ලාංකීය FOSS වාදීන්ට සිතීමට යමක්

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ මැයි 14 සිට 16 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැතුනා. Software zone, Student Projects, Robotics, School Projects, Games, Hardware zone ආදි ලෙස විවිධ අංගයන් ප්‍රදර්ශනයේ තිබුනා. සිත් ඇදගන්න සුළු පර්යේෂණ අංග කිහිපයකුත් තිබුනා. සාමාන්‍ය ප්‍රමාණයකින් පැවතුන ප්‍රදර්ශනයක් කියලා කියන්න පුලුවන්. එක් පීඨයකින් පමණක් සංවිධානය කරපු නිසා වෙන්න ඇති.

නමුත් මෙහි කතා කල යුතු කාරණය ඉහත එකක්වත් නෙමෙයි. ප්‍රදර්ශනයට තබා තිබුන ව්‍යපෘති වලින් FOS/Free තාක්ෂණ භාවිතා කර තිබුනේ 20% පමණ ව්‍යාපෘති වල පමණයි. Java හෝ PHP හැර වෙනත් නිදහස් තාක්ෂණයක් භාවිතා වුනේ නැති තරම්. Java වල නිදහස් භාවය පවතින්නේ localhost තුල පමණක් නිසා සැබෑ ලෙසම FOS තාක්ෂණවලට එහි තැනක් තිබුනේ නැහැ කියන එක ඕනෑම නරඹන්නෙකුට පැහැදිලි වන කරුණක්. ඉතුරු සියල්ල Microsoft තාක්ෂණ භාවිතයෙන් ක්‍රියාත්මක කල ව්‍යාපෘති.

Microsoft Imagine Cup සඳහා වෙනම කාමරයක් වෙන්වී තිබුනත් FOSS සඳහා එකම එක කුටියක්(stall) පමණක් තිබීම නිරීක්ෂණය වුන අනෙක් කරුණ. මෙයින් Imagine Cup කාමරයේ නවතම Microsoft තාක්ෂණ පිළිබඳ හා මෙවර Imagine Cup තරඟයට මෘදුකාංග අංශයෙන් ඉදිරිපත් වී ඇති ව්‍යාපෘති පෙන්වා තිබුනා. FOSS කුටියේ ලිනක්ස් මෙ‍හෙයුම් පද්ධති කිහිපයක් ස්ථාපනය කර තිබූ PC ටිකක් පමණක් තිබුනා. මා එතනට ගොස් අලුතින් කල ව්‍යාපෘතියක් හෝ එවැනි යමක් තිබේදැයි ඇසූ විට ලැබුන පිළිතුර වූයේ එම කුටිය FOSS හඳුන්වාදීමට පමණක් ඇති කුටියක් බවයි.

ජාලකරණය (Networking) කාමරයේ තිබූ සියලුම තාක්ෂණ වාණිජ බව කිව යුතුයි. CISCO, Notel වැනි තාක්ෂණත් Exchange Server හා Outlook පිළිබඳවත් පමණක් එහි ප්‍රදර්ශනය වී තිබුනා. මේ යෙදුම්(PBX) සඳහා FOSS මෘදුකාංගද ඇති බව මම අසා තිබෙනවා. නමුත් එකක්වත් එහි තිබුනේ නැහැ.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ පීඨයක් Microsoft විසින් දැලේ දමාගෙන එකාධිකාරයක් පවත්වාගෙන යන තුරු FOSS ව්‍යාපාරය අල කෑවාද යන්න පමණක් ඇසීමට ඇත. වෙබ් අඩවි තුල FOSS ගැන කතා කිරීමෙන් පමණක් පළක් වෙන්නේ නැති බව මම දෑසින්ම දුටුවේ අද. මා කලින් පැවසු විදිහටම ලංකාව තුල සැලකිය යුතු ප්‍රමාණයක FOSS community එකක් තිබෙනවා. නමුත් එහි වැඩ කිඩ නිහඬ හා වෙබ් අඩවි වල පමණක් සිදු වන පොර ටෝක් වලට සීමා වී තිබෙනවා.

FOSS නිර්මා‍ණකරුවන් part-time එම කර්තව්‍ය කරනවා කියා කියනවානම් එවැනි community එකකට Microsoft වැනි වාණිජ සමාගමක වෙළඳ ප්‍රචාර සමඟ තරඟ කරන්නේ කෙසේදැයි ඕනෑම කෙනෙකු සිතන්නට පුලුවන්. “මොලේ තියෙනවනම් මාරුවෙයි” කියන එකත් වලංගු නැති තර්කයක්. මොකද සමාගමක තොරතුරු තාක්ෂණය පිළිබඳ තීරණ ගන්නේ බොහෝ විට ඉහල නිළධාරීන්. ඔවුන්ට මේ පිළිබඳ තිබෙන දැනුම අඩුයි. අන්තිමේදී Microsoft වල සාර්ථක වෙළඳ ප්‍රචාරවල ප්‍රතිපලයක් ලෙස බහුතර සමාගම් Microsoft වලට හැරුණොත් ඉතුරු ටිකත් හැරීම වලක්වගන්න බැහැ. මොකද ඒ අය කැමති නෑ අනිත් අයට වාසියක් ලබාදෙන්න.  ඊළඟට බහුතරව පාවිච්චි වෙන්නේ Microsoft තාක්ෂණ නම් අනිත් අයටත් Microsoft තාක්ෂණ භාවිත කිරීමට බලෙන් හෝ සිදුවීම අනිවාර්යයි. එතන compatibility ගැන ප්‍රශ්නයක් එනවා. තවත් හොඳින් සොයා බැලුවොත් (පරිගණකයෙන් නැගිට ගොස්) දැනටම බැංකු, බොහෝ පෞද්ගලික ආයතන Microsoft Office 2007 වලට මාරු වී ඇති බව පෙනෙයි.

ඒ නිසා දැන්වත් ‍FOSS කියන වචනේ නිකන් ගෙදරට විතරක් තියාගෙන ඉන්නේ නැතුව සැලසුම් සහගත ව්‍යාපාරයක් එයින් දියත් කල යුතුයි. නැත්නම් අකමැත්තෙන් වුවත් Matrix එක, Microsoft Windows ඇතුලේ දුවවන්න වෙයි.

වැදගත් : මෙහි වාණිජ මෘදුකාංග නියෝජනය කිරීමට Microsoft යොදාගෙන ඇතත් ශ්‍රී ලංකාව තුල අනෙකුත් වාණිජ සමාගම් වල තත්වයත් මෙයයි. Microsoft යනු උදාහරණයක් පමණක් බව සැම විටම මතක තියා ගන්න.

15 thoughts on “ලාංකීය FOSS වාදීන්ට සිතීමට යමක්

  1. මේවා මෙලෙස වීමට ගොඩක් හේතුව FOSS කියාගෙන ඉන්න අයගේ attitude, මොකද දන්නේ නැති කෙනෙක් FOSS දේවල් වලින් මොකක් හරි කරන්න ගියොත් හරි උපදෙසක්, document එකක් නෑ. ගොඩක් අය මා එකක්ක මේකට විරුද්ද වෙයි, ඒත් ඇත්ත මේකයි. නමුට් Microsoft tool එකකින් වැඩක් කරන්න ගියොත් හොද help, document වගේ දේවල් තියනවා. නමුත් FOSS ගොඩක් වෙනස්, IRC එකකට අලුතෙන් ගිහින් මොකක් හරි ඇහුවොත් කියනේ RTFM හෝ spoon feed කරනේ නෑ කියලා. මේවගේ දේවල් වෙනස් වෙනකන් FOSS වලට ඉදිරියට එන්න අමාරුයි.

    හැමදාම කියනවා වගේ පරිගනක බාවිතාකරනේ 98%ම geek ලා නොවෙයි, තමන්ට පැව් ලියගන්න පුලුවන් අය නෙවෙයි, ඉතින් මේ 98%ම බාවිතාකරනේ මේ FOSS නොවන support ඇති දේවල්.

    මම ඇත්තටම FOSS වලට කැමතියි, ඒත් FOSS බාවිතාකරනවා කියාගෙන ඉන්න GEEK ලගේ attitude වලට අකමැතියි, මේ ගොඩක් අය ලිදේඉන්න ගෙම්බෝ වගේ, කරන එකමදේ වින්ඩොස් වලට බනින එක පමණයි, නමුත් මේක නොවෙයි කල යුත්තේ, වින්ඩොස්/microsoft වල ඇති හොද දේ FOSS වලට ඇතුලත් කිරිමා හා user support.

  2. @ කාලිංග
    ඒක ඇත්ත. FOSS වලට තියෙන documentation අන්තිමයි. හැබැයි කවුරුවත් ඔය ප්‍රශ්නේ හදන්න බලන්නේ වත් නෑ. හැමදාම අනිත් ඒවට බැන බැන ඉන්නවා මිසක්.

    මේ ළඟදි යාලුවෙක්ගේ මොඩම් එකක් උබුන්ටු වල වැඩ කරන්නේ නෑ කියලා ඒක්ට විසඳුමක් හොයලා තියෙනවා. ලැබිච්ච පැකේජ් එක source එකක්. ස්ථාපනය කරන්න ඕනේ compile කරලා. දැන් බලන්න සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ගෙන් කීයෙන් කී දෙනෙක් compile කරන්න දැන ගෙන ඉඳියිද? අන්තර්ජාල ස‌බඳතාවය ලිනක්ස් වල වැඩ කරන්නේ නැත්තන් ඕනෙම කෙනෙක් කරන්නේ ආයේ වැඩ කරපු මෙහෙයුම් පද්ධතියට මාරු වෙන එක.

  3. @Chamila

    ඔව්, මේක මටද උනා, Ubuntu 8.10 වල වැඩකරපු ගොඩක් Modem, CDMA Phone වගේ දේවල් Ubuntu 9.04 වල වැඩ නෑ, මේවට හරි විදුමක් වත් උඅතර වත් නෑ, මේවා දාන්න apt-get කරන්න, dependency දාන්න හොද අන්තර්ජාල සම්බන්ද තවයක් ඕනේ, මේකට හේතුව මේය non-open drivers CD එක සමග නොදීම. ගොඩක් අයට මේක download කරන්න බෑ, ඇයි? මොඩම් එක නැතුව කොහොමද අන්තර්ජාලයට යන්නේ ? :D

    ගොඩක් pro foss අයට මේ document, hardware support ගැන කතා කරහම තරහා යනවා, නමුත් කරන්න ඔනේ මෙවගේ ගැටලු විසදන එක මිසක්, windows, mac හෝ Microsoft එකට බැන බැන ඉන්න එක නොවෙයි.

    මේවා තේරුම් ගත්ත කාලෙකට අපිට හොද FOSS OS එකක් ගන්න පුලුවන්.

    මොකද් ඇමරිකාවේ ලොකු FBI, Air force වගේ අය මේ Windows/MAC බාවිතා කරනේ ? ඒවට හරි support එකක් ඇති නිසා, මොකද අඩුගානේ මේවගේ IE ඇරෙන්න වෙන browser බාවිතාකරන වත් තහනම්.

    FOSS කියනේ code ලිවීම හා නොමිලේ දීම විතරක් නොවෙයි, මේවා බාවිතාකරන්න පහසු කරන එකහා ඒවට උපකාර document ඕනෑම කෙනෙකුට තේරෙන ආකාරයට සැකසීම.

  4. අනිත් දේ තමයි FOSS කියන්නේ ෆැෂන් එකක් වෙලා තියෙන්නේ. උබුන්ටු කියන්නේ දැං ට්‍රෙන්ඩ් එකක්. “මම නං පාවිච්චි කරන්නේ උබුන්ටු… අපෝ වින්ඩෝස් මහ ජරාවක්නේ.. වයිරස් පිරිලා..” වගේ ටෝක් දෙන එක තරම් වෙන ආතල් එකක් නෑ උන්ට.
    මම හිතන්නේ මේක ලෝකය පුරා පොදු සංසිද්ධියක්. ඉතින් ඒ වගේ userලාගෙන් කොහොමද foss සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ?

    foss අවශ්‍යයි. මොකද නිකං සමාගම් වලට වෙලඳපොල ඒකාධිකාරයක් දීලා ඔවුන්ට මිටි ගණන් මුදල් දෙන්න ඕනෙ නෑ නෙ. නමුත් foss application වලට තව දේවල් තියෙනවා proprietary වලින් ඉගෙන ගන්න. ඒවා අරගෙන foss දියුනු නොවීමයි දුක.

    ලිනක්ස් ඩිස්ට්‍රො සෑහෙන්න ගොඩක් ෆ්‍රී දීලත්, උබුන්ටු හෙම ගෙදරටම නිකං එවලත්, ඇයි ලෝකයේ පරිගණක වලින් 95%කම වගේ තවමත් Windows හෝ Mac පාවිච්චි කරන්නේ. අන්න ඒකට පිලිතුර හොයාගෙන ඒ ගුණාංග foss OS හා application වලට ඇතුලත් කරපු දාට foss සාර්ථක වෙයි.

    (මේ බ්ලොග් අවකාශයෙම මම දැකලා තියෙනවා “වින්ඩෝස් වල user friendly බව උබුන්ටු අහලකින්වත් තියන්න බෑ, උබුන්ටු ෆුල් යූසර් ෆ්‍රෙන්ඩ්ලි, වින්ඩෝස් පරාදයි” වගේ කතා. ඕවා දැක්කාම හිනා කාලා මැරෙනවා.)

  5. FOSS වලදි spoon feed කරන්නෙ නෑ. හරි. හැබැයි මොකද්ද හොඳ spoon feed කරීමද? spoon එක නැති දවසට මොකද කරන්නෙ. අපේ අය දැන් පුරුදු වෙලා ඉන්නෙ ඔක්කොම අන්තිම පහසුවටනේ. අර කීමට කියන්නේ අඹ ගහේ තිබුනට කඩන් කන්නෙ නෑ ඒ අඹේම කඩලා මිරිකලා බෝතල් කරලා ආවහම ලොකුමිලක් ගෙවලා අරගෙන බොනව. code එක තියනවනම් පොඩ්ඩක් compile කරගත්තාම මොකද වෙන්නෙ. අනිත් එක FOSS ව්‍යාපෘති අති බහුතරයක් ලාභ නොලබන ඒව. ඒ නිසා ගොඩක් ප්‍රශ්න තියනව අඩුපාඩු තියනව ඇත්ත. ඔය drivers ගැනම ගත්තොත් නිකං දෙන OS එකකට drivers නකුත් කරන්න සමාගම් වලට උනන්දුවක් නෑ.prolink modem ලිනක්ස් එකක් වැඩ නොකරන්නෙ ඒකනේ.
    9.04 වල ප්‍රශ්න ගොඩක් තියනව. ඒත තව සතියක් දෙකක් ඇතුලත ඒව හරියාවි. ඒ Ubuntu වල හැටි.තව දෙයක් FOSS වල විරුද්ධවාදියා propritary මිසක් windows නෙමෙයි.

  6. code එක තියනවනම් පොඩ්ඩක් compile කරගත්තාම මොකද වෙන්නෙ

    හැම මිනිහටම ඕක කරන්න තේරෙන්නෙ නෑ නේද? ඒක තමයි කාලිංග පැහැදිලිව කියල තියෙන්නෙ geekලා විතරක් නෙමේ කියල මේව පාවිච්චි කරන්නෙ. පරිගණකය නිකම් අතපතගාලා ඉගෙන ගත්ත කෙනෙක් කොහොමද කම්පයිල් කරගන්නෙ. ඔයාලා අපි වගේ IT degree කරන්නෙ නෑ හැමෝම. (හොයාගන්නත් ඉන්ටර්නෙට් එපායැ)

    මගේ ප්‍රතිචාරයේ Windows යන්න proprietary සඳහා එක් උදාහරණයක් පමණක් බවත්, එසේ යෙදුවේ කියවන බහුතරයකට මෙය වැටහීමට බවත් සලකන්න.

  7. මමත් හිතන්නෙ FOSS කට්ටියගෙ පොර ටෝක් මේකට ලොකු හේතුවක්. අපි ඒ දවස්වල ලිනක්ස් මැෂින් එකක වැඩ කරන්න ගියහම අපිටත් ගැටලු ආව. ඒව FOSS කාගෙන් හරි අහගන්න ගියහම එයාල කලේ ඒ දේ හරියට අපිට සරලව කියල දෙන දේ නොවෙයි. වින්ඩෝස් වලට බැනපු එකයි. ඉතින් අපිත් පුලුවන් විදිහකට ඉගෙන ගත්ත.ඒත් මයිකොසොෆ්ට් දේවල් ඉගෙන ගන්න එච්චර අමාරු උනේ නෑ.
    අන්තිමට FOSS ගැන දැනගන්න රිචඩ් ස්ටෝල්මාන් ආපුවෙලේ දේශනය අහන්නත් ගියා. අපේ FOSS කට්ටියගෙයි එයාගෙයිත් වැඩි වෙනසක් මට තේරුණේ නෑ.‍වින්ඩෝස් වලට බැනල බැනල යන්න ගියා.

    මෙහි සදහන් එක දෙයක් ගැන මට ගැටලුවක් පවතිනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ පීඨයක් Microsoft විසින් දැලේ දමාගෙන කියන කතාව වැරදියිනේ. මම දන්න තරමින් ඔය ආයතනයේ විෂය පැවරුම් බොහොමයක් කරන්න දෙන්නේ java,php,mysql,perl,C, වගේ භාෂා වලින්. එහෙම තියෙද්දි ලමයි ඇයි තමුන්ගෙ ප්‍රොජෙක්ට් කරන්න මයිකොසොෆ්ට් තෝරගන්නේ… ‍මේකට විවිධ හේතු තියනවා.
    (මයිකොසොෆ්ට් එකේ මාකටින් එක මෙතනදි ඉතා සුලු හේතුවක් විතරයි.)

    අනිත් කාරනේ තමයි මෙහි රචකයා මෙම ප්‍රදර්ශනය බලන්න යාමේ මූලික අරමුණක් වන්නට ඇති FOSS ගැන දැනගැනීම. නමුත් සාපේක්ෂව FOSS ගැන එතන තිබුණු දේ අඩුයි(මදියි කියල මම කියන්නෙ නෑ). මෙහි කියල තියනව වගේ අපි කොම්පියුටරෙන් නැගිටල එලියට ගියොත් එතන තියන තත්වයත් ඒකම තමයි.

    හැබැයි FOSS මගින් දැලේ දාගත්තු වෙනත් දෙපාර්තමේන්තුවක ප්‍රදර්ශනයක් බලන්න ආවොත් FOSS විතරක් බලල යන්න පුලුවන්. මොකද සමහරු තත්වෙ තියාගන්න හදන්නෙ FOSS ප්‍රොජෙක්ට් කරල නිසා.

    ඊට අමතරව තවත් යමක් කිව යුතුයි. ශ්‍රී ලංකාව තුල FOSS ව්‍යාප්ත්ය සඳහා ඕනෑ තරම් ඉඩ කඩ තිබෙනවා. ICTA හරහා (පසුගිය කාලයේදී විවිධ පුද්ගලික සබඳතා නිසාද) ඒ වෙනුවෙන් ලබා දෙන අවස්තාවන් අති මහත්. ඒවායේ ප්‍රතිඵල කෝ… ?

    නමුත් FOSS ජනතාව අතරට යන්නේ නැත්තේ ඇයි කියා “දන්නෝ දනිත්”.

    – මම මේ ලිපිය ලියුවේ FOSS ගැන තරහකින් නොවෙයි. නමුත් තිත්ත ඇත්ත මේකයි –

  8. @Unloking Young Mind බලපු කෙනෙක්
    අදාල පීඨය තුල microsoft ඒකා‍ධිකාරයක් පවතිනවා කියන එක කිසිවෙකුට බැහැර කරන්න බැහැ. එය මේ ප්‍රදර්ශනයෙන් පමණක් පැමිණෙන අදහසක් නෙමෙයි.
    Java, php, c වැනි දේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විශය මාලාවක තිබෙන දේවල්. එවැනි විශයන් වලට දෙන පැවරුම් සහ සිසුවන්ගේ ව්‍යාපෘති වලට තෝරාගත යුතු තාක්ෂණ වලට ඇති “bias” එක වෙනස්. අනිත් එක මාකටින් සුලු හේතුවක් කියලා කියන්න බැහැ. Microsoft Exchange Server වගේ product පාඩු ලබමින් දුවන නමුත්, ඊට වඩා හොඳ FOSS ආදේශක තිබෙන නමුත් වැඩි දෙනෙක් තේරීම කරන්නේ MS Exchange Server. ඒ වැඩියෙන්ම “ගුණ” අසා තිබෙන්නේ එහි නිසා.

    ව්‍යාපෘතියක් සෑදීමේදී (development කටයුතු වලට) pirated version භාවිත කිරීම ලංකාවේ එච්චර ගැටළුවක් නැහැ. නමුත් ඉන්පසුව එම ව්‍යාපෘති දියත් කිරීමේදී අනිවාර්යයෙන්ම licensed version භාවිත කිරීමට සිදු වෙනවා. එහිදී එම product වල සාර්ථක භාවය අඩු වුනත්(IIS සහ Apache???)

    මම ප්‍රදර්ශනය බලන්න යාමේ මූලික අරමුණ FOSS ගැන දැන ගැනීම නෙමෙයි. මෙහි සඳහන් කර ඇති දේවල් මම නිරීක්ෂණය කල දේවල් මිසක් නිරීක්ෂණ කිරීමේ අරමුණකින් බැලීමට ගොස් දුටු දේවල් නෙමෙයි. FOSS අපේ රටට අත්‍යවශ්‍ය දෙයක්. ඉදිරියේදී මම දැන් භාවිතා කරන Microsoft Windows Vista Ultimate edition එක license කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ලංකාවට FOSS අනිවාර්යයෙන් අවශ්‍යයි කියා සිතන නිසා තමයි මෙවැනි වැරදි පෙන්වා දෙන්න හදන්නේ.

    තත්වේ තියාගන්න FOSS project කිරීම යන කොටස වඩාත් පැහැදිලි කිරීමට හැකිනම් හොඳයි. මොකද FOSS(හෝ ඕනේම) project එකක් කිරීමට දැනුමක් තිබෙනම් ඇත්තටම තත්වයක් තිබෙන නිසා.

    FOSS මගින් දැලේ දාගැනීම කියන එකත් විග්‍රහ කර ගත යුතු කියැවීමක්. ඇත්තටම එවැනි දෙයක් කිරීමට තරම් ලංකාවේ FOSS එකමුතුවක් නැහැ. සක්‍රීය ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ නැහැ. එමෙන්ම දැලේ දාගැනීමක් පවත්වාගෙන යන්න සංවිධානයක් නැහැ. එම නිසා එවැනි ප්‍රකාශයක් වලංගු නැහැ. Microsoft හෝ එවැනි වාණිජ සමාගමකට මෙකී සියලු දේ තිබෙනවා.

    Software piracy වලට තහංචි ක්‍රියාත්මක නොකර ඔහේ මිනිසුන්ට එය පුරුදු කිරීමත් එක්තරා ගුණ්ඩුවක්. ඔබ පුරුදු වී තිබෙන්නේ වාණිජ මෘදුකාංග වලටනම් තහංචි තද වූ විට නැවත අලුතින් ඉගෙන ගැනීමකට වඩා සල්ලි ගෙවා හෝ පරණ මෘදුකාංගයම ලබා ගනියි ‍නේද?

    අවසාන වශයෙන් මම කියන්න හදන දේ මෙයයි.

    ශ්‍රී ලංකාවට FOSS අවශ්‍ය බව දැන දැනත් ඇයි වඩාත් සංවිධානය වූ FOSS පැතිරීමක් ක්‍රියාත්මක නොකරන්නේ?

  9. පොඩ්ඩක් මේ ගැනත් හිතල බලන්න ලෝකෙන්ම පාවිච්චි කරන්නෙ තාම 1.13යි. එහෙම එකේ මෙහෙමවත් ඉතුරු වෙල තියෙන එක ගැන සතුටු වෙන්න.අනික linux කෙසේවෙතත් සාමාන්‍ය සමාජයේ FOSS ගැන අහල තියෙන්නෙ කීයෙන් කී දෙනාද?

    ubuntu fashion එකක් වෙලා තියෙන බව හැබෑව. නමුත් කායිවාරුකාරයන් වැඩියි වගෙ පේන්නේ linux පාවිච්චි කරන අය වැඩියෙන් internet එකේ ඉන්නව blog ලියනව.ඒකෙන් ගම්‍ය වෙන්නෙ නැහැ linux පාවිච්චි කරන linux ගෑන blog ලියන කතා කරන වගේම වැඩි දියුනු කරන බහුතරය කායිවාරුකාරයො කියල.
    අනික user friendly කියන එක සාපේක්ෂයි ඒ කියන්නෙ ගොඩ දෙනෙක් use කරන දේ user friendly කියලා use කරන අය හිතාගෙන ඉන්නවා.
    ubuntu වල non open drivers නැති එක අඩුවක් තමයි.(සමහර fedora distribution වලල, mandriva වගේ distribution වල non open drivers තියෙනවා)

    “ශ්‍රී ලංකාවට FOSS අවශ්‍ය බව දැන දැනත් ඇයි වඩාත් සංවිධානය වූ FOSS පැතිරීමක් ක්‍රියාත්මක නොකරන්නේ?”

    වගේ ප්‍රශ්න වලින් වැරදි මතයක් ප්‍රකාශ වෙන්න පුලුවන්,බොහෝ FOSS සංවිධාන වල ඉන්න අය කායිවාරුකාරයන් කියලා.
    මට හිතෙන විදිහට බොහෝ FOSS ආධාර කරුවන් හැකි උපරිමයෙන් FOSS දියුනු කරන්න ප්‍රචාරය කරන්න වැඩ කරනවා.

    ප්‍රදර්ශනේ කතාව නම් FOSS වාදියෝ ආයෙමත් හිතලා බලන්න වටිනවා.

  10. @ඉන්ද්‍රනාම
    මම කියන දේ ඔබට තේරිලා නෑ.මම කිව්ව අඹ ගෙඩියේ කතාව ආයෙ පාරක් කල්පනා කරල බලන්න.
    “මම නං පාවිච්චි කරන්නේ උබුන්ටු… අපෝ වින්ඩෝස් මහ ජරාවක්නේ.. වයිරස් පිරිලා..” වගේ ටෝක් දෙන එක තරම් වෙන ආතල් එකක් නෑ උන්ට.
    නෑ තමයි ඇයි බොරුද කතාව.
    IT කලා වේවා නොකලා වේවා පරිගනකය on වුනාම MS Word අරගෙන ලියමක් කොටන්න විතරක් පුළුවන් උනාම මදි කියන එකයි මගේ අදහස. තමන් පාවිච්චි කරන දේ අභ්‍යන්තරයත් ටිකක් ඉගන ගන්න ඕන අමාරු වැඩක් නෙවෙයි නේ.ලෝකෙ ගැන මට ප්‍රශ්නයක් නෑ හැබැයි ලංකාව ගැන දුකයි. අනාගතයෙදි බුද්ධිමය දේපල පනත ලංකාවෙ හරියටම ක්‍රියාත්මක වෙච්ච දවසක අපේ proprietary පරිශීලකයො ටික(හපොයි වැරදුනා බහුතරය) වින්ඩෝස් වලට 25000යි office වලට 35000 යි තව antivirus වලට තව බර ගානකුයි වියදම් කරලා පරිගනක පාව්චචි කරාවිනේ.

    මම මෙහෙම කිව්වට ජීවිතේට වින්ඩෝස් පාවිච්චි කරලා නැති කෙනෙක් නෙමෙයි. මට වින්ඩෝස් xp key එක කට පාඩම්. එච්චරට වින්ඩෝස් xp install කරලා තියනව. ඒ අත්දැකීම් එකක්යි කතා කරන්නෙ.

  11. මමනමි ඔය ෙමතන කියන FOSS & Microsoft කතාවට එකග නැහැ. ෙමාකද Linux භාවිතා කරන්න ගිහින් මම ෙහාද කටිටක් කැවා. Linux Forum වලට දැමිමත් Reply කටීටිය හිතන්නෙන් අපිත් උන් වෙග්කියලා.

  12. @indika
    ඔයා කාපු හොඳ කට්ට පොඩ්ඩක් කිව්වනම් අපිටත් දැනගන් අපි නොකාපු කට්ටක්ද කියල දැනගන්න. මෙහෙමයි ඔබ කාපු ඔය කට්ට ලෝකෙ ලක්ෂ ගානක් ඔයාට කලින් කාල තියනව අනිවාර්යෙන්ම. ඒකට විසඳුමකුත් අනිවාර්යෙන්ම තියනව.