බුදු චූටි මල්ලියෙ

ඡන්දෙ කාලෙට යන නාට්ටි විවිධාකාරයි. සමහර ඒවා අලුතෙන් පැකිං කඩපුවා. ඒත් අද මාතෘකාව කාලයක් තිස්සෙ පාවිච්චි කරල හම ගහපු එකක්.

(ආදරණීය) චූටි/පොඩි/බුදු/තරුණ (අලුතෙන් ඡන්දෙ දාන) මල්ලියෙ/නංගියෙ,

අවුරුදු තිහ තිස්පහ පනිද්දි සෙට් එකකට එනව ආසාවක් පොඩි චරිතයකට පණ පොවන්න. “දේශපාලනිකව පරිණත මහදැනමුත්තා” චරිතය. මේ අය අදුන ගන්න පුලුවන් ලේසිම ක්‍රමය තමයි මැජික් වචනෙ, “මල්ලි!”.

“මල්ලි උඹල දන්නෑ…..”

“මල්ලි මෙන්න මෙහෙමයි…….”

“මල්ලි මතක තියා ගනින්…….”

“මල්ලි… වෙලාව කීයද?”

“මල්ලි හරි මල්ලි *පිටට තට්ටුව*

මල වදේ!

පල්ලෙහා තියෙන්නෙ අලුත් වර්ෂන් එක.

අනේ බුදු මල්ලියෙ

අනේ බුදු මල්ලියෙ

මේවගේ පින්තූර ටිකක් කලින් සැරෙත් එහාට මෙහාට මාරු වුනා. 89දි හැටදාහක් මැරුවය කියන එක යූඑන්පීයටයි ජවිපෙටයි බැස්ටිය දෙන්න පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ඒ බැස්ටිය මාරු වෙන්නෙ “අනේ මරාට ඡන්දෙ දෙන්න” කියන වත්තට. මේ මාර ලොජික් එකේ තියෙන අවුල බැලූ බැල්මට පැහැදිලි වෙන්න ඕන වුනත් මේ දේශපාලනිකව පරිණත වෙච්ච එවුන්ට තේරෙන්න ටිකක් වචන වැඩි කරල ලියන්න වෙනව.

ලංකාවෙ තරුණ තරුණියො සමූල ඝාතනය කරපු ප්‍රධාන කාල වකවානු තුනක් තියෙනව (මාරයි ආඩම්බරයි!). 71, 89, සහ අවසාන ඊලාම් සටන. 71 කියන්නෙ ලෝකෙ පලවෙනි කාන්තා අගමැතිනිගෙ නිදහස් පක්ෂෙ ප්‍රමුඛ සභාග ආණ්ඩුවෙ බැතිබර දායකත්වයෙන් බර ගාණකට වග කියපු කාලෙ. 88-89 තුනෙන් දෙකේ බලයකින් දශකයකට කලින් පාර්ලිමේන්තුවට යවපු පක්ෂයකින් දායකත්වය දුන්න දාන (මාර) පිංකම. 2009 සිවිල් යුද්දෙ 40000ක සිවිල් වැසියො මරන්නැතුව ඉවර කරන්න පුලුවන්කම තිබුනද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.

දැන් මේ කාල වකවානු තුනටම පොදු පක්ෂෙ මොකද්ද? බැරිද?

පොදු දෘෂ්ඨිවාදයක්? පොදු මරු සිටින දිශාවක්? ඒ තාලෙ අල්ලන්න අමාරුයි.

මොකද ප්‍රශ්නෙ තියෙන්නෙ 71ටත් එහා ඉදන් තියෙන දේශපාලනික චින්තනයෙ. රුසියානු/කියුබානු මාක්ස්වාදය, ඊලාම්වාදය (නැත්තං පිරිසිදු වතුර?) වගේ දේශපාලනික අදහස් වලට අදේශපාලනික ප්‍රචණ්ඩත්වයෙන් සාර්ථකව උත්තර දෙන්න පුලුවන්ය, ප්‍රචණ්ඩත්වය තියෙන එකම උත්තරේය, පාලකයො විසින් මේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවාය කියන චින්තනේ. මේ චින්තනයට පක්ෂ භේදයකින් තොරව ලංකාවෙ බලයෙ හිටිය ප්‍රධාන පක්ෂ දෙක ඉත සිතින් පක්ෂපාතීයි. කාලයක් හැදිලා තිබුන මාක්ස්-ලෙනින්වාදයෙන් සනීප වෙලා ඉන්න බවක් පෙනුනත් අවසන් ඊලාම් යුද්දෙදි ජවිෙප පෙන්නපු ස්ථාවරය අපැහැදිලි නිසා මේ චින්තනයට ජවිපෙ දායකත්වය කොච්චරද කියල කියන්න අමාරුයි. හැබැයි සන්ධානෙයි එජාපයයි මේ චින්තනෙන් කොච්චර පෝෂණය වෙලා ඉන්නවද කියන එක බලන්න බලය ටිකක් වැඩි පුර (තුනෙන් දෙකක් විතර) දීලා පොඩ්ඩක් උද්ඝෝෂණය කරල බලන්න. රෝහල්/අවමංගල්‍ය ගාස්තු ඉල්ලං එන්න එපා හැබැයි.

මේ හේතුව නිසා මහින්ද ආවාම ඔක්කොම හරි මානසිකත්වය කිසිම පදනමක් නැති දෙයක්. කලින් කියපු චින්තනයට ප්‍රධාන වශයෙන් පහුගිය කාලෙ දායකත්වය දුන්නා කියන දේ අමතක කලත් උඩු රැවුල තියෙන මනුස්සයෙක් රටේ පාලනයට දැම්ම ගමන් ආයෙ පාරක් 88-89 එන්නෙ නෑ කියන කිසිම විදියකින් සහතික වෙන්න බෑ. ඒක සහතික වෙන්න නං ප්‍රජාතන්ත්‍රවාදයට මීට වඩා කැමති වෙන්න වෙනව. මැරයෙක් ලව්ව පාලනය වෙන්න තියෙන ෆෙටිෂ් එක නැති කරගන්න වෙනව.

මේ මොනව කිව්වත් මහදැනමුත්තල එක්ක මේක පැහැදිලිව කතා කරගන්න කොහොමත් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට පොඩි කින්ඩියක් හැංගිච්ච සියල්ල දත් මන්තර විතරක් කියවද්දි සාධාරණ තර්කයක් ඉදිරිපත් කරන්න අමාරුයි. ඒ නිසා ඒ තැන්වලදි පාවිච්චි කරන්න පුලුවන් තනි උත්තරයක් පහල විදියට හදන්න මම උත්සහ කලා. කොපිරයිට් නැහැ, public domain.

“අනේ නිකන් පල පකයො* යන්න. දශක ගාණක් ඡන්දෙ දාපු එක දේශපාලනික පරිණතභාවය කියල හිතන් ඉන්න උඹල තමයි රට මේ තත්වයට දැම්මෙ. 71දි කොල්ලො මරද්දි, 89දි ටයර් දාද්දි, තිස් අවුරුද්දක් මරා ගන්න වැඩ සලසද්දි ඡන්දෙ දැම්මෙ අපි නෙමෙයි, උඹලා! ඒ දේවල් කලේ උඹලගෙ ඡන්දෙන් ආපු මිනිස්සු. මිනිහ මැරුණ කියල ගෑණිට අනුකම්පා ඡන්ද එක පාරක් නෙමෙයි දෙපාරක් දැම්මෙ උඹල. කොටින්ම අපිට දැන් රනිල්ට එහා යන්න පුලුවන් ඔප්ෂන් එකක් නැති කලෙත් උඹල.

රට ඒ තත්වෙට දාපු උඹලට කොහොමද බං පඩි ටෝක් දෙන්න කොන්ද පණ ආවෙ? මේවා ෆේස්බුක් දාන උඹල වෙන රටවලට පැනල ඉන්නෙ මූණ දෙන්න බැරි නිසාද බං? උඹ violence මනින්නෙ මැරුණ ගාන බලලද? රතුපස්වල, හලාවත, කටුනායක හැටදාහක් මැරුණෙ නැති නිසා මහින්ද ප්‍රේමදාසට වැඩිය හොදාද? ගෝඨා රන්ජන්ට වැඩිය හොදාද? අනේ බං උඹයි මායි දන්න දේශපාලනේ!

උඹ රට ඉන්න නිසා දන්නැතුව ඇති. අර සාගර අයියව ගොරක ගහට බැදලා වෙඩි තියල මදිවට ටයර් දාපු පිලියන්දල ඇමතියා දැන් අප්පච්චි ගාවින් හෙල්ලෙන්නෑ. පොලිස් ජීප් සපයපු සුපිරින්ටෙන්ඩන්ට් ඊයෙ පෙරේදා ලොකු පෝස්ට් එකක් අරගෙන පැන්ෂන් ගියා. චණ්ඩි මල්ලි සාක්කි දෙන්ඩ ගිහින් වැඩේ පත්තු කරගත්තා. පුංචි නිලමේ නං අප්පච්චිට සෙට් වෙලා ඩිලාන් එක්ක හිනාව දාගෙන ඉන්නව. මර්වින් මහත්තයව නං නිවුස් වල දකින්නැතිනෙ? ඉස්සරනං මේව කියන්න බයයි, සුදු පාට වෑන් ජාතියක් නිසා. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ, අගමැතිට පකයා කියලත් පාරෙ බැහැල යන්න පුලුවන්.

*ආ පකයා කිව්වට තරහ ගන්න එපා. ඒක හොද වචනයක්ලු. එහෙම කිව්වෙ අප්පච්චිගෙ දගකාර pseudo-වමයා, වාසු. එයා ඒක කිව්වෙ අත්දෙක පිටිපස්සට හෙම අරගෙන, හරියට අර එක්සත් ජාතීන්ගෙ සමුළුවට ගිය පිදෙල් වගේ. බලන්ඩෝනෙ ගාම්භීරකම. “

මරණ දෙකක් ඇති සරසවි සිසුවා | The University Student Trapped In Between

ඉහත දැක්වෙන්නේ පසුගිය දිනෙක අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද පෙලපාලිය නිමා වුනු ආකාරයයි. රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිසුන් සත් දෙනෙකු නිදහස් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් ඇතුලත් සංදේශයක් කුමන හෝ පුද්ගලයෙකුට භාර දීම මුල් කර ගෙන මෙම පෙලපාලිය සංවිධානය කරනු ලබන බව කියැවිණි. අවසානයේ සිසුන් විසි එක් දෙනෙකු අත්අඩංගුවට පත් වුනු අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිනි. රාජ්‍ය සරසවි අධ්‍යාපනය නැවැත්වීමට තවත් එක් හේතුවක් එසේ මහජනතාවට ඒත්තු ගන්වන ලදී.

මෙම සටහන ලියැවෙන්නේ ස්වර්ණවාහිනියේ වැඩසටහනක එස් බී දිසානායක අමාත්‍යවරයා තවත් ආචාර්ය මහාචාර්යවරුන් කිහිප දෙනෙක් පිරිවරා ගෙන පෞද්ගලික සරසවි ඇති කිරීමේ සිහිනය මුලු රටටම මවා පාන අතරතුරය. පෞද්ගලීකරණය කරන ලද අනෙකුත් ‍සේවා පිලිබඳ නොයෙකුත් උදාහරණ ලබා දෙමින් හරි හරියට තර්ක විතර්ක මවනා සැටි බලා සිටීමත් අපුරූය. ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය අද ඕනෑම තැනකදි ලබා ගත හැකි බව එකෙකු පවසයි. අනෙකා රැකියා වෙලඳපලට සරිලන සේ උපාධි පාඨමාලා ගොඩනැගීම පිලිබඳ අදහස් දක්වයි. තවත් අයෙකු දුරකථනයෙන් කතා කොට හාමුදුරුවන් සහ තරුණ ගැහැණු ලමුන් එක පේලියේ වාඩි වෙන සැටි බැලීමට හිරිකත බව පවසයි. රටම එකතු වී සාදයක් පවත්වන්නා සේය.

පසුගිය දිනෙක සිදුවුනු ඛේදජනක සිදුවීම හා ඊට ඉඩ සැකසුනු පරිසරය දෙස කලු සුදු රාමුවකින් බලා ආතල් එකක් ගැනීම ඇට මැස්සා පවසන්නා සේ ගෝත්‍රික ගති පැවතුම් වල සිරිතක් විය හැකිය. නමුත් ගැටලුව එතෙකින් නිමාවට පත්නොවන්නේය. දැන් පැත්තක් රටේ ශිෂ්‍ය මර්ධනය ඉතාමත් තදින් සිදුවන බව පවසයි. අනෙක් පැත්තෙන් සිසුන් නිදහස් කර ගැනීමක් ගැන පවසයි. මෙහි යථාර්තය අපට දැනෙනා ලෙසින් නම් මෙසේය.

ජවිපෙන් නිදහස් කර ගත යුතු සිසු පරපුර

ජනතා විමුක්ති පෙරමුණ විසින් සරසවි අධ්‍යාපනය තුල ඇති කර ගෙන තිබෙන බලාධිකාරය කෙමෙන් ගිලිහී යන නමුත් තවමත් සැලකිය යුතු තරමේ පිලිලයකි. පේරාදෙණියේ අමානුෂික වදහිංසා වලටත්, ජපුර සරසවියේ මානසික අසහනකාරී උපකුලපතිවරුන් පත් කර ගැනීමට පෙරමුණ ගැනීමටත්, වසරක් පාසා සිසුන් කැට ව්‍යාපාර, පෙලපාලි යැවීමටත්, තමාගේ බලය පතුරවා ඇති සරසවි තුල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමටත්, සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දැමීමටත් කෙලින්ම වග උත්තර බැඳිය යුත්තේ ඔවුන්ගේ බලවේග විසින් හසුරුවන ශිෂ්‍ය සංගම් විසිනි. ඔවුන්ගේ යල් පැනගිය හා විකෘති කරන ලද දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවැද්දීම හා වෙනත් දේශපාලන මතවාද සරසවි තුල පැතිරීම වැලැක්වීමට මොනයම් ආකාරයෙන් හෝ කටයුතු කිරීමත් මත ඔවුන්ගේ බලය සරසවි තුල රඳා පවතී. විප්ලවීය තරුණ බලවේගය තමන් සමඟ බව රටට පෙන්වීමේ වෙලඳ උපක්‍රමයකට වඩා දෙයක් එහි නැත. න්‍යායික දේශපාලනික වර්ධනයක් එතුල නැත. සියලු ප්‍රශ්න විසඳන්නේ ගහ මරා ගැනීමෙනි. නව දැනුම හමුවේ ඔවුන් හිරු දුටු කදෝ පැණියන් වේ. ඉංග්‍රීසි ඔවුනට මතක් කර දෙන්නේ අධිරාජ්‍යවාදයයි. ඔවුන්ට අනුව කොළඹ ධනවාදී එජන්තයන්ගේ බලකොටුවයි. ගම සුපිරිසිදු දේශප්‍රේමීන්ගේ නිජභූමියයි.

ජවිපෙ වැනි පසුගාමී හා සම්පූර්ණයෙන්ම රැවටිලිකාර වූ (නමින් මාක්ස්වාදීන්ය, ක්‍රියාවෙන් වඩාත්ම සමාන වන්නේ වෛශ්‍යාවකටයි) දේශපාලනික බලවේගයකට සරසවි තුල බලකොටු බැඳ ගැනීමට ඉඩ දිය නොහැක. අන්තවාදී ජාතික චින්තනයට එරෙහි වන්නා සේම එලෙසම අන්තවාදී ජවිපෙටද එරෙහි විය යුතුය. (එක අතකින් මේ දෙපාර්ශවයම සමානකම් පෙන්වන අවස්ථා එමට තිබේ. කැලණියේදි කෙල්ලන්ගේ කලිසම් ගැන පෝස්ටර් ගහන්නේ ‘චී’ කාරයින් විසිනි. ජපුරේදී ත්‍රීක්වාටර් කලිසම් ඇඳි තරුණියන්ට බිත්තර වලින් ප්‍රහාර එල්ල කරන්නේ ‘චේ’ කාරයින් විසිනි.) අමානුෂික නවක වදය නැවැත්වීමටත් සරසවි ශිෂ්‍යා පසුගාමී චින්තන රටාවලින් මුදවා දේශපාලනික නිදහස ලබා දීමටත් එය අත්‍යවශ්‍ය වේ.

උදුල් ප්‍රේමරත්න අවිශිබමයේ කැඳවුම්කරු ලෙස ජවිපෙට නොනවත්වා කඩේ යාම අපට වටහා ගත හැක. පක්ෂය තුල තනතුරක් ආරක්ෂා කර දී ඇති ඔහු එලෙස කිරීමේ වැරැද්දක් නොමැත. නමුත් මහපොලොව සමඟ  හැපෙන දාඩියෙන් ඉපදෙන සල්ලි වියදම් කර සරසවියට එන, උපාධිය සාර්ථකව නිම කිරීම මත සියල්ලම යැපෙන සරසවි සිසුවා එලෙස කල යුත්තේ ඇයි? විප්ලවයක අගක් මුලක් නොදැන පෙලපාලි යන්නේ කුමටද? මේ සියල්ලටම පිලිතුර ඇත්තේ ප්‍රධාන වශයෙන් අමානුෂික නවක වදය තුලය. නැවත නැවතත් මැතිරීමට අවශ්‍ය නොවුනත් එහිදී සිදුවන මොල සේදීම සිසුවෙකුගේ ජීවිතය වලපල්ලට ඇද දැමීමට සමත් වන්නේය.

අනෙක් අතට පෞද්ගලික සරසවි වලට එරෙහිව සිදු කරනවා යැයි කියන සටන එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධම ප්‍රතිඵලය ලබා දෙන තැනට මෙම මුග්ධයින් කටයුතු කරමින් සිටි. උදුල් ප්‍රේමරත්නගේ මොල පොඩිත්තේ තර්කයට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා භූමියට සරසවි සිසුන් දාහක් එක් රැස් කිරීම පෞද්ගලික සරසවි වලට එරෙහි වීම වුවත් අපට අනුව නම් උදුල් කරන්නේ පෞද්ගලික සරසවි උවමනා කරන්නන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමයි. පොලීසිය හා සිසුන් අතර ගැටුම් ඇති කිරීමෙන්, කඳුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර අතරින් දිව යන සිසුන්ගේ රූප ප්‍රසිද්ධ කිරීමෙන් පෞද්ගලික සරසවි වලට එරෙහි ජනතා බලවේගයක් ගොඩ නැගීමට ඔහු බලාපොරොත්තු වේ නම් ඒ එක්කෝ අන්ත මෝඩ කමකි. නැතිනම් කපටිසහගත ලෙස සිසුන් මෙහෙයවීමකි. ශිෂ්‍ය මර්ධනයක් සිදු වන බව ඇත්තකි. එයට පොහොර දමන්නේ උදුල් ප්‍රමුඛ ජවිපෙ මිනීමරුවන් විසිනි.

සරසවි සිසුන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පලවෙනි අදියර වන්නේ ජවිපෙන් සිසුන් නිදහස් කර ගැනීමයි. අමානුෂික නවක වදය වෙත සීමා පැනවීමත්, ආචාර්ය සිසු සම්බන්ධතාවයන් වැඩි දියුනු කිරීමට කටයුතු කිරීමත්, සමාජයීය හා දේශපාලනික දැනුම අතින් සිසුන් සන්නද්ධ කිරීමත් ක්‍රමානුකූලව අනුගමනය කලහොත් මෙම කාර්යය අපහසු වන්නේ නැත. ජවිපෙ ආධිපත්‍ය පතුරවාගෙන ඇති සරසවි තුල අධ්‍යාපනික හා සමාජයීය වශයෙන් ඇති බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි ප්‍රධාන මාර්ගයද මෙයයි. එයින් ඇති වන දේශපාලනික රික්තකය තුලට වඩාත් ප්‍රගතිශීලී දේශපාලනයන් ඇතුලු වීමට ඉඩ සලසා දිය යුතුය. සිසුන් දේශපාලනයෙන් ඉවත් කිරීම සිදු නොවිය යුතුය.

වගකිව හැකි ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය

එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් වුන දිනයේ පටන් මන්ත්‍රයක් ලෙස ජප කිරීමට පටන් ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිර ගත වන ඔහු (ධූර කාලය දික් කර ගත නොහැකි වූ චන්ද්‍රිකා මැතිණියගේ නික්ම යාමට හා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා වික්ටර් අයිවන්ට පින් සිද්ධ වන්නට ඔහුට ඇති එකම චෝදනාව එය නොවන බව දැන් රටම දනී) මහින්ද රජය යටතේ සමාව ලැබීමටත්, ඉන්පසුව මහින්ද රජයට එකතු වීමටත් වාසනා ලබයි. ඉන්පසුව උසස් අධ්‍යාපන ඇමති වශයෙන් දිවුරුම් දෙන ඔහුගේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ ඌව වෙල්ලස්ස සරසවියේ සිදු වන අකටයුතුකම් ගැන සොයා බැලීම නොව පෞද්ගලික සරසවි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමයි.

පෞද්ගලික සරසවි වලට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස එතෙක් හැසිරුනු කණ්ඩායමක් ප්‍රකෝප කිරීමට දිසානායක ඇමතිවරයාගේ ක්‍රියාවට අමතරව තව කිසිවක් අවශ්‍ය නැත. සැලසුම් කර ආකාරයටම ජවිපෙ මැට්ටන් රැල සිසුන් පාරට ඇද දැම්මේය. දැන් ඇත්තේ දෙවෙනි ජවනිකාවයි. ජවිපෙ බලකොටුවක් වන පේරාදෙණිය සරසවිය තුලට ගොස් ප්‍රකෝප කරවන සුලු ආමන්ත්‍රන කිහිපයකින් අනතුරුව හූ සංග්‍රහයක් ඇමතිවරයාට එල්ලවෙයි. සිසුන් කිහිප දෙනෙක් ඉන් පසුවන දින කිහිපයක් තුලදී රිමාන්ඩ් භාරයට ගැනෙන අතර (ආරංචියේ හැටියට මෙලෙස අත්අඩංගුවට ගන්නේ බැච් නියෝජිතයින්වය) නවක වදය හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් චෝදනා ලෙස ගොනු කර උපරිමයටම දඬුවම් ලබා දෙන බව ප්‍රචාරය කරනු ලැබේ. වෙනදා සිදු කරන පන්ති වර්ජනයෙන් ඇමතිවරයා තවත් කුපිත වන බවක් පෙනේ. අලුතින් එන සිසුන් කාණ්ඩය පුහුණු කිරීමත් කරගත හැකි වන සේ ජවිපෙ හිතවාදී අවිශිබමය පෙලපාලියක් සංවිධානය කරන්නේ මින් පසුවය.

සිසුන්ට තබා රජයට විරුද්ධව කිසිම අයුරක පෙලපාලියකට හොඳින් හෝ නරකින් ඉඩ නොතබන වාතාවරණයක් තුල සිසුන් පාරට බැසීමේ තැනට පත් කෙරෙන ක්‍රියාවලියක් ඉහත සිදුවීම් පෙල තුලින් අපට දක්නට හැක. එය එක්කෝ සැලසුම් සහගතව සිදුකරන ලද්දක් විය හැක. නැතිනම් හුදෙක් වගකීමක් නොමැති උඩඟු ඇමතිවරයෙකුගේ අහඹු ක්‍රියාකලාපය නිසා සිදු වූවක් විය හැක. කෙසේ වුවද පෙලපාලිය මර්ධනය කිරීම සඳහා ‍‍පොලිසිය යෙදවෙන අතර අධ්‍යාපන සුදුසුකම් අඩු පොලිස් කොස්තාපල් වරුන් හා අධ්‍යාපනික සුදුසුකම් වැඩි සිසුන් අතර ගැටුම ලේ වැගිරීමක් දක්වා තත්වය උද්ගතවේ. සිසුන් හා පොලිසිය යනු එකිනෙකාට වෛර කරන කොට්ඨාශ දෙකක් බව පොදු මතයයි. ගැටුමක් ඇති කිරීමට අවශ්‍ය වන්නේ දෙපාර්ශවය එක් කිරීම පමණි. අවසානය අනිවාර්යයෙන්ම පසුගිය දින සිදු වූ අයුරින් රඟ දැක්වේ.

ඉහත සිදුවීම් ක්‍රියාදාමය ඉතා සූක්ෂමව සැලසුම් නොකල එකක් ලෙස අප ගතහොත් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස එස් බී දිසානායක මෙහිදී හැසිරී ඇත්තේ ඇමතිවරයෙකුට තබා සාමාන්‍ය පෙල සිසුවෙකුට තරම්වත් නොවන මට්ටමකිනි.

  1. පොදුවේ සරසවි පද්ධතියටම බලපාන තීරණයක් සිසු නියෝජනයකින් තොරව සිදු කිරීම හා ඔවුන් ප්‍රකෝප කරවන අන්දමින් මූනට දමා ගැසීම
  2. ප්‍රචණ්ඩකාරීන් ප්‍රකෝප කල පසු ඇති වන ප්‍රතිඵල ගැන අවබෝධයක් ඇතිවම ඒ තැනට වැඩ කටයුතු සිදු කිරීම
  3. හූ සංග්‍රහයට පලිගැනීමක් ලෙස ඉතාමත් පෞද්ගලික මට්ටමකින් සිසුන් කිහිප දෙනෙක් තෝරා අවම වශයෙන් වසර හතරක්වත් හිරේ දමන බවට පුරසාරම් දෙඩීම
  4. පෞද්ගලික සරසවි පිලිබඳ ජනප්‍රිය තර්ක විතර්ක පමණක් සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට යාම

රටක උසස් අධ්‍යාපනය යනු එහි ආරක්ෂක පරිමාව මෙන්ම වැදගත් වූ අංගයකි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් මෙලෙස වගකීමකින් තොරව පෞද්ගලික හැඟීම් වලින් අන්ධ වී කටයුතු කරන ඇමතිවරයෙක් මත එවැනි වගකීමක් පැටවීම මෙරටේ මුල් පුටුව දක්වා වගකිව යුතු තත්වයකි. එයින් ඔවුන් මුලිනුපුටා දමන්නේ රටේ අනාගතයයි. අනෙක් අතට එස් බී දිසානායක ඇමතිවරයා කටයුතු කරන්නේ කාගේ හෝ සැලසුමකට අනුව නම් එය තව දුරටත් මෙරටේ සිසු අර්බුදය උග්‍ර කරන්නක් බව කිව යුතුය. සිසුන් පාගා දැමීමෙන් සැලසුම් ක්‍රියාත්මක කරන්නට යාමේ මෑත කාලීන ඉතිහාසය මතක් කිරීමට එතරම් මිහිරි නැත.

අවසාන වශයෙන් කිව හැක්කේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරිමාණයන් අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගත හැකි ඇමතිවරුන් මෙරටට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් එස් බී දිසානායකනම් ඉන් එක් අයෙකු නොවන බවත්ය.

පිස්සු නැටීමට ප්‍රසිද්ධ ඇමතිවරයෙකුත් මුග්ධ දේශපාලන පක්ෂයකුත් අතර සිරවුනු සරසවි සිසුවාගේ තත්වය ඊයේ වන විට එසේය. සමහර විට හෙට වන විට සිසුන් නැවත වරක් බස් පිටින් කොළඹ වටරවුමක් අසලට එක් රැස් විය හැක. එවිට තවත් කුඩා සිවිල් යුද්ධයක් මෙරට ප්‍රේක්ශකයින් රස විඳිනු ඇත.‍ මෙම තත්වය වෙනස් කිරීමට අදහස් කරන අයෙකු ක්‍රියා කල යුත්තේ ඊට කලිනි. සිසුන් මෙම තත්වයෙන් ගලවා ගැනීමටනම් ඉහත සඳහන් වින කටින්නන් දෙපාර්ශවයෙන්ම ඔහු ගලවා ගත යුතුය. බලය තහවුරු කර ගැනීමේ යුද්ධයෙන් සිසුන් විනාශ වී යාමට පෙර එය සිදු විය යුතුය.