Lucid Lynx සමග දිනයක් – උබුන්ටු 10.04 Alpha | A day with Lucid Lynx – Ubuntu 10.04 Alpha

උබුන්ටු 10.04 බීටා නිකුතුවකුත් තියෙන කාලෙ ඇල්ෆා දාගෙන විනාස කර ගත්ත කතා නිකන් ආදී කාලේ වගේ ඇති. ඒත් අලුතින් එන ඇල්ෆා සංස්කරණයක් පාවිච්චි කරන්න තරම් උණ තියෙන කෙනෙකුටනම් මේවා රස කතා.

මම මුලින්ම කලේ මගේ තිබුන 9.1 සංස්කරණයේ ඉඳන් dist-upgrade එකක් දාපු එක. මේක කරන්නේ මෙහෙමයි.

Applications -> Accessories -> Terminal හරහා ටර්මිනලයක් විවෘත කර ගෙන පහත විධාන නිකුත් කරන්න. ඔබ  අවසර තියෙන පරිශීලකයෙක් (privileged user) නෙවෙයි නම් (prompt එකේ අවසානයට තියෙන්නේ # නෙවෙයි නම් ඔබ අවසර තියෙන පරිශීලකයෙක් නෙවෙයි) මේ විධාන වලට මුලින් sudo යොදන්න අවශ්‍යයයි.

[sourcecode language=”bash”]

sudo sed -i ‘s/karmic/lucid/g’ /etc/apt/sources.list && sudo aptitude update && sudo aptitude dist-upgrade

sudo aptitude install update-manager-core

sudo do-release-upgrade -d

[/sourcecode]

මට මතක හැටියට මෙගාබයිට් 888ක ගොනු ප්‍රමාණයක් බාගත කරන්න ඉල්ලනවා. ඒක නිසා ටිකක් bandwidth තියෙන තැනක මේ වැඩෙ කලොත් හොඳයි. තව දෙයක් කියන්න ඕනේ. මේ බාගත කිරීම කරන්නේ ප්‍රොක්සි සර්වරයක් පිටුපස නම් (ටර්මිනලයේ env | grep proxy යනුවෙන් විධානය ලබා දුන්නාට පස්සේ ප්‍රතිපලයක් ලැබෙනවනම් ඒ කියන්නේ ඔබ ඉන්නේ ප්‍රොක්සි සර්වරයක් පිටුපස) සමහර ගොනු බාගත කිරීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. libsexy හා python-sexy යනුවෙන් ගොනු දෙකක් බාගත කිරීම අනිවාර්යයි. නමුත් මේ නම් දෙක සමහර ප්‍රොක්සි සර්වර් මගින් අවහිර කරලා තියන්න පුලුවන්. වෙබ් ප්‍රොක්සි පාවිච්චි කිරීමෙන් සමහර විට මේ ප්‍රශ්නය මඟ හරව ගන්න පුලුවන් වෙයි.

Continue reading

සිංහල බ්ලොග්කරණය කොයිබටද?

සිංහල බ්ලොග්කරුවන් ලෙසත් සිංහල බ්ලොග්කරණය ලෙසත් අද ජනප්‍රිය ලෙස හැඳින්වෙන දේ දෙස බලනවිට හැඟී යන පළමු කාරණය වන්නේ මෙහි යෙදෙන බොහෝ දෙනා බ්ලොග්කරණය හෝ එහි සීමා පිළිබඳ වැඩි අවබෝධයකින් යුක්ත නොවන බවයි. පසුගිය දින වලදී එක් අඩවියක් වටා යෙදුණු කතා බහ නිරීක්ෂණය කිරීමේදී ද මෙම ලක්ෂණය බොහෝ සෙයින් විද්‍යාමාන වනු දක්නට ලැබිණි.

ලංකාවෙන් පිට බ්ලොග්කරණයේ භුමිකාව දෙස බැලුවහොත් එය විශාල වශයෙන් සමාජ දේශපාලනික ක්‍රියාදාම තුල වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව දැකිය හැක. පුවත්පත්, රූපවාහිනී වැනි සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය සඳහා සැලකිය යුතු විකල්පයක් ලෙස බ්ලොග්කරණය ප්‍රචලිත වෙමින් පවතී. ඒකාධිපති පාලනයන් සහිත රාජ්‍ය තුල ප්‍රධාන විරෝධය එල්ලවන්නේ පාරේ සිදුවන විරෝධතා ව්‍යාපාරවලටත් වඩා බ්ලොග් අඩවි තුලින් යැයි පැවසුවහොත් එය නිවැරදිය. මෙවැනි ර‍ටවල් තුල බ්ලොග්කරණය ක්‍රම ක්‍රමයෙන් තහනම් වෙමින් යෑමද වැඩි වැඩියෙන් බ්ලොග්කරණයේ ඇති සමාජමය වගකීම විදහා දක්වයි. ඊජිප්තුව තුල ආණ්ඩු විරෝධී බ්ලොග්කරණයේ යෙදුනු බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් මරා දැමීමද තවත් අය අතුරුදන් වීමද, පුරුෂාධිපත්‍ය උපරිමව ඇති රටවල කාන්තා අයිතීන් පිළිබඳ ප්‍රධාන හඬ බ්ලොග්කරණය හරහා යොමුවීමද බ්ලොග්කරණයට යා හැකි දුර පිළිබඳ සූචකයන්ය.

නමුත් අවාසනාවකට සිංහල බ්ලොග්කරණය මෙලෙස වර්ධනය වීමකට ලක්වී නොමැත. එහි බහුතරයක් අතර තවමත් ඇත්තේ තාක්ෂණික හා පෞද්ගලික ප්‍රකාශනයන් පමණක් වන අතර සමාජමය හා දේශපාලනමය වශයෙන් වැදගත්කමක් ඇති බ්ලොග් අඩවි සුළු ප්‍රමාණයකට සීමා වී ඇත. එලෙස පවතින බ්ලොග් අඩවි වලට පවා විරෝධයක් සියුම් ලෙස ගොඩ නැගෙමින් පවතී. මෙම සටහන යතුරු කෙරෙන්නේ එවැනි සන්දර්භයක් තුලය.

සිංහල බ්ලොග්කරණයේ වැඩි කොටසක් සින්ඩිකේටරයක් වටා එක්රැස් වී එහි ඇති නීති රීති වලට අනුගත වෙමින් විවිධ රාමු වලට තමාව කොටු කරගෙන යමින් සිටිනවා කීම වැරැද්දක් නැත. සිංහල බ්ලොග් ආරම්භයේදී සින්ඩිකේටරවත් ගූගල් සමූහවත් නොතිබුණු අතර එවකට බ්ලොග්කරණය යනු බ්ලොග්කරණය මිස සින්ඩිකේටර අලංකාරව තබා ගැනීමට කරන ව්‍යායාමයක් නොවිණ. තමන් කැමති ආකාරයට තමන්ගේ අදහස්, සිතුම් පැතුම්, දැනුම සෙසු ලෝකය හා බෙදා ගත් අතර එය මාස තුනකට සැරයක් වත් කල යුතු යැයි සීමා පැවරී නොතිබුණි. ගූගල් සමූහ පසුව පින්තූරය තුලට පැමිණෙන්නේ බ්ලොග්කරණය සම්බන්ධ ආකල්ප වර්ධනයට හා අංකුර බ්ලොග්කරුවන් හට අත්වැලක් වශයෙනි. සිංහල බ්ලොග්කරණය ප්‍රචලිත කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් පැවැත්වෙන අතර බ්ලොග් මැරතන් පැවැත්වෙන්නේ එවැනි ක්‍රියාකාරකමක් ලෙසිනි. සින්ඩිකේටර සිංහල බ්ලොග්කරණයේ පලමුවරට භාවිතා වන්නේ මෙම පලමු බ්ලොග් මැරතන් අවස්ථාවටත් ප්‍රථමය. දැන් පවතින සින්ඩිකේටරයට අඩිතාලම වැටෙන්නේ එම මැරතන් අවස්ථාවට නිර්මාණය කරන සින්ඩිකේටරය හා ඊට ප්‍රථම පැවති සින්ඩිකේටරය එකතුවෙනි.

බ්ලොග් කියවීම සඳහා සින්ඩිකේටර මගින් ලැබෙන සහය නොමඳ බව කිව යුතුය. නමුත් යමෙකුට Google Reader හෝ එයාකාරයේ වෙනත් Feed Aggregator එකක් භාවිතයෙන් බ්ලොග් අඩවි කියවිය හැකි බව රහසක් නොවේ. කොටින්ම කියනවානම් RSS/Atom feed තාක්ෂණය බිහිවන්නේ‍ද බ්ලොග් කියවීම පහසු කරවීම යන අරමුණ පෙරදැරිකරගෙනය.

නමුත් සිංහල බ්ලොග්කරණය තුල සින්ඩිකේටරයක භූමිකාව බ්ලොග් කියවීමට වඩා වෙනස් ආකාරයකට පත් වී ඇත. මුල් කාලයේදී බ්ලොග් වෙනුවෙන් සින්ඩිකේටර පැවතුන නමුත් දැන් සින්ඩිකේටර වෙනුවෙන් පවතින බ්ලොග් රාශියකි. නවක බ්ලොග්කරුවන් බිහිවන්නේ සින්ඩිකේටරයටය. ඒ අර්ථයෙන් ඔවුන් බ්ලොග්කරණයේ යෙදෙන්නේද සින්ඩිකේටරයක් වෙනුවෙනි. සින්ඩිකේටරයට බ්ලොග් ඇතුළත් කර ගැනීමේදී සඳහන් කර ඇති නීති පද්ධතියෙන් පිටතට යෑමට ඔවුන් නිර්භය වන්නේ නැත. ඒ ඔවුන්ගේ ඇස් ඉදිරිපිට සින්ඩිකේටරයකින් තොර බ්ලොග්කරණයක් නොමැති බැවිනි. සැබෑ ප්‍රකාශනයෙන් ඈත් වී ඊනියා ආචාර ධර්ම පද්ධතියක් යොදා ගෙන තමාව ස්වයංවාරණයකට ලක් කර ගැනීමට මොවුන් පෙළඹී ඇත. එනම් ද්විතීයක අගයකින් යුත් සින්ඩිකේටර දැන් බ්ලොග්කරණය පාලනය කිරීමට තරම් ඉදිරිපත් වී ඇත.

සත්‍ය බොහෝ විට ජනප්‍රිය මතවාදයට පටහැනිවන අතර සින්ඩිකේටර හා සිංහල බ්ලොග්කරණය පිළිබඳවද එය එසේමය. බ්ලොග්කරණයට පිවිසෙන්නන් හට ඍජුව හෝ වක්‍රව ලබා දෙන අදහස වන්නේ ඔවුන්ගේ බ්ලොග් අඩවිය ප්‍රචාරණය කිරීමට තිබෙන එකම ක්‍රමය සින්ඩිකේටරය බවයි. ඔවුන් සින්ඩිකේටරයෙන් එළියට ඇද දැමුවහොත් ඔවුන් බ්ලොග්කරණයේ යෙදෙන අන්තිම දවස එය බව නොපවසා පැවසේ. එලෙස එළියට ඇද ‍නොදැමීමටනම් සෑම විටම සින්ඩිකේටරයේ නීති වලට අනුව බ්ලොග්කරණයේ යෙදිය යුතු අතර එහි පාලකයින්ට විරුද්ධව ඇඟිල්ලක් එසවීම නොකල යුතුය. නමුත් සත්‍යය මෙය ද? මෙය අපට මතක් කර දෙන්නේ ඇමෙරිකානු නැගෙනහිර තීරයේ නගර තුල ක්‍රියාත්මක වුනු ඉතාලි මාෆියාවයි.

බ්ලොග් අඩවියක් ප්‍රචාරය කර ගැනීම සඳහා ඇති එකම මාධ්‍යය සින්ඩිකේටර නොවේ. සිදුවන්නේ බොහෝ විට අනිත් පැත්තයි. සින්ඩිකේටර පවතින්නේ හා වැඩිදියුණු වන්නේ එහි පලවන බ්ලොග් අඩවි වල ගුණාත්මක භාවය මතයි. අන්තර්ජාල පහසුකම් හා භාවිතය වැඩිදියුණු වී නව මානයන් කරා ඇදෙන, විශේෂයෙන්ම Web 2.0 යුගයද පසු කර Web 3.0 පූර්ව දර්ශනයවන මානයේ ඇති නවීන ලෝකය තුල බ්ලොග් සටහනක් ලෝකය පුරා නොමිලේ ප්‍රචාරය කිරීමේ නොහැකියාවක් නැත.

Facebook හා Twitter මෙම ප්‍රචාරණ ක්‍රම සඳහා කදිම උදාහරණ වේ. යම් සබැඳියක් (link එකක්) පල කල විට share හා retweet කිරීම මගින් වෛරසමය ආකාරයේ ප්‍රචාරණයක් ලබා ගැනීම සතයක් වත් වියදම් නොවී සිදු කල හැක. ස්පෑම් කිරීමකින් ‍තොර වූ ඊමේල් ක්‍රියාවලියකින් ද මීට සමාන ප්‍රතිපලයක් ලබා ගත හැක.

නමුත් දැන් බොහෝ දෙනෙක් ‍මා හට ඔවුන්ගේ අඩවි තුල අටවා ඇති hit counter ‍සටහන් පෙන්වමින් සින්ඩිකේටරයට ඇතුළු කිරීමෙන් පසුව අඩවියට පැමිණෙන පිරිස් බොහෝ ලෙස වැඩි වූ බව පෙන්වනු ඇත. මෙහි සත්‍ය අසත්‍ය භාවය කුමක් ද?

ඇමෙරිකානු ජාතික එක් මිතුරෙකුගෙන් මීට දින කිහිපයකට පෙර විමසූ පසු ලැබුණු පිළිතුර මේ සඳහා සුදුසුම පිළිතුර යැයි මම සිතමි. ඔහුගේ පෞද්ගලික අඩවියට දිනකට පැමිණීම් 1000ක් පමණ සිදුවේ. ඔහු සිදු කරන එකම ප්‍රචාරණය twitter මගින් පමණි. Facebook භාවිතයක් නොමැත. කොටින්ම සින්ඩිකේටරයක අවශ්‍යතාවය ඔහුට වැටහෙන සීමාවක නැත. ඔහු Ubuntu මෙහෙයුම් පද්ධතිය සඳහා වටිනා මෘදුකාංගයක් නිපදවා ඇති අතර එය බාගත කරගන්නා පිරිස ලෝකය පුරා විසිර ඇත. Hit ප්‍රමාණය පිළිබඳව ඔහු පැවසූයේ ප්‍රමිතියකින් හා තත්වයකින් යුතු අන්තර්ගතයන් පළකරන තාක් කල් ඔබගේ අඩවියට ලැබෙන hit ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් නොවිය යුතු බවයි.

මෙම තත්වය අප අත්දුටු දෙයකි. සිංහල භාෂාව ලොව පුරා ව්‍යාප්ත නොවූ බසකි. එය ඉංග්‍රීසි භාවිතා කරන අපගේ ඇමෙරිකානු මිතුරා හට වැඩිපුර ඇති වාසියකි. නමුත් අප කවුරුත් දන්නා ටැබූ සිංහල භාවිතා කරමින් බ්ලොග්කරණයේ නියැලුණු කාලයේ දීත් දිනකට hit 1000කට ආසන්න ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වේ. ඔහු සින්ඩිකේටරයකින් ඉවත් වූ පසුත්, භාෂාව ඉංග්‍රීසි වෙත මාරු කල පසුත් එම hit ප්‍රමාණය එලෙසින්ම පැවතීම සින්ඩිකේටරය හා බ්ලොග් අඩවියක ගුණාත්මක භාවය අතර ඇති අසම්බන්ධය මැනවින් විදහා පාන්නේය.

සින්ඩිකේටරයක් තුලින් ඔබගේ අඩවිය වෙත පැමිණෙන්නේ සත්‍ය වශයෙන්ම එය කියවීමට අවශ්‍ය හෝ ඒ සඳහා උනන්දුවක් ඇති අය යැයි කිව නොහැක. බොහෝ විට පැමිණෙන අය මුල් තත්පර 30 තුලදී පිටවීමද සිදු විය හැක. මෙය වඩාත් හොඳින් දැක ගත හැකි එක් දර්ශකයක් වන්නේ Average Time on Site යන්නයි.

සත්‍ය වශයෙන්ම සිංහල බ්ලොග්කරණය තුල සින්ඩිකේටර ආරම්භ වන්නේ මෙවැනි සන්දර්භයක් රැගෙන නොවේ. මුලදී ඇතිවන එකඟතා දැන් පවතින මර්ධනකාරී ඊනියා ආචාර ධර්ම වලට සහමුලින්ම වෙනස් වූ බවද බොහෝ දෙනා නොදනී. බහුතරය සිතා සිටින ආකාරයට සිංහල බ්ලොග්කරණයේ පාලකයින් වීමට දඟලනා සුළු පිරිස මෙලෙස ඒකරාශී වූ සිංහල බ්ලොග්කරුවන්ගේ නිර්මාපකයින්ය. එම අදහස ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම සුළු පිරිස වක්‍රාකාරයෙන් ලබා ගන්නා වාසි ප්‍රමාණයද සුළු පටු නොවේ.

සිංහල බ්ලොග්කරණයේ ඉතිහාස පාඩමක් ලබා දීම අපට අදාල නැත. නමුත් මෙහි සත්‍ය නිර්මාපකයින්ට ඉතාමත් නින්දිත හා තුච්ඡ ආකාරයට මඩ ගසා, පවුල් පසුබිම් පවා සොයා බලා ප්‍රසිද්ධියේ අවමාන කර, තවමත් පාසැල් යන වයසේ නිසා කපටි සහගත ආකාරයෙන් (WHOIS වාර්තා පවා හොර රහසේ තමන්ගේ නමට වෙනස් කර ගනිමින්) ඉවතට දමා, අවසානයේදී එම අතීතයද වල දමා ඒ මත නැගී සිටින බොල් පිළිම ටිකකට බොහෝ දෙනා සිංහල බ්ලොග්කරණයේ දෙවියන් ලෙස ලබා වන්දනාමාන කරන බව කිව යුතුය. මෙය විශ්වාස කිරීමට නොහැකි අය සිටීනම් බ්ලොග් අඩවි ඒකමතිකව හා පෞද්ගලික හේතූන් මත ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්න කල අපට මුලින් යුනිකේත සම්මතයේ විරෝධී අය යැයි හංවඩු ගසා (මුල් නිර්මාපකයින්ට එරෙහිව ද යොදා ගෙන ඇත්තේ මෙම ක්‍රමයයි) එය අසාර්ථක වූ පසු සිංහල බ්ලොග්කරණය කඩාකප්පල් කිරීමට දඟලන කුමණ්ත්‍රණකාරීන් ද කියා මඩ ගැසීමට උත්සහ කිරීම මතක් කර ගත යුතුය. ඉන්පසුව එක් එක් අයගේ ගිරා පෝතකයින් කඩේ යවමින් ඍජුව හා වක්‍රව අපගේ බ්ලොග් අඩවි සින්ඩිකේටරයෙන් ඉවත් කර ගන්නා ලෙස සිදු වූ බලපෑම් ද පෙන්වා දිය යුතුය.

සිංහල බ්ලොග්කරණයේ ආරම්භයේදී එහි නියමුවන් ලෙස සිටි අයත් (මෙම පුද්ගලයින් විසින් තමන් තමාගේ “වටිනා ධනය ශ්‍රමය හා කාලය ඒ සඳහා කැප කරන බව” පුන පුනා ජප කරමින් නොසිටි බව කිව යුතුය) වර්තමානයේ සිංහල බ්ලොග්කරණයේ නියමුවන් ලෙස පෙනී සිටීමට දඟලන පිරිස් දෙසත් බැලූ විට පැහැදිලි වන එක් කරුණක් ඇත. මුල් සාමාජිකයින් මෙන් බ්ලොග්කරණය මෙන් පුලුල් වූ අවබෝධයක් මොවුන් හට නොමැත. ඇත්තේ බ්ලොග්කරණය හා අන්තර්ජාලය පිළිබඳ තාක්ෂණික පසුබිම් දැනුමක් පමණි. අන්තර්ජාලය තුල පුද්ගලයින් ඒකරාශී වන වෙනත් සාම්ප්‍රදායික ආකාර වන Usenet, Forum, Mailing list වලින් බ්ලොග්කරණය වෙනස්වන්නේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ නිසි අදහසක් මොවුන්ට නොමැත. ඔවුන් ‍බ්ලොග් පාලනය කිරීමට කැසකවන්නේද ෆෝරමයක සටහන් පාලනය කරනා ආකාරයටය.

බ්ලොග්කරණයේ නොයෙදෙන, කලාතුරකින් බ්ලොග් අඩවියකට පැමිණෙන හා තාක්ෂණ හැර වෙනත් කිසිම දෙයක් පිළිබඳ අබමල් රේණුවකවත් දෙයක් නොදන්නා පිරිසක් මා බ්ලොග්කරණයේ යෙදිය යුත්තේ කුමන ආකාරයෙන්දැයි මට පැවසීම නොකල යුතු දෙයකි. ඊනියා සංසදයෙනුත් සින්ඩිකේටරයෙනුත් මාගේ බ්ලොග් අඩවි ඉවත් කර ගන්නේ මෙම හේතුව නිසාය.

කෙ‍සේ වෙතත් සිංහල බ්ලොග්කරණය මෙතෙක් කල් නැවතී සිටි අම්බලමෙන් පිටවී නව මං සොයා තම ගම‍න ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත. තමාගේ බ්ලොග් අඩවියට පැමිණෙන hit ප්‍රමාණයට වඩා තමන් එයට ඇතුලත් කරනා අන්තර්ගතයන්හි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන බුද්ධිමත් බ්ලොග්කරුවන් බිහිවීම මෙම අම්බලමේ නැවතී සිටින තාක්කල් සිදුවන්නේ නැත. මෙයින් සැමදා බිහිවන්නේ අසභ්‍ය නිසා ලිංගිකත්වය පිළිබඳ කට හොල්ලන්නේවත් නැති, මඩ නිසා දේශපාලනය දෙසවත් නොබලන, බිය නිසා admin වරුන්ට එරෙහිව කට හොල්ලන්නේවත් නැති, සින්ඩිකේටරය අලංකරණයේ යෙදෙන උයන් පල්ලන් පමණි.

මෙම උයන් පල්ලන් තේරුම් ගත යුතු දෙයක් ඇත. සිංහල බ්ලොග්කරණයේ පරම වූ අරමුණ අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩි කිරීම හෝ සිංහල යුනිකෝඩ් ප්‍රචලිත කිරීම වැනි ද්වීතියක කාර්යයන් නොව බ්ලොග්කරණය තුලින් සමාජයට වැඩදායී කාර්යයක් ඉටු කිරීම යන්නයි. එය දැනටමත් ඉටු කරනා ‍බොහෝ අය සින්ඩිකේටර වලින් පිටත බ්ලොග්කරණයේ යෙදේ. ඔවුන් තමන්ට hits නැති නිසා නහයෙන් අඬන්නේ නැත. ප්‍රතිචාර නොමැති නිසා බ්ලොග්කරණයෙන් ඉවත් වන්නේ නැත. එලෙසම ඔවුන් ලිවිය යුත්තේ කුමක්දැයි යන්න වෙනත් අය කියා දීමට යන්නේද නැත. ඔවුහු බ්ලොග්කරණයේ යෙ‍දෙති. සින්ඩිකේටර අලංකාර කිරීම ඔවුනට අදාල නැත. එය සත්‍ය වශයෙන්ම සිංහල බ්ලොග්කරණයේ ඉදිරි අනාගතයද විය යුතුය. අදහස් ප්‍රකාශනය පමණක් පෙර දැරිකර ගත් පිරිසක් බ්ලොග්කරණය තුලින් බිහිවිය යුතුය. එදිනට අපට මීට වඩා පුළුල් පරාසයක් සිංහල බ්ලොග්කරණය තුලින් දැකිය හැකිය.

වැඩිදුර කියවීම සඳහා බ්ලොග්කරණය පිළිබඳ ක්‍රියාකාරී පහත අඩවි වෙත යන්න.

Global Voices OnLine – http://globalvoicesonline.org/

Threatened Voices | Global Voices Advocacy – http://threatened.globalvoicesonline.org/

Electronic Frontier Foundation | Bloggers’ Rights – http://www.eff.org/issues/bloggers

උබුන්ටු සහ සිංහල : Installing Sinhala in Ubuntu 8.1

උබුන්ටු ලිනක්ස් හි නවතම නිකුතුව වෙන්නේ උබුන්ටු 8.1 Intrepid Ibex. මෙයට පසුව 9.04 Jaunty Jackalope ලෙසත් 9.10 Karmic Koala ලෙසත් අනුවාදන නිකුත් වීමට තිබෙනවා. මම මුලින්ම පාවිච්චි කරපු ලිනක්ස් බෙදාහැරීම තමයි උබුන්ටු. එය පරිශීලක සහාය(user friendliness) අතින් ඉතාමත් හොඳ තත්වයේ පවතින ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක්. සිත්ගන්නා සුලු human themed අතුරු මුහුණතකින් සමන්විත එය ලබා ගැනීමට පහසු වීම එහි ජනප්‍රියතාවයට හේතුවක්. උබුන්ටු ලිනක්ස් ලබා ගැනීමට http://www.ubuntu.com/getubuntu වෙත යන්න. එය බාගත කිරීමට හෝ හදිස්සි නැතිනම් ගෙදරටම නොමිලේ ගෙන්වාගන්න පුලුවන්.

DistroWatch මගින් එය most popular desktop linux edition එක ලෙස ඇතුලත් කලා. 2004 දි නිකුත් වූ නමුත් අනිත් ලිනක්ස් බෙදාහැරීම් වලට වඩා ජනප්‍රියතාවයෙන් ඉහලට යන්න උබුන්ටු සමත් වුනා. දැන් වුනත් ලිනක්ස් වලට අලුතෙන් එන කෙනෙක්ට කියන්නේ උබුන්ටු වලින් පට්න් ගන්න කියලා. සාමාන්‍යයෙන් මේ FOSS පෙළෙන user friendliness ඉතා අඩුබවින් උබුන්ටු පෙලෙන්නේ නෑ. සමහර ලිනක්ස් බෙදාහැරීම් වගේ නෙවෙයි. Help තියෙන්නේ Offline. ඒකත් හොඳ feature එකක්.

මෙම සටහනින් කියන්න යන්නේ උබුන්ටු 8.1 Intrepid Ibex වල සිංහල ස්ථාපනය කර ගන්න ආකාරය. මගෙන් යාලුවන් කිහිප දෙනෙක්ම මේක අහලා තිබුනා.

මේ සඳහා මුලින්ම Multiverse Repository එක සක්‍රීය කර තිබිය යුතුයි. එය කිරීමට System -> Administration -> Software Sources තෝරා ගන්න.
(එවිට රහස් පදය ඇතුලත් කිරීමට window එකක් පැමැණියොත් එයට ඔබගේ රහස් පදය ඇතුලත් කරන්න. විස්ටා හි ඇති UAC feature එකට සමාන feature එකක්)

ඉන් පසු පැමිනෙන window එකේ Downloadable From The Internet යටතේ ඇති හතරවන විකල්පය Software Restricted By Copyright or Legal Issues(multiverse) තෝරා ගන්න. දැන් close click කල පසු sources ලිස්ට් එක reload කරන්න දැයි අසමින් Messagebox එකක් පැමිනෙන අතර එයට Reload ලබා දෙන්න.

දැන් ඔබ Multiverse සක්‍රීය කර අවසන්. දැන් තමයි ස්ථාපනය කරන්න පටන් ගන්නේ.

ටර්මිනල් එකක් (Applications -> Accessories -> Terminal) විවෘත කර පහත දැක්වෙන විධානය ක්‍රියාත්මක කරවන්න.

සියලුම විධාන case sensitive නිසා එම ආකාරයෙන්ම ඇතුලත් කරන්න. Capital අකුරු capital ලෙසත් simple අකුරු simple ලෙසත් ඇතුලත් කරන්න.

sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule
sudo apt-get install im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base

ඔබගේ රහස් පදය ඇතුල් කරන්න.

ඉන්පසු මෙම විධානය ඇතුල් කරන්න.
im-switch -z all_ALL -s scim-immodule

දැන් ඔබ ගේ account එකෙන් log out වී නැවත log වෙන්න.

දැන් උබුන්ටු top panel එකේ දකුනු කෙලවරේ (ඉහල දකුණු කෙලවරේ) key board එකක සලකුණක් දක්නට ඇත. ඔබ යතුරු පුවරුව විජේසේකර පුවරුවට මාරු කරගත යුත්තේ එතනින්. එම අයිකනය මත click කර sinhala විකල්පය තෝරා si-wijesekara-preedit විකල්පය තෝරා ගන්න.

දැන් ඔබට සිංහලෙන් ටයිප් කිරීමේ හැකියාව ඇත. නැවතත් ඉංග්‍රීසි යතුරු පුවරුවට මාරු වීමට එම අයිකනය මත click කර English/Keyboard තොරාගන්න. Windows වල මෙය alt+shift යතුරු එකතුවෙන් කරගන්නාක් මෙන් උබුන්ටු වලදී ctrl+space යන එකතුව යොදා ගත හැක.