ඉර එලිය – කතාවක්

හිටි හැටියෙම තීව්‍ර වුන ජනේලෙන් ඇතුලට වැටෙන හැන්දෑ අව්ව ඔහේ හිත හිත හිටපු පොඩි හාමුදුරුවන්ගෙ ඇස් දෙක ගස්සල ඒ පැත්තට ඇද ගත්තා. සිමෙන්ති පොලොව හාරගෙන යන්න ඇදේට ගහපු ස්ථම්භ වගේ තිබුණු ධාරා අතරින් එහාට මෙහාට අත යවල උන්නාන්සෙ ජනේලෙන් එලියට අවධානය යොමු කලේ ඒවා කොන්ක්‍රීට් නොවුනත් හැතැප්ම දහස්ගානක් පහුකරල එන්න ඉර එලියට ශක්තිය ලැබුන හැටි හිත හිත. ඉර ගෝලයේ ඉඳන් පොඩි හාමුදුරුවන්ගෙ කාමරයට එන්න විනාඩි අටක් ගත කරනව වුනත් ඒ ගත කරන්නෙ එකම ආලෝක අංශුද කියන ප්‍රශ්නෙ ඊළඟට හිත ඇතුලෙන් පැන්නා. මෙහෙම දෙයක් කල්පනා කරන්න පොඩි හාමුදුරුවෝ කැමතියි.

ධර්ම ශාලාව පැත්තෙන් ඇහුන ගාල ගෝට්ටියක් පොඩි හාමුදුරුවන්ගේ දැහැන බිඳල දැම්මෙ ඒ සැනින්ම අලුත් වාක්‍යයක් හිතට ඇතුල් කරන ගමන්. “සිරිදාස  ආයේ පටලවගෙන වගේ“. දුරං ගමං ඒක චරං වුන හිත කඩලා දාපු එක ගැන පොඩි නොරිස්සීමක් එක්ක උන්නාන්සෙ හිතුවා. ලොකු හාමුදුරුවොත් අඩිය ගස්සගෙන ආවාස ගෙයින් පිට වෙන හඬ ඇහුන නිසා මේ රණ්ඩුව තීරණාත්මක එකක් වෙන බව උන්නාන්සෙට තේරුම් ගියා. “අද ගිහින් මේක බේරන්න බැහැ. ධම්‍මරක්ඛිත, මට දිගටම උදව් වෙන්න බැහැ.“

ධම්‍මරක්ඛිත හාමුදුරුවො ලන්දෙ පන්සලට වැඩියෙ මීට මාසෙකට විතර කලින්. සෙරෙප්පු නැතුව පයින් ඇවිදගෙන ආපු උන්නාන්සෙගෙ සිවුර කිලුටු පාටට හැරිල තිබුනෙ. බොහෝම කලබල සහිත ගතියක් පෙනුන නිසා සහ “පිස්සු හාමුදුරුවො“ කෙනෙක් ගැන වටින් ගොඩින් ආරංචි ඇවිත් තිබුන නිසා ධම්‍මරක්ඛිත හාමුදුරුවන්ව පන්සලේ නවත්තගන්න ලොකු හාමුදුරුවො අකමැති වුනා. දවල් දානෙ වැළඳීමෙන් පස්සෙ ධම්‍මරක්ඛිත හාමුදුරුවන්ව පිට කරන්න හිතාගෙන හිටපු ලොකු හාමුදුරුවන්ගෙ හිත වෙනස් වුනේ පොඩි හාමුදුරුවො ධම්‍මරක්ඛිත වෙනුවෙන් කතා කරපු නිසයි. පන්සලට අගෞරවයක් සිදු වුනත් මනුස්සයෙක් අමාරුවෙ දාන එක එච්චර හොඳ මදි කියලයි පොඩි හාමුදුරුවො තර්ක කලේ.

සිරිදාස තමයි මුලින්ම ධම්‍මරක්ඛිත හාමුදුරුවො එක්ක රණ්ඩුවක් ඇදගත්ත මනුස්සය. ඇබිත්තය වුනාට ලොකු හාමුදුරුවන්ට විතරක් යටත් වුන පන්සලේ පාලකයා තමයි සිරිදාස. දායක සභා රැස්වීමකට ආපු පෙරේරා නෝනගේ දුව ඇඳන් ආපු ගවුම කොට වැඩි කියල ධම්‍මරක්ඛිත හාමුදුරුවො ඒ දරුවව ඇදගෙන ගිහින් පන්සලෙන් එලියට තල්ලු කරල තිබුනා. වෙනදට සිරිදාසත් හිත යටින් “බුද්දාගම විනාස කරන යක්කු“ කියල බැන බැන හිටියත් දායක දායිකාවන්, විශේෂයෙන්ම පෙරේරා නෝන වගේ සාක්කුව ලොකු ගිහියන්ට එලිපිට මොනවත් කියන්න ගිහින් නෑ. පිං කැටේට මාසෙකට සැරයක්වත් කාසියක් නොදාන ගාමන්ට් සංකර හැත්තට බනිනව වගේ නෙමෙයි පෙරේරා නෝනලට බැනල දාන වේලත් වැරදෙන තැනට වැඩ කටයුතු සිද්ද වෙන්න පුලුවන් කියල සිරිදාස දැනගෙන හිටිය.

පෙරේරා නෝනගේ පැත්ත අරගෙන ධම්‍මරක්ඛිතට හොඳවැයින් කියන්න සිරිදාස නිර්භීත වුනේ ඒකයි. පොඩි හාමුදුරුවො සිරිදාසව සන්සුන් කරගෙන ධම්‍මරක්ඛිතව ඒ රණ්ඩුවෙන් බේරගත්ත. ඒත් සතියකට දෙතුන්පාරක්වත් මේ ද්විත්වය රණ්ඩුවක් ඇදගත්ත. හුඟක් වෙලාවට මේකට හේතු වුනේ ධම්‍මරක්ඛිත හාමුදුරුවො පන්සලේ වැඩ සිද්ද වෙන හැටි නිර්දය විදියට විවේචනය කරපු නිසයි. ඒ විදිය ටිකක් අන්තවාදී කියල පොඩි හාමුදුරුවන්ටත් හිතුනා. ඒත් පන්සලට වැඩිය දවසෙ දවස් ගානකින් කුසට දානයක් නොලැබුනු බවක් පේන්න තිබුනු නිසා ලන්දෙ පන්සලෙන් බාර නොගත්තොත් ධම්‍මරක්ඛිත අමාරු අඩියකට වැටෙන බව උන්නාන්සෙ තේරුම් ගත්තා. පාරේ හිනා වෙවි යන කෙල්ලොන්ට කෝට්ටකින් ගහන්න පන්නපු, පෝයට පන්සල් නොගිහින් ගෙදර හිටපු කට්ටියකට ගෙදරට ඇවිත් බැනපු පිස්සු හාමුදුරුවන්ව ලෙහෙසියෙන් පන්සලකට බාරගත්තෙ නැහැ. බාර ගත්තත් බොහෝම සුලු කාලෙකින් පිටවෙලා යන්න ධම්‍මරක්ඛිතට සිද්ද වුනා.

පොඩි හාමුදුරුවො සති තුනක් පසුපස්සට කාලය දිගේ දුවල ගිහින් තිබුන හිත ආපහු කඩල දැම්මා. ලොකු හාමුදුරුවන්ගෙ කටහඬත් ටිකක් උස් හඬින් ඇහෙන්න පටන් ගත්තා. ධම්‍මරක්ඛිතට අද දවල් දාන වේල වරදිනව කියල පොඩි හාමුදුරුවන්ට ඒ වෙලාවේ තේරුම් ගියා. ඒ ගැන හිතන එක නවත්තල කොල අතු අස්සෙ හැංගි මුත්තං කරන්න හැන්දෑ ඉර එලිය දිහාවට උන්නාන්සෙ හිත යොමු කලේ එලිය සිදු වෙන දෙයින් හිතට ගන්න කිසිම දෙයක් නැති බව තීරණය කරපු නිසයි.

10 thoughts on “ඉර එලිය – කතාවක්

  1. හි හි.. පහුගිය දවස්වල පන්සලෙ ගැවසෙන්න ලැබුණු අවස්ථාවෙදි දැණුන ඒව හිතට ආව. පොඩි හාමුදුරුවො ආයෙ ඉර ගැන හිතන්න පෙළඹෙන එකෙන් අපට ධම්මරක්ඛිත හාමුදුරුවන්ගෙ ඉරණම ගැන හිතාගන්න පුළුවන්…

    • මාත් අවුරුදු දහයකට විතර පස්සෙ උවමනාවෙන් පන්සලකට ගියෙ ඊයෙ පෙරේදා.. ඊයෙ ගෙදර එනකොට ඔය ධම්‍මරක්ඛිත චරිතය වගේ හාමුදුරුනමක් පාරෙ යනවා දැක්කා. සපත්තු සෙරෙප්පු නැතුව පයින් යන කිලුටු සිවුරක් ඇඳගෙන ඉන්න ඒ හාමුදුරුවො කාලෙකට සැරයක් දකින්න ලැබෙනවා. පන්සල් අත්දැකීමයි අර හාමුදරුවො දැකීමයි එකට එකතු කරන්න උත්සහ කරල ටික කාලයක් තිබුන බ්ලොග් සයිලන්ස් එක කඩල දැම්මා. :)

  2. පටන් ගැනිම තුල යම් කිසි කලබල හා ගැලපීමක් නැති බවක් තිබුණ කතාව අවසාන වද්දි ගලා යාම තුලන් මා සතුටු විය. වචන භාවිතය මට යම් කිසි ගැටලුවක් නිර්මාණය කරනු ලදී….

    උදා – ඇස් දෙක ගස්සල/ද්විත්වය

    ඉහත වචන යුගලය ගත් විට සමාන්‍ය වචන හා වියත් වචන යයි වර්ග කල හැක… ඒවැනි වචන භාවිතකර ලියන කතාව ගලා යාමට බාදා කරයි යයි මා සිතමි …..

    ස්තුතයි

    • බොහොම ස්තුතියි.. ඉතාමත් අගය කරනවා මේ feedback එක. මෙහෙම දෙයක් උත්සහ කලේ ටික කාලෙකින් නිසා ගොඩක් රළු තැන් තියෙන්න පුලුවන්.. මීළඟ උත්සහයෙදි ඔබ පෙන්නා දුන්න දේවල් හදා ගන්න බලන්නම්. නැවතත් ස්තුතියි. :)

  3. එකම එක දෙබසක් වත් නැතිව.., ඒ දෙබස් ඔක්කොම් අපේ ඔලුව ඇතුලේම ඉපදෙන විදියට ඉදිරිපත් කරලා ලියලා තියෙන මේ ලියවිල්ල නම් උපරිමයි මිත්‍රයා., කවදාවත් චීවරය ඇතුලේ ඉඳන් ස්වකීය වර්ගයා ගේ පැවැත්ම බේරාගන්න.., අවට පරිසරය වෙනස් කරන්න හදන මනුස්සකම් වල උත්පාදනය කරන චරිත හරි දුර්ලභයි මචන්..,
    ධම්මරඛ්ඛිත හාමුදුරුවෝ කරපුදේ වල වටිනාකම දානේවේලකින් මනින.., ලොකු හාමුදුරුවරු.., හා ඇබිත්තයෝ ඉන්න අර්ධව වාණිජමය පරමාර්ථ හොයාගෙන යන පංසලක ජීවිතය ගෙනියන්න හදන ධම්මරඛ්ඛිත වගේ හාමුදුරුවරුන්ට එතැන හිමි තැනක් නොවෙන්නත් ඇති.., කැප නැතිව ඇති..,
    මේ ලියවීලි අස්සේ උඹට ගොඩක් දුර යන්න තියෙනවා චමිල..!
    ජය…!!!

    • චීවර චරිත ගැන ටිකක් අධ්‍යයනය කරන්න පොඩි චාන්ස් එකක් පහුගිය දවස් වල ලැබුනා. typical ලොකු හාමුදුරුවො, typical ඇබිත්තයා එහෙම ඒ නිර්මාණ.

      අදහස් වලට ස්තුතියි මචං! :)