වාර්තාකරණයද ඕපා දූප ද? | Reporting or Gossiping?

රූපවාහිනියේ ප්‍රවෘත්ති වාර්තාකරණය කියන දේ පොඩි මියුසික් පාරක් එක්ක බිප් හයකට පස්සේ කියන්න පටන් ගන්න කාලේ පහු වෙලා. දැන් කතාව ඒක හුඟ දුරක් ඇවිත් කියලයි. ඇත්තටම ලංකාව ඇතුලේ ප්‍රවෘත්ති වාර්තාකරණය හිටියට වැඩිය දියුණු වෙලා කියල නම් කියන්න පුලුවන්. දැන් ආධුනික ප්‍රවෘත්ති වාර්තාකාරයො රට පුරාම. ඒ දේ ඇත්තටම හොඳයි. දැන් ඉස්සරට වැඩිය ජනතාවට ප්‍රවෘත්ති ලබා ගන්න පුලුවන් මූලාශ්‍ර තියෙනවා. හැබැයි කාලෙන් කාලෙට එන විලාසිතා වලින් නම් ප්‍රවෘත්ති වාර්තාකරණයටත් බේරෙන්න බෑ වගෙයි.

වාර්තාකරණය කියන එකෙයි ඕප දූපයි අතර තියෙන වෙනස මට හිතෙන විදියට වාර්තාකරණයෙ තියෙන වාස්තවික භාවයයි. ඉංග්‍රීසියෙන් කියන්නේ objectivity කියල. ඒ කියන්නේ පෞද්ගලික හැඟීම් වලින් තොරව නිරීක්ෂණ පමණක් ඒ විදියටම වාර්තා කිරීමයි. පෞද්ගලික හැඟීමක් ප්‍රවෘත්තියක් ඇතුලට එනවා කියන්නේ ගමේ සිරිපිනාගෙන් ඕප දුපයක තත්වයට ඒ ප්‍රවෘත්තිය වැටෙනවා කියන එකයි. ඒ විදියට ගත්තාම සිරසේ තියෙන We Report You Decide කියන දේ තමයි හරියටම වෙන්න ඕනෙ.

  1. ABC ප්‍රදේශයේදී වැසිකිලි වලකට අතැර දමා තිබූ බිළි‍ඳෙකු ගම්වාසීන් විසින් ගොඩට ගෙන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යථා තත්වයට පත්ව ඇති අතර දරුවාගේ මව යැයි සැක පිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
  2. දරුවෙක් අත ඇරලා යන්න තරම් අම්මා කෙනෙක් කොච්චර කුරිරු වෙන්න ඕනෙද? ඒ වගේ අම්මල නිසා අම්ම කියන නමටත් කැලලක් මිසක් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ. අද ඒ වගේ සිද්ධියක් ABC ගමෙන් වාර්තා වෙනවා. අලුත උපන් කිරිකැටියා නගන හඬින් ඕනෙම අම්ම කෙනෙක්ගෙ හදවත උණු වෙනවා. ඒත් එදා ඒ පැල ඇතුලෙන් බිළිඳා නගපු හඬ වැඩි දුර ඇහුනේ නැහැ. ඉපදුනු කිරිකැටියව හදවත දැඩි කරගෙන ඒ අම්මා ලඟ තියෙන වැසිකිලි වලකට ගෙනිහින් දැම්මා. උදේ පාන්දර වැසිකිලියට යන කොට ඒ ගෙදර හදවත් තිබුනු මිනිස්සුන්ට කිරිකැටියගේ අඬගැසීම ඇහුනා. වහාම ගම්වාසියො ටික එකතු වෙලා දරුවාව රුදුරු මරණයකින් බේරාගෙන ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. අනේ මේ කිරිකැටියගේ ජීවිතේ නොනැසී තියෙන්න වාසනාව තිබිලා. දැන් වෙනකොට දරුවගේ අම්මව හොයාගෙන පොලිසිය රිමාන්ඩ් කරලලු.

මේ කොටස් දෙකේම තියෙන්නේ එකම සිදුවීම. ඒත් මේ දෙක ගැන අපිට ආරංචි වෙන්න පුලුවන් විධි දෙකක්. මට හිතෙන හැටියට මේ පලවෙනි ක්‍රමය තමයි නියම වාර්තාකරණය. මොකද කිසිම හැඟීමකින් තොරව සිද්ධිය පමණක් අපිට වාර්තා කිරීම ඒ මගින් සිදු වෙන නිසා (සමහර විට මේ වාක්‍ය තවත් හරි ගස්සන්න වෙයි. මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂක කෙනෙක් නෙවෙයි.).

දෙවෙනි කොටසේ තියෙන්නේ ඒ ප්‍රවෘත්තියම හැඟීම් වලින් බූස්ට් කරල දෙන ඕප දූපයක්. හරි අනුවේදනීය අවාසනාවට ඇත්ත කතාවක්. කෲර අම්ම කෙනෙක්. විරෝධාර ගම්වැසියො. දොස්තර දෙවි වරු. මේ විදියට හැඟීම් වලින් පුරවල දෙන මේක වාර්තාකරණයට අදාල වෙන්නේ නැහැ. මොකද අපිට සිද්ධිය ගැන දැනටම පින්තූරයක් රෙඩි මේඩ් හදල දීලා ඉවරයි. අපිට හදා ගන්න පින්තූරයක් නැහැ.

අදාල සිද්ධිය අහල ඒ ගැන හැඟීම් ඇති කරගන්න එක ප්‍රේක්ෂකයගෙ වැඩක්. නැතුව දැනටම හැඟීම් වලින් පිරිච්ච ‍ප්‍රවෘත්තියක් කියන්නේ අපිට අලුතින් හිතන්න දෙයක් නැහැ කියන එක. සමහර විට ප්‍රවෘත්තියෙ තේරුම වෙනම දෙයක් වුනාට මේ වැඩකට නැති හැඟීම් නිසා වෙනස්ම තේරුමක් අපේ හිත් වලට ඇතුලු වෙන්න පුලුවන්.

හැබැයි අවාසනාවට රෑ අටට යන ප්‍රවෘත්ති විකාශයක උඩ දෙවෙනි කොටසේ තියෙන “අනුවේදනීය අවාසනාවට ඇත්ත කතාව” ඒ විදියටම යන හැටි අද මට බලාගෙන ඉන්න වුනා. රූපවාහිනියෙ යන විසූක දස්සන මට පාලනය කර ගන්න බැරි නිසා රූපවාහිනිය බැලීම සම්පූර්ණයෙන් අත් ඇරල හිටියට රටේ ලෝකෙ වෙන ‍දෙයක් බලන්න කියල ගෙදර ආපු ගමන් මහන්සියට අටේ ප්‍රවෘත්ති බලන්න පටන් ගත්තාම මට ලැබුනේ සිරිපිනාගෙ ඕප දූපයක්. නිවේදිකාවගෙ ඇස් දෙකෙන් කඳුලු වැක්කෙරෙනවා.

සමහර විට රිමාන්ඩ් කරල තියෙන්නේ හරි අම්මා නොවෙන්න පුලුවන් (පොලිසියට වෙන “වැරදි” ගැන ඇහුවාම ඒක හුඟක්ම වෙන්න පුලුවන්). සමහර විට ඔතන තියෙන්නේ වෙනම කතාවක් වෙන්න පුලුවන්. ඒ දේවල් ගැන විශ්ලේෂණය කරල හිතන්න ප්‍රේක්ෂකයට ඉඩ දෙන්න ඕනෙ. ඒත් අර උඩ ඕප දූපෙ ඇහුව ගමන් මොන විශ්ලේෂණයක් වත් කරන්න වෙන්නේ නැහැ. මොකද ප්‍රවෘත්තිය දැනටම හැඟීම් වලින් දූෂ්‍ය වෙලා නිසා.

ඒත් ඉතිං මේක තමයි දැන් විලාසිතාව. කොහෙ හරි බන්ට් එකක් අල්ලගෙන ග්‍රාමසේවකත් සෙට් කරගෙන වලියක් අවුස්සලා එතන ඉඳන් ත්‍රාසජනක වාර්තාකරණය කිරීම, ප්‍රසිද්ධ ස්ථාන වල දුම්බොන අය පස්සෙ ගිහින් වීඩියො කිරීම වගේ විලාසිතා අස්සේ මේවත් “නැගලා යන” දේවල් (මහා පරිමාණයෙන් වංචා, හොරකම්, නීති උල්ලංඝනය කිරීම් වෙන රටේ ඒව පස්සෙන් ගිහින් වීඩියෝ නොකිරීම වෙනම කතාවක්. තව ටික දවසකින් කපල්ස් ඉන්න කාමර වලට රිංගනකන් මම ඉන්නේ. තහනම් කරල තියෙන එකේ වේලි වේලි ඉන්නකොට ප්‍රවෘත්ති වලින්ම ඒව සපයන ‍එක කොච්චර හොඳයි ද?).  මීට ටික කාලෙකට කලිනුත් ඔය වගේ විකාරරූපි දේවල් ටිකක් ප්‍රවෘත්ති ඇතුලට රිංගුවා. අපි නොදන්න ලයිව් වලින් කුඩේ යටට වෙලා ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තට පස්සේ මම හිතන්නේ ඒවා නැවතුනා. ‍

මේව කොහෙන් නවතියි ද?

හොඳම දේ තමයි ගොසිප් ලංකා අඩවිය මේ රූපවාහිනී නාලිකාවට වැඩිය වාස්තවික විදියකට ප්‍රවෘත්ති වාර්තා කිරීම. අබුද්දස්ස කාලෙද මන්ද?

13 thoughts on “වාර්තාකරණයද ඕපා දූප ද? | Reporting or Gossiping?

  1. Pingback: Tweets that mention වාර්තාකරණයද ඕපා දූප ද? | Reporting or Gossiping? – Out In The Open -- Topsy.com

  2. සිරාවටම!
    මේක මෙහෙම වෙලා තියෙන්නෙ තවත් මිනිස්සුන්ට සමීප වෙන අදහසින් වෙන්න ඕන… මොකද මිනිස්සු ඒ මොහොතෙ දැණෙන දේ සොයාබැලීමෙන් ‍තොරව විශ්වාස කරන්න පෙළඹෙන නිසා… අපි මෙහෙම කිව්වට ටීවී එක බලන මිනිස්සුන්ට ඒව තමයි ප්‍රවෘත්ති… මෙයාල මිනිස්සුන්ට හිතල තීරණය කරන්න ඉඩ දෙනව වෙනුවට සිතිය යුතු දේ කලින්ම තීරණය කරල ඒක මිනිස්සුන්ට දෙනව… මේ කතාව හැමදේටම පොදු වෙලා ඉවරයි… ඕන කෙනෙක් නොදැනුවත්ව හෝ අනිත් අය කියන දේ හැඟීම් වලට යට වෙලා සෙවිල්ලෙන් තොරව විශ්වාස කරනවනේ…

    • සප්ලයි ඩිමාන්ඩ් නේද. ඒ කිව්වේ මුලින් මේ කුණු සප්ලයි කරනවා. පස්සේ ඒකට ඩිමාන්ඩ් එක හැදෙනවා :D

      කොහොමත් අපේ මිනිස්සු වැඩිය නොහිතා මොනව හරි රෙඩි මේඩ් ඔලුවට දාගන්න කැමතියි. හරියට හිතන්න හරි මහන්සියි වගේ.

  3. මේක හොද නිරීක්ෂනයක්.ලයිව් ඇට් එයිට් කියන්නෙ ලංකාවෙ හැදීගෙන යන ආතල් සමාජෙට නියමෙට ගැලපෙන වින්දනීය ප්‍රවෘත්ති වැඩසටහනක්.ඒ ව‍ගේ සමාජයක සීරියස් දේවල් නැහැ.තිබෙන්නෙ සරල වින්දනය විතරයි.
    විශේෂයෙන් දේශපාලන ප්‍රවෘත්ති මොවුන් විකාශය කරන ආකාරය දකින දේශපාලනය ගැන අවම සංවේදීකමක් තියෙන ඕනෙම කෙනෙක්ට ඔක්කාරෙට එනවා.ඒ තරමට ප්‍රවෘත්ති මැයෙන් ඇද බාන්නේ ආත්මීය මනෝ විකාර.අලුත් නිදහස කියල මොවුන් ප්‍රචාරය කරන නිව්ස් අයිටම් එකක උතුරෙ සිද්ධ වෙන සංවර්ධනය ගැන සාහිත්‍යමය විවරනයක් යනව මම ලගදි දුටුව.නාලක ස්වර්නතිලක රාහුල හිමි පරදන මට්ටමෙන් පුරවර වර්නනාවක් එතනදී ලියල තියෙනවා.උතුරේ වත්මන් ජන ජීවිතයේ ඇත්ත සාහසික විදිහට සගවලා අමුම අමු මුසාවක් කාව්‍යමය දවටනයක ‍ඔතල ප්‍රවෘත්ති විදිහට ඉදිරිපත් කරද්දි – ලංකාවේ ගවේෂනාත්මක ජනමාධ්‍යවේදයක් ගැන කතාකරන්නවත් දෙයක් තියෙනවද?

    • ඒක ඇත්ත. මේකෙ මූලය තියෙන්නේ රට ඇතුලේ හරි හමන් ජනමාධ්‍ය සංස්කෘතියක් හැදිලා නැති වීම. කොයි පැත්තෙන් බැලුවත් සම්පූර්ණයෙන් පක්ෂග්‍රාහී මාධ්‍ය (සම්පූර්ණයෙන් අපක්ෂපාතී මාධ්‍ය බලාපොරොත්තු වෙන්න බැහැ) විතරයි තියෙන්නේ. ප්‍රවෘත්ති නම් මේ වගේ චැනල් දෙකකවත් අවම වශයෙන් බලලා ඒ දෙකේ කියන දේවල් වල මධ්‍යයන අගය තමයි ගන්න වෙලා තියෙන්නේ.

  4. මතක විදිහට ඔය ටයිප් ප්‍රවෘත්ති කෙරුවාව පටන් ගත්තෙ ශ්‍රී FM එකෙන්.. ;)

    • කනාමැදිරි රාත්‍රිය කරන්නේ ඒකෙන් නේද? එහෙනම් දැන් ප්‍රවෘත්ති වලයි කනාමැදිරි රාත්‍රියෙයි දවාලෙයි වෙනසක් හොයාගන්න බැරුව ඇති.

  5. රාමා කිව්වා වගේ සමාජය ඉල්ලන ආතල් ප්‍රවෘත්ති සැපයීම ස්වර්ණවාහාණිය නියමෙටම කරනවා. මුංට මළමිණියක් හම්බවෙනවා කියන්නේ ඉල්ලමක් පහල උනා වගේ. ස්ටුඩියෝ එකේ හොටු කඳුළු පෙරනවා දැක්කහම බලන්න අජූවයි.
    (ඒක නෙමේ. අර කළුතර දරුවා වෙ‍නුවෙන් මුං කීයක් එකතු කලාද, කීයක් ඒ පවුලට දුන්නද කියලා හොයාගන්න විදිහක් නැද්ද?)

    • කලුතර සිද්ධියෙදි ඔය කියන ඒවා කරනවට වැඩිය දැන් ගමක් ගමක් ගානෙ ගිහින් වලි අවුස්සන්න තියෙනවනෙ. ඒක නිසා ඒ පාවුන පාවිල්ල ආයේ පාවුනොත් මිස ඒ පැත්තටනම් හොට දානව බොරු

  6. absolutely right

    I am also give-up news on local channels with as their day time fantasies and meaning less funky stuff instead of NEWS which remain something to deal or cogitate.

    It seems Swarnawahini is the damn stream who ruin with Realty program in recently lead this cheap style of reporting while embed titles of impartiality along side.

    As writer said ,those idiot market the slight mishap of innocent while much more major case of corruption and malpractices play on.Most humiliating thing is those marketing idiot highlighted them as they are the hundred percent perfects on earth.

    If Swarnawahini got their own iddentity earlier all vanished with their partial praise for government.

    Media should have accepted standard way for NEWS reporting which based on prospect of news.But with way of our country pulling ….we also have to Rock with ‘Baila’

    We are sorry about Srilankan art of media and Swaranvahini .

    • Our culture of news presentation should evolve, that is for sure. But this is the kind of evolution that also resulted in Soap Operas.

      There are other news providers from the list of channels we have here. Some of them perform it very well. Sadly this so called “pride of the nation” is the leading bull crap provider for the whole country.

      Frankly, there is no difference now in their news telecast and the mega series dramas that follow.

  7. Pingback: ඇ/අටේ ප්‍රවෘත්ති | (BS) News Telecast – Out In The Open

  8. ඇත්ත… ස්වර්ණවාහිණී ප්‍රවෘත්ති නම් ගන්නම දෙයක් නෑ…. දයාවතීලට, එන්සිනාලට තමයි ඒවා කියන්නේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *