සින්දු කිව්වෙ නෑ වෙඩි තිබ්බා විතරයි

“නෝ මෝ මාක්ස්”

අජිත් කුමාරසිරි ගෙ සින්දු කිහිපයක් අහන්න ඕනෙ කියල හිතුන කට්ටියකට එහෙම චාන්ස් එකක් ඊයෙ ලැබුනෙ ඒ ‍විදියට. මාක්ස් තව දුරටත් නැහැ.

අජිත් ගෙ ඉදිරිපත් කිරීම් අනර්ඝයි. ඒත් හැම අයිටම් එකක්ම ඉවර කරපු නැති ලී බඩුවක් වගෙ. රලු කොන් දැනෙනව වචන ඇහෙද්දි. ඒක මේන්ස්ට්‍රීම් එකෙන් වෙන් වීම නියෝජනය කරන්න කරපු වැඩක් වෙන්නත් පුලුවන්. ෂෝ එකෙන් පස්සෙ බෝත‍ලේක අඩියෙ මාක්ස් හොයන ගමන් අපි කතා කලෙත් අජිත්ගෙ සින්දු තව මටසිලිටු කරන්න ඕනෙද කියන එක. ඒත් එහෙම වුනොත් අජිත්ව හොයන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. මොනව වුනත් ඒ සින්දු වල තියෙන වචන ලොකු කතාවක් බොහෝම පොඩි වෙලාවකින් කියන්න හදනව. බයිල රීමික්ස් කරන්න යන කාලෙක ඒ වගේ උත්සහයක් ගන්න එක මැරෙන්න යන මිනිස්සු බේරගන්නව වගේ වැඩක්.

රාජසිංහ නාමෙන් පොඩි දරුවා වංගෙඩියට දාලා කොටනකොට බලං හිටියෙ අපි ත්‍රිලටද මගෙ සඳ

රොක් කිව්වාම ලංකාවෙ තියෙන ගොඩක් ෂෝ rich kid ජාතියෙ සල්ලි වනන දේවල්. දේශපාලනය ගොඩක් අඩු වීම තමයි ඒවගෙ දේශපාලනය. Emo කතා දෙක තුනක් එක්ක රොක් කරන්න හදන අය තාමත් ලංකාවේ ඉංග්‍රීසි රේඩි‍යෝ චැනල් වලින් ඇහෙනව. ඒව එපා කියනව නෙමෙයි. හැබැයි රොක් වල දේශපාලනය හරියට ඉදිරිපත් කරනව දැක්කනං ඒ ඊයෙ. තාමත් හිතන්න පුලුවන් දර්ශනයක් ගන්න පුලුවන් වචන දැක්කනං ඒ ඊයෙ.

හමුදා භටයට මලක් පෑගුනා, බෝම්බෙකට පොඩි ලමයෙක් අහුවුනා

හෘද සාක්සිය වතුරෙ ගියා

ගාලු මුවදොර බේසමෙන්

අජිත්ගෙ බනින්න ගොඩක් දේවල් තියෙනව. ගොනු කරල කියනවනං අහන්නෙ කවුද කියන එක වැඩි කරගන්න ‍එක බල්ලට දාල තියෙන එක ලොකුම එකක්. හැබැයි ඕවා ඔලුවට වදින්නැති සීයට අසූවට බලෙන් කවන්න යනවට වැඩිය හොයල අහන සීයට විස්සකට සින්දු කියන එකත් සැපක් කියල හිතෙන්න පුලුවන්.

ෂෝ එක මැද්දෙ සින්දු දෙකක් කරපු බෑන්ඩ් එක ‍වචන තුනකින් කිව්වොත් මෙලෝ රහක් නෑ. පොහොසත් දෙවියන්ගෙ ඔලුව කපල දුප්පතුන් පාමුල තියන්න වගේ ගැලරියට ආතල් දෙන්න කෑගහල රොක් කරපු අයිටම් දෙකක් තිබුනෙ. මෙටැලිකා ටියුන් වල ආභාෂය තිබුනට මෙටැලිකා වචන වල තියෙන දේශපාලනික ගැඹුර ඒ අය ආභාෂයට අරගෙන තිබුනෙ නැහැ. තිබුනත් මට දැනුනෙ නැහැ.

ගැලරියට ආතල් දීම ගැන කතා කරද්දි එතනට ආපු සෙනඟ ගැන කතා නොකර බැහැ. මේ සෙන‍ඟෙ බොහොමයක් එක ටෙම්ප්ලේට් එකකට දාලා ගොනු කරන්න පුලුවන්. කොන්ඩෙ වවපු නූල් බැඳපු ලී මාල දෙක තුනක් දාපු ඩෙනිම් ෂර්ට් ගහපු ටෙම්‍ප්ලේට් එක. කරුමෙකට වගේ අජිතුත් ඒ ටෙම්ප්ලේට් එකේම තමයි. ඒ රටාව දැක්කාම හිතෙන්නෙ අජිත් පස්සෙත් කල්ලියක් හැදෙනවද කියන එක. රැඩිකල් ටෙම්ප්ලේට් එකක් හැදෙනව කියන එක, එක විදියකට පරස්පරයක්.

ග්‍රීස් ගහේ මුදුනටම ගියා මම, ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා

සිංහල අවුරුදු දවසේ

පබාවතිය මගෙ යන්න ගියා, කුසට ගෑස්ට්‍රික් අම්ල තියා

සිංහල අවුරුදු දවසේ

රටක් වටින ඇය යන්න ගියා, වැඩිම මනාපය ඇයට ගියා

සිංහල අවුරුදු දවසේ

ඔබෙ දෙතොල් විකුණන්න, ඔය දෙතන් විකුණන්න

හසරැල්ල විකුණන්න

අජිත් කරපු තුන් වෙනි ලෝකයෙ රටක් ඇල්බම් එක මම දන්න විදියට හැමෝටම නිකන් අහන්න පුලුවන් විදියට බෙදල තියෙනව. අජිත් ගෙ කටහඬ රලුයි. මියුසික් අත්හදා බැලීම්. වචන සිංහල බවුද්ද ජාතිකවාදෙට වහකදුරු වගේ. ඒත් ඕන කෙනෙකුට හිතන්න පටන් ගන්න පුලුවන් ඒ වචන ඇහුවොත්.

ලංකාවෙ රොක් වල දේශපාලනිකය දැනට නියෝජනය කරන්නෙ අජිත් කුමාරසිරි. ‍දේශපාලනික කතිකාවතක් රොක් වලින් හදල රොක් අහන සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න නං තව ගොඩක් දුර යන්න තියෙනව. එතකං හැම රැඩිකල් ආට් වැඩකටම එන ඊයෙත් ආපු පොඩි සෙට් එකට විතරක් මේ පණිවිඩය දිදී ඉන්න පුලුවන් තව කාලයක් යනකං. ඒත් දැනට ලොකු පියවරක් තියල තියෙනව. අජිත් කුමාරසිරි දෙන දේශපාලනික පණිවිඩයට මම සම්පූර්ණයෙන් එකඟ වෙන්නෙ නැහැ. ඒත් එහෙම හරි දේශපාලනිකයක් තියෙන ගායකයෙක් ඉන්නව කියන කරුණට මම කැමතියි.