකටම බලපාන සාධකය තමා උපාධිය සඳහා ගතවන කාලය. වසර 3ක් හෝ 4කට පස්සෙ කාලය වැයකරල තමන්ගෙ ව්‍යාපාරයක් ආරම්භකරල කරගෙන යන්න ශක්තිය තියෙන්න අතලොස්සකට විතරයි. මොකද තමන්ගෙ අනිත් උන් 40,000 50,000 පඩි ගනිද්දි තමන්ට ගන්න වෙන්නෙ 10,000 වගෙ මුදලක් වෙන්න පුලුවන්. මෙ හේතු හන්ද හුගදෙනක් කියන කතාවෙ එක ඇත්තක් මන් දකිනව. උපාධිය අතඇරියනම් කාලය ඉතුරුවෙනව වගේම අනිත් දේ වැඩි දියුණු කරගන්න කාලයක් ලැබෙනව.

    “උපාධියක් සාර්ථකව නිම කිරීමෙන් සාර්ථක ව්‍යවසායකයෙකු වීමට හැකියාව ලැබෙයි ද?” —

    ඔබ කියන පරිදි ඔව් උනත් මට වැඩිපුර පේන්නෙ නැත කියන එක. මොකද අපි විසින්ම කරන වැරදි සහ අපි ලබාගන්න පරිසර සාධක නිසා. කැම්පස් එකට ගිහින් කරන්නෙ මොකද්ද කියන එක තේරුම් ගන්න අපිට අවුරුද්දකට වඩා කාලය යනව.
    දැනුම අතින් ගත්තොත් ලබන පෝෂණය අගය කල හැකි උනත් ඒවගේ ප්‍රායෝගික යෙදීම් ගැන කොහෙත්ම සැහීමකට පත්වෙන්න අමාරුයි. අනික කැම්පස් එකේ ගිරව දැම්මාම ඔක්කොම ගොඩ කියල හිතන පිරිසකුත් ඉන්නව. ඔය අතර විශ්ව විද්‍යාල ආචාර්ය පිරිස ගැනත් යමක් කිව යුතුයි. මන් දන්න තරමට අපිට ඉන්නෙ කාටවත් නොලැබුන ආචාර්ය පිරිසක්, ඒත් ඔවුන්ගෙන් ජීවිතෙ ගැන, අත්දැකීම් ගැන අහල තමන්ගෙ ජීවිතේට ගත්තු අය ඉන්නවද කියල මට සැක සහිතයි.
    බැරි වෙලාවත් කෙනෙක් ඔය කියන දේ කරන්න ගියොත් අන්න පොර තමා අපෙ “ගොට්ට” සම්මානයට පාත්‍රවෙන්නෙ. මොකද අපි ආපු කැම්පස් වල ඉන්නෙ වැඩිපුර අනිතුන් වලට දාන උන් මිසක් ගොඩදාන උන් නොවෙන නිසා.
    තව දකින අඩුපාඩුවක් තමයි, අපිව ව්‍යවසායකත්වයට යොමු කරන්න පිරිසක් නොමැතිකම. කැම්පස් එක ඇතුලෙ ඔය කතාව අහන්න හම්වෙලා තියෙන්නෙ කොච්චර අඩුවෙන්ද කියල ලෙක්චර් යන උඹල දන්නව ඇතිනෙ. :D මොකද ව්‍යවසායකත්වය කියන දේ කරන්න කලින් දැන ගත යුතු දෙයක්(ලංකාව තුල) ඒත් ඒ දේවල් කතා කරන වියත් පිරිසක් මන් කැම්පස් තුල දකින්නෙ නැ. අනික ඒ කාලෙ තිබුන පච බංකු කතා අද පච වලටම විතරක් සීමාවීම ගැන තියෙන්නෙත් දුකක්.

    “උපාධියක් නිම කර ව්‍යවසායකත්වයට යොමු වීමේ වාසි මොනවද?” –

    හැමෝටම බෑ කියන කතාව ඇත්තක් වෙන්න පුලුවන්. මොකද ඒතනට අවශ්‍යවන කැපවීම, උත්සහය හැම කෙනෙකුටම තියෙනව කියන එක හිතන්න අමාරුයි. ව්‍යාපාරයක් හැසිරවීමේ බැරෑරුම්කම ගැන ඇත්තටම කියන්න බැරි වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ නොදැනුවත් කම නිසා කියලයි මට හිතෙන්නෙ. සැහෙන ගානක් පඩි ලැබෙද්දි තමන්ගෙ අතට රිස්ක් එකක් ගන්න කැමති අය බොහොම අඩුයි.

    ව්‍යවසායකත්වය කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවදානමක්. අවදානම ගන්න කැමති උනත් ඒ අවදානම හරිලෙස හසුරවන්නෙ කොහොමද කියන එක දැනගන්න වෙනම උපාධියක් ගන්න තියෙනව. ඒක තමා අත්දැකීම් කියන උපාධිය. මම දකින විදියට ඒ උපාධියට අත්‍යවශ්‍යම කරුනු ටිකක් කියන්නම්.

    1. හැම ඉගන ගැනීමක්ම මූලධර්ම වලට සීමා නොවී ප්‍රායෝගිකව හිතන්න, ක්‍රියාවට නගන්න.
    2. පුලුවන්තරම් අනිත් අය ගැන ඉගන ගන්න.(අහන් ඉන්න, හැම කෙනෙක්ගෙන්ම ඉගන ගන්න)

    මේකට මන් පුංචි කතාවක් කියන්නම්, අපෙ කැම්පස් යන ගිය ගොඩක් අය හිතන්න තමන් ඇසුරු කල යුත්තතෙ තම්න්ගෙ තත්වෙට ගැලපන අය කියල. ඒක හන්ද සුලු සේවකයෙක් හෝ තරාතිරමට අඩු කෙනෙක් ගැන අපෙ බොහෝ දෙනෙකුට තියෙන්නෙ අඩු සැලකිල්ලක්. නමුත් මතක තියාගන්න ඔවුන් නිසා තමයි ඔබ අද ඉගන ගන්නෙ. දවසක් මට මතකයි කොලඹ නගර සභාවෙ සුලු සේවක වැඩ වර්ජනයක් නිසා, සියලු ව්‍යාපාර අඩාල උන හැටි. මතක තියාගන්න. ඔවුන් කක්කුස්සි හෝදන්නෙ, කුනු අදින්නෙ ජීවත්වෙන්න ඔන හන්ද මිසක් ආසම රස්සාව ඒක හන්ද නෙමෙයි. ඒක තේරුම් ගන්න ඔනෙනම් දවසක පිරිසක් ඉදිරියෙ ඔය දේ කරල බලන්න, අනිත් අය තමන් දිහා බලන විදියෙන් තමන්ට හොද වැටහීමක් ඒවි තමා බලන කෝණය හරිද කියල.(කරපු නිසා දන්නෙ)

    3. ව්‍යාපාර වෙනස්කම් ගැන සැලකිලිමත් වන්න.

    4. තමන්ට හැකි පමනින් උපරිමය ලබා දෙන්න.

    අද ඉන්න හුඟ දෙනක් වැඩ කරන්නෙ පඩියට. ඒ අතර පඩියට කල යුතු වැඩ ප්‍රමානය ගැන තමන් විසින් තක්සේරු කරන්නත් ඔවුන් පුරුදු වෙලා. ව්‍යාපාර සාර්ථකත්වය පවතින්නෙ සේවායෝජකයා සහ සේවායුක්තයා දෙදෙනාගෙම කැපවීම මත. අපි සරලව අහල තියෙනෙ win-win relationship මත තමයි මේදේ සාර්ථක වෙන්නෙ. ඒ හන්ද හැම වෙලාවෙම තමන්ගෙ පැත්තෙන් වගේම අනිකගෙ පැත්තෙනුත් හිතල වැඩ කරන්න බලන්න.

    5. තමන්ට හරි දේ කරන්න පැකිලෙන්න එපා. ඒ වගේම කරපු දේ ගැන පසුතැවිලි වෙන්නත් එපා. (regret for nothing)

    ලෝකයාට ඔන විදියට ජීවත් වන්නවත්, සමාජෙට ඔන හින්ද වෙනස් වෙන්න එපා. තමන් හරි කියල හිතන දේ කරන්න. වැරදි නොවී කිසිදෙයක් කරන්න බැ කියන දේ තේරුම් ගන්න. අමතක කරන්න එපා මුල. ඒත් ඒක මතම ජීවත් වෙන්න හදන්නත් එපා. මතක තියාගන්න තෝමස් අල්වා එඩිසන් ජය ගත්තෙ දහස්වාරයක්(මට ගාන හරියටම මතක නැ) වැරදෙමින් බව. ඔහුම වරක් කියල තිබ්බ මම යමක් වැඩ නොකරන විදි දහස් ගානක් සොයා ගත්ත. මම පරාජය උනේ නෑ. ඒවගේම මම අ​ධෛර්යය උනෙත් නෑ. ඒ හැම වරදක්ම ඉදිරියට යන ආකාර ගැන තබපු පියවරක් කියල.( I found 10,000 ways something won’t work, I haven’t failed. I am not discouraged, because every wrong attempt discarded is another step forward.)

    මන් මේ කිවිවෙ මූලික කරුණු කීපයක් විතරයි. ඔන්න ඔය කියල උපාධිය ගන්න පුලුවන් උනොත් එදාට ඔහුට සාර්තක ව්‍යාපාරයක් කරන්න පුලුව්න් වෙයි කියල හිතන්න පුලුවන්. දැනටමත් කතාව දිග වැඩි වගේ. මේ කතා කියන්න මම සුදුසුද කියන එකනම් මම දන්නෙ නැ, නමුත් මේ වගේ ලිපියක් ඉතිහාසෙටම නොදැකපු නිසා මේ ටික නොකිව්වොත් මන් හිතන්නෙ නැ මම කරන්නෙ හරි දෙයක් කියල.

    කතාවට කියවනවෙ පීනන්න ඔනෙනම් වතුරට බහින්නම ඔනෙ කියල, මට කියන්න තියෙන්නෙත් එච්චරයි. මන් දැක්ක පීනන කිහිප දෙනක් මේ ලිපිය ට්වීට් කරල තියනව. ඔවුන්ගෙ ප්‍රතිචාර ලැබෙයි කියල බලාපොරොතු වෙනව. එහෙනම් අන්තිමට කියන්නම් උඹට ජය…!

    • මම බලාපොරොත්තුවෙන් හිටියෙ උඹ මේ ගැන ලියනකන්.

      කැම්පස් එකෙන් අවුට් වෙන එකාගෙන් බලාපොරොත්තු වෙන දේ
      කැම්පස් එකෙන් ගන්න පුලුවන් දේ හුඟක් අය ගන්නෙ නැති එක
      කැමපස් එකෙන් ලැබිය යුතු දේ නොලැබීම‍
      ව්‍යවසායකත්වය කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවදානමක්
      සහ ඒකට අවශ්‍ය වෙන අනිත් උපාධිය ගැන

      මේ දේවල් ගැන ලියල තියෙන දේවල් වල අගය මම හිතන්නේ මේ ගැන උනන්දු අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේකට තව එකතු කරන්න දේවල් මිසක් අඩු කරන්නනම් මොනවත් නැහැ.

      මේ ගැන දන්න කෙනෙක් විදියට අදහස් බෙදා ගත්තට ස්තුතියි මචං.

      • මේ දේවල් බෙදාගන්න කතිකාවතක් ඇතිකරපු උඹටත් පින් මච්න්. මොකද එකෙක් හරි ඒ පාරට වැටුනොත් ඒකෙන් අපිටත් පුංචි හරි සතුටක් ලැබෙයි. උඹට තුති… !

  4. උඹලට අනුව මම සමහරවිට අවාසනාවන්තයෙක් වෙන්න පුලුවනි. ඒ මම අදටත් කැම්පස් එක ඉස්සරහින් යනකොට පොඩිදු හෝ දුකක් හිතට මෝදුවෙනවා දැනෙනකොට.., ඒ මට කැම්පස් යන්න බැරිවුණ නිසා.
    .
    නමුත් මචන් උපාධියක් තියෙන කෙනෙකුට උපාධිය නැති කෙනෙකුට වඩා අවස්ථා බොහොමයක් විවෘත වී තියෙනවා.., ඒත් අවාසනාවකට වගේ ඒ විවෘත වුණු මාර්ගවලින් නව නිපැයුමක් කරලා රැකියා උපද්දන නව චින්තකයෝ කියන අය මේ සමාජයේ අඩුයි..!
    .
    සමහර විට ඒ කැම්පස් එකෙන් එලියට එන සුපිරි මොල වලට ස්වාධීන වෙන්න දෙන්නෙ නැතිව ඉහල පඩියකට සමාගම් වලට බඳවා ගන්න නිසා වෙන්න ඇති. ඒත් මට හිතෙන විදියට මචන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන කොට [එහෙම කරන නිසා මම අදටත් අත් විඳිනවා ඒ සැනසුම] හිතට තියෙන සැනසුම පිරිණු බව අර කීව විදියේ ආරාධනාවක් කල අය විඳිනවා කියලා මම හිතන්නේ නැහැ..!
    .
    අපිව රාමුවකට කොටු වීම ඉන් සීමා කෙරෙනවා..! අපට හිතලූවක් කරන්න ඉන් නිදහස තියෙනවා..! නිදහස නැති වුනත් මේ මහන්සි වෙන්නේ අන් ව්‍යාපාරයක් ගොඩ නගන්නට නොව සිය අනාගතය සඳහා මයි නේද කියන සිතුවිල්ල ගේන්නේ පුදුමාකාර සැනසිල්ලක්.!
    .
    ඒත් උඹ කීවා වැනි අධ්‍යාපන සුදුසුකමක් අද ලෝකේ අත්‍යාවශ්‍යයි..! එය මම අත් විඳිනවා..!

  5. The truth is that entrepreneurship in local Universities ( Specially in th Sri jayawardanepura University – management faculty which is considered the best ) is in grave stale. Students in that faculty do not have the guts to stand up for themselves how can you expect them to have the integral quality of entrepreneurship ? Majority of Students in Universities of Sri lanka are mere cowards that is the bitter truth (btw i also go to one of the local universities)
    for me entrepreneurship is all about perseverance, courage and passion.Somebody can say that there should be talent btw everyone has talent the person with perseverance is the one who will find it.

  6. ඔබ කියන බොහෝදේ සමග මම එකඟවෙමි. නමුත් සුපර් ස්ටාර්ලාවගේම සාර්ථක ව්‍යවසායකයිනුත් ඉබේම බිහිවෙන්න පුළුවන්. ප්‍රශ්නයකට තිබෙන්නේ ගව්සියන් චක්‍රයේ ඉස්සරහින්ම ඉන්න 2%ගැන විතරයි ලෝකයම කතාකරන්නේ. මහ සෑහෙන විශ්වාසයක් තිබෙනවා අපේ රටේ ඉතා සාර්ථක ගමේ මුදලාලිලා ඇති පාසැලක් පළාතෙවත් නොගිය. නමුත් ඔවුන්ගැන කවුරුත් නොදන්නේ ඔවුන් අර කියන 2%ට අයිති නොවුණු නිසා.

    මම පේරාදෙණිය වි.විද්‍යාලයට පස්සෙ ඇමරිකාවට ආචාරය උපාධියක් හදාරන්න ආවේ දැනුම සොයා යාමේ ආශාව නිසා. ඒසමගම මට හොඳ ‍රැකියාවක් ලබාගැනීමෙ අවස්ථාවන් උදාවුණා තමයි නමුත් ‍රැකියා වෙනුවෙන්ම ඇමෙරිකාවට පැමිණ ඉගෙනීමකළ සමහරුන්ට එවැනි අවස්ථා ලැබුණාද කියන එක මට සැකයි.

    මගේ හැඟීමේ හැටියට මුදල් ඉපයීම සාර්ථකත්වයනම් ඒ සඳහා උපාධියක් අවශ්‍යනැත. නමුත් කියවීම සහ අනිකුත් මාර්ගයවලින් දැනුම ලබාගැනීම අත්‍යාවශයයි. එසේම එම ලබාගන්නා දැනුම් විශ්ලේෂණාත්මකව අගැයීමකට ලක්කර තමන්ට අවශ්‍ය අයුරින් හසුරවා ගැනීමේ හැකියාවද අවශ්‍යයි. එම හැකියාව ඉගෙනීම තුළින්ද ලබා ගත හැකියි නමුත් සමහර උදවියට එය උපතින්ම ලැබෙන දෙයකි.

    අවසානවශයෙන් අපේ උපාධිධාරීන්ව පහත හෙළන මිනිසුන් වැඩියි. ඒය උපාධිධාරින් මෙන්ම රටේ ගමන් මග තීරණයකරන නායකයින්ද වග කිවයුතුයි. වැඩිදුර විස්තර මීට වඩා කාලය ඇති අවස්ථාවක ලියන්නම්.