මරණ දෙකක් ඇති සරසවි සිසුවා | The University Student Trapped In Between

ඉහත දැක්වෙන්නේ පසුගිය දිනෙක අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද පෙලපාලිය නිමා වුනු ආකාරයයි. රිමාන්ඩ් භාරයට පත් කරන ලද සිසුන් සත් දෙනෙකු නිදහස් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් ඇතුලත් සංදේශයක් කුමන හෝ පුද්ගලයෙකුට භාර දීම මුල් කර ගෙන මෙම පෙලපාලිය සංවිධානය කරනු ලබන බව කියැවිණි. අවසානයේ සිසුන් විසි එක් දෙනෙකු අත්අඩංගුවට පත් වුනු අතර තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිනි. රාජ්‍ය සරසවි අධ්‍යාපනය නැවැත්වීමට තවත් එක් හේතුවක් එසේ මහජනතාවට ඒත්තු ගන්වන ලදී.

මෙම සටහන ලියැවෙන්නේ ස්වර්ණවාහිනියේ වැඩසටහනක එස් බී දිසානායක අමාත්‍යවරයා තවත් ආචාර්ය මහාචාර්යවරුන් කිහිප දෙනෙක් පිරිවරා ගෙන පෞද්ගලික සරසවි ඇති කිරීමේ සිහිනය මුලු රටටම මවා පාන අතරතුරය. පෞද්ගලීකරණය කරන ලද අනෙකුත් ‍සේවා පිලිබඳ නොයෙකුත් උදාහරණ ලබා දෙමින් හරි හරියට තර්ක විතර්ක මවනා සැටි බලා සිටීමත් අපුරූය. ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සේවය අද ඕනෑම තැනකදි ලබා ගත හැකි බව එකෙකු පවසයි. අනෙකා රැකියා වෙලඳපලට සරිලන සේ උපාධි පාඨමාලා ගොඩනැගීම පිලිබඳ අදහස් දක්වයි. තවත් අයෙකු දුරකථනයෙන් කතා කොට හාමුදුරුවන් සහ තරුණ ගැහැණු ලමුන් එක පේලියේ වාඩි වෙන සැටි බැලීමට හිරිකත බව පවසයි. රටම එකතු වී සාදයක් පවත්වන්නා සේය.

පසුගිය දිනෙක සිදුවුනු ඛේදජනක සිදුවීම හා ඊට ඉඩ සැකසුනු පරිසරය දෙස කලු සුදු රාමුවකින් බලා ආතල් එකක් ගැනීම ඇට මැස්සා පවසන්නා සේ ගෝත්‍රික ගති පැවතුම් වල සිරිතක් විය හැකිය. නමුත් ගැටලුව එතෙකින් නිමාවට පත්නොවන්නේය. දැන් පැත්තක් රටේ ශිෂ්‍ය මර්ධනය ඉතාමත් තදින් සිදුවන බව පවසයි. අනෙක් පැත්තෙන් සිසුන් නිදහස් කර ගැනීමක් ගැන පවසයි. මෙහි යථාර්තය අපට දැනෙනා ලෙසින් නම් මෙසේය.

ජවිපෙන් නිදහස් කර ගත යුතු සිසු පරපුර

ජනතා විමුක්ති පෙරමුණ විසින් සරසවි අධ්‍යාපනය තුල ඇති කර ගෙන තිබෙන බලාධිකාරය කෙමෙන් ගිලිහී යන නමුත් තවමත් සැලකිය යුතු තරමේ පිලිලයකි. පේරාදෙණියේ අමානුෂික වදහිංසා වලටත්, ජපුර සරසවියේ මානසික අසහනකාරී උපකුලපතිවරුන් පත් කර ගැනීමට පෙරමුණ ගැනීමටත්, වසරක් පාසා සිසුන් කැට ව්‍යාපාර, පෙලපාලි යැවීමටත්, තමාගේ බලය පතුරවා ඇති සරසවි තුල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමටත්, සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දැමීමටත් කෙලින්ම වග උත්තර බැඳිය යුත්තේ ඔවුන්ගේ බලවේග විසින් හසුරුවන ශිෂ්‍ය සංගම් විසිනි. ඔවුන්ගේ යල් පැනගිය හා විකෘති කරන ලද දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවැද්දීම හා වෙනත් දේශපාලන මතවාද සරසවි තුල පැතිරීම වැලැක්වීමට මොනයම් ආකාරයෙන් හෝ කටයුතු කිරීමත් මත ඔවුන්ගේ බලය සරසවි තුල රඳා පවතී. විප්ලවීය තරුණ බලවේගය තමන් සමඟ බව රටට පෙන්වීමේ වෙලඳ උපක්‍රමයකට වඩා දෙයක් එහි නැත. න්‍යායික දේශපාලනික වර්ධනයක් එතුල නැත. සියලු ප්‍රශ්න විසඳන්නේ ගහ මරා ගැනීමෙනි. නව දැනුම හමුවේ ඔවුන් හිරු දුටු කදෝ පැණියන් වේ. ඉංග්‍රීසි ඔවුනට මතක් කර දෙන්නේ අධිරාජ්‍යවාදයයි. ඔවුන්ට අනුව කොළඹ ධනවාදී එජන්තයන්ගේ බලකොටුවයි. ගම සුපිරිසිදු දේශප්‍රේමීන්ගේ නිජභූමියයි.

ජවිපෙ වැනි පසුගාමී හා සම්පූර්ණයෙන්ම රැවටිලිකාර වූ (නමින් මාක්ස්වාදීන්ය, ක්‍රියාවෙන් වඩාත්ම සමාන වන්නේ වෛශ්‍යාවකටයි) දේශපාලනික බලවේගයකට සරසවි තුල බලකොටු බැඳ ගැනීමට ඉඩ දිය නොහැක. අන්තවාදී ජාතික චින්තනයට එරෙහි වන්නා සේම එලෙසම අන්තවාදී ජවිපෙටද එරෙහි විය යුතුය. (එක අතකින් මේ දෙපාර්ශවයම සමානකම් පෙන්වන අවස්ථා එමට තිබේ. කැලණියේදි කෙල්ලන්ගේ කලිසම් ගැන පෝස්ටර් ගහන්නේ ‘චී’ කාරයින් විසිනි. ජපුරේදී ත්‍රීක්වාටර් කලිසම් ඇඳි තරුණියන්ට බිත්තර වලින් ප්‍රහාර එල්ල කරන්නේ ‘චේ’ කාරයින් විසිනි.) අමානුෂික නවක වදය නැවැත්වීමටත් සරසවි ශිෂ්‍යා පසුගාමී චින්තන රටාවලින් මුදවා දේශපාලනික නිදහස ලබා දීමටත් එය අත්‍යවශ්‍ය වේ.

උදුල් ප්‍රේමරත්න අවිශිබමයේ කැඳවුම්කරු ලෙස ජවිපෙට නොනවත්වා කඩේ යාම අපට වටහා ගත හැක. පක්ෂය තුල තනතුරක් ආරක්ෂා කර දී ඇති ඔහු එලෙස කිරීමේ වැරැද්දක් නොමැත. නමුත් මහපොලොව සමඟ  හැපෙන දාඩියෙන් ඉපදෙන සල්ලි වියදම් කර සරසවියට එන, උපාධිය සාර්ථකව නිම කිරීම මත සියල්ලම යැපෙන සරසවි සිසුවා එලෙස කල යුත්තේ ඇයි? විප්ලවයක අගක් මුලක් නොදැන පෙලපාලි යන්නේ කුමටද? මේ සියල්ලටම පිලිතුර ඇත්තේ ප්‍රධාන වශයෙන් අමානුෂික නවක වදය තුලය. නැවත නැවතත් මැතිරීමට අවශ්‍ය නොවුනත් එහිදී සිදුවන මොල සේදීම සිසුවෙකුගේ ජීවිතය වලපල්ලට ඇද දැමීමට සමත් වන්නේය.

අනෙක් අතට පෞද්ගලික සරසවි වලට එරෙහිව සිදු කරනවා යැයි කියන සටන එයින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට ප්‍රතිවිරුද්ධම ප්‍රතිඵලය ලබා දෙන තැනට මෙම මුග්ධයින් කටයුතු කරමින් සිටි. උදුල් ප්‍රේමරත්නගේ මොල පොඩිත්තේ තර්කයට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා භූමියට සරසවි සිසුන් දාහක් එක් රැස් කිරීම පෞද්ගලික සරසවි වලට එරෙහි වීම වුවත් අපට අනුව නම් උදුල් කරන්නේ පෞද්ගලික සරසවි උවමනා කරන්නන්ගේ බලාපොරොත්තු ඉටු කර දීමයි. පොලීසිය හා සිසුන් අතර ගැටුම් ඇති කිරීමෙන්, කඳුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර අතරින් දිව යන සිසුන්ගේ රූප ප්‍රසිද්ධ කිරීමෙන් පෞද්ගලික සරසවි වලට එරෙහි ජනතා බලවේගයක් ගොඩ නැගීමට ඔහු බලාපොරොත්තු වේ නම් ඒ එක්කෝ අන්ත මෝඩ කමකි. නැතිනම් කපටිසහගත ලෙස සිසුන් මෙහෙයවීමකි. ශිෂ්‍ය මර්ධනයක් සිදු වන බව ඇත්තකි. එයට පොහොර දමන්නේ උදුල් ප්‍රමුඛ ජවිපෙ මිනීමරුවන් විසිනි.

සරසවි සිසුන් ගලවා ගැනීමේ මෙහෙයුමේ පලවෙනි අදියර වන්නේ ජවිපෙන් සිසුන් නිදහස් කර ගැනීමයි. අමානුෂික නවක වදය වෙත සීමා පැනවීමත්, ආචාර්ය සිසු සම්බන්ධතාවයන් වැඩි දියුනු කිරීමට කටයුතු කිරීමත්, සමාජයීය හා දේශපාලනික දැනුම අතින් සිසුන් සන්නද්ධ කිරීමත් ක්‍රමානුකූලව අනුගමනය කලහොත් මෙම කාර්යය අපහසු වන්නේ නැත. ජවිපෙ ආධිපත්‍ය පතුරවාගෙන ඇති සරසවි තුල අධ්‍යාපනික හා සමාජයීය වශයෙන් ඇති බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි ප්‍රධාන මාර්ගයද මෙයයි. එයින් ඇති වන දේශපාලනික රික්තකය තුලට වඩාත් ප්‍රගතිශීලී දේශපාලනයන් ඇතුලු වීමට ඉඩ සලසා දිය යුතුය. සිසුන් දේශපාලනයෙන් ඉවත් කිරීම සිදු නොවිය යුතුය.

වගකිව හැකි ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය

එස් බී දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත් වුන දිනයේ පටන් මන්ත්‍රයක් ලෙස ජප කිරීමට පටන් ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිර ගත වන ඔහු (ධූර කාලය දික් කර ගත නොහැකි වූ චන්ද්‍රිකා මැතිණියගේ නික්ම යාමට හා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා වික්ටර් අයිවන්ට පින් සිද්ධ වන්නට ඔහුට ඇති එකම චෝදනාව එය නොවන බව දැන් රටම දනී) මහින්ද රජය යටතේ සමාව ලැබීමටත්, ඉන්පසුව මහින්ද රජයට එකතු වීමටත් වාසනා ලබයි. ඉන්පසුව උසස් අධ්‍යාපන ඇමති වශයෙන් දිවුරුම් දෙන ඔහුගේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ ඌව වෙල්ලස්ස සරසවියේ සිදු වන අකටයුතුකම් ගැන සොයා බැලීම නොව පෞද්ගලික සරසවි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමයි.

පෞද්ගලික සරසවි වලට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස එතෙක් හැසිරුනු කණ්ඩායමක් ප්‍රකෝප කිරීමට දිසානායක ඇමතිවරයාගේ ක්‍රියාවට අමතරව තව කිසිවක් අවශ්‍ය නැත. සැලසුම් කර ආකාරයටම ජවිපෙ මැට්ටන් රැල සිසුන් පාරට ඇද දැම්මේය. දැන් ඇත්තේ දෙවෙනි ජවනිකාවයි. ජවිපෙ බලකොටුවක් වන පේරාදෙණිය සරසවිය තුලට ගොස් ප්‍රකෝප කරවන සුලු ආමන්ත්‍රන කිහිපයකින් අනතුරුව හූ සංග්‍රහයක් ඇමතිවරයාට එල්ලවෙයි. සිසුන් කිහිප දෙනෙක් ඉන් පසුවන දින කිහිපයක් තුලදී රිමාන්ඩ් භාරයට ගැනෙන අතර (ආරංචියේ හැටියට මෙලෙස අත්අඩංගුවට ගන්නේ බැච් නියෝජිතයින්වය) නවක වදය හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් චෝදනා ලෙස ගොනු කර උපරිමයටම දඬුවම් ලබා දෙන බව ප්‍රචාරය කරනු ලැබේ. වෙනදා සිදු කරන පන්ති වර්ජනයෙන් ඇමතිවරයා තවත් කුපිත වන බවක් පෙනේ. අලුතින් එන සිසුන් කාණ්ඩය පුහුණු කිරීමත් කරගත හැකි වන සේ ජවිපෙ හිතවාදී අවිශිබමය පෙලපාලියක් සංවිධානය කරන්නේ මින් පසුවය.

සිසුන්ට තබා රජයට විරුද්ධව කිසිම අයුරක පෙලපාලියකට හොඳින් හෝ නරකින් ඉඩ නොතබන වාතාවරණයක් තුල සිසුන් පාරට බැසීමේ තැනට පත් කෙරෙන ක්‍රියාවලියක් ඉහත සිදුවීම් පෙල තුලින් අපට දක්නට හැක. එය එක්කෝ සැලසුම් සහගතව සිදුකරන ලද්දක් විය හැක. නැතිනම් හුදෙක් වගකීමක් නොමැති උඩඟු ඇමතිවරයෙකුගේ අහඹු ක්‍රියාකලාපය නිසා සිදු වූවක් විය හැක. කෙසේ වුවද පෙලපාලිය මර්ධනය කිරීම සඳහා ‍‍පොලිසිය යෙදවෙන අතර අධ්‍යාපන සුදුසුකම් අඩු පොලිස් කොස්තාපල් වරුන් හා අධ්‍යාපනික සුදුසුකම් වැඩි සිසුන් අතර ගැටුම ලේ වැගිරීමක් දක්වා තත්වය උද්ගතවේ. සිසුන් හා පොලිසිය යනු එකිනෙකාට වෛර කරන කොට්ඨාශ දෙකක් බව පොදු මතයයි. ගැටුමක් ඇති කිරීමට අවශ්‍ය වන්නේ දෙපාර්ශවය එක් කිරීම පමණි. අවසානය අනිවාර්යයෙන්ම පසුගිය දින සිදු වූ අයුරින් රඟ දැක්වේ.

ඉහත සිදුවීම් ක්‍රියාදාමය ඉතා සූක්ෂමව සැලසුම් නොකල එකක් ලෙස අප ගතහොත් උසස් අධ්‍යාපන ඇමතිවරයා ලෙස එස් බී දිසානායක මෙහිදී හැසිරී ඇත්තේ ඇමතිවරයෙකුට තබා සාමාන්‍ය පෙල සිසුවෙකුට තරම්වත් නොවන මට්ටමකිනි.

  1. පොදුවේ සරසවි පද්ධතියටම බලපාන තීරණයක් සිසු නියෝජනයකින් තොරව සිදු කිරීම හා ඔවුන් ප්‍රකෝප කරවන අන්දමින් මූනට දමා ගැසීම
  2. ප්‍රචණ්ඩකාරීන් ප්‍රකෝප කල පසු ඇති වන ප්‍රතිඵල ගැන අවබෝධයක් ඇතිවම ඒ තැනට වැඩ කටයුතු සිදු කිරීම
  3. හූ සංග්‍රහයට පලිගැනීමක් ලෙස ඉතාමත් පෞද්ගලික මට්ටමකින් සිසුන් කිහිප දෙනෙක් තෝරා අවම වශයෙන් වසර හතරක්වත් හිරේ දමන බවට පුරසාරම් දෙඩීම
  4. පෞද්ගලික සරසවි පිලිබඳ ජනප්‍රිය තර්ක විතර්ක පමණක් සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට යාම

රටක උසස් අධ්‍යාපනය යනු එහි ආරක්ෂක පරිමාව මෙන්ම වැදගත් වූ අංගයකි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් මෙලෙස වගකීමකින් තොරව පෞද්ගලික හැඟීම් වලින් අන්ධ වී කටයුතු කරන ඇමතිවරයෙක් මත එවැනි වගකීමක් පැටවීම මෙරටේ මුල් පුටුව දක්වා වගකිව යුතු තත්වයකි. එයින් ඔවුන් මුලිනුපුටා දමන්නේ රටේ අනාගතයයි. අනෙක් අතට එස් බී දිසානායක ඇමතිවරයා කටයුතු කරන්නේ කාගේ හෝ සැලසුමකට අනුව නම් එය තව දුරටත් මෙරටේ සිසු අර්බුදය උග්‍ර කරන්නක් බව කිව යුතුය. සිසුන් පාගා දැමීමෙන් සැලසුම් ක්‍රියාත්මක කරන්නට යාමේ මෑත කාලීන ඉතිහාසය මතක් කිරීමට එතරම් මිහිරි නැත.

අවසාන වශයෙන් කිව හැක්කේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරිමාණයන් අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගත හැකි ඇමතිවරුන් මෙරටට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවත් එස් බී දිසානායකනම් ඉන් එක් අයෙකු නොවන බවත්ය.

පිස්සු නැටීමට ප්‍රසිද්ධ ඇමතිවරයෙකුත් මුග්ධ දේශපාලන පක්ෂයකුත් අතර සිරවුනු සරසවි සිසුවාගේ තත්වය ඊයේ වන විට එසේය. සමහර විට හෙට වන විට සිසුන් නැවත වරක් බස් පිටින් කොළඹ වටරවුමක් අසලට එක් රැස් විය හැක. එවිට තවත් කුඩා සිවිල් යුද්ධයක් මෙරට ප්‍රේක්ශකයින් රස විඳිනු ඇත.‍ මෙම තත්වය වෙනස් කිරීමට අදහස් කරන අයෙකු ක්‍රියා කල යුත්තේ ඊට කලිනි. සිසුන් මෙම තත්වයෙන් ගලවා ගැනීමටනම් ඉහත සඳහන් වින කටින්නන් දෙපාර්ශවයෙන්ම ඔහු ගලවා ගත යුතුය. බලය තහවුරු කර ගැනීමේ යුද්ධයෙන් සිසුන් විනාශ වී යාමට පෙර එය සිදු විය යුතුය.

15 thoughts on “මරණ දෙකක් ඇති සරසවි සිසුවා | The University Student Trapped In Between

  1. Pingback: Tweets that mention මරණ දෙකක් ඇති සිසුවා | The University Student Trapped In Between – Out In The Open -- Topsy.com

  2. මෙම ලිපියෙන් ජවිපෙට සහ එස් බී ට අවලාද නැගීම හැර පුද්ගලික විශ්ව විද්යාල රටට සුදුසුද නැද්ද යන්න පිලිබදව හරවත් කිසිවක් ලියා නැහැ නේද?

    • :) ඔව්. මෙම ලිපියේ අරමුණ වුනේ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන (ආයේ) සාකච්ඡා කිරීම නොවෙයි. ඒ තත්වය තුල සරසවි සිසුවා පත්ව ඇති ඉරණම ගැන කතා කිරීමයි. සමාජයේ එන්න එන්නම අයහපත් ප්‍රතිරූපයක් හදාගෙන යන ඔහුගේ ඇත්ත තත්වය “අනේ මෙහෙම සල්ලි නාස්ති කරන හැත්ත” යන්නෙන් ඔබ්බට ගොස් සාකච්ඡා කල යුතුයි.

      පොදුවේ මම පෞද්ගලික සරසවි වලට විරුද්ධයි. ඒත් එකත් මේ ජෙප්පො කෑ ගහන දේවලට වැඩිය ටිකක් වෙනස්. ඒ ගැන කලින් මම ලිපි කිහිපයක් ලිව්වා. ඒත් එ සමහර අදහස් දැන් වෙනස් වෙලා තියෙනවා. ඉඩ ලැබුන වෙලාවක පසුව ඒ ගැන ලියන්නම්.

  3. ලිපියට ස්තූතියි මච්න්…තරුට ප්‍රශ්නයක් වෙලානෙ පිටරට විශ්ව විද්‍යාල ගැන. පොඩ්ඩක් ඒ ගැනත් ලියපන් මච්න්. මන් දන්න දැනට ක්‍රියාත්මක වෙන පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක්ම ලංකාවෙ තියෙනව. ඒත් ඒව ගැන කවුරුත් දන්නෙ නැද්ද දන්නෑනෙ.

    කොහොම උනත් මන් දන්නෙ මෙච්චරයි.

    “වැඩකාරයට බොරු බෑ.. බොරුකාරයට වැඩ බෑ…”

    • පෞද්ගලික විශ්ව විද්‍යාල කියන දේ දිහාත් කලු සුදු සෙට් එකෙන් බලන්න බැහැ. කොටින්ම දැනටත් සල්ලි වලට ආචාර්ය උපාධි ලබා ගත්ත අය, බී එස් සී එක එක ලොවෙත් නැති සරසවි වලින් දෙන තැන් බොහොමයක් තියෙනවා.

      මේ ගැන ලිපියක් පුලුවන් වෙලාවක ලියනවා මචං. මොනව වුනත් උඹේ කතාව තමයි අන්තිමට.

      “වැඩකාරයට බොරු බෑ.. බොරුකාරයට වැඩ බෑ…”

  4. මේ ලිපිය වෙනස් වෙන්නේ සහ ඊට පිලිතුරක් ලිවීමට මම අදහස් කලේ මේ මාතෘකාව ගැන ලියවෙන අනිත් ලිපි වලට වඩා මූලධාර්මික වෙනසක් මෙතන තිබෙන නිසා.එනම් ලියුම්කරු පුද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපාතියට විරුද්ධ බව පැහැදිලිව කියා තිබෙන නිසා.

    මම යෝජනා කරන්නෙ මේ ඇති වෙලා තියෙන අල කලංචිය තේරුම් ගැනීමේ යතුර පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබද ප්‍රශ්නයයි.රජය මැදිහත්වෙලා නොමිලේ සේවා සැපයීම 1977 ට පසු තවදුරටත් අපේ ආර්ථික ක්‍රමයේ වැදගත් අංගයක් නෙමෙයි.එවැනි සුබසාධක සේවා වලින් ක්‍රමයෙන් ඉවත්වීමේ අපේක්ෂාව රජයට තිබෙනවා.අනෙත් හැම අංශයකම ඒ කාර්යය ඉ‍ටු වුනත් විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේදී එය නියම අර්ථයෙන් යථාවත් කරගන්න තවම නොහැකි වෙලා තියෙනවා.එහෙම වුනේ ඇයි?මේක තමයි තීරනාත්මක ප්‍රශ්නය.

    බලපෑම් කන්ඩායමක් විදිහට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලංකාවේ බරපතල විදිහට ගොඩනැගිල තිබීම මේකට ප්‍රධාන හේතුවක්.අන්තරය විශ්ව විද්‍යාල වල කරන දේශපාලනයේ අපමන සීමාකම් තිබුනත් ( ඒ සීමාවන් විවේචනය කිරීම ගැන කිසිම අවුලක් නැහැ ) පිලිගත යුතු ඇත්ත තමයි ආන්ඩුවේ ව්‍යාපෘතියට විරුද්ධව දේශපාලනික අර්ථයකින් ශිෂ්‍යයන් ගොනු කරන්න අන්තරය සමත් වෙලා තියෙනවා.විපක්ෂය මාධ්‍ය වෘත්තිය සමිති ඇතුලු මුලු මහත් රටම,මුලු මහත් සමාජයට පවතින ආන්ඩුවේ බලය හා හැකියාව පිලි අරගෙන නිහඩව ගොලුව සිටින මොහොතක අන්තරය ආන්ඩුවට අභියෝග කර තිබෙන ආකාරය බලන්න.මෙවැනි ව්‍යාපාරයක් ආන්ඩුවේ පුද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට බලවත් බාධකයක්.උදාහරනයක් විදිහට පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් අන්තරයේ නොවන වෙනත් සංගම් ( ලියුම්කරු ප්‍රගතශීලි ශිෂ්‍ය ව්‍යාපාර කියල හදුන්වන්නේ ඒවාද කියල මම දන්නේ නැහැ ) බලය හොබවන කොලඹ මොරටුව වැනි විශ්ව විද්‍යාලවල තත්වය බලන්න.විරෝධතාවයක් තබා අඩුම තරමින් මේ ගැන සංවේදිතාවයක් වත් එවැනි තැනකින් ආව බවට සලකුනක් නැහැ.විශ්ව විද්‍යාල තුලින් අන්තරය අතු ගා දැමීමේ මහා මෙහෙයුමකට ආන්ඩුව අවතීර්න වෙන්නේ පැහැදිලිවම මේ බාධකය ඉවත් කරගන්න මිස වෙන මොකකටවත් නෙමෙයි.

    එතනදී සිසුන් සම්බන්ධව ආන්ඩුව දක්වා තිබෙනුයේ අතිශය අනුකම්පා විරහිත මර්ධනීය ආකල්පයක්.‍පේරාදෙනිය සිදුවීමේදී හූ කී සිසුන්ට නඩු පවරා තිබෙන්නේ නවකවද පනත යටතේයි.කැලනියේදී අභ්‍යන්තර නේවාසිකාගාර සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට තින්දු වෙලා තියෙනවා.බොහෝ සිසුවන් කලබලයෙන් බෝඩිම් හොයන තත්වයක් දැන් කැලනියේ තියෙනවා.බෝඩිම්වලට වියදම් කල හැකි නම් නේවාසිකාගාර වල පිහිට කවුරුත් පතන්නෙ නැහැ කියන එක අමුතුවෙන් විස්තර කල යුතු නැහැ.දහස් ගනන් සිසුන් කිසිදු පදනමක් නැතිව මහා පරිමානයෙන් හුදු මොලසේදීමකින් විතරක් පාරට බැස්සිය හැකි නම් එවැනි ව්‍යාපාරයක් ඉන්ද්‍රජාලික හැකියාවක් සහිත එකක් විය යුතුයි.නමුත් ඇත්ත තමයි මෙවැනි කලබගෑනියක් ඇතිවෙන්නේ ඒ සදහා ඇවැසි සරු පස රජය විසින්ම නිර්මානය කරන නිසා.මේ මාතෘකාව ගැන කතාකරද්දී හුදෙක් අන්තරයට තිබෙන විරෝධය විතරක් හයිලයිට් කරනවා වෙනුවට සමස්ථ පින්තූරය දිහා සංයුක්තව බැලීමයි වැදගත් වෙන්නේ.

    පලි – නවකවදය අන්තරයට ආවේනික රෝගයක් ලෙස කවුරු හරි තර්ක කරනවා නම් ඔහුට හෝ ඇයට නවකයන් පැමිනෙන කාල සීමාව තුලදී “ස්වාධීන” සංගම් බලය හොබවන සරසවිවල නේවාසිකාගාර තුලට පැමින එහි සිදුවන්නේ කුමන වදයක්ද යන්න සියැසින්ම නිරීක්ෂනය කරගත හැකියි.
    ( එවැනි ආයතන වල නම් ගම් වුනත් අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමේ කිසිදු නොහැකියාවක් නැහැ )

    • //සුබසාධක සේවා වලින් ක්‍රමයෙන් ඉවත්වීමේ අපේක්ෂාව රජයට තිබෙනවා//
      ඔව් මේ බව ඉතාමත්ම පැහැදිලියි. නිදහස ලබන විට ලංකාව විශාලම සුබ සාධක ආර්ථික රටාවක් තිබෙන රටක් වශයෙන් තිබිලා තියෙනවා. නමුත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ බොහෝම සුලු කොටසයි. ඒක ආර්ථික ප්‍රතිපත්ති භේදයකින් තොරව පොදුවේ රජයන් අතරම තිබුන අරමුණක්. ඒ ඇයි කියන එක පැහැදි්‍ලියි.

      //බලපෑම් කන්ඩායමක් විදිහට ශිෂ්‍ය ව්‍යාපාරයක් ලංකාවේ බරපතල විදිහට ගොඩනැගිල තිබීම මේකට ප්‍රධාන හේතුවක්.//
      මෙන්න මෙතනින් තමයි අ‍පේ අදහස් වෙනස් වෙන්නේ. බලපෑම් කණ්ඩායමක් විදියට අන්තරය ඇතුලු ජවිපෙ හිතවාදී ශිෂ්‍ය ව්‍යාපාරය හඳුන්වන්න පුලුවන් ද? ඒක ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රගතියට වඩා එය සම්පූර්ණයෙන්ම හෑල්ලුවට ලක් කරලා එහි සිසුවා සමාජ විරෝධී අයෙකු (ක්‍රම විරෝධය නොවේ. අර මුත්‍රා ‍කරනකොටත් ක්‍රමවිරෝධී වෙන අය) බවට පත් කරලා තියෙනවා. තව දුරටත් ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික හෝ එවැනි දේශපාලනික ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. ජනප්‍රිය සටන් පාඨ වලින් පමණක් සන්නද්ධ සමස්තය ගැන කුඩා හෝ අදහසක් නොමැති පිරිසක් පමණයි සිටින්නේ. හොඳම උදාහරණය පහුගිය අවුරුදු තුන ඇතුලත (මම පෞද්ගලිකව දැකපු ඒවා) පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව යැයි ගෙනගිය පෙලපාලි. ඒවා තුල තිබුනේ විශ්වා වර්ණපාලට එරෙහිව තිබූ කෑ ගැසීම්, හූ කීම් සහ බැරියර් කඩා බිඳ දැමීමෙන් පසුව එන කඳුලු ගෑස් ප්‍රහාරය පමණයි. මේ පෙලපාලිය යන්නේ හැම අවුරුද්දකම අගෝස්තු සැප්තැම්බර් මාස හරියෙදි. ඒ අලුතින් එන කාණ්ඩය එන කාලයත් අල්ලලා. අවුරුද්දේ ඉතිරි මාස කිහිපය තුල නිද්‍රා ස්වාභාවයකට මේ අය පත්වෙනවා. ආයේ අවදි වෙන්නේ අර කාලය ඇතුලත විතරයි. මේ මම අවුරුදු කිහිපයක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්.

      මේ පෙලපාලි වලින් සිදුවන එකම දේ (මම පෝස්ට් එකේ කිව්වා වගේ) සරසවි සිසුවා සමාජයීය වශයෙන් හෑල්ලුවට ලක් වීම හා අර සමස්ත ව්‍යාපාරයට විරුද්ධව ජනමතය ගොඩ නැගීම විතරයි. ශිෂ්‍යත්ව වලට ස්ටිකර් විකිණීමට බස් වලට නගින පලවෙනි වසර ශිෂ්‍යයන් ඇර ජනතාව පවතින තත්වය පිලිබඳ දැනුවත් කිරීමට කිසිම පියවරක් ගනු ලබන්නේ නැහැ. ආක්‍රමණකාරී පිලිවෙත් වලින් සමාජයක් වෙනස් කරන්න පුලුවන් කියල හිතන ජවිපෙ මතයම තමයි මේ “ශිෂ්‍ය ව්‍යාපාරයත්” අනුගමනය කරන්නෙ. පැහැදිලිවම ඒක යල්පැනගිය ක්‍රමයක්. තවදුරටත් මිනිස්සු පොදු හැඟීමකින් එකතු කර ගැනීමක් කරන්න බැහැ. ඒක ජවිපෙ ජනප්‍රියවාදී දේශප්‍රේමයටවත් කරගන්න බැරි වෙච්ච දෙයක්.

      අන්තරය එවැනි මෝඩ ක්‍රමයක් අනුගමනය කරද්දි ආණ්ඩුව කරන්නේ ඒකට විරුද්ධව ජනතාව පෞද්ගලික මට්ටමකින් පෙල ගැස්සවීම. පොලීසිය හා සිසුන් ඝට්ඨනය කිරීම, පෞද්ගලික සරසවි රටේ මධ්‍යම පන්තියේ දැඩි අවශ්‍යතාවයක් බවට ඔප්පු කර පෙන්වීම, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන සිසුන් රටේ සල්ලි (“ඔබේ” බදු සල්ලි) විනාශ කරන වැඩකට නැති උන් බවට පෙන්වීම, ඒ අර්ථකතනය සමස්ත සරසවි සිසු ප්‍රජාවටම සාමාන්‍යකරණය කොට දැක්වීම වැනි සූක්ෂම ආකාරයේ මනෝමය යුද්ධයක් රජය විසින් සිදු කරනවා. මේ සූක්ෂම ක්‍රමවේදයන්ට එරෙහිව අන්තරය සිදු කරන හණමිටි ක්‍රියාමාර්ග (පන්ති වර්ජන, හූ කීම්, ප්‍රචණ්ඩත්වය) අර සූක්ෂම ක්‍රමවේදයන්ගේම පොහොර බවට පත්වෙනවා. අන්තිමට අන්තරේත් සහය ඇතුව රජය ජයග්‍රහණය කරලා. මෙවැනි තත්වයක් යටතේ අන්තරේ හරියට ඉරාකයට ගෙනියන ඇ‍මෙරිකානු සිවිල් යුද්ධ සේනාවක් වගේ බරක්. කිසිම වැඩක් නැති සතුරාට යුධ පුහුණුව පමණක් ලබා දෙන බරක්.

      ඒ නිසා තමයි මේ ශිෂ්‍ය ව්‍යපාරයේ මූලික හරයන් වෙනස් කල යුත්තේ. ජවිපෙ වැනි යල් පැන ගිය හා පාර වරද්දා ගත් පක්ෂයකට ශිෂ්‍ය ව්‍යාපාරය තව දුරටත් මෙහෙයවන්න බැහැ. එය එක්කෝ සාමකාමීව තම බලය අත හැරිය යුතුයි. නැතිනම් වෙනත් ව්‍යාපාරයක් විසින් ඉවත් කර දැමිය යුතුයි. ඇත්තටම සිසුන් එක් රැස් කිරීමේ අන්තරේ කාර්යභාරය වැදගත්. නමුත් ඒ බලවේගය නාස්ති කර දැමීමේ ක්‍රියාව නම් කොහොමටවත් සිදු වෙන්න දෙන්න බැහැ. “ඇති වන දේශපාලනික රික්තකය තුලට වඩාත් ප්‍රගතිශීලී දේශපාලනයන් ඇතුලු වීමට ඉඩ සලසා දිය යුතුය. සිසුන් දේශපාලනයෙන් ඉවත් කිරීම සිදු නොවිය යුතුය.” කොළඹ සරසවියෙන් අවශ්‍ය වේලාවේදී අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට විරෝධය එල්ල වෙනු ඇති. වි‍රෝධය පෑම යනු පෙලපාලි යාමම නොවේ. අනිත් අතින් මොරටුව සරසවියේ මා දන්නා බොහෝ අය පෞද්ගලික සරසවි ඇති කිරීමට පක්ෂව අදහස් දක්වනවා. ඒ පොදු ජවිපෙ විරෝධය අඩංගු පැකේජයේම ‍කොටසක්. අන්තරේ මේ අදූරදර්ශී ක්‍රියාකලාපයේ හානිය පැහැදිලි කරන්න මේ උදාහරණයම ඇති.

      //.විශ්ව විද්‍යාල තුලින් අන්තරය අතු ගා දැමීමේ මහා මෙහෙයුමකට ආන්ඩුව අවතීර්න වෙන්නේ පැහැදිලිවම මේ බාධකය ඉවත් කරගන්න මිස වෙන මොකකටවත් නෙමෙයි.//
      මම කලින් කිව්වා වගේ මේ ක්‍රියාවට ඍජුවම සහාය දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අන්තරය. ඔවුන්ගේ කොලේ දැන් ඉරාගෙන ඉවරයි.

      //දහස් ගනන් සිසුන් කිසිදු පදනමක් නැතිව මහා පරිමානයෙන් හුදු මොලසේදීමකින් විතරක් පාරට බැස්සිය හැකි නම් එවැනි ව්‍යාපාරයක් ඉන්ද්‍රජාලික හැකියාවක් සහිත එකක් විය යුතුයි//
      ඇත්තෙන්ම නැහැ. පේරාදෙණිය සරසවිය තුල ජවිපෙ පතුරවාගෙන ඇති බලය දිහා බලනකොට මේ ක්‍රියාවට අමානුෂික නවක වදය හා ඒ අතරතුර සිදුවන මොල සේදීම පමණක් ප්‍රමාණවත්. අපිට ඒක විශ්වාස කරන්න බැරි අපි සාමාන්‍යයෙන් සමස්ථ අරමුණු හමුවේ පෞද්ගලික මට්ටමේ අන්තර්ක්‍රියාකාරීත්වයන් අමතක කරල දාන නිසා. නමුත් “වාත” කණ්ඩායම සාදා ගත් විට ඕනෑම අදහසක් ඒ තුලට රිංගවීම ඉතාමත් පහසු දෙයක්. Groupthink න්‍යාය මෙතනට හොඳින්ම ගැලපේවි. ඔබ දන්නවාද පන්ති වර්ජනයට සහභාගී නොවන හතරවෙනි වසර සිසුන්ට පවා නේවාසිකාගාර තුලට ඇවිත් තර්ජනය කරන බව? ඒ මේ විකෘතිය පෞද්ගලික මට්ටමේදි ක්‍රියාත්මක වෙන හැටි. මොල සේදීම පමණක් මේ ක්‍රියාවලියට ඇති. එය ඉන්ද්‍රජාලික විය යුතු නැහැ. අනිත් එක ඔබ කියන විදියට අන්තරේ බලය පතුරවාගෙන සිටින පීඨ වල සිසුන් තම හැඟීමෙන්ම මෙම ක්‍රියාවට සහභාගී වෙනවා නම් රහසින් අන්තරේ විනාශය බලාපොරොත්තු වෙන්නේත් නැහැ. (ප්‍රමාණවත් සාක්ෂි ඇතුව වගකීමෙන් පවසන ප්‍රකාශයක්)

      //නවකවදය අන්තරයට ආවේනික රෝගයක් ලෙස කවුරු හරි තර්ක කරනවා නම්//
      පැහැදිලි කිරීමක් ලෙස: මම මෙය සටහන තුලින් අදහස් කරන්න උත්සහ කරල නැහැ. මම පෙන්වා දෙන්නේ ඒකෙ අනිත් පැත්ත. නවක වදය භාවිතා කිරීමේ අන්තරේ ප්‍රධාන උපක්‍රමයක්. නවක වදයට සම්පූර්ණ වගකීම අන්තරයට පටවන්න බැහැ.

      • //කොළඹ සරසවියෙන් අවශ්‍ය වේලාවේදී අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට විරෝධය එල්ල වෙනු ඇති//

        ‍මේ කරුනින් ආරම්භ කරමු.ඒ විරෝධය තිබෙන්නේ කොතැනද?එවැන්නක් සදහා සූදානමක්වත් පවතීද?දැනටම මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ වෙලා.මෙම ක්‍රියාදාමය ඉතාම වේගයෙන් ඉදිරියට ඇදෙනවා.

        http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=5788:2010-10-21-03-30-55&catid=3:news-right

        කොලඹ සරසවියෙන් එල්ල වෙනවා යැයි කියන විරෝධය පිලිබද සලකුනක් හෝ තවම නැත්තේ ඇයි?
        මෙයට පැහැදිලිම හේතුව කොළඹ සරසවිය වැනි තැනක ශිෂ්‍යයන් ප්‍රබලව සංවිධානය වී නොතිබීම නේද?එහි පීඨ වල බලයේ සිටින සංගම් ඔහේ ඉන්නවාට ඉන්නවා මිස අන්තරය මෙන් සංවිධානාත්මක මැදිහත්වීමකට උත්සාහයක්වත් නොදැරීම නේද?අන්තරයට පුද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් තිබෙන විවේචනය ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය සමග එන එකක්.කොලඹ සරසවියේ සංගම් වලට එවැනි දෘෂ්ටිවාදයක් නැහැ.අඩුම තරමින් නීත්‍යනුකූලව පත්කල යුතු මහා ශිෂ්‍ය සංගමය කොලඹ සරසවිය තුල පිහිටුවීම පරිපාලනය විසින් දිගින් දිගටම කල් දමමින් තිබෙනවා.මේ පිලිබද ශිෂ්‍ය ප්‍රජාවගේ කිසිදු ප්‍රතිචාර දැක්වීමක් සිදුවෙනවාද?මේ උදාහරනයෙන්ම පෙනෙන්නේ ශිෂ්‍යයන් සංවිධානය කිරීමට අන්තරය දක්වන සමත්භාවය සහ අන්තරය නොමැති විට ශිෂ්‍ය ප්‍රජාව බලරහිතව තිබෙන ආකාරය නොවේද?

        //මම කලින් කිව්වා වගේ මේ ක්‍රියාවට ඍජුවම සහාය දෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි අන්තරය. ඔවුන්ගේ කොලේ දැන් ඉරාගෙන ඉවරයි.//
        ආන්ඩුවේ ව්‍යාපෘතියට අන්තරේ පැවැත්ම ඔය තරම් උදවුවක් නම් අන්තරය සරසවි තුලින් අතු ගා දැමීමට මේ තරම් දරුනු ලෙස ආන්ඩුව කැස කවමින් සිටින්නේ ඇයි?මට අනුව ආන්ඩුව අන්තරයට දිගින් දිගටම පහර දෙමින් සිටින්නේ,ඒ සදහා විශේෂඥ ඇමතිවරුයෙකු පවා පත්කරගෙන තිබෙන්නේ අන්තරය මේ මොහොතේ ආන්ඩුවේ ව්‍යාපෘතියට නොසලකා හල නොහැකි බාධාවක් එල්ල කරන නිසා.මේ බැරියර් එක ඉවත් කරගත හොත් කොළඹ මොරටුව සරසවිවල මෙන් අදේශපාලනික,කිසිදු සංවිධානාත්මක ශිෂ්‍ය විරෝධයක් රහිත,තමන්ට අභියෝගයක් නොවෙන මට්ටමින් රාජ්‍ය විශ්ව විද්‍යාල පවත්වා ගැනීමට තමනට හැකි වන බව රජය හොදින් දන්නවා.

        //ඇත්තෙන්ම නැහැ. පේරාදෙණිය සරසවිය තුල ජවිපෙ පතුරවාගෙන ඇති බලය දිහා බලනකොට මේ ක්‍රියාවට අමානුෂික නවක වදය හා ඒ අතරතුර සිදුවන මොල සේදීම පමණක් ප්‍රමාණවත්//

        මේ උද්ඝෝෂන රැල්ල හුදු මොල සේදීමක ප්‍රතිඵලයක් ලෙස සැහැල්ලුවෙන් තේරුම් නොගත යුතු බවයි මම නැවතත් කියන්නේ.එය හුදෙක් දෙමල කැරලිකරුවන් මරාගෙන මැරෙන සටනකට ගියේ ඔවුන්ව පීඩනයට ලක්කල ප්‍රශ්න තිබූ නිසා නොව ප්‍රභාකරන් ඔවුන්ගේ මොල සේදූ නිසාය වැනි කතාවක්.සිසුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධ අඛන්ඩ පන්ති වර්ජනයක් නිසා පේරාදෙනියේ ඉංජිනේරු පීඨය මේ වන විට වසා තිබෙන අතර එම පන්ති වර්ජනයට පීඨයේ anti raggers ලාගේ සහය දිනාගැනීමටත් වර්ජනය කරන අය මේ වනවිට සමත් වෙලා තියෙනවා.මොල සේදීමකට වඩා ප්‍රශ්නයක් මෙතන තියෙන බව ඉන් පෙනෙනවා නේද?කැලනියේ නේවාසිකාගාර ඉවත් කිරීම පිලිබද ප්‍රශ්නයත් එවැනි මහ පොලොවේ තිබෙන ශිෂ්‍යයන්ට දැනෙන සැබෑ ගැටලුවක්.

        //ආක්‍රමණකාරී පිලිවෙත් වලින් සමාජයක් වෙනස් කරන්න පුලුවන් කියල හිතන ජවිපෙ මතයම තමයි මේ “ශිෂ්‍ය ව්‍යාපාරයත්” අනුගමනය කරන්නෙ. පැහැදිලිවම ඒක යල්පැනගිය ක්‍රමයක්//

        පෙලපාලි යාම උද්ඝෝෂනය කිරීම විරෝධය දැක්වීමේ “එකම” ආකාරය නොවෙයි කියන එකට මම එකගයි.නමුත් මේවා විරෝධය දැක්වීමේ වැදගත් ආකාරයන්.කිසිවෙක් කියන දේට කන් නොදි පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමේ දැඩි හිතුවක්කාරී තීන්දුවක ආන්ඩුව ඉන්න බව ඔබ පිලිගන්නවා ඇතැයි මම සිතනවා.ඒ අරමුන වෙනුවෙන් මාධ්‍ය ඇතුලු තමන්ගේ දෘෂ්ටිවාදී උපකරනයන් සේරම ආන්ඩුව ප්‍රබලව භාවිත කරමින් ඉන්නවා.එවැනි තත්වයක් තුල පෙලපාලි යාම් වැනි දැනෙන ‍‍භෞතික වි‍රෝධයක් ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක බලයක් හරහා පෙන්නුම් නොකර ආන්ඩුවේ ව්‍යාපෘතියට අභියෝග කරන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැහැ.ඉතිහාසය තුල අධ්‍යාපන ධවල පත්‍රිකාව,උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය වැනි දේවල් පරාජය කෙරුනේ මෙවැනි භෞතිකව දැනෙන ක්‍රියාමාර්ග වලට ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවූ නිසා.හුදෙක් අධ්‍යාපනය පුද්ගලීකරන‍යේ ආදිනව පිලිබද පුවත්පත් වලට ලිපි සැපයීමෙන් මහ පොලොවේ තිබෙන ද්‍රව්‍යමය ක්‍රියාවලියක් ආපස්සට හැරවිය නොහැකියි.

        ‍දේශපාලනයේදී යථාර්තවාදී වීම පිලිබද කරුන මෙතන තිබෙන බව මට හැගෙනවා.අන්තරය ඉවත් විය යුතු බව ඔබ යෝජනා කරන අතරම සරසවි සිසුන් අදේශපාලනික නොවිය යුතු බවත් ඒ සමගම පවසනවා.අන්තරයේ ක්‍රියාවලිය දේශපාලනික බව මේ අනුව ඔබ වක්‍රාකාරයෙන් පිලිගන්නවා.
        කෙසේ වුනත් වඩා ප්‍රගතශීලි ව්‍යාපාරයක් එම හිස්තැන පිරවිය යුතු බව ඔබේ අදහසයි.එම “වඩා” ප්‍රගතිශිලි ව්‍යාපාරය කුමක්ද?එවැන්නක් මේ පොලොවේ පවතීද?අන්තරය ඉවත් වන සෑම තැනෙකදීම එම හිස්තැන පුරවනු ලැබූයේ කවුද?අදේශපාලනික ඊනියා ස්වාධීන සංගම් ( මේවා සහ අන්තරය අතර නවකවදය සම්බන්ධයෙන් මහා වෙනසක් නැත.වෙනස තිබෙන්නේ දේශපාලනයේය) හෝ යූඑන්පියට හෝ ශ්‍රිලනිපයට හිතවත් සංගම් විසින් එවැනි හිස්තැන පුරවන බවයි නැවත නැවත සිදුවූ අත්දැකීම් වලින් පෙනී යන්නේ.අන්තරයේ නායකයන් කඩේ යනවා නම් කඩේ යන්නේ තමන් අදහන යම් මතවාදයක් වෙනුවෙනි.ශ්‍රීලනිප/යූඑන්පී සංගම් නායකයන් කඩේ යන්නේ එලියට ගියාට පසු හුදෙක් තමන්ට ජොබ් කට්ටක් සොයා ගැනීම වෙනුවෙනි.අප “වඩා” ප්‍රගතිශිලි ව්‍යාපාර ගැන බර දේවල් වියුක්තව කතාකරමින් ඉන්නා විට පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සිරගත වීම්වල අවදානම් පවා දරමින් මහපොලොවේ සටනක් දෙමින් සිටින්නේ අවිශිබමයයි.අන්තරය සරසවි තුල ක්‍රියාත්මක වන ඇතැම් ආකාරයන්ගේ තිබෙන දුර්වලතා හා සීමාවන් අපමන පැවතියදී පවා (ඒ පිලිබද විවේනයන් කිසිවිටෙක වෙනස් නොකරමින් වුවද) මෙම නිශ්චිත මොහොතේදී – අන්තරය සහ රජය අතර ඇතිව තිබෙන තත්වාකාර සිවිල් යුද්ධයේදී – පැත්තක් ගැනීමට අපට බල කෙරෙමින් තිබෙනුයේ මේ නිසාය.

        • //ක්‍රියාදාමය ඉතාම වේගයෙන් ඉදිරියට ඇදෙනවා.//
          ඔව්. මාලඹේ වෛද්‍ය විද්‍යාලයටත් කලින් තොරතුරු තාක්ෂණ අංශයෙන් මේ ප්‍රවණතාවය බොහෝම කලින් පටන් ගත්තා. ඒක වෙනම කතාවක්.

          //ශිෂ්‍යයන් සංවිධානය කිරීමට අන්තරය දක්වන සමත්භාවය සහ අන්තරය නොමැති විට ශිෂ්‍ය ප්‍රජාව බලරහිතව තිබෙන ආකාරය//
          //අන්තරය ඉවත් විය යුතු බව ඔබ යෝජනා කරන අතරම සරසවි සිසුන් අදේශපාලනික නොවිය යුතු බවත් ඒ සමගම පවසනවා.//
          මෙතනදි අපි ආයේ මුල් ප්‍රශ්නෙට යමු.
          අන්තරය ඇත්තෙන්ම සිසුන් එක්රැස් කර ගැනීමේ ප්‍රධාන ස්ථානයක්. ඒ පිලිබඳව අන්තරේ වටිනාකම ගැන විවාදයක් නැහැ. ඒත් ඒ වාසිය එක්කම අන්තරය විසින් ශිෂ්‍ය ව්‍යාපාරයටම කරන හානිය ගැනත් සලකා බැලීම වැදගත්. එතකොට මෙතන තියෙන්නේ Risk management එකක්. අන්තරේ සිටීමෙන් ලැබෙන වාසි වලින් විඳින්න වෙන පාඩු වහ ගන්න පුලුවන් ද? වාසි වැඩි වෙලා පාඩු අඩුයි ද නැත්තන් පාඩු පිට පාඩු විඳිමින් වාසි කිහිපයකට අන්තරේ පැවැත්ම තියාගෙන ඉන්නවද?
          ජවිපෙ සරසවි තුල තබාගෙන ඉන්න බලය නිසාම තමයි සරසවි බොහෝමයක් තුල අල වාත (අල බොග) වෙනසක් ඇති වෙලා තියෙන්නෙත්. මම මෙතනදි කියන්නෙ ජවිපෙ දෘෂ්ඨිය සිසුන්ටත් ආරෝපණය කිරීමෙන් නිදහස් මතධාරීන් විය යුතු සිසුන් බොහෝම ප්‍රචණ්ඩකාරී අන්මත නොඉවසන්නන් වීම ගැන.

          ඔබ කියන විදියට දැන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අල කණ්ඩායමේත් සහය ජෙප්පන්ට තියෙනවා. නමුත් පොදුවේ පන්ති වර්ජනයකදී එය එසේ වෙනවා නේද? අනිත් අතට අල කණ්ඩායමේ ප්‍රශ්නය තියෙන්නේ රිමාන්ඩ් භාරයට පත්වූ රෙපා නැවත ගෙන්වාගෙන පන්ති පැවැත්වීමට කටයුතු කිරීම පමණයි. මොකද පන්ති වර්ජනය නිසා ඉංජිනේරු පීඨාධිපති පසුගිය දිනෙක පීඨය දින නියමයක් නොමැතිව කල් දැම්මා.

          සිසුන් සංවිධානය කිරීමට අන්තරේට ඇති බලය ජවිපෙ කඩේ යාම නිසා ඇති වුන ලක්ෂණයක් නොවෙයි. එය අන්තරේ පැවැත්ම නිසාම පවතින දෙයක්. මෙතනදි අන්තරය තුල ජවිපෙ බලය නැති කර දැමීම පිලිගත හැකියි.

          කොළඹ සරසවිය තුල ශිෂ්‍ය සංගම්, විශේෂයෙන්ම දේශපාලනික ශිෂ්‍ය සංගම් වලට කණකොකා හඬන්න පටන් ගත්තේ කවදා ඉඳලද කවුරු නිසාද ? ශාස්ත්‍ර පීඨයේ නිලවරණයකදි තමාට බලය නොලැබුනු නිසා ජෙප්පන් යකා නටන්නට වුනාට පස්සේ තමයි නිලවරණ පැවැත්වීම නැවතුනේ. දේශපාලනික වශයෙන් සිසුන් එක් රැස් කිරීමට මූලිකත්වය ගන්නේ සමාජ විද්‍යාවන් එක්ක එදිනෙදා ගැටෙන ඔවුන්. ඔවුන් දැන් න්‍යායික දේශපාලනයට විතරක් පසු බැහැලා ඉන්නවා. එවැනි තත්වයක ඔවුන් වැටුනේ කාගෙ වරදින්ද? අමානුෂික නවක වදය, ජවිපෙ මතවාද පිලිගන්න ප්‍රතික්ෂේප කිරීම නිසා දෙකට බෙදීමෙන් පස්සෙ. ඒ සිද්ධිය සමහර විට මම මේ කියන දේ pilot සිද්ධිය වෙන්න පුලුවන්. සමස්ථ විශ්ව විද්‍යාල සිසු ප්‍රජාවටම ඒක වෙන්න පුලුවන්.

          රාජ්‍ය සරසවි වල අධ්‍යාපනයට එරෙහිව මේ පෞද්ගලික සරසවි සඳහා සහය දෙන අය ගේන ප්‍රධාන තර්කයක් වෙන්නේ අධ්‍යාපන මට්ටම නවීකරණය නොවීම. ජවිපෙ හිතවාදී ශිෂ්‍ය සංගම් සහිත පීඨ බොහෝමයකට මේ ප්‍රශ්නය ආවේණිකයි. ඇයි ඒ? විශය නිර්දේශය අලුත් කිරීම ගැන සොයා බැලීම, අධ්‍යාපනය සම්බන්ධ ගැටළු ආචාර්ය මණ්ඩලයට දැනුම් දීම ශිෂ්‍යයන්ගේ, විශේෂයෙන්ම ශිෂ්‍ය සංගමයේ වගකීමක්. ඒ ගැන ලිඛිත මට්ටමකට සංවාදයක් කාර්ය මණ්ඩලය සමඟ ගෙනයාමට ඔවුන් මුල් විය යුතුයි. නමුත් ජෙප්පන්ගේ ක්‍රියාකාරීත්වය බොහෝ වෙලාවට අධ්‍යාපනික කරුණු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ජවිපෙට අදාල කරුණු පිලිබඳ මිසක් අධ්‍යාපනය සම්බන්ධ කිසිම ආකාරයක සිසු නියෝජනයක් ඔවුන් කරන්නේ නැහැ. නවක වදය කාලය තුල පුස්තකාලයට යාම, ආචාර්යවරුන් සමඟ සම්බන්ධ වීම ආදිය බොහෝම තදින් අධෙර්යයට පත්කරනවා. සාමාන්‍ය උපාධියෙන් පසු ගෞරව උපාධිය දක්වා යන “වාත” සිසුන්ගේ ප්‍රමාණය “අල” සිසුන්ගේ ප්‍රමාණයට වඩා බොහෝම අඩුයි. මේ තත්වයට ඍජුව ජවිපෙ පසුගාමී දේශපාලන මතවාදය වගකිව යුතුයි.

          ගැටළුවකදි පිකටින් කිරීම හා උද්ඝෝෂණ කිරීමට වඩා දෙයක් ජෙප්පන් අනුමත කරන්නේ නැහැ. බොහෝ වෙලාවට කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව විසඳා ගත හැකි ප්‍රශ්න වණ වූ තුවාල දක්වා දික් ගැස්සීමට ජෙප්පන් බොහෝම සමත්. ඒ හුඟක් වෙලාවට මේ දික්ගැස්සුනු තුවාල උඩින් ජෙප්පන්ට තමන්ගේ මතවාදය ව්‍යාප්ත කර ගන්න පුලුවන් නිසා. ජෙප්පන්ගෙ දේශපාලන මතවාදය තවදුරටත් වාමාංශික නැහැ. කලින් කිව්වා වගේ ඒක විකෘති චැරිටි ව්‍යාපාරයක් වෙලා.

          //කිසිවෙක් කියන දේට කන් නොදි පුද්ගලික විශ්ව විද්‍යාල ස්ථාපනය කිරීමේ දැඩි හිතුවක්කාරී තීන්දුවක ආන්ඩුව ඉන්න බව ඔබ පිලිගන්නවා ඇතැයි මම සිතනවා.ඒ අරමුන වෙනුවෙන් මාධ්‍ය ඇතුලු තමන්ගේ දෘෂ්ටිවාදී උපකරනයන් සේරම ආන්ඩුව ප්‍රබලව භාවිත කරමින් ඉන්නවා.එවැනි තත්වයක් තුල පෙලපාලි යාම් වැනි දැනෙන ‍‍භෞතික වි‍රෝධයක් ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක බලයක් හරහා පෙන්නුම් නොකර ආන්ඩුවේ ව්‍යාපෘතියට අභියෝග කරන්නේ කෙසේදැයි මට වැටහෙන්නේ නැහැ.//
          ඇත්ත. ආණ්ඩුවේ මතය කොහොමටවත් වෙනස් කරන්න පුලුවන් තත්වයක නැහැ. ඒ ගැන ඔබෙත් මගෙත් අදහස එකයි. එහෙමනම් අපිට කරන්න පුලුවන් ජනතා මතවාදය වෙනස් කිරීම විතරයි. මම කියන්නේ අන්තරේ ඇතුලු ජවිපෙ ක්‍රියාකාරකම් වලින් අපිට ගෙවෙන හැම තත්පරයක් ගානෙම වේගයෙන් ඒ ජනතා සහය නැති වීගෙන යනවා කියන එකයි. අනිත් අතට රජය සහ උසස් අධ්‍යාපන ඇමති මේ ගැන තද ස්ථාවරයක ඉන්නවා නම් කලුගලේ ඔලුව ගහගෙන අපිට මේ සටන දිනන්න බැහැ. භෞතික විරෝධය ආණ්ඩුවට විරුද්ධව එල්ල කලාට ඒකෙ ප්‍රධාන ප්‍රේක්ෂකයන් වෙන්නේ මහජනතාව.

          පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීම දේශපාලනික ස්ථාවරයක ඉඳන් සිදු වෙන්න ඕනෙ තමයි. ඒත් ඒක ජවිපෙ දේශපාලනය විය යුතු නැහැ. පොදු වාමාංශික ස්ථාවරයක ඉඳන් ඒ විරෝධතාවය එල්ල කරන්න පුලුවන්. ජවිජෙ එන්න පෙර සරසවි සිසු ප්‍රජාව අතර මීට වඩා පුලුල් වූ වාමාංශික දේශපාලනයක් තිබුනා. ඒක නැතිකලේ ජවිපෙ විසින්මයි.

          ඒ නිසයි මම කියන්නේ සිසුන් දේශපාලනික දැනුමෙන් සන්නද්ධ විය යුතුයි කියා. ග්‍රාම්‍ය මතවාද වෙනුවට වඩා ගැඹුරු දේශපාලනික දැනුමක් සරසවි සිසුවා සතු විය යුතුයි. මේක අනිවාර්යෙන්ම පරිපාලනයෙන් නොකරන දෙයක්. ඒ දේ වෙනත් ආයතනයක් මගින් විය යුතුයි.

          අපි ආයත් සලකලා බැලුවොත්,
          ජවිපෙ මූලික සටනක් කියන්නේ හරියට යුද්ධෙට කාලතුවක්කු නැති වුනාම පිස්තෝල ගෙනියනවා වගේ වැඩක්. ඒකෙන් ප්‍රයෝජනයක් නැති වෙනවා වගේම අලාභහානියත් ඉතාමත් විශාලයි. සිසු බලවේගය එක්රැස් කිරීමේ හැකියාව අන්තරේට පවති නම් අන්තරේ ජවිපෙ නොවන වඩාත් පුලුල් වූ දෘෂ්ඨියක් ඇති මතවාදයකින් සරසන්න වෙනවා. කලුගලේ ඔලුව ගසාගැනීම ඕනෑම මෝඩයෙකුට කල හැකි වැඩක්. ඒත් ගලක් බෝර දා කැඩීම ඒ ගැන දැනුමක් තියෙන අයෙකුම කල යුතු දෙයක්. එහෙම අයෙක් නැත්තන් ඒ දැනුම දියුණු කිරීම දැන්ම පටන් ගත යුතු දෙයක්. නැතුව අබලන් ජවිපෙ පසුපස යාම කල යුතු නැහැ.

          මේ risk assessment එකෙන් අනිවාර්යයෙන්ම ජවිපෙ හිතවාදි ශිෂ්‍ය ව්‍යාපාර අලාභහානි පමණක් ගෙන දෙන ඒවා බවටයි තහවුරු වෙන්නෙ. ඔවුන්ගේ “භෞතික විරෝධයෙන්” වෙන්නේ වටිනා සමාජ මතවාදය අපිට හරස් වීම පමණයි. ඒ අතින් ඔවුන් ගෙනයන්නේ ස්වයංඝාතක ප්‍රහාරයක්.

        • //ආන්ඩුවේ ව්‍යාපෘතියට අන්තරේ පැවැත්ම ඔය තරම් උදවුවක් නම් අන්තරය සරසවි තුලින් අතු ගා දැමීමට මේ තරම් දරුනු ලෙස ආන්ඩුව කැස කවමින් සිටින්නේ ඇයි?//
          ඔබට මම කියපු දේ මෙතනදි තේරිලා නැහැ. මම කිව්වේ අන්තරේ ක්‍රියාකාරකම් වලින්ම ඔවුන් ඔවුන්ගේ විනාශය සාදා ගන්න බවයි. ඒක කපටි ඇමතිවරයෙක් යටතේ ඔවුන් විසින්ම කර ගැනීමට යෙදුන එකක්.

    • //රජය මැදිහත්වෙලා නොමිලේ සේවා සැපයීම 1977 ට පසු තවදුරටත් අපේ ආර්ථික ක්‍රමයේ වැදගත් අංගයක් නෙමෙයි.එවැනි සුබසාධක සේවා වලින් ක්‍රමයෙන් ඉවත්වීමේ අපේක්ෂාව රජයට තිබෙනවා.//
      මේක ගැන ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නය තිබෙන්නෙ මේක හරිද වැරදිද යන්න ගැනයි.
      කොලඹ මොරටුව වැනි විශ්ව විද්‍යාලවල විරෝධතා නැත්තෙ ප්‍රතිපත්තියක් හැටියට පුද්ගලික විශ්ව විද්‍යාලවලට ඔවුන් විරුද්ධ නොවන නිසා විය නොහැකිද?

  5. Pingback: ‘සරසවි අවුල’ : අන්තරේ බැල්

  6. ගුණාත්මක බවින් තවත් පහළට වැටෙන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල – [සුපුන් පෙරේරා]

    වර්තමානයේ මතු වී ඇති සරසවි අර්බුදය සමග ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් තවත් පහළට ඇද වැටී ඇති බව පෙනී යයි. අධ්‍යාපනික තත්ත්වය, විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල වල ගුණාත්මකභාවය පිළිබඳව ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ.

    2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විට්සර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.

    ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානය යි.

    අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි.( උපුටා ගැනීම webometrics.info ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය (Open University of Sri Lanka) ඉතාමත් පහළ 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහළින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක බවින් පහළ‍ට වැටීම පිළිබඳව අදහස් දක්වන කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කරන පරිදි මේ සඳහා ප්‍රධාන හේතු වන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් බඳවා ගැනීමේ දී සුදුසුකම් නොව ඥාති සබඳතා, මිත්‍රකම් බැලීම නිසා දක්ෂයන් විශ්ව විද්‍යාල වලින් ඉවත් වී යාමත් අදක්ෂයන් කථිකාචාර්යවරුන් වීමත් ය. එසේම දේශීය චින්තන ලේබල් ගසා සරසවි සිසුන් ලිං මැඩියන් කිරීමේ ව්‍යාපාරයත් ලංකාවේ සරසවි වලට රිංගා ඇති අන්තවාදී දේශපාලනයත් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පිරිහී ගිය බව ඔහු වැඩි දුරටත් පවසයි. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් දේශීය විශ්ව විද්‍යාල අන්තර්ජාතිකව ගණන් ගැනීමකට ලක් නොවන හා නොසලකා හැරෙන මට්ටමකට පත් විය හැකි බව උක්ත මහාචාර්යවරයා පෙන්වා දෙයි.

  7. අවශ්‍ය වන්නේ විරු සිසුවන්ද ? නැතහොත් බිලි බෝයිස්ලාද ?
    | ඩී සුගත් රාජපක්ෂ

    එදා මෙදා තුර ශිෂ්‍ය සටන් වලදී පොලිසියේ හා හමුදාවේ උණ්ඩ වලටද ලයිසන් මැරයන්ගේ තුවක්කු වලටද සිසුන් රාශියක් මිය ගොස් තිබේ. මෙසේ මිය ගිය බොහෝ සිසුන් ජවිපෙ ට සම්බන්ධවව ක්‍රියාකාරී ලෙස සිසු අරගලවලට සහභාගී වූ පිරිස වෙති. මොවුන් තම පක්ෂය , සාමාජිකයන් විශ්වාස කොට අනාගත බලපොරොත්තු , තම ජිවිත පරදුවට තබා අරගල කල පිරිස් ය. මෙම සිසුන් මිය ගියේ සහාසික අයුරිනි. මොවුන්ගේ මරණින් පසු මරණ සහ ලේ මාකට් කිරීම හැර මියගිය සිසුන්ගේ ඥාතීන්ටවත් කිසිදු සාධාරණයක් ඉටු කිරීමට ජවිපෙ හෝ අන්තරය ක්‍රියා කොට නැති වීම කණගාටුවට කරුණකි.

    1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජවිපෙ සහ අන්තරය විසින් උද්ගෝෂණ දියත් කරන ලදී. මෙම උද්ගෝෂණ වලදී මරණයට පත් වූ පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍යයන් පිළිබඳව මෙතෙක් කිසිදු අවංකව සාධාරණයක් ඉටු කිරීමට ජවිපෙ හෝ අන්තරය අසමත් වීම තුල සිසුන් හුදෙක් බිලි බෝයිස්ලා බවට පත් කිරීම පිලිබඳ චෝදනාව ඔවුන්ට යටපත් කල නොහැක. වසරකට වරක් මළවුන් සිහිපත් කරන දිනයක ඉටිපන්දමක් පත්තු කිරීම සහ සිසු අරගලයක් පවතින විට ඔවුන්ගේ නම් පට්ට ගහනවා ඇරෙන්නට මෙම මිය ගිය සිසුන්ට සිදු වූ සාධාරණය කුමක්ද ? අවම වශයෙන් ඔවුන්ගේ මිනීමරුවන් නීතියේ රැහැනට ගෙන ඒමට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් සහ ඇමතිකම් තිබියදී පවා ජවිපෙ අවංකව සද් භාවයෙන් ක්‍රියා කලේද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් නැගෙයි. මේ අනුව මේ මිය ගිය ශිෂ්‍යයන් සිසු විරුවන්ද නැතහොත් විකල්ප දේශපාලන ධාරාවක අවාසනාවන්ත බිලි බෝයිස්ලා වුයේද යන සැකය මතු වේ. එය එසේනම් ඔවුන් මරා දැමූ ධනපති ආණ්ඩුවත් ඔවුන්ව බිල්ලට තල්ලු කල විකල්ප දේශපාලන ප්‍රවහයත් මොවුන්ගේ මරණ වලට වග උත්තරකරුවෝ වෙති.

    මෙම සිසුන් උසි ගැන්වූ ඔවුන්ගේ ගජයන් අද සමාජයේ ඉහල තනතුරු දරති. ඔවුන් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන්ය. ඔවුන් ජීවිතය ඉතා ඉහල ආකාරයට විඳිති. සමහරු ඉන්නේ පිට රටවලය. මිය ගිය සගයන් ගැන අද දුක් වෙන්නේ ගජයන්වත් , පක්ෂ සාමාජිකයන්වත් නොවේ දුප්පත් දෙමාපියන් පමණි. ඔවුන් පිළිබඳව සොයා බලන්නට මේ සහෝදරවරු කිසිවෙකු නැත. අනේ ඒ බව පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා , අතුල සේනාරත්නලා , සරත් කොල්ලූරේලා දැන සිටියේ නම් ? ත‍්‍රීමා විතානලා ගේ පරල ඇණ ඔළුවට ගැසූ පුන්චි නිලමෙලා අද ඇමතිවරු වී යෙහෙන් වැජබෙති. සන්ධාන ඇමැතිකම් තිබියදී පවා ජවිපෙට සිසු මරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උනන්දුවක් නොවිය. සිසුන් අරගලයට තල්ලු කල කුමාර් මහත්තයාලා ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍යවරියක කරකාර බැඳගෙන දැන් හොඳ ගෙවල් දොරවල් යන වාහන ඇතුව පවුල් ජිවිත ගත කරති. පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා ,අරගලයට තල්ලු කල සමහරු දැන් පක්ෂයේ පළාතකවත් නැත. ඔවුන් ඒ අතීතය අමතක කොට රතු සළු උනා පිරුවට ඇඳ සිටිති. ත‍්‍රීමා විතානලාට මරණයේ දොරටුව පෙන්වූ සමහරු ධනපති ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කෝය. මෙම සිසුන් ඝාතනය කල මිනීමරුවන් නිදහස්ය. ඔවුන්ව බිලිබෝයිස්ලා කල දෙබිඩ්ඩන් අද සාර්ථක දේශපාලක වියාපාරිකයන්ය. අවසානයේ වැරදුනේ මෙම සිසුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.

    World Socialist Website විසින් පළ කරන ලද “සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති ” ලිපිය ලංකාවේ ශිෂ්‍ය සටන් පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කරයි.

    2011 නොවැම්බර් 22 දා කොලඹ නගරයේ වීදි ඔස්සේ පෙලපාලි දක්වමින් වෛද්‍ය සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් “මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු”යි ඉල්ලා උද්ඝෝෂනයක නිරත වූහ. කොලඹ වෛද්‍ය පීඨයෙන් ආරම්භ කොට මාවත් ගනනාවක් ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන් කල මෙම පෙලපාලිය කොලඹ, ජයවර්ධනපුර, කැලනිය, රුහුනු සහ රජරට විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත විය. “නිදහස් අධ්‍යාපනයට අත නොතබනු”, “උපාධි කඩ අහෝසි කරනු” සහ “රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය වහා පිහිටවනු” ආදී වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෝ සටන් පාඨ හඬ නැගූහ. (ශී‍්‍ර ලංකාව: සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති)

    වැඩිදුරටත් කරුණු දක්වන ලියුම්කරු මේ දේශපාලන වැඩ පිලිවෙලින් සන්නද්ධ වීමේදී ශිෂ්‍යයන් මුහුන දෙන ප‍්‍රධානතම බාධකය වන්නේ තම සම්ප‍්‍රදායික ශිෂ්‍ය සංවිධාන හා එහි නායකත්වය බව පවසයි. සරසවි ශිෂ්‍ය සංවිධානයන්හි නායකත්වයන් විසින් ශිෂ්‍යයන්ගේ සටන්කාමිත්වය යොමු කරනු ලබන්නේ ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර පද්ධතියට හා එය ආරක්ෂා කරන ආන්ඩුවට එරෙහිව නොව, උසස් අධ්‍යාපන ඇමතිවරයාට, එම නිලධාරීන්ට හෝ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට එරෙහිව බව ඔහු පෙන්වා දෙයි.

    මෙම ශිෂ්‍ය සටන් වල ඉතිහාසය ගැන සඳහන් කරන ලියුම්කරු මෙසේ ලියයි. ජවිපෙ හා එහි ශිෂ්‍ය සංවිධානය එම කාලයේ කි‍්‍රයා කලේ සිසුන් අතර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පැවති බරපතල උවමනාවන් හුදු ශිෂ්‍ය දේශපාලනයකට හිර කිරීමට සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනයකට කොටු කිරීමට ය. සිසුන් කම්කරුවන් වෙත හැරී ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සමාජවාදී පිලිවෙත් මත සටනකට යොමු කිරීමට විරුද්ධ වෙමින් ගෙනගිය එම දේශපාලන වැඩකටයුතු ෆැසිස්ට් කැරැල්ලක් ලෙසට වර්ධනය විය. එය, සිසුන් ද ඇතුලු ගම්බද තරුනයන් 60,000ක් පමන ලේ විලක ගිල්වීමට ද නායකයන් ද ඇතුලුව ජවිපෙ තලා දැමීමට ද යූඇන්පී ආන්ඩුවට ඉඩ පාදා දුන්නේය. (ශී‍්‍ර ලංකාව: සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති)

    අද දිනයේ මතු වී ඇති ශිෂ්‍ය අරගල පිළිබඳව වර්තමාන සරසවි සිසුන් වඩාත් තීක්ෂනව සහ විචාරශීලි බුද්ධියකින් බැලිය යුතු බව මෙම කරුණු අනුව පෙනී යයි. අන්තරයේ සාමාජිකයන්ගේ නවක වධයට සහ මැර බලපෑම නිසා බොහෝ සිසුහු අද දෙලොවක් තුල අතරමංව සිටිති. ඔවුන් හමුවේ ඉගෙනීමද නැතහොත් අරමුණකින් සහ නිසි නායකත්වයක් සහ දර්ශනයක් නැති අරගලයද යන මාවත් දෙක දකින්නට තිබේ. තමන් තෝරා ගත යුත්තේ කුමක්ද යන්න මත තමන්ගේ අනාගතය තීරණව වන බව මෙම සිසුන් දැනගත යුතුය. අන්තරය හෝ වෙනයම් පක්ෂයක් නිසා තම සිසු ජීවිතය බිලි දීමට සිදු වේ නම් එය ඛේදවාචකයකි. සටනක් කරන්නේ නම් එය බිලි බෝයි වර්ගයේ මිනිස් ජීවිත කෙරෙහි ගරුත්වයක්, ආදරයක් නැති නරුම පක්ෂයකට , සාමාජිකයන් බුරුත්තකට තම අනාගත ඉරණම පාලනය කිරීමට දෙන වර්ගයේ සටනක් නොවිය යුතුය. නමුත් එවැනි සාධනීය සටනක් කිරීමට ලේ අවශ්‍ය නැත. ඒ බව ජේමිස් මෙරිඩිත් වැනි විශ්ව විද්‍යාල සිසු නායකයන් සනාථ කොට තිබේ. නමුත් ලෝක ඉතිහාසය පමණක් නොව තම පක්ෂ නායකයාගේ හරිහමන් ඉතිහාසය පවා නොදන්නා ලිං මැඩි දැක්මකින් යුතු ගිරා පෝතක සමුහයකට කල හැක්කේ අනියම් ලෙසින් ධනපති ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉෂ්ට කර දීමය.

    සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් තමන්ගේ අධ්‍යාපනයට වල කපාගත් සේ අන්‍යන්ගේ අධ්‍යාපනයට ද වින කොටා සිසු ජිවිත කාලකන්නි කරන අන්තරයේ සාමාජිකයන්ද එක්තරා අකාරයක බිලි බෝයිස් ලා කොටසකි. ඔවුන් විභාග වලින් අසමත් අනාගතය පිලිබඳ සිහින නොදකින නරුමයන් කොටසක් බවට පත් කොට ඇත්තේ පක්ෂයේ විශේෂිත ආත්මාර්ථකාමී උපායමාර්ගයකට අනුවය. උදාහරණයක් ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා ව සිටි උදුල් ප්‍රේමරත්න ගැන සලකා බලන්න. ඔහු හිටපු දන්ත සිසුවෙකි. ඔහුට දන්ත පිඨයේ විභාග වලින් සමත් වීමට නොහැකි විය. ඔහු තමන්ගේ අධ්‍යාපනය විනාශ කරගෙන අනෙකුත් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමේ යටි අරමුණු ඇතුව ක්‍රියා කළේය. ඔහු නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනයෙන් එලක් ගත්තේ නැත. ඔහු වෙනුවට වෙනත් අයෙකුට දන්ත පිඨයට ගොස් ඉගෙනීමට අවස්ථාවක් දුන්නේද නැත. මෙවැනි නොමල බිලි බෝයිස් ලා ට සිදු වන්නේ එක්කෝ පසු කාලයක තම ඉරණම භාර දුන් පක්ෂයෙන්ම ද්‍රෝහියා කාඩ් එක වැදී නිරුවත් වීමට හෝ තමන් සිසු දිවිය පුරා විරෝධය පෑ ධනපති ක්‍රමය වෙත ගොස් එම ක්‍රමයේ සුවච බලු කුක්කෙකු වීමටය. මිට පෙර අන්තරයේ සිටි පතාකයන්ට ද ඔවැනි ඉරණම් අත් වූ ආකාරය අප දැක තිබේ.

    අරගල කිරීමට පෙර අරගල වල ස්වභාවය අඳුනගන්න. අරගලයට බිලි බෝයි කෙනෙකු නොවන්න. මනුෂ්‍යත්වයේ දේශපාලනය සොයා යන්න.