ගුරුවරුන් එල්ලා දැමීමට පෙර

29th
Jul. × ’09

hangමියුසියස් විදුහලේ පහලොස් වියැති සිසුවියක් පාසලේ වැසිකිලියක් තුලදී ගෙල වැලලා ගෙන දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුනි. අද වන විට ඇය මිය ගොස් අවමංගල්‍ය කටයුතු සිදු කර අවසානය. ගෙල වැලලාගෙන මිය යාමට හේතු ලෙස නොයෙකුත් මත ඇති නමුත් සෑම මතයක් මධ්‍යයේම ඇත්තේ ඇය සතුව තිබූ ජංගම දුරකථනයක් ගුරුවරියකට හසු වීමෙන් පසුව ඇය එම සිසුවිය විදුහල්පතිනිය වෙත ඉදිරිපත් කිරීමට ලක ලෑස්ති වීමයි. සමහරුන් පවසන ආකාරයට ජංගම දුරකතනයේ අසභ්‍ය පින්තූර හා වීඩියෝ තිබී ඇත.

අවමංගල්‍යයට පසුව දැන් සැමදෙනාම දත කන්නේ අදාල ගුරුවරිය එල්ලුම් ගස් යැවීමටයි. ගුරුවරිය කොතරම් යක්ෂණියකද යන්නත් ඇයට අවීචි මහා නරකාදියේ ඇති දරුණුම දඬුවම් ලබා දිය යුත්තේ කෙසේද යන්නත් පිළිබඳව පත්තර වලට ලිපි ලියැවෙනු ඇත. ළමා අයිතිවාසිකම් ගැන වෙනමම ලිපි විලාසිතාවක් පටන් ගනු ඇත. ජනාධිපති ගෙන් මේ පිළිබඳ පියවරක් ගැනීම සඳහා කන්නලව් කරනු ඇත. ගුරුවරුන් වැඩ වර්ජනය නොකර සිටිය යුත්තේ මේ නිසා බව කියනු ජාතික නාලිකාව හෝ එවැනි නාලිකාවක මම දුටුවෙමි. ගෙල වැලලාගත් ස්ථානයේදී ප්‍රථමාධාර නොදීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කිරීමට පිරිස් උත්සුක වෙයි. කොටින්ම සමස්ථ ගුරු ප්‍රජාවම එල්ලා මරා දැමීමට කඩු පොලු අතට ගෙන යහපත් ජනතාව බලා සිටී.

ඛේදවාචකයක් හමුවේ ලාංකීය සමාජය තුල දකින සාමාන්‍ය ජවනිකාවයි මේ. සාක්ෂරතාවයෙන් 90% සීමාව ඉක්මවා තිබුනත් සිතීමේ හැකියාව අවම වීම මෙම ජවනිකාවේ උල්පතයි. අප සෑම සිදුවීමකට උල තැබීමට යක්ෂයෙකු සොයයි. අවුරුදු තිහක් පුරා ඇදුනු යුද්ධයට සම්පූර්ණ හේතුව ප්‍රභාකරන් බවත්, ඒ ඔහුගේ උපතින් පිහිටි යක්ෂ, ම්ලේච්ඡ ගතිගුණ නිසා බවත් එනිසා ප්‍රභාකරන් අවසන් හුස්ම හෙළු පසු සතුටු විය හැකි බවත් අප සිතන්නේ මෙම මානසිකත්වය හේතු කොට ගෙනය. ගැටළුවක ලක්ෂණ එම ගැටළුවට විශේෂි කොට අප සිතන නමුදු සමස්ත සමාජයටම පොදු ගැටළුවක් ලෙස හඳුනා ගැනීමට අප අසමත්ය. යම් සිදුවීමක් තනි තනිව ගෙන පැහැදිලි කිරීමට වෙර දරන නමුදු කාල පරාසයක් තුල සිදුවන සිද්ධි සමුදායක් හා එක් කොට එහි ඇති සමස්ත පින්තූරය දැකීමට අප අපොහොසත් වේ. මිනීමැරුම් මාලාවක් සිදුවන විට සෑම මිනී මැරුමකටම “අනේ අපොයි” කියා දුක් වෙනවා මිස මිනීමැරුම් මාලාවට හේතු විය හැකි වෙනත් රටාවක් අප දැකීමට උත්සහ කරන්නේ නැත.

සිසු සිසුවියන් විදුහල්පතිනිය/තුමා හමුවට ඉදිරිපත් කිරීම අද ඊයේ පමණක් නොවන සිදුවීමකි. පාසැල් සිසුවියක ගේ ජංගම දුරකථනයක අසභ්‍ය පින්තූර තිබීම කිසිසේත්ම ගුරුවරියකට තනිව තීරණය ගත හැකි අවස්ථාවක් ද නොවේ. අනෙක් අතට මෙය විනය දැඩි ලෙස කඩ වීමක් හෙයින් පාසැල් මට්ටමින් ක්‍රියා කල යුතුව තිබුණු අවස්ථාවකි. මෙම කරුණු සැලකිල්ලට ගෙන අපට ගුරුවරිය එල්ලුම් ගසින් බිමට බැස්සවිය හැක. සමස්ත ගුරු ප්‍රජාවේ රැකියාවෙන් ඇති ප්‍රයෝජනය පිළිබඳ නඩුවකදී ලෙස ලෙහෙසියෙන් ඈ එල්ලුම් ගසින් බැස්සවිය නොහැකි නමුත් මෙම නඩුවේදී එය අදාල නොමැත.

ජංගම දුරකථන පාසැලට රැගෙන ඒම තහනම් වේ. නමුත් තරුණ තරුණියන් හා කුඩා ළමුන් හට ඇති වී ඇති අනාරක්ෂිත තත්වය තුල දෙමාපියන් හට නිරතුරුවම තම දරුවන් සමඟ සම්බන්ධයෙන් සිටිය යුතුය. එම නිසා ජංගම දුරකථන තහනම් කිරීම වැනි තීරණ ප්‍රශ්නයට විසඳුමක් නොවේ. අනෙක් අතට ජංගම දුරකථනයක් සමඟ හසු වීම පාසැල් ප්‍රධානීන් හමුවට ඉදිරිපත් කිරීම තරම් වරදක් ද නොවේ.

නමුත් ජංගම දුරකථනය තුලට අසභ්‍ය පින්තූර පැමිණියේ කෙසේද? ගැටළුවේ මූලය රැඳී ඇත්තේ එතනයි. අසභ්‍ය පින්තූර නොමැති ජංගම දුරකථනයක් සමඟ හසු වුනි නම් විදුහල්පතිනිය හමුවට ඇය ඉදිරිපත් නොකිරීමත්, ඉදිරිපත් කලත් ගෙල වැලලා ගැනීමට තරම් එය හේතුවක් නොවීමත් සිදු විය හැකිව තිබිණි. පහලොස් වියැති දැරිවියක් අසභ්‍ය දර්ශන නැරඹීමේ ආසාවක් ඇති කර ගෙන ඇත්තේ කෙසේද?

වැඩිවියට පැමිණීමත් සමඟම ශරීරයේ ක්‍රියාත්මක වන හෝමෝන වැරදි කරුවන් ලෙසට මීළඟට අපට ගත හැක. අධ්‍යාපන බලධාරීන් සියලුම හෝමෝනගත ක්‍රියා තහනම් කිරීමට කටයුතු කරන අතරතුර අප  වෙනත් මඟක් ගැනීමට බලමු. ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය යනු කටින් පිට කිරීමට නුසුදුසු තහනම් වදන් කිහිපයකි. අපාගත වීමට බල පෑ හැකි මෙම වදන් අතහළ යුතු අපට ඒ සඳහා උදව්වට දැන් රජය විසින් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපට තහනමේ ද යෙදී සිටියි. ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම ලාංකිකයින් විශ්වාස කරන්නේ නැත. ඒ වෙනුවට ලිංගික අධ්‍යාපනය මධුසමය දින රාත්‍රිය තෙක් සඟවා ගත යුතු රහස් ලෙස තබා ගැනීමට දෙමාපියන් කටයුතු කරති. ලංකාව වැනි රටක සාමාන්‍යයෙන් විවාහ වන්නේ අවුරුදු 22ත් 30ත් අතර වයසක නිසා වැඩිවියට පත් වූ පසු හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය කර ගෙන තැටමීමට අපගේ දරුවන්ට සිදු වී ඇති අතර ලිංගික අධ්‍යාපනයකින් තොර වූ කාන්තාරයක තමන්ම මඟ සොයාගෙන යෑමට ඔවුන්ට සිදුවී ඇත.

සත්‍ය වශයෙන්ම එල්ලුම් ගස් යැවිය යුතු යක්ෂයා සිටින්නේ මෙහි නොවේද? අප ඉහතදී සඳහන් කල ආකාරයටම ළඳරු අවධියක ජීවත් වන සමාජයක ඇති හරි හමන් සැකිල්ලක් නොමැති චින්තනය අත හැර වඩාත් හරවත් සාරධර්ම පද්ධතියක් ගොඩ නගා ගත යුතු නොවේද? වැඩිවියට පැමිණෙන ළමුන් තව දුරටත් ළමුන් නොවන බව පිළිගත යුතු නොවේද?

අවසාන වශයෙන් මිනිසා යනු සදාකාලිකව ලිංගික ක්‍රියාවලින් වෙන් විය යුතු ළදරුවෙකුට වඩා ලිංගික ජීවියෙක් බව පිළිගෙන ඒ සඳහා දැනීම් පද්ධතියක් ගොඩ නගා ගත යුතු නොවේද?

අවාසනාවකට ජීව විද්‍යාවට “ග්‍රීක යුදෙව් චින්තනය” යැයි පයින් ගසා වසර ගනනාවක් පන්සල් පල්ලි කෝවිල් තුලින් මතුවූ මර්ධනකාරී චින්තනයන් කර ගසා ගන්නා ලිං මැඩියන් සමඟ ලිංගික අධ්‍යාපනය සාකච්ඡා කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැක.  එමනිසා ජනතාව සතුටු කිරීමට අපි ගුරුවරුන් එල්ලා දමා චිත්‍රපට තහනම් කරමු.

කියවන්න: කාළකන්නි ලිංගිකත්වය

Posted in Uncategorized | Tagged , | 57 Comments

සයිබර් බුවාලා හෙවත් සැබෑ ලෝකයේ ගොබිලන්

25th
Jul. × ’09

අන්තර්ජාලය මිනිසා ගින්දර පාලනය කර ගැනීමට සොයා ගත්තාට පසුව සොයා ගත් වැදගත්ම නිර්මාණයයි. අන් කිසිම කාලෙක නොවූ නිදහස් පසුබිමක් අන්තර්ජාලය තුලින් බිහි වුනු අතර අන් කිසිම කලෙක නොහැකි වූ ආකාරයකටම ලොව අස්සක් මුල්ලක් නෑර විහිදා යෑමට එයට හැකි විය.

මුලදී login යන අකුරු කිහිපයවත් හුවමාරු කර ගැනීමට නොහැකිව තිබූ මෙම ඉතා ඉක්මනින් කැඩෙන සුලු සම්බන්ධතාවයට මේ වන විට PC යන සංකල්පය ගෙදර යැවීමට පවා හැකි වී ඇත. මිනිසුන් තව දුරටත් RAM වලට අවධානය යොමු නොකරන අතර හැකි උපරිම bandwidth එක ලබා ගැනීමට උත්සහ දරයි. මේ ආකාරයට දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව සංසන්දනය කල හැකි විප්ලවීය වෙනස්කම් රාශියක් අන්තර්ජාලය විදහා දක්වා ඇත.

සැබෑ ලෝකයේ අනන්‍යතාවයක් තිබූ කාලය පසු වෙමින් දැන් සයිබර් ලෝකයේ අනන්‍යතාවය වැදගත් වෙමින් පවතී. එක්තරා දේශකයෙකු පැවසූ ආකාරයට ඔබට ඔබේම නමින් domain එකක් නැත්නම් ඔබ යනුවෙන් කවුරුත් නැත. ඒ අනුව සයිබර් ලෝකයේ අනන්‍යතාවය වැදගත් වීමට පටන ගෙන ඇත්තේද මෙම අසිරිමත් අන්තර්ජාලය නිසා වේ. නමුත් අප අමතක නොකල යුතු වැදගත් කරුණක් ඇත. සම්බන්ධතාවය බිඳ දමා පරිගණකය නිමා දැමූ පසු ඔබ නැවත භාවිතා කල යුත්තේ සැබෑ ලෝකයේ අනන්‍යතාවය හා පෞරුෂත්වය බවයි.

නමුත් පුදුමයකට මෙන් මෙම වැදගත් කරුණ අමතක වන පුද්ගලයන්ද සිටින බව අප නිරීක්ෂණය කලේ මෑතකදීය. ළඟක් වන තුරුම තම පොර අනන්‍යතාවයෙන් බුල්ඩෝග් පාට් දමමින් සිටි යමෙක් ටිකෙන් ටික සෑබෑ ලෝකයේද බුල්ඩෝග් වීමට උත්සහ දරමින් සිටී. පළමුවෙන්ම ඔහු අපට බුල්ඩෝග් පෙන්වූයේ අප සම්බන්ධ වී තිබූ community forum එකකදීය. එහිදී සදාචාරාත්මක තොත්ත බබා වීමට පැමිණි ඔහුට නැට්ට හකුලාගෙන යාමට සිදු වූයේ කරුණු දෙකක් හේතු කොට ගෙනය. පළමුවැන්න ඔහුගේ සදාචාරයේ තරම නොදන්නා අයෙකු එම community forum එකේ නැති වීමයි. දෙවැන්න පුහු සදාචාරය පෙන්වීමට තෝරා ගත් පුද්ගලයා පොදුවේ පුහු සදාචාරය විශවාස නොකරන්නෙකු වීමයි. මෙම ලිපිය ලියන වේලාව වන තෙක්ම අප දුටු තැන බිම බලා ගෙන යාමට ඔහුට සිදුව ඇත්තේ සදාචාරය මූණටම පුපුරා යාම නිසා විය හැක. ඉන්පසුව ඔහු තවත් වීර ක්‍රියා කිහිපයකම යෙදී ඇති බව පසුව දැන ගැනීමට ලැබුනු අතර අදාල වීරක්‍රියා වලදී සුදුසු ප්‍රතික්‍රියාද නැවත මූණට පුපුරා ගොස් ඇති බව ඒ සමගම ආරංචි විය.

ලිපියේ ප්‍රධාන චරිතය තවත් ලක්ෂණයකට ඉතා ප්‍රසිද්ධය. ඒ අනුන්ගේ ජාතකය සෙවීමටයි. තද ඇනොනිමස් විරෝධියෙකු වන ඔහු ගෙන් හැකි සැම තැනකම ඇනොනිමස් ප්‍රතිචාර දමන්නේ ඇයි ද යන පැනය ඇසු විට ඇටි කෙසෙල් කෑ උගුඩුවෙකු මෙන් නිෂ්ශබ්දතාවය රකී. යන යන තැන් වල ප්‍රසිද්ධියේ සැමට අනන්‍යතාවයකින් එළි පෙහෙළි වන ලෙසට අවවාද කරන ඔහු සදාචාරසම්පන්න වාදියෙකු වේ.  එනමුත් ඔහු ඇනොනිමස් (නැතිනම් නිර්නාමික) ප්‍රතිචාර දක්වා ඇති බ්ලොග් සටහන් ප්‍රමාණය ඔහුම Follow කරන අනන්ත අප්‍රමාණ වූ බ්ලොග් අඩවි ප්‍රමාණයට සංඛ්‍යාත්මකව සමාන හෝ විශාල වේ. මෙලෙස තමාගේම ප්‍රතිපත්ති තමන්ම බිඳ දමන සෙවල ගණයට අයත් ඔහු වරෙක අපගේ උදහසට පාත්‍ර වූයේ FOSS Rocks කියමින් Windows භාවිතා කිරීම පිළිබඳවය. වරෙක මොහු පිළිබඳ පියවරක් ගැනීම නොවැදගත් යැයි තීරණය කලේ කඳු බල්ලන් වෙත ආපසු බුරා පනින සිරිතක් නොමැති නිසා යන කරුණම පමණක් පදනම් කර ගෙනයි.

දැන් නැවතත් මෙම බුල්ඩෝග් මානසිකත්වය පිටට පැනීමට පටන් ගෙන ඇත. කුඩා කල ෂර්ලොක් හෝම්ස් කියවා පැමිණි මොරාල් එකට නේවාසිකාගාරයේ බිඳුණු හා නොබිඳුණු ජනෙල් සංඛ්‍යාව මතක තබා ගැනීමට වෙර දැරූ අපගේ මිත්‍රයෙක් සිහිපත් කරමින් මොහුද දැන් නිර්නාමිකයන්ගේ හා අන්වර්ථ නම් වලින් ලියන්නන්ගේ නියම අනන්‍යතාවය හෙළි පෙහෙළි කිරීමට පියවර තබා ඇත. මේ මහඟු කර්තව්‍යට ඔහුගේ දෑත ශක්තිමත් කරන්නේ එක වසරේ ඔහුටම නොදෙවෙනි කුඩා ළමුන් පිරිසකි. එයට දෙක වසරේ අප වැන්නන් එකතු නොවූයේ ඇයි?

idiot

සැබෑ ලෝකයේදි සමාජ හැකියාවන් බින්දුව තෙක් බැස ඇත්තන් පොදු වේ ගොබිලන් ලෙස හැඳින්විය හැක. ගැහැණු ළමයින් ගැහුණු මැෂින් ලෙස පෙනීමට තරම් ළමා ලපටිකම මෙයට තවත් සුදුසු කමකි. රෑට හීනෙන් පෙනෙනා ලිංගික ෆැන්ටසි පසුවදා දේශන අතරතුර අසන්නන්ගේ රස වින්ඳනය සඳහා ප්‍රචාරය කිරීම නම් ආතල් කරුණක් වන නමුදු නැවතත් ගොබිල පිලටම එකතු වීම එය ඉවහල් වේ. ගාල්ලේ යන මිනිසුන්ට අම්බලන්ගොඩදි කෝච්චියෙන් බස්සවා ගුටි සංග්‍රහා දීමට තර්ජනය කිරීම නම් ගොබිලම ගොබිල පුරුද්දකි. “හෙට විභාගෙන් පස්සේ දෙන්නම් තොට!” යැයි කියා විභාගයෙන් පසුව උඩ බිම සොයා ගත නොහැකි අයුරින් වෙනතක් බලා ගෙන යෑම සාමාන්‍ය ලෙස ගොබිලය. සිදු කල හැකි ගොබිලම වැඩේ කල පසුත් “විහිළුවක් නෙ කලේ බං” යැයි ප්‍රකාශ කිරීම කල වැඩේටත් වඩා ගොබිලය. වැල යැයි කියූ පමණින් “වැල” මතක් වීම කෙතරම් ගොබිල දැයි පාඨකයාට සීතීමට අප ඉතිරි කරමු.

ඉදින් දෙක වසරේ අප මොහුගේ මහඟු කර්තව්‍යට එකතු නොවීමට හේතු ලෙසට මෙවැන්නන් සැබෑ ලෝකයේ ගොබිලන් වීම යන්න හැර වෙනත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොකරමු. ගොබිලන් සමඟ හාදකම් පැවැත්වීම ගොබිලන් බවට තමනුත් පත්වීමට හේතු වන බව එක වසරේ බට්ටන්ට අප මතක් කර දීමට කැමතිය.

Posted in Uncategorized | 5 Comments

මකියාවේලි දුටු සර්වලෝක සත්‍යය

22nd
Jul. × ’09

Niccolò Machiavelli

It should be borne in mind that there is nothing more difficult to handle , more doubtful of success & more dangerous to carry though than initiating change in a state’s constitution. The innovator makes enemies of all those who prospered under the old order & only lukewarm support is forthcoming from those who would prosper under the new. Their support is lukewarm partly from fear of their adversaries, who have the existing laws on their side, & partly because men are generally incredulous, never really trusting new things unless they have tested them by experience. In consequence , whenever those who oppose the changes can do so, they attack vigorously & defence made by others is only lukewarm. So both the innovator and his friends come to grief.

Niccolò Machiavelli – 1525

සිහියට ගත යුතු වැදගත් කරුණක් වන්නේ පවතින ක්‍රමය* වෙනස් කිරීම තරම් හැසිරවීමට අපහසු, සාර්ථකත්වය අපැහැදිලි, සහ ඉතා භයානක කාර්යයක් තවත් නැති බවයි. පවතින ක්‍රමයෙන් වාසි ලබන සියල්ලම, පෙරළිය ආරම්භ කරන්නාගෙ සතුරන් වන අතර එම පෙරළියෙන් පසුව ඇති වන නව ක්‍රමයෙන් වාසි ලබන්නන්ගෙන් ඔහුට ලැබෙන්නේ නොසැලකිය හැකි සහයකි. ඔවුන් එලෙස සහය නොදැක්වීමට හේතු ලෙස, පවත්නා ක්‍රමයේ නීතිමය වාසීන් සතුරන් අත තිබීමත්, මිනිසුන් තුල ස්වාභාවයෙන්ම ඇති නව්‍යතාවයන් පිළිබඳ ඇති සැකයත් ගෙන හැර දැක්විය හැක. මෙහි ප්‍රථිපලයක් ලෙස පෙරළියට එරෙහි අය ඔවුන්ට හැකි සැම අවස්ථාවකදිම පෙරළිය ආරම්භ කරන්නවුන්ට දරුණු ලෙස පහර දෙන අතර පෙරළියට සහය දක්වන්නන්ගෙන් ඔවුන්ට එල්ල වන්නේ නොසැලකිය හැකි ප්‍රතිරෝධයකි. අවසානයේදි සිදුවන්නේ පෙරළිය ආරම්භ කල තැනැත්තාත් ඔහුගේ සඟයනුත් දුකට පත්විම පමණකි.

* state’s constitution යන්න status quo යන්න අරුතින් සමානයි කියා සිතිය හැක

නිකොලෝ මකියාවේලි – 1525

පාඩම් කරන අතරතුරදි පොතක දුටු ඡේදයක් මෙහි සටහන් කිරීම ප්‍රයෝජනවත් විය හැකි යැයි සිතමි.

Posted in Uncategorized | Tagged | 11 Comments

Renault සහ FOSS

15th
Jul. × ’09

Renault

වසර කිහිපයකට පෙර (1980 දශකයේ) ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන රෙනෝල්ට් (Renault) සමාගම දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තිබුනා. එක්තරා කාලයකදී Renault නිෂ්පාදන ඉහළ නමක් දිනා සිටියත් දිනෙන් දින ඔවුන්ගේ වෙළඳපොළ කඩා වැටීමකට ලක් වුනා. සමාගම පවත්වාගෙන යාමේ අවසන් උත්සහය ලෙස ඉහළ කළමණාකාරීත්වය විසින් සමාගම තුල පැවති සංස්කෘතිය(ඉංග්‍රීසියෙන් culture වුවත් මෙතනට ගැලපෙන වචනය මෙයද දන්නේ නෑ) බලවත් ලෙස වෙනස් කිරීමකට ලක් කරා. තවත් වෙනස් කම් කිහිපයක් සමඟ සිදු වූ මෙම වෙනස ඉතා හිතකර අන්දමින් සමාගමට බලපෑ අතර ඉතාමත් ඉක්මනින් ප්‍රංශයේ පමණක් මුළු යුරෝපය පුරාම නැවත තම ආධිපත්‍ය පතුරුවාගැනීමට සමාගමට හැකි වුනා.

Renault හට නැවත වැජඹිමට ඉවහල් වුන මේ සංස්කෘතික වෙනස කුමක්ද?

වෙනසට කලින් සමාගම තුල “බුවාලා” වූයේ ඉන්ජිනේරු කණ්ඩායමයි. කළමණාකාරීත්වය මගින් ගත් සෑම තීරණයකටම ඉන්ජිනේරුවන්ගේ රෙකමදාරුව වැදගත් වුනා. සම්පූර්ණයෙන්ම තාක්ෂණික මොළ සහිත වූ ඉන්ජිනේරුවන් විසින් තාක්ෂණිකව වැදගත් සහ තාක්ෂණිකව වටිනාකමක් ඇති මෝටර් රථ නිපදවූවා. එසේ නම් සමාගම කඩන් වැටීමට හේතු වූයේ කුමක්ද?

තාක්ෂණිකව කෙතරම් වැදගත් වූවත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට Renault නිෂ්පාදන වලට නොහැකි වුනා. තාක්ෂණික මොළ සහිත වූවන්ගෙන එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි සාධාරණවම. උදාහරණයක් ලෙස මෝටර් රථයට කතා කිරීමට හැකි වුනත් අමතර කොටස් ලබා ගැනීම ඉතාමත් අපහසු නම් එවැනි මෝටර් රථයකින් පාරිභෝගිකයාට ඇති වාසියක් නැහැ. එවැනි නිෂ්පාදනයට මුදල් වැය කිරීමට ඔහු කැමති නැහැ. එය නොමිලේ ලබා දුන්නොත් සමහර විට ගැනීමට පුලුවන්. නමුත් නිෂ්පාදන හා Renault සමාගම දියුණු වීමට එය උපකාරී වෙන්නේ නෑ.

මේ සියලු දේ අතරතුර ඉන්ජිනේරුවන් තුළ, එම නිසා සමාගම තුළ, තිබූ අදහස වූයේ ඔවුන්ගේ නිෂ්පාදන උසස් බවත් (ඇත්ත) එය පාරිභෝගිකයා තේරුම් ගත යුතු බවත් (ඇත්ත), එසේ තේරුම් ගැනීමට බැරි නම් එය මෝඩ පාරිභෝගිකයාගේ වැරැද්ද (ඇත්ත) මිස ආයතනයේ වැරැද්දක් නොවන බවත් යන්නයි. මේ සියල්ලම සත්‍ය වූවත් ආයතනයේ නිෂ්පාදන වර්ධනය කිරීමට මෙම attitude එක උපකාර නොවන බව ඕනෙම කෙනෙකුට තේරුම් යන්න ඕනේ.

ආයතනය නැවත වර්ධනය කර ගැනීම සඳහා සිදු කල වෙනස්කම් වලදී කළමණාකාරීත්වය විසින් ඉන්ජිනේරුවන් all mighty ස්ථානයෙන් බිමට බස්සවා එම තනතුරට පාරිභෝගික සම්බන්ධතා නිළධාරීන් යෙදුවා. ඉතාමත් වැදගත් ස්ථානයක් දුන්නේ පාර්භෝගිකයන්ගේ feedback වලට. ඒ අතරම නිෂ්පාදන වල ඉහළ තත්වයකුත් (තාක්ෂණිකව හා වෙනත් ආකාර වලින්) පවත්වා ගත්තා. අවුරුදු කිහිපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් යෝධයෙකු වීමට ඔවුන්ට හැකි වුනේ පාරිභෝගිකයා හට මුල් තැන ලබා දීලා. ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමකින් තොරව නිපදවන නිෂ්පාදන ඔවුන් භාවිතා නොකරන බව පැහැදිලියි.

ඒ අතරම නූතන ලෝකයේ එක ගුණ්ඩුවක් වන marketing ඉතා විශාල බලපෑමක් කරනවා. ඉතා සූක්ෂම ලෙස පාරිභෝගිකයාගේ මනස තුල අදාල නිෂ්පාදනය establish කරනවා. ඉන්පසු පාරිභෝගිකයින් එම නිෂ්පාදන වලට හුරු වූ පසු තවත් සූක්ෂම ආකාර වලින් ඔවුන්ව නිෂ්පාදන වලට බැඳ තබා ගන්නවා. Customer loyalty යනුවෙන් හැඳින්වෙන බොරු වල එයයි. නමුත් මේ සියළු දේ මගින් වෙළඳපොළ වර්ධනය කර ගැනීම සාර්ථකව සිදු වන බව නොරහසක්. පාරිභෝගිකයින් බොහෝ වෙලාවට තමන් ඇන්ඳී ඇති බව දැන ගත්තත් වෙනත් නිෂ්පාදන brand එකකට හෝ ආදේශකයකට මාරු වීමට අලස බවක් දක්වනවා. වෙනසකට සහජයෙන්ම ඇති අකමැති බව නිසයි එසේ සිදු වෙන්නේ.

ඒ තමයි Renault වල කතාව. දැන් හැරෙමු FOSS වලට. මේ කලින් සටහනකට සහෘදයෙකු කල ප්‍රතිචාරයක් මගින් දැන ගත් දෙයක්. මම සිතුවාට වඩා කණගාටුදායක තත්වයක්.

Operating system usage share

Operating system usage share

XP සහ Linux වල security, reliability, stability ආදිය කොතෙකුත් කතා කලත් Linux දිනන බව අප දන්නවා. නමුත් අන්තිමේ දී බිල් ගේට්ස් මහතැන් කියයි “තොපි මොන පාට් දැම්මත් ලෝකෙ අයිති මටනේ ඩෝ” කියලා. එදාටත් අපි දිගටම පරිශීලකයින්ටම බනිමුද “ගොන් බූරුවො ටික නිකන් දෙන හොඳ දේ ගන්න දන්නේ නැද්ද” කියලා?

Posted in Uncategorized | Tagged , , , , , | 18 Comments

Fedora 10 තුල subnet mask ගැටළුව

4th
Jul. × ’09

Fedoraළඟදී දවසක පරිගණකයකට Fedora 10 ස්ථාපනය කලා. ස්ථාපනයෙන් පසුව ඕනෙම කෙනෙක් පළවෙනියටම කරන දෙයක් තමයි අන්තර්ජාල සම්බන්ධතාවය සාදා ගන්න එක. අදාල පරිගණකයට තිබුනේ NAT හරහා ලබා දී තිබුන static IP එකක්. සාමාන්‍යයෙන් මේ ආකාරයේ සම්බන්ධතාවයක් සාදාගන්නේ System->Administration->Network වෙත ගොස් එහි ඇති eth0 තෝරා Edit කිරීමයි. එහිදී ලැබෙන window එකේ static IP තොරතුරු (IP address, Subnet Mask, Default Gateway) ඇතුලත් කරනවා. ඉන්පසු DNS ටැබ් එකේ primary හා secondary DNS server වල address ඇතුලත් කරන්න ඕනේ. මමත් මේ විදියටම අදාල තොරතුරු ඇතුලත් කලා. නමුත් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. පස්සේ terminal එකේ ifconfig eth0 ලෙස ඇතුලත් කලාම පැමිණෙන දත්ත වල subnet mask ලෙස සඳහන් වන්නේ 255.255.255.240. මා ඇතුලත් කල දේ එය නෙමෙයි. නැවතත් වෙනස් කර බැලුවත් ආයෙමත් 255.255.255.240ට හැරෙනවා.

ඉන්පසු හැරුනේ google වෙත. සොයා බැලුවාම තමයි හේතුව දැක්කේ. ජාල සම්බන්ධතා හැසිරවීම සඳහා fedora 10 විසින් භාවිතා කරන්නේ NetworkManager නැමැති daemon එකක්. Subnet mask එක save නොවීම NetworkManager වල ප්‍රශ්නයක්. Wired connections සඳහා network daemon භාවිතා කරන ලෙස රෙකමදාරුවක් කර තිබුනා. NetworkManager disable කර network enable කිරීමට පහත විධාන terminal එකක ඇතුලත් කරන්න.

sudo /etc/init.d/NetworkManager stop

sudo /sbin/chkconfig –level 35 NetworkManager off

ඉන්පසු System->Administration->Network වෙත ගොස් eth0 edit කරන්න. අදාල තොරතුරු පැමිණෙන window එකේ static IP යටතේ ඇතුලත් කරන්න. DNS තොරතුරු ද ඇතුලත් කරන්න. නැවත terminal එකක් තුල පහත විධාන ලබා දෙන්න.

sudo /etc/init.d/network start

sudo /sbin/chkconfig –level 35 network on

පරිගණකය නැවත boot කිරීම අවශ්‍යම නැත.

දැන් අන්තර්ජාල සම්බන්ධතාවය වැඩ කල යුතුය. එසේත් නැත්නම් /etc/sysconfig/ifcfg-eth0 යන ගොනුව තුල MASK යටතේ නිවැරදි subnet mask එක ඇතුලත් කර System->Administration->Network ගොස් eth0 deactivate කර නැවත activate කරන්න.

NetworkManager stop
Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , | 2 Comments

Windows7 සමඟ දින දෙකක්

11th
Jun. × ’09

windows-7-logoWindows 7 RC-1 නිකුතුව මම ඊයේ laptop එකට ස්ථාපනය කලා. Laptop ‍එක Dell Inspiron 1420 එකක්. ඒකට ස්ථාපනය වෙලා තිබුනේ Windows Vista Home Basic 32bit නිකුතුවක්. Intel Core 2 Duo 2.0 GHz processor එකක් තිබුනට Vista පද්ධතියට ඒක හොඳටම මදි. වැඩ කරනකොට මොන ***ක්ද කියලා හිතුන වාර අනන්තයි. Windows 7 ඇවිත් ටිකක් කල් ගියාට පොඩ්ඩක් stable version එකක් එනකම් දාන්න මම කල්පනා කලේ නෑ. ළඟදි RC-1 එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න පුලුවන් විදියට නිකුත් කරපු නිසා ඒ dvd එකක් පහන්ගෙන් ඉල්ලගත්තා. මුලින්ම උබුන්ටු live cd එකක් දාලා partition ඔක්කොම මකලා දැම්මා (මුලින් දත්ත ටික backup කර ගත්තා).  ඊට පස්සේ windows7 වලට primary partition එකකුත් extended partition එකක් ඇතුලේ තව අවශ්‍ය විදියට ntfs partition හදා ගත්තා. පසුව ලිනක්ස් පද්ධතියකුත් dual boot කරන්න ඉන්න නිසා ඒකටත් අවශ්‍ය විදියට partition දෙකක් හැදුවා.

Vista වගේ නෙමෙයි. Windows 7 ස්ථාපනය වැඩි වෙලාවක් ගියෙ නැහැ. පැය භාගයක් ඇතුලත ස්ථාපනය ඉවර වෙලා desktop එකට ආවා. හැබැයි මගේ sound සහ touch pad එක අලුතින් ස්ථාපනය කරන්න වුනා. touch pad එකේ scrolling වලට සහය ස්ථාපනයට පෙර දැක්වූයේ නැහැ. ස්ථාපනය අවසන් වූ විටම දැක්ක පළවෙනි දේ තමයි වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වීම. ඉන්පසු සාමාන්‍ය මෘදුකාංග ටික ස්ථාපනය කලා. දැනට නම් කිසිම compatibility ප්‍රශ්නයක් ආවේ නැහැ. සිංහල සඳහා Vista quick fix එක දැම්මාම හරි.

අනිත් එක තමයි අඩුවෙන් දෘඩ තැටියේ ඉඩ ගැනීම. 11GB වලට ආසන්න ප්‍රමාණයක් තමයි සම්පූර්ණ ස්ථාපනයම ගන්නේ. Vista වලට මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ඉඩ යනවා. නිකන් අපරාදේ ඉඩ.

Hibernate විකල්පය පෙරනිමියෙන් enable වී පැමිණෙනවා. Vista වල එය disable වී තිබෙන්නේ. powercfg hibernate on යන විධානය හරහා enable කල යුතු වෙනවා.usb_remove

තවත් විශේෂ දෙයක් වෙන්නේ usb devices පිළිබඳ වඩාත් user friendly ලෙස වැඩ කිරීමට හැකිවීම. සවි කර ඇති usb devices තව දුරටත් drive letter එක පමණක් ලෙස පෙන්වන්නේ නැහැ. usb device එකේ Label එකත් සමඟ දර්ශනය කිරීමෙන් තමන් ඉවත් කරන්න යන්නේ මොන device එකද කියන එක වටහ ගන්න පුලුවන් ලේසියෙන්.

අන්තර්ජාලයට සම්බන්ධ වීමට වඩා හොඳ සහයෝගීතාවයක් දීලා තිබෙනවා. Network icon ළඟ දැනට නිර්මාණය කර ඇති සබඳතා පෙන්වනවා. එතනින් එකක් තෝරා එතනින්ම සම්බන්ධ විය හැකියි.

System tray එකේ icons පුලුවන් තරම් compact ආකාරයකට හසුරුවලා තියෙනවා.

sys_tray_icons

Start menu එකේ ඇති program ලැයිස්තුවේ program එකක් උඩට මූසිකය රැගෙන ගියාම එම program එක මගින් අන්තිමට විවෘත කර ඇති ගොනු පෙන්වනවා. මෙය කලින් තිබූ Recent programs list සහ Recent files list දෙක එකතු කරලා සාර්ථක විදියට කරපු නිර්මාණයක්.

මේ මම දැනට දැකපු features. වැඩියෙන්ම වැදගත් වෙන්නේ වේගය හා compatibility යන කරුණු දෙක. vista භාවිතා කරනවාට වඩා Windows 7 භාවිත කරද්දී පරිගණකයේ recources කාර්යක්ෂමව භාවිතා කල හැකියි.

බලමු Win7 එක්ක කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද කියලා.

Posted in Uncategorized | Tagged , , , , , , | 4 Comments

Twitter : conspiracy theory made true?

8th
Jun. × ’09

twitter-logoBourne කතා මාලාව, X-Files, Eagle Eye වැනි චිත්‍රපටි වල තියෙන්නේ මහා පරිමාණයේ කුමන්ත්‍රණ ගැන. රාජ්‍ය පුරා පැතිරුන, සමහර විට රාජ්‍යටත් උඩින් (කෘත්‍රිම බුද්ධික පරිගණක වලින්) මෙහෙයවන කුමන්ත්‍රණයක් පරාජය කිරීම කතාවේ වීරයාට ලැබෙන කාර්‍යය. මේ වගේ චිත්‍රපටි වල බොහෝ වෙලාවවට දකින්න තියෙන දෙයක් තමයි මොකක් හරි ඒජන්සියක් හෝ පරිගණකයක් මගින් ලෝකයේ ඕනෑම ‍කෙනෙක් දුරකථනයකින් හෝ අන්තර්ජාලය හරහා හුවමාරු කර ගන්න පණිවිඩ හොරෙන් ඇසීම. විශාල කාමරයක් පුරා පරිගණක තබාගෙන ලෝකයේ සැමටම ඇහුම් කන් දෙන ඒජන්ත වරුන්ගෙනුත් බේරිලා යන්න වීරයට සිදු වෙනවා.

මම අවධානය යොමු කරන්නේ මෙම දර්ශනයට. කවදා හෝ හිතුවද එය සැබෑ වෙන්න පුලුවන් කියලා? අඩුම ගානේ අන්තර්ජාලයට ඇතුළු වීමට පහසුකම තිබෙන ඕනෑම කෙනෙකුට එම කාර්‍ය පහසුවෙන් කරන්න පුලුවන් කියලා? ඔව්. දැන් එය පුලුවන්. හැබැයි අපි හිතපු විදියට නම් නෙමෙයි.

Twitter කියන්නේ මෑතකදී ජනප්‍රිය වුන social network එකක්. කලින් Social networks ඕන තරම් තිබුනට twitter විසින් ඒ හැම තැනකම කට්ටිය එතනට ඇද ගන්න සමත් වුනා. Facebook, hi5, MySpace වගේ තැන් තිබුනට ඒ වගේ අඩවි වල තිබුන එක ප්‍රශ්නයක් තමයි පෞද්ගලිකත්වය. තමන්ගේ හුඟක් තොරතුරු අඩවියට දෙන්න අවශ්‍ය වුනා. ආරක්ෂාව කොච්චර උසස් වුනත් තමන්ගේ යාළුවන්ට තමන්ගේ ඕනෙම විස්තරයක් බලා ගන්න පුලුවන් (ඒකනේ social network එකක point එක!) . නමුත් අපි දන්නේ කොහොමද ඇත්තටම අපිට ඉන්නේ යාළුවෙයාද නැද්ද කියලා? ලස්සන ගෑණු ළමයෙක්ගෙ පින්තූරයක් තිබුනොත් පැනලා add කරගන්නවා මිසක් හෙවිල්ලක් බැලිල්ලක් නෑනේ.

නමුත් twitter වල මෙම ප්‍රශ්නය ගොඩාක් දුරට මඟ හැරලා තිබුනා. හුඟක් පෞද්ගලික තොරතුරු twitter වලින් ඉල්ලන්නේ නැහැ. Twitter වලට ඇතුළු වෙන්න අවශ්‍ය වෙන්නේ username එකක්, password එකක්, email එකක් සහ පින්තූරයක් පමණයි. ඔබට අවශ්‍ය දේ ලෝකෙටම කියන්න twitter හරහා පුලුවන්.

මගේ twitter ගිණුම ආරම්භ කරලා දැනට මාස දෙකකට වැඩියි. නමුත් පිටරට පුද්ගලයින් කිහිප දෙනෙක්ම මගේ ගිණුම follow කරන්න පටන් ගත්තා. මම ඔවුන්ගේ updates follow කලේ නැති නිසා ටික කාලයකදී ඔවුන් හැලුනා. මෙයින් ගොඩාක් දෙනෙක් එක්කෝ වෙළඳ දැන්වීම ආයතන. නැත්තන් පත්තර. ඔය වගේ ප්‍රචාරණ අංශයේ කට්ටිය. ඒ අතින් දැන් twitter කියන්නේ වෙළඳ දැන්වීම් වලට නව මාධ්‍යයක් වෙලා. වැඩි වියදමක් නැතුව වෙළඳ දැන්වීම් කරන්න හොඳ විදියක්. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ වෙළඳ දැන්වීම බලනවද නැද්ද කියන එක ප්‍රේක්ෂකයා අතේ.

ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා twitter වල. ඒක මනුෂ්‍ය ස්වාභාවය නිසා ම එන ප්‍රශ්නයක් මම හිතන්නේ. Twitter ගිණුමක් ආරම්භ කරලා ටික කාලයක් ගියාම ඔබට හිතෙන හැම දෙයක්ම twitter හරහා මිනිස්සුන්ට කියන්න ආසාවක් එනවා. ඉතින් හිතේ තියෙන හැම දෙයක්ම ඕන කෙනෙක්ට බලා ගන්න පුලුවන්. අනිත් social networks වලට වඩා twitter අවධානය යොමු කරන්නේ මේ කාර්‍යයට නිසා අපි ඒ දෙයට යොමු වෙනවත් වැඩි. මේ පුරුද්ද නිසා ලොකු ප්‍රශ්න වලට මුල පුරන්න පුළුවන්. Twitter status message එකක් නිසා අලුතින් ලැබුන රස්සාව ගහලා ගිය මිනිස්සු ඉන්නවා. හිතන දේ ඒ විදියටම එළියට ආවේ නැත්තන් වැරදි දෙයක් කියවෙන්න පුලුවන්. අනිත් එක තමයි තමන් කියන දේට අනිත් අයගෙන පිළිතුරු නැත්තන් මානසිකව වැටෙන්න වැඩි සම්භාවිතාවක් ඇතිවීම. SMS ජනප්‍රිය වුන කාලේ අපි මේක අත්දුටුවා. දවසකට SMS පහකට වඩා ලැබුනේ නැහැ කියලා සිය දිවි නසා ගත්ත අය ඉන්නවා. ඉතින් අපි ඒ පැත්තෙන් ගිහින් කොහෙන් නතර වෙයි ද දන්නේ නැහැ.

ඊළඟට එන්නේ මාතෘකාවේ තියෙන කතාවට. Twitter හරහා ඔබට පුලුවන් මේ දවස් වල මිනිස්සු වැඩිපුරම කතා කරන දේවල් ගැන හොයන්න. keyword එකක් සඳහා සෙවීමක් කලාම ඔබට ඒ සම්බන්ධව තිබෙන tweets පෙන්වනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වෙනම application පවා තිබෙනවා. Twitter වල අධික ලෙස පරිශීලකයින් ප්‍රමාණයක් ඉන්න නිසා ලෝකෙ  වෙන ඕනෙම දෙයක් twitter වල tweet එකක් ලෙස තියෙන්න පුලුවන්. ටිකක් අර කලින් කියපු චිත්‍රපටියක දර්ශනයකට සමානයි නේද? ලෝ‍කයේ හැම මනුස්සයාම කරන කතා බහට ඇහුම් කන් දීම?

Social engineering යොදාගන්න පුලුවන් හොඳ අවස්ථාවක් මේක. වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකා අරගෙන ඒ වටා කතාවක් ගොතා ගන්න සාමාන්‍ය මනුස්සයෙක්ට අමාරු දෙයක් නෙමෙයි. උදාහරණයකට Gmail server temporary down කියලා tweet එකක් කාට හරි පටන් ගන්න විතරයි ඕනේ. හුඟක් වෙලාවට ඒක වටේ යන්න පුලුවන්. දැන් තියෙන්නේ Gmail server reset කියලා බොරු email එකක් යවලා password ඉල්ලන එක. ෂුවර් password 100කට එහා ලැබෙයි.

වෙළඳපොළ රටා අඳුරගන්න, භාණ්ඩ (හුඟක් වෙලාවට මෘදුකාංග) වල හොඳ නරක අඳුන ගන්න ව‍ගේ දේවල් වලටත් Twitter යොදාගන්න පුලුවන්. තව බ්ලොග් අඩවි හා ප්‍රවෘත්ති අඩවි වලට පාඨකයින් ඇද ගන්නත් යොදාගන්න පුලුවන්. මේ twitter වල හොඳ පැත්තක්. සන්නිවේදනය තවත් පහසු වෙන්න තමයි twitter හදන්න ඇත්තේ. නමුත් හැම දේකම වැරැද්දක් තියෙනවා. අපි මොකක් වුනත් ඕනවට වැඩිය භාවිතයට ගන්න ඕනේ නැහැ. පෞද්ගලික දේ පෞද්ගලික විදියටම තියා‍ ගන්න පුලුවන්නම් හොඳයි. හිතේ තියෙන දේ බකස් කියලා එහෙම එළියට වමාරන්න පුරුදු වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. කට තිබුන පළියට කතා කරන්න එපා කියලා තියෙන්නේ නිකමට නෙමෙයි නේ.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , | 8 Comments

පෝද්දල ජයන්ත, ගත්තා නම් විඳවපිය. නැද්ද මං අහන්නේ?

5th
Jun. × ’09

කොටි බන්කර් වලින් හොයාගන්නවා කියන ලිස්ට් වල තියෙන නම් එකින් එක ඕඩර් බාර දීලා කපලා දාන එක හරිද?

පැමිණිල්ල දාපු පුද්ගලයා කැඳවලා ඔහුගෙන දවස් ගානක් ප්‍රශ්න කරන එක හරිද?

චෝදනාවක් තිබුන පළියට මිනිහෙකුට අඬු කුඩු වෙන්න ගහන එක හරිද?

ඒ ගහන එක සාධාරණීකරණය කරන්න දේශප්‍රේමය ගාවගන්න එක හරිද?

පෝද්දල ජයන්ත කියන පුද්ගලයා ගැන ළඟක් වෙනකම් මම දැන ගෙන හිටියේ නැහැ. ඔහු රජයට විරුද්ධව පිකටින් කලාලු. දැන් ඔහුගේ නම කොටින්ගෙන් මුදල් ගත්ත අයගේ නම් ලැයිස්තුවේ තියෙනවලු. ඉතින් දවස් දෙක තුනකට කලින් උස්සලා කකුල් අතපය කුඩු කරලා දාලා පාරේ බල්ලෙක් වගේ දාලා ගිහින් තිබුනා. දැන් මිනිස්සු කියනවා ගහපු එක හරිලු. ඕකලු වෙන්න තිබුනේ.

රජයට විරුද්ධ වීම වැරැද්දක් කියලා මම කවදාවත් අහලා නැහැ. ඔය හැමෝම බනින සුද්දන්ගේ රටේ නම් රජය වැරදියට අඩිය තිබ්බොත් මිනිස්සු මහ පාරට බහින්න පසුබට වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ජනාධිපති කියන්නේ බලතල දීපු තවත් එක මිනිහෙක් විතරයි. ඉතින් ඒ අය ඡන්දය දීලා මුල් පුටුවට යවපු මිනිහා මොනවද කරන්නේ කියන එක ගැන පර සුද්දෝ හැම තිස්සෙම ඇහැ ගහගෙන ඉන්නේ. හැබැයි ඒ රටවල මිනිස්සු‍න්‍ගේ අඬු නම් රජයට විරුද්ධ වෙන හේතුවට කඩනවා අඩුයි.

අපේ රාජධානියේ නම් තත්වය වෙනස්. රාජද්‍රෝහීන්ට දඬුවම මරණය!!!

මම හිතන්නේ මේ ප්‍රකාශයේ “රාජද්‍රෝහී” කියන කොටස “දේශද්‍රෝහී” විදියට වෙනස් වෙන්න ඕනේ. අපිට රජෙක් ඕනේ නැහැ. කවුරු හරි මිනිහෙක් අනිත් අයට වඩා උතුම් කියලා හිතාගෙන ඒ මිනිහාට දෙන්න තියෙන උපරිම සැප දීපු කාලේ අපි පහු කලා. සාමාන්‍ය ජනයා නොවිඳිනා දුක් විඳනකොට රජා පුටුවේ ඉඳන් රාජ්‍ය විචාරන කාලයක් දියුණු වෙන රටකට අවශ්‍ය නැහැ.

යුද්ධයක් දිනුවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, මහින්ද රාජපක්ෂ රජතුමා වුනා හුඟක් අයට. මට හිතා ගන්න බැරි එකම දේ මේකයි. හුඟක් අය නිකන්ම නිකන් ගොන්නු ද? යල් පැනපු දියසේන කුමාරයා කියන හණමිටි අදහස් තාම කරගහගෙන ඉන්න? ඒ විදියට ගියොත් දෙවන ලෝක යුද්ධය දිනපු ජෙනරාල් අයිසන්හවර්, ජෙනරාල් පැට්න් දෙවියෝ කරන්න එපැයැ, දේවාල හදලා. මොකද ඒ අය දිනුවේ නැත්තන් හිට්ලර් අපිටත් red card දීලා හුඟක් කල්.

දැන් රජතුමාගේ බූදලේ තමයි ලංකාව. කවුද මිනිහෙක් කියලා තිබුනා මහින්ද චින්තනය කැමති නැත්තන් රටින් පිටවෙන්න ඕනේ කියලා. ඒක කියපු මනුස්සයාට අමතක වුන පළවෙනි දේ තමයි මහින්ද රාජපක්ෂ 100%ක මනාපයක් ගත්තේ නැහැ කියන එක. ඔහුට විරුද්ධව ඡන්දේ දීපූ අයත් හුඟක් හිටියා රටේ.

මෙන්න මේ තත්වය යටතේ රජතුමාගේ ආධිපත්‍යට යන්තම් හරි අභියෝග කරන අය තමයි “දේශද්‍රෝහියො”. රජතුමාගේ ක්‍රියාවන් ප්‍රශ්න කරන අය සුද්දන්ගේ ඩොලර් කාලා එහෙම කරන්නේ. එතකොට රාජධානියකට අලුතින් පොලීසි නීති ඕනේ නැහැනේ. රජාගේ කැමැත්ත තමයි නීතිය. ඉතින් දේශද්‍රෝහියට ඇති වෙන්න ගුටි ඇනලා බල්ලෙක් වගේ පාරේ දාලා යන එක සාධාරණයි. පෝද්දල ජයන්ත සරු කෑමක් කන්නේ රාජධානියක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස practice කරන්න ගිහින්.

ශිෂ්ඨ සම්පන්න රටක චූදිත මිනිහෙක්ට මැරයෝ ගිහින් ගහන්නේ නැහැ. චෝදනාව විභාග කරලා බලනවා මිසක්. ඒත් එකට හරි පොලිස් සේවාවක් තියෙන්න ඕනෙ. ඒ වගේම කැලෑ නීතිය සාධාරණීකරනය කරන්න කැලෑවක ඉන්න වඳුරෙක් මිසක් ශිෂ්ඨ මිනිහෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. පෝද්දල ජයන්ත ඇට කැඩෙන්න ගුටි කෑවාම සතුටු වෙන අය මතක තියා ගන්න ඕනේ එකක් තියෙනවා. රජා ඇවිත් තමන්ගේ ගෑණි එක්ක බුදිය ගත්තත් කටක් හොල්ලන්න හොඳ නැති බව. මොකද එතකොට විරුද්ධ වුනොත් තමනුත් ගුටි පූජාවකට අහු වෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ වැතිරිලා ඉන්නකොට තමන්ගේ නිදහස වෙනුවෙන් කෑ ගහපු මිනිස්සු නිහඬ කල එක ගැන සතුටු වෙච්ච එකට ආපහු දුක් වෙයි.

ඉරාකයේ ෆලූජා නගරවාසීන් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ කර වී ගිය සිරුරු මතින් විනෝද වෙති
ඉරාකයේ ෆලූජා නගරවාසීන් ඇමෙරිකානු සොල්දාදුවන්ගේ කර වී ගිය සිරුරු මතින් විනෝද වෙති

තාමත් ලංකාවේ මිනිස්සුන්ට වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැහැ. ඒ වහල් මානසිකත්වයට විරුද්ධ වෙන මිනිස්සුව තලා පෙළා දානකොට සතුටු වෙන්න තරම් වනචාරී මිනිස් කොට්ඨාශයකට අපි පත් වෙලා. මොළය අධෝ මුඛය ළඟ තියලා අධෝ මුඛය ඔළුවට අරගෙන. හැබැයි කාලයක් යනකොට බහුතරයට තේරෙන්න පටන් ගනී වැරැද්දේ තරම. ඒත් කියන්න බැහැ තේරෙයිද කියලා.

නැවතත් මතු වෙන්නේ පරණ න්‍යායම තමයි. දුක් විඳින පද්ධතියක් වෙනස් කරන්න හදනකොට ඒ වෙනස් වීමට එරෙහි වෙන්නේ ඒ පද්ධතියේ දුක්විඳින මිනිස්සුම තමයි.

Posted in Uncategorized | Tagged , | 18 Comments

නවක වදයට තවත් කතා

29th
May. × ’09

නවක වදය පිළිබඳ සටහනකදී එහි ඇති දේශපාලනයක් ගැන කියවුන නිසා මෙම සටහන ලියන්නට සිතුනා. එහිදී නවක වදයට හේතුව දේශපාලනික දර්ශන යන්නත් නවක වදය සෑම තැනම ඇති වන්නේ එකම ආකාරයකට බවත් සමාජය සිතා සිටින බවට පෙනී ගියා. ඒ පිළිබඳ මගේ මතයයි මේ.

වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත් මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි.

එනමුත් නවක වදය එතනින් නැවතීම සිදු වුනේ නෑ. පේරාදෙණිය, ජ’පුර ආදී සරසවි වල එය දිගටම පැවතුනා. නමුත් සිසුන් මිය යාමෙන් පසුව අලුත් ආකාරයක නවක වදයක් බිහි වුනා. එහිදි නවක සිසුන්ට ශාරිරික වශයෙන් කිසිදු හිංසාවක් සිදු වෙන්නේ නැහැ. අඩුම තරමේ කවුරුවත් ඉදිරියේ අතින්වත් අල්ලන්නේ නැහැ. කුණුහරපෙන් බැනීමත් අඩු වුනා. පිරිමි සිසුන්ට අප්‍රසිද්ධියේ කුණුහරප ලැබෙන නමුත් සිසුවියන්ට එලෙස වූයේ නැහැ.

දරුණු වදයක් ඇයි?

ragging-in-indiaඑම නවක වදයට පෙර තිබු‍ නවක වදයේ ප්‍රධාන අරමුණ වූයේ ශිෂ්‍ය සංගමයේ බලය අයත් පක්ෂයට පිරිස් එක් රැස් කර ගැනීම. නවක වදය අතරතුර පක්ෂයට වැඩ කිරීමේ වාසි පෙන්වා දීමෙන් මෙය සිදු කෙරුනා. මෙම දේශපාලන පක්ෂ වලින් ප්‍රධාන තැනක් ගන්නේ ජවිපෙ. ඔවුන්ව අනුගමනය කරන්නන් ජෙප්පන් වුනා. ජෙප්පන් සාමාන්‍යයෙන් සමාජවාදීන් ලෙසයි ප්‍රසිද්ධ. නමුත් නවක වදයේදී “බෙදන තෙල් වල” ඇත්තේ සමාජවාදයක් නොවෙයි. කුඩා ප්‍රමාණයේ මොළ සෝදා හැරීමකින් පසුව බෝතල් සාදයක් සහ දිගටම වැඩ කලොත් මෝටර් සයිකලයක් ලබා දීමේ පොරොන්දුවක් පමණයි. පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර ඉදිරිපස ඇති මෝටර් සයිකල් තොගය දුටුවොත් මෙම කරුණ වටහා ගන්න පුලුවන්. නේවාසිකාගාරයේ සිට පයින් ගමන් කල හැකි දුරකින් පීඨ පිහිටා තියෙනවනම් බයිසිකල් කුමටද? ඒවා නිසැකවම ජෙප්පන් වීමේ පාරිතෝෂිකයි.

සිසුන් පක්ෂයට නම්මා ගැනීමේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. විරෝධතාවකදී පිරිස් බලය පෙන්වීම එකක්. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වසරක් පාසා සංවිධානය කරන විරෝධතාවය මීට නිදසුනක්. මෙහි ප්‍රධාන අරමුණ එම කාලයේදී ජවිපෙ විසින් රජයට විරුද්ධව නගන චෝදනා කොල්ලුපිටිය හන්දියට ගොස් කෑ ගසා කීමයි (රජයට විරුද්ධව චෝදනා නැගීම වරදක් නොවන අතර එය කරන්නේ සිසුන් නම් අව්‍යාජ ලෙස සිදු විය යුතුයි. මෙතනදී සිදු වන්නේ බලෙන් සිසුන් ලවා විරෝධය පෑමයි.). එයින් බොහෝවේලාවට සිදු වෙන්නේ බලාපොරොත්තු වූ ප්‍රථිපලයට හාත්පසින්ම විරුද්ධ ප්‍රථිපල ලැබීමයි. උදාහරණයක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාලවලට විරුද්ධව තිබූ පාගමනින් සිදුවූයේ රටේ බහුතර මතය එයට පාක්ෂික වීම මිස ‍පාගමනින් බලාපොරොත්තු වූ දෙය නොවෙයි.

මෙවැනි පාගමන් වල ඉදිරියෙන්ම ගමන්ගන්නේ නවක සිසුන්. නේවාසිකාගාර වල සිට බලෙන්ම බස් වල පටවාගෙන කොළඹට ගෙනෙන ඔවුන්ව ඉදිරිපසම තබන්නේ “උඹලත් කටු කාලා පුරුදු වෙන්න ඕනේ” යන තර්කය උඩයි. එලෙස පොලිස් ප්‍රහාර වලට බොහෝ විට ගොදුරු වන්නේ පෙළපාලි සංවිධානයට අයත් නැති කොහේවත් යන අහිංසකයින් පිරිසක්. ඉන්පසු නොකා නොබී පාරේ වාඩි වන ඔවුන් හවසට බස් වලට දමාගෙන ගෙනියනවා.

ජවිපෙ ශිෂ්‍ය ව්‍යපාරයට කැට ආධාරයෙන් මුදල් එකතු කිරීමට පිරිස් සොයාගැනීම නවක වදයේ තවත් වාසියක්. එයත් බලෙන්ම නවක සිසුන් මත පටවන “වගකීමක්” වන අතර දවසකට එකතු කල යුතු ටාගට් එකක් දී රටේ ප්‍රදේශ කිහිපයකට ඔවුන් පිටත් කර හරිනවා.පෝස්ටර් ‍ඇලවීමට පිරිස් එකතු කිරීම තවත් වාසියක්.

ජවිපෙ අනුගමනය කරන සමාජවාදයක් හෝ වෙනත් බම්බුවක් නැති බව දැන් කවුරුත් දන්නවා. එලෙසම අන්තරේ හෝ මහ එක හෝ වෙනත් කිසිම ශිෂ්‍ය ව්‍යාපාරයක් අනුගමනය කරන සමාජවාදයක් නැහැ.  අනිත් එක නවක වදයට ලක් වෙන සිසුන් සියල්ල එයට ආසාවෙන් ලක් ‍වන අය නෙවෙයි. නේවාසිකාගාර පහසුකම් වැඩියෙන් ඇති සරසවි වල නේවාසිකාගාර වල සිටීමට අලයෙක්ට හැකි වන්නේ නැහැ. සිටියොත් ගුටි පූජාවක් සමග ඉස්පිරිතාල ඇඳක් හිමි වෙනවා.

පේරාදෙණිය වැනි සරසවි වල දැනුත් පවතින නවක වදයට ලක් වෙන සිසුන් නොයෙකුත් පසුබෑම් වලට ලක් වෙනවා. මේ ගැන අගනා විස්තරයක් මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා විසින් කර තිබෙනවා. නමුත් ඒ ප්‍රථිපල සමාජවාදයක් හෝ එවැනි දේශපාලන දර්ශනයක් නිසා ඇති වන දෙයක් නෙවෙයි. පටු බලලෝභී අරමුණු නිසා ඇති වෙන ප්‍රථිපල. දේශපාලනික දර්ශනයක් අනුගමනය කරන මිනිසුන් දැනුම ප්‍රතික්ෂේප කිරීම අස්වාභාවිකයි. නමුත් නවක වදයේදී මෙය බොහෝ අවස්ථා වලදී සිදුවෙනවා. දකුණු ආසියාවේ උසස්ම පුස්තකාල වලින් එකක් වන පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පුස්තකාලයේ සමහර පොත් කිසිම දිනක කියවා නැහැ. පේරාදණිය ශාස්ත්‍ර පීඨය නවක වදයේ දරුණු ආකාරය තවමත් ක්‍රියාත්මක වන තැනක්. මෙහි භයානකම පැතිකඩ වන්නේ නවක වදය සඳහා සමහර ආචාර්ය වරුන්ගෙනුත් සහාය ලැබීමයි.

නවක වදය වෙනත් ආකාරයකින්

සිසුන් මියයාමෙන් පසුව ඇතිවුනා කී නවක වදයෙන් බොහෝ විට දේශපාලනික අරමුණු ඉවත්ව ගිහින්. ඒ දේශපාලනික තෙලක් වැදීමට සිසුවාගේ මොළය සේදී තිබීම අවශ්‍ය නිසා. මේ සඳහා මනස යොදාගැනීමට නවක වදයට එන ජ්‍යෙෂ්ඨයන්ට බැහැ. ඒ නිසා එවැනි පක්ෂ දේශපාලනය පීඨ වලින් ඉවත් වීමට පටන් අරන්. මෙය තවත් දුරකට ගෙනයමින් කිසිම ආකාරයක දේශපාලනයක් කතා කිරීමට තහනම් කිරීමකුත් සමහර තැන් වලදී දක්නට ලැබෙනවා. ඉන්පසුව පිරිසක් ඉදිරිපිට රටේ ප්‍රශ්නයක් හෝ එවැනි දේශපාලනික කරුණක් කතා කිරීමෙන් ඔහු/ඇය ජෙප්පෙක් වී සිසුන්ගේ ප්‍රතිරෝධයට හසු වෙනවා. මගේ අදහසට අනුව දේශපාලනය කතා කිරීමට තහනම් කිරීම තරම් කුහක කමක් තවත් නැහැ. බාල මානසිකත්ව ඇතිකිරීමට එය හේතු වෙනවා. සිසුන් දේශපාලනය කල යුතුයි. නමුත් කිසිම දේශපාලනය බලෙන් පැටවිය යුතු නැහැ. එය තහනම් කල යුතු නැහැ.

පසුව ඇතිවූ නවක වදයේ බොහෝ විට සිදුවන ප්‍රචන්ඩතම ක්‍රියාව වන්නේ නවක සිසුන් පිරිසටම අහේතුකව බැනීමයි. කුණුහරප භාවිතා නොකර මෙය සිදු වෙනවා. මෙම නවක වදයේ ප්‍රධාන අරමුණු ලෙස සලකන්නේ නවක සිසුන් හා සුහදතාවය ඇතිකර ගැනීම, නවක සිසුන් පීඨයේ පරිසරයට හුරුකරවීම, සහ ජ්‍යෙෂ්ඨයින් වෙත අවනත කර ගැනීම යන කරුණුයි. මෙයින් පළමුවැන්න පුස්සක් වන්නේ නවක වදය අවසාන වී සතියකින් පසුව ඔවුන් පරණ පුරුදු තත්වයට පත්වීම නිසයි. ඔවුන් හා සුහද වීම නවක වදයෙන් සිදු වන්නේ නැහැ. පීඨ පරිසරයට හුරු වීමත් නවක වදයෙන් සිදුවන්නේ නැහැ. එය පීඨය සඳහා හැඟීමකින් කටයුතු කරන්නන් අතරේ ඉබේම වර්ධනය වෙනවා. නමුත් ජ්‍යෙෂ්ඨයින්ට අවනත වීම නම් සිදුවීම අනිවාර්යයි.

අවනත භාවය කිසියම් ප්‍රමාණයකට තිබිය යුතුයි. සමාජයක පැවැත්මටත් එය අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රශ්නය වන්නේ ජ්‍යෙෂ්ඨයා කවුද යන්න අර්ථකථනය කිරීමයි. නවකයින්ට පළමුව සරසවියට ආ පළියට ජ්‍යෙෂ්ඨයින් නොවන බව මම අත් දැක තිබෙනවා. සැබෑ ලෙසම ජ්‍යෙෂ්ඨයෙක් වන්නේ නවක සිසුන්ට වඩා නුවණැතිව වැඩ කිරීමට හැකි පුද්ගලයෙක්. පසුගිය කාලයේ සිදු වුන සිදුවීම් දුටු විට එවැනි පිරිස් සිටින්නේ ඉතා අඩුවෙන් බව පෙනී ගොස් තිබෙනවා. හැම නවකයෙක්ම තමන්ට වැඳගෙන තබාගැනීමට කැමති පුස් “ජ්‍යෙෂ්ඨයින්” ඕනෑම පීඨයකින් සොයාගත හැකියි.

මෙම නවක වදය අතරතුර සිදු වන්නේ නවක සිසුන් අපහසුවට පත්කිරීමම නොවේ. ඉතාම ධනාත්මක ආකාරයකදී එය සිසුන්ට ආධාර කිරීමේ ක්‍රමයක්ද වෙනවා. අදාල කාලය අතරතුර නවක සිසුන් සඳහා workshop පැවැත්වීම, නවක සිසුන් සඳහා වාස්සථාන සොයා දීම වැනි දේත් සිදු වෙනවා. නවක සිසුන් හා ජ්‍යෙෂ්ඨයින් අතර සුහදතාවයක් ඇති වන්නේ එවැනි ක්‍රියා අතරිනුයි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින නවක වදයේ මුහුණතයි මේ. තවමත් දරුණු ආකාරයේ නවක වදයන් පවතින අතරතුර වෙනත් ආකාරයන්හි නවක වදයනුත් පවතිනවා. නමුත් ඒ කිසිම ක්‍රියාවකට දේශපාලනික දර්ශනයක් අදාල වෙන්නේ නැහැ.

සරසවියට අලුතින් පැමිණෙන සිසුන් හා ජ්‍යෙෂ්ඨයින් එකතු වී කිසියම් හෝ ක්‍රියාකාරකමක් සිදු විය යුතුයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අලයෙන් බිහිවීම එයින් වලක්වා ගන්න පුලුවන්. නමුත් එයට ප්‍රචණ්ඩත්වයක් එකතු විය යුතු නැහැ.

කියවන්න :

රැග ලිංගික වදයක් සේ | Ragging as a Sexual Harassment

නවක වදයයේ සැඟවුණු (සැඟවූ) හෙළුව

The Fundamental Threat to Sri Lankan University Education

(පින්තූරයේ දැක්වෙන්නේ ඉන්දියාවේ නවක වදය පිළිබඳවයි.)

Posted in Uncategorized | Tagged | 15 Comments

Totem player වල උපසිරැසි(subtitles) පේන්නේ නැද්ද?

20th
May. × ’09

ඔබ ලිනක්ස් වල movie player එක ලෙස භාවිතා කරන්නේ Totem Movie player නම් එහි .srt උපසිරැසි නොපෙන්වීම දැක ඇති. මේ සඳහා විසඳුම් කිහිපයක් තියෙනවා.

අලුත් අනුවාදන වල සිට Totem Movie player වල උපසිරැසි පෙරනිමියෙන් විවෘත කිරීම අත්හිටවා තිබෙනවා. ඒ ආරම්භ කිරීමේ දී වැඩි වෙලාවක් ගත වන නිසා. මෙය නැවත සක්‍රීය කර ගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

Edit->Preferences->General Tab->Text Subtitles->Automatically load subtitle files when movie is loaded check කරන්න. එහි Encoding ලෙස UTF-8 සකසන්න. දැන් View->Subtitles යටතේ උපසිරැසි ලැයිස්තු ගත වී ඇති.

Totem හි .srt පෙන්වන්නේ නැති බවකුත් forum  කිහිපයකදී දුටුවා. ඒ නිසා .srt ගොනු .txt හෝ .sub ලෙස නැවත නම් කර බලන්න.

උපසිරැසි ගොනුව gedit මගින් විවෘත කර එහි පළමුවැනි ඇතුලත් කිරීම 0දැයි බලන්න. 0නම් එය 1 කරන්න.

සමහර අවස්ථා වලදී වීඩියෝ සහ උපසිරැසි ගොනු වල නම් සංකීර්ණ අක්ෂර වලින් තිබීමත් බලපෑ හැකි බව දුටුවා. එම නිසා සරල ලෙස ඒවා නැවත නම් කර බලන්න.

මේ සියල්ල මට වැඩ කලේ නැහැ. ඒ නිසා මම VLC බාගත කර එයින් විවෘත කර බැලුවා. උපසිරැසි හොඳට වැඩ ;)

Posted in Uncategorized | Tagged , , , , , , , | 3 Comments