අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව

Political Correctness යන්නට සුදුසු සිංහල යෙදුමක් සෙවීමට බොහෝ සේ උත්සහ කල නමුත් සොයා ගැනීමට නොහැකි වූ නිසා ඉංග්‍රීසි යෙදුම භාවිතා කරනු ලැබේ.

සාමාජීය සත්වයෙකු ලෙස තම අදහස් ප්‍රකාශ කිරීම, එසේ ප්‍රකාශ කල අදහස් පිලිගැනීමටත් වඩා අත්‍යවශ්‍ය අංගයක් ලෙස මිනිසා සලකයි. මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිට විසි එක් වැනි සියවසේ අප සිටින ස්ථානයට ලඟා වීමට අදාල සංවර්ධනයට මූලික වන්නේ එකිනෙකාගේ අදහස් නොපැකිල ප්‍රකාශ කිරීමත් ඒ ඒ අදහස් විචාරයට විවේචනයට ලක්කොට වඩාත් නිවැරදි අදහස ක්‍රියාවට නැංවීමත් යන සාධකයි.

පුද්ගලයෙකුගේ සිත තුල අදහසක් මතු වන අවස්ථාවක් නිශ්චිත වශයෙන් හැඳින්වීමට නොහැක. බොහෝ විට අදහසකට පාදක වන්නේ ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය නිමිත්තකි. එසේත් නැති නම් නින්දට යෑමට මොහොතකට පෙර සිත තුල උත්පාදනය වන විකාර සිතුවිල්ලකි. මේ කුමක් පාදක කර ගත්තත් අදහසකට යම් කිසි ආකාරයක යුක්තියක් ඉටු වන්නේ එය වෙනත් අයෙකු හා සාකච්ඡා කල පසුවය.

යම් කිසි කාල වකවානුවක පවතින ප්‍රසිද්ධ අදහස් සියල්ල ඒ කාල වකවානුවට සාපේක්ෂව නිවැරදි, වලංගු හා හානිදායක නොවන බව කිසිසේත්ම කිව නොහැක. එම අදහස් ගොන්නේ සැලකිය යුතු ප්‍රතිශතයක් එම කාල වකවානුවට සාපේක්ෂව විවේචනයට ලක් කොට වෙනස් කල යුතු වේ. මානව ශිෂ්ඨාචාරයේ සංවර්ධනය ඇති වන්නේ එම ක්‍රියාවලියෙනි. තාක්ෂණය, විද්‍යාව, සදාචාරය ආදී සමාජයක පවතින ප්‍රගමනය වන ලක්ෂණ සියල්ලකගේම ගමන සටහන් වන්නේ එක් එක් තැන් වලදී එතෙක් පැවතුන අදහසකට පටහැනි, එම අදහස විවේචනය වන නව අදහසක පිලිගැනීමත් සමඟිනි.

නොවැදගත් යැයි සිතිය හැකි අදහසක් පවා ප්‍රකාශ කර කතිකාවතකට ලක් කල යුත්තේ ඒ නිසාය.

අන්තර්ජාලය, ලෝකය පුරා වෙන් වෙන්ව විසූ සමාජ රැසක් එක සමාජ තලයකට රැගෙන ඒමට සක්‍රීයව දායක වන සංකල්පයකි. වෙන් වෙන්ව වලංගු වන සදාචාර සංග්‍රහයන්, තාක්ෂණික මට්ටම් ඉතා සීඝ්‍රයෙන් එක්සත් වීමකට ලක් වෙමින් පවතී. දෙමාපියන්ගේ කීමට යටත් නොවූ තරුණ ගැබිණි කාන්තාවක් ගල් ගසා මරා දැමීම තව දුරටත් “සාපේක්ෂ සදාචාරයට“ අනුව සාධාරණීකරණය කල නොහැක. ලෝකයේ එක් කොණක පැල වී පෝෂණය වන අදහසක් ඇසිපිය හෙලන ඉක්මනින් අනෙක් කොණට ලඟාවී කතිකාවකට ලක්වීම අන්තර්ජාලයේ බල මහිමයට පින් සිදු වන්නට ලඟා වී ඇති තත්වයකි. ඉන් පෙර සියවස් ගණනාවක් තුල සිදු වූවාට වඩා සදාචාර දියුණුවක් (moral zeitgeist) හා දැනුම් සම්භාරයේ දියුණුවක් පසුගිය සියවස හා මේ සියවස මුල් දශකයේ සිදු වීම ඒ සඳහා කදිම නිදසුනකි. ලෝකය දැන් එක්ව ගමනක් යාමට ආරම්භ කර ඇත.

මේ අනුව තම තමාගේ අදහස් වඩාත් විවෘත හා නානාප්‍රකාර වූ සභාවකට යොමු කිරීමට අන්තර්ජාල පරිශීලකයින්ට අවස්ථාව ලැබී ඇත. Facebook status එකක්, ට්විටර් පණිවිඩයක්, Reddit post එකක් තුලින් තමාගේ සිතැඟි ප්‍රකාශ කොට ඒ සඳහා ප්‍රතිපෝෂණයක් ලබා ගැනීම එතරම් අමාරු කර්තව්‍යයක් නොවේ. සැබෑ සමාජයේ ප්‍රකාශ කිරීමට යම් යම් බාධා ඇති අදහස් ප්‍රකාශ කිරීමද අන්තර්ජාල සමාජ ජාල තුල වැඩි කරදරයක් නොමැතිව කල හැක්කේ අන්තර්ජාලය සම්බන්ධව ඇති නිදහස හා විවෘත භාවය හේතුවෙනි.

අවාසනාවට මේ ලිබරල් වටපිටාව තුලින්ම පැන නගින තවත් සංකල්පයක් නිසා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වරින් වර පාගා දැමීමකට ලක් වෙමින් පවතී. ප්‍රකාශ කිරීමට යෙදෙන අදහසක් politically correct නැතිනම් එහි වලංගු භාවය විමසීමකින් තොරව ඉවතට විසි කෙරෙන අතර ප්‍රකාශ කරන්නාද විවිධ ගැරහීම් වලට ලක්වන අයුරු දැක ගත හැක. විශේෂයෙන්ම අන්තර්ජාලය තුලදී මෙම තත්වය දක්නට හැක්කේ අදහස් විවේචනයට වඩා අදහසකට ගරු කිරීම වැදගත් යන්න විශ්වාස කරන ජනප්‍රිය නව ලිබරල් කාණ්ඩය තුලිනි.

Political correctness යන්න වාමාංශික පරිසරයකින් පැන නැගී, නව ලිබරල් හා කොන්සර්වේටිව් අන්ත දෙක අතර වෙනසක් නොමැතිව ප්‍රකාශනයේ නිදහස පාගා දැමීම සඳහා භාවිතා වන අායුදයකි. කොන්සර්වේටිව් අන්තයේදී නව අදහස් සමාජය තුල කතිකාවතකට ලක් වී පැල වීම වැලැක්වීමට එය භාවිතා කෙරෙද්දී, ලිබරල් අන්තයෙන් “මොන මගුලකට“ ක්‍රියාත්මක වන්නේ ද සිතා ගැනීමට නොහැක මට්ටමකින් political correctness භාවිතා කෙරේ. බොහෝ විට ජනප්‍රිය ලිබරල් මතවාදය පුද්ගල නිදහසට වඩා අදහස් කාණ්ඩ වල නිදහස සලකන මට්ටමකට පරිණාමය වී තිබීම මෙයට හේතු වී තිබිය හැක.

මේ අනුව සාපේක්ෂ සංස්කෘතීන්, සාපේක්ෂ සදාචාරයන් වැනි යෙදුම් නිතර භාවිතයට ලක් වෙන බවක් පෙනීමට ඇත. ඉහත සඳහන් වූ ගැබිණි මාතාවක් ගල් ගසා මරා දැමීම එම සංස්කෘතියට “සාපේක්ෂව“ අපරාධයක් නොවන බවත් එවැනි ක්‍රියා වල සදාචාරය මැනිය යුත්තේ අදාල සදාචාර සංග්‍රහයට අනුව බවත් මෙවැනි ලිබරල් මතයන් තුලින් නිතර කියැවේ. එසේ නොවන බවට විවාද කෙරෙන ඕනෑම අදහසක් politically correct නොවන්නේ එම ක්‍රියාව සිදුවුන සමාජ කොට්ඨාශයට එම විවේචනය මගින් “අවමානයක්“ සිදු විය හැකි බැවිනි. මේ ඡේදය දෙතුන් වතාවක් කියවූවත් එම අදහසේ ඇති ඛේදනීය විසුලු ස්වාභාවය ඉවත ලෑමට නොහැක.

බොහෝ සමාජ කොට්ඨාශයන්ගේ සදාචාර සංග්‍රහයන්ට පාදක වන්නේ එම සමාජයේ බහුතරයක් දරන අදහස් වට්ටෝරුවයි. ඒ අනුව එම සදාචාර මාලාවන් විවේචනය කිරීමෙන් අවමානය සිදුවනවා නම් සිදු විය යුත්තේද එම අදහස් වලටය. අදහස් වලට අවමානයක් සිදු විය හැකිද? අදහසක් විවේචනය නොකල යුතුය යනුවෙන් අයිතියක් සඳහන් වන්නේද?

අදහස් වලට අයිතීන් අර්ථ දැක්වීම සිදු කල නොහැක්කේ එසේ අයිතීන් අර්ථ දැක්වීම තුලින් අදහසකට එකතු විය හැකි යැයි සැලකෙන දෙයක් නොමැති හෙයිනි. අදහසකට යමක් එකතු වන්නේ ඒ අදහස විචාරයට හා විවේචනයට ලක්කොට නිපදවන තවත් අදහසකිනි. මිනිසෙකුට අයිතිවාසිකමක් ඇත්තේ එම අයිතිවාසිකම තුලින් මිනිසාට ලැබෙන දෙයක් ඇති බැවිනි. අදහසක් යනු භෞතික නොවන සංකල්පයකි. අදහසක් තුලින් මිනිස් ජීවිතයේ වෙනස්කමක් විය හැකි නමුත් අයිතීන් අර්ථ දැක්වෙන්නේ භෞතික ජීවත් වන ජීවි මට්ටමකින් නිසා අදහසකට විවේචනය නොවී සිටිය යුතු යැයි අයිතියක් අර්ථ දැක්වීමේ තේරුමක් නොමැත.

මෙය අලුතින් සමාජයට හඳුන්වාදෙන සදාචාර සංකල්පයක් නොවේ. පොතක් කවියක් ලියන අයෙකු එම පොතට හෝ කවියට නිර්දය ලෙස විවේචනය කරන විචාරකයෙකුගෙන් වන්දි ඉල්ලා නඩු නොදමන්නේ අදහස් වලට අයිතින් නැති බවත් ඒවා විචාරයට ලක් විය යුතු බවත් සමාජය පොදුවේ පිලි ගන්නා හෙයිනි.

ආගම් සම්බන්ධයෙන් ද තර්කය වන්නේ මෙයයි. ආගමකට ගරු කල යුතුයැයි පැවසීම තේරුමක් නැති කතාවක් වන්නේ ආගමක් යනු අදහස් ගොන්නක එකමුතුවක් වන නිසාවෙනි. යම් ආගමක් විවේචනය කිරීමෙන් එම ආගමේ ආගමිකයෙකුට නින්දාවක් සිදුවන්නේ නම් එය ඔහුගේ/ඇයගේ අයිතීන් කඩ වීමක් නොවේ. ඒ, නින්දාවට ලක්වන අදහස් දැරීම තුලින් නින්දාවට ලක්වීමේ මාවත තෝරාගෙන ඇත්තේ ඔහු/ඇයි විසින් නිසාවෙනි. උදාහරණයක් ලෙස සියලු සමරිසි පුද්ගලයින් ගල් ගසා මැරිය යුතු යැයි පවසන ආගමක එම කරුණ විවේචනය කිරීම මගින් යම් අයෙකු ඔහුගේ/ඇයගේ ආගමට නිගරු කලේ යැයි පවසන විට එම කරුණ විවේචනය කිරීම මගින් සිදුවන නින්දාවත්, ඔහුගේ අදහස නිසා ජීවිත අනතුරට ලක්වීමත් සන්සන්දනය කර බැලිය හැක. එම නිසා එක්කො ඔහු/ඇය විසින් එම අදහස හේතු සහිතව විචාරයට ලක් කොට ගත් අදහසකට වෙනස් කර ගත යුතුය. නැතිනම් එම අදහස ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.

People have rights, ideas don't. නැවතත් පැහැදිලි කිරීමකට ලක් කිරීමට islamophobia යන වදන කදිම නිදසුනකි. Islamophobia යන්න ඉස්ලාමයේ ඇති සමාජ විරෝධී ආකල්ප විවේචනය කරන ඕනෑම අයෙකු නිහඬ කිරීමට යොදා ගන්නා වචනයකි. නමුත් සත්‍ය වශයෙන් islamophobic වන්නේ දකින දකින ඕනෑම ඉස්ලාම් භක්තිකයෙකු දුෂ්ඨ පහතට හෙලිය යුතු අයෙකු වශයෙන් සැලකීමයි. දකින ඕනෑම ඉස්ලාම් භක්තිකයෙකුට “අඩෝ තම්බියා“ වශයෙන් ඇමතීමත්, ඉස්ලාමය ආගමක් ලෙස විවේචනයට ලක් කිරීමත් අතර ඇත්තේ අහසට පොළොව වැනි පරතරයකි.

අදහසක් විවේචනය කිරීම යනු අදහසක ඇති වලංගු හෝ අවලංගු භාවය හේතු සහිතව තාර්කික පදනමකින් සිදුවන්නකි. විවේචනය භාවාත්මකව කල හැකි නමුත් එසේ කිරීමෙන් මූලික අදහසට එකතු වන යමක් නැති හෙයින් අදහසක් භාවාත්මකව, හැඟීම්බරව විචාරයට විවේචනයට ලක් කිරීම හරයක් නැති ක්‍රියාවකි. එලෙසම politically correct වීමට ඉල්ලා සිටීමද භාවාත්මක ක්‍රියාවකි. ඉතිහාසය තුල දැනුම දියුණු වීම සම්බන්ධයෙන් පාඩමකට ගත හැකි වන්නේ තාර්කික බුද්ධියෙන් මිස භාවාත්මක හඬා වැලපීම් වලින් නව දැනුමක් සොයා නොගත් බවයි. නමුත් අද වන විට මහා පරිමාණයෙන් සිදු වන්නේද භාවාත්මක වැලපීම් වලින් තාර්කික බුද්ධිය වැසී යාමයි.

සමාජ කොට්ඨාශයක් තුල අදහස් ප්‍රකාශ කිරීම පාලනය කරන්නේ political correctness විසින් නම් බොහෝ විට අදහස් ප්‍රගමනය අඩාල වීමට එය බලපානු ලැබේ. බහුතරය එකඟ නොවන, බහුතරයේ මතයට politically correct නොවන මතයක් ඉදිරිපත් කිරීම තුලින් සමාජයේ කොන් වීමට ලක් වීමත් ගැරහීමට ලක් වීමත් සිදුවන්නේ නම් විරුද්ධ මත ඉදිරිපත් විම සීඝ්‍රයෙන් අඩු වන බව නිරීක්ෂණය කර ඇති සංසිද්ධියකි. බොහෝ මර්ධනකාරී ආගම් ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යන්නේද මෙම සංසිද්ධිය හේතුවෙනි. විරුද්ධ මතයන් ඉදිරිපත් වීම අඩු වන විට බහුතර මතය දරන්නන්ද වැඩි වන අතර බොහෝ ආගමික රටවල් ගල් යුගයේ අදහස් වල සිර වී සිටීමත් ඒ අදහස් වලින් ගැලවීම අපහසු වීමත් spiral of silence න්‍යායයෙන් පැහැදිලි කරයි.

වර්තමානය වන විට අන්තර්ජාලය තුල විරෝධාකල්ප ප්‍රකාශ කිරීම රැකියාව හෝ කලාතුරකින් ජීවිතයද නැතිවීමේ තත්වයක් බවට පත්ව ඇත්තේ රට තුල පවතින දේශපාලනික පරිහාණිය හේතුවෙනි. ඒ කල්දේරමට political correctness එකතු වූ විට ලැබෙන ප්‍රතිඵලය වන්නේ කිසිම අාකාරයකින් වෙනස් මතයක් ඉදිරිපත් කිරීම අනුමත නොකරන සමාජ කොට්ඨාශයකි. මේ වන විටත් ජනප්‍රිය ලිබරල් රැල්ල විසින් ආගම් හෝ සංස්කෘති සම්බන්ධයෙන් විවේචනාත්මක මත පල කිරීම ආශ්‍රයෙන් ස්වයං වාරණයක් පනවා ගෙන ඇති අතර එසේ මත පල කරන්නන් පසු බට කරවීමේ ක්‍රියාවලියක් ද ගෙන යමින් පවතී. අන්තවාදීන්ගේ හිත් පෑරෙන ලෙස අදහස් පල නොකරන ලෙස අවවාද කරන මොවුහු හැට ගණන් වල හිපියන් සේ අන්තවාදීන් සමඟ ගිනි මැලයක් වටේ ගීතයක් දෙකක් ගායනා කොට ඩොල්ෆින්ලාගේ පිට උඩ ලෝකය නැරඹීමට යාමට සිහින දකිති.

“හැම ආගමක්ම කියන්නෙ සහයෝගයෙන් සාමයෙන් ඉන්න කියල“ වැනි පදනමක් නොමැති බහුබූත දොඩවන මොවුන් තේරුම් නොගන්නේ සෑම අදහසක්ම සමාජ හිතවාදී නොවන බවයි. සෑම අදහසක්ම තාර්කික බුද්ධියේ සියුම් විවේචනයට ලක් කල යුත්තේ ඒ නිසාය.

Political correctness තුලින් සමාජයක් ලබා ගත් දෙයක් නැත. යම් කිසි ගැටළුවකට එය පදනමක් නොමැති, තාවකාලික විසඳුමක් විය හැකි නමුත් ස්ථිරසාර විසඳුමක් ලබා දිය හැක්කේ තර්කානුකූලව එලඹෙන පියවරකින් පමණි.

අවසාන වශයෙන් නැවත කිව යුත්තේ අයිතීන් ඇත්තේ පුද්ගලයින්ට බවත්, අදහස් වලට නොවන බවත්ය. සෑම අදහසක්ම බුද්ධියේ විවේචනයට ලක් විය යුතු අතර එසේ විවේචනය කිරීම සාධනීය ලක්ෂණයක් ලෙස සමාජගත කල යුතුය. අවිද්‍යාවේ ගැලී සිටින පසුගාමී සමාජයක සිට දියුණු බුද්ධිමත් සමාජයක් කරා එළැඹිය හැක්කේ එවිටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *