Renault සහ FOSS

Renault

වසර කිහිපයකට පෙර (1980 දශකයේ) ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන රෙනෝල්ට් (Renault) සමාගම දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තිබුනා. එක්තරා කාලයකදී Renault නිෂ්පාදන ඉහළ නමක් දිනා සිටියත් දිනෙන් දින ඔවුන්ගේ වෙළඳපොළ කඩා වැටීමකට ලක් වුනා. සමාගම පවත්වාගෙන යාමේ අවසන් උත්සහය ලෙස ඉහළ කළමණාකාරීත්වය විසින් සමාගම තුල පැවති සංස්කෘතිය(ඉංග්‍රීසියෙන් culture වුවත් මෙතනට ගැලපෙන වචනය මෙයද දන්නේ නෑ) බලවත් ලෙස වෙනස් කිරීමකට ලක් කරා. තවත් වෙනස් කම් කිහිපයක් සමඟ සිදු වූ මෙම වෙනස ඉතා හිතකර අන්දමින් සමාගමට බලපෑ අතර ඉතාමත් ඉක්මනින් ප්‍රංශයේ පමණක් මුළු යුරෝපය පුරාම නැවත තම ආධිපත්‍ය පතුරුවාගැනීමට සමාගමට හැකි වුනා.

Renault හට නැවත වැජඹිමට ඉවහල් වුන මේ සංස්කෘතික වෙනස කුමක්ද?

වෙනසට කලින් සමාගම තුල “බුවාලා” වූයේ ඉන්ජිනේරු කණ්ඩායමයි. කළමණාකාරීත්වය මගින් ගත් සෑම තීරණයකටම ඉන්ජිනේරුවන්ගේ රෙකමදාරුව වැදගත් වුනා. සම්පූර්ණයෙන්ම තාක්ෂණික මොළ සහිත වූ ඉන්ජිනේරුවන් විසින් තාක්ෂණිකව වැදගත් සහ තාක්ෂණිකව වටිනාකමක් ඇති මෝටර් රථ නිපදවූවා. එසේ නම් සමාගම කඩන් වැටීමට හේතු වූයේ කුමක්ද?

තාක්ෂණිකව කෙතරම් වැදගත් වූවත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට Renault නිෂ්පාදන වලට නොහැකි වුනා. තාක්ෂණික මොළ සහිත වූවන්ගෙන එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි සාධාරණවම. උදාහරණයක් ලෙස මෝටර් රථයට කතා කිරීමට හැකි වුනත් අමතර කොටස් ලබා ගැනීම ඉතාමත් අපහසු නම් එවැනි මෝටර් රථයකින් පාරිභෝගිකයාට ඇති වාසියක් නැහැ. එවැනි නිෂ්පාදනයට මුදල් වැය කිරීමට ඔහු කැමති නැහැ. එය නොමිලේ ලබා දුන්නොත් සමහර විට ගැනීමට පුලුවන්. නමුත් නිෂ්පාදන හා Renault සමාගම දියුණු වීමට එය උපකාරී වෙන්නේ නෑ.

මේ සියලු දේ අතරතුර ඉන්ජිනේරුවන් තුළ, එම නිසා සමාගම තුළ, තිබූ අදහස වූයේ ඔවුන්ගේ නිෂ්පාදන උසස් බවත් (ඇත්ත) එය පාරිභෝගිකයා තේරුම් ගත යුතු බවත් (ඇත්ත), එසේ තේරුම් ගැනීමට බැරි නම් එය මෝඩ පාරිභෝගිකයාගේ වැරැද්ද (ඇත්ත) මිස ආයතනයේ වැරැද්දක් නොවන බවත් යන්නයි. මේ සියල්ලම සත්‍ය වූවත් ආයතනයේ නිෂ්පාදන වර්ධනය කිරීමට මෙම attitude එක උපකාර නොවන බව ඕනෙම කෙනෙකුට තේරුම් යන්න ඕනේ.

ආයතනය නැවත වර්ධනය කර ගැනීම සඳහා සිදු කල වෙනස්කම් වලදී කළමණාකාරීත්වය විසින් ඉන්ජිනේරුවන් all mighty ස්ථානයෙන් බිමට බස්සවා එම තනතුරට පාරිභෝගික සම්බන්ධතා නිළධාරීන් යෙදුවා. ඉතාමත් වැදගත් ස්ථානයක් දුන්නේ පාර්භෝගිකයන්ගේ feedback වලට. ඒ අතරම නිෂ්පාදන වල ඉහළ තත්වයකුත් (තාක්ෂණිකව හා වෙනත් ආකාර වලින්) පවත්වා ගත්තා. අවුරුදු කිහිපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් යෝධයෙකු වීමට ඔවුන්ට හැකි වුනේ පාරිභෝගිකයා හට මුල් තැන ලබා දීලා. ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමකින් තොරව නිපදවන නිෂ්පාදන ඔවුන් භාවිතා නොකරන බව පැහැදිලියි.

ඒ අතරම නූතන ලෝකයේ එක ගුණ්ඩුවක් වන marketing ඉතා විශාල බලපෑමක් කරනවා. ඉතා සූක්ෂම ලෙස පාරිභෝගිකයාගේ මනස තුල අදාල නිෂ්පාදනය establish කරනවා. ඉන්පසු පාරිභෝගිකයින් එම නිෂ්පාදන වලට හුරු වූ පසු තවත් සූක්ෂම ආකාර වලින් ඔවුන්ව නිෂ්පාදන වලට බැඳ තබා ගන්නවා. Customer loyalty යනුවෙන් හැඳින්වෙන බොරු වල එයයි. නමුත් මේ සියළු දේ මගින් වෙළඳපොළ වර්ධනය කර ගැනීම සාර්ථකව සිදු වන බව නොරහසක්. පාරිභෝගිකයින් බොහෝ වෙලාවට තමන් ඇන්ඳී ඇති බව දැන ගත්තත් වෙනත් නිෂ්පාදන brand එකකට හෝ ආදේශකයකට මාරු වීමට අලස බවක් දක්වනවා. වෙනසකට සහජයෙන්ම ඇති අකමැති බව නිසයි එසේ සිදු වෙන්නේ.

ඒ තමයි Renault වල කතාව. දැන් හැරෙමු FOSS වලට. මේ කලින් සටහනකට සහෘදයෙකු කල ප්‍රතිචාරයක් මගින් දැන ගත් දෙයක්. මම සිතුවාට වඩා කණගාටුදායක තත්වයක්.

Operating system usage share

Operating system usage share

XP සහ Linux වල security, reliability, stability ආදිය කොතෙකුත් කතා කලත් Linux දිනන බව අප දන්නවා. නමුත් අන්තිමේ දී බිල් ගේට්ස් මහතැන් කියයි “තොපි මොන පාට් දැම්මත් ලෝකෙ අයිති මටනේ ඩෝ” කියලා. එදාටත් අපි දිගටම පරිශීලකයින්ටම බනිමුද “ගොන් බූරුවො ටික නිකන් දෙන හොඳ දේ ගන්න දන්නේ නැද්ද” කියලා?

ලාංකීය FOSS වාදීන්ට සිතීමට යමක්

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ මැයි 14 සිට 16 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැතුනා. Software zone, Student Projects, Robotics, School Projects, Games, Hardware zone ආදි ලෙස විවිධ අංගයන් ප්‍රදර්ශනයේ තිබුනා. සිත් ඇදගන්න සුළු පර්යේෂණ අංග කිහිපයකුත් තිබුනා. සාමාන්‍ය ප්‍රමාණයකින් පැවතුන ප්‍රදර්ශනයක් කියලා කියන්න පුලුවන්. එක් පීඨයකින් පමණක් සංවිධානය කරපු නිසා වෙන්න ඇති.

නමුත් මෙහි කතා කල යුතු කාරණය ඉහත එකක්වත් නෙමෙයි. ප්‍රදර්ශනයට තබා තිබුන ව්‍යපෘති වලින් FOS/Free තාක්ෂණ භාවිතා කර තිබුනේ 20% පමණ ව්‍යාපෘති වල පමණයි. Java හෝ PHP හැර වෙනත් නිදහස් තාක්ෂණයක් භාවිතා වුනේ නැති තරම්. Java වල නිදහස් භාවය පවතින්නේ localhost තුල පමණක් නිසා සැබෑ ලෙසම FOS තාක්ෂණවලට එහි තැනක් තිබුනේ නැහැ කියන එක ඕනෑම නරඹන්නෙකුට පැහැදිලි වන කරුණක්. ඉතුරු සියල්ල Microsoft තාක්ෂණ භාවිතයෙන් ක්‍රියාත්මක කල ව්‍යාපෘති.

Microsoft Imagine Cup සඳහා වෙනම කාමරයක් වෙන්වී තිබුනත් FOSS සඳහා එකම එක කුටියක්(stall) පමණක් තිබීම නිරීක්ෂණය වුන අනෙක් කරුණ. මෙයින් Imagine Cup කාමරයේ නවතම Microsoft තාක්ෂණ පිළිබඳ හා මෙවර Imagine Cup තරඟයට මෘදුකාංග අංශයෙන් ඉදිරිපත් වී ඇති ව්‍යාපෘති පෙන්වා තිබුනා. FOSS කුටියේ ලිනක්ස් මෙ‍හෙයුම් පද්ධති කිහිපයක් ස්ථාපනය කර තිබූ PC ටිකක් පමණක් තිබුනා. මා එතනට ගොස් අලුතින් කල ව්‍යාපෘතියක් හෝ එවැනි යමක් තිබේදැයි ඇසූ විට ලැබුන පිළිතුර වූයේ එම කුටිය FOSS හඳුන්වාදීමට පමණක් ඇති කුටියක් බවයි.

ජාලකරණය (Networking) කාමරයේ තිබූ සියලුම තාක්ෂණ වාණිජ බව කිව යුතුයි. CISCO, Notel වැනි තාක්ෂණත් Exchange Server හා Outlook පිළිබඳවත් පමණක් එහි ප්‍රදර්ශනය වී තිබුනා. මේ යෙදුම්(PBX) සඳහා FOSS මෘදුකාංගද ඇති බව මම අසා තිබෙනවා. නමුත් එකක්වත් එහි තිබුනේ නැහැ.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ පීඨයක් Microsoft විසින් දැලේ දමාගෙන එකාධිකාරයක් පවත්වාගෙන යන තුරු FOSS ව්‍යාපාරය අල කෑවාද යන්න පමණක් ඇසීමට ඇත. වෙබ් අඩවි තුල FOSS ගැන කතා කිරීමෙන් පමණක් පළක් වෙන්නේ නැති බව මම දෑසින්ම දුටුවේ අද. මා කලින් පැවසු විදිහටම ලංකාව තුල සැලකිය යුතු ප්‍රමාණයක FOSS community එකක් තිබෙනවා. නමුත් එහි වැඩ කිඩ නිහඬ හා වෙබ් අඩවි වල පමණක් සිදු වන පොර ටෝක් වලට සීමා වී තිබෙනවා.

FOSS නිර්මා‍ණකරුවන් part-time එම කර්තව්‍ය කරනවා කියා කියනවානම් එවැනි community එකකට Microsoft වැනි වාණිජ සමාගමක වෙළඳ ප්‍රචාර සමඟ තරඟ කරන්නේ කෙසේදැයි ඕනෑම කෙනෙකු සිතන්නට පුලුවන්. “මොලේ තියෙනවනම් මාරුවෙයි” කියන එකත් වලංගු නැති තර්කයක්. මොකද සමාගමක තොරතුරු තාක්ෂණය පිළිබඳ තීරණ ගන්නේ බොහෝ විට ඉහල නිළධාරීන්. ඔවුන්ට මේ පිළිබඳ තිබෙන දැනුම අඩුයි. අන්තිමේදී Microsoft වල සාර්ථක වෙළඳ ප්‍රචාරවල ප්‍රතිපලයක් ලෙස බහුතර සමාගම් Microsoft වලට හැරුණොත් ඉතුරු ටිකත් හැරීම වලක්වගන්න බැහැ. මොකද ඒ අය කැමති නෑ අනිත් අයට වාසියක් ලබාදෙන්න.  ඊළඟට බහුතරව පාවිච්චි වෙන්නේ Microsoft තාක්ෂණ නම් අනිත් අයටත් Microsoft තාක්ෂණ භාවිත කිරීමට බලෙන් හෝ සිදුවීම අනිවාර්යයි. එතන compatibility ගැන ප්‍රශ්නයක් එනවා. තවත් හොඳින් සොයා බැලුවොත් (පරිගණකයෙන් නැගිට ගොස්) දැනටම බැංකු, බොහෝ පෞද්ගලික ආයතන Microsoft Office 2007 වලට මාරු වී ඇති බව පෙනෙයි.

ඒ නිසා දැන්වත් ‍FOSS කියන වචනේ නිකන් ගෙදරට විතරක් තියාගෙන ඉන්නේ නැතුව සැලසුම් සහගත ව්‍යාපාරයක් එයින් දියත් කල යුතුයි. නැත්නම් අකමැත්තෙන් වුවත් Matrix එක, Microsoft Windows ඇතුලේ දුවවන්න වෙයි.

වැදගත් : මෙහි වාණිජ මෘදුකාංග නියෝජනය කිරීමට Microsoft යොදාගෙන ඇතත් ශ්‍රී ලංකාව තුල අනෙකුත් වාණිජ සමාගම් වල තත්වයත් මෙයයි. Microsoft යනු උදාහරණයක් පමණක් බව සැම විටම මතක තියා ගන්න.

Microsoft ලාට කඩේ යමුද?

ඔය වගේ කතා දන්න දන්න හැමෝගෙන්ම අහන්න ලැබෙනවා. බලන බලන අත මයික්‍රොසොෆ්ට් විරෝධියො. FOSS ROCKS!!! කට්ටියම කතා වෙන්නේ FOSS මෘදුකාංග කොච්චර හොඳද, කොච්චර ලාබදායි ද, අනිත් වාණිජ මෘදුකාංග වලට වඩා කොච්චර වටිනවද කියලා. ළඟදි දැක්කා Windows 7 ගැන තිබුන සටහනක ප්‍රතිචාරයක් “වින්ඩෝස් වලට තව දුර යන්න තියෙනවා ලිනක්ස් ලඟට වත් එන්න” කියලා. බලන් යද්දි වාණිජ මෘදුකාංග කියන්නේ පැත්ත පළාතකට වද්ද ගන්න හොඳ දේවල් නෙවෙයිනේ.

හැබැයි සමහර වෙලාවට බැලුවොත් ඔය කියන තරම් FOSS මෘදුකාංග සුදු නෑ කියලත් පේනවා. FOSS මෘදුකාංග වල වාණිජ මෘදුකාංග වල තියෙන වැදගත් අංග නෑ. පරිශීලක සහය හුඟක් වෙලාවට ඉතා අඩු මට්ටමක තියෙන්නේ. අනිත් එක බොහෝ අවස්ථා වලදි මොකක් හරි අලුත් දෙයක් සොයා ගැනීම සිදු කරලා තියෙන්නේ වාණිජ මෘදුකංග සමාගම් වලින්. FOSS මෘදුකාංග ඒවා ආදේශක හදනවා විතරයි.

ඒ වගේම හුඟක් FOSS මෘදුකාංග වලට සරිලන සහය ලිපි(documentation) වත් හොයාගන්න නෑ. තව ලොකු අඩුවක් තමයි FOSS මෘදුකාංග වල කේතයන්හි තියෙන අපිලිවෙල. සංවර්ධකයින් කිහිප දෙනෙක් එකතු වෙලා හදන නිසා හුඟක් වෙලාවට එකම ආකෘතියකින් පවත්වගෙන යන්න අමාරුයි. මෙහෙම ගිහින් ටික කාලෙකින් ඒ කේතය තේරුම් ගන්න අමාරු තත්වයකට එනවා.

හැබැයි ඔන්න අනිත් පැත්ත. වාණිජ මෘදුකාංග වල අඩුපාඩු. පළවෙනිම එක ගාණ. හැබැයි ඒක අඩුපාඩුවක් කියන්න බෑ. මොකද මෘදුකාංගයකට මුදල් අය කරනවද නැද්ද කියන එක නිර්මාතෘගෙ අයිතියක්. එයට විරුද්ධව මොනවත් කියන්න අපිට බෑ.

අනිත් අඩුපාඩුව තමයි අඩුපාඩු හැදීම. වාණිජ මෘදුකාංග වලට patches සහ fixes එන්නේ නිර්මාපක සමාගමෙන් විතරයි. තුන්වන පාර්ශවයකින් ඒ යාවත්කාලීන ලැබීම බොහොම දුර්ලභයි. ඒක නිසා පරිශීලකයින් විදිහට අපි ඒ සඳහා බලාගෙන ඉන්න ඕනේ. මේක FOSS වල නෑ. කොහෙන් හරි ඉක්මනට fix එකක් ලැබෙනවමයි.

Microsoft පද්ධති හුඟක් වෙලාවට unstable වෙන්න බලනවා. වේගය අතිනුත් Microsoft පහළ මට්ටමක ඉන්නේ. Vista පද්ධතියේ වේගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි ඒක කලින් තිබ්බ XP වලට වැඩිය නම් දහ ගුණයක් හොඳයි.

මේ වගේ ලැයිස්තුවක් හදන්න පුලුවන් අඩුපාඩු ගැන. හැබැයි ඒ ලැයිස්තුවෙම විරුද්ධ එක හදන්න පුලුවන් FOSS වලට. ඒක නිසා “අපි FOSS” කියලා කෑ ගැහුවටවත් “අපි Microsoft” කියලා කෑ ගැහුවටවත් එච්චර වැඩක් නෑ. මොකද දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. අපිට අවශ්‍ය දේ කොයි පැත්තෙන් හරි වෙනවනම් ඒකට එහාට ගිහින් “තනිකර” FOSS හරි Microsoft හරි වෙලා ඇති වැඩේ මොකද්ද?

අපි ඇත්තට ටිකක් මුහුණ දෙමු. කොච්චර FOSS හොඳයි කිව්වත් අපේ රටේ ආයතන කීයක Open Office භාවිතා වෙනවද? GIMP භාවිත වෙනවද? Blender භාවිතා වෙනවද? ඒ තියා අධ්‍යාපන ආයතන කීයක තනිකර FOSS පරිගණක කීයක් තියෙනවද? කොච්චර FOSS ලේබලය ගහලා තිබ්බත් යටින් windows නේද දාලා තියෙන්නේ? මේ හැමතැනම FOSS පරද්දලා වාණිජ මෘදුකාංග ඉස්සරහාට ඇවිත්.

මම පෞද්ගලිකව දන්න පුද්ගලයො ඉන්නවා FOSS ROCKS කියාගෙන එළියට බහින්නේ, හැබැයි Windows XP වල තමයි වැඩ. උබුන්ටු තියෙනවා VM එකක් ඇතුලේ. එතන ඇත්තටම තියෙන්නේ ෆැෂන් එකට ෆොස්. ඒත් එයත් යටින් පාවිච්චි කරන්නේ අධිරාජ්‍යවාදී වාණිජ මෘදුකාංග.

FOSS ද proprietary ද කියලා බල බල ඉන්නේ නැතුව කරන වැඩේ ඉහලින්ම කෙරෙන මෘදුකාංගයකින් වැඩේ කරගත්තා නම් ඇත්තටම ඊට වඩා වටින්නේ මොනවද?