සරසවිය රසවිය සවිය විය

සරසවිය රසවිය සරසවිය සරසවිය

මේ ඕපන් එකේ තොටුපලට ඉදිරිපත් කරලා තිබුන මුල්ම නිර්මාණයක්. නිර්මාණකරුගේ නම මතක නැති වුනත් සරසවිය ගැන කියන්න තියෙන දේ සරලව මට ප්‍රකාශ කරන්න ඉඩ දීපු ඔහුට/ඇයට මගේ ප්‍රණාමය.

සරසවියට පයක් ගහන්න ඕනෙ කියන සිතුවිල්ල ආවේ ඒ ලෙවල් වලට පාඩම් කරන කාලේ. ඒක නිසා මැරීගෙන පාඩම් කරලා යන්තම් විබාගේ පාස් කර ගත්තාම මට පුදුම සතුටක් ආවා.

අපි කියවලා තියෙන සරසවිය ඇත්තටම තියෙන සරසවියෙන් සම්පූර්ණයෙන් වෙනස් තැනක් කියලා තේරුම් යන්න කොළඹ විශ්ව විද්‍යාලයට පය ගහලා වැඩි කාලයක් ගියේ නැහැ. මම බලාපොරොත්තු වුනේ ටිකක් විතර පරමාදර්ශී තැනක්. මොන පිස්සුද?

සුදු, කළු, අළු… මේ ඔක්කොම මිනිස්සු මේක ඇතුලේ පිරිලා. සුදු අය බොහෝම අඩුයි. සුදු හුණු ගාගත්ත අය බොහෝම වැඩියි.

සමානාත්මතාවය ගැන බලාපොරොත්තු තියාගෙන ඒ ගැන පාඩම් තියන්න ගියාට… මොන බම්බුවක් ද? ගමේ උන්…..කොළඹ අපි…

මාසයක් ඇතුලතදි පොරවපු බැටළු හම අයින් කරලා වෘක ගති එළියට දාගන්න අපිට ගියේ මාස හතරක් වගේ කාලයක්. ඒ පොරවපු අය “මෑන්ස්” ලා කියලා හිතාගෙන හිටියට අපේම එකෙක්ගෙන් කණේ පාරක් මේ එක මෑන්ස් කෙනෙක් කනකොට ඒ ප්‍රතිරූපයත් දියවෙලා ගියේ ගහෙන් වැක්කෙරෙන ලාටු වගේ.

සමහර අය බැච් එකට වැඩ කරන්න ආවා. සමහර අය බැච් එකට වැඩක් දෙන්න ආවා. ආවා.. ගියා..

අපි හුඟක් අය හිතුවේ ඔරියන්ටේෂන් එක අවුල් විදියට දීපු නිසයි මෙහෙම වුනේ කියලා. ඒක ඇත්ත. පිස්සු කියව කියව හිටියට ඒ මාසේ ඇතුලත හරි හමන් දෙයක් දෙන්න අපේ සීනියර්ස්ලට බැරි වුනා. හැබැයි මම හිතන්නේ සරසවියෙන් පරමාදර්ශයක් බලාපොරොත්තු වුන අපිත් වැරදි.

මේක ඇතුලේ ඉන්නේ පිට සමාජයෙන්ම සාම්පලයක් විදියට ගත්ත කොටසක්.

මේ හේතුව නිසාම පැහැදිලිවම අර කවිය ඇත්ත. සරසවිය අපිව සවිමත් කලා. සමාජය ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියන එකට අපිට අවුරුදු තුනකින් ක්‍රෑෂ් කෝස් එකක් දුන්නා.

සරසවිය අපිට රසවත් වුනා. සීයට අසූවක් අහක බලනකොට රෑ දවල් මැරීගෙන වෙල්කම් සංවිධානය කරපු හැටි, පළු යන්න බැණුම් අහගෙන ස්වර්ණසර සංවිධානය කරපු හැටි, හෙට විබාග තියාගෙන අද මල ගෙවල් වල ගිය හැටි.. මේ හැම දෙයක්ම අපිට රසවත් වුනා.

පලවෙනි සෙමෙස්ටර් එකෙන් පස්සෙ ලෙක්චර්ස් යන එක සමහර අයට තිත්ත වුනා. සමහර අය මැරුණත් ලෙක්චර්ස් ගියා. මම ලෙක්චර්ස් ගියා. අන්තිම පේළියේ ඉඳන් නිදා ගත්තා.

සමහර අය දිගින් දිගටම කැම්පස් එකෙන් ගන්න කොට අපි හිතුවා කැම්පස් එකට මොනව හරි දෙන්න ඕනෙ කියලා. ශිෂ්‍ය සංගමයත් එක්ක එකතු වෙලා UCSCLodge එක නිර්මාණය කරන්න මම යොමු වුනේ ඒකයි. මම දාපු නම එහෙමම තිබුනට මම දැන් මේ අඩවියේ වැඩ කරන්නේ නැහැ. ඒ අඩවියත් දැන් ක්‍රියා කරනවද කියන්න මම දන්නේ නැහැ.

ඊට පස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සංගමයට සංස්කාරක විදියට ඉදිරිපත් වුනේ වැඩක් කරන්න කියලා හිතාගෙන. සාමාන්‍ය ප්‍රමාණයක වැඩ කොටසක් එතනින් සිදු වුනා කියලා මම හිතනවා.

කොළඹ විශ්ව විද්‍යාලයීය ගවේෂණ සංගමය නැවත ආරම්භ කිරීමට මම එකතු වුනේ මීට කලින් කරපු කිසිම දෙයකින් හිත සතුටු වුනේ නැති නිසා. අපිට අවුරුදු දෙකකට කලින් හිටිය ජ්‍යෙෂ්ඨයින් ක්‍රියාකාරීව මේක කරගෙන ගිහින් තිබුනත් අපේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයක් නොමැතිව පසු බැහැලා තිබුනා. මේක නැවත ආරම්භ කරන්න මූලිකව කටයුතු කලේ “දියත් කුලේ” ලියන ආගන්තුකයා. ඔහු සමග රුසිරු, පහන්, අපේ කණිෂ්ඨයො වෙන සුජිත්, අත්තා, වගේ තවත් අය එක්ක අපි නැවත ගවේෂණ සංගමය පණ ගැන්වුවා. ගවේෂණ සංගමය කියන වචන ටික මේ සංගමයේ අරමුණ කිසිසේත්ම සන්නිවේදනය කරන්නේ නැහැ. නමුත් අපි ඒක වෙනස් කලෙත් නැහැ. ලංකාව වටේ අඩු පහසුකම් තියෙන ඉස්කෝල වලට ගිහින් අපිට පුලුවන් අයුරින් දැනුම බෙදා දෙන්න මේ අය ඉදිරිපත් වුනේ සමහර වෙලාවට වැදගත් assignments  ඉඳන් පාඩු කරගෙන.

ඊට පස්සේ අපි තවත් වැඩක් කලා.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය තුල පළමුවරට අපි සඟරාවක් ආරම්භ කලා. තවත් පරිගණක සඟරාවක කරන්න බලාපොරොත්තු නොවුන අපි ඒකෙන් බලාපොරොත්තු වුනේ සිසුන්ගේ නිර්මාණ හැකියාවන් වර්ධනය කරන්න. දැනටමත් අල වෙලා ඉන්න අපේ බැච් එකවත් අපේ කණිෂ්ඨයින්ගේ බැච් එකටත් වැඩිය සඟරාවෙන් අපි අරමුණු කරගත්තේ අපේ කණිෂ්ඨයින්ගේ කණිෂ්ඨයො. ලෙක්චර්ස් පාඩු කරගෙන මරදානට බඩ ගගා අතින් සල්ලි වියදම් කරගෙන අපි පලවෙනි නිකුතුව කොහොම හරි නොවැම්බර් වල සිදු කලා. මුද්‍රණාලයෙදි පළමුවරට මේ සඟරාව අතට ගන්නකොට අපිට දැනිච්ච දේ වචනවලින් කියන්න බැහැ. මේ දේටත් මාත් එක්ක එකට වැඩ කලේ ආගන්තුකයා, පහන්, බම්බා (සුජිත්) සහ අත්තා.

උඩින්ම මම දාලා තියෙන නිර්මාණය ඉදිරිපත් කරපු තොටුපල කියන බිත්ති පුවත්පතත් අපේ ආපන ශාලාවේ ස්ථාපනය කලේ ගවේෂකයින් විසින්. තවදුරටත් පරිගණක වලටයි දේශන වලටයි කොටු වෙලා සටහන් වලටම ජීවිතය දිය කරනවට වැඩිය දෙයක් කරන්න කියලා අපි අපේ නංගිලා මල්ලිලට පණිවිඩයක් දෙන්න හැදුවා. ඒක ග්‍රහණය කර ගත්ත ද කියන එක බලන්න වෙන්නෙ තව අවුරුදු ගාණකට පස්සේ.

මේ විදියට ගෙවිලා ගිය සරසවි ජීවිතය අන්තිම කාලෙට දන්නෙම නැතුව ඇවිත්. තව සාමාසිකයක් ඉතුරු වෙලා තිබුනට ඉන්ටර්න්ෂිප් එකට ඒක කැපවෙන නිසා සරසවි ජීවිතයේ අන්තිම දවස් ටික මේ කියලා කිව්වට වැරදි නැහැ.

අන්තිම දවස් වලත් අපි සරසවි භූමියට පය ගහපු දවස ඊයේ වගේ මතකයි. මේ මායිම් ඇතුලේ අපි අත්විඳපු දේවල් ජීවිතය තියෙන තාක් කල් අමතක වෙන දේවල් නෙමෙයි. අපි ඒවා අපේ විදියට තේරුම් ගත්තා. අපි සරසවියට ඇතුල් වුනේ එකෙක් විදියට. පිටවෙන්නේ ඒකාට වඩා සහමුලින්ම වෙනස් එකෙක් විදියට. තව අවුරුදු දෙක තුනකින් අපි තවත් එකෙක් වෙයි. හැබැයි අපිට කවදාවත් සරසවිය අමතක වෙන එකක් නැහැ. මොකද අපි දෙවෙනියට ඉපදුනේ සරසවිය තුල දි නිසා. හොඳට හෝ නරකට ලබාපු පන්නරය ලැබුවේ ඒක ඇතුලෙදි.

සරසවිය රසවිය සරසවිය සරසවිය

25 thoughts on “සරසවිය රසවිය සවිය විය

  1. කියන්න තරම් බලවත් නැති දුකක් හිතට මෝදුවෙනවා දැනුනා. ඒ උඹලා සරසවියෙන් යන එකටද? මට සරසවියට යා ගන්න බැරිවුනු එකටද කියලා කරියට ම පැහැදිලි මදි චමිල.

  2. අන්තිමට අපි හොය හොයා හිටපු මම කියන සතාව අපි හොයාගත්තා. අඩුම ගානේ අපි ඒකට උත්සාහවත් කලා.. මරු මරු.. ඇසෙනු පිණිස..

  3. ඔය උඹ ලියල තියෙන ගොඩක් දේවල් අපටත් පොදුයි මචං. කවදහරි අපිත් අයිං වෙන කොට ඔය වේදනාවම දැනේවි. ඒත් සරසවියට යම් දෙයක් කළා කියල හරි හැඟීමක් එන නිසා ඒ දුකට සතුටකුත් එකතුවෙයි.
    අළුත් ජීවිතයට සුබ පැතුම්!

  4. හ්ම්ම්… මගේ හිත ඇතුලෙත් හිර වෙලා තියන තවම අකුරු නොකරපු කතාව තමයි මේ.. ඔයා කියුවා වගෙම “අපි දෙවෙනියට ඉපදුනේ සරසවිය තුල දි”. මේ අන්තිම දවස් කිහිපය කියලා හිතෙද්දි, කඳුළු බිංදු දෙනෙත් තෙත් කරන්නෙ මටත් හොරෙන්මයි.

  5. මමත් කොළඹ කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටියෙ. ඔයාගෙ ලිපියෙ මුල තිබිච්ච සමානාත්මතාව ගැන නං මමත් එකඟයි. මේකෙ තනිකර තියෙන්නෙ කල්ලි වාදයක්. උන් කොළඹ නැත්තං ගාල්ල මාතර, අපි පිට. පිට උන් ඉන්නෙ කීයෙන් කීදෙනාද? උනුත් විසිරිලා. අපිට කිසිම දෙයක් ඇතුලෙ කරන්න බෑ. කොළඹ උන් මේක බද්දට අරන්.

  6. ගමේ උන් කොළඹ අපි චෝදනාව හැමෝටම එල්ල කරන්න බෑ නේද?.

    ගවේෂණ සංගමයට සියසරට කාපු කටු අමතක නොවෙන අත්දැකීම්. ජයම්පති අයියා සුනිල් අයියා එහෙමත් අමතක නොවෙන මිනිස්සු. මං හිතන්නෙ බිස්නස් කරන සල්ලි තියාගෙනත් mobile phone එකක් පාවිච්චි නොකරන එකම කෙනා ජයම්පති අයියා වෙන්න ඇති. :D
    පිටස්තරයා කිව්වා වගේ
    “මේක ඇතුලේ ඉන්නේ පිට සමාජයෙන්ම සාම්පලයක් විදියට ගත්ත කොටසක්.
    සරසවිය අපිව සවිමත් කලා. සමාජය ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියන එකට අපිට අවුරුදු තුනකින් ක්‍රෑෂ් කෝස් එකක් දුන්නා.”
    පට්ටපල් ඇත්ත. මොනව උනත් හොඳ යාළුවෝ ටිකක් හම්බ උනා(ඒ ගාන අතේ ඇඟිලි ගානටත් වඩා අඩු උනාට එහෙම හරි ඉන්න එක ලොකු දෙයක්.)
    කවුදෝ අද තොටුපොලේ ලස්සන චිත්‍රයක් එල්ලලා තිබුනා. ඒක ගවේෂකයන් හරහා ආපු එකක් නම් නෙවෙයි. මතක විදියට නමක් වත් ලියල තිබුනේ නෑ. ඒත් එහෙම නිර්මාණයක් හැමෝටම බලාගන්න ඉඩක් හදලා දුන්න එක වටිනවා.
    මං හිතන්නෙ ගවේෂකයන්ගෙ පුස්තකාල පොත් කතන්දරේ පිටස්තරයට අමතක වෙලා.

    • පුස්තකාලේ වැඩේ අතරමග නතර වුනානේ මචන්. ඉල්ලුමක් තිබුනත් නැතත් ඒ සැපයුම ප්‍රධාන එකෙන් කරපු නිසා අප අවශ්‍ය නැති වුනා. කොහොම වුනත් ඒකත් කලානම් නියමයි.

      තොටුපලින් කවුරු හරි වැඩක් ගන්නවා කියලා අහනකොටත් සතුටුයි.

  7. මචා චමිල මේකනම් හොඳ ලිවිල්ලක්. මමත් කැමතියි මෙකටනම් ඒත් වෙනස් අදහස් එක්ක.UCSCLodge ගැනනම් මම දන්නෙ නෑ මචන්
    කොළඹ විශ්ව විද්‍යාලයීය ගවේෂණ සංගමය ගැනනම් මම හොඬට දන්නව මොකද මමත් ආරම්මභ කාරන්න ඌත් එක්ක හිටපු හින්දා.. උඹලා ඌට කෙලින කාලෙත්
    ඒත් දියත්කුලේ ලියන ආගන්තුකයටම ගේම ගහපු උඹ නේද මේක ලියන්නෙ. අනේ පව් කියලත් හිතෙනව බන් .
    ඒකා එක්ක ඒ කාලේ හිටියෙ කවුද අද ගුන වනන්නෙ කවුද

    හැබැයි මොනා උනත් ඒ කලෙ අපිත් එක්ක හිටපු අපේ සෙට් එකේ හැමෙ එකෙක්ම හැමදාම මතකෙ තියෙනව මචන්. හොඳටම මතක රුසිරුවා ඌ අපි එක්කවත් නෙමේ හිට්යෙ ඒ කාලෙ එත් ගේමෙදි අපිත් එක්ක හිටියා

    • මේකට උත්තරේ මම උඹව හම්බ වෙච්ච වෙලාවකම කියන්නම්. ඒ කොහොම වෙතත් මෙතන කාගෙවත් ගුණනම් වයලා නෑ මචන්.

  8. ඔය කොළඹ ගමේ සීන් එක අපේ බැච් එකට නම් එච්චර දැනුනේ නෑ. අවුරුද්දක් විතර ගියාට පස්සෙ ටික ටික පරණ පුරුදු සමහර අයගෙ එලියට බැස්සට බහුතරයක් තාම ෆිට් එකේ ඉන්නව.

    අපිට අයියල දීපු දේවල් ගොඩක් වටිනවා. මන්ද මට නම්. බොහොම ස්තූතියි.

    මට නම් මගේ ජීවිතේ හොඳම කාලය උනේ කැම්පස් එකේ මේ ගත කල කාලය(තව තියනවා තව ඉවර නෑ) ඉස්කෝලෙද කැම්පස්එකට කිව්වොත් මම පැනපු ගමන් කියන්නෙ කැම්පස් එක කියල.

    ගවේශණ සංගමේ මටත් හිතට ලොකු දෙයක් දීපු තැනක්. තන්තිරිමලේ ගමන එහෙම. මේ අව්රුද්දෙ අපි වාර 3ටම තන්තිරිමලේ වැඩමුළු කරනවා කොහොමහරි. අයියල පටන් ගනිපු දේ ඉස්සරහට කරගෙන යනව. ඒක හොඳ වැඩක් නිසා.

  9. චමිල, ආගන්තුකය, පහන්, Anjelo මේ හැමෝගෙම අදහස් දැක්කහම මම ලියපු නිසැඳැස් පද වැල් දෙක තුනක් මේකට හොඳට ගැලපෙනව කියල හිතුනා

    “කුසය හැරයන
    ළදරුවකුසේ
    නොහැඬුවද අප
    උනුන් අභීයස……

    තැනේ සිත්තුළ
    වේදනා කඳු
    වෙන්ව යන විට
    ඒ හැඬුම් මැද……”

    අපි කරපු දේවල් ඇති නොකරපු දේවල් ඇති ඒත් UCSC කියා ගත්ත පොඩි ඉඩේ අපේ දෙයක් අපේ විදිහට කරන්න පුළුවන් උනේ උඹල අපි හැමෝටම එකම අරමුණක් තියෙන හින්ද වෙන්න ඇති. ඒ අරමුණ ඒ විදිහටම අපේ අලුත් පොඩි එවුන්ටත් දෙමු!

    • දෙමු කියන්න දෙයක් නෑ අපි දීලා තියෙන්නෙ. අපි අපේ සින්නො වගේ බදාගෙන හිටියෙ නෑනෙ

  10. මගෙත් ජීවිතේ හොඳම කලේ තමයි UCSC ජීවිතේ..අපි හැමෝම අයියලගෙන් මොනවා හරි දෙයක් ගත්තා..එකනිසා තමයි අද වුනත් බොක්කෙන් අයියා කියලා කාට වුනත් කතාකරන්නෙ,මම හිතන්නෑ ඒ ගැන අයියලා කණගාටු වෙන්න ඕන කියලා අපේ ජීවිතේ හොද කාල නරක කාල හදාගන්නෙ අපිමයි කියල්යි මම හිතන්නෙ.

  11. සරසවිය ඇත්තටම වෙනම ලෝකයක්….ගන්න දේවල් බොහොමයි…දෙන්න තියන දේවල් බොහොමයි…අපි නොගත්ත දේවලුත් බොහොමයි….ලස්සනට ලියල තියනවා….

  12. මාත් චමිල කියන හුඟක් කරුණු වලට එකඟයි. විශේෂයෙන්ම “අපි කියවලා තියෙන සරසවිය ඇත්තටම තියෙන සරසවියෙන් සම්පූර්ණයෙන් වෙනස් තැනක්” කියන එකට. මට තවම තේරෙන්නෑ එකට සතුටු වෙන්න ඕනද දුක්වෙන්න ඕනද කියලා. ඔව් අත්දැකීම් ලැබුවා, බොරු වචන හුඟාක් ඇහුවා. හැලහැප්පීමුත් එක්ක. මොනවා උනත් අපි අපේ ජීවිතෙන් තීරණාත්මක අවුරුදු තුනක් කැපකරලා ඉවරයි. කැම්පස්එක අවුරුදු විසි තුනක ජීවිතේ ලබපු තවත් එක අත් දැකීමක් කරගන්න මම කැමතියි. මේකත් කියලම ඉවරකරන්න ඹන කියල හිතුනා. කැම්පස් ගිය අළුත මම අඳුරන කෙනෙක් මෙහෙම දෙයක් කිව්වා “ඔය කැම්පස් ඇතුලෙ තියෙන “පරමාදර්ශී සංස්කෘතිය” එතනින් එළියට එන උන් ළඟත් තිවුන නම් අද ලංකාව මීට වඩා වෙනස්වෙන්න ඕන” කියලා. එක ඒ දවස් වල අහක දැම්මට දැන්නම් හිස්මුදුනින් පිළිගන්නවා.

    • උඹට ඒක කියපු ඩයල් එකට එකක් අමතක වෙලා. එලියට ගේන්න පරමාදර්ශී සංස්කෘතියක් දැන් ඉතුරු වෙලා නෑ. මම හිතන්නේ නෑ කවදාවත් තිබුනා කියලත්.

      අනිත් එක ඒ කියන විදියට අපි තමයි හරිනම් ඒක එලියට ගේන්න ඕනෙත්. බලමු තව අවුරුදු දෙක තුනකින්.

      • ඔව්. මමත් පිළිගන්නවා එහෙම දෙයක් දැන් නැහැ කියලා. එක තමයි මම කිව්වෙ බොරු වචන හුඟාක් ඇහුවා කියලා. ඔව් බලමු තව අවුරුදු දෙක තුනකින්…

  13. පට්ට මචන්! කොළඹ හෝ ලංකාවේ සරසවියක අත්දැකීම් නැති වුණත් මේ තරමට අඩුවෙන් හෝ අත්දැකීම් ධාරාවක් මට ලබන්න හැකි වෙතැයි කියලා හිතනවා. ඒත් මචන් අපේ නැති හොඳ වගේම නරකත් පිටරටවල සරසවි වල දකින්න තියෙනවා. වැඩි වෙනස තියෙන්නේ “මැරකම්” පෙන්වන අයත් ලොක්කෝ සෙක්කෝ අඩු එකත් තමා.

    උඹේ වැඩ වැඩි වෙන ඒකත් පුදුම නෑ උඹේ මේ වැඩ දැක්කම ;)

  14. මේකෙ හරියට සිංහල වැඩ කරන්නෙ නෑ.. ඕක නම් පන්තිවාදය ඕක තමා මම හිතන විදිහට හැම එකටම මුල ඔතනින් කොටින්ම පුහු සංස්කෘතිය ප‍්රතික්ෂේප කරපු නිසා අපි කොළඹින් කැපෙනකොට කොළඹ ඉස්කෝලෙ ගිය හින්දා අපි ගමෙන් කැපෙනව. කොටින්ම ඔය දෙපැත්තම අපිත් එක්ක අවුල්. පුද්ගල මානසිකත්ව වෙනස් කරගන්න කම් ඔය ප‍්රශ්නය හැමදාම ඔහොම තියෙයි. හීනමානය ඉරිසියාව නැති කරගත්ත දවසේ අපි ගොඩ යයි.. බ‍්රෙෂ්ට් කියපු කතාව ඇත්ත ලංකවෙ පාලකයො අලුතෙන් පත් කරන්න කලින් ජනතාවක් පත් කරලා හිටියනම් හරි…

Return Fire!