අනර්කලීට බළපිටියේදී නෙලන්නට සූදානම් වෙන අපේ මිතුරා

anarkaliබළපිටියේ වෙසෙන අපගේ එක් මිත්‍රයෙක් වේ. හිතින් ද ගතින් ද සමාජවාදියෙකු යැයි පවසන මොහු අනර්කලී දකුණේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කල දවසේ පැවසූයේ ඈ බළපිටියට පැමිණි දවසට නම් දුවන්නට දෙන බවයි. මින් පෙරද එසේ එක් දේශපාලකයෙකු එලවූ බව අපට කියා දෙමින් ඔහු, ඈ සංකර ****යක් යැයි විශේෂණ පද කිහිපයක් ද එක් කලේය.

අප රට සදාචාර සම්පන්න බැවින් සපිරි හැදියාව උපරිමයටම ඇති රටක් බව ඔහු තදින් විශ්වාස කරයි. රජයේ සියලු සදාචාරවාදී ප්‍රතිපත්ති (හා වෙනත් ඕනෑම ප්‍රතිපත්තියක්) සඳහා ඔහු ෆුල් සප් එක ලබා දෙන්නේ එබැවිනි. මෙය අපගේ බපියා ට (පිටියා) පමණක් ආවේණික සිතුවිල්ලක් නොවේ. බහුතරයක් ජනයාහට අවුරුදු පනහක දේශපාලන ක්‍රමයක් තුල උරුම කරන දෙනු ලැබූ චින්තනයක එක් ප්‍රථිපලයකි. තමන්ට මීට වඩා විනෝදයෙන් ජීවත්ව සිටිය හැකි සමාජයක් තිබෙන බවත් නමුත් එසේ ජීවත් විය නොහැක්කේ කිසියම් වූ පුද්ගලයෙක් හෝ කාණ්ඩයක් නිසා බවත් චින්තනයක් ඇති කරන පාලකයින් එම පුද්ගලයා හෝ කාණ්ඩය (අනෙකා) විනාශ කිරීමට තමන්ට සහයෝගය ලබා දීමට ජනතාවට ආයාචනා කරන බව කිසියම් හෝ තැනක දුටුවා මතකය. සදාචාර සම්පන්න වූ අබ ඇටයකදු දුරාචාරයක් නොමැති යහ සමාජයක් පිළිබඳ අප මිත්‍රයාගේ සිතුවිල්ලද මීට සමාන එකක් ලෙස අපි දකිමු. ඔහුගේ සිත තුල ඇත්තේ කොටට අඳින සියළු දේශපාලකයින් සමඟ බුදියන අනර්කලී බළපිටියේ සිල්වතුන් වෙතින් ප්‍රතික්ෂේප වෙනු ඇති යන්නය. එය ඔහුගේ සවිඥාණයේ එක් වීර කතාවකි.

නමුත් ලිංගික මර්ධනයකින් මඬිනා ලද ලාංකීය පරම්පරා කිහිපයට අනර්කලී යනු තම සිහින තුල හුරතල් වන රැජිනක් බව ඕනෑම  පිරිමියෙකු දොර අඩවල් කරන ලද කාමර තුලදී තේරුම්ගන්නා සත්‍යයකි. ඈ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉතා ප්‍රසිද්ධ වූයේ එවායේ තිබූ (අඩුම තරමේ බාල ගණයේවත්) කතාවක් නිසා නොවන බව කවුරුත් දනී. මාතරින් යහනට පැමිණීම හා ගමේ බෝක්කු පිළිබඳ පෝස්ටර් ගැසීමට පෙර ඒවායේ අඩංගුව ඇති පින්තූර භාවිතා වූයේ කුමටද යන්න ප්‍රසිද්ධ රහසකි. දේශපාලනයට පැමිණීමට පෙර  කොල්ලන් අතර පමණක් නොව අරක්කු මේසයක වාඩිවෙන හැට පැන්න මහල්ලන් පවා අනර්කලීව කතා බහට ඇද ගත්තේ ඇගේ පරම්පරාව පිළිබඳ කතා කිරීමට නොවන බව සැවොම දනී. නමුත් එළිපිට තම තමන්ගේ ප්‍රතිරූපයට වන හානීය වලක්වා ගැනීමට දැනුවත්වම යටපත් කරන ලද එම හැඟීම් පිටට පැමිණෙන්නේ ඇය රට ජාතියේ සංස්කෘතිය අනුභව කරන හැතිරියක් ලෙසට සිතමිනි. එනම් මෙහිදී ඇය රටේ සංස්කෘතිය විනාශ කරන අනෙකා වේ.

දේශපාලනයට පැමිණීමට පෙර කිසිම ආකාරයකින්වත් ප්‍රතික්ෂේප නොකරනු ලැබූ අනර්කලී දේශපාලනයෙන් ලෙහෙසියෙන් ප්‍රතික්ෂේප වේ යැයි සිතන්නේ කවුරුන්ද? (චිත්‍රපටි රංඟනය හා දේශපාලනය අතර ඇති පුදුම සහගත සමානකම් සලකා බලමින්) එතෙක් තරු ලෙසට ප්‍රසිද්ධව සිටි ප්‍රවීණ නාඹර නිලියන් සියල්ලම පරදවමින් වසර කිහිපයකින් රංඟනයේ මුදුනට (ඇයගේ හැකියාව පිළිබඳ වෙනම කතා කල යුතු අතර හැකියාව කෙතෙක් අද රංඟනයේ ඉහළට යාමට දායක වේදැයි සැක සහිතය) නැඟ ගැනීමට සමත් වූ ඇයව ලෙහෙසියෙන් පැරදවීමට සිතන්නේ කවුරුන්ද? ඇයට මරණ තර්ජන එල්ල කල මුතුහෙට්ටිගමට ජීප් රථ 16කින් ලේ පනින තුරු සැලකීම ගැන දැන දැනත් ඇයගේ බලය පිළිබඳ සැක කරන්නෝ කවුරුන්ද? කොළඹට දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල පත් කර ගත් බුද්ධිමත් ඡන්ද දායකයින් සිටින රටක අනර්කලීගේ ගමන සැක කිරීම එතරම් සුබ නැත.

බළපිටියේදී අනර්කලීට සැලකීමට ලක ලැහැස්ති වන අපගේ මිතුරාට අප පවසන්නේ සියල්ලට කලින් සෙට් එකෙන් අසා ස්ථිර කර ගන්නා ලෙසටය. බළපිටියට ගොඩ බසින ඇගේ දෙපතුල් සේදීමට ඔවුන්ම ඉදිරිපත් වුවහොත්, නෙලන්නට දුව එන අපගේ මිතුරා පත්වෙන්නේ මහා අකරතැබ්බයකට නිසාවෙනි.

තවද අපි ඔහුගෙන් මෙසේ අසමු. දෑතින්ම වෙඩි තැබිය හැකි මුතුහෙට්ටිගම හා හෙලිකොප්ටර් හිමිකාර සජින් වාස් දකුණේ තවමත් තබා ගෙන සිටින්නේ ඔවුන් පිරිමින් වූ නිසා ද? අනර්කලීට සලකනවානම් මේ දෙදෙනාද බළපිටියටම එවිය හැක.

Ubuntu තුල Scanner ස්ථාපනය : Epson Perfection 660

perf660imageමම මුලින්ම පරිගණකයක් මිලට ගන්නකොට ඒ කාලෙ තිබුන උණට ගත්තා පරිලෝකන යන්ත්‍රයක් (හික්. වචනෙ හරිද මන්ද.සිංහලෙන් නම් ස්කෑනරයක්). Epson Perfection 660 මොඩලයේ එකක්. ඒකත් එක්ක ආවේ Windows XP drivers. ඒවා ඒ කාලෙට හරි ගියා. නමුත් විස්ටා පද්ධතිය ස්ථාපනය කලාට පස්සෙයි හොයාගත්තේ විස්ටා drivers නැහැ කියලා. ලිනක්ස් වලට මාරු වුනාට පස්සේ අදයි මට මේ අටමගල පාවිච්චි කරන්න ඕන කමක් ආවේ. Drivers ස්ථාපනයේදී ඉගෙන ගත්ත දේ ටික මේ ලිපියෙන් ලියා දක්වන්නම්.

ලිනක්ස් වලදි scanning වලට ප්‍රයෝජනයට ගන්න daemon එක තමයි sane කියන්නේ. මේකට තියෙන front end එක හඳුන්වන්නේ xsane කියලා. මේ පැකේජ දෙකම සාමාන්‍යයෙන් ලිනක්ස් ස්ථාපනයේදී පැමිණි තියෙන්න ඕනේ. නැතිනම් aptitude හරහා පහත විධානය භාවිතා කර ඒවා ස්ථාපනය කර ගන්න.

~$ sudo apt-get install sane xsane sane-utils

ඊට පස්සේ ඔබේ ස්කෑනරයට අදාල වින්ඩෝස් ඩ්‍රයිවරය බාගත කර ගන්න ඕනේ. මම මේක බාගත කර ගත්තේ මේ ලින්ක් එකෙන්. මේක හොයාගන්න ලේසියි. සරල search එකකින් හොයා ගන්න පුලුවන් වේවි.

ඊට පස්සේ බාගත වෙන zip ගොනුව extract කර ගන්න. මෙයින් අපි එළියට ගන්න බලාපොරොත්තු වෙන්නේ firmware එක. Epson Perfection 660 සඳහා මෙය තියෙන්නේ බාගත වෙන zip ගොනුවේ data/bin ඇතුලෙ TAIL_061.BIN ලෙස. මේ firmware එක /usr/share/sane/snapscan බහලුම තුලට පිටපත් කරන්න. මේ සඳහා පහත විධාන භාවිතා කරන්න. TAIL_061.BIN ගොනුව ~/Desktop මත ඇති නම්,

~$ sudo mkdir /usr/share/sane/snapscan

~$ sudo cp Desktop/TAIL_061.BIN /usr/share/sane/snapscan/

ඉන්පසු අපිට /etc/sane.d/snapscan.conf ගොනුව වෙනස් කරන්න වෙනවා. මේ සඳහා පහත විධානය භාවිතා කරන අදාල ගොනුව විවෘත කර ගන්න.

~$ sudo gedit /etc/sane.d/snapscan.conf

ගොනුව විවෘත වූ පසු firmware /usr/share/sane/snapscan/your-firmwarefile.bin යන වදන් පේළිය සොයා එය පහත ලෙසට වෙනස් කරන්න. මෙහි TAIL_061.BIN වෙනුවට ඔබට අදාල firmware ගොනුවේ නම යොදන්න.

firmware /usr/share/sane/snapscan/TAIL_061.BIN

දැන් ගොනුව save කරන්න. xsane විවෘත කල යුත්තේ root ලෙසය. ඒ හැර sudo විධානය නොමැතිව xsane ආරම්භ කලොත් ස්කෑනරය සොයා ගැනෙන්නේ නැහැ. මෙයට පිළියමක් දැනට මම දන්නේ නෑ. නමුත් root ලෙස වැඩ කරද්දී පරිස්සමින් වැඩ කරන්න.

~$ sudo xsane

Bibliography : UbuntuForums

Ubuntuzilla තුලින් Firefox ස්ථාපනය

ubuntuzilla-logoFirefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම් මෙම සබැඳිය හරහා Firefox බාගත කර ගන්න පුලුවන්. නමුත් ලිනක්ස් පරිශීලිකයින්ට නවතම Firefox නිකුතුවන් ස්ථාපනය කර ගැනීම පහසු වන්නේ නැහැ. Firefox නවතම නිකුතුවන් Repository හරහා ලබා ගැනීමට මදක් කල් යනවා. ඒ වෙනකොට ඒවා “නවතම” නිකුතුවන් නෙමෙයි. Update එකක් නිකුත් කරන හැම වතාවකම වෙබ් අඩවියට ගිහින් බාගත කරගෙන ස්ථාපනය කරන එකත් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. Check For Updates ඔප්ෂනය සාමාන්‍යයෙන් disable වෙලා තියෙන නිසා මේ වැඩේ තවත් අමාරුයි. Manual ස්ථාපනය කරන එකත් අමාරු වෙන්නේ Shiretoko නමින් User Agent එකත් වෙනස් වෙලා තියෙන නිසා.

මේ ගැටළු වලට විකල්පයක් හොයන කොට තමයි Ubuntuzilla ගැන දැන ගන්න ලැබුනේ. මේක Python script එකක්. උබුන්ටු සහ අනෙකුත් උබුන්ටු මත සෑදුන ලිනක්ස් බෙදා හැරීම් (ex: Linux Mint) තුල Firefox, Seamonkey, Thunderbird නවතම නිකුතුවන් ස්ථාපනය කර දීම කරදරයක් නැතුව මෙය මගින් කර දෙනවා. පරණ නිකුතුවන් අවශ්‍යනම් වෙනම විකල්පයන් ලබා දීලා ඒවා ස්ථාපනය කර ගන්න පුලුවන්. මෙම script එක වැඩ කරන්නේ Mozilla file server එක සමඟ. Ubuntu Repository මත නෙමෙයි. ඒ නිසා Repository එකකට මෙම මෘදුකාංග එනකම් බලා ගෙන ඉන්න ඕනේ නෑ.

මුලින්ම Ubuntuzilla script එක බාගත කර ගන්න ඔනේ. මේ සඳහා Ubuntuzilla Download Page වෙත යන්න. එතනින් ඔබට අවශ්‍ය .deb පැකේජය තෝරා ගන්න වෙනවා. මේ සඳහා ඔබ භාවිතා කරන උබුන්ටු හෝ උබුන්ටු derivative ලිනක්ස් සංස්කරණය 32bit/64bit ද යන්න දැන ගත යුතු වෙනවා (Terminal එක වෙත ගොස් uname -a ලෙස විධානය ලබා දී ඔබේ architecture i386 ද x64 ද යන්න බලා ගත හැකියි). ඉන්පසු එය බාගත කර ගත් තැනට ගොස් අදාල පැකේජය මත double click කරන්න. Terminal එකකින් කරනවානම් අදාල ෆෝල්ඩරයට ගොස් dpkg -i ubuntuzilla-4.7.4-0ubuntu1-i386.deb ලෙස ලබා දෙන්න. දැන් Ubuntuzilla ඔබේ පද්ධතිය මත ස්ථාපනය වෙයි (මේ සඳහා ඔබේ රහස්පදය ලබා දිය යුතුයි).

ඉන්පසු Firefox සම්පූර්ණයෙන් වසා දමන්න (මෙම සටහනේ screenshot එකක් ලබා ගන්න). Terminal එකට ගොස් පහත විධානය ලබා දෙන්න. Ubuntuzilla මගින් අසන ප්‍රශ්න වලට “y” ලෙස ලබා දෙන්න. අවශ්‍ය Locale එකේ අංකය ද ලබා දෙන්න.

ubuntuzilla.py -a install -p firefox

ඉන්පසු මඳ වෙලාවකින් Firefox ස්ථාපනය අවසන් වේවි. අවසාන වශයෙන් firefox update සොයා බැලීම කරන්නදැයි Ubuntuzilla අසයි. එයටත් “y” ලෙස ලබා දෙන්න. දැන් ඔබ අලුත්ම Firefox ස්ථාපනය කර අවසන්. ඔබෙ profile එක නොවෙනස්ව පහසුවෙන් කර ගැනීම Ubuntuzilla විසින් කර දෙනවා.

getpersonasFirefox ස්ථාපනයට පසු getpersonas වෙත ගොස් firefox ලස්සන කර ගන්නත් අමතක කරන්න එපා.

Bibliography:

Install Firefox 3.5 in Ubuntu 9.04 using Ubuntuzilla | Tombuntu

තනියෙන් දාන පාටියක්

i_love_bloggingඅද හරියටම මම බ්ලොග් එකක් පටන් අරන් අවුරුද්දක් ගත වෙන දවස. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 9 වෙනිදා chamila-dealwis.blogspot.com යටතේ wamp ගැන ලියලා බ්ලොග් එකක් පටන් ගත්තා. ඒක ලිව්වේ ඉංග්‍රීසියෙන්. ඊට කලින් ucsclodge.lk වෙබ් අඩවියේ පොඩි පොඩි බ්ලොග් සටහන් ලියලා තිබුනා. නමුත් හරි හමන් බ්ලොගයක් පටන් ගත්තේ අදින් අවුරුද්දකට කලින්.

අවුරුද්දක් ඇතුලත ඉගෙන ගත්ත දේවල් නම් බොහොමයි. මිනිස්සු ගැන, සමාජය ගැන වගේම තව තව විශයයන් ගැන ගොඩක් දේවල් ඉක්මනට ඉගෙන ගත්තා. වැඩියෙන්ම වටින දේ ඉක්මනින් ඉගෙන ගැනීම. අවුරුද්දක් ඇතුලත මම හිතපු විදිය ලොකු වෙනසකට ලක් වුනා. හැම දෙයක් ගැනම කල්පනා කරන පණ්ඩිතයෙකුත් වුනා. මේ කෙරුවාව පටන් ගනිද්දි යාළුවො විදියට හිටපු පුද්ගලයො දැන් නෑ. තරහ වෙලා හිත් අමනාපව හිටපු සමහර අය දැන් අතිජාත යහළුවො. තාක්ෂණය ගැන තිබුන මත වෙනස් වෙන්නත් අළුත් දේවල් ගැන දැන ගන්නත් මේ පුරුද්ද උදව් වුනා. පොත් වලින් ඈත් වෙලා හිටිය මම නැවත පොත් වලට ලං කරන්න උදව් වෙන සිද්ධි වලට මඟ හැදුනෙත් බ්ලොග් හරහා.

බ්ලොගය හරහා දැන් ගොඩක් ලොකු පරාසයක පුද්ගලයින් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. කොටි, NGO, කඩේ යන වුන්, මතයක් නැති වුන්, බුවාලා, ඇඩ්මින්ලා, ප්‍රබුද්ධ අය, පිචං අය මේ හැම කෙනෙක්ම. එක එක අයට තියෙන අදහස්, මතවාද වෙනස්. නමුත් ඒ හැම කෙනෙක් එක්කම එකම විදියකට කතා කරන්න පුලුවන් හැකියාව මට මේ අවුරුද්ද ඇතුලතදි ලැබුන දෙයක්.

ඇති වෙන්න මඩ කාලා තියෙනවා, කවුරු මොනවා කිව්වත් හෙල්ලෙන්නෙ නැතුව ඉන්න පුලුවන් විදියට. ඇති වෙන්න බැණුම් අහලා තියෙනවා කවුරු බැන්නත් හිනාවෙන්න පුලුවන් විදියට. දැනටමත් සමහර අයට මාත් එක්ක කෙලින් බලා ගෙන කතා කරන්න බෑ. යාළුවො නැති වෙලා තියෙනවා කියන්න තියෙන දේ කෙලින්ම කියලා. පස්සේ පාඩම් ඉගෙන ගෙන තියෙනවා එහෙම කියන එකේ කිසි ගතියක් නෑ කියලා. හොඳ නාමේ අහලා තියෙනවා අතරින් පතර. ලේබල් වැදිලා තියෙනවා. කුණුහරප අහලා තියෙනවා.

හැබැයි මොනවා වුනත් බ්ලොග්කරණය අත අරින්න නම් හිතකින් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. Forest Gump වල දුවනවා වගේ අවුරුද්දක් ඇදපු එකේ තවත් අවුරුද්දක් ඇදලා බලමු.

තවමත් මතක බොබ් මාලි

අද හවස් වරුවේ ගෙදර ආපු ගමන් අම්මා කියපු දේ “අන්න පුතා පුංචි කාලේ අහපු කැසට් ටිකක් හොයාගත්තා” කියපු දේ. මම මුලින්ම සිංදු කියලා ඇහුවේ තාත්තාගේ කැසට් වල තිබුන බර බර සංගීතය වගේ මතක. අමරදේව, නන්දා මාලිනී, බන්ඩාර අතාවුද වගේ අය තමයි ඒ කාලේ වීරයො. හැබැයි පුංචිම කාලේ මොකද්ද හින්දි සින්දුවක් මුමුණ ඉඳලා තියෙනවා. දැන් මතක නෑ.

ඉංග්‍රීසි සින්දුවක් කියලා මම මුලින්ම ඇහුවේ බොබ් මාලි ගෙ සින්දු. ඒ කාලෙදි නම් මෙලෝ හසරක් නොතේරුනාට ඔහේ කියව කියව නටනවා. The Very Best of Bob Marley කියන කැසට් පටිය තමයි හැම තිස්සෙම අහන්නේ. කාලයක් යද්දී මේ සංගීත රටාවන් හිතට කාවැදෙනවා දන්නෙම නැතිව. පස්සේ කාලෙකදි කැසට් පටි අහන පුරුද්ද නැතිව ගියා. පොෂ් වෙන්න Linkin Park අහන්න පටන් ගත්තාම රොක් සංගීතයටම ටික ටික නැඹුරු වුනා. නමුත් බොබ් මාලි ගෙ සින්දු දැන් වුනත් අහද්දී ආපහු පරණ කාලෙකට යනවා. වැඩි බරක් හිතේ නැති ලාමක පුංචි ලෝකෙකට. පරණ මතක මොනවා වුනත් අමුතු පාළුවක් හිතට ගේනවා. බොබ් මාලිගෙ කැසට් පටිය ආපහු දැක්කාමත් හිතට ආවේ අමුතු පාළු ගතිය.

The Very Best of Bob Marleyබොබ් මාලි ගැන එක එක අය එක එක කතා කියනවා. ඔහු නියෝජනය කරපු රස්තෆාරි ආගම ගැන, ඔහුගේ ගංජා පුරුද්ද ගැන නොයෙකුත් කතා තියෙනවා. නමුත් Get Up Stand Up වැනි පද මාලා තුල ගැබ්ව තියෙන අධිකාරියට එරෙහි වෙන ගතියට ඕනෙම කෙනෙක් කැමති වෙනවා හිත යටින් වුනත්. ඔහුගේ දරුවන් දැන් ඔහුගේ නමින් ප්‍රසිද්ධ වීමට දැඟළුවත් (Damian Marley වැන්නන්) බොබ් මාලිගේ කටහඬෙ තිබුන ආත්මය ඔවුන් ළඟ නැහැ. Three Little Birds බොබ් මාලිගේ තවත් ප්‍රසිද්ධ ගීතයක්. සැහැල්ලු ජීවිතයක් ගැන හීනියට හැඟීමක් හිතට ඇතුළු වෙලා පිට වෙනවා.

Take me home country roads යන ගීතයත් පරණ කැසට් පටියක තිබුනා. එයත් පරණ මතක අළුත් කරවන්නක්. මෙහි ගායකයා ගැන නම් මම වැඩිය දන්නේ නෑ. ජෝන් ඩෙන්වර් නම් වන ඔහු 1997දී ගුවන් යානා අනතුරකින් මිය ගොස් තිබෙනවා. නමුත් මේ ගීතය නම් ඔබ අහලා ඇති.

Take Me Home Country Roads – John Denver

Road To Zion – Damian Marley Ft. NAS

GMail, GReader, GCalendar සහ තවත් දේ ලස්සන කරමු

Illustration_016Gmail කියන්නේ Webmail සේවා භාවිත කරන්නන් අඩකටත් වඩා යොදා ගන්නා සේවාවක්. Google Reader කියන්නේ RSS syndicator එකක්, තමන්ගේ RSS සබැඳි අවශ්‍ය ආකාරයට හසුරවන්න පුලුවන්. Google Calendar අපේ calendar අවශ්‍යතා බොහෝමයක් ඉටු කරලා දෙනවා. Gmail සඳහා නම් තේමා කිහිපයක් සපයා දී ටිකක් ලස්සන කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. මැතකදී ඔවුන් තවත් තේමා තුනක් එම ලැයිස්තුවට එකතු කලා.

නමුත් Google Reader හා Calendar සඳහා තේමා යොදන්න බැහැ. අපිට හැමදාම අර බක්කි look එකම භාවිතා කරන්න වෙලා. නමුත් අන්තර්ජාලයේ තැනින් තැනින් ලැබුන ඔත්තු කිහිපයක් භාවිත කරලා මම මේ සේවා ටිකක් ලස්සන කරලා ගත්තා. ඒ වගේම Firefox ඇඩෝන කිහිපයක් එකතු කරලා මම හැම තිස්සෙම භාවිත කරන tabs කිහිපයක් පහසු ආකාරයකට සකස් කර ගත්තා. මේ ලිපියෙන් කියන්නේ කොහොමද මේ සඳහන් කරපු වැඩ ටික කරන්නේ කියලා.

tabs

මෙහි මා භාවිතා කරන අත්‍යවශ්‍ය tabs කිහිපයක් කුඩා කර දක්වා තිබෙනවා. ඒවාගේ fav icons පමණයි දැන් දර්ශනය වෙන්නේ. මෙමගින් අපිට තිරයේ ඉඩ ඉතුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා මම භාවිතා කලේ FavIconize Tab යන ඇඩෝනය. යම් කිසි tab එකක් මත right click කර FavIconize Tab ඔප්ෂනය ලබා දුන් විට එය Fav Icon එකක් දක්වා අඩු වෙනවා.

මේ කියවන ගමන් ඇඩෝන බාගත කරන්න යන්න එපා. Firefox කිහිපවාරයක් නැවත ආරම්භ කරන්න වෙයි. මම අන්තිමට ඇඩෝන ලැයිස්තුව දෙන්නම්.

faviconize

නමුත් දැන් ගැටළුවකට එන්නේ Gmail, reader වල තිබෙන unread count එක බලා ගැනීම. Tab එකේ title එක නැති නිසා unread count එක දිස් වෙන්නෙත් නෑ. මේ සඳහා මම Better Gmail, Better GReader යන ඇඩෝන යොදා ගත්තා. ඒවායේ Preferences වල Show Unread Count In FavIcons යන ඔප්ෂනය check කල පසු unread count එක පහත දැක්වෙන ලෙසට දිස් වෙයි.

unread count

මම නිතරම භාවිත කරන tabs, Firefox ආරම්භ කරන සෑම විටම ආරම්භ කල යුතුයි. මේ සඳහා Perma Tabs යන ඇඩෝනය මම යොදා ගත්තා. පෙර ලෙසටම tab එකක් මත right click කර Perma Tabs-> Permanent Tab ඔප්ෂනය ලබා දුන් විට Firefox ආරම්භ කරන විට ඉබේ ආරම්භ වන tab අතරට එයත් එක් වෙනවා.

permatabs

දැන් tab කිහිපයක් අපි පිළිවෙළට සකස් කර ගත්තා. Gmail ලස්සන කර ගන්න ඔබට කැමති තේමාවක් යොදන්න පුලුවන්. අපි බලමු Google Reader සහ Google Calendar ලස්සන කර ගන්නෙ කොහොමද කියලා.

මේ සඳහා අපි Greasemonkey script දෙකක් ස්ථාපනය කරන්න යනවා. ඊට Greasemonkey ඇඩෝනය යොදා ගන්න වෙනවා.

දැන් ඇඩෝන ස්ථාපනය සඳහා හොඳ වෙලාව. පහත ලැයිස්තුවේ තිබෙන ඇඩෝන Tools->Addons හරහා ගොස් සොයා ස්ථාපනය කරන්න. Firefox නැවත ආරම්භ කිරීමෙන් පසුව අපි script දෙක එකතු කරමු.

  • Better Gmail
  • Better Greader
  • Faviconize Tab
  • Greasemonkey
  • Permatabs mod

ඇඩෝන බාගත කර Firefox  නැවත ආරම්භ කිරීමෙන් පසුව පහත දක්වා ඇති වෙනස්කම් සිදු කරන්න. ඔබට gmail සහ google reader, refresh කරන්න සිදු වෙයි.

දැන් Google Reader සඳහා HelvetiReader යන user script එක ස්ථාපනය කල යුතුය. ඒ සඳහා HelvetiReader.com වෙත ගොස් එහි පහළ ඇති Install As A User Script මත click කරන්න. ඔබට පහත ආකාරයේ greasemonkey alert එකක් දිස් වෙයි.

greasemonkeyඑයට Install ලෙස ලබා දෙන්න. අවසාන වීමෙන් පසු Helvetireader installed succesfully යනුවෙන් පහළ status bar එකේ වඳුරු මූණට :D පැත්තකින් දිස් විය යුතුය. ඉන්පසු google reader වත ගොස් refresh කර බලන්න.

මේ ආකාරයටම Google Calendar සඳහා Helvetical පිටුවට ගොස් Usage යටතේ Install UserScript මත click කරන්න. පෙර පරිදිම පැමිණෙන greasemonkey window එකට install ලෙස ලබා දෙන්න. අවසානයේ Google Calendar refresh කර බලන්න.

මෙම ඇඩෝන මම සතියක විතර කාලයක් තිස්සේ භාවිත කරනවා. මේ වනතෙක් කිසිම අකරතැබ්බයකට මුහුණ පෑවේ නෑ.

දේශීයකරණය යනු සියබස ආගන්තුක-කරණයද?

(දින එක හමාරක් වැනි කාලයක් තුලදි අත්දැකීම රාශියක් එකතු කර ගැනීමට හැකිවීම අප ලද භාග්‍යයකි. පැය 10ක් තුළදී එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කතිකා වල නියැලී සිටිමට හැකි වීමද එක්තරා අන්දමකින් ආශ්වාදජනකය.)

සියබසින් නිමවූ පද්ධති හා යෙදුම් පිළිබඳ සම්මන්ත්‍රණය නමින් කණිෂ්ක යෙදු සටහනට සම්පූර්ණයෙන් වෙනස් විය හැකි සටහනක් මෙසේ ආරම්භ කෙරේ. පළමුවෙන්ම යෙදිය යුතු ඩිස්ක්ලේමරය වන්නේ මෙහි සදහන් අදහස් අපගේ පෞද්ගලික අදහස් බවයි. දෙවැන්න වන්නේ අප අකමැති කිසි දෙයක් පිළිබඳ විවේචනයක් අප නොකරන බවයි.

මොරටුව සරසවි භූමියේ අද දින ඇතුලත පැවති මෙම සම්මන්ත්‍රණය සැබවින්ම දේශීයකරණයේ ඉදිරිගමන පිළිබඳව තැබූ වැදගත් පා සටහනක් බව කිව යුතුය. තැන තැන විසිරී තනි තනිව හැදී වැඩුන භාෂාමය සයිබර් අනන්‍යතාවයක් පිළිබඳ අදහස්, බලාපොරොත්තු එක් තැනකට රොක් කර ගැනීමට දරා තිබූ උත්සහය මින් පෙර මෙවැනි මට්ටමකින් සිදු වූ බවක් අපගේ මතකයේ නැත. එම නිසා එවැනි අවස්ථාවක් සඳහා සහභාගී විමට හැකි වීම පිළිබඳ යම් පමණක ගර්වයක් ද නැතුවා නොවේ. එසේම මින් පෙර අතථ්‍ය ලෝකයකදී හමු වී වාද විවාද කර ගත් මිතුරන් කිහිප දෙනෙකු මුහුණට මුහුණ හමු වීමේ සතුටක් ද ඇත.

නමුත් මෙම අවස්ථාව තුළදී අප දුටු දුර්වලකම් බොහෝ විය. වේලාව මද වීම, සංවාදමය වටපිටාවක් නොමැති වීම ආදී වූ දේ බොහෝ විට පළමු වර පැවැත්වූ සම්මන්ත්‍රණයේදී නොසලකා හැරිය හැක. නමුත් දේශීයකරණය පිළිබඳ වූ ගැඹුරින් සිතිය යුතු යැයි අප විශ්වාස කරන ගැටළුවක් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවට එය බෙහෙවින් නොසලකා හැරීම දේශීයකරණයේ අනාගතය පිළිබඳ බියක් අප තුළ ඇති කරයි.

මෘදුකාංගය සාර්ථක අසාර්ථක භාවය රඳා පවතින්නේ එහි යොදා ගෙන ඇති algorithm වලටත් වඩා පරිශීලකයින් එය භාර ගන්නා ආකාරය අනුවයි. එයට එහි භාවිතා කර ඇති භාෂාව ඉතා වැදගත් වේ. මෙපමණ කලක් තිබූ දැවෙන ප්‍රශ්නය වූයේ මෘදුකාංග භාවිත කිරීමට අනිවාර්ය අංගයක් වූ ඉංග්‍රීසි දැනුමයි. වෙනමම කැපවූ සටහන් කිහිපයක් ආධාරයෙන් කතාබස් කල යුතු ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය හා ක්‍රමයෙන් නැගී එමින් තිබූ දේශීයකරණ සංකල්පය, සිංහල ASCII ෆොන්ට, යුනිකෝඩ සම්මිතිය හරහා මෘදුකාංග දේශීයකරණයට කෙමෙන් කෙමෙන් මඟ පෑදුවේය. අප කතා කිරීමට බලාපොරොත්තු වන ගැටළුව ඇත්තේ මෙතනයි.

අපි සිංහල (හෝ දෙමළ) භාෂාවෙන් මෘදුකාංග අතුරු මුහුණත් බලාපොරොත්තු වන්නේ භාවිතයට ඇති පහසුව නිසාය. මෙහිදී මෘදුකාංග දේශීයකරණ ව්‍යාපෘතිය ඉලක්ක කර ගත යුතු පරිශීලක කණ්ඩායම් දෙකක් ඇත.

  1. දැනටමත් ඉංග්‍රීසි භාෂාවෙන් මෘදුකාංග භාවිතා කරන පරිශීලකයින්
  2. කිසිදු භාෂාවකින් මෘදුකාංග භාවිතා කර නොමැති පිරිස්/දේශීයකරණය කල භාෂාවෙන් මෘදුකාංග භාවිතයට අත්පොත් තබන පිරිස්

අප සිංහලට හැරවූ මෘදුකාංග කිහිපයක් භාවිතා කිරීමට ආරම්භ කර ඇත. නමුත් මාස කිහිපයක් ඉක්මයාමට පෙර අප තේරුම් ගත් කරුණක් වූයේ සිංහලෙන් ඇති සමහර විධාන තෝරා බේරා ගැනීමට නැවත ඉංග්‍රීසි සංස්කරණයට යොමු විය යුතු බවයි. දේශීයකරණයේදී භාවිතා කර තිබූ සමහර වදන් අප දැක තිබුනේද එම මෘදුකාංගය භාවිත කිරීමට ආරම්භ කිරීමෙන් පසුවය.එනම් එම භාෂාව අපට අළුතින්ම අධ්‍යයනය කල යුතුව තිබූ භාෂාවක් බවයි. යම් අයෙකුට මෙහිදී අප සිංහල නොදැන සිටීම පැහැදිලි කිරීමක් ලෙස ගෙනහැර දැක්විය හැක.  නමුත් දේශීයකරණය කරන ලද මෘදුකාංග භාවිතයට සිංහල වෙනමම අධ්‍යයනය කල යුතු නම් දේශීයකරණය සාර්ථක වී ඇත් ද යන්න සැකයට භාජනය වේ.

මෙම කරුණ දක්වා දේශීයකරණයේදී වඩාත් පැහැදිලි හා වෙනත් භාෂාවලට ලෙහෙසියෙන් හැරවිය හැකි වදන් ක්‍රමයක් ගැන විමසු වීට සිංහල-ඉංග්‍රීසි ශබ්ද මාලාව පිළිබඳ වගකිවයුතු අයෙක් පැවසූයේ ඉහත සඳහන් කර ඇති පළමු කාණ්ඩය ඔවුන්ගේ ඉලක්කගත කාණ්ඩයක් නොවන බවයි. අනෙක් බාසාවෙන් දේශීයකරණය අපට අකැප බවයි. අප මෙසේ හුරු වී ඇත්තේ අප මුල සිටම ඉංග්‍රීසි යෙදුම් වලට හුරු වීම හේතු කොට ගෙන යන්න සැම දෙනා විවාදයකින් තොරව පිළිගනී. Windows/Linux හුවමාරුවේදී ප්‍රධාන බාධකයද මෙයයි.

lang

දෙවැනි කාණ්ඩය සිංහලයෙන්ම මෘදුකාංග භාවිතයට හුරු වන නිසා මෙවැනි ගැටළුවක් පැන නගින්නේ නැති බව පැහැදිලිය. නමුත් ගැටළුව ඇති වන්නේ ඔවුන් කවදා හෝ ඉංග්‍රීසි බසින් වූ මෘදුකාංගයක් භාවිත කිරීමට ගිය විටයි. “අපිට ඉංග්‍රීසි ඕනේ නෑ” කියමින් මෙයට ප්‍රතිචාර ලැබේ නම් මින් එහාට කියවන්න එපා. මෙතෙක් කල් ඉංග්‍රීසි බසින් වූ මෘදුකාංග භාවිතා කොට සිංහලට මාරු වීමට ගිය අපට වැලේ වැල් නැතිව ආපසු මාරු වීමට සිදු වූ න්‍යායම ඔවුන්ට එලෙසම බලපානු ඇත. එවිට ඉංග්‍රීසි බැරි ද යන්න කවුරුන් හෝ ප්‍රශ්න කරයිද යන්න අපට විශ්වාස නැත.

මෙම කෙටි සංවාදයේදී මතු වූ තවත් කරුණක් වූයේ අප කිසිදු හෝ වදනක් එහි අර්ථයෙන් ගෙන අදහසට පරිවර්ථනය නොකරන බවයි. අප එහි අර්ථය ගන්නේ අදාල වදන අයිකනය්‍ක් ලෙසට/සංකේතයක් ලෙසට ගෙනයි. උදාහරණයකට ගතහොත් Tools මෙනුවේ ඇත්තේ මෙවලම් යන්න අප කවදා හෝ කල්පනා කර ඇත් ද? එය Preferences/Options විධානය ඇති මෙනුව ලෙස අප තේරුම් ගන්නෙමු. අපගේ තර්කය ගොඩ නගන්නේ ද මෙතැන සිටයි.

සංකේත ගොඩ නැංවිය යුත්තේ භාෂාව කුමක් වුවත් තේරුම් ගත යුතු ආකාරයකටයි. භාෂාව වෙනස් වන විට සංකේත වල අර්ථයද වෙනස් වේ නම් සංකේතයක් ලෙස එය සාර්ථක වී නොමැත. මෙම සංකේත සංකල්පය වදන් වලට හැරවීම පිළිබඳ අප දරන්නේ මෙවැනි මතයකි. ඉංග්‍රීසි භාෂාවේ දැනට අන්තර්ගත වී ඇති වදන් සිංහලට හැරවීමේදී එකට එකක් (one-to-one) ලෙස පරිවර්ථනය අප අත හැර දැමිය යුතුය. ජනප්‍රිය නිදසුනක් වන Cache වෙනුවට සිංහලෙන් ඇති වදන වන “හැඹිලි ගත කිරීම” යන්නෙන් එහි අර්ථය අන්තයටම විනාශ කරන බව පෙනේ. අප යෝජනා කරන්නේ මෙය “කෑෂ්” ලෙසම භාවිත කරන ලෙසයි. මෙවැනි වදන් සදහා පමණක් නොව පරිගණක ආශ්‍රිත යෙදුම් වලින් බහුතරය පරිවර්නය කිරීමේදී මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බව අපගේ විශ්වාසයයි. සංකේතයක් ලෙස එහි අර්ථය ආරක්ෂා කර ගැනීමට මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බව අප නැවත නැවත ඉදිරිපත් කල තර්කයයි.

නමුත් රැස්ව සිටි පිරිස ඉහත දෙවැනි ඡේදයේ පමණ නැවතී තර්ක කල අතර අප ඉදිරිපත් කල තර්කය පිළිබඳ දැනුවත් වූයේ කිහිප දෙනෙක් පමණක් බව අපි දුටුවෙමු. කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කල යුත්තේ ශබ්ද මාලාව පිළිබඳ වගකිව යුත්තන්ය. දේශීයකරණයේ නියැළි සිටින අය බොහෝ වෙලාවට යොමු වන්නේ අදාල ශබ්ද මාලාවට බැවිනි. නමුත් වගකිව යුත්තන් බලාසිටින්නේ දෙවැනි කණ්ඩායමක් බිහි වන තෙක් නම් මෙය තවත් බොහෝ දුර බව කිව යුතුය. කොතෙක් කියූවත් නිළධාරීවාදයෙන් මිරිකී ඇති යැයි අප සැක කරන පාලන ක්‍රමයක් තුල මෙවැනි වෙනසක් බලාපොරොත්තු වීම එක අතකින් මෝඩ කමකි.

එසේනම් දෙවැනි කණ්ඩායම ඉලක්ක ගත කර ගනිමින් මේ සිදු කරන්නේ අප විහින් තනි වීමටද? දේශීයකරණයෙන් බලාපොරොත්තු වන්නේ අප වෙනමම ඉගෙන ගත යුතු භාෂාවක් පරිගණකයේ භාවිතා වන සිංහල යැයි හඳුන්වා දීමටද? පරිගණක සිංහල-සිංහල ශබ්ද කෝෂද අප එවිට බලාපොරොත්තු විය යුතුය.

අප බිහි කල යුත්තේ එක් භාෂාවකින් පමණක් පරිගණකය හැසිරවිය හැකි පුද්ගලයින් නොව නොයෙකුත් අවස්ථා වලට අනුගත විය හැකි පුද්ගලයින්ය.

(මෙදින ඇතුලත අප අත්දුටු දේ මෙවැනි එක සටහනකින් කියා නිම කල නොහැක. එම නිසා ප්‍රධාන ගැටළුව පමණක් සාකච්ඡා කර මෙතනින් අවසන් කර දැමේ)

හෙටට පෙර අටවක පුත්තු

අකුරු මං පෙත  පස් වන වැඩසටහනට එන්න හෙට (අගෝස්තු 19 බදාදා) හවස 5.45ට නුගේගොඩ සරසවි නව ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවට ඇවිත් ඉන්න. හෙට කතා කරන පොත “අටවක පුත්තු”. 2008 වසරේ හොඳම නවකතාව වුන මෙය ලියනගේ අමරකීර්ති විසින් ලියන ලද්දක්.

අටවක පුත්තු මම මේ වෙනකම් කියවන්න ගත්තෙ නැත්තේ හේතු කිහිපයක් නිසා. පොත් කියවීමේ පුරුද්දෙන් ටිකක් ඈත් වෙලා තිබුන නිසා, සල්ලි යෙදවීම පොත් වලට වඩා වෙන දේවල් වලට වීම නිසා, වෙලාව නෑ කියලා හිතුන නිසා…… වගේ හේතු ගොඩක්.  අකුරු මං පෙතට මම සහාභාගී වුනේ එක වතාවයි. නමුත් පොත් කියවීමේ කැසිල්ල ආයෙත් පන ගහලා එන්න ඒ වතාව ඇති වුනා. ඒ කැසිල්ලටම තමයි සුදාරකට කතා කරලා පොත ඉල්ල ගත්තෙ.

අටවක පුත්තු 2008 හොඳම නවකතාව වුනේ ඇයි කියලා පොතේ 21 පිටුවේ ඉඳන් තේරුනා. පළ වෙනි පිටුවේ ඉඳන් විසි වෙනි පිටුව වෙනකම් ටිකක් වෙලා යනවා කතාව අල්ල ගන්න. චරිත කතාව ඇතුලට එන්නේ කිසිම හඳුන්වාදීමකට කාලෙ නාස්ති කරන්නේ නැතිව. හැබැයි පොතේ එන හුඟක් චරිත තමන් කවුද කියලා හොයනවා අවසානය වෙනකම්. දමයන්ත, නන්දෙ, දිල්කි, හුඟක් ෂුවර් වගේ පෙනුනට රවීත්, වජිරා, මේ හැමෝම ගැන කියවද්දි ඇත්ත කතාවක්ද කියලා හිතුන වාර අනන්තයි. අනෝමා-නන්දෙ ආල කතාව, අඩහඳයාගේ අණ කිරීම් වලින් ගෙවිලා යන බාල කාලෙ මට හුඟක් සමීප වුනා වගේ දැනුනා. ඊළඟට රවීගේ තර්ක, දිල්කිගේ තොල් දෙක, නන්දෙගෙ ජීවිතය එක්ක ගෙවිලා ගිය සරසවි ජීවිතය හුඟක්ම ඈතින් වගේ දැනුනා. අටවක පුත්තු කතාවේ ගිලිලා යන්න තවත් හේතුවක් වෙන්න ඇත්තේ මා අධ්‍යාපනය ලබන සරසවිය හුඟක් අවස්ථා වලට පාදක කර ගෙන තිබුන නිසාත් වෙන්න ඇති.

සරසවි අධ්‍යාපනය ගැන, ආදරය ගැන, විශේෂයෙන් තමන් ගැන අඳුනගන්න පටන් ගන්න පොඩි ආලෝකයක් ලැබුනා කියලා හිතුනා පොත කියවලා ඉවර වුනාම. දවස් හතරක් විශේෂයෙන් ගත කරලා යන යන තැන බෑග් එකේ දාගෙන ගිහින් නොසිඳෙන කුතුහලයකිනුත් ආසාවකිනුත් බලපු පොත ඉවර වුනාම “තව නැද්ද” කියලා මගෙන්ම අහගෙන දුක් වුන එක මේක කියවපු හැමෝටම වෙන්න ඇති. මොකද අටවක පුත්තු තරම් සමාජයක සියලු මට්ටම් අල්ලලා ලියපු වෙන කතාවක් මම කියවලා නැහැ.

දමයන්ත පුංචි කාලේ ඉඳන් තමන් ඇතුලේ හොයන නොඉපදුන නිවුන්නත්, නන්දෙ හැමදාම නාට්‍ය ලියද්දි කතා කරන අසේලත්, රවී ගෙදර අතහැරලා නුගේගොඩ බෝඩිමට වෙලා පුලුවන් තරම් කලාව තනියෙන් අධ්‍යයනය කිරීමත්, දිල්කි ශබ්දකෝෂ පෙරලමින් සොයන සිංහල වචනත් සියල්ල නිරූපණය කරන්නේ අපි හැමදාම නිරන්තරයෙන් සොයන අපි කවුද කියන පැණය ද? දමයන්ත පළමුව අඩහඳයා තුලත්, කවි තුලත්, රවී තුලත්, දේශප්‍රේමී ව්‍යාපාරය තුලත් පසුව දිල්කි තුලත් සොයලා අන්තිමට තමන් තුල එම පැණය ගිල්වා දමලා, නැත්නම් එය අවබෝධ කරගෙන ලබා ගන්නේ පරිපූර්ණත්වයද? කතාව අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන පිටුවකින් පහත කොටස උපුටා ගත්තා. මෙය සමහර විට මුළු පොතේම ප්‍රධාන සිතුවිලි මාලාව එකට කැටි කරනවා වෙන්න පුලුවන්.

ඔහුට දැනුන අභ්‍යන්තරික අසම්පුර්ණ බවත්, අර්ධභාවයත්, පුරවන සහෝදර මිනිස් පහසක් සොයා ඔහු කල ගවේශනය දැන් නිමාවකට පත්ව ඇත. යම් භාවමය බුද්ධිමය නිවුන්නෙකු හමු වනු ඇතැයි යන අවිඥානක අපේක්ශාවෙන් හෝ පසු වීම මිනිසා නැමැති සත්වයාට අවේනික වන තරම් වන ලක්ශනයෙකියි ඔහු දැන් සිතයි. ඒ හැඟීමම යම් සම්පූර්ණ බවක් ඔහුට ගෙන දෙයි.

(අටවක පුත්තු, පිටු 487)

ඔව්. මේ පොත තමයි නණලළ භේදය කුණු කූඩෙට දාලා තියෙන්නේ.

මේ බ්ලොග් අඩවියත් මගේය.

දුටුගැමුණු පිළිබඳ නාට්‍යය කිරීමේදී එන් ජි ඕ කාරයින් එයට අතගසා ඇත්තේ බටහිර ක්‍රිස්තියානි ව්‍යාප්තවාදයේ සුක්ෂම ලෙස සැලසුම් කරන ලද මෙහෙයුමක් දියත් කරන්නටයි. කලින් අබා හා එවැනි නිර්මාණ වලදී ක්‍රියාත්මක වුනේ එම අදිසි හස්තයයි.

මෙම සැලසුමට අනුව බුද්ධාගම හා අපේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට බටහිර ජාතීන් තම රටේ ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන කරයි. අප පන්සල් නොගොස් ගෙදර සිටිනා දවසට ඔවුන්ට නින්ද යනු ඇත.එම නිසා අප වැඩි වැඩියෙන් පන්සල් වන්දනාවද, හාමුදුරුවන් කර උඩ තබා ගැනීමද, හැකි සියලු මනස්ගාත ඔලුවේ තබා ගැනිමද කල යුතුය. මෙම පියවර ගන්නේ බටහිරයින්ගේ කුමණ්ත්‍රන පරාජය කිරීමටයි.

අප නාට්‍ය කරන විට තෝරා ගත යුත්තේ උත්තුංග දේහදාරී වීර පුරුසයින්ය. නැත්නම් එතන ඇත්තේද බටහිර එන් ජී ඕ කාරයින්ගේ කුමණ්ත්‍රණයකි. රජයට අපහාස කරන සියල්ලම මෙම බටහිරයින්ගේ සැලසුමේ කොටස් කාරයින්ය. ලංකාවේ බුද්ධාගම නැතිවූ පසු ඔවුන්ටත් සැපසේ නිදා ගත හැක.

==========================================================================

mine-mineමේ සියලු දේ කියන බ්ලොග් එක මගේ බ්ලොග් එකය. එහි මට විරුද්ධව කිසිවෙකුට කතා කල නොහැක. මගේ බ්ලොග් එක උඩින් මගේ අහන්නේ නැතුව කිසිම bot එකක් crawl නොකල යුතුය.

නමුත් මම ඔබේ අදහස් වලට ගරු කරමි. එසේ පවසන්නේ අනෙක් බ්ලොග් වලත් එසේ පවසා ඇති නිසාය. නැතිනම් ඒ පිළිබඳ දන්නා කෙං ගෙඩියක් ඇති නිසා නොවේ.

මේ බ්ලොග් එක මගෙ නිසා මම කැමති පරිදි රෙන්න පුලුවන් නමුදු අනෙක් අයට ඒ රීම ගැන කතා කල නොහැක. එයට අදාල වන්නේ දේවාලේ කපුවාගේ තියරියයි. මට ආතල් ගෙන දෙන කමෙන්ට් පමණක් පළ කරන අතර අනෙක් එවා මකා දමමි. නමුත් නැවත වරක් කියන්නේ මම අදහස් වලට ගරු කරමි. මල් පහන් පුදා වඳිමි. නමුත් එවා පල කල නොහැක.

තෙවැනි වරටත් කියන්නේ මේ මගේ බ්ලොග් එකය. එහි පල කරන කමෙන්ට් අයිති මටයි. නැතුව පල කල පුද්ගලයාට නොවේ. එම නිසා ඒවා මකා දැමීමට මට කාගේ වත් අවසරයක් අවශ්‍ය නොමැත.

කවුරුන් හෝ ගොබ්බයා කියුවොත් ඒ මා බවද මතක තබා ගන්න.

============================================================================

කලෙකින් දුටු හොඳ විහිළුවක් නිසා මෙය ලිවීමට සිත් විණි.