මේ ගැන කතා කරන්න ඉන්න හොඳම කෙනා මම නෙමෙයි. මොකද මේ ව්‍යවසායකත්වය ගැන වැඩි අත්දැකීම් මට නැති නිසා. හැබැයි පැන්නොත් වැටෙනවා කියල දැනගන්න අත්දැකීම් ඕන නැති නිසා මේ ගැන ටිකක් ලියන්න අවශ්‍යයයි කියල හිතුනා.
මාක් සකර්බර්ග් කිව්වාම නොදන්න කෙනෙක් දැන් නැති තරම්. Facebook සමාගමේ අයිතිකරු, නැත්තන් ලෝකයේ ලාබාලම මිලියනපතියා (ලක්ෂපතියා කිව්වොත් වැරදි) තමයි ඔහු.
බිල් ගේට්ස් තවත් ඒ වගේ කෙනෙක්. ලෝකයේ දැනට වැඩි පුරම භාවිතා වෙන ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය ඔහුගේ සමාගමේ නිර්මාණයක්. අවුරුදු කිහිපයක් එක දිගට ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වුනා.
ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ නිර්මාතෘ. තවත් ධනවත් පුද්ගලයෙක්.
මොවුන් තිදෙනා එකට ගත්තාම හුඟක් වෙලාවට කියවෙන දෙයක් තමයි මේ තුන්දෙනාම තමන්ගේ උපාධි අතහැරල ව්‍යාපාරයක් පටන් ගත්ත අය වීම. මේ කරුණටම තවත් ටිකක් එකතු කරලා යවන අනිත් දේ තමයි උපාධියකින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න, නැත්තන් ව්‍යවසායකයෙක් වෙන්න කිසිම උදව්වක් ලැබෙන්නේ නැති බව. මේ කරුණ හුඟක් ප්‍රසිද්ධ දෙයක්. වෙන වචන වලින් කිව්වොත් දැන් ට්‍රෙන්ඩ් එක තමයි,
සාර්ථක ව්‍යවසායකයෙකු වෙන්න නම් උපාධිය අත අරින්න! (?)
, කියන එක. හුඟක් අය මේකේ ඇත්ත නැත්ත හොයල බලන්නේ නැතුව පිලිගන්නේ එක විදියකට සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට විරුද්ධ රැඩිකල් රසයක් ඒකෙ තියෙන නිසා. ඒත් මේකේ ඇත්ත නැත්ත ඇත්තටම මොකද්ද?
ව්‍යවසායකයෙක් විදියට සාර්ථක වෙන්න උපාධියක් අත්‍යවශ්‍යමද?
මම හිතන විදියට නම් නැහැ. ව්‍යාපාර හැකියාවන් තමන් තුලම තියෙන්න පුලුවන්. කලමණාකරණ ක්‍ෂේත්‍රයේ ඒ ගැන තියෙන ප්‍රධාන මතවාද දෙකක් තියෙනවා. එකක් ව්‍යපාර හැකියාවන් උපතින් ලබන්න පුලුවන් බව. අනෙක ඒ හැකියාවන් ඉගෙන ගෙන ක්‍රියාවට නැංවීමෙන් පුරුදු විය හැකි බව. සාමාන්‍ය පිලි ගැනීම තමයි මේ දෙකම වෙන්න පුලුවන් බව. ඒ කියන්නේ අපි අතරින් සමහරු දක්ෂ ව්‍යාපාරිකයින් වීමට අවශ්‍ය වෙන්නේ වැඩිපුර වාසනාව විතරයි කියන එක. ඉතිං මේ වගේ උපතින් හැකියාව තියෙන කෙනෙකුට ව්‍යාපාර අධ්‍යයනය පිලිබඳ උපාධියක් අත්‍යවශ්‍ය නොවෙන්න පුලුවන්. නමුත් එවැනි උපාධියක් තිබීම ඔහුට තවත් වැදගත් වෙන්නත් පුලුවන්.
උපාධියක් සාර්ථකව නිම කිරීමෙන් සාර්ථක ව්‍යවසායකයෙකු වීමට හැකියාව ලැබෙයි ද?
ඔව්. අඩුම තරමේ ප්‍රථම උපාධියවත් සාර්ථක අන්දමින් නිම කලොත් උපාධියක් නොකල අයෙකුට වඩා වැඩි වාසියක් උපාධිධාරියෙකුට ලැබෙනවා. මොකද උපාධියක් නිම කරනකොට විෂය කරුණු වලට අමතරව විෂය පථයට අදාල වෙනත් කරුණු බොහොමයක් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන නිසා (හැබැයි නිකන් කරන්නන් වාලේ උපාධි කරන අයට මේක අදාල වෙන්නේ නැහැ). අනෙක් අතට තමන් පටන් ගත්ත දෙයක්, කොච්චර අමාරු වුනත් ඉවර වෙනකන් කරගෙන යන්න පුරුදු වීම ම ලොකු දෙයක්. නමුත් ව්‍යවසායකත්වය කියන එක උපාධියක් කරපු හැමෝටම හරි යන්නෙත් නැහැ.
සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඉදිරියට ගෙනියන්න උපාධිය අත හැරීම උදව් වෙන්න ඇති කියන එක සකර්බර්ග්, ගේට්ස්, ජොබ්ස් ත්‍රිත්වයෙන් ඔප්පු වෙනවා නේද?
නැහැ. නව අදහස් සමග ව්‍යාපාරයන් පටන් ගන්න තමන්ගේ උපාධි අත ඇරල ගිය සිසුන් ගණනින් හරියටම තමන්ගේ ව්‍යාපාරය සාර්ථකත්වයට පත්කර ගත්ත සිසුන් ප්‍රමාණය බොහෝම පොඩි ප්‍රතිශතයක්. නවමු අදහසක් ව්‍යාපාරයකට හැරවීම, සාර්ථක ව්‍යාපාරයකට හැරවීම එක රැයින් හොලිවුඩ් සිනමා පට වල සිදු වෙන විදියට වෙන්නේ නැහැ. ආයෝජකයින්ගේ උනන්දුව ඇදගන්න තැනේ ඉඳන් වෙලඳපොල තරඟය, පේටන්ට්, සේවකයින් හැසිරවීම, නව තාක්ෂණයන් යොදා ගැනීම, නීතිමය සහය ලබා ගැනීම, පුද්ගල සන්නිවේදනය සහ මූල්‍ය කලමණාකරණය වගේ නොයෙකුත් කරුණු වල සාර්ථක එකතුවක් තමයි සාර්ථක ව්‍යාපාරයකට මුල වෙන්නේ. ඒ ඇර තව එක දෙයක් බලපානවා. ඒ තමයි වාසනාව!
බිල් ගේට්ස් සමහර විට හොඳ තාක්ෂණික දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඇති. නමුත් ඔහු අනිවාර්යයෙන්ම හොඳ ව්‍යාපාරිකයෙක්. IBM සමාගමත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගැනීමේ ඉඳන් IE වින්ඩෝස් සමඟ නොමිලේ ලබා දීමේ තීරණය වෙනකම් ගන්න තීරණ ව්‍යාපාරික තීරණ මිසක් තාක්ෂණය සම්බන්ධ තීරණ නෙමෙයි. ඒ වගේමයි ස්ටීව් ජොබ්ස්. ඔහුගේ ඉදිරිපත් කිරීමේ හැකියාවන් ගැන හැමෝම දන්නවා. මාක් සකර්බර්ග් එහෙමවත් ව්‍යාපාරික ඥාණයක් තියෙන කෙනෙක් නොවන බවටයි ආරංචිය. ඔහුගේ සමාගමේ බංකොලොත් වීමට ඔන්න මෙන්න තිබියදී මූල්‍ය කලමණාකරණය පිලිබඳ දැනුම ඇති කිහිප දෙනෙක් නිසයි නැවත ක්‍රියාකාරී මට්ටමකට එන්නේ.
අපි උපාධිය මගක් දුරට කරල අත ඇරලා සාර්ථක වුන පුද්ගලයො ගැන හැම තැනම අහනවා. ඒත් එහෙම අසාර්ථක වෙච්ච බහුතරය ගැන කියවෙන්නේ නැහැ. මොකද කියවෙන්න විදියක් නැහැ. අසාර්ථක වුනු අය වෙන වැඩක් බලාගෙන යනවා.
උපාධියක් නිම කර ව්‍යවසායකත්වයට යොමු වීමේ වාසි මොනවද?
මෙතනදි තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ තමයි හැමෝටම ව්‍යවසායකයො වෙන්න බැරි බව. ඒකට හැකියාව වගේම වාසනාවත් අවශ්‍ය කරුණු. අනිත් එක හුඟක් අය ව්‍යවසායකයො වෙනවට වැඩිය සමාගමක් යටතේ වැඩ කිරීමෙන් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්. හිත රිදුණත් තේරුම් ගන්න ඕන ඇත්ත ඒකයි. ඒක අපි හැමෝටම බැහැ.
අනිත් දේ තමයි උපාධියක් කරන්න පටන් ගත්තනම් ඒක අවසානයක් දක්වා කරගෙන යෑම. උපාධියක් කියන්නේ වාර විභාගයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම අමාරු දෙයක්. නමුත් ඒක අවසන් කිරීමෙන් පසුව ලැබෙන හැකියාවන් පසුව බොහෝම වටිනාකමකින් යුක්ත වෙන්න පුලුවන්.
හදිස්සියේ ව්‍යාපාරය හිතුව විදියට සාර්ථක නොවුනොත් වෙනත් රැකියාවක් කෙටි කාලෙකට හරි ලබා ගන්න උපාධියක් තිබීම වැදගත් වෙනවා. මොකද කිසිම සමාගමක් උපාධියක් නොමැති අයෙකුට ලොකු පඩියක් දීලා ගන්න කැමති නැහැ. කොටින්ම බැකප් ප්ලෑන් එකක් විදියට.
මේ හැම දෙයකම ප්‍රායෝගික සාක්ෂිය විදියට මම ගන්නේ මම දන්න යාලුවෙක්. දැනට සාර්ථක නැගී එන ව්‍යාපාරයක් ඔහු කරගෙන යනවා. නමුත් ඒ වෙනුවෙන්ම ඔහු උපාධිය අත ඇරල නැහැ. හතරවෙනි අවුරුද්දත් කරගෙන යනවා. සමහර විට මේ පෝස්ට් එකට ප්‍රතිචාරෙකුත් දමයි. උපාධි අත ඇරල ව්‍යාපාර නොකරන්න මම පාඩම් ඉගෙන ගන්නෙ ඔහුගෙන්.
අද වෙනකොට මේ ව්‍යවසායකත්වය කියන වචනෙ අධිතක්සේරුවකට ලක් කරල. ජාවා ඉගෙන ගෙන තමන්ගෙම ව්‍යාපාරයක් පටන් ගෙන මාසෙට ලක්ෂ විස්ස ගානෙ හොයන්න පුලුවන් කියලයි පාසැලෙන් ඉවත් වුන සිසුන්ට පැවසෙන්නේ. නමුත් ව්‍යාපාරයක් හැසිරවීමේ බැරෑරුම්කම ගැන මොහොතකටවත් ඒ අයට දැනෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේ තත්වයක් උඩ මේ ව්‍යාපාරයකට උපාධි කැප කිරීමේ මායාව ගැන දෙපාරක් හිතල බලන එක වැදගත්. මම කියන්න හදන්නේ ව්‍යවසායකත්වය නරක දෙයක් කියල නෙමෙයි. නමුත් ඒක පූජාසනයක දාලා අනිත් හැමදේටම වැඩිය වැදගත් කියන තත්වෙට සුදුසු නැහැ කියන එකයි.
අවසාන වශයෙන් ලැරී පේජ්, සර්ජි බ්‍රින් (ගූගල්), ඩොනල්ඩ් ට්‍රම්ප්, වොරන් බෆ්ෆට්, ෂෝන් කොම්බ්ස් (P Diddy) වගේ අති සාර්ථක ව්‍යාපාරිකයො විශාල ප්‍රමාණයක් සාර්ථකව උපාධි නිම කරපු අය.
මේ ලිපිය කියවන්න වටින දෙයක්.