උදුල් ෆුඩ් සිටි ගියා වාගේ

ඊයෙ පෙරේදා පංති විඥාණය කියන දේ ගැන ප්‍රශ්න කරල ලියද්දි පොඩි නිරීක්ෂණයක් ලිව්ව අන්තරේ අවුරුදු දෙකකට කලින් කැඳවුම් කරු වෙච්ච උදුල් ගැන. මගෙ පොයින්ට් එක වුනේ පංති විඥාණය කියන දේ සාර්ථකව මිනිස්සුන්ට දෙන්න බැහැ, ඒක හිතළුවක් කියන එක. ඒත් ඒකට කමෙන්ට් කරපු මචං කෙනෙක් පංති විඥාණය තියෙනවද නැද්ද කියන එක පැත්තකට දාල උදුල්ට කින්ඩිය දාපු එකට යුද්ද ප්‍රකාශ කලා. ඇත්තටම මම දැන් පිලිගන්නව මම උදුල්ට එහෙම කියපු එක වැරදියි කියල. උදුල් ගැන මම දැනගෙන හිටියෙ නෑ. ෂිහ්, මම හෙන පවක් කර ගත්තා. මම හිතනව මම ඒ කර ගත්ත පවෙන් ගොඩ එන්න මේ කමෙන්ට් එක ඉවහල් වෙයි කියල.

මචං උදුල් සමාවෙයන්!

// පංති විඥාණය කියල එකක් නැත්නම් උඹ අහවල් අලෙකටද මචං මේ පොළොවේ පස් කාගෙන උදුලට නෙලන්නේ//

මම උදුල්ට එහෙම කියපු එක වැරදියි.

උදුල් කියන්නෙ මාර බුවෙක්.
දෙයියෙක්.
ලංකාවේ නිදහස් අද්දියාපනේ ඉස්ට දේවතාවා.
උදුල් නැත්තං කැම්පස් නෑ, අද්දියාපනේ නෑ. නවක නම්නීකරණය (රැග් එක කියල කියන්නෙ අපි වගේ අලයෝ)ත් නෑ.
මේ උදුල් ගැන කතා කිහිපයක්.

  • දවසක් පප්පා නිදහස් අද්දියාපනේ විකුණන්න ගියා. විෂ්ණු දෙයියො ඒක දැකල උදුලට කතා කලා. කතා කරල කිව්ව ලංකාවෙ නිදහස් අද්දියාපනේට කෙල වෙන්නයි යන්නෙ. උඹ ගිහින් බේර ගනින් කියල. එදා තමයි උදුලය ඉපදුනෙ.
  • උදුල් පුංචි කාලෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් අම්ම කෙනෙක්ට සෙක්ස් එකට කතා කරල තිබ්බ පුතා ඉස්කෝලෙට දාලා දෙන්නං කියල. උදුල ගත්ත වැලි පොල් කට්ට අතට. එක පාරයි ප්‍රින්සිපල්ට ගැහුවෙ. පුතාව නිකන්ම ඉස්කෝලෙට දාලා දුන්න.
  • උදුල පලවෙනි පන්තියට යනකොට තුන වසරෙ ටීචර් පන්ති වලට උගන්නන්නෙ නැතුව පොඩි එවුන්ට එයාගෙ ටියුෂන් එකට ගෙන්න ගෙන තිබුන. උදුල ගිය ටීචර් ගාවට. ගිහින් කිව්වා “තීතල්, අදිලාද්‍යවාදී අමනකං අතෑලලා පීදිත පන්තියට අද්දියාපනේ ලබා දෙන්න“ කියල. ටීචර් තුනේ පන්තියට පීඩිත පන්තියත් එකතු කරල නිදහස් අද්දියාපනේ දුන්න.
  • උදුල් පහ වසරෙ සිස්සත්තෙ කරන්න ඉද්දි ඕලෙවල් අයියලගෙ ප්‍රශ්න පත්තරේ හොරෙන් පිට වෙලා තිබුන. උදුලට ආරංචි වුනා විතරයි කලාප අද්දියාපනේට කතා කරල කිව්ව “සර් පහ වසරෙ සිස්සත්තෙට එහෙම මෙහෙම වුනොත් අපි දීප ව්‍යාප්ත මෙව්වා එකක් ගෙනියනව ඔක්කොම වැඩ කරන මාමල නැන්දල එකතු කරල“ කියල. පහ වසරෙ සිස්සත්තෙ කිසිම අවුලක් නැතුව ගියා.
  • උදුල් ඕලෙවල් කරන්න ආවලු. එතකොට විසය ඔක්කොම වෙනස් වෙලා සිලබස් කරකැවිලා ගිහින්ලු. උදුල බලං හිටියෙ නෑලු. ගියාලු ඉසුරුපාය දෙබෑ කරන්ඩ කියල. අධ්‍යාපන ලේකංගෙ මේසෙට නැග්ගලු. නැගල මොනවත් නොකියා අර අභීත බැල්මෙන් මෑන්ගෙ මූණ දිහා බලාගෙන හිටියලු. කොහොම හරි ඊලඟ දවස වෙද්දි සිලබස් ප්‍රශ්න ඔක්කොම හරිලු. ජාතියන්තර කොරොමවේදෙකට අප් ටු ඩේට් සිලබස් එකක් එක රැයින් ගොඩ දැම්මලු. ඒ මදිවට සිලබස් එකේ අන්තර්ගතේ ගැන බලන්න ක්‍රියාකාරී කමිටුවක් අද්දියාපන ලේකං අතින් සල්ලි දීලම දැම්මලු.
  • උදුල් ඒලෙවල් වලට එනකොට කිසිම ඉස්කෝලෙක හරි හමං විදියට උගන්නන්නෑලු, ටියුසන් යන්නැති එකෙක් හිටියොත් ඌට බඩුම තමාලු. මේ අසාදාරනේ දැකපු උදුල්ට යකා නැග්ග. උදුල ගියා ටියුසන් වල අගනගරය, නුගේගොඩට. ගිහින් ඔක්කොම ටියුසන් පන්ති වලින් ඒ ටියුසන් බුවාලව පැන්නුවලු. ඉස්කෝලෙ වගේ දහ ගුණයක් හොඳින් ටියුසන් වල උගන්නපු සෑර්ලා මිස්ලට කස පාර දීල ආපහු ඉස්කෝල වලට යැව්වලු. එදා ඒ සිද්ද වුන දේ ජේසු යුදෙව් වෙලෙන්දන්ට ගැහුව එකටත් වැඩිය හැපනිං ලු. එදායින් පස්සෙ ඉස්කෝල වල ඉගැන්නිල්ල 100% දක්වා කාර්යක්සම වුනාලු. ටියුසන් වලට තිබුන ඩිමාන්ඩ් එක අඩු වුනාලු. එහෙමම එකෙක් ඇර නිදහස් අද්දියාපනේම පිහිටෙන් විතරක් ඒලෙවල් පාස් වෙන්න හැමෝටම පුලුවන් වුනාලු.
  • උදුල් ඉහලින් පාස් වෙලා ඩෙන්ටල් එකට ගියාලු. යද්දි පාස් වුන හැමෝම කැම්පස් ගන්නෑලු. උදුල් ගත්තලු කැම්පස් යද්දි ඉල්ලන්න තියෙන පොත අතට. ගියාලු කෙලින්ම උසස් අද්දියාපනයා ගාවට. “සර් හෙට වෙද්දි පාස් වුන හැමෝම කැම්පස් වල ඉන්න ඕනෙ“ කිව්වලු. කියල අර පොතෙන් “සර්ගෙ පිස්සුව හොඳ වෙන්නත් එක්ක“ කියල ගැහුවලු ඔලුවට එකක්. එදායින් පස්සෙ උසස් අද්දියාපනයා පිස්සු කතා කියවන එක නැවැත්තුවලු. ඒලෙවල් පාස් වුන හැම එකාම මිනිහ බලෙන්ම වගේ කැම්පස් එක්කං ආවලු.
  • උදුල් සෙකන්ඩ් ඉයර් එකේ ඉද්දි ලොක්කා බල කරල ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් දාන්න බවුන්ඩේසම දාන්න පටන් ගත්තලු මාලඹේ හරියෙ. උදුල්ට මේක ආරංචි වුනාම යකා නැග්ගලු. යාලුවො අල්ල ගන්න හැදුවට “අත ඇරපියව් මාව“ කියල උදුල ගත්තලු සයිකලේ, පෑගුව පෑගිල්ලට විනාඩි පහෙන් මාලඹේලු. බවුන්ඩේසම ගහන්න ආපු බාස්ලා ටිකක් උදුලට ගහන්න ආවට උදුල එක කික් එකයි දුන්නෙ. ඔක්කොම විසි වුනාලු. කැඩිච්ච බවුන්ඩේසම උඩ එක කකුලක් තියා ගත්ත උදුල් කියුබන් සුරුට්ටුවක් කටේ ගහගෙන මෙහෙම කිව්වලු. “ආයෙ මෙතන ප්‍රයිවට් මොනවත් බෑ!!“. මෙඩිකල් කොලේජ් එක ගහන්න ආපු එවුන් එක පැයෙන් රටෙන් පිට වුනාලු. ලොක්කා උදුල්ට එදා රෑ කතා කරල සමාව ඉල්ලුවලු.
  • මාසෙකට දෙකකට පස්සෙ උසස් අද්දියාපනය එපා කියද්දිම තව සෙට් එකක් පටන් ගත්තලු අලුතෙන් කැම්පස් එන එවුන්ට ආමි ට්‍රේනිං දෙන්න. ආමි ට්‍රේනින් පලවෙනි දවසෙම උදුල් එතනට ආවලු ආම්කට් බැනියමක් එක්ක ඇඟට හිර ඩෙනිමක් ගහල. බාගෙට ඉවර වෙච්ච කියුබන් සුරුට්ටුව කටේ කොනකට අරං උදුල මෙහෙම කිව්වලු. “කැම්පස් එකට අලුතෙන් එන්න ඉන්න එවුන් දැන් මෙතනින් පලයල්ලා. උඹලට ආමි ට්‍රේනින් නෑ“ අලුත් කොල්ලො කෙල්ලො ටික හෙමින් සැරේ ගෙදර ගියාලු. ඊට පස්සෙ එතනට ඇවිත් තිබුන ආමි ලොක්කා ගාවට උදුල හෙමින් සැරේ ගියාලු. ගිහින් ලොක්කගෙ ඇද වුන තොප්පිය හෙම හදල ඇඳුමෙ දූවිලි එහෙම පිහ දාල කිව්වලු “ආයෙ කැම්පස් යන එවුන්ට ආමි ට්‍රේනින් බෑ. හරිද?“ කියල. ආමි ලොක්කට චූ ගියෙ නැති එක විතරලු. අර ලමයි ට්‍රේනිං එකට ගෙවල තිබුන සල්ලි දෙගුණයක් වෙලා ගෙවල් වලටත් යවල තිබ්බලු. ඒ එක්කම නෝට් එකකුත් යවල තිබ්බලු “වඳින්නං නංගියෙ/මල්ලියෙ ආයෙ ට්‍රේනිං එන්න එපා, උදුල මාව කයි කියල“. එදායින් පස්සෙ හැම හුචක්කුවටම ආමි ට්‍රේනිං දෙන එක නැවතුනාලු.

මේක උදුල් ගැන තියෙන කතා වලින් කිහිපයක් විතරයි.

udul-vs-enemiew-of-free-education

මේ තියෙන්නෙ උදුල්ගෙ වීර ක්‍රියාවලින් හැදිච්ච ප්‍රස්ථාව පිරුළු ටිකක්.

  • උදුලුයි එස්බීයි පොර ටෝක් දුන්නා වාගේ – වලි දාගන්නෙ දෙන්නෙක්, ගුටි කන්නෙ තර්ඩ් පාටි එකක් වගේ වෙන වෙලාවකට සුදුසුයි
  • උදුල් නිදහස් අද්දියාපනය බේර ගත්තා වාගෙ – මේක ඉතින් හැමෝම දන්නව.
  • උදුල් නැති වෙලාවට සංජීවයි නජිතුයි ටෝක් දෙනවා වාගේ – A නැති තැන B, A ගැන පොර ටෝක් දී Aට ඒ නිසා ගුටි කන්න වෙන වෙලාවකදි සුදුසුයි
  • උදුලුත් නෑ, නැති වෙච්ච ආමි ට්‍රේනිනුත් නෑ වාගේ – මේකත් හෙන ප්‍රසිද්ධ කියමනක්.
  • එස්බීට උදුල් වාගේ – මේකත් ප්‍රසිද්ධයි.
  • කැම්පස් කොල්ලොන්ටත් උදුල්ම සෙට් වුනා වාගේ – කරුමයක් ගෙවන්නම සිද්ද වුනාම මේ කතාව කියනව.
  • රැග් එක ගැන උදුල් කතා කලා වාගේ – සිද්ද වුනේ නැති දේවල් ගැන කියද්දි මේ කතාව කියනව.
  • රැග් එක ගැන කියද්දි උදුල් කරනවා වාගේ – චාටර් වෙන ටොපික් එකක් ආවම කතා නැතුව ලිස්සල යන අයට මේක කියනව (පර්සනල් ගන්න එපා මචං)
  • රැග් එකෙන් කැම්පස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • අන්තරෙන් කැම්පස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • අන්තරෙන් නිදහස් අද්දියාපනේ දියුණු වුනා වාගේ
  • උදුල් නිසා අන්තරේ දියුණු වුනා වාගේ – sarcasm සිංහලෙන්
  • ජවිපෙට අන්තරේ සම්බන්ධ නෑ කිව්වා වාගේ – හැමෝම දන්න දේවල් නෑ කියද්දි මෙහෙම කියනව.

හෙන ප්‍රසිද්ද එකක් අන්තිමට

  • උදුල් ෆුඩ් සිටි ගියා වාගේණයට කහිනව කියන එකට අලුත් කියමනක්. (පව් කියල හිතුන නිසා කපල දැම්ම.) හාස්කම් ගැන කියවන ගුරුන්නාන්සේලා ඇපලෝ එකට ගිහින් බෙහෙත් ගන්නවට කියන කියමනක්.

මරණ දෙකක් ඇති සරසවි සිසුවා | The University Student Trapped In Between

ඉහත දැක්වෙන්නේ පසුගිය දිනෙක අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද පෙලපාලිය නිමා වුනු ආකාරයයි. රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිසුන් සත් දෙනෙකු නිදහස් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් ඇතුලත් සංදේශයක් කුමන හෝ පුද්ගලයෙකුට භාර දීම මුල් කර ගෙන මෙම පෙලපාලිය සංවිධානය කරනු ලබන බව කියැවිණි. අවසානයේ සිසුන් විසි එක් දෙනෙකු අත්අඩංගුවට පත් වුනු අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිනි. රාජ්‍ය සරසවි අධ්‍යාපනය නැවැත්වීමට තවත් එක් හේතුවක් එසේ මහජනතාවට ඒත්තු ගන්වන ලදී.

මෙම සටහන ලියැවෙන්නේ ස්වර්ණවාහිනියේ වැඩසටහනක එස් බී දිසානායක අමාත්‍යවරයා තවත් ආචාර්ය මහාචාර්යවරුන් කිහිප දෙනෙක් පිරිවරා ගෙන පෞද්ගලික සරසවි ඇති කිරීමේ සිහිනය මුලු රටටම මවා පාන අතරතුරය. පෞද්ගලීකරණය කරන ලද අනෙකුත් ‍සේවා පිලිබඳ නොයෙකුත් උදාහරණ ලබා දෙමින් හරි හරියට තර්ක විතර්ක මවනා සැටි බලා සිටීමත් අපුරූය. ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය අද ඕනෑම තැනකදි ලබා ගත හැකි බව එකෙකු පවසයි. අනෙකා රැකියා වෙලඳපලට සරිලන සේ උපාධි පාඨමාලා ගොඩනැගීම පිලිබඳ අදහස් දක්වයි. තවත් අයෙකු දුරකථනයෙන් කතා කොට හාමුදුරුවන් සහ තරුණ ගැහැණු ලමුන් එක පේලියේ වාඩි වෙන සැටි බැලීමට හිරිකත බව පවසයි. රටම එකතු වී සාදයක් පවත්වන්නා සේය.

පසුගිය දිනෙක සිදුවුනු ඛේදජනක සිදුවීම හා ඊට ඉඩ සැකසුනු පරිසරය දෙස කලු සුදු රාමුවකින් බලා ආතල් එකක් ගැනීම ඇට මැස්සා පවසන්නා සේ ගෝත්‍රික ගති පැවතුම් වල සිරිතක් විය හැකිය. නමුත් ගැටලුව එතෙකින් නිමාවට පත්නොවන්නේය. දැන් පැත්තක් රටේ ශිෂ්‍ය මර්ධනය ඉතාමත් තදින් සිදුවන බව පවසයි. අනෙක් පැත්තෙන් සිසුන් නිදහස් කර ගැනීමක් ගැන පවසයි. මෙහි යථාර්තය අපට දැනෙනා ලෙසින් නම් මෙසේය.

ජවිපෙන් නිදහස් කර ගත යුතු සිසු පරපුර

ජනතා විමුක්ති පෙරමුණ විසින් සරසවි අධ්‍යාපනය තුල ඇති කර ගෙන තිබෙන බලාධිකාරය කෙමෙන් ගිලිහී යන නමුත් තවමත් සැලකිය යුතු තරමේ පිලිලයකි. පේරාදෙණියේ අමානුෂික වදහිංසා වලටත්, ජපුර සරසවියේ මානසික අසහනකාරී උපකුලපතිවරුන් පත් කර ගැනීමට පෙරමුණ ගැනීමටත්, වසරක් පාසා සිසුන් කැට ව්‍යාපාර, පෙලපාලි යැවීමටත්, තමාගේ බලය පතුරවා ඇති සරසවි තුල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමටත්, සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දැමීමටත් කෙලින්ම වග උත්තර බැඳිය යුත්තේ ඔවුන්ගේ බලවේග විසින් හසුරුවන ශිෂ්‍ය සංගම් විසිනි. ඔවුන්ගේ යල් පැනගිය හා විකෘති කරන ලද දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවැද්දීම හා වෙනත් දේශපාලන මතවාද සරසවි තුල පැතිරීම වැලැක්වීමට මොනයම් ආකාරයෙන් හෝ කටයුතු කිරීමත් මත ඔවුන්ගේ බලය සරසවි තුල රඳා පවතී. විප්ලවීය තරුණ බලවේගය තමන් සමඟ බව රටට පෙන්වීමේ වෙලඳ උපක්‍රමයකට වඩා දෙයක් එහි නැත. න්‍යායික දේශපාලනික වර්ධනයක් එතුල නැත. සියලු ප්‍රශ්න විසඳන්නේ ගහ මරා ගැනීමෙනි. නව දැනුම හමුවේ ඔවුන් හිරු දුටු කදෝ පැණියන් වේ. ඉංග්‍රීසි ඔවුනට මතක් කර දෙන්නේ අධිරාජ්‍යවාදයයි. ඔවුන්ට අනුව කොළඹ ධනවාදී එජන්තයන්ගේ බලකොටුවයි. ගම සුපිරිසිදු දේශප්‍රේමීන්ගේ නිජභූමියයි.

ජවිපෙ වැනි පසුගාමී හා සම්පූර්ණයෙන්ම රැවටිලිකාර වූ (නමින් මාක්ස්වාදීන්ය, ක්‍රියාවෙන් වඩාත්ම සමාන වන්නේ වෛශ්‍යාවකටයි) දේශපාලනික බලවේගයකට සරසවි තුල බලකොටු බැඳ ගැනීමට ඉඩ දිය නොහැක. අන්තවාදී ජාතික චින්තනයට එරෙහි වන්නා සේම එලෙසම අන්තවාදී ජවිපෙටද එරෙහි විය යුතුය. (එක අතකින් මේ දෙපාර්ශවයම සමානකම් පෙන්වන අවස්ථා එමට තිබේ. කැලණියේදි කෙල්ලන්ගේ කලිසම් ගැන පෝස්ටර් ගහන්නේ ‘චී’ කාරයින් විසිනි. ජපුරේදී ත්‍රීක්වාටර් කලිසම් ඇඳි තරුණියන්ට බිත්තර වලින් ප්‍රහාර එල්ල කරන්නේ ‘චේ’ කාරයින් විසිනි.) අමානුෂික නවක වදය නැවැත්වීමටත් සරසවි ශිෂ්‍යා පසුගාමී චින්තන රටාවලින් මුදවා දේශපාලනික නිදහස ලබා දීමටත් එය අත්‍යවශ්‍ය වේ.

උදුල් ප්‍රේමරත්න අවිශිබමයේ කැඳවුම්කරු ලෙස ජවිපෙට නොනවත්වා කඩේ යාම අපට වටහා ගත හැක. පක්ෂය තුල තනතුරක් ආරක්ෂා කර දී ඇති ඔහු එලෙස කිරීමේ වැරැද්දක් නොමැත. නමුත් මහපොලොව සමඟ  හැපෙන දාඩියෙන් ඉපදෙන සල්ලි වියදම් කර සරසවියට එන, උපාධිය සාර්ථකව නිම කිරීම මත සියල්ලම යැපෙන සරසවි සිසුවා එලෙස කල යුත්තේ ඇයි? විප්ලවයක අගක් මුලක් නොදැන පෙලපාලි යන්නේ කුමටද? මේ සියල්ලටම පිලිතුර ඇත්තේ ප්‍රධාන වශයෙන් අමානුෂික නවක වදය තුලය. නැවත නැවතත් මැතිරීමට අවශ්‍ය නොවුනත් එහිදී සිදුවන මොල සේදීම සිසුවෙකුගේ ජීවිතය වලපල්ලට ඇද දැමීමට සමත් වන්නේය.

අනෙක් අතට පෞද්ගලික සරසවි වලට එරෙහිව සිදු කරනවා යැයි කියන සටන එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධම ප්‍රතිඵලය ලබා දෙන තැනට මෙම මුග්ධයින් කටයුතු කරමින් සිටි. උදුල් ප්‍රේමරත්නගේ මොල පොඩිත්තේ තර්කයට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා භූමියට සරසවි සිසුන් දාහක් එක් රැස් කිරීම පෞද්ගලික සරසවි වලට එරෙහි වීම වුවත් අපට අනුව නම් උදුල් කරන්නේ පෞද්ගලික සරසවි උවමනා කරන්නන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමයි. පොලීසිය හා සිසුන් අතර ගැටුම් ඇති කිරීමෙන්, කඳුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර අතරින් දිව යන සිසුන්ගේ රූප ප්‍රසිද්ධ කිරීමෙන් පෞද්ගලික සරසවි වලට එරෙහි ජනතා බලවේගයක් ගොඩ නැගීමට ඔහු බලාපොරොත්තු වේ නම් ඒ එක්කෝ අන්ත මෝඩ කමකි. නැතිනම් කපටිසහගත ලෙස සිසුන් මෙහෙයවීමකි. ශිෂ්‍ය මර්ධනයක් සිදු වන බව ඇත්තකි. එයට පොහොර දමන්නේ උදුල් ප්‍රමුඛ ජවිපෙ මිනීමරුවන් විසිනි.

සරසවි සිසුන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පලවෙනි අදියර වන්නේ ජවිපෙන් සිසුන් නිදහස් කර ගැනීමයි. අමානුෂික නවක වදය වෙත සීමා පැනවීමත්, ආචාර්ය සිසු සම්බන්ධතාවයන් වැඩි දියුනු කිරීමට කටයුතු කිරීමත්, සමාජයීය හා දේශපාලනික දැනුම අතින් සිසුන් සන්නද්ධ කිරීමත් ක්‍රමානුකූලව අනුගමනය කලහොත් මෙම කාර්යය අපහසු වන්නේ නැත. ජවිපෙ ආධිපත්‍ය පතුරවාගෙන ඇති සරසවි තුල අධ්‍යාපනික හා සමාජයීය වශයෙන් ඇති බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි ප්‍රධාන මාර්ගයද මෙයයි. එයින් ඇති වන දේශපාලනික රික්තකය තුලට වඩාත් ප්‍රගතිශීලී දේශපාලනයන් ඇතුලු වීමට ඉඩ සලසා දිය යුතුය. සිසුන් දේශපාලනයෙන් ඉවත් කිරීම සිදු නොවිය යුතුය.

වගකිව හැකි ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය

එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් වුන දිනයේ පටන් මන්ත්‍රයක් ලෙස ජප කිරීමට පටන් ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිර ගත වන ඔහු (ධූර කාලය දික් කර ගත නොහැකි වූ චන්ද්‍රිකා මැතිණියගේ නික්ම යාමට හා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා වික්ටර් අයිවන්ට පින් සිද්ධ වන්නට ඔහුට ඇති එකම චෝදනාව එය නොවන බව දැන් රටම දනී) මහින්ද රජය යටතේ සමාව ලැබීමටත්, ඉන්පසුව මහින්ද රජයට එකතු වීමටත් වාසනා ලබයි. ඉන්පසුව උසස් අධ්‍යාපන ඇමති වශයෙන් දිවුරුම් දෙන ඔහුගේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ ඌව වෙල්ලස්ස සරසවියේ සිදු වන අකටයුතුකම් ගැන සොයා බැලීම නොව පෞද්ගලික සරසවි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමයි.

පෞද්ගලික සරසවි වලට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස එතෙක් හැසිරුනු කණ්ඩායමක් ප්‍රකෝප කිරීමට දිසානායක ඇමතිවරයාගේ ක්‍රියාවට අමතරව තව කිසිවක් අවශ්‍ය නැත. සැලසුම් කර ආකාරයටම ජවිපෙ මැට්ටන් රැල සිසුන් පාරට ඇද දැම්මේය. දැන් ඇත්තේ දෙවෙනි ජවනිකාවයි. ජවිපෙ බලකොටුවක් වන පේරාදෙණිය සරසවිය තුලට ගොස් ප්‍රකෝප කරවන සුලු ආමන්ත්‍රන කිහිපයකින් අනතුරුව හූ සංග්‍රහයක් ඇමතිවරයාට එල්ලවෙයි. සිසුන් කිහිප දෙනෙක් ඉන් පසුවන දින කිහිපයක් තුලදී රිමාන්ඩ් භාරයට ගැනෙන අතර (ආරංචියේ හැටියට මෙලෙස අත්අඩංගුවට ගන්නේ බැච් නියෝජිතයින්වය) නවක වදය හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් චෝදනා ලෙස ගොනු කර උපරිමයටම දඬුවම් ලබා දෙන බව ප්‍රචාරය කරනු ලැබේ. වෙනදා සිදු කරන පන්ති වර්ජනයෙන් ඇමතිවරයා තවත් කුපිත වන බවක් පෙනේ. අලුතින් එන සිසුන් කාණ්ඩය පුහුණු කිරීමත් කරගත හැකි වන සේ ජවිපෙ හිතවාදී අවිශිබමය පෙලපාලියක් සංවිධානය කරන්නේ මින් පසුවය.

සිසුන්ට තබා රජයට විරුද්ධව කිසිම අයුරක පෙලපාලියකට හොඳින් හෝ නරකින් ඉඩ නොතබන වාතාවරණයක් තුල සිසුන් පාරට බැසීමේ තැනට පත් කෙරෙන ක්‍රියාවලියක් ඉහත සිදුවීම් පෙල තුලින් අපට දක්නට හැක. එය එක්කෝ සැලසුම් සහගතව සිදුකරන ලද්දක් විය හැක. නැතිනම් හුදෙක් වගකීමක් නොමැති උඩඟු ඇමතිවරයෙකුගේ අහඹු ක්‍රියාකලාපය නිසා සිදු වූවක් විය හැක. කෙසේ වුවද පෙලපාලිය මර්ධනය කිරීම සඳහා ‍‍පොලිසිය යෙදවෙන අතර අධ්‍යාපන සුදුසුකම් අඩු පොලිස් කොස්තාපල් වරුන් හා අධ්‍යාපනික සුදුසුකම් වැඩි සිසුන් අතර ගැටුම ලේ වැගිරීමක් දක්වා තත්වය උද්ගතවේ. සිසුන් හා පොලිසිය යනු එකිනෙකාට වෛර කරන කොට්ඨාශ දෙකක් බව පොදු මතයයි. ගැටුමක් ඇති කිරීමට අවශ්‍ය වන්නේ දෙපාර්ශවය එක් කිරීම පමණි. අවසානය අනිවාර්යයෙන්ම පසුගිය දින සිදු වූ අයුරින් රඟ දැක්වේ.

ඉහත සිදුවීම් ක්‍රියාදාමය ඉතා සූක්ෂමව සැලසුම් නොකල එකක් ලෙස අප ගතහොත් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස එස් බී දිසානායක මෙහිදී හැසිරී ඇත්තේ ඇමතිවරයෙකුට තබා සාමාන්‍ය පෙල සිසුවෙකුට තරම්වත් නොවන මට්ටමකිනි.

  1. පොදුවේ සරසවි පද්ධතියටම බලපාන තීරණයක් සිසු නියෝජනයකින් තොරව සිදු කිරීම හා ඔවුන් ප්‍රකෝප කරවන අන්දමින් මූනට දමා ගැසීම
  2. ප්‍රචණ්ඩකාරීන් ප්‍රකෝප කල පසු ඇති වන ප්‍රතිඵල ගැන අවබෝධයක් ඇතිවම ඒ තැනට වැඩ කටයුතු සිදු කිරීම
  3. හූ සංග්‍රහයට පලිගැනීමක් ලෙස ඉතාමත් පෞද්ගලික මට්ටමකින් සිසුන් කිහිප දෙනෙක් තෝරා අවම වශයෙන් වසර හතරක්වත් හිරේ දමන බවට පුරසාරම් දෙඩීම
  4. පෞද්ගලික සරසවි පිලිබඳ ජනප්‍රිය තර්ක විතර්ක පමණක් සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට යාම

රටක උසස් අධ්‍යාපනය යනු එහි ආරක්ෂක පරිමාව මෙන්ම වැදගත් වූ අංගයකි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් මෙලෙස වගකීමකින් තොරව පෞද්ගලික හැඟීම් වලින් අන්ධ වී කටයුතු කරන ඇමතිවරයෙක් මත එවැනි වගකීමක් පැටවීම මෙරටේ මුල් පුටුව දක්වා වගකිව යුතු තත්වයකි. එයින් ඔවුන් මුලිනුපුටා දමන්නේ රටේ අනාගතයයි. අනෙක් අතට එස් බී දිසානායක ඇමතිවරයා කටයුතු කරන්නේ කාගේ හෝ සැලසුමකට අනුව නම් එය තව දුරටත් මෙරටේ සිසු අර්බුදය උග්‍ර කරන්නක් බව කිව යුතුය. සිසුන් පාගා දැමීමෙන් සැලසුම් ක්‍රියාත්මක කරන්නට යාමේ මෑත කාලීන ඉතිහාසය මතක් කිරීමට එතරම් මිහිරි නැත.

අවසාන වශයෙන් කිව හැක්කේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරිමාණයන් අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගත හැකි ඇමතිවරුන් මෙරටට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් එස් බී දිසානායකනම් ඉන් එක් අයෙකු නොවන බවත්ය.

පිස්සු නැටීමට ප්‍රසිද්ධ ඇමතිවරයෙකුත් මුග්ධ දේශපාලන පක්ෂයකුත් අතර සිරවුනු සරසවි සිසුවාගේ තත්වය ඊයේ වන විට එසේය. සමහර විට හෙට වන විට සිසුන් නැවත වරක් බස් පිටින් කොළඹ වටරවුමක් අසලට එක් රැස් විය හැක. එවිට තවත් කුඩා සිවිල් යුද්ධයක් මෙරට ප්‍රේක්ශකයින් රස විඳිනු ඇත.‍ මෙම තත්වය වෙනස් කිරීමට අදහස් කරන අයෙකු ක්‍රියා කල යුත්තේ ඊට කලිනි. සිසුන් මෙම තත්වයෙන් ගලවා ගැනීමටනම් ඉහත සඳහන් වින කටින්නන් දෙපාර්ශවයෙන්ම ඔහු ගලවා ගත යුතුය. බලය තහවුරු කර ගැනීමේ යුද්ධයෙන් සිසුන් විනාශ වී යාමට පෙර එය සිදු විය යුතුය.