ඡායාරූප උඩුගත කිරීමේදී මේ ගැන සැලකිලිමත් වුනාද? | On the Ownership Issue of Uploaded Photos in Social Networks

Late today as well

ඡායාරූපකරනය හදාරන්න පටන් ගෙන ගන්න ඡායාරූප ගැන හොඳ නරක අහගන්න මොකක් හරි සමාජ ජාලයකට උඩුගත කිරීම ඕනෙම ආධුනික ඡායාරූප ශිල්පියෙකුගෙ (මාත් ඇතුළුව) පුරුද්දක්. රට පුරා සහ විවිධ වයස් සීමා පුරා අන්තර්ජාලය ව්‍යාප්ත වෙන අතරෙදි මේ පහසුකම, නැතිනම් තමන්ගෙ portfolio එකක් පහසුවෙන්ම වඩාත් විශාල‍ ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකට මුදාහරින්න පුළුවන් වීම, ඉතාමත් ජනප්‍රිය වෙනව.

නමුත් බොහෝ සමාජ ජාල වලට අපි ඇතුළත් වෙන අවස්ථාවෙදි ඒවාට අදාළ ToS (Terms of Service) පිළිබඳ අපි සැලකිලිමත් වෙන්නෙ නැහැ (ToS එකක් කියන්නෙ අර අපි කියවන්නෙ නැතුව පහළට ඇදල I agree …. blah blah කියල check කරන දිග හෑල්ල). ඒත් ඡායාරූපකරනයෙ යෙදෙන්නෙකුට මේ එක් එක් සමාජ ජාල වලට අදාළ ToS එකක් තියෙන්නෙ මොනවද කියන එක බොහොම වැදගත්.

මෙයින් ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නෙ තමන් උඩුගත කරන අන්තර්ගතයන් වලට අදාළ බුද්ධිමය දේපල අයිතිවාසිකම් (Intellectual Property Rights) කොටස. මෑතකදි කරපු කතාබහකදි මේ මාතෘකාව ඇදිලා ආපු නිසා මේ ගැන වැඩිදුරටත් සොයා බලලා ඉදිරිපත් කරන්නයි මේ ලිපිය යතුරු කරන්නෙ.

බුද්ධිමය දේපල කියන වචන දෙක තුන ටිකක් විතර සංකීර්ණ වෙනව අන්තර්ජාලය සහ සයිබර් ලෝකය වැඩිපුර අපේ ජීවිත වලට ඇතුල් වෙනකොට. විශේෂයෙන්ම කොපි හදන්න පුළුවන් වේගය මේ සංකීර්නතාවයට හේතුවෙනව. තව දුරටත් තමන්ට හිමිකම් අයිති දේකට හිමිකම් කීම සරල කාරණයක් වෙන්නෙ නැහැ.

මේ හේතුව නිසා තමන් උඩුගත කරන ඡායාරූපයක අයිතියට ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන දේ ගැන සැලකිලිමත් වීම විශේෂයෙන්ම ඡායාරූපකරනයෙ යෙදෙන්නන්ට වැදගත්. මේ ලිපියෙදි සාමාන්‍යයෙන් ඡායාරූප උඩුගත කරන්න භාවිතා කරන සමාජ ජාල තුනක් සංසන්දනය කෙරෙනව. ඒ Facebook, Google+ සහ Flickr (මේ තුන තෝරගන්න ප්‍රධාන හේතුව – මම භාවිතා කරන නිසා).

ඩිස්ක්ලේමරය: ලිපියෙ මින් පසු කොටස අදාළ වෙන්නෙ ToS වලට. මේ ToS නීතිමය ලියකියවිලි. ඉතිං අනිවාර්යයෙන්ම අපි වගේ අයට වැඩිය තේරුම් යන්නෙ නැති භාෂාවක් තමයි භාවිතා වෙන්නෙ. මම මේ නීතිමය ලියකියවිලි ගැන වැඩිය දන්නෙ නැහැ. මේ ලිපියෙ අන්තර්ගත වෙන්නෙ එක් එක් ToS එක කියවීමෙන් පසුව මම තේරුම් ගත්ත දේ. ඒ නිසා මෙහි සඳහන් වෙන දේ නීතිමය උපදෙස් විදියට ගන්න එපා. ඒ වගේම කියවන්නන් අතරේ නීති පිලිබඳ දැනුවත් අ‍ය සිටිනවානම් මේ ගැන නිවැරදි කරන්න දේවල් තිබෙනවානම් හෝ එකතු කිරීමට දේවල් තිබෙනවානම් අනිවාර්යයෙන් සඳහන් කරන්න අමතක කරන්න එපා.

Decide

Terms of Service වල අඩංගු දේ

පොදුවේ මේ සමාජ ජාල තුනේම ToS වල උඩුගත කරන අන්තර්ගතයන් වල (මින්පසු පොදුවේ ඡායාරූපය ලෙස හඳුන්වනු ලැබේ) බුද්ධිමය දේපල අයිතිවාසිකම් වලට අදාළ කොටස් අධ්‍යයනය කරනකොට පහත කොටස් ටික අඳුන ගන්න පුළුවන්.

උඩුගත කිරීමෙන් පසුව,

  1. ඡායාරූපයේ හිමිකම (Ownership)
  2. සේවා සපයන්නාට අවශ්‍ය අවම හිමිකම් බලපත්‍රය
  3. සේවා සපයන්නාට ලබා ගන්නා හිමිකම් බලපත්‍රය
  4. එම බලපත්‍රය බල සහිත කාලය
  5. එම බලපත්‍රය ලබා ගන්නා අරමුණ

මීට අමතර‍ව මේ එක් එක් සමාජ ජාල අපේ අරමුණට අනුව සැසඳීමේදී වෙනත් කරුණුත් යොදා ගන්න පුළුවන්. ඒ ගැන පසුව බලමු. මුලින්ම මේ සමාජ ජාල තුනේ ToS වල ඡායාරූප වල බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳ කොටස (නැතිනම් සේවා සපයන්නාට ලබා ගන්නා හිමිකම් බලපත්‍රයේ ආකාරය) ගැන බලමු.

Facebook

You own all of the content and information you post on Facebook, and you can control how it is shared through your privacy and application settings. In addition:

  1. For content that is covered by intellectual property rights, like photos and videos (IP content), you specifically give us the following permission, subject to your privacy and application settings: you grant us a non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license to use any IP content that you post on or in connection with Facebook (IP License). This IP License ends when you delete your IP content or your account unless your content has been shared with others, and they have not deleted it.
  2. When you delete IP content, it is deleted in a manner similar to emptying the recycle bin on a computer. However, you understand that removed content may persist in backup copies for a reasonable period of time (but will not be available to others).

(https://www.facebook.com/terms.php – 31-08-2011 දිනට අනුව)

Google+ (Google)

Content license from you

You retain copyright and any other rights you already hold in Content which you submit, post or display on or through, the Services. By submitting, posting or displaying the content you give Google a perpetual, irrevocable, worldwide, royalty-free, and non-exclusive license to reproduce, adapt, modify, translate, publish, publicly perform, publicly display and distribute any Content which you submit, post or display on or through, the Services. This license is for the sole purpose of enabling Google to display, distribute and promote the Services and may be revoked for certain Services as defined in the Additional Terms of those Services.

You agree that this license includes a right for Google to make such Content available to other companies, organizations or individuals with whom Google has relationships for the provision of syndicated services, and to use such Content in connection with the provision of those services.

You understand that Google, in performing the required technical steps to provide the Services to our users, may (a) transmit or distribute your Content over various public networks and in various media; and (b) make such changes to your Content as are necessary to conform and adapt that Content to the technical requirements of connecting networks, devices, services or media. You agree that this license shall permit Google to take these actions.

(http://www.google.com/accounts/TOS – 31-08-2011 දිනට අනුව)

Flickr

Yahoo! does not claim ownership of Content you submit or make available for inclusion on the Yahoo! Services. However, with respect to Content you submit or make available for inclusion on publicly accessible areas of the Yahoo! Services, you grant Yahoo! the following worldwide, royalty-free and non-exclusive license(s), as applicable:

….

With respect to photos, graphics, audio or video you submit or make available for inclusion on publicly accessible areas of the Yahoo! Services other than Yahoo! Groups, the license to use, distribute, reproduce, modify, adapt, publicly perform and publicly display such Content on the Yahoo! Services solely for the purpose for which such Content was submitted or made available. This license exists only for as long as you elect to continue to include such Content on the Yahoo! Services and will terminate at the time you remove or Yahoo! removes such Content from the Yahoo! Services.

(http://info.yahoo.com/legal/us/yahoo/utos/utos-173.html – 31-08-2011 දිනට අනුව)

flowers

සමාජ ජාල තුනම අපි උඩුගත කරන ඡායාරූප වල හිමිකම අපිටම දෙනවා. මෙම කොටසේ ප්‍රශ්නයක් නැහැ. සමහර විට පැහැදිලිවම පෙනෙන්න තියෙන කොටසක් නිසා වෙන්න ඇති. නමුත් ඊළඟ ප්‍රශ්නය වෙන්නෙ හිමිකම අපිට ලැබෙනකොට අපෙන් ඉල්ලන බලපත්‍රයට අදාළ වෙන්නෙ මොනවද කියන එක.

Facebook මේ බලපත්‍රයට එකතු කරන්නේ “a non-exclusive, transferable, sub-licensable, royalty-free, worldwide license to use any IP content” කියන අයිතීන් ටික. Google+, “a perpetual, irrevocable, worldwide, royalty-free, and non-exclusive license to reproduce, adapt, modify, translate, publish, publicly perform, publicly display and distribute” සහ Flickr “worldwide, royalty-free and non-exclusive license(s)…to use, distribute, reproduce, modify, adapt, publicly perform and publicly display” යන අයිතීන් ඒ බලපත්‍රයට ඇතුල් කර ගන්නව. මේ එක් එක් යෙදුම් වල තේරුම දල වශයෙන් මෙහෙමයි.

Non-exclusive කියන්නෙ අපිට තවත් තැනකට බලපත්‍ර ලබා දෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නෙ සරලවම (උදා:) Facebook වලට උඩුගත කරන ඡායාරූපයක් Flickr වලටත් Google+ වලටත් ප්‍රශ්නයක් නැතුව උඩුගත කරන්න පුළුවන් කියන එක.

Royalty-free කියන්නෙ මේ බලපත්‍රය භාවිතා කරනවට කිසිම ගෙවීමක් සේවා සපයන්නා (බලපත්‍රය ලබා ගන්නා පාර්ශවය) විසින් සිදු කිරීමට අවශ්‍ය නැති බව.

World-wide කියන්නෙ මේ බලපත්‍රය භාවිතා කිරීම දේශ සීමා වලට සීමා වෙන්නෙ නැහැ කියන එක. සරලවම ඉන්දියාවෙ තියෙන සර්වරයකත් ඇමෙරිකාවෙ තියෙන සර්වරයකත් වෙනසක් නැතුව මේ බලපත්‍රයෙන් ලබා දීලා තියෙන අයිතීන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන එක.

මේ ලිපියෙදි කතා බහට ලක්වෙන සමාජ ජාල තු‍‍නේම ToS වල සඳහන් වෙන යෙදුම් තුනක්. මේවා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනව කියල අපිට හිතාගන්න පුළුවන්. මේවාට අමතරව එක් එක් සමාජ ජාල තමන් පමණක් යොදා ගන්න යෙදුම් කිහිපයක් තියෙනව.

Facebook

Transferable කියන්නෙ මේ බලපත්‍රයම වෙනත් කෙනෙකුට ලබා දෙන්න බලපත්‍රලාභියාට අයිතිය තියෙනවා කියන එක. මේක සාමාන්‍ය ඡායාරූප උඩුගත කරන සේවාවකට අවශ්‍ය වෙන්නෙ ඇයි කියන එක මට ගැටලුවක්.

Sub-licensable කියන්නෙ මේ බලපත්‍රලාභියාට වෙනත් කෙනෙකුට ඔබේ ඡායාරූපය සඳහා තවත් බලපත්‍රයක් නිකුත් කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අවශ්‍යනම් Facebook විසින් වෙනත් ආයතනයකට වාණිජමය බලපත්‍රයක් යොදාගෙන ඡායාරූපය ලබා දීලා සල්ලි ‍හොයන්න පුළුවන් කියන එක (royalty-free නිසා ඔබට ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ).

Google+

Perpetual කියන්නෙ මේ ලබා දෙන බලපත්‍රය නැවත අලුත් කිරීමට අවශ්‍ය නැති බව. මේක අමතර අවශ්‍යතාවයක් විදියට බැහැර කරන්න පුළුවන්.

Irrevocable කියන්නෙ කිසිම අවස්ථාවක මේ බලපත්‍රය බල රහිත වෙන්නෙ නැති බව. මේක එක්තරා විදියක ප්‍රශ්නයක්. ඇයි කියල අපි පසුව කතා කරමු.

Flickr භාවිතා කරන්නෙ ඉහත සඳහන් යෙදුම් තුන පමණයි.

outlander

බලපත්‍රය නිමා වෙන කාල සීමාව මීලඟට සලකා බැලිය යුතු කරුණක්.

Facebook

Facebook බලපත්‍රය බල රහිත වෙන කොන්දේසිය විදියට සඳහන් කරන්නේ “This IP License ends when you delete your IP content or your account unless your content has been shared with others, and they have not deleted it.” යන කොටස. මෙය බැලු බැල්මට එකඟ විය හැකියි වගේ පෙනුණත් ඊළඟට තියෙන කොටස තත්වය ටිකක් සංකීර්ණ කරනව.

When you delete IP content, it is deleted in a manner similar to emptying the recycle bin on a computer. However, you understand that removed content may persist in backup copies for a reasonable period of time (but will not be available to others).

ඒ කියන්නෙ අපි ඡායාරූපයක් මැකූ පමණින්ම එය ඉවත් වෙන්නෙ නැහැ කියන එක. මේ මැකීමට විධානය ලබා දෙන අවස්ථාවත් සියලුම node වලින් ඡායාරූපය මැකී යන අවස්ථාවත් අතර කාලය ඇතුළත ඡායාරූපයට බලපාන කොන්දේසී යම් තරමකට අපැහැදිලියි. සාමාන්‍යයෙන් මෙම කාලය දවස් 14ක් පමණ වෙනව. ඉතිං මේ කාලය ඇතුළතදි ඡායාරූපය අයිති කාටද? එය කොපි කර තබා ගැනීමට පුළුවන්ද යන කාරණා ටිකක් අපැහැදිලියි. හැබැයි වැදගත්ම දේ ඡායාරූපය මකා දැමීම තුලින් මේ බලපත්‍රය බලරහිත කරන්න අපිට අවස්ථාවක් තිබීම.

Flickr

Flickr වල සඳහන් වෙන අන්දමට ඡායාරූපයකට අපි ලබා දෙන බලපත්‍රය අදාළ වෙන කාරණා අර්ථ දක්වන්නෙ “This license exists only for as long as you elect to continue to include such Content on the Yahoo! Services and will terminate at the time you remove or Yahoo! removes such Content from the Yahoo! Services.” ආකාරයට. ඒ කියන්නෙ අපි අදාළ ඡායාරූපය මකා දැමීම මගින් බලපත්‍රය බලරහිත කරනව කියන එක. මෙය වැඩි සංකීර්ණතා වලින් තොරව සඳහන් වෙන නිසා පැහැදිලි අදහසක් අපිට ලබා ගන්න පුළුවන්.

Google+

‍Google ToS එක බලපත්‍රය බලරහිත වෙන කොන්දේසි සඳහන් කරන්නෙ නැහැ. එහි සඳහන් වෙන ආකාරයට බලපත්‍රය irrevocable. ඒ කියන්නෙ අපි ඡායාරූපය උඩුගත කරන වෙලාවෙදි ලබා දෙන බලපත්‍රය ඡායාරූපය මකා දැමුවත් බලරහිත වෙන්නෙ නැති බවයි. මෙය අවශ්‍ය වෙන්නෙ ඇයි කියන එක මට හරියටම හොයා ගන්න බැරි වුනා.මගේ අදහසනම් මෙය අනවශ්‍ය කොටසක් බවයි. Google+ හෝ Buzz වලදි පෝස්ට් එකක් මැකූ විට එය feed වලිනුත් නැති වෙලා යන නිසා මෙහි යොදාගැනීම සිතාගන්න බැහැ. නමුත් මෙම ToS එක සියලු Google සේවා වලට අදාළ වන නිසා feed අදාළ වෙන Blogger සේවාවන් සම්බන්ධයෙන්නම් මෙය අදාළයි. Google Reader එකට පැමිණෙන සියලු post අදාළ තැන් වලින් මකා දැම්මත් Google Reader වල පවතිනවා. සමහර විට එය මේ යෙදීමට අදාළ ඇති.

awurudu_small

සැලකිය යුතු තවත් කරුණක් තමයි බලපත්‍රය අදාල වෙන්නෙ කුමන අරමුණු සඳහාද යන්න. Google+ සහ Flickr තමන් ඡායාරූප යොදාගන්න ආකාරය සඳහන් කරනව. මේ යොදා ගැනීම් මුලින් ටිකක් භයානක විදියට පෙනුණත් සාමාන්‍යයෙන් සමාජ ජාලයක ඡායාරූපයක් දර්ශනය කරනවනම් මේ අයිතීන් අවශ්‍ය වෙනව. උඩුගත කරන ඡායාරූපය තමන්ගෙ සර්වරය ඇතුළෙ ගබඩා කරගන්න, ගබඩා කර ගත් ඡායාරූප දර්ශනය කරන්න, ප්‍රමාණය (දිග, පළල) වෙනස් කරන්න වගේම RSS වැනි සින්ඩිකේටර සේවාවන් ලබා දෙන්නත් මේ අයිතීන් අවශ්‍ය වෙනව. ඒ නිසා මේ අයිතීන් (reproduce, adapt, modify, translate, publish, publicly perform, publicly display and distribute) ඉල්ලා සිටීම ගැන මොනවත් කියන්න බැහැ (සේවා සපයන්නාට අවශ්‍ය අවම හිමිකම් බලපත්‍රය).

අනිත් කාරණය තමයි Google+ සහ Flickr මේ අයිතීන් පාවිච්චි කරන්නේ කුමන අරමුණකටද (බලපත්‍රය ලබා ගන්නා අරමුණ) කියන එකත් පැහැදිලිවම සඳහන් කරනව.

  • Google+ – “This license is for the sole purpose of enabling Google to display, distribute and promote the Services
  • Flickr – “solely for the purpose for which such Content was submitted or made available”

නමුත් Facebook මේ ගැන වැඩිය විස්තර කරන්නෙ නැහැ. අයිතීන් ලෙස සඳහන් වෙන්නෙ එක වචනයයි. ඒ “use” යන්න පමණයි. මේ වචනය අපැහැදිලි වගේම බොහොම ලොකු පරාසයක යොදා ගැනීම් හඳුන්වන්න යොදාගන්නත් පුළුවන්. ඒ වගේම එසේ යොදාගන්නෙ කුමන අරමුණක් සඳහාද යන්න Facebook ToS එක සඳහන් කරන්නේ නැහැ. මේ නිසා ඕනෙම අරමුණක් සඳහා ඕනෙම ආකාරයකින් ඡායාරූප භාවිතා කරන්න Facebook වලට ඉඩ ලැබෙනවා කිව්වොත් වැරදි නැහැ.

vanguard

අමතර කරුණු

මෙන්න මෙතනදි තවත් ‍කරුණු කිහිපයක් කතා කරන්න වෙනවා. Google හා Flickr (Yahoo) සමාගම් වලට සාපේක්ෂව Facebook පරිශීලකයින්ගෙ පෞද්ගලිකත්වයට ගරු කරන මට්ටම ඉතාමත් පහළ මට්ටමක තියෙන්නෙ. අවුරුදු කිහිපයකට නොවැඩි අතීතෙක Facebook තමන්ගේ සියලුම පරිශීලකයින්ගෙ Privacy settings reset කිරීමකට ලක් කලා පමණක් නොවේ, එය වැරැද්දක් බව පිළිගැනීමටත් මැලි වුණා. සියලුම පරිශීලකයින්ගේ පරිශීලන දත්ත Facebook විසින් වෙනත් සමාගම්  වලට ලබා දෙන බව ප්‍රසිද්ධ රහසක්. Facebook Apps වෙනත් සර්වර් වල තබා ගැනීමට ඉඩ දීමෙන්ද පරිශීලකයින් ගැන ඔවුන්ගේ සැලකිල්ල අඩු බව සිතා ගන්න පුළුවන්. මෙවැනි තත්වයක් යටතේ Facebook වලට උඩුගත කරපු තමන්ගේ profile picture එකක් හදිසියේම porn වෙබ් අඩවියක මුල් පිටුවේ පිළිගැනීමේ නිලධාරීනි/නිලධාරියා විදියට තිබුණොත් ඒ ගැන තමන්ට කරන්න පුළුවන් දේවල් බොහොම අඩුයි. මේ තත්වයට බලපත්‍රය බල සහිත කාල සීමාව වගේම බලපත්‍රය වෙනත් අයෙකුට ලබා දිය හැකිද (වාණිජව හෝ එසේ නොමැතිව – sub-licensable) යන්නත් බලපානවා.

Google+ පැමිණීමට පෙර පරිශීලක පෞද්ගලිකත්වයට අදාළ කරුණු වලදි Facebook හැසිරුණේ නියම චණ්ඩියෙක් විදියට. නමුත් Google+ විවිධ පෞද්ගලිකත්වයට අදාළ tweaks ප්‍රමාණයක් රැගෙන ආවට පස්සෙ Facebook දැන් පිස්සුවෙන් වගේ පෞද්ගලිකත්වය වඳිනව. පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙන්න ප්‍රධාන පෙලේ තරඟකරුවෙක් කරළියට එනකන් ඉන්නව කියන දේ එච්චර විශ්වාසය ගොඩ නංවන දෙයක් නෙමෙයි.

අනිත් අතින් Google කියන්නෙත් එච්චරම සුදු හුණු ගාන්න වටින කෙනෙක් නෙමෙයි. Google දුවන්නෙ අපේ දත්ත උඩ. හැබැයි බොහෝ වෙලාවට පරිශීලන දත්ත උඩ. ඒක සැඟවුණු රහසක් නෙමෙයි. අනිත් දේ තමයි හැම මුට්ටියකටම අත ඔබන්නත් Google දක්ෂ වීම. ඒ නිසා යම් දවසක Stock Photoසේවා සපයන්නෙක් වෙන්න හිතුනොත් Google ඒ දේ නොකර අරින්නෙ නැහැ.

Flickr මේ දෙන්නට සාපේක්ෂව ටිකක් විතර අහිංසකයි. හැබැයි ඉඳල හිටල මුලු ගිණුම් පිටින් වැරදිලා මකා දැමීම් වගේ දේවල් Flickr වලින් සිදුවෙනව.

සැලකිල්ලට ගන්න ඕනෙ තවත් කරුණක් තමයි ප්‍රේක්ෂක ප්‍රමාණය. බොහෝ වෙලාවට මේක Facebook වලදි වැඩියි. Google+ තවමත් නොමේරු අවදියක තියෙන්නෙ. Flickr ඇතුළෙ ඉන්න පරිශීලකයින් ප්‍රමාණය Facebook හෝ Google+ වල දකින්න පුළුවන් මට්ටමකට ක්‍රියාකාරී වෙන්නෙ නැහැ. හැබැයි බොහෝම focus වුන පරිශීලිකයින් කොටසක් අපිට Flickr වලින් හොයාගන්න පුළුවන්.

අන්තර්ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම බොහෝ වෙලාවට Facebook තුලදි වැඩියි. Groups, wallposts, messages වගේ දේවල් තුලින් අපිට ඡායාරූප ‍උඩුගත කර විශාල පරිශීලකයින් ප්‍රමාණයකට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි Google+ මේ ක්‍රියාකාරීත්වයන් ලඟදීම ලබා නොදෙයි කියන්නත් බැහැ. Flickr වල කණ්ඩායම් හදා ගැනීම ජයටම කෙරෙන නිසා එයත් අන්තර්ක්‍රියාකාරීත්වයට සහය ලබා දෙනව.ඒ වගේම කී දෙනෙක් ඡායාරූපය බැලුවද කියන තොරතුර දැනගන්න Flickr ඉඩ දෙනව.

ඡායාරූපය දර්ශනය කරන ආකාරයත් එක්තරා විදියකට වැදගත්. Facebook ඇතුළෙදි ඡායාරූප එකින් එක බලාගෙන යෑම පහසු වුනත් එහි thumbnail එකක කුඩා ප්‍රමාණය නිසා බැලු බැල්මට ඡායාරූපයක වටිනාකම පෙනෙන්නේ නැහැ. අනිත් එක Google+ හා Flickr තුලදි ඡායාරූපයට පිටුපසින් තියෙන්නෙ කලු පාට background එකක්. මෙය ඡායාරූපය පහසුවෙන් රස විඳින්න ඉඩ දෙනව. Facebook මේ අතින්නම් අනිත් අය අනුගමනය කරන්න ගිහින් වැඩ නාගන්න පාටක් පේන්න තියෙන්නෙ.

 ප්‍රතිචාර ලබා දීමේදී Facebook හෝ Google+ වඩාත් පහසු වුනත් Flickr වලට ප්‍රතිචාර ලබා දෙන්න Facebook හෝ Google යොදාගෙන sign-in වෙන්න පුළුවන්. මේ නිසා Flickr වලදි කණ්ඩායම් දෙකේම පරිශීලකයො කොටස් වෙතට යන්න පුළුවන් කිව්වත් නිවැරදියි.

commander

නිගමනය

Portfolio එකක් ආකාරයට සමාජ ජාලයකට ඡායාරූප උඩුගත කරනකොට බුද්ධිමය දේපල අයිතිවාසිකම් වලට අදාළව ඇතිවෙන අවශ්‍යතා කිහිපයක් තියෙනව.

  1. ඡායාරූපයේ හිමිකම අපිට හිමිවෙන්න ඕනෙ
  2. ඡායාරූපය උඩුගත කරන සේවා සපයන්නාගෙන් බලාපොරොත්තු වෙන සේවාවට අදාළ හිමිකම් පමණක් සේවාදායකයා ඉල්ලා සිටිය යුතුයි
  3. අවශ්‍ය අවස්ථාවකදි ඡායාරූපය ඉවත් කර ගැනීම මගින් උඩුගත කිරීමේදී ලබා දුන් අයිතීන් ඉවත් කර ගැනීමට හැකි වෙන්න ඕනෙ

මෙම ලිපියට ඇතුළත් කරගෙන තිබෙන සමාජ ජාල තුන (Facebook, Google+ සහ Flickr) අතුරින් මේ අවශ්‍යතා තුනම පැහැදිලිවම සම්පූර්ණ කරල දෙන්නෙ Flickr සේවයෙන් පමණයි. Facebook මේ තිදෙනාගෙන් අන්තිම නරක සේවාවක් දෙන්නෙ. Google+….ම්ම් අනේ මන්ද.

ඒත් මේකට අමතර කරුණුත් ඇතුළත් කරගත්තොත් බොහෝ ‍විට Google+ Flickr වලට වඩා වටිනවා. සමාජ ජාලකරනයම අරමුණු කරගෙන ආරම්භ වුනු නිසා (potentially) වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තමන්ගේ ඡායාරූපය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ එක්කම Google+ වලට එකතු කරන ඡායාරූපයක් දර්ශනය වන්නෙ සාමාන්‍යයෙන් දැකිය හැකි ප්‍රමාණයකින්. Facebook වල කුඩා ප්‍රමාණයේ thumbnail එකකට වඩා ඒ දර්ශනය වන ආකාරය වටිනවා.

Google+ වල ප්‍රශ්නයක් විදියට කලින් පැහැදිලි කරපු irrevocable බලපත්‍රය වැඩිමනත්ම ප්‍රශ්නයක් නොවෙන්නෙ උඩුගත කරන ඡායාරූපය සේවාව සැපයීමට පමණක් යොදා ගන්න නිසා. මේ කරුණ නිසා Flickr සහ Google+ සමාන තලයකට දාලා සලකන්නත් පුළුවන්.

අන්තර්ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙනුත් Google+ ඉහල තැනක සිටියත් කණ්ඩායම් සෑදීම වැනි ක්‍රියාකාරකම් තවමත් Google+ තුලින් ලබා ගන්න බැහැ. ඒත් ඉතාමත් මෑත අනාගතයකදී මේ සියලු පහසුකම් ලබා දෙන්න Google+ කටයුතු කරයි.

අවසාන වශයෙන් කියන්න පුළුවන් වෙන්නෙ නුදුරු අනාගතයෙදි Google+ ඡායාරූප ශිල්පියෙකුට අවශ්‍ය සියලු කටයුතු පහසුවෙන්ම ඉටු කරල දෙන පරමාදර්ශී හෝ ඊට ආසන්න සේවාවක් බවට පත් වෙන ලකුණු තිබෙන බවයි. ක්ෂේත්‍රයේ අනෙකුත් ශිල්පීන් සමඟ සම්බන්ධ වෙන්නත් වඩාත් ප්‍රබල විචාරක සංස්කෘතියක් ඇති වීමටත් එය බලපාන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම ඔවුන් මැනවින් සම්පූර්ණ කරල තියෙනව.

නමුත් ඡායාරූප ගබඩා කර තැබීමට වඩාත් සුදුසු විය හැක්කේ Flickr. සියලුම නීතිමය අවශ්‍යතා ඉටු කර දෙන්නෙ ඔවුන් පමණයි. ඒ වගේම ඡායාරූපකරනයටම වෙන් වුන සේවාවක් නිසා ඒ සම්බන්ධ වාසි ගණනාවක්ම ලබා ගත හැකි වෙන්නත් පුළුවන්. එය දැනටමත් යම් පමණකට de facto එකක් වෙලා ඉවරයි.

Facebook වලට යද්දි සොයාගන්න වෙන්නෙ වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් සිටීම සහ කණ්ඩායම් ලෙස එකතු වීමේ පහසුකම පමණයි. නමුත් මේ දේ ලබා ගන්න ගෙවන්න වෙන මිල සමහර විට අනාගතයෙදි අධික වෙන්න පුළුවන්. ඉතාමත් මෑතක් වෙනකන් Flickr ඡායාරූපයක් Facebook තුල link එකක් ලෙද share කරන්න පුළුවන් වුනත් ඊයෙ සිට එසේ කිරීමට නොහැකියි. නමුත් එසේ කල හැකිනම් Facebook හෝ Google+ සමඟ Flickr සේවාව සම්බන්ධ කිරීම ඉතාමත්ම නුවණට හුරු ක්‍රියාවක්. එය නීතිමය වශයෙන් විශ්වාසයත්, වැඩි ප්‍රේක්ෂකයින් ප්‍රමාණයකුත් එකට එකතු කර ගැනීමක් වෙනවා.

කෝකටත්

ඉහත සඳහන් ඉතාමත් පරිශීලක හිතවත් ToS එකක් වුවද සේවා සපයන්නාගේ තනි කැමැත්තට වෙනස් කල හැකි නිසා මංගත (Online) කිසියම් හෝ තැනකට ඡායාරූපයක් උඩුගත කරනවානම් පහත සඳහන් පියවර අනුගමනය කරන එක වඩාත් ආරක්ෂා සහිතයි.

  1. හඳුනාගත හැකි දිය සලකුණක් යොදන්න.
  2. High-res (සාමාන්‍යයෙන් pixel 1000ට වඩා වැඩි) ඡායාරූප උඩුගත කරන්න එපා.
  3. හැකිනම් තමන් ලබා ගත් සර්වරයකට උඩුගත කරන්න (bandwidth එක ගැටලුවක් වෙන්න පුළුවන්).
  4. සෑම විටම වාගේ ToS එකේ වැදගත් තැන් කියවා බලන්න.

මේ ලිපිය තුලින් කතා බහ කෙරුණු කරුණු ගැන අදහසක් ගන්න පුළුවන් සිද්ධියක් සමඟ ලිපිය අවසාන කරන්නම්. ජනප්‍රිය මයික්‍රෝ බ්ලොගින් සේවාවක් වන Twitter සඳහා මෑතක් වෙනතුරුම de facto විදියට භාවිතා කෙ‍රුණු ඡායාරූප උඩුගත කිරීමේ සේවාවක් වෙන TwitPic තමන්ට උඩුගත කරන සමහර ඡායාරූප රූපවාහිනී ජාලයකට විකිණීමට ගිවිසුමකට එලඹී අවසන්. තමන් උඩුගත කරන ඡායාරූපයක අයිතිය තව දුරටත් තමන්ට තියෙනවද කියන එක සලකා බලන්න ඒ සිදුවීමම පමණක් ඇති.

traveler

17 thoughts on “ඡායාරූප උඩුගත කිරීමේදී මේ ගැන සැලකිලිමත් වුනාද? | On the Ownership Issue of Uploaded Photos in Social Networks

  1. චමිලයිය, මේක තමා මම මෑතකදී කියෙව්වා වටිනාම ලිපිය. කොටින්ම මේ ToS එක්ක තියෙන කාරණා එක්ක එකඟ වෙන්න බැරි නිසායි මම ඇතැම් Draft (and rejected to portfolio) පින්තුර දැන් දාන්නේ. පරණ පින්තුර තියාගෙන පෞද්ගලික පින්තුර නම් තවම දානවා.

    ඒ හැරෙන්න අනිත්වා දානවා නම් දාන්නේ මගේ එකේ මිසක්! =D

    මේ මේ කාරණා ලෝකෙන් 3/4කට වඩා වැඩි දෙනෙක් තේරුම අරන් නෑ වගේම ඒ ඒ නිසා තමාට අහිමි වෙන සහ හිමි වෙන දේ සලකා බලන්නේ නැති තරම්.

    අපේ අය දැන්වත් මේ ගැන හිතුවොත් හොඳයි.

  2. මේක නම් හුගක් වටිනව මචන්. මේ වගේ දේවල් එලියට එනව පේනව අඩුයි. හුගක් මහන්සි වෙලා තියෙනව වැඩේට. ස්තූතියි මචන්.

  3. සෑහෙන මහන්සියක් වෙලා ලිව්වට පාඩු නැහැ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ හිතන්න දේවල් ගොඩක් ඉතිරි වෙලා. සුපිරි ලියමනක්!

  4. අඩු ලුහුඬුකම් තිබුණත් මේ ලිපිය බොහෝ ම වටිනව.
    බුද්ධිමය දේපළ පනත ගැන මාත් හොඳට හොයමින් ඉන්නෙ..!!

  5. මේක නියමයි මචං, අපිට ගොඩක් වැදගත් කරුණු ටිකක් දැනගත්ත. මම කියවපු හොදම ලිපියක් මේක..

  6. ගොඩාක් හොද ලිපියක්. මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහෝම ස්තතූතියි මහන්සිවෙලා මේ ලිව්වාට.

    අපි බලා ඉදිමු Google + වලින් වඩා හොද සේවක් ලැබෙන කම්

  7. You have done a siginificant research malli.

    i suggest you develop this to a real research. it will be really interesting for you and it will be really useful for the society. especially the cyberspace.

    these are indeed ‘articles’ .. excellent !!!!!

  8. පොඩි ප්‍රශ්ණයක්. පොඩි කිව්වට පොඩිමත් නැහැ. සමස්ථ ලිපියෙම අන්තර්ගතයට බලපාන කරුණක්. Royalty Free රොයල්ටි ප්‍රී කියන එකෙන් අදහස් කරන්නෙ එක් අයෙකුට සින්නත්ර අයිතිය නොදී නියමිත කාලසීමාවක් කුල ඔ්නෑම වාර ගණනක් අලෙවි කල හැකි සහ ඔනෑම කෙනෙකුට (මුදල් ගෙවා) භාවිතා කළ හැකිවීම. උදාහරණයක් හැටියට ළමයෙක් අයිස්කී්්‍රම් කන ඡායාරූපයක් රෝයල්ටි ප්‍රී හැටියට ස්ටොක් සයිට් එකක තිබුනා කියල හිතමු. ඒක කෙනෙක් මිලදී ගත් පසු සයිට් එකෙන් අයින කරන්නෙ නැහැ. තවත් කෙනෙතුට තවත් කටයුත්තක් සඳහා මිලදී ගන්න පුලුවන්. කාර්ගිල්ස් අයිස් කී්‍රම් වලට ගත්තු එකක් නොදැනුවත්මව එලිපන්ට හවුස් දැන්වීමටත් ගන්න පුලුවන්. ඒ නිසා ලොකු ලොකු සමාගම් වලින් තමන්ගෙ දැන්වීම් වලට රොයල්ටි ප්‍රී පොටෝ යොදා ගන්නෙ නෑ. තව කෙනෙක්ට ගන්න පුලුවන් නිසා ඔවුන් හොදාගන්නෙ රයිට් මැනේජ් Right managed කියන වර්ගයේ ඡායාරූප.

  9. මේක වටින ලිපියක් චමිල අයිය..මට හිතෙන විදියට දැනට ඒ සේවාව හොදටම දෙන්නෙ flicker විතරයි.මීට අවුරුද්දකට එකහමාරකට කලින් මට මතකයි බින්කුත් ඔය ගැන කිව්ව.facebook එකේදි තමන්ගෙ ෆොටෝ එකක අයිතිය ගැන කතාකරන්න ගියොත් ඒ මිනිහ පිස්සු මිනිහෙක් විදියටයි සලකන්නෙ.මේ හැම දේම දියුනු උනා ‍වගේ මේ නීතියත් දියුනු වෙයි.හැබැයි අපිට හිතන්න බැහැ ඔවුන්නුත් මේ වැඩේ අතාරියි කියල.

  10. හොඳ ලිපියක් කාලය වැය කරාට තුති..

    ” මෙවැනි තත්වයක් යටතේ Facebook වලට උඩුගත කරපු තමන්ගේ profile picture එකක් හදිසියේම porn වෙබ් අඩවියක මුල් පිටුවේ පිළිගැනීමේ නිලධාරීනි/නිලධාරියා විදියට තිබුණොත් ”

    :O :O :D මේව ලිව්වම අපි බයවෙනෝ නේ..

  11. Maxxa..

    මට මෙහෙම ප්‍රශ්නයක් have.. අපි දාපු පිංතූරයක් කවුරු හරි උස්සලා, Tag තියෙනවනම් මකලා වෙන මොකකට හරි පාවිච්චි කලොත්? 
    අයිතිය අපේ සහ ඒ කරපු වැඩේ වැරදි උනත්, අපි මොනව කියල කරන්නද? උස්සපු එකා හොයං ගිහින් නඩු දාන්නද?? කාට විරුද්ධව, කොහෙටද පැමිණිලි කරන්නෙ???
    අනිත් එක ලංකාවෙ Online Crimes වලට ක්‍රියාමාර්ග ගන්න හැටි දන්නවනෙ.. ;)

  12. In Sir Lanka many people do not bother about License and copyrights so they dont have much interest, this is a great post that focus on those areas. Great work.

  13. මේ වගේ හොඳ ලිපියක් කියවන්න හම්බුනේ ගොඩක් කාලෙකට පස්සේ.. මම නම් කවදාවත්ම TOS එක කියවල නෑ :D දැන් නම් ඒක හිතන්න දෙයක් වෙලා. ස්තූතී අපිව මේ ගැන අවධානයට යොමු කලාට :) ජය!

  14. ඉතා වැදගත් කරුණු ටිකක්!
    පුලුවන් නං මචං, ප්‍රසිද්ධ ස්ථාන වල සහ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමේදී බලපැවැත්වෙන නීති ගැනත් ටිකක් හොයලා ලිපියක් දාපං. (හැබැයි ලංකාවේ නං ඔය නීති තැනින් තැනට වෙනස් වෙනවා)

Return Fire!