ඉතාම මිහිරි අන්දමට ගීත ගැයුවත් මගේ හිතට මහා අඩුවක් විදිහට දැනිච්ච දෙයක් ගැනයි ලියන්න යන්නේ. වැඩසටහන යන්නේ ගීත දර්ශකයක් විදිහට. ගීත 10ක් පමණ තියෙනවා. ගීත නව නිර්මාණ නොවූවත් ඉතාම ලස්සන විදිහට මේ පොඩි ගායක ගායිකාවන් ටික ඉදිරිපත් කලා. ඒ ගැන වැරැද්දක් නෑ. මම දැක්ක වැරැද්ද මේකයි.
මේ පොඩි ශ්‍රී ලංකාව ඇතුලේ විකාශණය වෙච්ච ගීත 10ක් අතරේ සිංහල හෝ දමිල ගීත එකක් වත් අඩංගු නොවීමටයි මම කලබල වුනේ. ගීත 10ම එක්කෝ හින්දි නැත්නම් ඉංග්‍රීසි (ලතින් ඇමෙරිකානු හෝ ස්පාඤ්ඤ බාසාවකින් ගැයුනු ගීතත් ගායනා වුනා).
ඉතාම දක්ෂ යොවුන් ගායක ගායිකාවන් ඉදිරියෙදි කියන්න යන්නේ හින්දි සින්දු ද? මෙතන වැරැද්ද හින්දි වල නෙමෙයි. හින්දි ගීත කලාවත් ඉතා දියුණුයි. ඒත් ඒවා ජනප්‍රිය කරවිය යුත්තේ ඉන්දියාවේ මිසක් ලංකාවේ නෙවෙයි. ඇයි අපිට හොඳ සිංහල ගීත කලාවක් තියෙද්දී මේ රටේ මාධ්‍ය හරහා වෙනත් රටක ගීත ජනප්‍රිය කරවන්නේ? මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන ඉන්දියානු නාලිකාවක් කරානම් එතන වැරැද්දක් නෑ. ඒ අයගේ වගකීමක් ඒ සංගීතය ලොව පුරා පැතිරවීම. අපි දැන ගන්න ඕනේ අපේ සංගීතය රැක ගන්න. ඒත් අපේම කියාගන්නා, “ශ්‍රී ලාංකීය අභිමානය” වන, ස්වර්ණවාහිනිය මෙහෙම කරාම අපිට කාගේ පිහිටක් ද කියලා හිතෙනවා.
මාධ්‍ය කියන්නේ මම දකින විදිහට රටක චින්තනය හැසිරවීමේ ප්‍රධාන බලවේගයක්. ජැක්සන් ඇන්තනී මහත්මයාම “කෙලින් කථාව” ට පැවසූ පරිදි මාධ්‍ය අධිකාරියක් මේ රටේ නොමැති වීම, ඔහේ වල්මත් වෙලා අඩියටම වෙළඳකරණය වෙලා ලාභ මිසක් රටක් ගැන නොසිතන රූපවාහිනී නාලිකා බිහිවීමට හේතුවක්. එහෙම කියපු ඒ මහතා වැඩසටහන් අධ්‍යක්ෂක තනතුරක් (හෝ ඒ හා සමාන තනතුරක්) හොබවන ස්වර්ණවාහිනිය ඒ වෙළඳ රැල්ලට අහුවෙන්නේ නැති වෙයි කියලා මම බලාපොරොත්තු වුනා. ඒත් M in S දුටු ගමන් සාමාන්‍ය දැනීම ඇති ඕන කෙනෙක්ට තේරෙනවා පොඩි ලමයින්ගේ දක්ෂකම කොච්චර වෙළඳකරණය වෙලාද කියලා. ලාභ ලබන ආයතනයක් ලෙස ස්වර්ණවාහිනිය වෙළඳකරණය විය යුතු නමුත් මාධ්‍යයක් ලෙස රටට ඇති වගකීමෙන් මිදෙන්නට ඔවුන්ට බැහැ. එහෙත් රටට මොන “රෙද්දක්” වුවත් සල්ලි හොයන්න ඕනේ කියන මතයට ස්වර්ණවාහිනියත් බැහැලා කියන එක පැහැදිලිවම පේනවා. ප්‍රෙක්ෂකයාගේ මනස තිතටම මොට්ට කරලා දාන Soap opera ගණයේ ගූ නාට්‍ය (වචනයට සමාවෙන්න. ඒත් හිතේ තියෙන කළකිරීම වෙන විදිහකට පෙන්නන්න තරම් මම නිර්මාණශීලී නෑ) විකාශණය කිරීමට පටන් ගැනීමෙන්ම ඒ බව ඔප්පු වෙනවා.
ජැක්සන් ඇන්තනී සහ අබා කියන මාතෘකාව ගැන මගේ තියෙන්නේ මිශ්‍ර අදහසක්. ඒ හරිහැටි කරුණු දන්නේ නැති නිසා. ඒත් මේ වගේ සිද්ධි දුටුවාම ජැක්සන් ඇන්තනීගේ අරමුණු ගැන පහළ වෙන්නේ සැකයක්.

