Package Management and Offline Installation in Ubuntu 8.1

අපි වින්ඩෝස් පද්ධතියකට මෘදුකාංගයක් දාන්නේ කොහොමද? ඕන මෘදුකාගංය හොයනවා අන්තර්ජාලයේ. හොර කොපියක් හරි කමක් නෑ. හොයලා බාගත කරලා double click කරලා Next කරනවා. නේද? හරි. ගෙදර අන්තර්ජාලය නැත්නම්? එහෙනම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් අරගෙන කැෆේ එකකට ගිහින් අවශ්‍ය දේ බාගත කරලා අර කරන විදියටම ස්ථාපනය කරනවා. ඒකත් එක අතකට ලේසියි නේ?

හැබැයි ලිනක්ස් වල මෘදුකාංග ස්ථාපනය එහෙම ලේසි නෑ. සමහර පද්ධති වල ඇර double click කරලා මෘදුකාංග දුවන්න බෑ. හුඟක් මෘදුකාංග වලට තවත් මෘදුකාංග ඕනේ. ලිනක්ස් වලදී මේ මෘදුකාංග ස්ථාපක (installers) වලට කියන්නේ packages කියලා. ඒවා හරියට වින්ඩෝස් වල .exe හෝ .msi ගොනු වගේ. ඉතින් ලිනක්ස් වලදී හුඟක් packages වලට තවත් packages ඕනේ දුවන්න. මේ තත්වයට කියන්නේ package dependencies කියලා. මේක අලුත් දෙයක් නෙවෙයි.

කවදා හරි වින්ඩෝස් පද්ධතියක ගේම් එකක් ගහලා තියෙනව ද? නැත්තන් අදම ගිහින් ගහලා එන්න ලිනක්ස් වල වැඩ දාන්න කලින් ;) . අපි ගේම් එකක් ස්ථාපනය කරද්දී ගේම් එක විතරද ස්ථාපනය වෙන්නේ? ඔබ Add/Remove Programs වලට ගිහින් බැලුවොත් දකියි ගේම් එකට අමතරව බොහෝවිට DirectX10, PunkBuster, PhysiX Engine වගේ entries ඒ ලිස්ට් එකේ තියෙනවා. ඒවා මත තමයි ගේම් එක වැඩ කරනවාද නැද්ද කියන එක රඳා පවතින්නේ. එහෙමත් නැත්තන් ගේම් එකේ dependencies වෙන්නේ ඒවා.

මෘදුකාංග ස්ථාපනයෙදි අපි Package Manager එකක් භාවිතා කරන්නේ මේ හේතුව නිසයි. අපි package manager එකක් භාවිත නොකරොත් අපිට අර package dependencies එකින් එක හොය හොය වෙන වෙනම ස්ථාපනය කරන්න වෙනවා. මේක අමාරු වෙන්නේ සමහර වෙලාවට සමහර dependencies එකට ස්ථාපනය කරන්න බැරි වෙන වෙලාවට. මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න වෙනවා package manager එකක් භාවිතා කරන්නේ නැත්නම්. Package manager එකකින් package dependencies හොයන එක, updates හොයන එක වගේ නොයෙකුත් වැඩ කරලා අපිට මෘදුකාංග ස්ථාපනය පහසු කරනවා.

වර්ථමානයෙදි භාවිත කරන Package Managers කිහිපයක් මේ.

  1. Synaptic Package Manager (apt)
  2. Yellowdog Updater Modified (yum) – RPM files (RedHat based)
  3. dpkg – .deb files (Debian based)
  4. Portage (Gentoo linux’s own package manager)

උබුන්ටු වලට සිංහල ස්ථාපනය ගැන තිබුන ලිපියේ භාවිතා කරලා තිබුනේ apt. Synaptic Package Manager (System->Administration->Synaptic Package Manager) කියන්නේ ඒ tool එකේම GUI එක. උබුන්ටු වල සාමාන්‍යයෙන් භාවිත කරන්නේ apt. ෆෙඩෝරා වල yum. dpkg උබුන්ටු වල එනවා. මම එය භාවිත කරලා නෑ. එය හැම Debian පද්ධතියකම භාවිතා කරන tool එකක්.

Package Manager එකක් මෘදුකාංග ලබා ගන්නේ Repository එකකින්. විවිධ සංවිධාන මෙම Repo පවත්වගෙන යනවා. මේවාට ඇතුලු වීමට තමයි අන්තර්ජාල පහසුකම අවශ්‍ය වෙන්නේ. අපිට අන්තර්ජාල පහසුකම තිබෙන පරිගණකයකට මෘදුකාංගයක ස්ථාපනය කිරීමට apt පහත ලෙස යොදා ගන්න පුලුවන්.
apt-get install package_name
මෙලෙස විධානය ලබා දුන්නාම අවශ්‍ය dependencies list එක apt මගින් හදනවා. ඉන්පසු සියලු packages ස්ථාපනය කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණයත් සමඟ අපට prompt කරනවා. අපට තියෙන්නේ අනුමැතිය y ලෙස ලබා දීම විතරයි.
Repository එකෙන් ලබා දෙන මෘදුකාංග ලැයිස්තුව update කරන්න පහත විධානය ලබා දිය හැකියි.
apt-get update
සමහර අවස්ථා වලදී apt-get install package_name ලෙස ලබා දුන් විට අදාල package එක සොයා ගැනීමට නොහැකි ලෙස පනිවිඩයක් දු
න්නොත් ඉහත update විධානය ලබා දී බලන්න.

දැන් තව ප්‍රශ්නයක් එනවා. එහෙනම් අන්තර්ජාල සම්බන්ධතාවය නැති ලිනක්ස් පද්ධතියක මෘදුකාංග ස්ථාපනය කරන්න බැරිද? එහෙනම් එහෙම පද්ධතියකට ලිනක්ස් වැඩක් නෑ නේද?

මෙය බොහෝ වෙලාවට ඇත්ත. අන්තර්ජාල සම්බන්ධතාවයක් නැත්තන් මෘදුකාංග ස්ථාපනය package manager එකක් නැතුව manually කරන්න ගියොත් ඔලුව කැක්කුමක් හදාගෙන නවතින්න වෙන්නේ. මොකද එක package එකක් ස්ථාපනය කරද්දී කියයි තව එකක් නැතුව ඒක වැඩ නෑ කියලා. හැබැයි මේ තත්වය වින්ඩෝස් පද්ධතියකට හෝ වෙනත් පද්ධතියකටත් ඇත්ත වෙනවා. මොකද අපි කැෆේ එකකට ගියත් බොහො වෙලාවට ගෙදර ඇවිත් බලද්දී මොකක් හරි මගුලක් අඩුයි කියයි. Jre, .NET framework, flash player, codecs..etc. ගෙදරම අන්තර්ජාලය තියෙනවනම් එවලෙම බාගත කරලා ඒක ස්ථාපනය කරන්න පුලුවන්. නැත්තන් ආයේ බඩගාපන් කැෆේ.

අන්තර්ජාලය නැත්නම් කරන්න පුලුවන් වැඩ ටිකක් මේ තියෙන්නේ.

  1. කොහොම හරි අන්තර්ජාලය ගන්න එක – අන්තර්ජාලය පරිගණකය ලඟට ගේන්න බැරිනම් පරිගණකය අන්තර්ජාලය ලඟට ගෙනිහින් හරි කමක් නෑ. මේක තමයි ලේසිම විකල්පය.
  2. Repository එකක් මිලදී ගැනීම – Repo, CD හෝ DVD ලෙස මිලදී ගැනීමට තියෙනවා. මෙන්න උබුන්ටු 8.1 සඳහා Repo ලබා ගැනීමට link දෙකක් – on-disk.com, osdisc.com. මේවා බාගත කලාට පසුව System->Admin->Software Sources වෙත ගොස් CD/DVD Drive එක source එකක් ලෙස ලබා දිය හැකියි. මෙය නොමිලේ ලබා ගන්න තියෙනවද කියන එක නම් දන්නේ නෑ.
  3. packages offline ස්ථාපනය කිරීම සඳහා ඇති මෘදුකාංග භාවිතයෙන් – මේ වන විට මෘදුකාංග offline ස්ථාපනය කිරීම සඳහා වෙනත් මෘදුකාංග කිහිපයක් තිබෙනවා. මම මෙයින් එකක් ඊළඟ පෝස්ට් එකෙන් හඳුන්වා දෙන්නම්. මේ මෘදුකාංග වලින් අන්තර්ජාලය තිබෙන පරිගණකයකින් packages බාගත කරගෙන අදාල ලිනක්ස් පරිගණකයේදී නැවත ස්ථාපනය කරන්න පුලුවන්.
  4. Packages manually ස්ථාපනය – ඊළඟ මාස දෙක තුනේදි කරන්න වැඩි වැඩක් නැත්තන් මේක කරන්න.

එක අතකින් බලනකොට ලිනක්ස් වල තියෙන Package Management වගේ functionality එකක් වින්ඩෝස් වල තියෙනවනම් හොඳයි කියලත් හිතෙනවා. මොකද සමහර වෙලාවට වින්ඩෝස් වල මෘදුකාංග ස්ථාපනයත් බිහිසුණු අත්දැකීමක් වෙනවා. Windows Update එක ආකාරයක Package Management System එකක් එක අතකින්. ඒත් එක යාවත් කාලීන සඳහා පමණයි.

ලිනක්ස් වලදී වින්ඩෝස් වල මෙන් මෘදුකාංග ස්ථාපනයකින් පසුව system restart එකක් අවශ්‍ය වෙන්නේ කලාතුරකින්. බොහෝ වෙලාවට logout වී නැවත login වීම ප්‍රමාණවත්.

හරි. ඔය තියෙන්නේ ලිනක්ස් Package Management. මම ඊළඟ පෝස්ට් එකේ දාන්නම් අන්තර්ජාල සම්බන්ධතාවය නැති පරිගණකයකට කොහොමද codec සහ තවත් මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කරන්නේ කියලා.

Bibliography

5 thoughts on “Package Management and Offline Installation in Ubuntu 8.1

  1. ඔය ඒක ඒක ක්‍රමයන්හී පැකේජයන් ස්ථාපනය කිරීමේදී අප ඇතුලත් කර ඇති Source වල එම පැකේජය තිබේද යන්න බැලීම ද කල හැක.

  2. මම ඉස්සර පාවිච්චි කලේ Dial-up එකක්.
    නිකං ඉන්න වෙලාවක දැම්මා උබුන්ටු

    List එක නම් ඩයල්-අප් වලින් ආබාධයක් නැතුව update වෙනවා.

    ඒත් Package???

    පස්සෙ, Download වෙන්න හදන එව්වගෙ ලින්ක් ටික අරං Cafe එකකින් Download කරල..‍… ඔන්න ඔහොම හරි install කලා.

    ඒත් ඒ සෙල්ලම ඉවර වෙන එකක් නෙමෙයි. අන්න එදා තමයි මට උබුන්‍ටු එපා උනේ.

    එදා ඉඳල අද වෙනතුරු (Live CD එකකින් ඇරෙන්න) උබුන්ටු පාවිච්චි කරල නෑ.

    (දැන් නම් HSPA තියෙන නිසා පස්සෙ වෙලාවක ආපහු දානවා…)

    :D

  3. @har
    එය කල හැක්කේ GUI සපයා ඇති package managers වලින් පමණක් නෙවෙයිද?

    @ගයන්ත
    මම කියන්නම් ඕක ලෙසියෙන් කරන්න වැඩක්. ආයේ උබුන්ටු දා ගන්න. =D

  4. බලාගෙන ගියහම, යකා කියන තරං කලු නෑහෑ නෙ. නියමෙට පෑහෑදිලියි.