කලු රෝස මල

පොඩි කාලෙදි ලෝකෙ මීට වඩා පාට වලින් පිරිලා තිබුනා වගේ ඔහුට මතකයි. පැහැදිලිවම නොවුනත් හිතේ කොණක අමතක වෙන අගාධයට වැටෙන්න ඔන්න මෙන්න තිබුන මතකයක් ඇතුලෙ ඒ ලෝකය මැවිලා තියෙනව. ඒ කාලෙ මොනව තේරෙන්නද? හැම දෙයක්ම කොහොමත් පාට පාට.

හැමදාම උදේ එකම වෙලාවට කිසිම ආයාසයක් නැතුව ඔහුගෙ ඇස් දෙක ඇරන්නෙ වතුරෙන් පෙඟුලා දුර්වර්ණ වුන සීලිම දකින්න. මුල් කාලෙදි මේක ටිකක් නීරස වුනත් අලු පාට පැල්ලම් දිහා බලන් ඉන්න එකත් ටික ටික කරන්න පුලුවන් වැඩක් වුනා. එහෙම ටික වෙලාවක් ඉඳල අංශක අනූවට ඉද්ද ගැසුවා වගේ නැගිටින්නත්, අඳුරු කොරිඩෝව හරහා ගොලුබෙලි ගමනින් බාත්රූම් එකට යන්නත් ඔහුට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. හැමදාම මේ ටික ඔරලෝසු කට්ට කරකැවෙනව වගේ සිද්ද වෙනව. සිතුවිල්ලකින් තොරව.

දර මිටිය ඔතන්න ගන්න සර්පයා වගේ ටයි පටිය ඔතාගෙන වෙනදා වගේම කබායත් බෑග් එකත් අරගෙන ඔහු එලියට බැස්සෙ කම්හලට යන්න. ඔහුගේ රස්සාව වුනේ කම්හලේ මැද ශාලාවක දුවන බෙල්ට් එකේ යන හැම ඇණයක්ම කෙලින් ද බලන එක. ඇද ඇණයක් තිබුනත් ඒක කෙලින් කිරීම ඔහුට අදාල දෙයක් නෙමෙයි. ඇද ඇණේ සලකුණු කරල එහෙම සලකුණු කරපු ඇණ බාර ගන්නම තියෙන මේසෙට බාර දෙන එක තමයි ඔහුගෙ වගකීම් වලින් වැඩියෙන්ම බැරෑරුම් එක. මේ ඇණ මොන මුරිච්චියකට එකතු වෙලා මොන යන්ත්‍රයක කොටසක් වෙනවද කියන එක ගැන කම්හලේ කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නැහැ.

මතක ඇති කාලෙක ඉඳන් එක දිගට චුරු චුරුවෙන් වහින වැස්සට යටින් ඔහු ගමන් ගත්තෙ ඇටකටු විනිවිද යන සීතල ගැන හිතන්නැතුව. වහින්න පටන් ගත්ත කාලෙදි වගේ තීව්‍ර නොවුනත් මේ සීතල නිසා තාමත් මුලු ඇඟම රිදුම් දෙනව. ඒත් ඔහුට ඒ වේදනාව දැනෙන්නෙ නැහැ. මුල් කාලෙ වේදනාවට හිතින් ශාප කලත් දැන් එහෙමවත් වේදනාවක් නොදැනීම ගැන ඔහු හිතේ කොණකින් දුක් වුනා.

අවුරුදු කිහිපයකට කලින් මෙහෙම වැස්සක් තිබුනෙ නැහැ, මඩ වලවල් උඩින් පනින්න ආයාසයෙක් නොගෙන පයින් යන ගමන් ඔහු මතක් කරන්න පටන් ගත්තා. ඒ කාලෙදි මතක තියෙන හැම දෙයක්ම හිරු එලියෙන් නැහැවිලා තිබුනා. ඉඳ හිට වැස්සත් ඒ හැම වැස්සක්ම හිතේ දූවිලි හෝදලා දිස්නෙ ගහන තරමට සුද්ද කරල ගත්තා. හැම වැහි බින්දුවක්ම දේව දූතයෙක් වගේ දිලිසුනා.

ගැහැණුන්ගෙත් පිරිමින්ගෙත් කෙල්ලන්ගෙත් කොල්ලන්ගෙත් හිනා හඬවල් ඈතින් වගේ ඇහුණ නිසා ඔලුව හරවලා වටපිට බැලුවත් ඔහු කාවවත් දැක්කෙ නැහැ. ඉර පායලා තිබුන කාලෙ බලවත්ම මතකෙ මේ හිනා හඬවල් බව ඔහුට තේරුම් ගියා. දැන් ඇහුණෙ ඒ මතකයෙ දෝංකාරයක් බව තේරුණ නිසා ඔලුව බිමට ඔහු ගමන පටන් ගත්තා.

නමුත් එක දිගටම ඇහුණ මේ හිනා හඬවල් මැද්දෙ එකම එක කිංකිණි සැලෙන හිනාවක් ටිකක් ප්‍රධානව ඇහෙන්න පටන් ගත්තා. ඒ හිනාවට මුහුණක් දෙන්නත් මුහුණට හිතක් දෙන්නත් මේ දෙකටම අයිති වුන මතක සටහන් වැලක් අමුණල දෙන්නත් ඔහුගෙ ස්මරණ ශක්තිය බලවත් වුනා. හිත බර වුන නොස්ටැල්ජියාවකින් ඔහු ඒ මතක සටහන් වැල දිගේ ගමන් ආරම්භ කලා.

මේ සියල්ල ඔහුගෙ ඔලුව ඇතුලෙ සිදු වෙද්දි ඒ ගැන හිත හිත ගිය නිසාද මන්ද ඔහු වටේ පරිසරයෙ සිදු වෙන්න පටන් අරගෙන තිබුන වෙනස්කම් ඔහු දැක්කෙ නැහැ. නිරන්තර චුරු චුරුව නිසාම නොවුනත් අලු පැහැයෙ ප්‍රභේද වලින් වැහිලා තිබුන පරිසරයට පාට පාට වැටෙන්න පටන් ගත්තා. චුරු චුරුව අඩු වෙලා බොහොම හීනි වැහි පොද වැටෙන මල් වැස්සකට පරිවර්තනය වුනා. වලාකුලු දිය වෙලා ගිහින් ඉර එලිය හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා ගියෙ කාලයක් හෝදපු නැති ගෙයක් හෝදනව වගේ. ඉර එලිය වැටුන තැන් අලු පැහැයෙ ඉඳන් තීව්‍ර වර්ණ වලට හැරුණා. කහ පාට, නිල් පාට බිත්ති මතු වුනා. ඒ බිත්ති මත ගිහින් මැරිලා තිබුනු වැල් වලට පණ ගහල දීප්තිමත් කොල පාටකින් හිනා වෙන්න පටන් ගත්තා.

මේ පරිවර්තනය ඔහුගෙ අවධානයට ලක් වුනේ කලින් ගමන් කරපු අඳුරු වීදිය ටිකෙන් ටික ගොඩනැගිලි අඩු වුන මල් පිරුණු වත්තකට ආවට පස්සෙ. කම්හලට යන පාරෙ මෙහෙම තැනක් මතක තිබුනෙ නැති නිසා ඔහු වටපිට බැලුවා. මෙතෙක් වෙලා ගමන් කරමින් සිටිය වීදිය තව දුරටත් ඔහුගෙ පිටිපස්සෙ තිබුනෙ නැහැ. අපිලිවෙලට, ඒත් බොහොම ලස්සනට වැවිලා තිබුන මල් පිරුණු විශාල මල් වත්තක මැද ඔහු හිට ගෙන හිටියා. දීප්තිමත් ඉර එලියක් තිබුනත් හුලඟට ගහගෙන යන හීනි මල් වැස්ස නැවතිලා තිබුනෙ නැහැ. ඇඟට වැටුණ සැණින් අතුරුදහන් වෙන වැහි බින්දු ඔහුට අපූරු සැනසීමක් ගෙන දුන්නා. දුවන බෙල්ට් එක, ඇද වුනු ඇණ, මේසය එහා පැත්තෙ හිටපු ඇටසැකිලි මනුස්සයා, තට්ටු හය හතක් උස කම්හල අමතක වෙලා ගිය ඔහු අත් දෙක විහිදුවලා ගලන ඉර එලියට මුහුණ නිරාවරණය කලා.

බලපු හැම පැත්තෙම ක්ෂිතිජයෙ පුරා පැතිරිලා තිබුනෙ මේ අපිලිවෙල මල් වත්ත. ඔහු දණ ගහගෙන මල් එකින් එක රස විඳින කොට ක්ෂිතිජයෙන් මතුවෙලා ආපු සමනලයෙක් ඔහුගෙ මුහුණ ඉස්සරහට වෙලා තටු සලන්න පටන් ගත්තා. ඔහුගෙ අවධානය දිනාගත්තට පස්සෙ ටිකක් එහායින් තිබුන කලු රෝස මලක් උඩට වහපු ඌ ඔහු එනකන් වගේ තටුව හෙමින් වනමින් සිටියා. ඇත්තටම කලු රෝස මලක් මේ මල් වත්තෙ ඔහු දැකපු පලමුවැනි වතාව. ඉද්ද ගැහුවා වගේ පාට පාට මල් අතරෙ මේ එකම එක කලු රෝස මල මතු වෙලා තිබුනා.

මොකද්දෝ සිතුවිල්ලකින් මෙහෙයවුන ඔහු කලු රෝස මල ලඟට හෙමින් අඩිය තිබ්බා. කලු රෝස මල ලඟ දණ ගහ ගත්ත ඔහු සමනලයා දිහා කෙලින් බැලුවා. එතෙක් වෙලා මතක සටහන් අමුණලා තිබුන සිතුවිලි වැලේ ජීවත් වුනත් ඒ හැම එකක්ම එක්වරක් සිදුවුනු නැවත් සිදුවෙන්න ඉඩක් නැති අතීතයක මතකයක් විතරක් බව ඔහුගෙ හිතට ඇතුලු වුනා. මේ සිත් බිඳීම එලියට ආවෙ සමනලයා කෙරෙහි ඇති වුන කේන්තියක් විදියට. ඌව අතට ගැනීමට හිතුවත් තටු වලට හානි වෙන නිසා ඔහු වැඩි දෙයක් නොහිතා එක පාරටම කලු රෝස මල නටුවෙන් කඩලා ගත්තා.

නටුවෙ තිබුන එකම රෝස කටුව මාපටැඟිල්ලට තෙරපිලා සියුම් කේශ නාලිකා තුවාල කරල දානවත් එක්ක ඔහුගේ වටේ තිබුන මල් වත්ත එක් වරම අතුරුදහන් වුනා. ඉර වසාගෙන වලාකුලු පැතිරිලා මල් වැස්ස ඉක්මනටම නැවත තිබුනාටත් වඩා තද වැස්සක් බවට පත් වෙද්දි පරිසරයෙ තිබුන පාට ඒ වැහි බින්දු වලින් හේදිලා අලු පාට මතු වුනා. මල් වත්තෙදි විඳපු සතුටක ජීවත් වුන ඔහු ඒ සතුට නැති වෙන බියෙන් සමාව ඉල්ලනව වගේ කලු රෝස මල උඩ හිටපු සමනලයා දිහා බැලුවා. වැස්සට තටු ඇලිලා දියවෙලා ගියත් සමනලයා දැඟලුවෙ නැහැ. ඔහු බලාගෙන ඉඳිද්දිම සමනලයා ටිකෙන් ටික කලු රෝස මල ඇතුලට දියවෙලා ගියා.

ඔහු නැවත වට පිට බලනකොට හිටියෙ අර කලින් හිටපු අඳුරු වීදියෙ. ටිකක් එහායින් දුම් දාන කම්හල විරාජමානව පේන්න තිබුනා. වැහි බින්දු ද කඳුලු ද කියල හිතාගන්න බැරි වෙන්න මූණ තෙමාගෙන ඔහු කම්හල දිහාවට ඇවිදින්න පටන් ගත්තා. බිම වැටිලා තිබුන කලු රෝස මල ඔහුව පහු කරගෙන අනිත් පැත්තට ගිය වයසක මිනිහෙක්ට පෑගිලා මඩ වලට එරුණා.

 

One thought on “කලු රෝස මල

  1. මට මුලින්ම ඔළුවට ආවෙ දොස්තයෙව්ස්කි, ඊට පස්සෙ ඉස්සරක බලපු කෙටි ඇනිමේෂන් එකක්.
    මේක ඇත්තටම අමුතු හැඟීමක් දැනෙව්වා.