OpenID සේවාදායකයින් ගැන කෙටි හැඳින්වීමක්

අවසාන ලිපියේ සඳහන් වුන විදියට අපිට OpenID සේවාව ලබා ගත හැකි ක්‍රම දෙකක් තියෙනවා.

  1. දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම
  2. අපගේ domain එකක් භාවිතා ‍කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම

දැනටමත් OpenID සේවාව ලබා දෙන ප්‍රසිද්ධ සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. මෙතනදී සේවා දායකයෙක් කියන්නේ OpenID සම්මුතියට එකඟව සේවාව සපයන අය. OpenID ප්‍රධාන වශයෙන් අනන්‍ය වෙන්නේ මෙවැනි සේවාදායකයින් විසිරී තිබිම නිසා. ඒ කියන්නේ ඒක විමධ්‍යගත (decentralized) ක්‍රමවේදයක්. මූලිකවම OpenID කියන්නේ සම්මතයක් පමණයි.

මෙවැනි ප්‍රසිද්ධ සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. මෙම සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. අපි OpenID භාවිතා කර පිවිසීමට හැකියාව ඇති අඩවි තුලට පිවිසෙන්නේ මෙම URL එක භාවිතා කරලා. මෙම ක්‍රියාවලිය ගැන මීලඟ ලිපියෙන් වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පහත තිබෙන්නේ OpenID සේවාදායකයින් කිහිප දෙනෙක් පිළිබඳ තොරතුරු.

  1. Google Accounts
    • බහුතරයකට දැනටමත් තියෙන දෙයක් තමයි Gmail ගිණුම්. බහුතරයක් නොදැනගෙන හිටපු දෙයක් තමයි මේ ගිණුම අපිට වෙනත් සේවා භාවිතා කරන්නත් යොදාගන්න පුලුවන් කියන එක. උදාහරණයකට අපි Blogger බ්ලොග් එකකට ප්‍රතිචාරයක් යොදන කොට අපිව හඳුනා ගැනීම සඳහා Gmail ගිණුම යොදා ගන්න පුලුවන්. මේ ස‍ඳහා Login වීමට ඇති තැන Google ලාංඡනය ඇති දැයි සොයා බලන්න. එය මත click කල පසු ඔබව Google Accounts Login පිටුවට රැගෙන යයි (මෙය http://google.com/accounts විය යුතුයි. අවම වශයෙන් google ඩොමේනය විය යුතුයි. වෙනත් ඩොමේනයක්නම් ඔබගේ රහස්‍ය තොරතුරු ඇතුලත් කරන්න එපා. බොහෝ විට OpenID authentication සිදු වෙන්නේ අදාල සේවාදායකයාගේ ඩොමේනයේ සිට මිස අප ඇතුලත් වීමට දරණ අඩවියේ නොවෙයි.).  එහිදී ඔබගේ Google ගිණුමට ඇතුලු වූ පසු ඔබව නැවත අදාල අඩවියට යොමු කරයි.
  2. Yahoo Accounts
    • Google ගිණුම භාවිතා කල ආකාරයෙන්ම Yahoo ගිණුමද භාවිතා කල හැකියි. අදාල අඩවියේ Yahoo ලාංඡනයක් තිබෙනවානම් එය මත click කරන්න.
  3. Blogger
    • ඔබට Blogger බ්ලොග් එකක් තිබෙනවානම් (http://xxxxx.blogspot.com) (Google ගිණුමක් තිබෙනවානම් Blogger ගිණුමක් ති‍බෙනවා. එය සක්‍රීය කර ගැනීම පමණයි අවශ්‍ය. ඒ සඳහා http://blogger.com වෙත යොමු වෙන්න.) එහි URL එක ඔබේ OpenID URL ලෙස භාවිතා කල හැකියි. එවිට ඔබව Blogger පිටුවට යොමු‍වෙනවා.  මේ විදියට Blogger OpenID ලෙස භාවිතා කර ඇති ලින්ක් එකක් මත click කලොත් අදාල බ්ලොග් පිටුවට යොමුවෙනවා.
  4. WordPress.com
    • WordPress.com බ්ලොග් එකක් (http://xxxx.wordpress.com) භාවිතා කරනවානම් ඔබට එහි URL එකත් OpenID URL එක ලෙස භාවිතා කරන්න පුලුවන්. මෙය භාවිතා කර ඇති තැන් වලිනුත් යොමු වෙන්නේ අදාල WordPress.com බ්ලොග් අඩවියට.
  5. ClaimId.com
    • මෙය OpenID සේවාදායකයෙක් ලෙසම ඇති සේවයක්. http://claimid.com වෙත ගොස් ඔබට claimid.com ගිණුමක් ලබා ගන්න පුලුවන්. එවිට එබට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් http://claimid.com/my_username ආකාරයෙන් පවතින්නේ.
    • Claimid භාවිතා කල තැනක් යොමු‍ වෙන්නෙ අප claimid තුල සාදන පිටුවක් වෙතට. නමුත් අපට අවශ්‍යනම් අපගේ පිටුවකට එය යොමු වෙන ආකාරයට සාදා ගත හැකියි. මෙය OpenID තුල හැඳින්වෙන්නේ delegation යනුවෙන්.
  6. chi.mp
    • මෙය ටිකක් වෙනස් ආකාරයේ සේවාදායකයෙක්. http://chi.mp වෙත ගොස් අපට අපගේම .mp ඩොමේනයක් සාදා ගන්න පුලුවන්. ඉන් පසු එම ඩොමේනය අපගේ OpenID URL එක ලෙස භාවිතා කරන්න පුලුවන්. උදාහරණයකට මට http://chamila.mp යන ඩොමේනය භාවිතා කරමින් OpenID පහසුකම ඇති අඩවියකට පිවිසෙන්න පුලුවන්.
    • chi.mp වල විශේෂත්වය වෙන්නේ OpenID සේවාදායකයෙකු වෙමින් වෙනත් සේවා ලබා ගැනීමටත් හැකියාව තිබීම. අපගේ twitter, facebook වැනි ගිණුම් මධ්‍යගතව හසුරවන්න පුලුවන් සේවා chi.mp මගින් ලබා දෙනවා. එහිදී අනවශ්‍ය ලෙස අපගේ රහස් පද ඉල්ලා සිටින්නේ නෑ. මෙයට අමතරව chi.mp වෙතින් අපට ඔවුන් සාදාදෙන අඩවියකුත් ලබා දෙනවා. එය පෞද්ගලික වෙබ් අඩවියක් ලෙසත් භාවිතා කිරීමට පුලුවන්.

මේ ලැයිස්තුව දිහා බැලුවොත් පේනවා දැනටමත් ඔබට OpenId ගිණුමක් තිබීමේ වැදගත් සම්භාවිතාවක් තියෙනවා කියලා. OpenId වල තියෙන අලංකාරය මේකයි. එය මධ්‍යගතව නැහැ. එයට භාරකාරයො නැහැ. OpenId.net, OpenId සම්මුතිය නඩත්තු කිරීමට ඇති සංවිධානයක් පමණයි.

ඔබට හෝ ඔබගේ සමාගමට අවශ්‍ය නම් කිසිම වියදමක් දරන්නේ නැතුව OpenID සේවාදායකයෙකු විය හැකියි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හිඟ නම් delegation යොදා ගෙන වෙනත් සේවාදායකයින් හරහා authentication කාර්යය කරවා ගන්න පුලුවන්.

සයිබර් සංස්කෘතිය ඇතුලේ අනන්‍යතාවය ඉතාමත් වැදගත්. මොකද අපි ලියන කියන දේවල් මොන ආකාරයෙන් කොහේ පිටපත් වෙලා කවුරු අපිව අනුකරණය කරනවාද කියන එක හරියටම කියන්න බැහැ. එම නිසා හැකි සෑම අවස්ථාවකම අනන්‍යතාවයකින් පෙනී සිටින්න පුලුවන් නම් වඩාත් හොඳයි. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම OpenID වෙති සාර්ථකව ලබා දීලා තියෙනවා.

හැබැයි මේක සත්‍ය තොරතුරු වලින් පෙනී සිටිනවා කියන එකට පටලවගන්න එපා. ඕනෑම අයෙකුට නිර්නාමිකව හෝ අන්වර්ථ නාමයකින් පෙනී සිටින්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ වගේම නිර්නාමිකත්වය රැක ගැනීමේ මූලික අයිතියකුත් තියෙනවා. කාටවත් බල කරන්න බැහැ තමන්ගේ සත්‍ය තොරතුරු යොදාගන්න කියලා. එහෙම කරන කෙනෙක් ඉන්නවනම් ඒ මෙහෙම දෙයක් ගැන මෙලෝ දෙයක් ගැන දන්නේ නැති කෙනෙක් හරි නැත්තන් ඔබේ පෞද්ගලික තොරතුරු දැන ගැනීමට උවමනාවෙන්ම අවශ්‍ය කෙනෙක් වෙන්න පුලුවන්.

මීළඟ ලිපියෙන් OpenID පහසු කම අඩවියකින් ලබා දෙන හැටි විස්තර කර ගනිමු.

2 thoughts on “OpenID සේවාදායකයින් ගැන කෙටි හැඳින්වීමක්

  1. මගේ budhajeewa.com හි පිහිටුවා තිබෙන WordPress ස්ථාපනය මත දුවන OpenID ප්ලගින්නෙකෙන් තමයි මම නම් OpenID එක හදාගෙන තියෙන්නේ. ඒත් chi.mp හොඳ සර්විස් එකක් වගේ, ඒකෙ ලියාපදිංචි වෙලා බලනවා.

  2. Pingback: OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය « Tech Buzz

Return Fire!