සිකුරාදා

“හෙට එනවද උඹ?“

මෙහෙම ආරම්භ වුන කතිකාවතක් අන්තිමට කොට්ටාවෙ පැනොරාමා එකේ ඕල්ඩ් ඇරැක් එකක් කඩන තැනටම ගියා. මේ සිකුරාදාවක්. වැඩ ඉවර වුනත් නැතත් හිතේ පෙට්‍රල් අන්තෙටම පාවිච්චි කරල වාෂ්පෙන් දුවන දවස. වයිපරේට බොරුවක් දාලා කුණුහරපයක් දෙකක් කියල ෆන් එකක් දාන දවස.

දවස් පහක් වැඩ කරනව කියන්නෙ ඇත්තටම පෙට්‍රල් වුනත් මදි වෙන කාලයක්. ලේ හිඳුනු මූණු, ආයෙ ආයෙ එකම දේ කරන වැඩ, එකම ගද ගහන ලිෆ්ට් එක වගේ ඒකාකාරී කාලසටහනට ග්‍රෙනේඩ් එකක් ගැහුවා වගේ අවුල් වෙලා යනවනං විතරයි සමහර වෙලාවට මේ ස්ථර වලින් යට ගෙවෙන ජීවිතය කියන දේ පේන්න පටන් ගන්නෙ. ඕන බම්බුවක් කියල සිස්ටම් එකෙන් පිට පැනල කැම්පස් කාලෙ වගේ බංකුවක් උඩට වෙලා වල් පල් කියවන්න හිතෙන්නෙ මේ නොස්ටැල්ජියාව නිසා. සිකුරාදා මේ සිස්ටම් එක ඩිස්රප්ට් කරන්න පුලුවන් එක දවසක්.

කොහොම වුනත් පලවෙනි බෝතලය කඩනකොට ෆූටා ගැන කතා කරන්න පටන් අරන් කැම්පස් එක, ටැරන්ටීනෝ, ක්‍රිස්ටියන් බේල්, ඩේවිඩ් ලින්ච් අතරට ගිහින් ඊට පස්සෙ හොඳටම බීපු දවස් වලිනුත් පස්සෙ ගෑණු, අත ඇරුනු ගෑණු, හොර ගෑණු කතාවට එද්දි දෙවැනි බෝතලෙත් අඩිය පේන්න පටන් අරන්. මේ එක වාක්‍යයකින් බෝතල් දෙකක්. බිව්වාම මාර විදියට සෙන්සිටිව් වෙනව. සමහර දේවල් මතක් කරල කඳුලුත් උණනව. අන්තිමට ලඟදි පුරුදු වුනා වගේ කපුගේ ගෙ හරි මිල්ටන් ගෙ හරි සින්දුවකට තට්ටුවක් දාලා වැඩේ අවසාන කරන්න හැදුවත් අර ඇවිදින තැබෑරුමට ගෙදර යන්න ඕන වුන නිසා විසිර යන්න වුනා. අන්තිමට අතේ තිබ්බ රුපියල් සීයෙන් යන්න පුලුවන් උපරිම දුර ත්‍රීවිල් එකකට පූජ කරල ඉතුරු ටික ගෙදරට පයින් ගියා. ඊට පස්සෙ අමාරුම වැඩේ තිබුනෙ අම්මට හොරෙන් බාත් රූම් එකට රිංගන එක.

තට්ටුවක් දාන්න බැරි වුනත් වික්ටර්, සුනිල්, කපුගේලගෙ ලිස්ට් එකෙන් හිත සන්සුන් කර ගන්න පුලුවන් ගෙදරට ඇවිත්. ට්‍රිප් එකක් යනකොට දෙකයි පනහෙ ප්ලේන්ටියෙ බුවා* එක්ක කියන්නෙ  කපුගේ ගෙ “රුවක් ඇදෙනවා“. නැත්තං ඌට වෙරි වුනාම හැමදාම කියන “මේ ගඟ මේ දුරු කතර ගෙවා“. ඒත් මේ කවුරු ඇහුවත් අමරදේවගෙ “මා වවුලන්“ අහන්නැතුව නිදා ගන්නත් අමාරුයි. ඒ අර එක්ස්ට්‍රා සෙන්සිටිව් අරිෂ්ඨය නිසාමද මන්ද. තැබෑරුමයා එක දවසක් මා වවුලන් පිස්සු හැදෙන ගානට කිව්ව. එදා ඉඳන් ඒක එකා යකා වුන මට කිව්ව සින්දුවක් වුනා.

දැන් ලෝකෙම කැරකැවෙන තත්වෙට ඇවිත්. ඒ කියන්නෙ දෙයියනේ කියල ඇස් දෙක පියා ගන්න වෙලාව. ඒත් මේක ලියල ඉවර කරන්න ඕනෙ. රිපෝට් එකක් ද, ප්‍රබන්ධයක් ද, ඒකෙත් කෙටි කතාවක් ද හිතා ගන්න බැරි වුනත් ඩිස්රප්ටිව් සිකුරාදාවක් සමරන්න මේ තුනම එකතු කලත් මදි.

* ප්ලේන්ටියකට අමුතු වැඩ කලා යැයි ප්‍රසිද්ධ අයෙකි. සන්දර්භගත නිසා ඒ ඒ සන්දර්භයේ එවුන්ට පමණක් තේරුම් යන යෙදුමක් වේ.

සැ.යු.
ප්‍රබන්ධයකි. සියලු නම් ගම් සිදුවීම් මනඃකල්පිතයි.

One thought on “සිකුරාදා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *