අතීතාවර්ජන : ඩොස් ක්‍රීඩා | Flash Back : DOS Games

මේ පෝස්ට් එක කියවන හැම කෙනෙක්ටම තමන්ගෙම පරිගණක ආදර කතාවක් තියෙනවා. ඒක මගේ පරිගණක ආදර කතාවටම සමාන නොවුනට සාමාන්‍යයෙන් පටන් ගන්නේ එකම විදියට. මුලින්ම අඩු මිලට පරිගණකයක් ගන්නවා. ඊට පස්සේ ගේම් ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකෙ තියෙන අනිත් මෘදුකාංග පාවිච්චි කරන්න පටන් ගන්නවා. පස්සේ තමයි ටිකක් බැරෑරුම් වැඩ ටිකක් පරිගණකයෙන් කර ගන්න යන්නේ. අන්තිමට අන්තර්ජාල පහසුකම ගෙදරට ගෙන්න ගත්තට පස්සේ බ්ලොග් ලියන්න කියවන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඊට කලින් ටිකක් වැඩි මිල පරිගණකයක් මිලට ගන්නවා.

අපි අද භාවිතා කරන මෙහෙයුම් පද්ධති, මෘදුකාංග මීට අවුරුදු දහයකට කලින් ඒ කියන්නේ විසි එක් වෙනි සියවස ලබන්න ඔන්න මෙන්න තිබුන කාලයට වඩා බොහෝම ලොකු දියුණුවක් ලබල තියෙනවා. බොහෝ දෙනා දන්න වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බොහෝම ලොකු බලාපොරොත්තු තියාගෙන තමන්ගේ වින්ඩෝස් 2000 අනුවාදය එලියට දාන්නේ ඒ අවුරුද්දේ. ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය එලියට එන්නේ 2001දි. ජනප්‍රියම ලිනක්ස් ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය වෙන උබුන්ටු නිකුත් වෙන්නේ 2004 අවුරුද්දෙදි. අද වෙනකොට උබුන්ටු බොහෝ මෙහෙයුම් පද්ධති වලට වැඩිය සාමාන්‍ය පරිශීලකයෙකුට සහාය වෙන්න පුලුවන් මට්ටමකට දියුණු වෙලා. ෆයර්ෆොක්ස් ආදර්ශයට ගත්ත තරඟකාරයෙක් දැන් සීඝ්‍රයෙන් ෆයර්ෆොක්ස් වෙලඳපොල අල්ලගෙන යනවා. වින්ඩෝස් 7 මගින් බොහෝමයක් විවේචන අඩු කර ගන්න මයික්‍රෝසොෆ්ට් සමාගම උත්සහ ගන්නවා.

මම මුලින්ම පාවිච්චි කලේ, හා පුරා කියල අත තිබ්බේ ඩොස් මෙහෙයුම් පද්ධතියට. ඒ කාලේ ඩොස් 6.22 නිකුත් වෙලා තිබුනා. මේ 1998දි. වින්ඩෝස් 3.11 කියල රූපමය අතුරු මුහුණතක් තිබුනා. ඒත් ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වුනේ ඩොස්. හැමෝම දන්න විදියට මුලින්ම පරිගණකයට අපි ඇදිල යන්නේ පරිගණක ක්‍රීඩා නිසා. මම මුලින්ම කලෙත් මේ තිබුන ඩොස් ගේම් ගහන්න පටන් ගත්ත එක. මුලින්ම  ගැහුවේ Paper Boy 2 කියල ගේම් එකක්. පරිගණකය ගෙදරට ගෙනාපු දවසේ තාත්තා මුලින්ම කියල දුන්න ඩොස් විධාන ටික වුනෙත් Paper Boy run කර ගන්න හැටි. නමේ හැටියටම පත්තර බෙදන එක තමයි මේ ගේම් එකේ අරමුණ. හරියට තැපැල් පෙට්ටියට දාගන්න පුලුවන් වුනොත් සල්ලි ලැබෙනවා. නැත්තන් සමහර විට බල්ලොත් පස්සෙන් පන්නනවා. මේ තියෙන්නේ Paper Boy 2 ගහන වීඩියෝ එකක්.

ඊට පස්සේ තව ඩොස් ගේම් කිහපයක් හොයා ගත්තා. එකක් F117A. මේකේ අරමුණ වුනේ F117A stealth bomber එක යොදාගෙන අපට ලබා දෙන ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීම. ඒ කාලේ හැටියට මම ආසම ක්‍රීඩාව වුනේ මේක.

ඊට පස්සේ තවත් ඩොස් ගේම්ස් කිහිපයක් හොයා ගත්තා. Crazy Cars 2, CD Man, Shadow Knights (මේකෙ නම අමතක වෙලා තිබුනේ. හරියටම පැයකට වැඩිය ගූගල් කරල තමයි නම හොයා ගත්තෙ) වගේ ගේම්ස් කිහිපයක්ම මගේ පරණ පරිගණකයේ තිබුනා.

Shadow Knights

අද අපි ගහන Call of Duty Modern Warfare 2 වගේ ගේම් වල Depth of Field වගේ effects අත් විඳින්න පුලුවන් වුනාට මේ සඳහන් වෙන ගේම්ස් එලියට එන කාලේ වින්ඩෝස් වලට හරියට Jpeg ගොනුවක්වත් දර්ශනය කර ගන්න බැහැ. යන්තම් ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ත්‍රිමාණ රූප නිපදවන්න පුලුවන් මෘදුකාංගයක් තිබුනා 3D Home Architect කියල. ඒ හැර ඩොස් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට කර ගන්න පුලුවන් වුනේ බොහෝම පොඩි දේවල් ටිකක් විතරයි.

මේ ඩොස් ගේම්ස් තාමත් ටිකක් අමාරුවෙන් හරි අන්තර්ජාලයේ හොයා ගන්න පුලුවන්. dosgames.com වගේ අඩවි මේ සඳහාම වෙන් වෙලා තියෙනවා. නමුත් දැන් තියෙන පරිගණක architecture මේ කාලෙට වඩා ගොඩක් දියුණ නිසා සහ ඒ කාලෙට ගැලපෙන විදියට backward compatible විදියට නිර්මාණය කිරීම එච්චර තේරුමක් නැති නිසා natively මේ ක්‍රීඩා ක්‍රියාත්මක කරන්න බැහැ. ඒකට යම් ආකාරයක emulate කිරීමක් අවශ්‍යයි. DosBox මේ සඳහා කදිම මෘදුකාංගයක්. ඕනෑම host platform එකක් යටතේ එයට පැරණි ඩොස් පරිසරය emulate කිරීමට පුලුවන්. පැරණි ක්‍රීඩාවක් බාගත කරගත්තට පස්සේ DosBox වලින් ඒක ක්‍රියාත්මක කරන ආකාරය අඩංගු විකි එකක් ද පවත්වාගෙන යනවා.

කොහොම වුනත් මුලින්ම පරිගණකය අත පත ගාපු ගේම් කිහිපයක් නැවත ගහන්න ආසාවක් එන එක කාලයක් යද්දී එන දෙයක්. ඒ කාලේ සහ මේ කාලේ එක විදියකට සංසන්දනය කරන්න පුලුවන් වීම ඒකට එක හේතුවක්. අනික තමයි අපි හැමෝම ආපහු පුංචි කාලෙට යන්න තියෙන ආසාව.

වින්ඩෝස් තුල .htaccess ගොනුවක් සෑදීම

.htaccess කියන්නේ Apache httpd server එක සඳහා access rights ලබා දීමට උපයෝගී කරගන්නා ගොනු වර්ගයක්. උදාහරණයක් ලෙස අපට යම් කිසි ෆෝල්ඩරයක් පිට පරිශීලකයින්ට ඇතුල් වීම තහනම් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා directives මෙම .htaccess ගොනුව තුල ලියා එය අදාල ෆෝල්ඩරය තුලට පිටපත් කරන්න පුලුවන්.

. වලින් පටන් ගන්න ගොනු ලිනක්ස් තුලදී නම් සැඟවුණු ගොනු (hidden files) ලෙසටයි ගන්නේ. එම නිසා ලිනක්ස් තුලදී එවැනි ගොනුවක් සෑදීම පහසුයි. නමුත් වින්ඩෝස් තුල එවැන්නක් නැහැ. ගොනුවක් සඟවන්න එහි attribute එකක් වෙනස් කරන්න ඕනේ (Dos තුලදී attrib +h <file_name> වැනි විධානයක්). ඒ වගේම වින්ඩෝස් තුල ලිනක්ස් වල නැති ගොනු වලට අදාල ගුණාංගයක් තියෙනවා. ඒක තමයි extension එක. මේක ලිනක්ස් වලදී අත්‍යවශ්‍ය නැහැ. නමුත් වින්ඩෝස් තුලදී extension එකක් ගොනුවක් හඳුනා ගැනීම හා ඒවා කියවීමට අත්‍යවශ්‍යයි. Extension එකක් නැති වුවහොත් එය බලෙන් කියවීමට අපට සිදුවෙනවා. සාමාන්‍යයෙන් වින්ඩෝස් තුල ගොනු නාමය (file name) හා extension එක වෙන වෙන්නේ තිතකින් (උදා: usp10.dll).

වින්ඩෝස් ඇතුලෙදි .htaccess ගොනුවක් සාදන්න සාමාන්‍යයෙන් බැහැ. මොකද ඒකට file name එකක් නැති නිසා. extension එකක් පමණක් ඇති ගොනු තිබෙන්න බැහැ. මේ කරදරය වලක්වා ගැනීම සඳහා අපට Notepad යොදා ගන්න පුලුවන්.

අපට .htaccess ගොනුවට දැමීමට අවශ්‍ය ‍දේ Notepad විවෘත කර ඒ තුල ලියන්න. ඉන්පසුව Save වෙත ගොස් එහි File name තුල “.htaccess” ලෙස (double quotation ද ඇතුලුව) යොදන්න. දැන් අදාල ගොනුව සෑදි තිබෙන හැටි දකින්න පුලුවන්. මෙය ඔබට අදාල තැනට පිටපත් කර ගන්න.

Renault සහ FOSS

Renault

වසර කිහිපයකට පෙර (1980 දශකයේ) ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන රෙනෝල්ට් (Renault) සමාගම දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තිබුනා. එක්තරා කාලයකදී Renault නිෂ්පාදන ඉහළ නමක් දිනා සිටියත් දිනෙන් දින ඔවුන්ගේ වෙළඳපොළ කඩා වැටීමකට ලක් වුනා. සමාගම පවත්වාගෙන යාමේ අවසන් උත්සහය ලෙස ඉහළ කළමණාකාරීත්වය විසින් සමාගම තුල පැවති සංස්කෘතිය(ඉංග්‍රීසියෙන් culture වුවත් මෙතනට ගැලපෙන වචනය මෙයද දන්නේ නෑ) බලවත් ලෙස වෙනස් කිරීමකට ලක් කරා. තවත් වෙනස් කම් කිහිපයක් සමඟ සිදු වූ මෙම වෙනස ඉතා හිතකර අන්දමින් සමාගමට බලපෑ අතර ඉතාමත් ඉක්මනින් ප්‍රංශයේ පමණක් මුළු යුරෝපය පුරාම නැවත තම ආධිපත්‍ය පතුරුවාගැනීමට සමාගමට හැකි වුනා.

Renault හට නැවත වැජඹිමට ඉවහල් වුන මේ සංස්කෘතික වෙනස කුමක්ද?

වෙනසට කලින් සමාගම තුල “බුවාලා” වූයේ ඉන්ජිනේරු කණ්ඩායමයි. කළමණාකාරීත්වය මගින් ගත් සෑම තීරණයකටම ඉන්ජිනේරුවන්ගේ රෙකමදාරුව වැදගත් වුනා. සම්පූර්ණයෙන්ම තාක්ෂණික මොළ සහිත වූ ඉන්ජිනේරුවන් විසින් තාක්ෂණිකව වැදගත් සහ තාක්ෂණිකව වටිනාකමක් ඇති මෝටර් රථ නිපදවූවා. එසේ නම් සමාගම කඩන් වැටීමට හේතු වූයේ කුමක්ද?

තාක්ෂණිකව කෙතරම් වැදගත් වූවත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට Renault නිෂ්පාදන වලට නොහැකි වුනා. තාක්ෂණික මොළ සහිත වූවන්ගෙන එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි සාධාරණවම. උදාහරණයක් ලෙස මෝටර් රථයට කතා කිරීමට හැකි වුනත් අමතර කොටස් ලබා ගැනීම ඉතාමත් අපහසු නම් එවැනි මෝටර් රථයකින් පාරිභෝගිකයාට ඇති වාසියක් නැහැ. එවැනි නිෂ්පාදනයට මුදල් වැය කිරීමට ඔහු කැමති නැහැ. එය නොමිලේ ලබා දුන්නොත් සමහර විට ගැනීමට පුලුවන්. නමුත් නිෂ්පාදන හා Renault සමාගම දියුණු වීමට එය උපකාරී වෙන්නේ නෑ.

මේ සියලු දේ අතරතුර ඉන්ජිනේරුවන් තුළ, එම නිසා සමාගම තුළ, තිබූ අදහස වූයේ ඔවුන්ගේ නිෂ්පාදන උසස් බවත් (ඇත්ත) එය පාරිභෝගිකයා තේරුම් ගත යුතු බවත් (ඇත්ත), එසේ තේරුම් ගැනීමට බැරි නම් එය මෝඩ පාරිභෝගිකයාගේ වැරැද්ද (ඇත්ත) මිස ආයතනයේ වැරැද්දක් නොවන බවත් යන්නයි. මේ සියල්ලම සත්‍ය වූවත් ආයතනයේ නිෂ්පාදන වර්ධනය කිරීමට මෙම attitude එක උපකාර නොවන බව ඕනෙම කෙනෙකුට තේරුම් යන්න ඕනේ.

ආයතනය නැවත වර්ධනය කර ගැනීම සඳහා සිදු කල වෙනස්කම් වලදී කළමණාකාරීත්වය විසින් ඉන්ජිනේරුවන් all mighty ස්ථානයෙන් බිමට බස්සවා එම තනතුරට පාරිභෝගික සම්බන්ධතා නිළධාරීන් යෙදුවා. ඉතාමත් වැදගත් ස්ථානයක් දුන්නේ පාර්භෝගිකයන්ගේ feedback වලට. ඒ අතරම නිෂ්පාදන වල ඉහළ තත්වයකුත් (තාක්ෂණිකව හා වෙනත් ආකාර වලින්) පවත්වා ගත්තා. අවුරුදු කිහිපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් යෝධයෙකු වීමට ඔවුන්ට හැකි වුනේ පාරිභෝගිකයා හට මුල් තැන ලබා දීලා. ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමකින් තොරව නිපදවන නිෂ්පාදන ඔවුන් භාවිතා නොකරන බව පැහැදිලියි.

ඒ අතරම නූතන ලෝකයේ එක ගුණ්ඩුවක් වන marketing ඉතා විශාල බලපෑමක් කරනවා. ඉතා සූක්ෂම ලෙස පාරිභෝගිකයාගේ මනස තුල අදාල නිෂ්පාදනය establish කරනවා. ඉන්පසු පාරිභෝගිකයින් එම නිෂ්පාදන වලට හුරු වූ පසු තවත් සූක්ෂම ආකාර වලින් ඔවුන්ව නිෂ්පාදන වලට බැඳ තබා ගන්නවා. Customer loyalty යනුවෙන් හැඳින්වෙන බොරු වල එයයි. නමුත් මේ සියළු දේ මගින් වෙළඳපොළ වර්ධනය කර ගැනීම සාර්ථකව සිදු වන බව නොරහසක්. පාරිභෝගිකයින් බොහෝ වෙලාවට තමන් ඇන්ඳී ඇති බව දැන ගත්තත් වෙනත් නිෂ්පාදන brand එකකට හෝ ආදේශකයකට මාරු වීමට අලස බවක් දක්වනවා. වෙනසකට සහජයෙන්ම ඇති අකමැති බව නිසයි එසේ සිදු වෙන්නේ.

ඒ තමයි Renault වල කතාව. දැන් හැරෙමු FOSS වලට. මේ කලින් සටහනකට සහෘදයෙකු කල ප්‍රතිචාරයක් මගින් දැන ගත් දෙයක්. මම සිතුවාට වඩා කණගාටුදායක තත්වයක්.

Operating system usage share

Operating system usage share

XP සහ Linux වල security, reliability, stability ආදිය කොතෙකුත් කතා කලත් Linux දිනන බව අප දන්නවා. නමුත් අන්තිමේ දී බිල් ගේට්ස් මහතැන් කියයි “තොපි මොන පාට් දැම්මත් ලෝකෙ අයිති මටනේ ඩෝ” කියලා. එදාටත් අපි දිගටම පරිශීලකයින්ටම බනිමුද “ගොන් බූරුවො ටික නිකන් දෙන හොඳ දේ ගන්න දන්නේ නැද්ද” කියලා?

Windows7 සමඟ දින දෙකක්

windows-7-logoWindows 7 RC-1 නිකුතුව මම ඊයේ laptop එකට ස්ථාපනය කලා. Laptop ‍එක Dell Inspiron 1420 එකක්. ඒකට ස්ථාපනය වෙලා තිබුනේ Windows Vista Home Basic 32bit නිකුතුවක්. Intel Core 2 Duo 2.0 GHz processor එකක් තිබුනට Vista පද්ධතියට ඒක හොඳටම මදි. වැඩ කරනකොට මොන ***ක්ද කියලා හිතුන වාර අනන්තයි. Windows 7 ඇවිත් ටිකක් කල් ගියාට පොඩ්ඩක් stable version එකක් එනකම් දාන්න මම කල්පනා කලේ නෑ. ළඟදි RC-1 එකක් අවුරුද්දක් පාවිච්චි කරන්න පුලුවන් විදියට නිකුත් කරපු නිසා ඒ dvd එකක් පහන්ගෙන් ඉල්ලගත්තා. මුලින්ම උබුන්ටු live cd එකක් දාලා partition ඔක්කොම මකලා දැම්මා (මුලින් දත්ත ටික backup කර ගත්තා).  ඊට පස්සේ windows7 වලට primary partition එකකුත් extended partition එකක් ඇතුලේ තව අවශ්‍ය විදියට ntfs partition හදා ගත්තා. පසුව ලිනක්ස් පද්ධතියකුත් dual boot කරන්න ඉන්න නිසා ඒකටත් අවශ්‍ය විදියට partition දෙකක් හැදුවා.

Vista වගේ නෙමෙයි. Windows 7 ස්ථාපනය වැඩි වෙලාවක් ගියෙ නැහැ. පැය භාගයක් ඇතුලත ස්ථාපනය ඉවර වෙලා desktop එකට ආවා. හැබැයි මගේ sound සහ touch pad එක අලුතින් ස්ථාපනය කරන්න වුනා. touch pad එකේ scrolling වලට සහය ස්ථාපනයට පෙර දැක්වූයේ නැහැ. ස්ථාපනය අවසන් වූ විටම දැක්ක පළවෙනි දේ තමයි වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වීම. ඉන්පසු සාමාන්‍ය මෘදුකාංග ටික ස්ථාපනය කලා. දැනට නම් කිසිම compatibility ප්‍රශ්නයක් ආවේ නැහැ. සිංහල සඳහා Vista quick fix එක දැම්මාම හරි.

අනිත් එක තමයි අඩුවෙන් දෘඩ තැටියේ ඉඩ ගැනීම. 11GB වලට ආසන්න ප්‍රමාණයක් තමයි සම්පූර්ණ ස්ථාපනයම ගන්නේ. Vista වලට මීට වඩා සැලකිය යුතු ප්‍රමාණයක් ඉඩ යනවා. නිකන් අපරාදේ ඉඩ.

Hibernate විකල්පය පෙරනිමියෙන් enable වී පැමිණෙනවා. Vista වල එය disable වී තිබෙන්නේ. powercfg hibernate on යන විධානය හරහා enable කල යුතු වෙනවා.usb_remove

තවත් විශේෂ දෙයක් වෙන්නේ usb devices පිළිබඳ වඩාත් user friendly ලෙස වැඩ කිරීමට හැකිවීම. සවි කර ඇති usb devices තව දුරටත් drive letter එක පමණක් ලෙස පෙන්වන්නේ නැහැ. usb device එකේ Label එකත් සමඟ දර්ශනය කිරීමෙන් තමන් ඉවත් කරන්න යන්නේ මොන device එකද කියන එක වටහ ගන්න පුලුවන් ලේසියෙන්.

අන්තර්ජාලයට සම්බන්ධ වීමට වඩා හොඳ සහයෝගීතාවයක් දීලා තිබෙනවා. Network icon ළඟ දැනට නිර්මාණය කර ඇති සබඳතා පෙන්වනවා. එතනින් එකක් තෝරා එතනින්ම සම්බන්ධ විය හැකියි.

System tray එකේ icons පුලුවන් තරම් compact ආකාරයකට හසුරුවලා තියෙනවා.

sys_tray_icons

Start menu එකේ ඇති program ලැයිස්තුවේ program එකක් උඩට මූසිකය රැගෙන ගියාම එම program එක මගින් අන්තිමට විවෘත කර ඇති ගොනු පෙන්වනවා. මෙය කලින් තිබූ Recent programs list සහ Recent files list දෙක එකතු කරලා සාර්ථක විදියට කරපු නිර්මාණයක්.

මේ මම දැනට දැකපු features. වැඩියෙන්ම වැදගත් වෙන්නේ වේගය හා compatibility යන කරුණු දෙක. vista භාවිතා කරනවාට වඩා Windows 7 භාවිත කරද්දී පරිගණකයේ recources කාර්යක්ෂමව භාවිතා කල හැකියි.

බලමු Win7 එක්ක කොච්චර කාලයක් ඉන්න පුලුවන්ද කියලා.

Microsoft ලාට කඩේ යමුද?

ඔය වගේ කතා දන්න දන්න හැමෝගෙන්ම අහන්න ලැබෙනවා. බලන බලන අත මයික්‍රොසොෆ්ට් විරෝධියො. FOSS ROCKS!!! කට්ටියම කතා වෙන්නේ FOSS මෘදුකාංග කොච්චර හොඳද, කොච්චර ලාබදායි ද, අනිත් වාණිජ මෘදුකාංග වලට වඩා කොච්චර වටිනවද කියලා. ළඟදි දැක්කා Windows 7 ගැන තිබුන සටහනක ප්‍රතිචාරයක් “වින්ඩෝස් වලට තව දුර යන්න තියෙනවා ලිනක්ස් ලඟට වත් එන්න” කියලා. බලන් යද්දි වාණිජ මෘදුකාංග කියන්නේ පැත්ත පළාතකට වද්ද ගන්න හොඳ දේවල් නෙවෙයිනේ.

හැබැයි සමහර වෙලාවට බැලුවොත් ඔය කියන තරම් FOSS මෘදුකාංග සුදු නෑ කියලත් පේනවා. FOSS මෘදුකාංග වල වාණිජ මෘදුකාංග වල තියෙන වැදගත් අංග නෑ. පරිශීලක සහය හුඟක් වෙලාවට ඉතා අඩු මට්ටමක තියෙන්නේ. අනිත් එක බොහෝ අවස්ථා වලදි මොකක් හරි අලුත් දෙයක් සොයා ගැනීම සිදු කරලා තියෙන්නේ වාණිජ මෘදුකංග සමාගම් වලින්. FOSS මෘදුකාංග ඒවා ආදේශක හදනවා විතරයි.

ඒ වගේම හුඟක් FOSS මෘදුකාංග වලට සරිලන සහය ලිපි(documentation) වත් හොයාගන්න නෑ. තව ලොකු අඩුවක් තමයි FOSS මෘදුකාංග වල කේතයන්හි තියෙන අපිලිවෙල. සංවර්ධකයින් කිහිප දෙනෙක් එකතු වෙලා හදන නිසා හුඟක් වෙලාවට එකම ආකෘතියකින් පවත්වගෙන යන්න අමාරුයි. මෙහෙම ගිහින් ටික කාලෙකින් ඒ කේතය තේරුම් ගන්න අමාරු තත්වයකට එනවා.

හැබැයි ඔන්න අනිත් පැත්ත. වාණිජ මෘදුකාංග වල අඩුපාඩු. පළවෙනිම එක ගාණ. හැබැයි ඒක අඩුපාඩුවක් කියන්න බෑ. මොකද මෘදුකාංගයකට මුදල් අය කරනවද නැද්ද කියන එක නිර්මාතෘගෙ අයිතියක්. එයට විරුද්ධව මොනවත් කියන්න අපිට බෑ.

අනිත් අඩුපාඩුව තමයි අඩුපාඩු හැදීම. වාණිජ මෘදුකාංග වලට patches සහ fixes එන්නේ නිර්මාපක සමාගමෙන් විතරයි. තුන්වන පාර්ශවයකින් ඒ යාවත්කාලීන ලැබීම බොහොම දුර්ලභයි. ඒක නිසා පරිශීලකයින් විදිහට අපි ඒ සඳහා බලාගෙන ඉන්න ඕනේ. මේක FOSS වල නෑ. කොහෙන් හරි ඉක්මනට fix එකක් ලැබෙනවමයි.

Microsoft පද්ධති හුඟක් වෙලාවට unstable වෙන්න බලනවා. වේගය අතිනුත් Microsoft පහළ මට්ටමක ඉන්නේ. Vista පද්ධතියේ වේගය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. හැබැයි ඒක කලින් තිබ්බ XP වලට වැඩිය නම් දහ ගුණයක් හොඳයි.

මේ වගේ ලැයිස්තුවක් හදන්න පුලුවන් අඩුපාඩු ගැන. හැබැයි ඒ ලැයිස්තුවෙම විරුද්ධ එක හදන්න පුලුවන් FOSS වලට. ඒක නිසා “අපි FOSS” කියලා කෑ ගැහුවටවත් “අපි Microsoft” කියලා කෑ ගැහුවටවත් එච්චර වැඩක් නෑ. මොකද දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. අපිට අවශ්‍ය දේ කොයි පැත්තෙන් හරි වෙනවනම් ඒකට එහාට ගිහින් “තනිකර” FOSS හරි Microsoft හරි වෙලා ඇති වැඩේ මොකද්ද?

අපි ඇත්තට ටිකක් මුහුණ දෙමු. කොච්චර FOSS හොඳයි කිව්වත් අපේ රටේ ආයතන කීයක Open Office භාවිතා වෙනවද? GIMP භාවිත වෙනවද? Blender භාවිතා වෙනවද? ඒ තියා අධ්‍යාපන ආයතන කීයක තනිකර FOSS පරිගණක කීයක් තියෙනවද? කොච්චර FOSS ලේබලය ගහලා තිබ්බත් යටින් windows නේද දාලා තියෙන්නේ? මේ හැමතැනම FOSS පරද්දලා වාණිජ මෘදුකාංග ඉස්සරහාට ඇවිත්.

මම පෞද්ගලිකව දන්න පුද්ගලයො ඉන්නවා FOSS ROCKS කියාගෙන එළියට බහින්නේ, හැබැයි Windows XP වල තමයි වැඩ. උබුන්ටු තියෙනවා VM එකක් ඇතුලේ. එතන ඇත්තටම තියෙන්නේ ෆැෂන් එකට ෆොස්. ඒත් එයත් යටින් පාවිච්චි කරන්නේ අධිරාජ්‍යවාදී වාණිජ මෘදුකාංග.

FOSS ද proprietary ද කියලා බල බල ඉන්නේ නැතුව කරන වැඩේ ඉහලින්ම කෙරෙන මෘදුකාංගයකින් වැඩේ කරගත්තා නම් ඇත්තටම ඊට වඩා වටින්නේ මොනවද?

No more typing commands in mySQL

mySQL කියන්නේ database server අතින් ඉතාමත් ඉදිරියෙන් ඉන්න මෘදුකාංගයක්. වාණිජ මෘදුකාංගයක් වන Microsoft SQL Server සඳහා කරට කර තරඟයක් ලබා දීමට mySQL සමත් වී තිබෙනවා. එයට හේතුව හුඟක් වෙලාවට එය නොමිලේ ලබා ගැනීමට හැකිවීම වෙන්න පුලුවන්. mySQL වල community server යනුවෙන් නොමිලේ ලබා ගත හැකි නිකුතුවක්ද Enterprise යනුවෙන් මිල දී ගතහැකි නිකුතුවක්ද පවතී. නමුත් බොහෝවිට විශාල සංවිධාන වලට හැර අනෙකුත් අවශ්‍යතා සඳහා mySQL Community Server ප්‍රමාණවත් වෙනවා. වැඩි විස්තර සඳහා mysql.com වෙත යන්න.
mySQL වැඩ කරන්නේ character user interface එකක් හරහා. එය එක්තරා ආකාරයක් පසු බෑමක්. Database එකක් නිර්මාණයේදී නැවත නැවත ටයිප් කර විධාන ලබා දීම වෙහෙසකර කාර්යයක් . මේ නිසා mySQL වල වැඩ කිරීමට විවිධ GUI හෙවත් චිත්‍රක අතුරු මුහුණත් විවිධ සංවිධාන හා පුද්ගලයින් විසින් නිර්මාණය කරලා තියෙනවා. මෙම GUI, stand-alone application ලෙසද web application ලෙසද පවතිනවා. මෙ‍ම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ web application එකක් වල phpmyadmin වෙත හඳුන්වා දීමක් සහ එය ස්ථාපනය කරගන්නා ආකාරය පෙන්වා දීම. මෙය php වලින් ලියන ලද වැඩසටහනක්. මෙය වැදගත් වන්නේ web interface එකක් හරහා භාවිතා කිරීමට හැකිවීම නිසා. වෙබ් අඩවි host කරන තැන් වලින් database එක සඳහා ලබා දෙන interface එකත් phpmyadmin. අපි බලමු phpmyadmin කොහොමද අපේ පරිගණකයේ ස්ථාපනය කරගන්නේ කියලා.

මුලින්ම phpmyadmin බාගත කරගන්න ඕනේ. මේ සඳ‍හා මෙම පිටුවට ගොස් ඔබට පහසු ආකාරයේ ගොනුව තෝරාගන්න. (zip recommended). එය බාගත් පසු ඔබගේ web server එකේ host බහලුමට unzip කල යුතුයි. (ex: web server එක apache නම් APACHE_ROOT/htdocs/ තුලට unzip කරන්න) දැන් phpmyadmin root එක තිබිය යුත්තේ APACHE_ROOT/htdocs/PHPMYADMIN_ROOT/ ලෙසයි.

ඔබ wamp හෝ එවැනි පැකේජයක් ස්ථාපනය කර ඇත්නම් phpmyadmin මෙලෙස ස්ථාපනය කල යුතු නැහැ. ඒ එම පැකේජ සමග phpmyadmin පැමිණෙන නිසා. wamp වල phpmyadmin ඇත්තේ WAMP_ROOT/apps/phpmyadmin/ තුලයි.

දැන් ඔබගේ localhost ආරම්භ කර බ්‍රව්සරයට ගොස් localhost/phpmyadmin ලෙස ටයිප් කරන්න (මෙහි phpmyadmin ලෙස ටයිප් කල හැක්කේ wamp වල පමණි. ඔබ ඉහත පලමු ආකාරයට manually ස්ථාපනය කලේ නම් එම බහලුමේ නම එලෙසම localhost/ට පසුව සඳහන් කල යුතුයි. ඔබ phpmyadmin භාවිතා කරන්නේ web server හි host කර ඇති වෙනත් වෙබ් අඩවියක් භාවිතා කරන අන්දමටයි ).

ඔබ මගේ කලින් සටහනේ පරිදි mySQL server root password එක වෙනස් කලේ නම් පහත පරිදි පිටුවක් පැමිණේ.
දැන් බ්‍රව්සරයේ address bar එකේ පවතින address එකට පහත string එක ඇතුලත් කර enter කරන්න.
scripts/setup.php
දැන් ඔබගේ address bar එක http://localhost/phpmyadmin/scripts/setup.php ලෙස තිබිය යුතුයි. පහත පිටුව ලැබෙන්නේ එවිටයි. එහි servers යටතේ ඇති Add button එක click කරන්න.
ඉන්පසු ලැබෙන පිටුව සම්පූර්ණ කිරීමට පෙර වෙනත් යමක් කල යුතුයි. ඔබගේ phpmyadmin බහලුම වෙත යන්න. එහි config යනුවෙන් බහලුමක් නිර්මාණය කරන්න.
දැන් ඔබගේ phpmyadmin බහලුම තුල config.inc.php යනුවෙන් ගො
ුවක් ඇත්දැයි සොයා බලන්න. එසේ ඇත්නම් එය config.inc.php.bac යනුවෙන් rename කරන්න. ඉන්පසු දැන් අපි නැවත අපේ phpmyadmin වෙබ් පිටුවට යමු.
පහත දැක්වෙන්නේ එම පිටුවයි. එහි වැඩියමක් පිරවීමට ඔබට නැත. මෙම පෝරමයේ පිරවිය යුත්තේ පහත විස්තරයි.

Server Host Name : localhost
Connection Type : tcp
User for Config Auth : root
Password for Config Auth : your_mysql_password

දැන් එම පෝරමයේ පහත ඇති කොළ පාට Add button එක click කරන්න. එවිට පහත පිටුවට පැමිණේ.
ඊළග පියවර වැදගත්. මෙම පිටුවේ පහළ Configuration යටතේ ඇති Save button එක click කරන්න.
දැන් පහත සඳහන් පිටුවට පැමිණෙන අතර එහි අප කලින් සාදන ලද config බහලුම තුල config.inc.php යනුවෙන් ගොනුවක් පිහිටවු බවත් එය phpmyadmin root බහලුමට copy කර config බහලුම ආරක්ෂාව පදනම් කරගෙන මකා දමන ලෙසත් සඳහන් ව ඇත. ඒ අනුව config තුල ඇති config.inc.php ගොනුව phpmyadmin බහලුම තුලට දමා config බහලුම මකා දමන්න.
දැන් නැවත address bar එකේ localhost/phpmyadmin ලෙස ටයිප් කර enter කරන්න. එවිට පහත සඳහන් පිටුව, එනම් phpmyadmin home page එක පැමිණේ. මෙලෙස සාර්ථක ලෙස එය පූර්ණය වුනොත් ඔබ phpmyadmin ස්ථාපනය කර අවසන්. දැන් phpmyadmin තුලින් ඕනෑම ආකාරයක database management වැඩ කරගත හැක.
phpmyadmin තුලින් database නිර්මාණය, table නිර්මාණය, දත්ත ඇතුලු කිරීම ආදී කටයුතු කරන හැටි මීළඟ සටහනකින් බලාපොරොත්තු වන්න.

MySQL Root Password වෙනස් කිරීම


Wamp පැකේජය ස්ථාපනය කලාට පස්සේ අපිට Apache, MySQL server යුවල ලැබෙනවා. MySQL කියන්නේ Database server එකක්. අපේ වෙබ් අඩවයික හරි වෙනත් ඕනෑම පද්ධතියක හරි දත්ත ගබඩා වෙන්නේ Database server එකේ. ඉතින් මේ දත්ත ගබඩාව ආරක්ෂා කර ගන්න එක පද්ධතිය host කරන තැන වගකීමක්. අපි web space එකක් මිලට ගන්නකොට මේ ආරක්ෂාව ගැනත් හොයලා බලන්න ඕනේ.
මේ ස‍ටහනින් බලාපොරොත්තු වෙන්නේ MySQL පද්ධතියක root password එක වෙනස් කර ගන්න හැටි පෙන්වීම. Wamp ස්ථාපන‍යෙන් පස්සේ අපිට පෙරනිමියෙන් ලැබෙන MySQL server එකේ root password එකක් නෑ. ඕන කෙනෙක්ට ඇතුල් වෙන්න පුලුවන්. අපි බලමු කොහොමද අපේ ආරක්ෂක රහස් පදයක් දාගන්නේ කියලා.
Wamp ආරම්භ කරන්න. එවිට system tray එකේ පහත අයිකනය පැමිණේ. එය මත click කරන්න.
[wamp_normal.gif]

එවිට පැමිණෙන menu එකෙන් MySQL -> MySQL console තෝරාගන්න.


එවිට console එක පැමිණේ. Enter Password : යනුවෙන් ඇති තැන කිසිවක් ටයිප් නොකර Enter කරන්න.

දැන් mysql> prompt එක තුල පහත් විධානයන් ඒ ආකාරයෙන්ම (case sensitive) එම පිළිවෙලටම ඇතුලත් කරන්න. your_pass වෙනුවට ඔබගේ රහස් පදය ඇතුලත් කරන්න.

සියලු රහස් පද case sensitive වේ.

use mysql

Database Changed
UPDATE user SET Password=PASSWORD('your_pass') WHERE user='root';

සියල්ල එලෙසම ඇතුලත් කලානම් පහත out put එක ලබා දිය යුතුය.
Query OK, 3 rows affected (0.00 sec)
Rows matched: 3 Changed: 3 Warnings: 0

දැන් නැවත පහත විධානය ලබා දෙන්න.
FLUSH PRIVILEGES;

එවිට පහත out put එක ලැබේ.
Query OK, 0 rows affected (0.00 sec)

දැන් ඔබ mySQL root password වෙනස් කර අවසන්. Database එකට සම්බන්ධ වෙනකොට භාවිතා කරන්න ඕනේ මේ රහස්පදය.

මගේ ඉතිහාසේ

දන්න දන්න හැමෝම වගේ එ‍යාලගේ පරිගණක සම්බන්ධ ඉතිහාසේ කියලා තියෙන නිසා අඩුවක් පුරවන්න වගේ ඔන්න මමත් මගේ පරිගණක ඉතිහාසේ එලියට දානවා. එච්චරම කියන්න තරම් විශේෂ දෙයක් නැති වුනත් මුල අමතක කරන්න හොඳ නෑ කියලා කියනවනේ.

මම මුලින්ම පරිගණකයක් ලැබිච්ච දවසේ තමයි මම මුලින්ම පරිගණකයක් අත පත ගෑවේ. මට පරිගණකයක් මුලින්ම ලැබුනේ මම පහ වසරේ ඉන්නකොට. පහ වසර ශිෂ්‍යත්වය කරපු නිසා තාත්තා ගෙනත් දීපු තෑග්ග තමයි ඒ පරිගණකය. හැබැයි බැරි වෙලා හරි ශිෂ්‍යත්වේ පාස් වුනේ නැත්තන් ආයේ ඒක නැති වෙන්න තිබුනා. ඒත් හොඳ වෙලාවට මම පාස් වුනා. =D
ඒ පරිගණකය 486 processor මාදිලියේ පරිගණකයක්. Hard Disk එක 173Mb. තිබුනේ Windows 3.11. මූලික මෙහෙයුම් පද්ධතිය වුනේ DOS 6.22. ඒක තමයි මට මතක හැටියට ආපු අවසාන DOS නිකුතුව. මූලික මෙහෙයුම් පද්ධතිය කිව්වේ පරිගණකය පණ ගැන්වුවාම boot වෙන්නේ DOS වලින් නිසා. DOS prompt එකට ඇවිත් නවතිනවා. එයින් එහාට කරන දෙයක් කරන්න පුලුවන් command ටයිප් කරලා. ඉතින් Windows යන්න ඕනේ නම් win කියන command එක දෙන්න ඕනේ. මේ තියෙන්නේ ඊට පස්සේ දකින්න ලැබෙන මුහුණත්.



මේ මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන එක නම් ලේසි වුනේ නෑ. හැබැයි මම ඉතින් වැඩිය දැනගෙන හිටිය වැඩකුත් නෑ. පරිගණකයට තිබුනේ පොඩි floppy disk drive එකක් විතරයි. මම ගෙනාපු දවසේම මුලින්ම පරිගණකයේ කරපු වැඩේ ගේම් එකක් ගහපු එක =D. Paper Boy කියලා තිබුනා ඒ කාලේ හැටියට සිත් ඇද ගන්න ගේම් එකක්. කරන්න තිබුනේ ගෙවල් වලට පත්තර බෙදන එක.
ඊට පස්සේ තවත් ගේම් ලැබුනා. Dave, F117A, etc වගේ තවත් නම් මතක නැති ගේම් තොගයක් තිබ්බා මගේ පරිගණකයේ. හැබැයි මේ ගේම ගැහිල්ලත් එක්න මම පරිගණකයට හුරු වුනා. ටිකින් ටික මම පරිගණකය ගැන ඉගෙන ගත්තා.
ඔය ඉගෙන ගැනීම අතරතුර හොඳ හොඳ පිස්සුත් නැටුවා‍. එක පාරක් ලස්සන පාට පාට program එකක් open වුනා කොහෙද ඉඳන්. ඒ program එකේ එක එක තැන් දෙතුන් පාරක් ඔබලා ඊට පස්සේ මැෂින් එක් restart කලාම ආවා Non-System Disk or Disk Error. Press Enter When Ready කියලා. DOS prompt එන්නේ නෑ. ඒ පාර හොඳටම බය වෙලා, තාත්තා‍ටත් නොකියා හිටියා දවස් ගානක්. බැරිම තැන කියලා බැනුම් ටිකකුත් අහගෙන තාත්තා දන්න තැනකට ගිහින් හදා ගත්තා. පස්සේයි දන්නේ අර පාට පාට program එක BIOS Setup එක කියලා. මම දන්නේ නැතුව Hard Disk එක format කරලා.
ඔය වගේ හොඳ පිස්සු ටිකක් නැටුවා ඒ කාලේ. කී පාරක් බැනුම් ඇහුවද කියලා මතක නෑ, එච්චරටම කඩා ගත්තා මැෂින් එක. හැබැයි ඒ ලබා ගත්ත අත්දැකීම් ටික හුඟක් ප්‍රයෝජනවත් වුනා පස්සේ කාලෙකදී.
හොඳයි කියලා කියන්න පුලුවන් මැෂින් එකක් ගත්තේ මම සාමාන්‍ය පෙළ පාස් වුනාට පස්සේ(අනා ගත්තට පස්සේ කිව්වත් වෙනසක් නෑ). Gigabyte motherboard, Intel PIV 2.8 HyperThreading Processor, Maxtor 80GB HD, Nvidia 64MB VGA, 1GB (512×2) RAM, 17″ LG Flatron Monitor, සහ Sony CD Writer තමයි ඒ පරිගණකයේ specification එක වුනේ.
ඊට පස්සේ තමයි පරිගණක ගැන හොඳටම ඉගෙන ගන්න පටන් ගත්තේ. අලුත් ගේම් ටිකකුත් අහු වුනා. GTA VC, IGI1, IGI2, වගේ පෝලිමක්ම ගැහුවා ඒ මැෂින් එකේ. ඉස්කෝලේ යන කාලේ ටිකින් ටික Flash, Java, VB, Photoshop වගේ දේවල් තනියෙන් ඉගෙනගත්තා. Flash ඉගෙන ගැනිල්ල හොඳට නැගලා ගියා. අන්තිමට Science Day එකට CD හදන්නත් මට බාර වුනා. රෑ එලි වෙනකම් නිදි මරාගෙන Science Day කරපු හැටි මතක් වෙන්නේ ද
න්.
දැන් මට තියෙන මැෂින් එකේ spec එක මේ තියෙන්නේ.
Intel Pentium D 2.8 (64bit)
MSI G31M Motherboard
Nvidia 7300 LE 256MB VGA
2GB (1×2) RAM
250GB Maxtor HD
Sony DVD RW+
Working on Windows Vista Ultimate 64Bit Edition, Windows XP SP3 32bit Edition, Ubuntu 8.1 Intrepid Ibex



මම ඉස්සරහට සටහන් කරන්න යන හැම දෙයක්ම මේ පරිගණකය මත run කරපු ඒවා. මේ spec එක වෙනස් වෙනවානම් මම ඒක කියනවා.
මෙච්චර මම කිව්වේ ටිකක් විතර තොරතුරු මඟ ඇරලා. සාරාංශය. මම කිව්වේ මුලින්. එච්චර දෙයක් නෑ කියලා.