සිරිසේනගේ බ්‍රාහාඩය – Sirisena’s Brahad

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ජීවිතයේ ඉතා වැදගත් ගැටලුකාරී සංධිස්ථානයකට පැමිණ ඇති බව පෙනී යනවා. සාමාන්‍ය පුරවැසියෙකුටනං මෙය Midlife crisis ලෙස හදුන්වාගත හැකි වුවත් ජනාධිපතිවරයා එම ගැටළුව ගැන යොමු කරන අවධානයත් එම ගැටළුව කෙරෙහි කරන ප්‍රතිචාරයන් දෙසත් බලන විට එය විශේෂ වූ midlife crisis එක හදුනා ගන්න පුලුවන්. එම ගැටළුව නං තමන් ජනාධිපතිවරයෙකු ලෙස කුමන භූමිකාවකට පණ පොවන්නේද යන්නයි.

සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් වෙනස් වන්නේ මෙම වැදගත් ලක්ෂණයෙන්. ඔහු තමන් පණ පෙවිය යුතු භූමිකාව සැලකිය යුතු ලෙස ඉක්මනින් හදුනාගත්තා. ඒ අනුව කාලයකට මතක තබා ගත හැකි ලෙස දූෂිත, ජාතිවාදී සහ බල ලෝභී ජනාධිපතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ සාර්ථක වුනා. නමුත් ඔහුව පරාජය කර සිරිසේන ජනාධිපතිවරයා පැමිණෙන්නේ මහින්ද විරෝධී රැල්ලක් මතින් නිසා ඔහු තවමත් තමාගේ ජනාධිපති අනන්‍යතාවය සොයාගත නොහැකිව ලත වෙන බවක් පෙනී යනවා.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පිලිබද සංවාදයේදීත්, පසුගිය අයවැය යෝජනාවලියේදීත් සිරිසේන ජනාධිපතිවරයාගේ රැල්ලට ඇති ඇල්ම බොහෝ සෙයින් කැපී පෙනුනා. මහින්ද රාජපක්ෂ ජනප්‍රියවාදී චරිතයක් වුවත් ඔහුට ජනප්‍රියවාදය පිලිබද නිසි ඇජෙන්ඩාවක් තිබුනා. නමුත් වත්මන් ජනාධිපතිවරයා ඇජෙන්ඩාව පසෙකලා රැලි මත පමණක් තම විශ්වාසය තැබීමට තීරණය කර ඇති බවක් පෙනී යනවා.

ඒ ආකාරයේ තවත් සිදුවීමක් වන්නේ කාන්තාවක් තමාගේ තනපටය එන්රිකේට විසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ෆේස්බුක් ප්‍රතිචාරයන්, ජනාධිපතිවරයෙකු ලෙස තමන් ප්‍රතිචාර දැක්විය යුතු දෙයක් ලෙසට ඔහු විසින් වරදවා වටහා ගැනීමයි. ඒ අනුව යමින් එසේ තනපට විසි කිරීම ලාංකීය සංස්කෘතියට ඉතා දරුණු බලපෑමක් කරන බවත්, එම සංදර්ශනය සංවිධානය කල අය මඩු වල්ගෙන් තලා දැමිය යුතු බවත් ඔහු යම් තැනකදී ප්‍රකාශ කරනවා.

ඔහුගේ අවාසනාවට දැන් එම කතාව ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා. රටේ නායකයා කල කතාවෙන් ලංකාව, ඇෆ්ගනිස්ථානයටත් වඩා පසුගාමී රටක් ලෙස ලෝකයා වටහාගෙන තිබෙනවා. දැන් මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාවද?

සත්‍ය වශයෙන්ම ඇෆ්ගනිස්ථානය තරම් නොවුනත් ලංකාවේ සැලකිය යුතු බහුතරයක් ඉතා පසුගාමී චින්තකයින්. සමාජවාදී යැයි පවසාගන්නා පක්ෂ වලින් සමරිසි-භීතික (homophobic) නිල ප්‍රකාශ නිකුත් වන රටක බහුතරයක් පසුගාමී වීම පුදුමයක් නොවේ. නමුත් නායකයෙකුගේ වගකීම වන්නේ රැල්ල පැදීම නොව නිවැරදි තීරණ ගැනීමයි. බහුතරයක් ෆේස්බුක් පරිශීලකියන් අති සාම්ප්‍රදායික හණමිටි අදහස් දැරූවන් වුනත්, තනපට විසි කල කාන්තාව ගල් ගසා මරා දැමිය යුතුයි යැයි ජිහාඩයක යෙදෙන පසුගාමී බහුතරය තරයේ හඩ නැගුවත් නිවැරදි නායකයෙකු එහිදී බහුතරයට එරෙහි විය යුතුයි. නමුත් වත්මන් ජනාධිපතිවරයා එලෙස තීරණයක් ගැනීමට යම් බියක් දක්වන බව පෙනී යනවා. ඒ වෙනුවට ඔහු තනපටයට එරෙහි ජිහාඩයට ඉතසිතින් කැප වෙන බව ජනතාවට පෙන්නුම් කරනවා.

අනෙක් අතට ඔහුගේම රජයේ අමාත්‍යවරුන් විසින් සිදු කරන අනවසර කැලෑ එලි කිරීම්, පුද්ගල පැහැරගැනීම් ආදිය පිලිබද නිහඩ පිලිවෙතක් අනුගමනය කරන ජනාධිපතිවරයා, දේශපාලනික හෝ පරිපාලනමය වශයෙන් කිසිදු හෝ වැදගත්කමක් නොමැති “රෙද්දක්” ගැන අදහස් දැක්වීම විහිලුවක්. වර්ථමාන රජයේ එක්තරා ඇමතිවරයෙකු විසින් සිදු කරගෙන යන විල්පත්තු වන සංහාරය පිලිබද දැවැන්ත සංවාදයක් මේ වන විට රට තුල ඇති වී තිබුනත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පොරොන්දු වූ යහපාලනය ඒ සදහා ක්‍රියාත්මක වීම තබා විල්පත්තු වන සංහාරය පිලිබද කෙල බිදක් හෝ ඔහු පිට කලේ නැහැ. එලෙසම මෑතකදි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මහ දවාලේ තරුණයෙකු පැහැරගෙන යාම පිලිබද වීඩියෝ සාක්ෂි තිබියදීත් ජනාධිපතිවරයා ඒ පිලිබද කිසිදු අදහසක් දැක්වූයේ නැහැ. එසේ තිබියදී තනපටයක් පිලිබද එක්වරම කරුණු දැක්වීම රටක ජනාධිපතිවරයෙකු ලෙස කල යුතුදැයි සිතීමට ජනාධිපතිවරයාට නොහැකි වුවත් ඔහුගේ උපදේශකයෙකු හෝ කල යුතු වනවා.

එසේ නොමැතිව මෙලෙස රැල්ල පැදීම දිගටම කරගෙන ගියහොත් “සරල මානව හිතවාදී” චරිතය රගපෑමට මීලග වතාවේදී නිදහස් චතුරස්‍රයට හෝ Food Court එකට පැමිණෙන විටදී ජනාධිපතිවරයා දෙසට හම්පඩ වෙන්නම පාවිච්චි කල තනපට විසි වීම වැලැක්විය නොහැකි වනු ඇති. එවිට ජනාධිපතිවරයාගේ ෆේස්බුක් උපදේශකයින්ට සිදුවෙන්නේ Feeling Sad with M3 and 6.2mn others වෙන්නටය.

1610044_10207933757412677_3170861378396324158_n

3 thoughts on “සිරිසේනගේ බ්‍රාහාඩය – Sirisena’s Brahad

  1. මෙසේ තමන්ගේ අසාර්ථක බව දිගින් දිගටම ඔප්පුකරමින් යනවිට ඉතාමත් භයානක ප්‍රතිවිපාකයන්ට රටක් ලෙස අපටත් නායකයෙකු(?) ලෙස ඔහුටත් මුහුණ දීමට වීම මත, ඔහුගේ අනාගතය අප විසින් තීරණය කලයුතු දවස ඔවුන් සිතුවාටත් වඩා ඉක්මනින් අප වෙතට පැමිණෙනු ඇති. එසේ වූ වුට සුළුතර පිරිස් බලයක් හිමි රජයකට වියහැකි ආසන්නතම විපාකය My3 හට සිදු නොවෙතැයි සිතන්නේ කෙලෙස?
    seriously you need to grow up my3!!

  2. Of course his remark was totally an unwanted one.Why does any president worry about Bras of women neglecting thousands of very urgent affairs and problems at hand?

  3. ඇත්ත! සිරිසේන ජනාධිපතිධූරයට ඔසවා තැබුවේ සාපේක්ෂ වශයෙන් ඉදිරිගාමී පිරිසක්. (මහින්ද සම්බන්ධයෙන් තත්වය ඊට වෙනස්, මහින්ද එහු වගේම පිරිසක් එක්ක ගමන ගියා, ඒ නිසාම ඔහුට අවුලක් ඇතිවුනෙත් නෑ). කල් ගතවෙද්දි කලයුත්ත නොකලයුත්ත කුමක්ද කියල හඳුනාගන්න බැරි අනන්‍යතා අර්බුධයකට මුහුණදීමට සිදුවීම නියත වශයෙන්ම සිදුවියයුතුව තිබුන දෙයක්. දැං වෙලා තියෙන්නෙ ඒක.