මගේ නමක් නැති කතාව | My Untitled Story

10th
Dec. × ’10

තිත්ත කලුවර මැද හිසේ පන්දමක් රැගත් සර්පයෙකු සේ දුම්රිය ඉදිරියට ඇදෙමින් පැවතිණි. ඇදෙන දුම්රිය දෙස ඔහේ බලා සිටින යෝධයෙකු සේ මා හට වම් පසින් කලුවරේ කන්දක සෙවනැල්ලක් දිස් වේ. එහි මොනයම් හෝ ආලෝකයක් ‍නැත. එහෙත් මා එහි ඇති ගුප්ත භාවයට වශි වී ඇත. මුහුණට වදින සීතල සුලගින් ලේ බිඳක් හෝ ඉතුරු නොකොට මුහුණ හිරි වැටී ගියත් යෝධ කන්දේ ගුප්ත භාවයට බැඳුණු පෙමින් මේ සියලු දුෂ්කරතා මවෙතින් ඈත් කොට තබා ඇත.

මා ඈ පලමුවරට හොඳින් දුටුවේ ද මෙවැනිම පරිසරයක් තුලය. ගුප්ත බවට පෙම් බැඳීමට මා හට බල කරමින් ප්‍රේම කිරීමට නොහැකි තරමට දුරින් පිහිටීමට පරිස්සම් වූ ඇය හා මා අතර අවකාශය, කර්කශ කඳුකර සුලඟ විසින් ආදරයට නොසුදුසු තත්වයට පත් කර තිබිණි. දුරින් සිට පෙම් බැඳීමේ රොමෑන්තික භාවය මිස ප්‍රේමයේ උච්ඡතමයට අප කිසි දිනෙක ලඟා නොවෙන බව තේරුම් ගැනීමද මවිසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ද්විත්ව ඇන්ජිමේ බලය සම්පූර්ණයෙන්ම යොදමින් මා ගමන් ගන්නා දුම්රියද කන්දේ සෙවනැලේලෙන් ඈතට ඇදීමට උත්සහ ගනී. මා හට දුම්රියෙන් බැස යාමට නොහැක. ඇටමිදුලු දක්වා ගොස් ජීවයේ අවසානය ලකුණු කරන කඳුකර සුලඟ විසින්, ඔබේ සෙවනැල්ලට ලඟා වීමට පෙර මා මරා දමනු නිසැකය. එය ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි.

මම දබරැඟිල්ල කන්දේ සෙවනැල්ල වටා යවා එහි ඡායාව සිතෙහි සටහන් කර ගැනීමට උත්සහ ගත්තෙමි. සුලු මොහොතකින් දුම්රිය ඉදිරියේ ඇති බිම්ගෙය තුලට පිවිසෙනු ඇත. කන්දේ ඡායාව මාගේ දර්ශනයෙන් ඉවතට යනු ඇත. එහි ඡායාවට බැඳි පෙම පමණක් සිතෙහි තබා ගනිමින් මා ජනේලය වසා දමා කඳුකර සුලඟින් ආරක්ෂා වනු ඇත. නැවත හැරී නොබැලීමට මා සිත දැඩි කරගෙන අවසානය.

පාන්දර යාමයේදී පලමු හිරු කිරණ පොලෝ තලය මත වැටෙන විට අප වඩාත් උණුසුම් වූ නගරයට ආසන්න කර තිබිණි. මා බලා සිටියේ ඉදිරිය පමණි.

පින්තූරය: http://insanevisitations.blogspot.com වෙතින්

Posted in Rants | 15 Comments

ලේ – හිරු කිරණ – හෑන් සුයින් [පරිවර්තනය අනුල ද සිල්වා]

25th
Nov. × ’10

“… පොන්ඩ් තම මව ගැන බොහෝ දෙනා සමඟ පුන පුනා පවසන්නට විය.

‘අම්මා පිරිසිදු වාට්ටුවක ලස්සනට ඉන්නවා. විදේශිකයෝ අම්මට ලේ දීලා තියෙනවා.’

‘අයියෝ පිට රට්ටුන්ගේ ලේ? එතකොට ඒකි කොහොමද තව දුරටත් අපේ එකියක් වෙන්නේ?’

අත්තම්මා බෙරිහන් දුන්නාය. එසේ කෑ ගැසුවද ඈ තම දරුවන් හිඟමනේ යැවූ එකියකි.

‘නෑ අත්තම්මේ ජෙන් දොස්තර මහත්තය කිව්ව අපි හැමෝගෙම ලේ එකයි කියල. පිටරට අයගෙයි අපේ අයගෙයි ලේ වල වෙනසක් නැතිලු. ඒ මහත්තයත් අම්මට ලේ දීලා තියෙනවා.’

පොන්ඩ් පැවසීය.

‘එහෙම වෙන්නේ කොහොමද? ගඟ පහල මිනිස්සුන්ගෙයි අපෙයි ලේත් වෙනස්’

පොන්ඩ් ගේ සිතට බියක් දැනිණ.

මේ ලේ හුවමාරුව නිසා අම්මා වෙනස් ගැහැණියක් වෙයි ද? …”

හිරු කිරණ

හෑන් සුයින්ගේ Till Morning Comes හි පරිවර්තනය

පරිවර්තක – අනුල ද සිල්වා

Posted in Uncategorized | 1 Comment

සකර්බර්ග් කරපු නිසා හරි ද? – ව්‍යවසායකත්වය පිලිබඳව

13th
Nov. × ’10

මේ ගැන කතා කරන්න ඉන්න හොඳම කෙනා මම නෙමෙයි. මොකද මේ ව්‍යවසායකත්වය ගැන වැඩි අත්දැකීම් මට නැති නිසා. හැබැයි පැන්නොත් වැටෙනවා කියල දැනගන්න අත්දැකීම් ඕන නැති නිසා මේ ගැන ටිකක් ලියන්න අවශ්‍යයයි කියල හිතුනා.

මාක් සකර්බර්ග් කිව්වාම නොදන්න කෙනෙක් දැන් නැති තරම්. Facebook සමාගමේ අයිතිකරු, නැත්තන් ලෝකයේ ලාබාලම මිලියනපතියා (ලක්ෂපතියා කිව්වොත් වැරදි) තමයි ඔහු.

බිල් ගේට්ස් තවත් ඒ වගේ කෙනෙක්. ලෝකයේ දැනට වැඩි පුරම භාවිතා වෙන ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය ඔහුගේ සමාගමේ නිර්මාණයක්. අවුරුදු කිහිපයක් එක දිගට ලෝ‍කයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වුනා.

ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ නිර්මාතෘ. තවත් ධනවත් පුද්ගලයෙක්.

‍මොවුන් තිදෙනා එකට ගත්තාම හුඟක් වෙලාවට කියවෙන දෙයක් තමයි මේ තුන්දෙනාම තමන්ගේ උපාධි අතහැරල ව්‍යාපාරයක් පටන් ගත්ත අය වීම. මේ කරුණටම තවත් ටිකක් එකතු කරලා යවන අනිත් දේ තමයි උපාධියකින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, නැත්තන් ව්‍යවසායකයෙක් වෙන්න කිසිම උදව්වක් ලැබෙන්නේ නැති බව. මේ කරුණ හුඟක් ප්‍රසිද්ධ දෙයක්. වෙන වචන වලින් කිව්වොත් දැන් ට්‍රෙන්ඩ් එක තමයි,

සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න නම් උපාධිය අත අරින්න! (?)

, කියන එක. හුඟක් අය මේකේ ඇත්ත නැත්ත හොයල බලන්නේ නැතුව පිලිගන්නේ එක විදියකට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට විරුද්ධ රැඩිකල් රසයක් ඒකෙ තියෙන නිසා. ඒත් මේකේ ඇත්ත නැත්ත ඇත්තටම මොකද්ද?

ව්‍යවසායකයෙක් විදියට සාර්ථක වෙන්න උපාධියක් අත්‍යවශ්‍යමද?

මම හිතන විදියට නම් නැහැ. ව්‍යාපාර හැකියාවන් තමන් තුලම තියෙන්න පුලුවන්. කලමණාකරණ ක්‍ෂේත්‍රයේ ඒ ගැන තියෙන ප්‍රධාන මතවාද දෙකක් තියෙනවා. එකක් ව්‍යපාර හැකියාවන් උපතින් ලබන්න පුලුවන් බව. අනෙක ඒ හැකියාවන් ඉගෙන ‍ගෙන ක්‍රියාවට නැංවීමෙන් පුරුදු විය හැකි බව. සාමාන්‍ය පිලි ගැනීම තමයි මේ දෙකම වෙන්න පුලුවන් බව. ඒ කියන්නේ අපි අතරින් සමහරු දක්ෂ ව්‍යාපාරිකයින් වීමට අවශ්‍ය වෙන්නේ වැඩිපුර වාසනාව විතරයි කියන එක. ඉතිං මේ වගේ උපතින් හැකියාව තියෙන කෙනෙකුට ව්‍යාපාර අධ්‍යයනය පිලිබඳ උපාධියක් අත්‍යවශ්‍ය නොවෙන්න පුලුවන්. නමුත් එවැනි උපාධියක් තිබීම ඔහුට තවත් වැදගත් වෙන්නත් පුලුවන්.

උපාධියක් සාර්ථකව නිම කිරීමෙන් සාර්ථක ව්‍යවසායකයෙකු වීමට හැකියාව ලැබෙයි ද?

ඔව්. අඩුම තරමේ ප්‍රථම උපාධියවත් සාර්ථක අන්දමින් නිම කලොත් උපාධියක් නොකල අයෙකුට වඩා වැඩි වාසියක් උපාධිධාරියෙකුට ලැබෙනවා. මොකද උපාධියක් නිම කරනකොට විෂය කරුණු වලට අමතරව විෂය පථයට අදාල වෙනත් කරුණු බොහොමයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන නිසා (හැබැයි නිකන් කරන්නන් වාලේ උපාධි කරන අයට මේක අදාල වෙන්නේ නැහැ). අනෙක් අතට තමන් පටන් ගත්ත දෙයක්, කොච්චර අමාරු වුනත් ඉවර වෙනකන් කරගෙන යන්න පුරුදු වීම ම ලොකු දෙයක්. නමුත් ව්‍යවසායකත්වය කියන එක උපාධියක් කරපු හැමෝටම හරි යන්නෙත් නැහැ.

සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඉදිරියට ගෙනියන්න උපාධිය අත හැරීම උදව් වෙන්න ඇති කියන එක සකර්බර්ග්, ගේට්ස්, ජොබ්ස් ත්‍රිත්වයෙන් ඔප්පු වෙනවා නේද?

නැහැ. නව අදහස් සමග ව්‍යාපාරයන් පටන් ගන්න තමන්ගේ උපාධි අත ඇරල ගිය සිසුන් ගණනින් හරියටම තමන්ගේ ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කර ගත්ත සිසුන් ප්‍රමාණය බොහෝම පොඩි ප්‍රතිශතයක්. නවමු අදහසක් ව්‍යාපාරයකට හැරවීම, සාර්ථක ව්‍යාපාරයකට හැරවීම එක රැයින් හොලිවුඩ් සිනමා පට වල සිදු වෙන විදියට වෙන්නේ නැහැ. ආයෝජකයින්ගේ උනන්දුව ඇදගන්න තැනේ ඉඳන් වෙලඳපොල තරඟය, ‍පේටන්ට්, සේවකයින් හැසිරවීම, නව තාක්ෂණයන් යොදා ගැනීම, නීතිමය සහය ලබා ගැනීම, පුද්ගල සන්නිවේදනය සහ මූල්‍ය කලමණාකරණය වගේ නොයෙකුත් කරුණු වල සාර්ථක එකතුවක් තමයි සාර්ථක ව්‍යාපාරයකට මුල වෙන්නේ. ඒ ඇර තව එක දෙයක් බලපානවා. ඒ තමයි වාසනාව!

බිල් ගේට්ස් සමහර විට හොඳ තාක්ෂණික දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් ඔහු අනිවාර්යයෙන්ම හොඳ ව්‍යාපාරිකයෙක්. IBM සමාගමත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගැනීමේ ඉඳන් IE වින්ඩෝස් සමඟ නොමිලේ ලබා දීමේ තීරණය වෙනකම් ගන්න තීරණ ව්‍යාපාරික තීරණ මිසක් තාක්ෂණය සම්බන්ධ තීරණ නෙමෙයි. ඒ වගේමයි ස්ටීව් ජොබ්ස්. ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාවන් ගැන හැමෝම දන්නවා. මාක් සකර්බර්ග් ‍එහෙමවත් ව්‍යාපාරික ඥාණයක් තියෙන කෙනෙක් නොවන බවටයි ආරංචිය. ඔහුගේ සමාගමේ බංකොලොත් වීමට ඔන්න මෙන්න තිබියදී මූල්‍ය කලමණාකරණය පිලිබඳ දැනුම ඇති කිහිප දෙනෙක් නිසයි නැවත ක්‍රියාකාරී මට්ටමකට එන්නේ.

අපි උපාධිය මගක් දුරට කරල අත ඇරලා සාර්ථක වුන පුද්ගලයො ගැන හැම තැනම අහනවා. ඒත් එහෙම අසාර්ථක වෙච්ච බහුතරය ගැන කියවෙන්නේ නැහැ. මොකද කියවෙන්න විදියක් නැහැ. අසාර්ථක වුනු අය වෙන වැඩක් බලාගෙන යනවා.

උපාධියක් නිම කර ව්‍යවසායකත්වයට යොමු වීමේ වාසි මොනවද?

මෙතනදි තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ තමයි හැමෝටම ව්‍යවසායකයො වෙන්න බැරි බව. ඒකට හැකියාව වගේම වාසනාවත් අවශ්‍ය කරුණු. අනිත් එක හුඟක් අය ව්‍යවසායකයො වෙනවට වැඩිය සමාගමක් යටතේ වැඩ කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්. හිත රිදුණත් තේරුම් ගන්න ඕන ඇත්ත ඒකයි. ඒක අපි හැමෝටම බැහැ.

අනිත් දේ තමයි උපාධියක් කරන්න පටන් ගත්තනම් ඒක අවසානයක් දක්වා කරගෙන යෑම. උපාධියක් කියන්නේ වාර විභාගයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම අමාරු දෙයක්. නමුත් ඒක අවසන් කිරීමෙන් පසුව ලැබෙන හැකියාවන් පසුව බොහෝම වටිනාකමකින් යුක්ත වෙන්න පුලුවන්.

හදිස්සියේ ව්‍යාපාරය හිතුව විදියට සාර්ථක ‍නොවුනොත් වෙනත් රැකියාවක් කෙටි කාලෙකට හරි ලබා ගන්න උපාධියක් තිබීම වැදගත් වෙනවා. මොකද කිසිම සමාගමක් උපාධියක් නොමැති අයෙකුට ලොකු පඩියක් දීලා ගන්න කැමති නැහැ. කොටින්ම බැකප් ප්ලෑන් එකක් විදියට.

මේ හැම දෙයකම ප්‍රායෝගික සාක්ෂිය විදියට මම ගන්නේ මම දන්න යාලුවෙක්. දැනට සාර්ථක නැගී එන ව්‍යාපාරයක් ඔහු කරගෙන යනවා. නමුත් ඒ‍ වෙනුවෙන්ම ඔහු උපාධිය අත ඇරල නැහැ. හතරවෙනි අවුරුද්දත් කරගෙන යනවා. සමහර විට මේ පෝස්ට් එකට ප්‍රතිචාරෙකුත් දමයි. උපාධි අත ඇරල ව්‍යාපාර නොකරන්න මම පාඩම් ඉගෙන ගන්නෙ ඔහුගෙන්.

අද වෙනකොට මේ ව්‍යවසායකත්වය කියන වචනෙ අධිතක්සේරුවකට ලක් කරල. ජාවා ඉගෙන ගෙන තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගෙන මාසෙට ලක්ෂ විස්ස ගානෙ හොයන්න පුලුවන් කියලයි පාසැලෙන් ඉවත් වුන සිසුන්ට පැවසෙන්නේ. නමුත් ව්‍යාපාරයක් හැසිරවීමේ බැරෑරුම්කම ගැන මොහොතකටවත් ඒ අයට දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේ තත්වයක් උඩ මේ ව්‍යාපාරයකට උපාධි කැප කිරීමේ මායාව ගැන දෙපාරක් හිතල බලන එක වැදගත්. මම කියන්න හදන්නේ ව්‍යවසායකත්වය නරක දෙයක් කියල නෙමෙයි. නමුත් ඒක පූජාසනයක දාලා අනිත් හැමදේටම වැඩිය වැදගත් කියන තත්වෙට සුදුසු නැහැ කියන එකයි.

අවසාන වශයෙන් ලැරී පේජ්, සර්ජි බ්‍රින් (ගූගල්), ඩොනල්ඩ් ට්‍රම්ප්, වොරන් බෆ්ෆට්, ෂෝන් කොම්බ්ස් (P Diddy) වගේ අති සාර්ථක ව්‍යාපාරිකයො විශාල ප්‍රමාණයක් සාර්ථකව උපාධි නිම කරපු අය.

මේ ලිපිය කියවන්න වටින දෙයක්.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , | 11 Comments

අතීතාවර්ජන : ඩොස් ක්‍රීඩා | Flash Back : DOS Games

13th
Nov. × ’10

මේ පෝස්ට් එක කියවන හැම කෙනෙක්ටම තමන්ගෙම පරිගණක ආදර කතාවක් තියෙනවා. ඒක මගේ පරිගණක ආදර කතාවටම සමාන නොවුනට සාමාන්‍යයෙන් පටන් ගන්නේ එකම විදියට. මුලින්ම අඩු මිලට පරිගණකයක් ගන්නවා. ඊට පස්සේ ගේම් ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙ තියෙන අනිත් මෘදුකාංග පාවිච්චි කරන්න පටන් ගන්නවා. පස්සේ තමයි ටිකක් බැරෑරුම් වැඩ ටිකක් පරිගණකයෙන් කර ගන්න යන්නේ. අන්තිමට අන්තර්ජාල පහසුකම ගෙදරට ගෙන්න ගත්තට පස්සේ බ්ලොග් ලියන්න කියවන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඊට කලින් ටිකක් වැඩි මිල පරිගණකයක් මිලට ගන්නවා.

අපි අද භාවිතා කරන මෙහෙයුම් පද්ධති, මෘදුකාංග මීට අවුරුදු දහයකට කලින් ඒ කියන්නේ විසි එක් වෙනි සියවස ලබන්න ඔන්න මෙන්න තිබුන කාලයට වඩා බොහෝම ලොකු දියුණුවක් ලබල තියෙනවා. බොහෝ දෙනා දන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බොහෝම ලොකු බලාපොරොත්තු තියාගෙන තමන්ගේ වින්ඩෝස් 2000 අනුවාදය එලියට දාන්නේ ඒ අවුරුද්දේ. ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය එලියට එන්නේ 2001දි. ජනප්‍රියම ලිනක්ස් ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය වෙන උබුන්ටු නිකුත් වෙන්නේ 2004 අවුරුද්දෙදි. අද වෙනකොට උබුන්ටු බොහෝ මෙහෙයුම් පද්ධති වලට වැඩිය සාමාන්‍ය පරිශීලකයෙකුට සහාය වෙන්න පුලුවන් මට්ටමකට දියුණු වෙලා. ෆයර්ෆොක්ස් ආදර්ශයට ගත්ත තරඟකාරයෙක් දැන් සීඝ්‍රයෙන් ෆයර්ෆොක්ස් වෙලඳපොල අල්ලගෙන යනවා. වින්ඩෝස් 7 මගින් බොහෝමයක් විවේචන අඩු කර ගන්න මයික්‍රෝසොෆ්ට් සමාගම උත්සහ ගන්නවා.

මම මුලින්ම පාවිච්චි කලේ, හා පුරා කියල අත තිබ්බේ ඩොස් මෙහෙයුම් පද්ධතියට. ඒ කාලේ ඩොස් 6.22 නිකුත් වෙලා තිබුනා. මේ 1998දි. වින්ඩෝස් 3.11 කියල රූපමය අතුරු මුහුණතක් තිබුනා. ඒත් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වුනේ ඩොස්. හැමෝම දන්න විදියට මුලින්ම පරිගණකයට අපි ඇදිල යන්නේ පරිගණක ක්‍රීඩා නිසා. මම මුලින්ම කලෙත් මේ තිබුන ඩොස් ගේම් ගහන්න පටන් ගත්ත එක. මුලින්ම  ගැහුවේ Paper Boy 2 කියල ගේම් එකක්. පරිගණකය ගෙදරට ගෙනාපු දවසේ තාත්තා මුලින්ම කියල දුන්න ඩොස් විධාන ටික වුනෙත් Paper Boy run කර ගන්න හැටි. නමේ හැටියටම පත්තර බෙදන එක තමයි මේ ගේම් එකේ අරමුණ. හරියට තැපැල් පෙට්ටියට දාගන්න පුලුවන් වුනොත් සල්ලි ලැබෙනවා. නැත්තන් සමහර විට බල්ලොත් පස්සෙන් පන්නනවා. මේ තියෙන්නේ Paper Boy 2 ගහන වීඩියෝ එකක්.

ඊට පස්සේ තව ඩොස් ගේම් කිහපයක් හොයා ගත්තා. එකක් F117A. මේකේ අරමුණ වුනේ F117A stealth bomber එක යොදාගෙන අපට ලබා දෙන ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම. ඒ කාලේ හැටියට මම ආසම ක්‍රීඩාව වුනේ මේක.

ඊට පස්සේ තවත් ඩොස් ගේම්ස් කිහිපයක් හොයා ගත්තා. Crazy Cars 2, CD Man, Shadow Knights (මේකෙ නම අමතක වෙලා තිබුනේ. හරියටම පැයකට වැඩිය ගූගල් කරල තමයි නම හොයා ගත්තෙ) වගේ ගේම්ස් කිහිපයක්ම මගේ පරණ පරිගණකයේ තිබුනා.

Shadow Knights

අද අපි ගහන Call of Duty Modern Warfare 2 වගේ ගේම් වල Depth of Field වගේ effects අත් විඳින්න පුලුවන් වුනාට මේ සඳහන් වෙන ගේම්ස් එලියට එන කාලේ වින්ඩෝස් වලට හරියට Jpeg ගොනුවක්වත් දර්ශනය කර ගන්න බැහැ. යන්තම් ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ත්‍රිමාණ රූප නිපදවන්න පුලුවන් මෘදුකාංගයක් තිබුනා 3D Home Architect කියල. ඒ හැර ඩොස් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට කර ගන්න පුලුවන් වුනේ බොහෝම පොඩි දේවල් ටිකක් විතරයි.

මේ ඩොස් ගේම්ස් තාමත් ටිකක් අමාරුවෙන් හරි අන්තර්ජාලයේ හොයා ගන්න පුලුවන්. dosgames.com වගේ අඩවි මේ සඳහාම වෙන් වෙලා තියෙනවා. නමුත් දැන් තියෙන පරිගණක architecture මේ කාලෙට වඩා ගොඩක් දියුණ නිසා සහ ඒ කාලෙට ගැලපෙන විදියට backward compatible විදියට නිර්මාණය කිරීම එච්චර තේරුමක් නැති නිසා natively මේ ක්‍රීඩා ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට යම් ආකාරයක emulate කිරීමක් අවශ්‍යයි. DosBox මේ සඳහා කදිම මෘදුකාංගයක්. ඕනෑම host platform එකක් යටතේ එයට පැරණි ඩොස් පරිසරය emulate කිරීමට පුලුවන්. පැරණි ක්‍රීඩාවක් බාගත කරගත්තට පස්සේ DosBox වලින් ඒක ක්‍රියාත්මක කරන ආකාරය අඩංගු විකි එකක් ද පවත්වාගෙන යනවා.

කොහොම වුනත් මුලින්ම පරිගණකය අත පත ගාපු ගේම් කිහිපයක් නැවත ගහන්න ආසාවක් එන එක කාලයක් යද්දී එන දෙයක්. ඒ කාලේ සහ මේ කාලේ එක විදියකට සංසන්දනය කරන්න පුලුවන් වීම ඒකට එක හේතුවක්. අනික තමයි අපි හැමෝම ආපහු පුංචි කාලෙට යන්න තියෙන ආසාව.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , | 13 Comments

ඇ/අටේ ප්‍රවෘත්ති | (BS) News Telecast

6th
Nov. × ’10

අටේ ප්‍රවෘත්ති වලට ගැලපෙන ලාංඡනයක්

අටේ ප්‍රවෘත්ති වලට ගැලපෙන ලාංඡනයක්

“ෂහ් අද ඔයාගෙ ලස්සන”

“ඉතිං වෙනදටත් මෙහෙම තමයි නෙ. අද ඔය බටර් ගාන්නෙ”

“නැහැ නැහැ. අද ඇත්තටම ලස්සනයි. කාගෙද ඔය ඇඳුම?”

“අනේ යන්න. ඔයා අරන් දුන්න හඩු ඇඳුම් තමයි. මේ වගේ තැනකට ආවාම විතරයි නේද ලස්සන පේන්නේ?”

“ඇයි ඉතිං නරකද?  ගෙදර ගිහින් ලස්සන බලන්නයැ”

“ඔව් ඉතිං තාත්තගෙම පුතාලා තාත්තටම වදයක් වෙලා ද?”

“හ්ම් හ්ම්.. ඉතිං ටිකක් ලඟට එන්නකො. කෑම පැය ඉවර වෙන්න කලින් යන්නත් ඕනෙ”

“පොඩ්ඩක් ඉන්න!!!! අතන ජනේලෙ ඇරලා දැම්මෙ කොයි වෙලාවෙද? අන්න කවුද අතන ඉඳන් දුවනවා”

“මිනිහගේ අතේ කැමරාවක් නේද?”

[එදින අටේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර]

“අද අපි පෙන්නන්න යන්නේ ප්‍රේක්ෂකයෙක් විසින් අපිට එවපු පටිගත කිරීමක්. රටේ සිද්ධවෙන අපරාධ දැක්ක තැන පටිගත කරලා එවන්න දැන් අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවත් උදව් වෙනවා. බුදුන් තෙවරක් වැඩි දේශයේ දැන් දැන් සංස්කෘතිය පිරිහිලා යන වේගය හිතා ගන්නත් බැරි තරම් [නිවේජිකාව හැඟුම් බර වී දේශප්‍රේමාන්විත කඳුලක් නෙතඟට නංවා ගනී]“

[කාමරයක් තුල කතා බහකරන යුවලක් දර්ශනයට නැංවේ. ඔවුන් එකිනෙකා තුරුල් කර ගැනීමට සූදානම් වෙත්ම "රජයේ රෙගුලාසි කොටු" වලින් තිරය වැසී එලෙස තත්පර විස්සක් පමණ පවතී]

[පසුබිම් කථනයෙන් මෙලෙස ඇසේ] “පොඩි ලමයිනුත් ඉන්න රටේ දෙන්නෙක් කාමරයක් අස්සෙ වුනත් මෙහෙම ඉන්න එක හරිද අපි අහන්නේ?”

*දැන් දවස් ගණනක් තිස්සේම දිගින් දිගටම මෙවැනි දේ දැකීමට සිදු වුණි. මේ තව මාස කිහිපයකින් ඇති වේ යැයි සිතිය හැකි සිදුවීමකි. වැඩි විස්තර සඳහා මීට පෙර සටහන බලන්න.

*මේ උඩ තියෙන කතාවට අනුප‍්‍රාණය ලැබුනේ බූන්දියෙ පලවුණු මේ කතාවෙන්.

Posted in Uncategorized | Tagged , , , , , , | 11 Comments

වාර්තාකරණයද ඕපා දූප ද? | Reporting or Gossiping?

28th
Oct. × ’10

රූපවාහිනියේ ප්‍රවෘත්ති වාර්තාකරණය කියන දේ පොඩි මියුසික් පාරක් එක්ක බිප් හයකට පස්සේ කියන්න පටන් ගන්න කාලේ පහු වෙලා. දැන් කතාව ඒක හුඟ දුරක් ඇවිත් කියලයි. ඇත්තටම ලංකාව ඇතුලේ ප්‍රවෘත්ති වාර්තාකරණය හිටියට වැඩිය දියුණු වෙලා කියල නම් කියන්න පුලුවන්. දැන් ආධුනික ප්‍රවෘත්ති වාර්තාකාරයො රට පුරාම. ඒ දේ ඇත්තටම හොඳයි. දැන් ඉස්සරට වැඩිය ජනතාවට ප්‍රවෘත්ති ලබා ගන්න පුලුවන් මූලාශ්‍ර තියෙනවා. හැබැයි කාලෙන් කාලෙට එන විලාසිතා වලින් නම් ප්‍රවෘත්ති වාර්තාකරණයටත් බේරෙන්න බෑ වගෙයි.

වාර්තාකරණය කියන එකෙයි ඕප දූපයි අතර තියෙන වෙනස මට හිතෙන විදියට වාර්තාකරණයෙ තියෙන වාස්තවික භාවයයි. ඉංග්‍රීසියෙන් කියන්නේ objectivity කියල. ඒ කියන්නේ පෞද්ගලික හැඟීම් වලින් තොරව නිරීක්ෂණ පමණක් ඒ විදියටම වාර්තා කිරීමයි. පෞද්ගලික හැඟීමක් ප්‍රවෘත්තියක් ඇතුලට එනවා කියන්නේ ගමේ සිරිපිනාගෙන් ඕප දුපයක තත්වයට ඒ ප්‍රවෘත්තිය වැටෙනවා කියන එකයි. ඒ විදියට ගත්තාම සිරසේ තියෙන We Report You Decide කියන දේ තමයි හරියටම වෙන්න ඕනෙ.

  1. ABC ප්‍රදේශයේදී වැසිකිලි වලකට අතැර දමා තිබූ බිළි‍ඳෙකු ගම්වාසීන් විසින් ගොඩට ගෙන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යථා තත්වයට පත්ව ඇති අතර දරුවාගේ මව යැයි සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
  2. දරුවෙක් අත ඇරලා යන්න තරම් අම්මා කෙනෙක් කොච්චර කුරිරු වෙන්න ඕනෙද? ඒ වගේ අම්මල නිසා අම්ම කියන නමටත් කැලලක් මිසක් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. අද ඒ වගේ සිද්ධියක් ABC ගමෙන් වාර්තා වෙනවා. අලුත උපන් කිරිකැටියා නගන හඬින් ඕනෙම අම්ම කෙනෙක්ගෙ හදවත උණු වෙනවා. ඒත් එදා ඒ පැල ඇතුලෙන් බිළිඳා නගපු හඬ වැඩි දුර ඇහුනේ නැහැ. ඉපදුනු කිරිකැටියව හදවත දැඩි කරගෙන ඒ අම්මා ලඟ තියෙන වැසිකිලි වලකට ගෙනිහින් දැම්මා. උදේ පාන්දර වැසිකිලියට යන කොට ඒ ගෙදර හදවත් තිබුනු මිනිස්සුන්ට කිරිකැටියගේ අඬගැසීම ඇහුනා. වහාම ගම්වාසියො ටික එකතු වෙලා දරුවාව රුදුරු මරණයකින් බේරාගෙන ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. අනේ මේ කිරිකැටියගේ ජීවිතේ නොනැසී තියෙන්න වාසනාව තිබිලා. දැන් වෙනකොට දරුවගේ අම්මව හොයාගෙන පොලිසිය රිමාන්ඩ් කරලලු.

මේ කොටස් දෙකේම තියෙන්නේ එකම සිදුවීම. ඒත් මේ දෙක ගැන අපිට ආරංචි වෙන්න පුලුවන් විධි දෙකක්. මට හිතෙන හැටියට මේ පලවෙනි ක්‍රමය තමයි නියම වාර්තාකරණය. මොකද කිසිම හැඟීමකින් තොරව සිද්ධිය පමණක් අපිට වාර්තා කිරීම ඒ මගින් සිදු වෙන නිසා (සමහර විට මේ වාක්‍ය තවත් හරි ගස්සන්න වෙයි. මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂක කෙනෙක් නෙවෙයි.).

දෙවෙනි කොටසේ තියෙන්නේ ඒ ප්‍රවෘත්තියම හැඟීම් වලින් බූස්ට් කරල දෙන ඕප දූපයක්. හරි අනුවේදනීය අවාසනාවට ඇත්ත කතාවක්. කෲර අම්ම කෙනෙක්. විරෝධාර ගම්වැසියො. දොස්තර දෙවි වරු. මේ විදියට හැඟීම් වලින් පුරවල දෙන මේක වාර්තාකරණයට අදාල වෙන්නේ නැහැ. මොකද අපිට සිද්ධිය ගැන දැනටම පින්තූරයක් රෙඩි මේඩ් හදල දීලා ඉවරයි. අපිට හදා ගන්න පින්තූරයක් නැහැ.

අදාල සිද්ධිය අහල ඒ ගැන හැඟීම් ඇති කරගන්න එක ප්‍රේක්ෂකයගෙ වැඩක්. නැතුව දැනටම හැඟීම් වලින් පිරිච්ච ‍ප්‍රවෘත්තියක් කියන්නේ අපිට අලුතින් හිතන්න දෙයක් නැහැ කියන එක. සමහර විට ප්‍රවෘත්තියෙ තේරුම වෙනම දෙයක් වුනාට මේ වැඩකට නැති හැඟීම් නිසා වෙනස්ම තේරුමක් අපේ හිත් වලට ඇතුලු වෙන්න පුලුවන්.

හැබැයි අවාසනාවට රෑ අටට යන ප්‍රවෘත්ති විකාශයක උඩ දෙවෙනි කොටසේ තියෙන “අනුවේදනීය අවාසනාවට ඇත්ත කතාව” ඒ විදියටම යන හැටි අද මට බලාගෙන ඉන්න වුනා. රූපවාහිනියෙ යන විසූක දස්සන මට පාලනය කර ගන්න බැරි නිසා රූපවාහිනිය බැලීම සම්පූර්ණයෙන් අත් ඇරල හිටියට රටේ ලෝකෙ වෙන ‍දෙයක් බලන්න කියල ගෙදර ආපු ගමන් මහන්සියට අටේ ප්‍රවෘත්ති බලන්න පටන් ගත්තාම මට ලැබුනේ සිරිපිනාගෙ ඕප දූපයක්. නිවේදිකාවගෙ ඇස් දෙකෙන් කඳුලු වැක්කෙරෙනවා.

සමහර විට රිමාන්ඩ් කරල තියෙන්නේ හරි අම්මා නොවෙන්න පුලුවන් (පොලිසියට වෙන “වැරදි” ගැන ඇහුවාම ඒක හුඟක්ම වෙන්න පුලුවන්). සමහර විට ඔතන තියෙන්නේ වෙනම කතාවක් වෙන්න පුලුවන්. ඒ දේවල් ගැන විශ්ලේෂණය කරල හිතන්න ප්‍රේක්ෂකයට ඉඩ දෙන්න ඕනෙ. ඒත් අර උඩ ඕප දූපෙ ඇහුව ගමන් මොන විශ්ලේෂණයක් වත් කරන්න වෙන්නේ නැහැ. මොකද ප්‍රවෘත්තිය දැනටම හැඟීම් වලින් දූෂ්‍ය වෙලා නිසා.

ඒත් ඉතිං මේක තමයි දැන් විලාසිතාව. කොහෙ හරි බන්ට් එකක් අල්ලගෙන ග්‍රාමසේවකත් සෙට් කරගෙන වලියක් අවුස්සලා එතන ඉඳන් ත්‍රාසජනක වාර්තාකරණය කිරීම, ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බොන අය පස්සෙ ගිහින් වීඩියො කිරීම වගේ විලාසිතා අස්සේ මේවත් “නැගලා යන” දේවල් (මහා පරිමාණයෙන් වංචා, හොරකම්, නීති උල්ලංඝනය කිරීම් වෙන රටේ ඒව පස්සෙන් ගිහින් වීඩියෝ නොකිරීම වෙනම කතාවක්. තව ටික දවසකින් කපල්ස් ඉන්න කාමර වලට රිංගනකන් මම ඉන්නේ. තහනම් කරල තියෙන එකේ වේලි වේලි ඉන්නකොට ප්‍රවෘත්ති වලින්ම ඒව සපයන ‍එක කොච්චර හොඳයි ද?).  මීට ටික කාලෙකට කලිනුත් ඔය වගේ විකාරරූපි දේවල් ටිකක් ප්‍රවෘත්ති ඇතුලට රිංගුවා. අපි නොදන්න ලයිව් වලින් කුඩේ යටට වෙලා ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තට පස්සේ මම හිතන්නේ ඒවා නැවතුනා. ‍

මේව කොහෙන් නවතියි ද?

හොඳම දේ තමයි ගොසිප් ලංකා අඩවිය මේ රූපවාහිනී නාලිකාවට වැඩිය වාස්තවික විදියකට ප්‍රවෘත්ති වාර්තා කිරීම. අබුද්දස්ස කාලෙද මන්ද?

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | 13 Comments

ඔත්තුවක් – IFO ++

23rd
Oct. × ’10

Ideas Free & Open

අදින් හරියටම දින පහකට පස්සේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතන භූමියේ ඊට පෙර නොසිදුවුන සිදුවීමක් ආරම්භ වෙන්නයි සැලැස්ම. පරිගණක විද්‍යා හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණීක ප්‍රදර්ශනයක් අපේ  කණිෂ්ඨයින්ගේ දාඩිය මහන්සියෙන් විවෘත වෙන්න වැඩ කටයුතු දැන් කෙරීගෙන යනවා. මෙය නමින් IFO++. නිදහස් හා විවෘත අදහස්!

පාසැල් සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා වල ඉඳලා අලුත්ම පර්යේෂණ ව්‍යාපෘති, පරිගණක ක්‍රීඩා,  කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ සිසුන්ගේ විශේෂ ව්‍යාපෘති, තොරතුරු තාක්ෂණය සම්බන්ධ දේශන මාලා, තොරතුරු තාක්ෂණ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් ඇතුලු අංග ගණනාවක් මීට ඇතුලත් වීමට යන බවයි ආරංචිය.

ඔබ පාසැල් සිසුවෙක් නම් දැනටම ඔබේ පාසැලට ආරාධනා පත්‍රයක් ඇවිත් ඇති. උසස් පෙල හා සාමාන්‍ය පෙල තොරතුරු තාක්ෂණ විශය නිර්දේශය ආවරණය කරන්න පුලුවන් ආකාරයට දේශන මාලාවක් අපි ඔබ වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.

අනෙක් අතට ඔබ තොරතුරු තාක්ෂණ අංශයට කැමැත්තක් දක්වන, ඒ අංශයේ රැකියාවේ නිරත වෙන, එහි අලුත්ම ප්‍රවණතා දැන ගැන්න කැමැත්තක් ඇති අයෙක් නම් IFO++ තුල අඩංගු වීමට යන බොහෝමයක් කාරණා ඔබට ප්‍රයෝජනවත් වේවි. නොයෙකුත් පරිගණක විද්‍යා විශයන් පිලිබඳ දේශන කිහිපයක් සැලසුම් කරලා තිබෙන අතරම දියුණු පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක්ම ඔබට මෙහිදී දැක බලා ගන්න පුලුවන් වෙයි.

එහෙනම් එන්න 28 වෙනිදා සිට 30 වෙනිදා කාලය තුල කොළඹ විශ්ව විද්‍යාලයීය භූමියට. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයට වසර 25ක් සැපිරීමත් එදාට සැමරීමට නියමිතයි. වසර 25ක් තිස්සේ මෙරටේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රගතියට විශාල මෙහෙයක් කරපු මූලිකම ආයතනයේ දක්ෂතාවයන් එදාට දැක බලා ගන්න පුලුවන්.

IFO++ වෙබ් අඩවිය – http://ifo.ucsc.lk/

පාසැල් සිසුන් සඳහා නියමිත දේශන මාලාව  - http://ifo.ucsc.lk/ict_seminar.php

පර්යේෂණ ව්‍යාපෘති – http://www.ucsc.lk/rs/

Facebook පිටුව  - http://www.facebook.com/pages/Ideas-Free-and-Open/145280818828209

Twitter ගිණුම – http://twitter.com/#!/ucscifo

YouTube ගිණුම – http://www.youtube.com/user/ucscifo?feature=mhum (පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක වීඩියෝ මෙහිදී දැක බලා ගන්න පුලුවන්)

විනෝදාත්මක අංග  - http://ifo.ucsc.lk/entertainment.php

Posted in Uncategorized | Tagged , , , , , , , , , | 4 Comments

මරණ දෙකක් ඇති සරසවි සිසුවා | The University Student Trapped In Between

21st
Oct. × ’10

ඉහත දැක්වෙන්නේ පසුගිය දිනෙක අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද පෙලපාලිය නිමා වුනු ආකාරයයි. රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිසුන් සත් දෙනෙකු නිදහස් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් ඇතුලත් සංදේශයක් කුමන හෝ පුද්ගලයෙකුට භාර දීම මුල් කර ගෙන මෙම පෙලපාලිය සංවිධානය කරනු ලබන බව කියැවිණි. අවසානයේ සිසුන් විසි එක් දෙනෙකු අත්අඩංගුවට පත් වුනු අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිනි. රාජ්‍ය සරසවි අධ්‍යාපනය නැවැත්වීමට තවත් එක් හේතුවක් එසේ මහජනතාවට ඒත්තු ගන්වන ලදී.

මෙම සටහන ලියැවෙන්නේ ස්වර්ණවාහිනියේ වැඩසටහනක එස් බී දිසානායක අමාත්‍යවරයා තවත් ආචාර්ය මහාචාර්යවරුන් කිහිප දෙනෙක් පිරිවරා ගෙන පෞද්ගලික සරසවි ඇති කිරීමේ සිහිනය මුලු රටටම මවා පාන අතරතුරය. පෞද්ගලීකරණය කරන ලද අනෙකුත් ‍සේවා පිලිබඳ නොයෙකුත් උදාහරණ ලබා දෙමින් හරි හරියට තර්ක විතර්ක මවනා සැටි බලා සිටීමත් අපුරූය. ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය අද ඕනෑම තැනකදි ලබා ගත හැකි බව එකෙකු පවසයි. අනෙකා රැකියා වෙලඳපලට සරිලන සේ උපාධි පාඨමාලා ගොඩනැගීම පිලිබඳ අදහස් දක්වයි. තවත් අයෙකු දුරකථනයෙන් කතා කොට හාමුදුරුවන් සහ තරුණ ගැහැණු ලමුන් එක පේලියේ වාඩි වෙන සැටි බැලීමට හිරිකත බව පවසයි. රටම එකතු වී සාදයක් පවත්වන්නා සේය.

පසුගිය දිනෙක සිදුවුනු ඛේදජනක සිදුවීම හා ඊට ඉඩ සැකසුනු පරිසරය දෙස කලු සුදු රාමුවකින් බලා ආතල් එකක් ගැනීම ඇට මැස්සා පවසන්නා සේ ගෝත්‍රික ගති පැවතුම් වල සිරිතක් විය හැකිය. නමුත් ගැටලුව එතෙකින් නිමාවට පත්නොවන්නේය. දැන් පැත්තක් රටේ ශිෂ්‍ය මර්ධනය ඉතාමත් තදින් සිදුවන බව පවසයි. අනෙක් පැත්තෙන් සිසුන් නිදහස් කර ගැනීමක් ගැන පවසයි. මෙහි යථාර්තය අපට දැනෙනා ලෙසින් නම් මෙසේය.

ජවිපෙන් නිදහස් කර ගත යුතු සිසු පරපුර

ජනතා විමුක්ති පෙරමුණ විසින් සරසවි අධ්‍යාපනය තුල ඇති කර ගෙන තිබෙන බලාධිකාරය කෙමෙන් ගිලිහී යන නමුත් තවමත් සැලකිය යුතු තරමේ පිලිලයකි. පේරාදෙණියේ අමානුෂික වදහිංසා වලටත්, ජපුර සරසවියේ මානසික අසහනකාරී උපකුලපතිවරුන් පත් කර ගැනීමට පෙරමුණ ගැනීමටත්, වසරක් පාසා සිසුන් කැට ව්‍යාපාර, පෙලපාලි යැවීමටත්, තමාගේ බලය පතුරවා ඇති සරසවි තුල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමටත්, සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දැමීමටත් කෙලින්ම වග උත්තර බැඳිය යුත්තේ ඔවුන්ගේ බලවේග විසින් හසුරුවන ශිෂ්‍ය සංගම් විසිනි. ඔවුන්ගේ යල් පැනගිය හා විකෘති කරන ලද දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවැද්දීම හා වෙනත් දේශපාලන මතවාද සරසවි තුල පැතිරීම වැලැක්වීමට මොනයම් ආකාරයෙන් හෝ කටයුතු කිරීමත් මත ඔවුන්ගේ බලය සරසවි තුල රඳා පවතී. විප්ලවීය තරුණ බලවේගය තමන් සමඟ බව රටට පෙන්වීමේ වෙලඳ උපක්‍රමයකට වඩා දෙයක් එහි නැත. න්‍යායික දේශපාලනික වර්ධනයක් එතුල නැත. සියලු ප්‍රශ්න විසඳන්නේ ගහ මරා ගැනීමෙනි. නව දැනුම හමුවේ ඔවුන් හිරු දුටු කදෝ පැණියන් වේ. ඉංග්‍රීසි ඔවුනට මතක් කර දෙන්නේ අධිරාජ්‍යවාදයයි. ඔවුන්ට අනුව කොළඹ ධනවාදී එජන්තයන්ගේ බලකොටුවයි. ගම සුපිරිසිදු දේශප්‍රේමීන්ගේ නිජභූමියයි.

ජවිපෙ වැනි පසුගාමී හා සම්පූර්ණයෙන්ම රැවටිලිකාර වූ (නමින් මාක්ස්වාදීන්ය, ක්‍රියාවෙන් වඩාත්ම සමාන වන්නේ වෛශ්‍යාවකටයි) දේශපාලනික බලවේගයකට සරසවි තුල බලකොටු බැඳ ගැනීමට ඉඩ දිය නොහැක. අන්තවාදී ජාතික චින්තනයට එරෙහි වන්නා සේම එලෙසම අන්තවාදී ජවිපෙටද එරෙහි විය යුතුය. (එක අතකින් මේ දෙපාර්ශවයම සමානකම් පෙන්වන අවස්ථා එමට තිබේ. කැලණියේදි කෙල්ලන්ගේ කලිසම් ගැන පෝස්ටර් ගහන්නේ ‘චී’ කාරයින් විසිනි. ජපුරේදී ත්‍රීක්වාටර් කලිසම් ඇඳි තරුණියන්ට බිත්තර වලින් ප්‍රහාර එල්ල කරන්නේ ‘චේ’ කාරයින් විසිනි.) අමානුෂික නවක වදය නැවැත්වීමටත් සරසවි ශිෂ්‍යා පසුගාමී චින්තන රටාවලින් මුදවා දේශපාලනික නිදහස ලබා දීමටත් එය අත්‍යවශ්‍ය වේ.

උදුල් ප්‍රේමරත්න අවිශිබමයේ කැඳවුම්කරු ලෙස ජවිපෙට නොනවත්වා කඩේ යාම අපට වටහා ගත හැක. පක්ෂය තුල තනතුරක් ආරක්ෂා කර දී ඇති ඔහු එලෙස කිරීමේ වැරැද්දක් නොමැත. නමුත් මහපොලොව සමඟ  හැපෙන දාඩියෙන් ඉපදෙන සල්ලි වියදම් කර සරසවියට එන, උපාධිය සාර්ථකව නිම කිරීම මත සියල්ලම යැපෙන සරසවි සිසුවා එලෙස කල යුත්තේ ඇයි? විප්ලවයක අගක් මුලක් නොදැන පෙලපාලි යන්නේ කුමටද? මේ සියල්ලටම පිලිතුර ඇත්තේ ප්‍රධාන වශයෙන් අමානුෂික නවක වදය තුලය. නැවත නැවතත් මැතිරීමට අවශ්‍ය නොවුනත් එහිදී සිදුවන මොල සේදීම සිසුවෙකුගේ ජීවිතය වලපල්ලට ඇද දැමීමට සමත් වන්නේය.

අනෙක් අතට පෞද්ගලික සරසවි වලට එරෙහිව සිදු කරනවා යැයි කියන සටන එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධම ප්‍රතිඵලය ලබා දෙන තැනට මෙම මුග්ධයින් කටයුතු කරමින් සිටි. උදුල් ප්‍රේමරත්නගේ මොල පොඩිත්තේ තර්කයට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා භූමියට සරසවි සිසුන් දාහක් එක් රැස් කිරීම පෞද්ගලික සරසවි වලට එරෙහි වීම වුවත් අපට අනුව නම් උදුල් කරන්නේ පෞද්ගලික සරසවි උවමනා කරන්නන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමයි. පොලීසිය හා සිසුන් අතර ගැටුම් ඇති කිරීමෙන්, කඳුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර අතරින් දිව යන සිසුන්ගේ රූප ප්‍රසිද්ධ කිරීමෙන් පෞද්ගලික සරසවි වලට එරෙහි ජනතා බලවේගයක් ගොඩ නැගීමට ඔහු බලාපොරොත්තු වේ නම් ඒ එක්කෝ අන්ත මෝඩ කමකි. නැතිනම් කපටිසහගත ලෙස සිසුන් මෙහෙයවීමකි. ශිෂ්‍ය මර්ධනයක් සිදු වන බව ඇත්තකි. එයට පොහොර දමන්නේ උදුල් ප්‍රමුඛ ජවිපෙ මිනීමරුවන් විසිනි.

සරසවි සිසුන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පලවෙනි අදියර වන්නේ ජවිපෙන් සිසුන් නිදහස් කර ගැනීමයි. අමානුෂික නවක වදය වෙත සීමා පැනවීමත්, ආචාර්ය සිසු සම්බන්ධතාවයන් වැඩි දියුනු කිරීමට කටයුතු කිරීමත්, සමාජයීය හා දේශපාලනික දැනුම අතින් සිසුන් සන්නද්ධ කිරීමත් ක්‍රමානුකූලව අනුගමනය කලහොත් මෙම කාර්යය අපහසු වන්නේ නැත. ජවිපෙ ආධිපත්‍ය පතුරවාගෙන ඇති සරසවි තුල අධ්‍යාපනික හා සමාජයීය වශයෙන් ඇති බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි ප්‍රධාන මාර්ගයද මෙයයි. එයින් ඇති වන දේශපාලනික රික්තකය තුලට වඩාත් ප්‍රගතිශීලී දේශපාලනයන් ඇතුලු වීමට ඉඩ සලසා දිය යුතුය. සිසුන් දේශපාලනයෙන් ඉවත් කිරීම සිදු නොවිය යුතුය.

වගකිව හැකි ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය

එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් වුන දිනයේ පටන් මන්ත්‍රයක් ලෙස ජප කිරීමට පටන් ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිර ගත වන ඔහු (ධූර කාලය දික් කර ගත නොහැකි වූ චන්ද්‍රිකා මැතිණියගේ නික්ම යාමට හා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා වික්ටර් අයිවන්ට පින් සිද්ධ වන්නට ඔහුට ඇති එකම චෝදනාව එය නොවන බව දැන් රටම දනී) මහින්ද රජය යටතේ සමාව ලැබීමටත්, ඉන්පසුව මහින්ද රජයට එකතු වීමටත් වාසනා ලබයි. ඉන්පසුව උසස් අධ්‍යාපන ඇමති වශයෙන් දිවුරුම් දෙන ඔහුගේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ ඌව වෙල්ලස්ස සරසවියේ සිදු වන අකටයුතුකම් ගැන සොයා බැලීම නොව පෞද්ගලික සරසවි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමයි.

පෞද්ගලික සරසවි වලට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස එතෙක් හැසිරුනු කණ්ඩායමක් ප්‍රකෝප කිරීමට දිසානායක ඇමතිවරයාගේ ක්‍රියාවට අමතරව තව කිසිවක් අවශ්‍ය නැත. සැලසුම් කර ආකාරයටම ජවිපෙ මැට්ටන් රැල සිසුන් පාරට ඇද දැම්මේය. දැන් ඇත්තේ දෙවෙනි ජවනිකාවයි. ජවිපෙ බලකොටුවක් වන පේරාදෙණිය සරසවිය තුලට ගොස් ප්‍රකෝප කරවන සුලු ආමන්ත්‍රන කිහිපයකින් අනතුරුව හූ සංග්‍රහයක් ඇමතිවරයාට එල්ලවෙයි. සිසුන් කිහිප දෙනෙක් ඉන් පසුවන දින කිහිපයක් තුලදී රිමාන්ඩ් භාරයට ගැනෙන අතර (ආරංචියේ හැටියට මෙලෙස අත්අඩංගුවට ගන්නේ බැච් නියෝජිතයින්වය) නවක වදය හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් චෝදනා ලෙස ගොනු කර උපරිමයටම දඬුවම් ලබා දෙන බව ප්‍රචාරය කරනු ලැබේ. වෙනදා සිදු කරන පන්ති වර්ජනයෙන් ඇමතිවරයා තවත් කුපිත වන බවක් පෙනේ. අලුතින් එන සිසුන් කාණ්ඩය පුහුණු කිරීමත් කරගත හැකි වන සේ ජවිපෙ හිතවාදී අවිශිබමය පෙලපාලියක් සංවිධානය කරන්නේ මින් පසුවය.

සිසුන්ට තබා රජයට විරුද්ධව කිසිම අයුරක පෙලපාලියකට හොඳින් හෝ නරකින් ඉඩ නොතබන වාතාවරණයක් තුල සිසුන් පාරට බැසීමේ තැනට පත් කෙරෙන ක්‍රියාවලියක් ඉහත සිදුවීම් පෙල තුලින් අපට දක්නට හැක. එය එක්කෝ සැලසුම් සහගතව සිදුකරන ලද්දක් විය හැක. නැතිනම් හුදෙක් වගකීමක් නොමැති උඩඟු ඇමතිවරයෙකුගේ අහඹු ක්‍රියාකලාපය නිසා සිදු වූවක් විය හැක. කෙසේ වුවද පෙලපාලිය මර්ධනය කිරීම සඳහා ‍‍පොලිසිය යෙදවෙන අතර අධ්‍යාපන සුදුසුකම් අඩු පොලිස් කොස්තාපල් වරුන් හා අධ්‍යාපනික සුදුසුකම් වැඩි සිසුන් අතර ගැටුම ලේ වැගිරීමක් දක්වා තත්වය උද්ගතවේ. සිසුන් හා පොලිසිය යනු එකිනෙකාට වෛර කරන කොට්ඨාශ දෙකක් බව පොදු මතයයි. ගැටුමක් ඇති කිරීමට අවශ්‍ය වන්නේ දෙපාර්ශවය එක් කිරීම පමණි. අවසානය අනිවාර්යයෙන්ම පසුගිය දින සිදු වූ අයුරින් රඟ දැක්වේ.

ඉහත සිදුවීම් ක්‍රියාදාමය ඉතා සූක්ෂමව සැලසුම් නොකල එකක් ලෙස අප ගතහොත් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස එස් බී දිසානායක මෙහිදී හැසිරී ඇත්තේ ඇමතිවරයෙකුට තබා සාමාන්‍ය පෙල සිසුවෙකුට තරම්වත් නොවන මට්ටමකිනි.

  1. පොදුවේ සරසවි පද්ධතියටම බලපාන තීරණයක් සිසු නියෝජනයකින් තොරව සිදු කිරීම හා ඔවුන් ප්‍රකෝප කරවන අන්දමින් මූනට දමා ගැසීම
  2. ප්‍රචණ්ඩකාරීන් ප්‍රකෝප කල පසු ඇති වන ප්‍රතිඵල ගැන අවබෝධයක් ඇතිවම ඒ තැනට වැඩ කටයුතු සිදු කිරීම
  3. හූ සංග්‍රහයට පලිගැනීමක් ලෙස ඉතාමත් පෞද්ගලික මට්ටමකින් සිසුන් කිහිප දෙනෙක් තෝරා අවම වශයෙන් වසර හතරක්වත් හිරේ දමන බවට පුරසාරම් දෙඩීම
  4. පෞද්ගලික සරසවි පිලිබඳ ජනප්‍රිය තර්ක විතර්ක පමණක් සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට යාම

රටක උසස් අධ්‍යාපනය යනු එහි ආරක්ෂක පරිමාව මෙන්ම වැදගත් වූ අංගයකි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් මෙලෙස වගකීමකින් තොරව පෞද්ගලික හැඟීම් වලින් අන්ධ වී කටයුතු කරන ඇමතිවරයෙක් මත එවැනි වගකීමක් පැටවීම මෙරටේ මුල් පුටුව දක්වා වගකිව යුතු තත්වයකි. එයින් ඔවුන් මුලිනුපුටා දමන්නේ රටේ අනාගතයයි. අනෙක් අතට එස් බී දිසානායක ඇමතිවරයා කටයුතු කරන්නේ කාගේ හෝ සැලසුමකට අනුව නම් එය තව දුරටත් මෙරටේ සිසු අර්බුදය උග්‍ර කරන්නක් බව කිව යුතුය. සිසුන් පාගා දැමීමෙන් සැලසුම් ක්‍රියාත්මක කරන්නට යාමේ මෑත කාලීන ඉතිහාසය මතක් කිරීමට එතරම් මිහිරි නැත.

අවසාන වශයෙන් කිව හැක්කේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරිමාණයන් අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගත හැකි ඇමතිවරුන් මෙරටට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් එස් බී දිසානායකනම් ඉන් එක් අයෙකු නොවන බවත්ය.

පිස්සු නැටීමට ප්‍රසිද්ධ ඇමතිවරයෙකුත් මුග්ධ දේශපාලන පක්ෂයකුත් අතර සිරවුනු සරසවි සිසුවාගේ තත්වය ඊයේ වන විට එසේය. සමහර විට හෙට වන විට සිසුන් නැවත වරක් බස් පිටින් කොළඹ වටරවුමක් අසලට එක් රැස් විය හැක. එවිට තවත් කුඩා සිවිල් යුද්ධයක් මෙරට ප්‍රේක්ශකයින් රස විඳිනු ඇත.‍ මෙම තත්වය වෙනස් කිරීමට අදහස් කරන අයෙකු ක්‍රියා කල යුත්තේ ඊට කලිනි. සිසුන් මෙම තත්වයෙන් ගලවා ගැනීමටනම් ඉහත සඳහන් වින කටින්නන් දෙපාර්ශවයෙන්ම ඔහු ගලවා ගත යුතුය. බලය තහවුරු කර ගැනීමේ යුද්ධයෙන් සිසුන් විනාශ වී යාමට පෙර එය සිදු විය යුතුය.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 15 Comments

පෞද්ගලික මැදිහත් වීම | Personal Intervention

17th
Sep. × ’10

බැන් කී මූන් ගේ ජල්ලියට එරෙහිව මාස කිහිපයකට එපිටදී විමල් වීරවංස මාරාන්තික උපවාසයක් රඟපා දැක්වූවේය. ලෙමන් පෆ්, අධි පෝෂ්‍ය චොකලට් මධ්‍යයේ ඇදී ගිය එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණ “පෞද්ගලිකව මැදිහත් වී” විසඳා දැම්මේය.  බැන් කී මූන් සිය කාර්යාලයක් ඉවත් කර ගනිමින් පොරත්වය පෙන්වූ අතර ලැබුනු සියලු අපවාද විමල්ගේ ගිනුමට බැර විය.

අඟුලානේදී තරුනයන් දෙදෙනෙක් පොලීස් නිලධාරීන් විසින් මරා දැමුනු අතර ජනාධිපත්වරයා “පෞද්ගලිකව මැදිහත් වී” ඒ පිලිබඳ පියවරක් ගන්නා බව ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් පැවසිණි. ආරංචි වූ හැටියට සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් කිහිප දෙනා මාරු වීමකට ලක් වී තිබිනි.

අවුරුදු එකහමාරකට පමණ පෙර ලසන්ත වික්‍රමතුංග මහ මගදී මරා දැමුනි. සැක සංකා රජය දෙසට එල්ල වීමට ආරම්භ වුනු අතර තමාගේ මිත්‍රයෙකු වූ ලසන්තගේ ඝාතනය තමාට අතිශය පාඩුවක් බවත් තමා “පෞද්ගලිකව මැදිහත් වී” මිනීමරුවන් සොයා ගන්නා බවත් ජනාධිපති මන්දිරයෙන් පැවසිනි. ඝාතකයින්ගේ කවුද යන්න කිසිවක් තවම දන්නේ නැත.

රට තුල මෙවැනි සිදුවීම් වලදී මෑත කාලය තුල වැඩිපුරම අසන්නට ලැබුනේ මෙවැනි “පෞද්ගලික මැදිහත් වීම්”ය. ජනාධිපතිවරයා විසින් මෙලෙස සියලු දේට පෞද්ගලිකව මැදිහත් වීම් අවශ්‍ය වන්නේ අදාල කාර්යය කල යුතු ආයතන වලින් එම කාර්යය සම්පූර්ණ වන්නේ නැති නිසා බව අපට සිතා ගත හැකිය. එසේ නම් විය යුත්තේ එක් එක් සිදුවීමට වෙන වෙනම පෞද්ගලිකව මැදිහත් වීම නොව අකාර්යක්ෂම ආයතන කාර්යක්ෂම ආයතන බවට පත් කර දිගු කාලීන විසඳුම් ලබා දීමය. නමුත් අනිවාර්යයෙන්ම එවැනි පියවර වලින් නිසි ප්‍රතිඵල ලැබීමට කල් ගත වේ. එවිට අදාල පියවර ගැනීමට මුල් වූ සිදුවීමට එකෙනිහිම විසඳුමක් නොලැබෙන අතර ප්‍රසිද්ධියට පත් වෙන්නේ අදාල සිදුවීමට විසඳුමක් නොලැබෙන බවයි. මෙය දිගු කාලීන සැලසුම් මගින් විසඳුම් ලබා දෙනවාට වඩා, ප්‍රසිද්ධිය මත යැපෙන ජනාධිපතිවරයෙකුට, අහිතකර තත්වයකි. ජනතාවට “එක” දා ගත හැකි ක්‍රමය වෙතට එවිට යොමු වන අතර මාධ්‍ය මගින් ජනාධිපතිවරයා රටේ ජනතාවගේ ප්‍රශ්න වලට පෞද්ගලිකව විසඳුම් දෙන ජනතාවට ලෙංගතු සංවේදී මිනිසෙකු බව ප්‍රචාරය කරයි. වැඩේ ගොඩ දා ඇත.

මෙරට ජනතාවට අවශ්‍ය වන්නේ මෙවැනි එදිනෙදා සපුරා ගත හැකි ටොපි බව තේරුම් ගන්නා දේශපාලකයෙකු ඡන්ද ගහ තමන්ට අවශ්‍ය හැටියට සොලවා ගැනීමේ සමතෙකි. නමුත් ඉඳ හිට එම ක්‍රමය නැවත තමන්ටම වැදෙන උරචක්‍රමාලයක් වන බවද තේරුම් ගත යුතුය. පසුගිය දිනෙක නවනගර ශාලාව අසලදී සිදු වූයේ එවැනි සිදුවීමකි. අවුරුදු ගනනාවක් පුරා “පෞද්ගලික මැදිහත් වීම්” ගැන අසා හුරු පුරුදු වී ඇති ජනතාව තම තමන්ගේ එදිනෙදා ජීවිතය තුල ඇති ප්‍රශ්න සඳහාද ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම් බලාපොරොත්තුවෙන් සිටියි. දරු උපත් හිඟ වීම් ආදී සිදුවීම් හැර මෙවැනි පෞද්ගලික මැදිහත් වීම් සඳහා ඇති ඉල්ලීම් ජනාධිපතිවරයාට අප්‍රසන්නව බලපානවා ඇත.

රටක් දියුණු කිරීමේදී ජනතාවට ලෙංගතු සමීප සංවේදී නායකයෙකු එලෙස කෙතෙක් දුර යා යුතුද යන්න ලංකාව තුල තත්වය දකින අයෙකු තේරුම් ගත යුතුය. සමහර විට මෙවැනි ගැටලුවක් ඇති වූ පලමු අවස්ථාවේදී “පෞද්ගලික මැදිහත් වීමක්” නොමැතිව අදාල ආයතනය (උදා: පොලිසිය) කාර්යක්ෂම කිරීමේ ක්‍රියාමාර්ගයක් ගත්තා නම් අද මෙම තත්වයට මුහුණ දීමට ජනාධිපතිවරයාට සිදු නොවනු ඇත.

දැන්වත් එවැනි උපාය මාර්ගයකට නොගියහොත් අනාගතය වන විට රටෙන් බාගයක් (දේශප්‍රේමී අර්ධයම විය හැක) තම තමන්ට සොයාගත හැකි කනු මුදුන් වලට නැගී අරලියගහ මන්දිරයට ඇසෙන ලෙස තමන්ගේ දුක් ගැනවිලි අඩඟා කීමට පුරුදු වීය හැක. දේශයේ ආඩම්බරකාර තාත්තාට එවිට තම යුතුකම් එක් එක් දරුවාට වෙන වෙනම ඉටුකර දීමට සිදු විය හැක.

(පින්තූරය : http://colombotoday.com/english/articles/Lite/Protestor-climbs-hoarding-post/15076.htm)

Posted in Uncategorized | Tagged , , , | 4 Comments

දෑඅවුරුදු සැමරුම

9th
Sep. × ’10

සැප්තැම්බර් 9 වෙනිදා එලඹෙන කොට දිනේ කවදද කියලවත් මතක නැති වෙන තරමට වැඩ ගොඩ ගැහිල තිබුනත් මම බ්ලොග් ලියන්න පටන් අරගෙන අවුරුදු දෙකක් එදාට සපිරෙනවා කියන එක නම් කොහොමටවත් අමතක වුනේ නැහැ. ඒක නිසා අවුරුදු දෙකක් තිස්සේ දික් ගැහිලා ගිය බ්ලොග් ලිවිල්ල ගැන පොඩි සටහනක් තියන එක අත්‍යවශ්‍යයි කියල හිතුනා.

පලවෙනි අවුරුදු සැමරුමේදි ලියපු සටහනින් පස්සේ අලුතින් එකතු කරන්න තියෙන්නේ බොහෝම ටිකයි. හැබැයි එකම එක දෙයක් අනිත් දේවලින් ඉස්මතු කරන්න අවශ්‍යයි . බ්ලොග් ලිවිල්ල නිසා අලුතින් එකතු වුනු සහ වැඩි දියුණු වුනු අත්දැකීම් නම් අපමණයි. ලිවීම මෙච්චර මිනිහෙක්ට උදව් වෙයි කියල හිතන්නවත් බැරි තරමටම.

සිංහල බ්ලොග් අවකාශය ඇතුලෙ අවුරුදු දෙක කියන්නෙ ටිකක් තරුණ අවධිය. මම දන්න විදියට අවුරුදු හතරක් විතර බ්ලොග් කලාවෙ යෙදුන අයත් ඉන්නවා. මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලයෙදි හිටිය බොහොමයක් තාමත් අතරින් පතර හරි බ්ලොග් ලිය ලිය ඉන්නවා. පටන් ගත්ත කාලෙදි මාසෙකට ලිපි පහක් හයක් දැම්මත් දැන් දැන් මාස දෙකකට සැරයක් එකක් දාන්නෙත් අමාරුවෙන්. එක එක වැඩ වැටෙද්දි, එක එක වැඩ වලට වැඩි ප්‍රමුඛතාවයන් දෙන්න වෙනකොට බ්ලොග් ලිවිල්ල ටික ටික අඩු වුනා. ඒත් තාමත් ලිවිල්ලට තියෙන ආසාව එහෙමමයි. වෙලාව ලැබුන හැටියෙ ලියන්න මාතෘකා කිහිපයක් හිතේ තියෙනවා.

කොහොම වුනත් සැරින් සැරේ හරි දාපු බ්ලොග් සටහන් වලට තම තමන්ගේ ප්‍රතිචාර එකතු කරපු අයට මගේ ස්තුතිය පිරිනමනවා. ඉදිරියට ලියන්න ඉන්න සටහන් වලටත් ඒ වගේම ප්‍රතිචාර දක්වයි කියල මම බලාපොරොත්තු වෙනවා.

මමත් එක්කම බ්ලොග් ලියන්න පටන් ගත්ත මරණය සහෝදරයත් අද දෑඅවුරුදු පූර්ණය සමරනවා. උඹටත් චියර්ස් මචං!!!! තව අවුරුදු තොගයක් බ්ලොග් ලියන්න හැකිවේවා!! ඒක මගෙන් ‘ම’ටත් මටත් සුබ පැතුමක්!

Posted in Uncategorized | 35 Comments