වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu

25th
Jun. × ’10

අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.

වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.

අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.

වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.

වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්

වින්ග් චුන් ප්‍රහුණුවේ වැදගත් අංගයක් වන Wooden Dummy පුහුණවේ යෙදෙන යිප් මාන්

යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.

යිප් මාන් සමඟ බෲස් ලී

විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.

ග්‍රෑන්ඩ් මාස්ටර් විලියම් චුන්

ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.

කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.

සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.

It’s just dawned on me!

This Broken Sword’s scroll isn’t about sword technique

but about swordsmanship’s ultimate ideal

…..

Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart

The swordsman is at peace with the rest of the world!

වින්ග් චුන් ආකාර සඳහා පහත වීඩියෝව බලන්න.

ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන් පිළිබඳ කුඩා වාර්තා වැඩසටහනක්

විවිධ වූෂු ශෛලීන්

Nanquan Wushu

Nanquan Wushu

Nan Dao - Southern Style Sword

Broad Sword

Long Sword සංදර්ශනයක්

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 20 Comments

සුබස එලි බසී

24th
Jun. × ’10

පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධ සේවා සැපයීම මුලීක කර ගත් සුබස (subasa.lk) වෙබ් අඩවිය අද කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යනායතනයේදී නිල වශයෙන් විවෘත කෙරුණා.  සුබසේ මූලික අරමුණ පරිගණකය තුල සිංහල භාෂාව සම්බන්ධයෙන් තිබූ අවශ්‍යතාවයන් එක මධ්‍යගත තැනකින් සේවා විදියට ලබා දීම. මේක භාෂා තාක්ෂණ පර්යේෂණායතනයේ ව්‍යාපෘතියක්.

සුබස වෙතින් ලැබෙන වටිනා සේවයක් විදියට අකුරු විනිස පිරික්සුව දකින්න පුලුවන්. බ්ලොග්කරුවන් විදියට අපි හැමෝම ලියන්නො වුනාට සිංහල භාෂාවෙ අක්ෂර වින්‍යාසය ගැන වද වෙන්න තරම් දැනුමකුත් කාලයකුත් බොහෝ දෙනාට නැහැ. නණලළ භේදය ආදී කරුණු ගැන නොයෙකුත් වාද විවාද තිබුනත් අවශ්‍ය අයෙකුට ප්‍රයෝජනයට ගන්න මේ වගේ දැනුම් සම්භාරයක් මීට කලින් තිබුනේ නැහැ. ඒ වගේ අවස්ථාවක මේ විදියෙ වෙබ් අඩවියකින් ඒ පහසුකම ලබා ගැනීමට හැකි වීම වටිනා දෙයක්. බ්ලොග්කරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විදියට ජනප්‍රිය වීමටත් මෙයින් අවස්ථාව ලැබෙනවා. ඉදිරියෙදි මේ සේවාව API එකක් විදියට මෘදුකාංග සංවර්ධකයන්ට විවෘත කිරීමට හැකියාවක් පවතින නිසා මෙහි වටිනාකම ඉහලයි. අකුරු විනිස පිරික්සුම් සේවාව ලබා දීමට ප්‍රයෝජනයට ගන්න සිංහල වාග් සංහිතාවක් (Text Corpus) එකක් එක් රැස් කිරීමේ ව්‍යාපෘතිය භාෂා තාක්ෂණ පර්යේෂණායතනයෙන් සිදු කෙරෙන්නක්.

මීට අමතරව මංගත යතුරු පුවරු (ෆොනටික ක්‍රමයද ඇතුලුව), ඇස්කි සිට යුනිකේත පරිවර්තක සහ සිංහල භාෂාව පිළිබඳ වැදගත් පොත් කිහිපයක් සුබස වෙබ් අඩවිය විසින් සේවාවන් ලෙස ලබා දෙනවා. ඊට අමතරව මෙතෙක් කල් EnSiTip ලෙස තිබුන Firefox extension එක ඉඟිය ලෙස වෙනත් දත්ත සමුදායක් යොදා ගනිමින් එලි දක්වා තිබෙනවා.

Posted in Uncategorized | Tagged , , , , , , , , , | 10 Comments

නමා දැමීම හෙවත් නම්නීකරණය

23rd
Jun. × ’10

පුවතක්: නවක නම්නීකරණයට අවසර නොලැබෙන ලකුණු.

අලුත් අය සර්
හදල දාන්නත් එපැයැ
ගරු කරන්න උගන්නන්න තියෙනවා
ඇයි කැන්ටිමේ පෝලිමේ යන හැටි
ඩෙස් බංකු වල ලියන්නෙ නැති හැටි
අපි ඒවා කෙරුවට
උන්ට ඒවා කරන්න දීලා බෑනෙ සර්
ලයිබ්‍රරි එකේ
පුටු උඩ කකුල දාන්න එපා කියන්න ඕනෙ
අපිට මුන් අයියා කියන්නෙවත් නැති වෙයි සර්
අලුකුත්තෙරුවො අපිව ගනන් ගන්නැති වෙයි
අපිට හිනාවත් වෙන්නෙ නැති වෙයි
අලුත් උන්ගෙ වැඩ දන්න එවුන්
අපිටත් වැඩ කියල දෙයි සර්

අනිත් එක සර්
කොල්ලොත් වේලෙනවා

ඔන්න ඔහෙ මේ සැරේට
අවසරේ දීලා දාන්න
වීසීවත් ෂේප් කර ගම්මු

(ජොලියට පමණි. වාද විවාද තම තමා කර ගනුමැන)

Posted in Uncategorized | 6 Comments

සොෆීගේ ලෝකය – යූස්ටයින් ගෝඩර්

21st
Jun. × ’10

කෙටියෙන් සාරාංශ කරනව නං: උස තොප්පියකින් සුදු හාවෙක් ඇදලා ගන්නවා. එයා ඉතාමත් විශාල හාවෙක් නිසා, ඒ මැජික් සෙල්ලම කරන්න අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යනවා. සියලුම ප්‍රාණීන් උපදින්නෙ හාවාගේ ඉතාම සියුම් ලොම් මුදුනෙ. ඒ මැජික් සෙල්ලමේ අභව්‍ය බව ගැන පුදුමයට පත් වෙන්න පුලුවන් තැනකයි එයාලා ඉන්නෙ. ඒත් වැඩෙනකොට ඔවුන් හාවාගේ ලොම් අස්සට අස්සට යන්න පටන්ගන්නවා. අස්සටම ගිහින් එතන නතර වෙනවා. එතන කොයි තරම් සැප පහසුවට ඉන්නවද කිව්වොත්, කවදාවත් එයාලා අර සියුමැලි ලොම් දිගේ උඩට ආපහු බඩගාගෙන ඒමේ අවදානම ගන්නේ නැහැ. මේ අනතුරුදායක චාරිකාවේ යෙදිලා, භාෂාව සහ පැවැත්ම යන ඒවායේ මුදුන් කෙලවරටම යන්නෙ දාර්ශනිකයො විතරයි. සමහරු ආපහු වැටෙනවා. ඒත් අනික් අය අමාරුවෙන් එල්ලීගෙන ඉඳන්, පහළ මුදු මොළොක් තැනක සුව පහසු ලෙස වැතිරගෙන රස කෑම බීම ගනිමින් ඉන්න අයට කෑ ගසා කියනවා “නෝනාවරුනි මහත්වරුනි, අපි අභ්‍යවකාශයේ පාවෙනවා.!” ඒත් පහළ ඉන්න කිසි කෙනෙක් ගනන් ගන්නෙ නැහැ.

“මහ වද කරච්චල් කාරයො කට්ටියක්!” එයාලා කියනවා. ඊළඟට ඔහේ කතා කර කර ඉන්නවා. කරුණාකරලා ඔය බටර් එක මෙහාට දෙනවද? අද කොටස් වෙළඳ පොලේ අපේ කොටස් කොච්චර නැගල තියෙනවද? තක්කාලිවල මිල කීයද? ඔයා දන්නවද අනේ ඩයනා කුමාරිට ආයෙ සැරයක් බබෙක් හම්බවෙන්න ඉන්නවලු.

(20, සොෆිගේ ලෝකය – යූස්ටයින් ගෝඩර්)

Posted in Uncategorized | Tagged , , , , , | 1 Comment

කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය ?

10th
Jun. × ’10

පළමුවන මහා ශක වර්ශයේදී
මහා යුද්ධයක් විය. ශක රාජයෝද,
ආරණ්‍ය සේනාපතීහු ද, බිහිසුණු සේ
යුද වැදුණ හ. ඔවුන් ගේ අශ්ව කුරයෙන්
සියලු කෙත් වතු පාලු විය.

ඉන්පසු ගොවීන් මෙසේ ඇසූහ.
“කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය ?”

“ඔබ සඳහා යැ” යි, දෙගොල්ලම හඬ නඟා පිළිතුරු දුන්හ.

“අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ, ඔබ සඳහා නියතයෙන් ම බිහි වන්නෝ ය.”

(ශක රාජාවලිය)

(උපුටනය: සාපේක්ෂණී පෙරවදන, සයිමන් නවගත්තේගම)

Posted in Uncategorized | Tagged , , | Leave a comment

කොලරා කාලේ ආලේ – ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්

9th
Jun. × ’10

මේ ගැහැණු අතරින් ඔහු වැඩියෙන්ම ආලය කළ, එහෙත් අඩුවෙන්ම ඇසුරු කළ ගැහැණිය වූයේ ඇන්ජලීස් අල්ෆාරෝ ය. තත් භාණ්ඩ වාදනය උගැන්වීමට සංගීත පාසලට මාස හයකට ආ ඈ, සඳ ඇති රෑ කාල වල ඇගේ නිවසේ වහළට නැගී උපන් දා නිරුවතින් ඔහු හා රැය පහන් කලාය.  එවිට සිය රවිකිඤ්ඤය ගෙන ඇය වැයූ සුමධුර වාද්‍ය වෘන්දය, ඇගේ රන්වන් දෙකළවා අතරින් නික්මෙන මිනිස් රාවයකට පෙරැළිණ. දෙදෙනා හමු වූ මුල් දා රෑ සඳ එළියේ ඔවුන් පෑ ඒ ආධුනික ආලයේ විස්මිත බිහිසුණුකම තුල දෙදෙනාගේ හදවත් තැලී පොඩි වී ගියේය. එහෙත් ඈ ආ පරිදිම, ඊට මාස හයකට පසු ආපසු ගියාය. ඒ සමඟ ඇගේ ළඳ බොළඳ කාමයත්, පව්කාරයාගේ රවිකිඤ්ඤයත් ඈ රැගෙන ගියාය. ඇය ගිය නැවේ ලෙළ දුන්නේ විස්මෘතියේ ධජයයි. සඳ කැන් වැතිරුණු මහල් පියසි මත ඉන් පසු ඉතිරි වුණේ, ක්‍ෂිතිජයේ වසා ඇති දුක්බර හුදෙකලා කොබෙයියෙකුගේ ස් ලෙළදෙන, සුදු ලේන්සුවක් පමණි. ඇය හරියට, කවි සංගායනාවක එක ශ්ලෝකයක් බඳු විය. ඊට පෙර බොහෝ අවස්ථාවල අත්විඳ තිබුනද එතෙක් තේරුම් ගෙන නොසිටි යමක්, අවසානයේදී ෆ්ලොරෙන්තිනෝ අරීසා වටහා ගත්තේ ඇයගෙනි: කෙනෙකුට කිහිප දෙනෙකු සමඟ එකවර ආලයෙන් වෙළිය හැක. ඒ එකිනෙකාගේ දුක, වේදනාව තමන් සතු කර ගත හැක. එහිදී ඉන් එකෙකු හෝ පාවාදීමක් අවශ්‍ය නොකෙරේ. එදා ඈ සමුගන්නා මොහොතේ නැව් අංගනයේ සෙනඟ මැද තනි වී ඔහු කෝපයෙන් තමාටම බැණ ගත්තේය.

“මගේ හදවතේ තියෙන කාමර ගණන වේස ගෙදරකවත් නැහැ”

ඇගේ විප්‍රයෝගයෙන් ඔහු එදා කඳුලු සැලුවේය. එහෙත් ක්‍ෂිතිජයේ එපිටට නැව නොපෙනී යනවාත් සමඟම, ඔහුගේ සමස්ත අවකාශය හරහා නැවත අරක් ගත්තේ ෆර්මිනා දාසාගේ මතකයයි.

(407, කොලරා කාලේ ආලේ – ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්)

Posted in Uncategorized | Tagged , , , , , , , , , | Leave a comment

විදූ : කෝ හඳයා? | Vidhu

16th
May. × ’10

සිනමාහලින් එලියට ආපු අපේ හිත් වලට මුලින්ම ආපු අදහස තමයි ඒ.

කෝ හඳයා?

ඒ ගැන පසුවට. අපි මුලින් විදූ ගැන බලමු.

විදූ කියන්නෙ උප්පැන්න සහතිකය නැති නිසා පාසැලට ගන්න බැරි ලමයෙක්.

“දඩාවතේ ගිහින් දැන් එනවා ලමයි ඉස්කෝලෙට දාන්න.”

විදුහල්පති කාමරයෙන් පිටවෙලා යන විදූගෙ අම්මා ගැන විදුහල්පතිගෙ අදහස එහෙමයි.

“ඇයි ඔයා මේ සල්ලි ගන්නෙ නැත්තෙ? ඔයා ඩොලරයක්වත් වටින ලමයෙක් නෙවෙයි”

මේ සුද්දෙක් විදූට කියන දේ.

ඒත් පාසැල් අධ්‍යාපනය කැප නැති ඩොලරයක්වත් වටින්නෙ නැති විදියට හංවඩු ගැහෙන විදූ එහෙමම ජීවත් වෙන්න ඕනෙ ද?

විදූ කියන්නෙ අසෝක හඳගම ලංකාවේ නව යොවුන් පරපුරට කරන ඉල්ලීමක්. තමන්ගෙ ගමේ පාසැලට එක වසරින් ඇතුලත් වෙන සංඛ්‍යාවෙන් දහයෙන් එකක්වත් රජයේ ආයතන වල උසස් අධ්‍යාපනය ලබන්න වරම් නොලබන, ඒ නිසාම උපාධියක් කියන්නෙ තමන්ගෙ එකම ගැලවීම කියල හිතාගෙන ඉන්න, පෞද්ගලික සරසවි වලට විරුද්ධවත් පක්ෂවත්  තර්ක නගමින් ඒ මතම නැහෙන තරුණ සිසු පරපුරට කරන සමච්චලයක්.

අපි හැමෝගෙම වටිනාකම හොරකම් කරගෙන ද? විදූට තියෙන ප්‍රශ්නෙ ඒකයි. ඒත් ඔහු ඒ වටිනාකම ඉබේ ලැබෙනකම් බලාගෙන ඉන්නෙ නැහැ. ඔහුගේ හැකියාවෙන් ඔහුට ගන්න පුලුවන් ඉහලම වටිනාකම ඔහු ලබා ගන්නවා. ඔහුගේ ලෝකයට වීරයෙක් හදාගන්නවා. ඒ තමන්වමයි.

“සුපර්මෑන්ලා, ස්පයිඩර්මෑන්ලා, හැරී පොටර්ලා” ඔහුගෙ ඇස් ඉදිරියෙ නිකන් කාඩ්බෝඩ් වීරයො විතරයි.

තමන්ව හොයා ගන්න බැරුව අතරමං වෙලා වගේ හිතෙනවනම් විදූ ඔබට සිනාසෙයි. ඔහුගේ පලවෙනි කතාව කරන්නෙ හොරකම් කරගත්ත ඇඳුමක් ඇඳගෙන. එතනින් දෙන පණිවිඩේ හොරකම් කරලා දියුණු වෙන්න කියන එක නෙවෙයි. තමන්ට මොනව හරි ලබාගන්න ඕනෙ නම් මුලු ලෝකෙම ඒ දේ ලබාදෙන්න කුමණ්ත්‍රණය කරනව කියන එකයි. ඒත් එහෙම වෙන්නෙ තමන්ට ලබාගන්න මහන්සියෙන් උත්සහ කරන කෙනාට විතරයි. සන්තියාගෝ නම් සැරසරන්නා ගිය ගමන විදූ යන්නෙ මේ කතාව සියදහස් වරක් ඔප්පු කරමින්.

මේ සරල පණිවිඩය හඳගම ලබාදෙන්නෙ සමාජයේ අනිත් තැන් වලටත් හිමින් සීරුවෙ ටොකු ඇනල. අධ්‍යාපනය, දේශපාලනය, සුබසාධනය වගේ අපේ රටේ දවසින් දවස වේගයෙන් පරිහාණියට පත්වෙන ආයතන ගැන පොඩි අනතුරු ඇඟවීමකුත් කරලා. විශේෂයෙන්ම විදූගෙ කතා වල අන්තර්ගත වෙලා තියෙන මූලික කරුණ හැල්මෙ දුවන අපට හිතන්න දෙයක්. කෝ අපේ වටිනාකම?

පැහැදිලිවම විදූ ආමන්ත්‍රණය කරන්නෙ තරුණ වියට පා තබන පරම්පරාවට. සංකීර්ණ නොවූ සරල කතාවක් යොදා ගෙන ඒ අරමුණ වඩාත් හොඳින්ම ඉටු කරගෙන තියෙනවා. සංකේත භාවිතය යොදාගෙන තිබුනත් අදාල වයස් මට්ටම් වලට පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන් වෙන විදියකට පරිස්සම් වුන බවක් චිත්‍රපටියෙ පෙනෙන්නට තිබුනා. කතාව ගලාගෙන යන්නෙ ෆැන්ටසිමය ආකාරයකට.  ඒක සාමාන්‍යයෙන් නව යොවුන් වියට පා තබන ඕනෙම ලමයෙක්ගෙ හිත ඇතුලෙ ගොඩ නැගෙන ෆැන්ටසියකට සමානයි. තමාට සුවිශේෂ හැකියාවන් තුලින් දස්කම් දක්වමින් අන් අයගේ පැසසුමට ලක්වෙන කතාව ගලායන චිත්‍රපටිය දකින ලමයා තුල ස්වාභිමානය ගැන පුංචි හරි හැඟීමක් අවුලුවන්න විදූ මහන්සි වෙනවා.

විදූ සර්ව සම්පූර්ණ චිත්‍රපටියක් නෙවෙයි. කතාව ඉදිරිපත් කිරීමෙදි එක් එක් තැන්වලදි නොසැලකිලිමත් බවක් පෙනෙන්න තියෙනවා . රංගනයෙත්, කැමරාකරණයෙත් වැරදි නොතිබුනා නොවෙයි. නමුත් ඉලක්කගත ප්‍රෙක්ෂක පරාසයට ගැලපෙන ලෙස නිපදවුන අනෙකුත් චිත්‍රපටි එක්ක (තියෙනවනම්) සැසඳුවොත් විදූ සාර්ථක චිත්‍රපටියක්. ඒ වගේ මනසකට ගැලපෙන ආකාරයකට යථාර්තයට ලංවෙන ගමන්ම වන යොවුන් වයසේ ෆැන්ටසිමය ආසාවන් සමඟ කතාව ගලපගන්න හඳගම සාර්ථක වෙලා තියෙනවා. නලු නිලි දෙපලගේ රංගනය විශිෂ්ඨ ආකාරයකට යොදාගෙන චිත්‍රපටියෙ සාර්ථකත්වයට ලං කරගෙන තියෙනවා.

කැලෑ සතුන් සමඟ හුරතල් වීමේ පුංචි පැංචි කතාවලුත්, පාසැල් වයසේ එකම ෆැන්ටසිය ප්‍රේමය ලෙස වරදවා වටහා ගත් “ඉතිං ඊට පස්සෙ” ගණයේ චිත්‍රපටිත් අතරමැදට බලෙන් විදූ රිංගනවා. ඒ රිංගන්නෙ කතාවට ඇහුම්කන් දෙන ඕනෙම කෙනෙක් තමන් ගැනම හිතන්න යොමු කරන ගමන්. අපි කොහොමද අපිට වටිනාකමක් හදා ගන්නෙ? ඒකට පාසැලට යන්නම ඕනෙ ද? පාසැල් නොගිහින් සාර්ථක වෙන්න බැරි ද? උපාධියක් අත්‍යවශ්‍යම ද? කැම්පස් යන්න ලැබුනෙ නැත්නම් අපේ ජීවිතේට වටිනාකමක් නැද්ද?

අපේ වීරයා අපිම නෙවෙයි ද? අපේ ජීවිතය අපේ නෙවෙයි ද?

පසු සටහන: කෝ හඳයා?

“හඳයගෙ ෆිල්ම් එකක්?”

මම බලන්න ගියෙ තවත් අමුතුම චිත්‍රපටියක් දැක ගන්න. තනි තටුවෙන් පියාඹන්න හදලා අක්ෂරය මකලා දැම්මට පස්සෙ හඳයගෙ පිටට කුරුසියක් පටවලා තිබුනා, රැඩිකල්ම රැඩිකල් සිනමාකරුවෙක් විදියට. ඒ කුරුසිය ඔහුගෙ පිටට පටවපු දහස් සංඛ්‍යාත රසිකයන්ගෙන් එක්කෙනෙක් විදියට මම සිනමාහලට ඇතුලු වෙනකොට කුරුසිය බිමින් තියන්න හඳයට ඉඩ දීලා තිබුනේ නැහැ. නමුත් විදූ හරහා ඔහු ඒ කුරුසිය බලෙන්ම බිම තියලා ඇවිදගෙන ගිහින් තිබුනා. එලියට එනකොට “හඳයා කෝ? විදූව පෙන්නලා හඳයා කොහෙද ගියේ?” කියන එක හිතේ රැඳුනේ ඒකයි.

ආගන්තුකයා කියපු විදියට “වෙනස් වීමද වෙනස් විය යුතුය”.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , | 9 Comments

SCIM සහ Openoffice.org | SCIM & Openoffice.org

19th
Apr. × ’10

ලිනක්ස් ඇතුලෙදි සිංහල යතුරු කරන්න මම භාවිතා කරන්නේ SCIM මෘදුකාංගය. 9.1 වලට පෙරනිමියෙන් ආපු iBus අයින් කරලා SCIM දාන්න තරම් මම ඒකට හුරු වෙලා තියෙනවා.

ළඟදි දවසක Openoffice.org පැකේජය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගත කරලා තිබුන එක අයින් කරලා ස්ථාපනය කලා. උබුන්ටු repository වලට Oo.org නවතම අනුවාදය(3.2) ඇතුලත් කරලා නැති නිසා දැනට තියෙන විසඳුම කෙලින්ම Openoffice.org වෙබ් අඩවියෙන් බාගත කිරීම. මෙහෙම ස්ථාපනය කරන්න කලින් Oo තුලදි SCIM හොඳින් භාවිතා කරන්න පුලුවන් වුනා. එකම අවුල තිබුනේ ලැබෙන ෆොන්ටය හරි හැටි render නොවීම විතරයි. ඒකත් ෆොන්ටය විදියට LKLUG හෝ වෙනත් ජනප්‍රිය ෆොන්ටයක් තෝරගත්තාම මඟහරව ගන්න පුලුවන්.

ඒත් Oo නව ස්ථාපනයෙන් පස්සේ ඒක ඇතුලේ SCIM භාවිතා කරලා යතුරු කරන්න බැරි වුනා. උබුන්ටු විකි සටහනකට අනුව මේ ගැටළුව එන්නේ SCIM gtk module එක යොදා ගන්න gcc අනුවාදන වෙනස් වුනාම. මේ සඳහා කරන්න තියෙන විසඳුම වෙන්නේ දැනට Oo සඳහා තියෙන C++ library එක වෙනුවට උබුන්ටු පද්ධතිය තුල තියෙන C++ library එකක් ලබා දීම. ඒ සඳහා පහත විධාන ටික root user යටතේ ලබා දෙන්න අවශ්‍යයි.

sudo su
cd /opt/openoffice.org3/basis-link/ure-link/lib/
mv libstdc++.so.6 libstdc++.so.6.orig
ln -s /usr/lib/libstdc++.so.6.0.13 libstdc++.so.6
mv libgcc_s.so.1 libgcc_s.so.1.orig
ln -s /lib/libgcc_s.so.1

මේ විධාන වලින් කරන්නේ Oo මගින් ලබා දීලා තියෙන C++ library ටික අයින් කරලා ඒ වෙනුවට දැනට උබුන්ටු තුල භාවිතා වෙන library වෙතට යොමුවක් දැමීම. දැන් Oo තුල SCIM භාවිතා කරන්න හැකි වෙන්න ඕනෙ.

Bibliography:

Ubuntu Wiki – SCIM
Oo.org Community Forum

Posted in Uncategorized | Tagged , , , , , | 2 Comments

සියළුම මරියතුමියන් වෙත

8th
Apr. × ’10

අම්මේ…

හිතුවද ‍මොහොතකට,

ගස් පෙරලන උඩු සුළඟක් තනන්න?

පීඩිතයින්ට ගැලවුම්කරුවෙක් දෙන්න?

බොරුවෙන් මිනිස්සු ගලවගන්න?

බැටළුවන්ට එ‍ඬේරෙක් දෙන්න?

තොටිල්ලට කලින්

කුරුසියට

ලී හොයන්න වෙයි කියලා

හිතුනේ නැද්ද?

Posted in Uncategorized | 7 Comments

ලිනක්ස් තුලදි පාටිෂන් ස්වයංක්‍රීයව මවුන්ට් කර ගැනීම | Auto Mounting Partitions in Linux

30th
Mar. × ’10

උබුන්ටු 9.1 ඉඳලා NTFS පාටිෂන් (හරියටම කියනවනම් Removable Drives මම හිතන්නේ) මවුන්ට් කරනකොට sudo රහස් පදය ලබා දෙන්න වුනා. ලබා දුන්නට පස්සේ විනාඩි පහලවක් විතර වෙනකම් ආයේ ලබා දෙන්න අවශ්‍ය නොවුනත් මේක පෞද්ගලික පරිගණකයකට අපහසුවක්. (මේ වෙනස ඇත්තටම වෙන්නේ උබුන්ටු වලට නෙමෙයි, Gnome වලට. ඩිස්ක් මවුන්ට් කරන්න Gnome වලදි භාවිතා වෙන්නේ gnome-mount කියන අතුරු විධානය. Fedora වලදි sudo පෙරනිමියෙන් නැති නිසා අහන්නේ root රහස් පදය.)

තැටි මවුන්ට් කිරීම් වලට අදාල startup script එක වෙන්නේ /etc/fstab කියන ගොනුව. මේ ගොනුවේ ලිනක්ස් ආරම්භයේදී මවුන්ට් කර ගත යුතු පාටිෂන් පේළි ආකාරයට ලැයිස්තු ගත කරලා තියෙනවා. ටර්මිනලයක sudo less /etc/fstab ලෙස ලබා දුන්නොත් fstab ගොනුවේ අන්තර්ගතය බලා ගන්න පුලුවන්.මේ පේළියක ආකෘතිය පහත ආකාරයට දක්වන්න පුලුවන්.

  • <file system> – මේ තීරුවේ සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ අදාල device එකේ ගොනුව. මේක අපිට හොයාගන්න පුලුවන් වෙන්නේ /dev ඩිරෙක්ටරිය ඇතුලේ (උදා: /dev/sda1). තමන්ගේ පාටිෂන් වලට අදාල ගොනු මොනවද කියලා බලා ගන්න ටර්මිනලයක් ඇතුලේ sudo df -h ලෙස විධානය දෙන්න. හැබැයි මේ විධානය දෙනකොට තමන්ට බලා ගන්න අවශ්‍ය device මවුන්ට් කරලා තියෙන්න ඕනේ.
  • <mount point>  – අදාල device එක මවුන්ට් කල යුතු ඩිරෙක්ටරිය මොකද්ද කියලා මෙතන සඳහන් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උබුන්ටු තුලදි gnome-mount හරහා මවුන්ට් වෙන්නේ /media ඩිරෙක්ටරිය ඇතුලට (මේක අනිවාර්ය නැහැ. තමන්ට අවශ්‍ය තැනකට මවුන්ට් කර ගන්න පුලුවන්). පාටිෂන් එකේ ලේබලයේ නමින් ඩිරෙක්ටරියක් /media ඩිරෙක්ටරිය ඇතුලේ හැදෙනවා (පාටිෂන් එකේ ලේබලය Misc නම් /media/Misc ලෙස ඩිරෙක්ටරියක් හැදෙනවා.). අපි gnome-mount හරහා unmount කරනකොට ඒ ඩිරෙක්ටරිය ඉබේ මැකිලා යනවා. නමුත් මෙතන සඳහන් කරන්න කලින් අපි අදාල ඩිරෙක්ටරි හදාගෙන තියා ගන්න ඕනෙ. මොකද fstab හරහා මවුන්ට් කරනකොට භාවිතා වෙන්නේ සාමාන්‍ය mount විධානයයි. mount විධානයට දැනට තියෙන ඩිරෙක්ටරියක් පමණයි දෙන්න ඕනෙ.
  • <type> – මෙතනට ලබා දෙන්නේ අපි මවුන්ට් කරන පාටිෂන් එකේ ගොනු පද්ධති ආකාරය (file system එක). මේ සඳහා ntfs, ext2, ext3 ආදී ලෙස දෙන්න පුලුවන්.
  • <options> – මේ තීරුවට මවුන්ට් කිරීමේ විකල්ප ලබා දෙන්න පුලුවන්. විශේෂ විකල්ප නැතිනම් defaults ලෙස ලබා දෙන්න හැකියාව තියෙනවා. ලබා දිය හැකි වෙනත් විකල්ප විදියට ro (Read Only), noexec (Prohibit binary file execution), auto (Mount automatically at startup) ආදිය දක්වන්න පුලුවන්. මේ විකල්ප වලින් අපිට වැදගත් වෙන්නෙ auto කියන එක.
  • <dump> – අපි මෙතනදි සඳහන් කරන්නේ පාටිෂන් එක බැකප් කරනවාද නැද්ද කියන එක. මෙතනදි 0 දුන්නාම හොඳටම ඇති.
  • <pass> – මේ තීරුවෙදි සඳහන් කරන්න ඕනේ හදිසියේ ක්‍රියා විරහිත වුනොත් නැවත ආරම්භ කිරීමේදී fsck මගින් පරීක්ෂා කරනවද කියන දේ. පාටිෂන් එක root පාටිෂන් එකක් නම් 1, සාමාන්‍ය පාටිෂන් එකක් නම් 2 ලබා දුන්නොත් එසේ පරීක්ෂා කරනවා. පරීක්ෂා කිරීම අනවශ්‍ය නම් 0 ලබා දිය යුතුයි. සාමාන්‍යයෙන් NTFS පාටිෂන් එකකට මේක අවශ්‍ය නැහැ.

දැන් අපි මවුන්ට් කරන්න අවශ්‍ය පාටිෂන් ලැයිස්තුව fstab ගොනුවට ඇතුලත් කරමු. මුලින්ම මේ පාටිෂන් වල device ගොනුව හොයාගන්න ඕනේ. අවශ්‍ය පාටිෂන් Gnome හරහා මවුන්ට් කර ගන්න (Places මෙනුව හරහා මෙය කර ගන්න පුලුවන්). ඉන්පසු ටර්මිනලයක් විවෘත කරලා පහත විධානය ලබා දෙන්න.


df -h

ලැබෙන output එකේ Mounted On තීරුව යටතේ /media/ ඩිරෙක්ටරිය ඇතුලත් device ලියා තබා ගන්න. උදාහරණයක් විදියට /dev/sda1, /dev/sda5 සහ /dev/sda6 ගනිමු.

දැන් Gnome හරහාම මේ පාටිෂන් unmount කර ගන්න. අපි ස්වයංක්‍රීයව මවුන්ට් කර ගන්න mount point සාදා ගත යුතුයි. mkdir විධානය මගින් අවශය ඩිරෙක්ටරි අවශ්‍ය තැන්වල හදා ගන්න. මම මේ ඩිරෙක්ටරි ඒ ඒ පාටිෂන් වල ලේබල වල නමින් /media ඩිරෙක්ටරිය ඇතුලෙම හදනවා. නමුත් හදන තැනවත් ඩිරෙක්ටරි වල නම්වත් මේ විදියටම වෙන්න ඕනේ නැහැ.

sudo mkdir /media/C
sudo mkdir /media/SW
sudo mkdir /media/Misc1

දැන් අපි fstab ගොනුව සංස්කරණය කරමු.


sudo vi /etc/fstab

දැන් පහත පේළි ආකාරයට ටැබ් (Tab යතුර) වලින් වෙන් කර කර ටයිප් කරගෙන යන්න. Devices සහා ඩිරෙක්ටරි තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න.

/dev/sda1       /media/C        ntfs    auto    0       0
/dev/sda5       /media/SW       ntfs    auto    0       0
/dev/sda6       /media/Misc1    ntfs    auto    0       0

/etc/fstab සංස්කරණය කිරීම

දැන් ලිනක්ස් restart කරන්න. පාටිෂන් ටික මවුන්ට් වී තිබිය යුතුයි.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , | 2 Comments